සෝවියට් සංගමයේ ඉතිහාසය හා සෝවියට් සාහිත්‍යය. (දෙවන කොටස)

(​පළමු කොටස | දෙවන කොටස | තෙවන කොටස

​2020 ජුනි 15

2020 මැයි 19 දා චරණ නාලිකාවේ විකාශය වූ ලිවිසැරි ප්‍රේමය: සෝවියට් සාහිත්‍යය වැඩසටහනෙහි රුසියානු විප්ලවයේ ඉතිහාසය සම්බන්ධයෙන් කළ විකෘතිකරණය රුසියානු විප්ලවයේ ඉතිහාසය ආචාර්ය ටියුඩර් වීරසිංහ විකෘති කරයි යන පළමු කොටසින් හෙළිදරව් කළෙමි. මෙම දෙවන කොටස ලියන්නේ සාකච්ඡා මණ්ඩපයේ විද්වතුන් තිදෙනා විසින් සෝවියට් සංගමයේ ඉතිහාසය හා සෝවියට් සාහිත්‍යය ගැන ප්‍රේක්ෂක ජන සමූහයා තුළ ඇති කළ ව්‍යාකුලත්වය තුරන් කිරීමේ අටියෙනි.

සාකච්ඡා මණ්ඩපයේ බරපතළ ම දෝෂය වූයේ ඒ හැම දෙනා ම 1917 රුසියානු විප්ලවයේ පටන් සෝවියට් සංගමය බිඳ විසුරුවා හැරුණු 1991 දක්වා කාල පරිච්ඡේදය එක ම මුලධර්ම පද්ධතියක් යටතේ මෙහෙය වුණු තනි සමස්තයක් ලෙස සැලකීම යි.

එම පාලනය මාක්ස්වාදය සමඟ මෙලෝ සම්බන්ධයක් නැතැයි කියන තුන්කට්ටුවකින් ඊට එහා දෙයක් බලාපොරොත්තු විය නො හැකි ය. කොටින් ම ස්ටැලින්වාදයේ පැන නැඟීම නිසා සෝවියට් සංගමය අතිමූලික වශයෙන් එකිනෙකට ප්‍රතිවිරුද්ධ මූලධර්මයන් දෙකක් මත මෙහෙයවුණු යුග දෙකක් බවට පරිවර්තනය වූයේ ය යන අතිමූලික සත්‍ය කාරණාව පැහැදිලි ව කිසිවකු මතු කළ නැත. මෙය හුදු දේශපාලන කාරණාවක් පමණක් නො වේ. එම මූලධර්මාත්මක වෙනස සෝවියට් සංගමයෙහි සිටි කලාකරුවන්ගේ ජීවිතවලට මෙන් ම පශ්චාත් විප්ලවීය කලාවේ ස්වභාවය කෙරෙහි ද සහමුලින් බල පෑ වෙනසකි. එහෙත් ආචාර්ය වීරසිංහ හා චූලා සමරනායක ඒ ගැන එක වචනයක් කීවේ නැත. චින්තක රණසිංහ මේ සා වැදගත් බෙදුම්කඩනය සම්බන්ධයෙන් ඊට උචිත අවධාරණය නො දී ඔහු කියූ ආරලුබූරලු අතරේ ලාවට ගාවා ගෙන ගියේ ය: “අයිත්මාතව්ගේ තාත්තා සෝවියට් පාලනය ප්‍රශ්න කිරීම නිසා දණ්ඩනයට ඝාතනයට ලක් වෙනවා. තාත්තා ස්ටැලින්ගේ පාලනයට විරුද්ධ වුණු පැරණි රුසියානුවෙක්. එතනත් භේදයක් තියනවා. ඒක තමයි රුසියන් විප්ලවය වුණාට පස්සෙ යම් පිරිසක් බලය ගත්තහම පැරණිතම බෝල්ශෙවික්වාදීන් සහ ඔවුන් අතර ගැටුමක් ඇති වෙනවා.

