සෝවියට් සාහිත්‍යයේ පසුබිම හා රුසියානු විප්ලවයේ ඉතිහාසය විකෘති කිරීම. (පළමු කොටස)

(​පළමු කොටස - ආචාර්ය ටියුඩර් වීරසිංහ රුසියානු විප්ලවයේ ඉතිහාසය විකෘති කරයි.)

​2020 ජුනි 15

2020 මැයි 19 දා චරණ නාලිකාවේ විකාශය වූ ලිවිසැරි ප්‍රේමය වැඩසටහනෙහි මාතෘකාව වූයේ සෝවියට් සාහිත්‍යය යන්න යි. එම සාකච්ඡාවට සහභාගී වූවෝ කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය ටියුඩර් වීරසිංහ, කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය චින්තක රණසිංහ සහ සාහිත්‍යවේදී චූලා සමරනායක යන තිදෙනා වෙති. (මෙම සම්පූර්ණ සාකච්ඡාව යූටියුබ්හි charana tv Livisari Premaya සෝදිසි කිරීමෙන් බැලිය හැකි ය.)

අප මෙම ලිපියෙහි පළමු කොටසින් සාකච්ඡා කරන්නේ 1917 රුසියානු විප්ලවය පිළිබඳ ආචාර්ය ටියුඩර් වීරසිංහ ඉදිරිපත් කළ ප්‍රවාදය ගැන යි. දෙවන කොටසින් සෝවියට් සංගමයෙහි ඉතිහාසය පිළිබඳ ව එම සාකච්ඡා මණ්ඩපය ශ්‍රාවකයන් තුළ ඇති කළ ව්‍යාකුලත්වය සාකච්ඡාවට ගැනේ. අපගේ ලිපියෙහි තෙවන කොටස වෙන් වන්නේ රුසියාවේ පූර්ව විප්ලව සාහිත්‍යයත් පශ්චාත් විප්ලවීය සෝවියට් සාහිත්‍යයත් පිළිබඳ ව එම සාකච්ඡා මණ්ඩපය තුළ පළ වූ අදහස් විස්තර විභාග කිරීමකට යි.

උක්ත සාකච්ඡාව ආරම්භ කෙරුණේ රුසියානු ඉතිහාසය ගැන විග්‍රහයකිනි. සෝවියට් සාහිත්‍යය පිළිබඳ ව කෙරෙන සාකච්ඡාවක් ඊට පසුබිම් වූ ඓතිහාසික සන්දර්භය විමසමින් ආරම්භ කිරීම බෙහෙවින් යුක්තියුක්ත බව කිව යුතු ය. එම විග්‍රහය ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය ටියුඩර් වීරසිංහ විසිනි. එහි දී ඔහු 1917 රුසියානු විප්ලවය සම්බන්ධයෙන් දැනට තහවුරු ව ඇති “ජනප්‍රිය මතය” යැයි නම් කළ දෙය ප්‍රතික්ෂේප කරමින් රුසියානු විප්ලවය සම්බන්ධ සිය “ප්‍රවාදයක්” ඉදිරිපත් කළේ ය. ඔහුගේ ප්‍රවාදය මෙසේ ය:

උක්ත සාකච්ඡාව ආරම්භ කෙරුණේ රුසියානු ඉතිහාසය ගැන විග්‍රහයකිනි. සෝවියට් සාහිත්‍යය පිළිබඳ ව කෙරෙන සාකච්ඡාවක් ඊට පසුබිම් වූ ඓතිහාසික සන්දර්භය විමසමින් ආරම්භ කිරීම බෙහෙවින් යුක්තියුක්ත බව කිව යුතු ය. එම විග්‍රහය ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය ටියුඩර් වීරසිංහ විසිනි. එහි දී ඔහු 1917 රුසියානු විප්ලවය සම්බන්ධයෙන් දැනට තහවුරු ව ඇති “ජනප්‍රිය මතය” යැයි නම් කළ දෙය ප්‍රතික්ෂේප කරමින් රුසියානු විප්ලවය සම්බන්ධ සිය “ප්‍රවාදයක්” ඉදිරිපත් කළේ ය. ඔහුගේ ප්‍රවාදය මෙසේ ය:

