​2020 ජුනි 15

මේ 2020 මැයි 19 දා චරණ නාලිකාවේ විකාශය වූ ලිවිසැරි ප්‍රේමය: සෝවියට් සාහිත්‍යය වැඩසටහනෙහි දී කෙරුණු සාකච්ඡාව අරභයා ලියැවෙන ලිපි පෙළේ අවසාන ලිපිය යි. රුසියානු විප්ලවයෙන් ඇති වූ පාලනය සාර් පාලනයේ ම දිගුවක් ලෙසට ගුණාංගීකරණය කළ ආචාර්ය ටියුඩර් වීරසිංහගේ ප්‍රතිගාමී ප්‍රවාදය ගැන මම පළමු ලිපියෙන් සාකච්ඡා කළෙමි. සාකච්ඡා මණ්ඩපයේ සිටි තිදෙනා ම 1917-1991 දක්වා කාලය තුළ සෝවියට් සංගමය තුළ සිදු වූ බරපතළ දේශපාලනික පරිවර්තනයන් නො සලකා එය එක ම තනි යුගයක් ලෙසට ගැනීම හේතුවෙන් ඔවුන්ගේ පැහැදිලි කිරීම් මොන තරම් විකෘති සහගත වී ද යන්න දෙවැනි ලිපියෙන් පෙන්වා දුනිමි. මෙම අවසන් කොටස වෙන්වනුයේ එම සාකච්ඡා මණ්ඩපය විසින් පූර්ව විප්ලවීය රුසියානු සාහිත්‍යයත් සෝවියට් සාහිත්‍යයත් සම්බන්ධයෙන් පාඨකයන් තුළ ඇති කළ මතිමතාන්තරවල ඇති පදනම් විරහිත භාවය පෙන්වා දෙනු පිණිස ය.

රුසියානු ජාතික චින්තනයේ සහකරුවෝ

ආචාර්ය වීරසිංහගෙන් රුසියානු විප්ලවයේ “මෙතෙක් හංගපු කොටස”- එනම්, එය මාක්ස්වාදයට මෙලෝ සම්බන්ධයක් නැත ය යන්න- අහුලා ගත් චින්තක රණසිංහ සිය බුද්ධි මහිමය මෙහෙයවා ඒක්ෂණයකින් එය සාහිත්‍යයටත් දේශපාලනයටත් භාවිත කළ අයුරු බලමු:
“ලෙනින්ට තිබුණා 19 වන සියවසේ රුසියානු මහා සාහිත්‍යයත් එක්ක දැවැන්ත බැඳීමක්. ඒ බැඳීම තමයි මම හිතන්නෙ ආචාර්ය වීරසිංහ මහත්තයගෙන් මම ග්‍රහණය කර ගත්තු ඉතා වැදගත් දෙයක් තමයි, මේක හුඟක් අය සම්පූර්ණයෙන් මාක්ස්වාදයට සම්බන්ධ කරනව. නමුත් එහෙම එකක් නෙවෙයි, දිගුකාලීන ව සෝවියට් දේශයේ ආපු ක්‍රියාවලියක යම් ඵලයක් කියල.
මම හිතනව ඒකෙ යම් ආකාරයක ගැඹුරු සත්‍යයක් තියනව...

19 වන සියවසේ රුසියාව අරගෙන බැලුවොත් නූතන යුරෝපය අරගෙන බැලුවහම ජර්මනිය, ඉතාලිය එක්ක රුසියාව වෙනස්. වෙනස තමයි අර්ධ ආසියාතික අර්ධ යුරෝපීය රටක් වීම. ආසියාතික බව නැති කරන්න 1700 ගණන්වල මහා පීටර් රජ්ජුරුවො වැඩ ටිකක් කරනවා. ඒ කළාට චින්තනමය වශයෙන් තියෙන්නෙ යුරෝපීය මොඩල් එක නෙවෙයි. ඒ මොඩල් එකේ එකක් තමයි අර කිව්ව සාමූහික භාවය. යුරෝපීය සමාජවල නැති ආකාරයේ සාමූහික භාවයක්. යුරෝපයේ ඒ රටවල නැති ඕතොඩොක්ස් නිකාය තමයි රුසියාවෙ තියෙන්නෙ. ඒක සම්පූර්ණයෙන් වෙනස්. ඒ ආපු සාමුහිකත්වය කියන ජාතික භාවයේ ලක්ෂණයක් තමයි නැවතත් සමාජවාදී විප්ලවය හරහා ප්‍රතිනිර්මාණය වුණේ. ලෙනින් දැවැන්ත චරිතය වෙන්නෙ අරගලයට නායකත්වය දීම ඇතුළෙ ම නෙමෙයි. ඒ ආධ්‍යාත්මික චින්තන ධාරාව කළමනාකරණය කරපු පුද්ගලයා නිසා.”