පැරණිතම බෝල්ශෙවික්වාදීන් වෙනස්. ගම්ලත් පරිවර්තනය කරල තියනව මොස්කව් නඩු විභාගය කියල පොතක්. ඉන් එළිදරව් වෙන්නෙ ඇතුළේ ඇති වෙච්ච අර්බුදය.” මෙයාකාරයෙන් ස්ටැලින්වාදය පිළිබඳ ප්‍රශ්නය නිශ්චිත ව නොගෙන මඟ හැරීමෙහි අවසන් ඵලය වූයේ සෝවියට් සාහිත්‍යයේ ඉරණම පිළිබඳ උඩින්මත්තෙන් කළ කතාබහක් මැද ප්‍රේක්ෂකයා අතරමං වීම ය. මන්ද මෙම දේශපාලන පරිවර්තනයෙහි සන්දර්භයෙන් බැහැර ව පොදුවේ සෝවියට් සාහිත්‍ය කලාවන් මුහුණ දුන් යථා තතු වටහාගත නො හැකි හෙයිනි. එහෙයින් ඔවුන් සිය සාකච්ඡාවේ දී මඟ හැර ගිය දේශපාලන සන්දර්භයත් ඒ මත සෝවියට් සාහිත්‍යයට අත් වූ ඉරණමත් කෙටියෙන් විමසා බලමු.

අප කලින් සඳහන් කළ ලෙස 1917-1991 දක්වා වූ කාල පරිච්ඡේදය යුග දෙකකට බෙදෙයි: ලෙනින් නායකත්වය දැරූ 1917-1924 කාල පරිච්ඡේදය එකකි; අනෙක ස්ටැලින් හා ඔහුගේ දේශපාලනික දරු මුණුපුරන් නායකත්වය දැරූ 1924-1991 කාල පරිච්ඡේදය යි. ලෙනින්ගේ අවධියේ පාදක මූලධර්මය වූයේ කම්කරු පන්ති ජාත්‍යන්තරවාදය යි. රුසියාවේ සමාජවාදයේ ඉරණම නිශ්චිත ව ම යුරෝපීය දියුණු ධනේශ්වර රාජ්‍යයන්ගේ - විශේෂයෙන් ජර්මනියේ- සමාජවාදී විප්ලවයේ සාක්ෂාත් වීම මත රඳා පවතින බව ලෙනින් හා ට්‍රොට්ස්කි යන දෙදෙනාගේ ම අදහස විය. සමාජවාදය කිසිදු තනි රටක් තුළ සාක්ෂාත් කර ගත නොහැකි ය යන බලගතු ඒත්තු ගැනීම ඒ පිටුපස තිබුණි. ලෙනින් 1919 තුන් වැනි ජාත්‍යන්තරය පිහිටු වූයේ එම අවබෝධයෙනි. එහෙත් තව මත් කම්කරු පන්තිය තුළ සැලකිය යුතු බලපෑමක් අත් කර ගෙන සිටියේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් ය. ඔවුන් 1914 ලෝක යුද්ධාරම්භයේ දී තමතමන්ගේ රටවල ධනපති පාලක පන්තීන්ගේ පැත්ත ගෙන යුද වියදම්වලට පක්ෂ ව ඡන්දය දෙමින් කම්කරු පන්තිය පාවා දී තිබිණි. ඔවුන්ගේ ද්‍රෝහී පාවාදීම්වල ප්‍රතිඵලයක් වශයෙන් 1918 ජර්මනියෙන් පටන් ගෙන හන්ගේරියාව, බල්ගේරියාව, ඉතාලිය ආදි රටවල පැන නැඟි කම්කරු පන්ති විප්ලවයන්ට දරුණු පරාජයන් මාලාවකට මුහුණ දීමට සිදු විය.

මෙම පරාජයන් පසුගාමී වූත් ද්‍රව්‍යමය සම්පත් ඌන වූත් අන්ත දරිද්‍රතාවේ පසු වූත් සෝවියට් සංගමය දේශපාලනික වශයෙන් හා ආර්ථික වශයෙන් හුදෙකලා කරන්නටත් අධිරාජ්‍යවාදී බලපෑම් තීව්‍ර වීමටත් තුඩු දුන්නේ ය. එතතු කම්කරු රාජ්‍යය තුළ ප්‍රතිවිරෝධතාවන් වර්ධනය කළේ ය. ආචාර්ය ටියුඩර් වීරසිංහ “සියලු ම ප්‍රශ්න මිනිස්සුන්ගෙ විසඳෙන්නෙ රාජ්‍යය හරහා. අපිට තියන ප්‍රශ්න එකක් වත් ඒ මිනිස්සුන්ට තිබුන් නෑ. ඒ ප්‍රශ්න බාර අරගෙන තිබුණෙ රජය. ඒක වෙන ම ලෝකයක්. අපි කොහොම ද තේරුම් ගන්නෙ වෙළෙඳ පොළක් නෑ කිව්වහම. රස්සාවක් නැති මිනිස්සුත් නෑ. සියල්ල නොමිලෙ. ඒක අවුරුදු 100කට ආසන්න (කාලයක්) විතර තිබුණා” යනුවෙන් කියමින් ඔහු ම කියන පරිදි “සුරංගනා කතාවක් බඳු” යැයි කෙනකුට සිතෙනු හැකි සමාජයක් පිළිබඳ ව අඳින වර්ණවත් චිත්‍රය මනස්ගාතයකි. 1917 රුසියානු විප්ලවය විසි වන සියවසේ මානව වර්ගයා ලැබූ විශිෂ්ටතම ඓතිහාසික ජයග්‍රහණයක් බව ඇත්ත ය. එහෙත් විදුලි ඇණයක් එබූ කලෙක මෙන් විප්ලවය කළ සැණින්- කම්කරු පන්තිය රාජ්‍ය බලය අතට ගත් සැණින් - සමාජවාදය සාක්ෂාත් වී මිනිසුන්ගේ සියලු ප්‍රශ්න දූරිංභූත ව යති යි සිතීම හාස්‍යජනක ය. විප්ලවයෙන් සිදු වුණේ නිර්ධන පන්ති ජාත්‍යන්තරවාදී ක්‍රියාමාර්ගයන් හා පිළිවෙත් හරහා සමාජවාදය සාක්ෂාත් කර ගැනීමට යන ගමන සඳහා ආරම්භක පදනම දැමීම පමණි.