1. “1917 රුසියාවෙ විප්ලවය හුඟ දෙනෙක් පටලව ගන්නව මාක්ස්වාදයත් එක්ක. ඒක මාක්ස්වාදයේ ම ප්‍රතිඵලයක් කියල. ඒක මාක්ස්වාදයට එහෙම සම්බන්ධයක් නෑ. මාක්ස්වාදය යුරෝපයෙන් රුසියාවට ඇවිල්ල, බොල්ශෙවික්වාදීන් ඒව ප්‍රචාරය කරල මාක්ස්වාදයේ තිබුණ ව්‍යාපෘතිය අනුව රුසියානු සාර් ආණ්ඩුව පෙරළලා දාලා සෝවියට් ක්‍රමයක්, සමාජවාදයක් හැදුවයි කියන එකනෙ, ජනප්‍රිය මතය. එහෙම එකක් නෙවෙයි තිබුණෙ. ඒක සම්භාව්‍ය මාක්ස්වාදයේ මූලධර්මවලට කිසි ම සම්බන්ධයක් නෑ. ඒකෙ ආභාෂය ලැබුණා. ඒකෙන් අභිප්‍රේරණයක් ලබල විප්ලවවාදීන් බුද්ධිමතුන් යම්කිසි පෙරළියක් කළා. ඒ වුණාට එය සිද්ධ වුණේ මාක්ස්වාදී ව්‍යාපෘතියට අනුව නෙමෙයි.”

2. ඒනිසා- ++“1917 විප්ලවයෙන් වුණේ අලුත් දෙයක් ඇති වීම ම නෙවෙයි. සමස්ත රුසියානු ඉතිහාසයේ ම දිගුවක් තමයි සෝවියට් ක්‍රමය කියන්නෙ. ඒකෙ තියෙන්නෙ රුසියානු දශලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ගේ සාමූහික නිර්මාණකරණයේ ප්‍රතිඵලයක්.”

3. අනික- “සෝවියට් කියල කියන්නෙ අපේ ගම් සභා නගර සභා වගේ, සෝවියට් සභා කියල තමයි ඒවට කිව්වෙ. ඒවා රුසියානු සංස්කෘතියෙන් ම ආපු දේවල්. ලෙනින්ල විප්ලවයෙන් පස්සේ බලය අල්ල ගන්නෙ ඒවයෙ. ඒවයෙ බලය අල්ල ගෙන ඒව සෝවියට් සභාවලට පරිවර්තනය වෙනව. සාර් පාලන ක්‍රමයට සමාන පාලන ක්‍රමයක් තමයි ස්ථාපිත වෙන්නෙ සෝවියට් කොමියුනිස්ට් පාලන ක්‍රමය හැටියට. එහෙම නැතුව මාක්ස්වාදයේ තිබිච්ච ක්‍රමයක් නෙවෙයි.”

රුසියානු විප්ලවය ගැන ආචාර්ය වීරසිංහගේ විශ්ලේෂණයේ සාරය යි ඒ. ඕනෑ ම කෙනකුට ඓතිහාසික සිද්ධීන් සම්බන්ධයෙන් තමන්ගේ විශ්ලේෂණයක් ඉදිරිපත් කිරීමට අයිතියක් තිබෙන බව ඇත්ත ය. එහෙත් එය වගකීමකින් යුතු බැරෑරුම් විශ්ලේෂණයක් ලෙස බුද්ධිමත් සමාජය පිළිගන්නේ එය සත්‍ය කරුණු මත පදනම් වූ ඓතිහාසික සාක්ෂි සහිත විද්‍යාත්මක පදනමකින් යුතු නම් පමණ ය. එහෙත් කනගාටුවට කරුණ නම් ආචාර්ය වීරසිංහ රුසියානු විප්ලවය සම්බන්ධයෙන් සිය විශ්ලේෂණය ඉදිරිපත් කළේ තනිකර ම බොරු බේගල්, අනුභූතික නිරීක්ෂණ හා හුදු හිතලු මත වීම ය. කිසිදු පන්ති විශ්ලේෂණයකින් තොර එම නොගැඹුරු විග්‍රහයෙන් උපන් දෝෂ චිත්තය ඔහු ආවරණය කර ගත්තේ වරින් වර නරුම සිනහ නඟමින් සහ දැඟලිලි පාමිනි.