මීට ටික කලකට පෙර ගුණදාස අමරසේකරගේ ජාතික චින්තනයට බැට දෙමින් ගොස නැඟූ චින්තක රණසිංහට කිම මේ වූ විපතා? දැන් ඔහු මේ වමාරන්නේ රුසියානු සාහිත්‍යය ගැන අමරසේකර දරන ජාතික චින්තන මතවාදය ම නො වේ ද? මේ ලිපියේ අරමුණ ඔහුගේ බුද්ධිමය පරිහානියේ තරමත් දේශපාලනික ව අවමංගත වීමත් සලකුණු කිරීම නො වේ. එහෙත් මෙබඳු විපර්යාසයන්ට පන්ති මූලයන් ඇති බව තේරුම් ගැනීම වැදගත් ය. එය හුදෙක් චින්තක පිළිබඳ පෞද්ගලික ගැටලුවක් ලෙස ගැනීම වැරදි ය. ඉන් කිසිවක් පැහැදිලි නො කෙරේ. මෙය සරල ව ම ඔහු කොක්කෙන් නිදහස් කිරීම පිළිබඳ ප්‍රශ්නයක් නො වේ. අප මේ මොහොතේ මුහුණ දී සිටින පන්ති අරගලයේ ලෝක පරිමාණ නව වර්ධනයන් හමුවේ සුළු ධනේශ්වර බුද්ධිජීවින් ස්තරයකගේ දකුණට තල්ලු වීම- විශේෂයෙන් ධනපති පන්ති පාලනය පෙරළා දැමීමේ පන්ති ආයුධය වන මාක්ස්වාදයට එරෙහි ව සරොම් පිටපොට ගැසීම- මේ මඟින් නියෝජනය වන බව පැහැදිලි ය.

චින්තක රණසිංහ රුසියාවේ පැවතියේ යැයි කියන මේ රුසියානු ජාතික භාවය, සාමුහික භාවය ගැන මඳක් විමසා බලමු. 1682-1725 දක්වා රුසියාවේ පාලකයා වූයේ මහා පීිටර් රජු ය. “බටහිරට කවුළුව විවෘත කිරීම” යනුවෙන් හැඳින්වෙන බටහිරකරණය කිරීමේ ක්‍රියාදාමය ආරම්භ කෙරුණේ ඔහුගේ මූලිකත්වයෙනි. ඔහු ජර්මනිය, ඕලන්දය හා එංගලන්තය යන රටවලින් තාක්ෂණික සහාය ලබා ගත් බව ප්‍රකට ය. මෙම අවධියේ නව ප්‍රංශ කලාකෘතිවල ද යුරෝපියානු රොමෑන්ටික්වාදයේ ද බලපෑම රුසියාව තුළ දක්නට ලැබුණි. එහෙත් මේ යුගයේ නව රුසියානු සාහිත්‍යයක් බිහි වූයේ නැත. එහෙත් එවැනි සාහිත්‍යමය වර්ධනයකට අවශ්‍ය පසුබිම සකස් වුණි. 1762-1796 දක්වා රජ කළ මහා කැතරීන් රැජින මහා පිටර් රජු ගෙන ගිය බටහිරකරණ වැඩපිළිවෙළ තවදුරටත් ඉදිරියට ගෙන ගියා ය. මේ අවධිය වන විට රුසියානු වංශාධිපතීහු ප්‍රංශ සංස්කෘතිය අනුකරණය කරන්නට පටන් ගත්හ. ළමයිනට උපතේ සිට ප්‍රංශ භාෂාවෙන් සිතන්නටත් කතා කරන්නටත් ඉගැන්වූහ. ඔය කියන රුසියානු සංස්කෘතික ඉතිහාසය නොතකා හැරිණ. 1789 ප්‍රංශ විප්ලවයෙන් පසු මේ ප්‍රවණතාව කූටප්‍රාප්ත විය.

තොල්ස්තෝයිගේ යුද්ධය හා සාමය නවකතාවෙහි රුසියාව තුළ පැවති බටහිර සංස්කෘතියේ බලපෑම් මුළු පොත පුරා මැනවින් චිත්‍රණය කර තිබේ. නිදසුනක් දක්වමි. එම නවකතා වස්තුව ආරම්භ වන්නේ 1805 වර්ෂයෙනි. රැජනගේ පරිචාරිකාවක වන ඇනා පව්ලොව්නාගේ සන්ධ්‍යා සම්භාෂණයකට එන වාසලී කුමරු ගැන සඳහන් කරමින් තෝල්ස්තෝයි මෙසේ ලියයි: “ඔහු කතා කළේ මහත් පරිශ්‍රමයෙන් තෝරා ගත් තැනට උචිත පදමාලාවෙන් අලංකාර වූ බසිනි. අපේ මුතුන්මිත්තන් කතා කළේ පමණක් නො ව කල්පනා කළේ ද අලංකාර ප්‍රංශ බසිනි. වාසලී කුමරු ප්‍රංශ බසින් කතා කළේ රජවාසලෙහි හැදි වැඩී මහලු වියට පැමිණි ප්‍රභූවරුන්ට විශේෂ වූ මහන්තත්වකම පෙන්වීම පිණිස ඉතා සෙමෙන් උච්චාරණය කරමිනි.” (පරිවර්තනය: සිරිල් සී. පෙරේරා, පි. 2, අවධාරණය මගේ.)