ළදරු සෝවියට් රාජ්‍යය තුළ පැන නැඟි මූලික ප්‍රතිවිරෝධතාවක් වූයේ කම්කරු රාජ්‍යයට පොදු දේපළ ක්‍රමය ආරක්ෂා කරන අතරේ ම රට තුළත් ජාත්‍යන්තර වත් ඔවුන් මුහුණ දුන් කොන්දේසි යටතේ තව මත් බෙදාහැරීමේ යාන්ත්‍රණයේ ස්වභාවය ධනවාදී ආකාරයකට ගෙන යාමට සිදු ව තිබීම යි. මෙහි දී කිසිදු අසාර දර්ශනයකට ඉඩක් නැත. නිවැරදි ක්‍රියාමාර්ගික පිළිවෙත්වලින් සන්නද්ධ බෝල්ශෙවික් නායකත්වයේ මෙහෙයවීමෙන් මෙම ප්‍රතිවිරෝධයන් ජයගත හැකි ව තිබිණ. මෙම ප්‍රතිරෝධයේ ඵලයක් වශයෙන් සෝවියට් රාජ්‍යය හා බෝල්ශෙවික් පක්ෂය තුළ නිලධාරී තන්ත්‍රයක පැන නැඟීම සිදු විය. 1923 දී ම ඒ පිළිබඳ ව සවිඥානක වූ ලියෝන් ට්‍රොට්ස්කි එහි අනතුර පෙන්වා දුන්නේ ය. 1924 ලෙනින්ගේ අභාවයෙන් පසු බලයට පත් වූ ජෝසෆ් ස්ටැලින් ක්‍රමයෙන් මේ නිලධාරී තට්ටුවේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටින්නා බවට පත් විය. ඔහු බුඛාරින් සමඟ එක් ව “තනි රටේ සමාජවාදය” යනුවෙන් හැඳින්වෙන පිළිවෙත ඉදිරියට දැම්මේ ය. ඉන් අදහස් කෙරුණේ තනි රටක් තුළ සමාජවාදය සාක්ෂාත් කර ගත හැකි ය යන්න යි. මේ අනුව ලෙනින් යටතේ මෙතෙක් පැවති කම්කරු පන්ති ජාත්‍යන්තරවාදී පිළිවෙතින් ස්ටැලින් දූරස්ථ විය. ඔහු පාදක වූයේ මාක්ස්වාදයට සපුරා විරුද්ධ “ජාතික සමාජවාදය” නම් මූලධර්මය මත ය.