1917 රුසියානු සමාජවාදී විප්ලවයට පෙර රුසියාවේ ශතවර්ෂ තුනක් තිස්සේ පැවතියේ අර්ධ-වැඩවසම් වංශාධිපති පාලක පන්තියකි. එම රෝමනොවු රජ පෙළපතේ අවසන් නියෝජිතයා වූයේ දෙවැනි නිකොලස් සාර් ය. මේ වංශාධිපති පාලනය ගොවි ජනතාව වහලුන් බවට පත් කොට ගෙන වංශාධිපතින්ගේ හා පූජකයන්ගේ සහාය ඇති ව පීටර්ස්බර්ග්හි රාජකීය ආඥාදායකත්වය ගොඩනැඟී ය. 1917 පෙබරවාරි විප්ලවය මඟින් පෙරළා දැමුණේ එම ආඥාදායකත්වය යි. එම විප්ලවය විසින් රුසියාව තුළ තාවකාලික ධනපති ආණ්ඩුවක් පිහිටුවන ලදි. 1917 ඔක්තෝබර් සමාජවාදී විප්ලවයේ දී ලෙනින් හා ට්‍රොට්ස්කි විසින් නායකත්වය දෙන ලද බොල්ශෙවික් පක්ෂය යටතේ කම්කරු පන්තිය එකී තාවකාලික ධනපති ආණ්ඩුව පෙරළා දමා රාජ්‍ය බලය සියතට ගති. රුසියාව තුළ ලෝක සමාජවාදී විප්ලවයේ පළමු වෙඩි මුරය ලෙසින් ප්‍රථම සමාජවාදී කම්කරු රාජ්‍යය පිහිටු වීමේ ඓතිහාසික සිදු වීම ය ආචාර්ය වීරසිංහ මේ ආකාරයෙන් ඉතා නොසැලකිලි සහගත ලෙස විකෘත කරනු ලබන්නේ.

මේ ක්‍රියාදාමය වූකලි සාර් පාලනයේ ම්ලේච්ඡ පීඩනය තවදුරටත් ඉවසා සිටිය නොහැකි වූ මහජනතාව දේශපාලන වේදිකාවට බලහත්කාරී ලෙස කඩා වැදීම යි. සාර් පාලනයට එරෙහි ව ලක්ෂ සංඛ්‍යාත මහජනතාව වීදි බැසීම තුට්ටුවකට සැලකිල්ලට නොගන්නා ආචාර්ය වීරසිංහ මෙබඳු පල්හෑලි දොඩයි: “ සාර් ආණ්ඩුවෙන් පීඩාවකුත් තියනවා. ඒ එක්ක ම සාර්ට මිනිස්සුන්ගෙ ආදරයකුත් තියනවා. සෝවියට් මතවාදවලදි එහෙම කිව්වට. රජතුමා සැලකුවෙ දෙවියන්වහන්සේගේ නියෝජිතයා විදියට.” සාර්ට පමණක් නො ව, ඕනෑ ම පාලනයකට කත් අදින එවුන් රටක සිටින බව සත්තක ම ය. ඉන් සමහරකු දැනුවත් ව පාලක පන්තිවල ඉඳුල් කන එවුන් ය; ඇතැමකු අනවබෝධය හෝ නිවටකම නිසා පවතින කෲර පාලනය ඉදිරියේ කරබාගත්ත වුන් ය. ආචාර්යවරයා නඟන තර්කවල ස්වභාවය අනුව, අපට වැඩිමනත් කිව හැක්කේ ඔහු ඒ අවධියේ සිටියේ නම් නොඅනුමාන ව ම “සාර්ට ආදරය කරන්නකු” වනු ඇති බව යි. ඔහු අයත් වනු ඇත්තේ ඉහත වර්ග දෙකෙන් කවර වර්ගයට දැයි තීරණය කිරීම බුද්ධිමත් පාඨකයනට භාර කරමි.