මෙයින් තහවුරු වන්නේ එවක පාලක ප්‍රභූවේ චින්තනය හා සංස්කෘතිය කෙරෙහි පැවති ප්‍රංශ බලපෑම යි. වඩා සංස්කෘතික වංශාධිපතීහු වෝල්ටෙයාර්ගේ හා ප්‍රංශ විශ්වකෝෂ දාර්ශනිකයන්ගේ අනුගාමිකයෝ වූහ. ඔවුහු ප්‍රංශ බුද්ධි ප්‍රබෝධය අනුව යමින් සමාජ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටියහ. ගම්බද පෙදෙස්වල පැවති තත්වය මීට ඉඳුරා ම වෙනස් විය. බටහිර බලපෑම් ඒ පෙදෙස්වලට නොගිය තරම් විය. තමන් උපන් යැනොව්කා ගම්මානයෙහි පැවති වැඩවසම් සමාජ සම්බන්ධතා ගැන සිය ස්වයං-චරිතාපදානයේ ලා ලියෝන් ට්‍රොට්ස්කි කරන විස්තරය මේ තත්වය ගැන මනා චිත්‍රණයක් අපට ලබා දෙයි:

“පාර්ලිමේන්තු විවාදවල දෝංකාරයන්වත් රාජ්‍යතාන්ත්‍රික සිද්ධීන්ගේ දෝංකාරයන්වත් මා පළමු වරට එළිය දුටු සහ මගේ ජීවිතයේ පළමු වසර නවය (1879-1888: ලියුම්කරු)මා ගෙවා දැමූ යැනොව්කා ගම්මානය තුළ ඇසිය නොහැකි විය. ක්හෙර්සන්හි සහ මුළු දකුණු රුසියාවේ අසීමිත තැනිතලාවේ පැවතියේ තිරිඟුවල සහ බැටළුවන්ගේ රාජධානියකි. එය තමන්ගේම නීතිවලට අනුව දිවි ගෙවමින් සිටියේය. දේශපාලනයේ ආක්‍රමණයෙන් එය දෘඪතර ලෙස සුරකිනු ලැබුවේ එහි දැවැන්ත විවෘත අවකාශය සහ පාරවල් නොතිබීම මඟිනි....

“යැනොව්කාවල සිට ළඟම තැපැල් කාර්යාලයට කිලෝමීටර් 23ක් විය. දුම්රිය පාරට කිලෝමීටර් 35කට වැඩිය. එතැන් සිට ආණ්ඩුවේ කාර්යාලයට, කඩ සාප්පුවලට සහ ප්‍රජා ශාලාවට තව බොහෝ දුරය. දැවැන්ත සිද්ධීන් සිදු වූ ලෝකයට තවතවත් බොහෝ දුර ය. යැනොව්කාවේ ජීවිතය සකස් වූයේ මුළුමනින් ගොවිපළේ ශ්‍රමය වැගිරීමේ රිද්මය මඟිනි. අන් කිසිත් සැලකිල්ලට ගැනුණේ නැත. ලෝක වෙළඳපොළේ ධාන්‍ය මිල හැර අන් කිසිත් ගණන් ගැනුණේ නැත. එකල අපි ගම තුළ කිසිදු සඟරාවක් හෝ පුවත්පතක් හෝ කිසිදා නොදුටුවෙමු.” (ලියෝන් ට්‍රොට්ස්කි, මගේ ජීවිතය, පරිවර්තනය: ටී. අන්ද්‍රාදි, පි. 8, 21)