මෙම ප්‍රති-මාක්ස්වාදී ක්‍රියාමාර්ගයට එරෙහි ව බෝල්ශෙවික් පක්ෂය තුළ ම ලියෝන් ට්‍රොට්ස්කිගේ නායකත්වයෙන් වාම විපාර්ශ්වයක් ගොඩනැඟිණ. එය නිලධර තන්ත්‍රයට විරුද්ධ ව සටන් වැදුණේ කම්කරු පන්ති ජාත්‍යන්තරවාදී ක්‍රියාමාර්ගයන් යටතේ ය. එහෙත් ස්ටැලින්වාදී ක්‍රියාමාර්ග හා පිළිවෙත් ජාත්‍යන්තර කම්කරු පන්තියේ විනාශයට තුඩු දුනි. බ්‍රීතාන්‍ය වෘත්තීය සමිති සමඟ අවස්ථාවාදී සම්බන්ධයක් ගොඩනඟා ගැනීමට බ්‍රීතාන්‍ය කොමියුනිස්ට් පක්ෂයට උපදෙස් දුන් ස්ටැලින්වාදී ක්‍රියාමාර්ගය 1926 බ්‍රීතාන්‍යය මහා වැඩවර්ජනය පාවා දීමට ක්‍රියා කළේ ය. 1927 දී ධනපති ක්වෝමින්ටෑනයට එක් වීමට චීන කොමියුනිස්ට් පක්ෂය මෙහෙය වීම චියැං කායි ෂෙක්ගේ ධනපති හමුදාවන් අතින් චීන කොමියුනිස්ට් පක්ෂය සමූලඝාතනයට ලක් වීමට හේතු විය. මේ තතු යටතේ ස්ටැලින් පක්ෂ අභ්‍යන්තර අරගලයට ප්‍රතිචාර දැක්වූයේ වාම විපාර්ශ්වයේ නායකයන් අත්අඩංගුවට ගනිමින් හා පිටුවහල් කිරීම් මඟිනි. 1929 දී ට්‍රොට්ස්කි ප්‍රින්කිපෝ දුපතට පිටුවහල් කෙරිණි. ජර්මනියේ ෆැසිස්ට්වාදී අනතුර වැඩෙත් ම එහි සිට ට්‍රොට්ස්කි ජර්මානු කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයන්ට යෝජනා කළේ ස්ටැලින්වාදී පිළිවෙත් ආපසු හරවමින් සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් සමඟ එක් ව මුළුමහත් කම්කරු පන්තියේ එක්සත් පෙරමුණු ක්‍රියාමාර්ගයක් හරහා ෆැසිස්ට් ව්‍යසනය පරාජය කර ගැනීමට නැඟී සිටින ලෙස ය. එහෙත් ඊට එරෙහි වූ ස්ටැලින්ගේ පිළිවෙත් 1933 හිට්ලර් බලයට ගෙන ඒමටත් අනතුරු ව පැන නැඟි මහා ජන ඝාතනයටත් හේතුභූත විය.

එහි දී ස්ටැලින්වාදී පාලන තන්ත්‍රය තවත් දකුණට පැද්දුණි. ධනපති රාජ්‍යයන් සමඟ සහයෝගීතාවට තල්ලු වීමත් ඊට සම්බන්ධිත ව රට තුළ රාජ්‍ය මර්දනය තීව්‍ර වීමත් එක වර සිදු විය. සිය පාලනයට විරුද්ධ විය හැකි යැයි සිතෙන සියලු දෙනා ට්‍රොට්ස්කිවාදීන් ලෙස සලකා මුළුමනින් විනාශ කර දැමිණ. වධ කඳවුරු තුළ ගාල් කෙරිණ. (ඉතා සංක්ෂිප්ත ව දැක්වූ මේ ඉතිහාස කාරණා ගැන පුළුල් අවබෝධයක් සඳහා ලියෝන් ට්‍රොට්ස්කිගේ පාවා දුන් විප්ලවය-පරිවර්තනය සේපාල විජේසේකර, මැක්ස් ෂැට්මන්ගේ 1936 මොස්කව් හොර නඩු පිටුපස- පරිවර්තනය සුචරිත ගම්ලත්, ලියෝන් ට්‍රොට්ස්කිගේ New Course පොත් අධ්‍යයනය කරන්න)