මහජනතාව හා බෝල්ශෙවික් පක්ෂ ක්‍රියාමාර්ගය

ආචාර්ය වීරසිංහ විප්ලවයට මාක්ස්වාදයේ මෙලෝ සම්බන්ධයක් නැතැ යි ද ඉන් ලැබුණේ යම් ආභාෂයක් හා උද්යෝගයක් යැයි ද පවසයි. ඔහුට අනුව විප්ලවය රුසියානු භාවයේ නෛසර්ගික ව පැවති දිගුකාලීන සාමුහිකත්වයේ ප්‍රතිඵලයකි. මෙය රුසියානු ජාතික චින්තනයකට ගැටගැසෙන බව පාඨකයාට අමුතුවෙන් කිව යුතු නැත. ඔහු මේ කාරණා සනාථ කිරීමට අන්තිම දියාරු සාක්ෂි ගෙන එයි: “මාක්ස්වාදය පක්ෂයේ ආණ්ඩුවේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කළාට මිනිසුන්ගෙ ජීවිතය ඇතුළෙ නැහැ. සමහර මිනිස්සු හිටියා මාක්ස් ගැන මෙලෝ දෙයක් දන්නෙ නැහැ.” ඔහුට රුසියාවේ දී මාක්ස් ගැන නොදන්නා මිනිසුන් හමු වී ඇත. අපට කිව හැක්කේ 1917 දීත් එබඳු මිනිසුන් දසදහස් ගණන් සිටි බව ය. විප්ලවයට ඇදී ආ දශ ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් මාක්ස් ගැනත් මාක්ස්වාදය ගැනත් දැන සිටියේ යැයි කීවේ කවු ද? මේ ගැන ලියෝන් ට්‍රොට්ස්කි කරන පැහැදිලි කිරීම බලමු:

“ජනතාව විප්ලවයක් කරා ගමන් කරනුයේ සමාජ ප්‍රතිසංවිධානය පිළිබඳ ව කලින් සකසා ගැනුණ සැලසුමක් ඇති ව නො ව, පැරණි පාලනය තවදුරටත් නො ඉවසිය හැකි ය යන තියුණු හැඟීම ඇති ව ය. දේශපාලන ක්‍රියාමාර්ගයක් තිබෙනුයේ පංතියක මාර්ගෝපදේශක තීරුවලට පමණි. මෙයට පවා, සිද්ධීන් විසින් උරගා බලනු ලැබීම් සහ ජනතාවගේ අනුමැතිය අවශ්‍ය වේ.” ( ලියෝන් ට්‍රොට්ස්කි, රුසියානු විප්ලවයේ ඉතිහාසය, පරිවර්තනය: ටී. අන්ද්‍රාදි, පි.xvii)

බෝල්ශෙවික් පක්ෂය ජනතාවට දේශපාලන මාර්ගෝපදේශකත්වය සම්පාදනය කළේ හිස් අතින් නො වේ. වසර ගණනක් තිස්සේ මාක්ස්වාදී මූලධර්ම වෙනුවෙන් විවිධ අවස්ථාවාදී ප්‍රවණතාවන් සමඟ ගැටෙමින් ලබා ගත් තියුණු පන්නරයක් මත පාදක වෙමිනි. එවැනි පරිණත පක්ෂයක මඟ පෙන්වීම හා නායකත්වය නොවන්නට කෙතරම් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් වීදිවලට බැස විරෝධතා පළ කළ ද නිර්ධන පන්තිය රාජ්‍ය බලය කරා ඔසවා තැබිය නො හැකි ය. ආචාර්ය වීරසිංහ මේ සියලු වෛෂයික සත්‍යයන් දූවිලි සේ ගසාබසා දමා පාපිස්ස යටට අතු ගා දමමින් කරන්නේ ශ්‍රාවකයන් තුළ දැල්වෙන විප්ලවවාදී හැඟීම් මොට කිරීම නො වේ ද?