1917 විප්ලවයට පෙර රුසියානු සමාජයේ සංකීර්ණත්වය වටහා ගැනීමට මේ සාකච්ඡා මණ්ඩපය තුළ බොහෝ සෙයින් කතා කෙරුණු ඔබ්ලමෝවු නවකතාවේ රචක ගොන්චරෝව්ගේ ජීවන චරිතයෙන් හෙළි වන කරුණක් පහත දක්වමි. ඉන් දැක්වෙන්නේ සාම්ප්‍රදායික පැරණි සමාජය හා බුද්ධි ප්‍රබෝධයේ අනුහසට හසු වූ වංශාධිපතීන්ගේ ලෝකය යන ලෝක දෙක ගොන්චරෝව්ගේ චින්තනය හැඩ ගැස් වූ සැටි ය. 1830 ගණන්වල මොස්කව් සරසවියට ඇතුළත් වූ ගොන්චරොව්ගේ පන්ති සගයන් වූයේ පසු කලෙක සුප්‍රකට වූ ලෙර්මන්තෝව්, විසේරියන් බෙලින්ස්කි, ඇලෙක්සැන්ඩර් හර්සන් ආදින් ය. ඔවුහු මුලින් ෂෙලිං ද පසුව හේගල් ද අධ්‍යයනය කරනු වස් අධ්‍යයන කව සෑදූහ. මේ පිරිස හතලිහ දශකයේ මිනිස්සු වූහ. ඔවුන් පාරභෞතික සමපේක්ෂණයන් අත හැර රුසියානු ජීවිතයේ සැබෑ ගැටලු කෙරෙහි අවධානය යෙදවූහ. ලිබරල් බටහිරයන් හා ගතානුගතික ස්ලැවොෆිල්ස්වරුන් අතර ප්‍රතිවිරුද්ධ කඳවුරු අතරට ඔවුන් මැදි විය. (Milton Ehre, Oblomov and His CREATOR, The Life and Art of Ivan Goncharov)

සියලු ජාතික චින්තන නඩවලට එරෙහි ව අප කියා සිටින්නේ ඔවුන් පෙන්වන ගැමි සාමුහික භාවය සෑම වැඩවසම් සමාජයක ම නිෂ්පාදන විධික්‍රමයට සම්බන්ධිත ව ගම්වල පැන නැඟෙන්නක් බව ය. එය රුසියානු ආත්මගත සුවිශේෂී ජාතික ලක්ෂණයක් නො වේ. එමෙන් ම, ඕනෑ ම රටක ගතානුගතික ජාතික චින්තනය කරපින්නා ගත්තෝ සිටිති. එහෙත් එය මුළු රට ම අළලා ගත් ජාතික චින්තන මොඩලයක් පැවතියේ ය යන අභූතය වපුරන්නට සාධකයක් නො වේ.

ඉවක් බවක් නැති කතා

චින්තක රණසිංහ අමූලික බොරු කියයි. ඒ සඳහා ඔහු මෙහෙයවෙන්නේ රුසියානු ආධ්‍යාත්මික භාවය- සාමුහික භාවය, එසේත් නැත් නම් රුසියානු ජාතික භාවය පිළිබඳ ආචාර්ය වීරසිංහගේ හා තමන්ගේ වඳ මතය පාඨක මනසට ගිල්වීමේ අවශ්‍යතාවෙන් පමණක් නො වේ; කම්කරු පීඩිත ජනතාවගේ අරගල කෙරෙහි ම උපන් ආත්මීය ද්වේශයකින් ය. මේ බලන්න: “අර සාර් විරෝධී ඒකාධිපති විරෝධී ඒවා මේ පසුව හදපු නිකම් අර ඒ බී සී වගේ හදපු කළු සුදු චිත්‍ර. ඒවා වැරදියි. උදා විදිහට චෙරිවත්තේ ලොපකින් කියන දාසයා 1860 ගණන්වල ප්‍රවේණිදාසයින්ට දෙන නිදහස දකින්නේ මහා විනාසයක් විදියට. එයා කියන්නේ ඒ මහා බිහිසුණු සිද්ධිය කියල. එතෙන්දි ඇත්තට ම යුරෝපයේ වැඩවසම් ක්‍රමයේ තිබුණු අර පාගා දැමීම, ඉතා දරදඬු භාවය මිනිස්සු ඒකට විරුද්ධ ව කළ ස්ට්‍රගල් එක නොවේ රුසියාවෙ තිබුණෙ.”

චෙරිවත්ත නාට්‍යයේ කොතැනක වත් ලොපකින් ප්‍රවේණිදාසයන්ට නිදහස දීම විනාසයක් ලෙස දකින්නේ නැත. එවැනි දෙබසක් ඇත්තේ ම නැත. සිය පියා සහ සීයා ප්‍රවේණිදාසයන් හැටියට වලව්වේ කුස්සියට වත් වැද්ද නො ගත් නමුත් තමන්ට ඒ වලව්ව ම මිල දී ගෙන එහි අයිතිකරුවා වීමට හැකි වීම ගැන උදම් අනන ලොපකින් කෙනෙකි අපට එම නාට්‍යයේ හමු වන්නේ. ඔහු මේ බොරු උදාහරණය ගෙන එන්නේ පීඩිතයන්ගේ කිසි ම විරෝධයක් සාර් පාලනයට නො තිබුණු බව මවා පාන්නට ය. යුරෝපයේ මෙන් සාර්ගේ පාලනය දරදඬු පාලනයක් නො වන බව කියන්නට ය.