ලෙනින්ගේ යුගය හා සාහිත්‍යය කලා

සාකච්ඡාවේ මාතෘකාව වූ සෝවියට් සාහිත්‍යය සම්බන්ධයෙන් ගත් කල්හි ඒ කෙරෙහි මේ අවධි දෙකෙහි දැරූ ආකල්පය අහසට පොළොව මෙන් වෙනස් විය. මේ පිළිබඳ නිදසුන් සහිත දිගු විස්තරයක් සඳහා සුචරිත ගම්ලත්ගේ බෝල්ශේවික්වාදය හා සාහිත්‍යකලා පොත බලන්න. ලෙනින් යුගයේ දී කලාකරුවන්ගේත් කලාවෙහිත් වර්ධනයට අප්‍රමාණ අත දීමක් සිදු විය. ලෙනින් නායකත්වය දුන් නිර්ධන පන්ති ආඥාදායකත්වය පැවති සමයේ කලාව සම්බන්ධයෙන් දැරූ ආස්ථානය ලෙනින් පැහැදිලි කළේ මෙසේ ය: “විප්ලවය මෙතෙක් බන්ධන අඩස්සියේ සිර වී සිටි සියලු ම බලවේග මුදවා හැර ඒවා සැඟවුණු පතුලෙන් මතු පිටට ගෙන එයි. ...පුද්ගලික දේපොළ ක්‍රමය පදනම් වූ සමාජයෙහි කලාකරුවා කලා කෘති නිපදවන්නේ වෙළඳ පොළ සඳහා ය...අපගේ විප්ලවය කලාකරුවන් මේ ග්‍රාම්‍ය වූ තත්වයේ ග්‍රහණයෙන් මුදවා ගත්තේ ය. තව ද එය රජය ඔවුන්ගේ ආරක්ෂකයා බවට ...පත් කළේ ය. සෑම කලාකරුවෙකුට මත් තමා කලාකරුවෙකැයි සිතන ඕනෑ ම කෙනෙකුටත් දැන් නිදහසේ කලා නිර්මාණ කරන්නටත් අන් සෑම දේ ම නො තකා තම අභීෂ්ටාර්ථය (අභිමතාර්ථය-ජ.පි) අනුගමනය කරන්නටත් අයිතිය ඇත.” (බෝල්ශේවික්වාදය හා සාහිත්‍යකලා, සුචරිත ගම්ලත්, පි. 8)

මේ කාලයේ දී බෝල්ශෙවික් ආණ්ඩුව කිසි විටකත් තමන්ගේ මත හා අදහස් කලාකරුවන් මත පැටවීමට උත්සාහ නො ගත්තේ ය. කලා ක්ෂේත්‍රය පක්ෂයේ අණ මඟින් මෙහෙයවන ක්ෂේත්‍රයක් නොවන බව බෝල්ශෙවිකයෝ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළහ. ඔවුන් කීවේ කලා ක්ෂේත්‍රය සුරැකීමටත් ඊට සහාය වීමටත් පමණක් පක්ෂයට හැකි බව ය. විප්ලවයට එරෙහි නාට්‍ය පවා ඔවුන් වාරණය කරන්නට ගියේ නැත. ඔවුහු අතීත මානව සංස්කෘතික ජයග්‍රහණ සියල්ල ආරක්ෂා කළහ. නව සංස්කෘතිය ගොඩනැඟිය හැක්කේ අතීත මානව සංස්කෘතියේ උරුමය මත බව බෝල්ශෙවිකයන්ගේ අදහස විය.

ස්ටැලින්ගේ යුගය හා සාහිත්‍ය කලා

ස්ටැලින්වාදී නිලධාරී තන්ත්‍රයේ ආධිපත්‍යය වැඩෙත් ම විප්ලවයෙන් පසු පූර්ණ නිදහසින් යුතු ව කලාකරුවන්ට පැවති හිතකර වාතාවරණය මැකී ගියේ ය. යට කී නිදහස තවදුරටත් වළ දමමින් 1934 අගෝස්තු 17 දින පැවති සෝවියට් ලේඛකයන්ගේ ප්‍රථම සම්මේලනයේ දී කලාව සම්බන්ධයෙන් නිල පිළිවෙතක් හඳුන්වා දෙන ලද්දේ ය. කොටින් ම කලා ක්ෂේත්‍රය පක්ෂයේ අණ මඟින් මෙහෙයවන ක්ෂේත්‍රයක් බවට පරිවර්තනය කෙරිණ. සෝවියට් ලේඛකයන් හා කලාකරුවන් සියලු දෙනා නිර්මාණකරණයේ යෙදිය යුතු වූයේ සමාජවාදී යථාර්ථවාදය නම් වූ නිල රීතිය අනුගමනය කරමිනි. මෙම නිල රීතිය මඟින් අවසානයේ දී කෙටියෙන් කීවොත් කලාකරුවන්ට අණ කෙරුණේ ස්ටැලින්වාදී නිලධාරී තන්ත්‍රය සමාජවාදය සාක්ෂාත් කරන හැටිත් එහි මහිමාවත් කලා නිර්මාණ මඟින් නිරූපණය කරන ලෙස ය.