1905 විප්ලවය හා සෝවියට් සභා

රුසියානු අධිරාජ්‍යය හා ජපන් අධිරාජ්‍ය අතර මැන්චූරියාව හා කොරියාව සම්බන්ධ අධිරාජ්‍යවාදී අභිලාෂයන් පෙරදැරි කර ගෙන 1904-1905 දී යුද්ධයක් ඇති විය. මහජනතාව මත දැවැන්ත ව්‍යසනයක් කඩාපාත් කරමින් සාර් පාලන තන්ත්‍රය පරිහානියෙන් පරිහානියට ගමන් කළේ ය. 1905 දී ප්‍රතිසංස්කරණ මාලාවක් ඉල්ලමින් සාර් වෙත පෙත්සමක් රැගෙන ගිය කම්කරුවන් හා ගොවීන් වෙත සාර්ගේ හමුදාව ඉවක්බවක් නැති ව වෙඩි තබන ලදි. ඉන් විප්ලවවාදි අර්බුදය පිපිරුණි. රුසියාව පුරා කම්කරු ස්ට්‍රයික් සටන් ඇවිළුණි. සාර් පාලනයට එරෙහි ව ගොවි ජන නැඟිටීම් පැන නැඟුණි. සාර් ආණ්ඩුව ඒවා ලෙයින් මඬින ලදි.

සිය පාලනයට අභියෝගී බෝල්ශෙවික් පක්ෂය ඇතුළු සියලු පක්ෂ මර්දනය කරන ලදි. ප්‍රතිවිප්ලවවාදී කාලපරිච්ඡේදයක් උදා කෙරුණි. එහෙත් කම්කරු හා ගොවි ජනතාව මේ සිද්ධීන්වල දී ලත් පාඩම් අතිමහත් ය. 1917 විප්ලව දෙකට ම මේ 1905 සිද්ධීන් අත් පොතක් බඳු විය. එහි ප්‍රධානතම ජයග්‍රහණය නම් 1905 අරගලය මධ්‍යයෙහි ජනතාව පන්ති යුද්ධය ගෙන යාමේ නව ආයුධය සොයා ගැනීම ය. එම ආයුධය නම් සෝවියට් සභාව ය. එය කර්මාන්තශාලාවල, ගොවි බිම්වල සිටි කම්කරු-ගොවි ජනතාවගේ ඡන්දයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පිහිටුවනු ලැබූ නියෝජිත සභාවක් විය. 1905 දී එය පැවතියේ දින 50ක් තුළ පමණි. ඔක්තෝබර් 13 දා සෝවියට් සභාව ගොඩ නැඟූ අතර සාර් මිලිටරිය විසින් එය දෙසැම්බර් 3 දා බිඳ දමන ලදි. 1917 විප්ලවයේ දී යළි සෝවියට් සභා පැන නැංඟේ ඒ තුළින් විප්ලවවාදී බලය කම්කරු පන්තිය අතට මාරු කරමිනි.