තවත් තැනක චින්තක මෙසේ කියයි: “ලෙනින් එක තැනක කියනවා අපේ මධ්‍යම කාරක සභාවේ හුඟක් ඉන්නේ ඔබ්ලමෝව්ලා. ඔහු කියන්නෙ ඉවාන් ගොන්චෙරොව්ගේ ඔබ්ලොමොව්ස්කි කියන පොතේ චරිතයක්. ලෙනින් තමන්ගේ දේශපාලන සභාව ගැන කියන කොට අර විප්ලවයෙන් පස්සෙ පිබිදුනු පුද්ගලයො ගැන කියන කොට තාමත් මේ අය අපේ මේ පාටි එක ඇතුළෙ සමාජය ඇතුළෙ ඉන්නෙ කියල කියන්නෙ ඔබ්ලොමෝව්ල.”

මෙම ප්‍රකාශයෙන් ගම්‍ය කෙරෙන කම්කරු පන්ති විප්ලවය කෙරෙහි උතුරන අවඥා සහගත භාවය නො වන්නට අපට එය නොසලකා හරින්නට පුළුවන. එහෙත් ලෙනින් කළ මුළු කතාව ම දැන ගත හොත් පාඨකයා ලෙනින්ගේ යුගයේ පැවති බෝල්ශෙවික් පාලනය කෙරෙහි බලගතු ලෙස ආකර්ෂණය වනවා ඇත. ඒ නිසා අපි එය උපුටා දක්වමු:

“මායාකවුස්කිගේ දේශපාලන කාව්‍යයක් (නිමක් නැති ව රැස්වීම්වල වාඩි වී සිටින්නෝ) මට ඊයේ කියවන්නට ලැබිණ...ඔහු තම කාව්‍යයෙහි කොමියුනිස්ට්වරුන්ගේ රැස්වීම් පැවැත්වීමේ ඇබ්බැහිකම සමච්චලයට භාජන කරමින් නිමක් නැති ව රැස්විම්වල වාඩි වී සිටීම ගැන ඔවුනට ඇනුම්පද කියයි. මෙහි කාව්‍යමය අගයක් ඇතැයි මට සහතික කොට කියන්නට බැරි ය. එහෙත් එහි එන දේශපාලන අදහස් සම්පූර්ණයෙන් ම නිවැරදි බව මට සහතික වශයෙන් කියන්නට පුළුවන...රුසියානුවන්ගේ ජීවිතය සංකේතවත් කරන ඔබ්ලමොෆ් නමැති චරිතයක් විය. ඔහු නිරන්තරයෙන් ම ඇඳේ අලස ලෙස හාන්සි වී සිතින් සැලසුම් සකසමින් කල් ගත කළේ ය. ඔහු එසේ හැසිරුණේ බොහෝ කලකට පෙර ය. රුසියාව විප්ලව තුනක් ම අත් දැක ඇත. එහෙත් ඔබ්ලමොෆ්ලා තව මත් සිටිති.

ඉඩම් හිමියන් අතර පමණක් නො වගොවීන් අතර ද, ගොවීන් අතර පමණක් නො ව ප්‍රාඥයන් අතර ද, ප්‍රාඥයන් අතර පමණක් නො ව කම්කරුවන් හා කොමියුනිස්ට්වරුන් අතර ද සිටි ඔබ්ලමොෆ්ලා තව මත් ජීවත් වෙති. රැස්වීම් පවත් වන විටත් කොමිෂන් සභා පිහිටුවන විටත් අප දෙස බලා සිටීමෙන් පැරණි ඔබ්ලමොෆ් තව මත් ජීවත් වන බව කිව හැකි ය. මිනිසකු බවට පත් කර ගැනීම සඳහා ඔහු සෝදා පිරිසිදු කොට මැද ගත යුතු ය...මේ මෝඩ වැඩ අනාසක්ත ව හා නිර්භය ව සැලකීමට අපි පුරුදු විය යුත්තෙමු.” (සුචරිත ගම්ලත්, බෝල්ශෙවික්වාදය හා සාහිත්‍යකලා, පි. 22-3)