නිලධරයට ආ නොවඩන කෘති වාරණයටත් 1936න් පටන් ගත් භීෂණය යටතේ එසේ නොවන සියලු කලාකරුවන් මරා දැමීමටත් අතුරුදන් කිරීමටත් නිලධරය පියවර ගත්තේ ය. මේ අවධියේ රුසියානු ඉතිහාසය මුළුමනින් මුසාකරණය කෙරිණ. රුසියානු විප්ලවයේ ඉතිහාසයෙන් ට්‍රොට්ස්කිගේ කාර්යභාරය එක්කෝ ඉවත් කෙරිණ; නැත් නම් විකෘති කෙරිණ. තරුණ පරපුර අධ්‍යාපනගත කරන ලද්දේ නිලධාරී තන්ත්‍රයට අවශ්‍ය පරිදි අලුතෙන් ලියන ලද ඉතිහාසයකිනි.

ලිපියේ පළමු කොටස නිමා කිරීමට පෙර, සාකච්ඡා මණ්ඩපයේ සිටි අනෙක් දෙදෙනා මෙම ප්‍රවාදය කෙරෙහි දැක්වූ ප්‍රතිචාරය සංක්ෂිප්ත ව හෝ සලකා බැලීම අවශ්‍ය ය. කථිකාචාර්ය චින්තක රණසිංහ මේ ප්‍රතිගාමී බහුබූත ප්‍රවාදය බදා වැලඳ ගෙන ආචාර්ය වීරසිංහ සරණ ගියේ ඉමහත් ප්‍රහර්ෂයකිනි. ඔහු එය අර්ථ ගැන්වූයේ ලෝකයේ මෙතෙක් කල් මතු නොකරපු “හංගපු කොටස” ලෙසිනි. ඒ අනුව, ආචාර්ය ටියුඩර් වීරසිංහ විප්ලවයෙන් වසර 103ක් ගිය තැන මෙච්චර කල් හංගපු කොටස එළියට දමා ඇත! ආචාර්යවරයා පළමු උපාධියේ සිට ම රුසියාවේ උගත් සියල්ල ඇහින් දැකපු විඳපු කෙනකු බව කියමින් ආචාර්ය වීරසිංහගේ විවරණයට විශාල මුක්කු බලයක් දීමට ද චින්තක අමතක කළේ නැත.

හදිසියේ සිය අතට පත් ටියුඩරියානු රාමුවෙන් ඇස් ගිනිකණ වැටී එය සනාථ කරනු වස් එහෙන් මෙහෙන් කරුණු ගොනු කරන්නට ගිය ඔහුට සෝවියට් ඉතිහාසයේ බොහෝ දෑ අමතක ව ගිය අයුරු ඉදිරි කොටස්වලින් අනාවරණය කෙරේ.

සාහිත්‍යවේදී චූලා සමරනායක මේ බහුබූත ප්‍රවාදය ඇතුළු විකෘතකරණයන් සියල්ල තමන්ට නෑසුණු නියායෙන් මුනිවත රැක්කේ ය. ඔහු ඊට එරෙහි ව එක වචනයකුදු පිට නොකළා පමණක් නො ව, එක් තැනක දී “රුසියානු සාහිත්‍යය, මාක්ස්වාදී දේශපාලන ධාරාව දන්න අපට වඩා වාසනාවන්ත කෙනෙක් තමයි ආචාර්ය ටියුඩර්” යැයි කියමින් වක්‍ර ලෙස ආචාර්ය ටියුඩර් වීරසිංහගේ “බහුබූතයට” ඉහළ වටිනාකමක් ප්‍රදානය කරමින් ප්‍රේක්ෂකයා ඊට බිලි දෙන්නට සම්මාදම් විය.