ආචාර්ය ටියුඩර් වීරසිංහ කම්කරු-ගොවි සෝවියට් සභා සමාන කරන්නේ වංශාධිපතියන්ගෙන් ද එවක බෙලහීන ධනපතියන්ගෙන් ද සමන්විත ව සාර් ආණ්ඩු පාලනය යටතේ ගොඩ නඟා තිබූ ’ැපිැඑඩද සභාවන්ට ය. පන්ති විභේදනයන් නොසලකමින් ඒ සංවිධාන දෙක සමාන කරන ඔහු එම තර්කය මත ලෙනින් සාර්ගේ පාලනය ම වඩා හොඳින් දිගට ම ගෙන ගියේ ය යන බේගලය ගොතයි. මෙය හුදෙක් ඉතිහාසය විකෘත කිරීමක් පමණක් නො වේ; ලොව පුරා වර්ධනය වන පන්ති අරගලයේ දී අදටත් වලංගු කම්කරු පන්තික ආයුධය වන සෝවියට් සභාවල අර්ථය සාහසික ලෙස විකෘති කොට පිරිහෙළීමෙන් ශ්‍රාවක මනස් දූෂණය කොට ධනේශ්වර ප්‍රතිගාමීත්වය ශක්තිමත් කිරීමක් ද වෙයි.

සෝවියට් පාලනය හා රාජ්‍යය

ආචාර්ය වීරසිංහ විප්ලවයට මාක්ස්වාදයේ කිසි ම සම්බන්ධයක් නැති ය යන තම නිගමනය සනාථ කරන්නට අඹරන තවත් තර්කයක් මෙසේ ය: “මාක්ස්වාදයේ තියෙන එකක් තමයි කොමියුනිස්ට්වාදය ගොඩ නැඟුවහම රාජ්‍යය නැතිවෙලා යනවා. රුසියාවෙ මේකෙ අනික් පැත්ත වුණේ රාජ්‍යය ශක්තිමත් වුණා.” එහෙත් ඔහුගේ මේ තර්කයෙන් සනාථ වන්නේ වෙනත් දෙයකි. එනම්, රුසියාවේ යම් කාලයක් හිටි පළියට ඒ පුද්ගලයා මාක්ස්වාදී මුලධර්ම සම්බන්ධයෙන් ඔස්තාර් කෙනකු නොවන්නේ ය යන්න පමණි. මේ කාරණය සම්බන්ධයෙන් වටහා ගැනීමක් ලබා ගනු පිණිස ලෙනින්ගේ රජය හා විප්ලවය කෘතිය අධ්‍යයනය කරන ලෙස ඉල්ලමි. මේ ලිපියේ වපසරිය තුළ කළ හැක්කේ මූලික කරුණුවලට අවධානය යොමු කිරීම පමණි. සමාජවාදී විප්ලවයේ දී සිදු වන්නේ බලය අතට ගන්නා නිර්ධන පන්තිය ඒ සමඟ ම ධනපති රාජ්‍යය අහෝසි කර දැමීම යි. එහි දී අතළොස්සක් විසින් දශලක්ෂ සංඛ්‍යාත වැඩකරන ජනතාව පාගා මර්දනය කර දැමීම වෙනුවට ධනපති පන්තිය මර්දනය කිරීම පිණිස නිර්ධන පන්ති ආඥාදායකත්වයක් ගොඩ නැඟේ. සමස්ත සමාජය වෙනුවෙන් නිෂ්පාදන මාධ්‍යයන් සියතට ගෙන පොදු දේපළ ක්‍රමය ස්ථාපිත කිරීමත් සූරාකෑම අහෝසි කිරීමත් කළ හැක්කේ නිර්ධන පන්ති ආඥාදායකත්වයක් හරහා පමණි. මන්ද එම පියවරයන්ට එරෙහි ව අවි අතට ගන්නා ධනපති පන්තිය මර්දනය කළ යුතු හෙයිනි. 1917 රුසියානු සමාජවාදී විප්ලවයේ මුලික කර්තව්‍යය වශයෙන් නිෂ්පාදන මාධ්‍යයන් සමාජ සන්තක කිරීමත් විදේශ වෙළෙඳාමේ රාජ්‍ය ඒකාධිකාරය පිහිටුවීමත් සිදු වූයේ එම ආඥාදායකත්වයේ ආධාරයෙනි. එම අවධියේ දී නිර්ධන පන්ති ආඥාදායකත්වය (කම්කරු පන්ති රාජ්‍යය) ශක්තිමත් කළ යුතු වේ. එහෙත් මෙහි විශේෂත්වය වන්නේ එය ක්‍රමයෙන් අභාවයට යාමට නියමිත රාජ්‍යයක් වීම ය. ධනපති පන්තිය දුර්වල වීමත් සමඟ නිර්ධන පන්තියට විශේෂ මර්දන බලයක් අවශ්‍ය නොවන හෙයිනි. එසේ නැතුව විප්ලවය කළ සැණින් නිර්ධන පන්තිය සිය බලය (කම්කරු පන්ති ඒකාධිපතිත්වය) අහෝසි කර නො ගනී. ආචාර්යවරයා නිර්ධන පන්ති රාජ්‍යයේ මේ සංක්‍රමණීය ස්වභාවය නොතකා සියල්ල එකට පටලවයි.