මේ සියල්ලට ම වඩා හාසජනක කාරණය නම් චින්තක රණසිංහ මේ අවුඅස්සේ සෝවියට් සංගමයේ බිඳ වැටීමට හේතුව ගෙන හැර පෑම යි. ඔහු මෙසේ කියයි: “ලෙනින්ට සාහිත්‍යය එක්ක තියන සම්බන්ධය ඔහුගේ පසුකාලීනයන් දෙදෙනා බවට ප්‍රකට ට්‍රොට්ස්කි හා ස්ටැලින්-මේ දෙන්නා මාර්ග දෙකක ගිය දෙන්නෙක්- ඊ ට වඩා වෙනස් බවයි අපට පේන්නෙ. ලෙනින් එළඹෙන අරගලයට ඇත්තට ම දැන් ඔහුගෙ තියන විශේෂත්වය තමයි විශාල වසයෙන් ලියපු හා කතා කරපු කෙනෙක්. දේශපාලනේ යෙදෙනවා.” ඇත්තෙන් ම ට්‍රොට්ස්කි හා ස්ටැලින් ලෙනින්ට පසුකාලීනයන් දෙදෙනකු ලෙස හඳුන්වා දීම ම වැරදි ය. රුසියානු විප්ලවයට නායකත්වය දුන්නේ ලෙනින් හා ට්‍රොට්ස්කි ය. එපමණක් නො ව ලෙනින් මෙන් ම ට්‍රොට්ස්කි ද විශාල වශයෙන් ලියපු හා කතා කරපු කෙනෙකි. එපමණක් නො ව, මේ සාකච්ඡා මණ්ඩපය විසින් මුළුමනින් අමතක කර දමන ලද “සාහිත්‍යය හා විප්ලවය” නමැති කෘතිය ලීවේ ද ලියෝන් ට්‍රොට්ස්කි විසිනි. එම කෘතිය රුසියානු විප්ලවයෙන් ඉක්බිත්තේ සෝවියට් සාහිත්‍ය ක්ෂේත්‍රයේ මතු වූ ප්‍රවණතා ගැන ද බෝල්ශෙවික් පක්ෂය කලාව කෙරෙහි ගන්නා ප්‍රතිපත්තිමය ආස්ථානය ගැන ද මාහැඟි විවරණයක් කරයි. මෙම යථා තතු විකෘත කිරීම මඟින් ඔහු තමන්ට අවශ්‍ය විදියට ක්‍රීඩා කරන්නට පිටිය සකසා ගනී. දැන් ඔහු මෙසේ කියයි: “ලෙනින් දැවැන්ත චරිතය වෙන්නෙ අරගලයට නායකත්වය දීම ඇතුළෙ ම නෙමෙයි. ඒ ආධ්‍යාත්මික චින්තන ධාරාව කළමනාකරණය කරපු පුද්ගලයා හැටියට යි. ඔහුගේ ඇවෑමෙන් විශාල වශයෙන් මේක දෙකට බෙදිල යන්නෙ. ගලාගෙන ආව චින්තන ප්‍රවාහය එක මිටට ගන්න ඇති වුණ අසමත් භාවය. සාහිත්‍යය එක්ක ලෙනින්ට පැවති සබඳතාව. ඒක නැති වීම නිසා ද බිඳ වැටීම ඇති වුණේ කියලත් හිතන්න පුළුවන්.”

දැන් කතාව සම්පූර්ණ ය. සාහිත්‍යය හරහා රුසියානු ජාතික චින්තනය අල්ලා ගත් ලෙනින් මිය ගිය පසු එම ජාතික චින්තනය නිසි ලෙස කළමනාකරණය කරන්නට සාහිත්‍යය හරහා එය අල්ලා ගත් කිසිවකු නොසිටි නිසා විප්ලවයට කෙළ විය! සෝවියට් සංගමය බිඳ වැටුණේ ඒ නිසා ය! මේ න්‍යායික විගඩම හෙළි කරන්නට වචන නාස්ති කළ යුතු නැත. මේවා අසා බුද්ධිමත් ප්‍රේක්ෂකයා දෙකොනින් හිනා වනු නොඅනුමාන බැවිනි. එහෙයින් විශ්වවිද්‍යාල ඇදුරන්ගේ සෙළුව පෙන්වා දීමේ කාර්යය මෙතකින් නිමා කරමි.

සිය පරිවර්තනයන් මඟින් රටට විශාල සේවයක් කර ඇති චූලානන්ද සමරනායක දේශපාලන ඉතිහාසය හා සාහිත්‍ය විචාර ක්ෂේත්‍රයට ඇද දැමූ කල ඔහුට සිදු වූ අලකලංචිය මේ වැඩසටහනේ දී අපි දුටුවෙමු. සෝවියට් සාහිත්‍යය ගොඩනැඟුණේ රුසියානු සාහිත්‍යයේ අත්තිවාරම මත බව ඔහු කියයි. ඊට වැඩිමනත් ව අපට මෙසේ කිව හැකි ය: රුසියානු සාහිත්‍යය පමණක් නො ව ශේක්ස්පියර්, බල්සාක් හා ගොතේ ආදින්ගේ සමස්ත අතීත ලෝක සංස්කෘතිය මත තිරසර ව දෙපා තබා ගනිමිනි සෝවියට් සාහිත්‍යයේ නව දිශාවනතිය සාක්ෂාත් කර ගැනීමේ මාවත පාදාගත යුතු වූයේ. එහෙත් මෙය පහසු සරල කර්තව්‍යයක් නො වේ. එම කර්තව්‍යයේ බරපතළකම ඉහතින් සඳහන් කෙරුණු “සාහිත්‍යය හා විප්ලවය” කෘතියේ මෙසේ මතු කර තිබේ:

“1917 ඔක්තෝබර බෝල්ශෙවික් විප්ලවය පෙරළා දැමූයේ කෙරෙන්ස්කි ආණ්ඩුව පමණක් නො වේ. එය පෞද්ගලික දේපොළ මත පිහිටා සිටි මුළුමහත් සමාජ පද්ධතිය ම පෙරළා දැමී ය. මේ පද්ධතියට තමාගේ ම සංස්කෘතිය ද තමාගේ ම නිල සාහිත්‍යය ද තිබුණේ ය. එහි බිඳ හැළීම පූර්ව-විප්ලවීය සාහිත්‍යයේ ද බිඳ හැළීම නො විය හැක්කේ නො වේ.” (ට්‍රොට්ස්කි, සාහිත්‍යය හා විප්ලවය, පරිවර්තනය: සුචරිත ගම්ලත්, පි.59)
විප්ලවයෙන් පසු පැන නැඟුණේ නව සමාජ පද්ධතියකි. වේගයෙන් වෙනස් වන නව සමාජ සම්බන්ධතා ජාලයකි. ඒ මධ්‍යයෙහි කලාකාර බුද්ධිජීවින් මුහුණ දුන් යථා තතු ට්‍රොට්ස්කි මෙලෙස පැහැදිලි කරයි:

“20 වෙනි සියවස ආරම්භ වෙද්දී නැඟුණු පූර්ව විප්ලවිය රැළි මාලාව, 1905 අසාර්ථක වු පළමු විප්ලවය, ඉන් පසු ඇරඹුණු ප්‍රතිවිප්ලවයේ ආතතියෙන් යුතු නමුදු අස්ථිර සමතුලිතතාව, යුද්ධය පුපුරා ඒම, 1917 මාර්තු පූර්විකාව, ඔක්තෝබර මහා නාටකය- මේ සියල්ල තාප්පමෝලකින් තළන කලෙක මෙන් තදිනුත් නො කඩවාත් බුද්ධිජීවී ගණයාට පහර දුනි. කරුණු ස්වීකරණය කොට ගෙන, ඒවා සංකල්පරූප ලෙස ප්‍රතිනිර්මාණය කොට මේ සංකල්පරූප සඳහා වචනමය ප්‍රකාශන සොයා ගැනීමට කාලය කොහි වී ද? බ්ලොක්ගේ දොළහ යන කාව්‍යයත් මායාකොව්ස්කිගේ කෘති කිහිපයකුත් තිබෙන බව සැබවි. ඒවා ද යම් දෙයකි- ඉඟියකි- සාමාන්‍ය සුළු තැන්පතුවකි. එහෙත් එය ඉතිහාසය නමැති ගිණුමෙන් කෙරෙන ගෙවුමක් නො වේ! ගෙවීමක ආරම්භයක් පවා නො වේ.” (එම, පි.64)

එහෙත් කලාවේ මෙම ඉදිරි ගමනට සමාජ සත්තා යථාර්ථවාදය නමැති ස්ටැලින්වාදී කලා ආඥාව හරස් වූ හැටි දෙවන ලිපියෙන් අපි කතා කර ඇත්තෙමු.