අවුලේ ඵල

සෝවියට් සංගමය තුළ පැන නැඟුණු ඉහත විස්තර කළ යෝධ පරිවර්තනයට දෑස් වසා ගත් සාකච්ඡා මණ්ඩපය ප්‍රේක්ෂකයා ව්‍යාකුලත්වයට හෙළමින් අතිශයින් පරස්පර අදහස් වරින් වර පළ කළේ ය. කථිකාචාර්ය චින්තක රණසිංහ මෙසේ කීය: “ලේඛකයන්ට ප්‍රශ්න තිබුණෙ නෑ සෝවියට් දේශයේ. ඔවුන් ලියන අය. ඔවුන්ට තිබුණෙ ලියන්න. ලියන්න පහසුකම් සැපයෙනව.” මෙවැනි ප්‍රකාශ අතිශයින් දියාරු ය. කලින් පැහැදිලි කළ ලෙස, ප්‍රකාශන නිදහස සම්බන්ධයෙන් ගත් විට එය සත්‍ය වන්නේ ලෙනින්ගේ යුගයට පමණි; ස්ටැලින්ගේ යුගයේ දී එවැනි ප්‍රකාශන නිදහසක් තිබුණේ නැත. එම යුගයේ පැවතියේ වාරණය, ඝාතනය හා වධ කඳවුරු ය. එහෙයින් චින්තකගේ සමතලා ප්‍රකාශන ප්‍රේක්ෂකයන් අලාමුලා කර දමයි. අනික මුල් යුගයේ දී ද ලේඛකයන්ට හා කලාකරුවන්ට ප්‍රශ්න නොතිබුණා නො වේ. ප්‍රශ්න තිබුණි. කඩදාසි හිඟය, අහර හිඟකම, නිර්මාණයන්ට අවශ්‍ය ද්‍රව්‍යමය පහසුකම් නැතිකම තිබුණි. අන්ත දරිද්‍ර පසුගාමී රාජ්‍යයක එම ඉලක්ක ජයගත හැකි වූයේ සීමිත ව ය. දැරිය නොහැකි තරම් ප්‍රතිගාමී ආස්ථාන කරා ඔහු කඩා වැටෙයි. ස්ටැලින්ගේ මර්දනය ගැන යන්තමින් සඳහන් කරන ඔහු මෙසේ කියයි: “අනෙක් පැත්තෙන් ඒ මර්දනය කරන්නෙත් පාලනය පවත්ව ගෙන යන්න. මුළු ලෝකය ම පහර දෙනව නෙ. ඒ පැත්තත් සාධාරණ යි.” ස්ටැලින්වාදී තන්ත්‍රයේ ධාවනය පැවතියේ ධනපති ක්‍රමය යළි පිහිටුවන දෙසට ය. 1917 විප්ලවය මඟින් මහජනතාව දිනා ගත් සියලු ජයග්‍රහණ- නිෂ්පාදන මාර්ගවල පෞද්ගලික අයිතිය මත පනවන ලද සීමා, රජයේ මධ්‍යගත සැලසුම් පිළිබඳ මුලධර්මය ආදිය- අහෝසි කිරීම කරා ය. ස්ටැලින්වාදයේ පිළිවෙත් සෝවියට් සංගමයෙහි ධනවාදය නැවත පිහිටු වීමට අවශ්‍ය පදනම සකසන බව 1936 දී ම ට්‍රොට්ස්කි පෙරදැක්කේ ය. ස්ටැලින්වාදීන් ඒ ගමනට විරුද්ධ වන ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්-කලාකරුවන්-විද්‍යාඥයන්-බුද්ධිමතුන්- බෝල්ශෙවිකයන්-මරා දැමීම හා වධකඳවුරුවල ලෑම මෙලෙස සාධාරණීකරණය කිරීම මොන තරම් ම්ලේච්ඡ මට්ටමකට කඩා වැටීමක් ද? ආචාර්ය වීරසිංහ හැසිරුණේ ස්ටැලින්වාදය ගැන කිසි හාංකවිසියක් නොදන්නා ළදරුවෙකු මෙන් ය. ඔහු හීන් නූලෙන් ස්ටැලින්වාදී භීෂණයට හා අනතුරු පැවති ස්ටැලින්වාදී පාලනයන්ගේ වාරණයන්ට මුක්කු බලය සැපයුවේ ඔහු රුසියාවේ කල් ගත කිරීමේ ද හයිය පාවිච්චි කරමිනි. ඔහු මෙසේ කියයි: “බටහිරට අනුව නිදහසක් නෑ කියනව. රාජ්‍ය ආධිපත්‍යය යටතෙ තියෙන්නෙ. එහෙම දෙයක් අපට දැනෙන්නෙ නෑ ඇත්තට ම. මිනිස්සුන්ට එහෙම එකක් දැනෙන්නෙත් නෑ. වෙනම දර්ශනයක්. ජීවන ශෛලියක්.” ආචාර්ය වීරසිංහට මාර නිදහසක් දැනුණු ස්ටැලින්වාදී මුණුපුරන්ගේ පාලනයේ පැවති නිදහසේ තරම එම අවධියේ වාරණය කෙරුණු සාහිත්‍ය කෘති රාශියක් සෝවියට් සංගමය බිඳ වැටුණු පසු අපට කියවන්නට ලැබෙන බව චූලා සමරනායක කියන විට ප්‍රේක්ෂකයාට තේරෙයි. “සෝවියට් සාහිත්‍යයේ ප්‍රභේද 2ක් තියනවා. සෝවියට් දේශය අනුමත කළ සාහිත්‍යය හා සෝවියට් දේශය අනුමත නොකළ සාහිත්‍යය. දැන් ඒ යටපත් කළ සාහිත්‍යය එළියට එනවා. ඒවා අතර කඩා වැටීම පිළිබඳ පෙරදැක්මක් සහිත කෘති අපට හමුවෙනවා,”යි ඔහු කී ය. ඔහුගේ ද මුල් වැකි දෙක සමතලා ය. මුල් යුගයේ එවැනි ප්‍රභේද දෙකක් නො තිබුණ බැවිනි. එහෙත් සාකච්ඡාවේ එක ම මුතු කැටය ලෙස ප්‍රේක්ෂක මනසට හිතන්නට දෙයක් ඉතුරු කළේ චූලානන්ද ඉදිරිපත් කළ වාරණ කෘති පිළිබඳ අනාවරණයන් පමණි.