සමාජවාදී විප්ලවයේ උත්කෘෂ්ටතම ඵලය වූ පෞද්ගලික දේපොළ ක්‍රමය අහෝසි කිරීම ගැන ආචාර්ය වීරසිංහ කතා කළේ විශ්වවිද්‍යාලයේ සිට ගෙදර යන ගමන් කඩයකට ගොස් සබන් කැටයක් ගන්නාක් වැනි ආකල්පයකිනි. මේ බලන්න: “සාර් අධිරාජ්‍ය යුගයේ ඉඳන් ම සමාජ ජීවිතය තුළින් සකස් වෙච්ච ජීවන ක්‍රමයක් තිබුණෙ. ඒ ක්‍රමය, සම්ප්‍රදායනුත් පවත්ව ගෙන යමින් සෝවියට් විප්ලවයෙන් පස්සෙ 1917 නාමකරණය වෙනව රුසියානු සමාජවාදී විප්ලවය කියලා. ඒ විප්ලවයෙන් වුණේ මොකද රුසියානු ඉතිහාසය තුළ තිබිච්ච යම් යම් ජීවිතය පිළිබඳ මූලධර්ම රාජ්‍ය මට්ටමෙන් මහා පරිමාණෙන් සංවිධානය කිරීම. ක්‍රියාවට යෙදවීම. ඒකෙ තිබුණ මූලික ලක්ෂණය තමයි පුද්ගලික දේපොළ ක්‍රමය නැතිකම ඇත්ත වශයෙන් ම.”

ලිපියේ පළමු කොටස නිමා කිරීමට පෙර, සාකච්ඡා මණ්ඩපයේ සිටි අනෙක් දෙදෙනා මෙම ප්‍රවාදය කෙරෙහි දැක්වූ ප්‍රතිචාරය සංක්ෂිප්ත ව හෝ සලකා බැලීම අවශ්‍ය ය. කථිකාචාර්ය චින්තක රණසිංහ මේ ප්‍රතිගාමී බහුබූත ප්‍රවාදය බදා වැලඳ ගෙන ආචාර්ය වීරසිංහ සරණ ගියේ ඉමහත් ප්‍රහර්ෂයකිනි. ඔහු එය අර්ථ ගැන්වූයේ ලෝකයේ මෙතෙක් කල් මතු නොකරපු “හංගපු කොටස” ලෙසිනි. ඒ අනුව, ආචාර්ය ටියුඩර් වීරසිංහ විප්ලවයෙන් වසර 103ක් ගිය තැන මෙච්චර කල් හංගපු කොටස එළියට දමා ඇත! ආචාර්යවරයා පළමු උපාධියේ සිට ම රුසියාවේ උගත් සියල්ල ඇහින් දැකපු විඳපු කෙනකු බව කියමින් ආචාර්ය වීරසිංහගේ විවරණයට විශාල මුක්කු බලයක් දීමට ද චින්තක අමතක කළේ නැත.

හදිසියේ සිය අතට පත් ටියුඩරියානු රාමුවෙන් ඇස් ගිනිකණ වැටී එය සනාථ කරනු වස් එහෙන් මෙහෙන් කරුණු ගොනු කරන්නට ගිය ඔහුට සෝවියට් ඉතිහාසයේ බොහෝ දෑ අමතක ව ගිය අයුරු ඉදිරි කොටස්වලින් අනාවරණය කෙරේ.