අවසාන වශයෙන් චූලානන්ද සමරනායක ඉදිරිපත් කළ සෝවියට් සාහිත්‍යයේ සාමූහික මිනිසා ගැන පළ කළ අදහස සාකච්ඡා කිරීම වටී. ඔහු මෙසේ කී ය: “වැදගත් ම දේ සෝවියට් සාහිත්‍යයෙන් අපේක්ෂා කළ දෙය යි. ඒ සාමූහිකත්වයෙන් යුතු මිනිසකු ගොඩනැඟීම. දව්දිව්, දුයිශෙන්, පාවෙල් සාමුහිකත්වයෙන් වැඩ කළ මිනිසා.” සමාජවාදී සිතැති ඔහු මෙවැනි රොමැන්ටික් පරමාදර්ශී චරිතයන් කෙරෙහි ආකර්ෂණය වීම අපට තේරුම්ගත හැකි ය. එහෙත් මේ චරිත මඟින් ස්ටැලින්වාදී නිලධාරී තන්ත්‍රයේ යථා ස්වභාවය විකෘත කෙරේ නම්, එම චරිත හැඩ ගස්වනු ලැබ ඇත්තේ සමාජ සත්තා යථාර්ථවාදය නමැති දඬු අඬුවෙහි මිරිකෙමින් නම් එම චරිත අමු ම අමු ව්‍යාජයෝ වෙත්. ට්‍රොට්ස්කි කියන පරිදි: “විප්ලවයේ කලාව සමන්විත වන්නේ කිසි සේත් ම සත්‍යය නො දැකීමෙන් හෝ පරිකල්පනයේ ප්‍රයත්නයෙන් දෘඪ යථාර්ථය තමා ම සඳහාත් තමාගේ ම පරිහරණය සඳහාත් “ගොඩනැඟී එන ජනප්‍රවාදය” නමැති ග්‍රාම්‍යත්වයට පෙරළීමෙන් හෝ නො වේ....උදාර පරමාදර්ශයක නාමයෙන් කම්කරු විප්ලවය පිළිගැනීමේ අර්ථය වන්නේ එය ප්‍රතික්ෂේප කිරීම පමණක් නො ව එයට අවලාද නැඟීමක් ද වේ. ආගම, කාව්‍යය, සදාචාරය හෝ දර්ශනවාදය තුළ මානව සංහතිය යම් මායාවන් ගැන දොඩවා ඇත් නම් ඒ සියල්ලෙන් සිදු වූයේ පීඩිත ජනතාව රැවටීම හා අන්ධ භාවයට පත් කිරීම යි. සමාජවාදී විප්ලවය “මායාවන්ගේ” ද “ඉහළ නැංවීමෙහි” ද එමෙන් ම නිග්‍රහකාරී රැවටිලිවල ද වහන්තරාව ඉරා වීසි කොට යථාර්ථයේ සැරසිලි සායම් ලෙසින් සෝදා හරී.”

Write your text here...

2020 ජූලි 4

මේ 2020 මැයි 19 දා චරණ නාලිකාවේ විකාශය වූ ලිවිසැරි ප්‍රේමය: සෝවියට් සාහිත්‍යය වැඩසටහනෙහි දී කෙරුණු සාකච්ඡාව අරභයා ලියැවෙන ලිපි පෙළේ අවසාන ලිපිය යි. රුසියානු විප්ලවයෙන් ඇති වූ පාලනය සාර් පාලනයේ ම දිගුවක් ලෙසට ගුණාංගීකරණය කළ ආචාර්ය ටියුඩර් වීරසිංහගේ ප්‍රතිගාමී ප්‍රවාදය ගැන මම පළමු ලිපියෙන් සාකච්ඡා කළෙමි. සාකච්ඡා මණ්ඩපයේ සිටි තිදෙනා ම 1917-1991 දක්වා කාලය තුළ සෝවියට් සංගමය තුළ සිදු වූ බරපතළ දේශපාලනික පරිවර්තනයන් ...

2020 ජූනි 19

2020 මැයි 19 දා චරණ නාලිකාවේ විකාශය වූ ලිවිසැරි ප්‍රේමය: සෝවියට් සාහිත්‍යය වැඩසටහනෙහි රුසියානු විප්ලවයේ ඉතිහාසය සම්බන්ධයෙන් කළ විකෘතිකරණය රුසියානු විප්ලවයේ ඉතිහාසය ආචාර්ය ටියුඩර් වීරසිංහ විකෘති කරයි යන පළමු කොටසින් හෙළිදරව් කළෙමි. මෙම දෙවන කොටස ලියන්නේ සාකච්ඡා මණ්ඩපයේ විද්වතුන් තිදෙනා විසින් සෝවියට් සංගමයේ ඉතිහාසය හා සෝවියට් සාහිත්‍යය ගැන ප්‍රේක්ෂක ජන සමූහයා තුළ ඇති කළ ව්‍යාකුලත්වය තුරන් කිරීමේ අටියෙනි.

2020 ජූලි 4

2020 මැයි 19 දා චරණ නාලිකාවේ විකාශය වූ ලිවිසැරි ප්‍රේමය වැඩසටහනෙහි මාතෘකාව වූයේ සෝවියට් සාහිත්‍යය යන්න යි. එම සාකච්ඡාවට සහභාගී වූවෝ කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය ටියුඩර් වීරසිංහ, කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය චින්තක රණසිංහ සහ සාහිත්‍යවේදී චූලා සමරනායක යන තිදෙනා වෙති. (මෙම සම්පූර්ණ සාකච්ඡාව යූටියුබ්හි Charana Tv Livisari Premaya සෝදිසි කිරීමෙන් බැලිය හැකි ය.) අප මෙම ලිපියෙහි පළමු කොටසින්...​

ඔබගේ අදහස් අපට එවන්න.