සෝවියට් සාහිත්‍යය ගැන කතා කරන්නට ආ අප විද්වතුන් තිදෙනාට ම ස්ටැලින්වාදය සහ එහි කලා න්‍යාය වන “සමාජවාදී යථාර්ථවාදය” නමැති නිල ආඥාව ගැන හාංකවිසියක් වත් නොතිබීම අදාළ ප්‍රස්තුතය පිළිබඳ යථා ඥානයට දොරටු වැසූ බව නො කියා නො හැකි ය.

​මෙම ලිපියේ තෙවැනි කොටසින් රුසියාවේ පූර්ව විප්ලව සාහිත්‍යයත් සෝවියට් සාහිත්‍යයත් පිළිබඳ ව එම සාකච්ඡා මණ්ඩපය තුළ පළ වූ අදහස් විස්තර විභාග කෙරේ.

2020 ජූලි 4

මේ 2020 මැයි 19 දා චරණ නාලිකාවේ විකාශය වූ ලිවිසැරි ප්‍රේමය: සෝවියට් සාහිත්‍යය වැඩසටහනෙහි දී කෙරුණු සාකච්ඡාව අරභයා ලියැවෙන ලිපි පෙළේ අවසාන ලිපිය යි. රුසියානු විප්ලවයෙන් ඇති වූ පාලනය සාර් පාලනයේ ම දිගුවක් ලෙසට ගුණාංගීකරණය කළ ආචාර්ය ටියුඩර් වීරසිංහගේ ප්‍රතිගාමී ප්‍රවාදය ගැන මම පළමු ලිපියෙන් සාකච්ඡා කළෙමි. සාකච්ඡා මණ්ඩපයේ සිටි තිදෙනා ම 1917-1991 දක්වා කාලය තුළ සෝවියට් සංගමය තුළ සිදු වූ බරපතළ දේශපාලනික පරිවර්තනයන් ...

2020 ජූනි 19

2020 මැයි 19 දා චරණ නාලිකාවේ විකාශය වූ ලිවිසැරි ප්‍රේමය: සෝවියට් සාහිත්‍යය වැඩසටහනෙහි රුසියානු විප්ලවයේ ඉතිහාසය සම්බන්ධයෙන් කළ විකෘතිකරණය රුසියානු විප්ලවයේ ඉතිහාසය ආචාර්ය ටියුඩර් වීරසිංහ විකෘති කරයි යන පළමු කොටසින් හෙළිදරව් කළෙමි. මෙම දෙවන කොටස ලියන්නේ සාකච්ඡා මණ්ඩපයේ විද්වතුන් තිදෙනා විසින් සෝවියට් සංගමයේ ඉතිහාසය හා සෝවියට් සාහිත්‍යය ගැන ප්‍රේක්ෂක ජන සමූහයා තුළ ඇති කළ ව්‍යාකුලත්වය තුරන් කිරීමේ අටියෙනි.

2020 ජූලි 4

2020 මැයි 19 දා චරණ නාලිකාවේ විකාශය වූ ලිවිසැරි ප්‍රේමය වැඩසටහනෙහි මාතෘකාව වූයේ සෝවියට් සාහිත්‍යය යන්න යි. එම සාකච්ඡාවට සහභාගී වූවෝ කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය ටියුඩර් වීරසිංහ, කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය චින්තක රණසිංහ සහ සාහිත්‍යවේදී චූලා සමරනායක යන තිදෙනා වෙති. (මෙම සම්පූර්ණ සාකච්ඡාව යූටියුබ්හි Charana Tv Livisari Premaya සෝදිසි කිරීමෙන් බැලිය හැකි ය.) අප මෙම ලිපියෙහි පළමු කොටසින්...​

ඔබගේ අදහස් අපට එවන්න.