සාහිත්‍යවේදී චූලා සමරනායක මේ බහුබූත ප්‍රවාදය ඇතුළු විකෘතකරණයන් සියල්ල තමන්ට නෑසුණු නියායෙන් මුනිවත රැක්කේ ය. ඔහු ඊට එරෙහි ව එක වචනයකුදු පිට නොකළා පමණක් නො ව, එක් තැනක දී “රුසියානු සාහිත්‍යය, මාක්ස්වාදී දේශපාලන ධාරාව දන්න අපට වඩා වාසනාවන්ත කෙනෙක් තමයි ආචාර්ය ටියුඩර්” යැයි කියමින් වක්‍ර ලෙස ආචාර්ය ටියුඩර් වීරසිංහගේ “බහුබූතයට” ඉහළ වටිනාකමක් ප්‍රදානය කරමින් ප්‍රේක්ෂකයා ඊට බිලි දෙන්නට සම්මාදම් විය.

2020 ජූලි 4

2020 මැයි 19 දා චරණ නාලිකාවේ විකාශය වූ ලිවිසැරි ප්‍රේමය වැඩසටහනෙහි මාතෘකාව වූයේ සෝවියට් සාහිත්‍යය යන්න යි. එම සාකච්ඡාවට සහභාගී වූවෝ කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය ටියුඩර් වීරසිංහ, කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය චින්තක රණසිංහ සහ සාහිත්‍යවේදී චූලා සමරනායක යන තිදෙනා වෙති. (මෙම සම්පූර්ණ සාකච්ඡාව යූටියුබ්හි Charana Tv Livisari Premaya සෝදිසි කිරීමෙන් බැලිය හැකි ය.) අප මෙම ලිපියෙහි පළමු කොටසින්...​

2020 ජූනි 19

2020 මැයි 19 දා චරණ නාලිකාවේ විකාශය වූ ලිවිසැරි ප්‍රේමය: සෝවියට් සාහිත්‍යය වැඩසටහනෙහි රුසියානු විප්ලවයේ ඉතිහාසය සම්බන්ධයෙන් කළ විකෘතිකරණය රුසියානු විප්ලවයේ ඉතිහාසය ආචාර්ය ටියුඩර් වීරසිංහ විකෘති කරයි යන පළමු කොටසින් හෙළිදරව් කළෙමි. මෙම දෙවන කොටස ලියන්නේ සාකච්ඡා මණ්ඩපයේ විද්වතුන් තිදෙනා විසින් සෝවියට් සංගමයේ ඉතිහාසය හා සෝවියට් සාහිත්‍යය ගැන ප්‍රේක්ෂක ජන සමූහයා තුළ ඇති කළ ව්‍යාකුලත්වය තුරන් කිරීමේ අටියෙනි.

2020 ජූලි 4

මේ 2020 මැයි 19 දා චරණ නාලිකාවේ විකාශය වූ ලිවිසැරි ප්‍රේමය: සෝවියට් සාහිත්‍යය වැඩසටහනෙහි දී කෙරුණු සාකච්ඡාව අරභයා ලියැවෙන ලිපි පෙළේ අවසාන ලිපිය යි. රුසියානු විප්ලවයෙන් ඇති වූ පාලනය සාර් පාලනයේ ම දිගුවක් ලෙසට ගුණාංගීකරණය කළ ආචාර්ය ටියුඩර් වීරසිංහගේ ප්‍රතිගාමී ප්‍රවාදය ගැන මම පළමු ලිපියෙන් සාකච්ඡා කළෙමි. සාකච්ඡා මණ්ඩපයේ සිටි තිදෙනා ම 1917-1991 දක්වා කාලය තුළ සෝවියට් සංගමය තුළ සිදු වූ බරපතළ දේශපාලනික පරිවර්තනයන් ...

ඔබගේ අදහස් අපට එවන්න.