ඊජිප්තු සංස්කෘතිය (දෙවන කොටස) - ආරම්භක සමයේ අවසානය - ස්කෝපියන් රජු

👨 අසංක සී. පෙරේරා

2022 අගෝස්තු 20

King Scorpion

ඊජිප්තු සංස්කෘතියේ ආරම්භක සමය පිළිබඳව මෙම ලිපි මාලාවෙහි පළමු කොටසින් අපි සාකච්ඡා කෙළෙමු. පූර්ව ඊජිප්තු ඉතිහාසයෙහි අවසානය සහ ප්‍රථම පාරාවෝ රාජ වංශය ආරම්භය අතර පැවති රික්තය සපුරා ලීමට ඉතිහාසයේ නව සොයා ගැනීම් සමත් වී තිබේ. මෙම ලිපියෙන් ඊජිප්තු ඉතිහාසයෙහි පදනම වූ පූර්ව ඊජිප්තු ඉතිහාසයෙහි අවසානය ගැන අවධානය යොමු කරමු. එහි දී විශේෂයෙන් අවධානය යොමු වන්නේ ස්කෝපියන් රජු වෙත ය.

පූර්ව ඊජිප්තු ඉතිහාසයෙහි ඊජිප්තුවරුන් සහ අනෙකුත් වාර්ගික ජන කණ්ඩායම් අතර පැවති අන්තර් සබඳතා විමර්ශනය කිරීමට ඉතිහාසඥයින් විසින් විවිධ ප්‍රයත්නයන් දරා ඇත. ඔවුන්ගේ අවධානය යොමු වූ එක් අංශයක් වූයේ පූර්ව ඊජිප්තුවෙහි වූ වෙළඳ මාර්ගයන් ය.

යේල් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජෝන් කොල්මන් ඩානෙල් (Professor John Coleman Darnell) එම වෙළද මාර්ගයන් පිළිබඳ අවධානය යොමු කළ ප්‍රමුඛ ගවේශකයෙකි. ඔහු විසින් දකුණු දිග ඊජිප්තුවෙහි නයිල් නදියට කිලෝමීටර දහයක් පමණ බටහිර දෙසට වන්නට පිහිටා ඇති ගෙබෙල් ජව්ටි (Gebel Tjauti) පර්වතයන් මත සටහන්ව පැවති සංකේතාත්මක රූප සටහන් එකතුවක් සොයා ගැනුණි.

එමගින් ඊජිප්තු පූර්ව රාජ්‍ය පාලන අවධිය සහ මුල් කාලීන රාජ්‍ය පාලන අවධිය, එනම් පළමු පාරාවෝ රාජ්‍ය පාලන යුගය ඇති වීම අතර පැවති සංක්‍රාන්තිමය සමය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා අවශ්‍ය පදනම ඇති කළේය.

ස්කෝපියන් රජු (King Scorpion)

ඊජිප්තු ශිෂ්ටාචාරයෙහි අනුක්‍රමික විකාශනයේ දී ක්‍රි.පූ. 3400 දී පමණ නයිල් ගංගාධාරය ආශ්‍රිතව වෙන් වෙන් වශයෙන් වූ රාජධානි දෙකක් බිහි විය. ස්වාධීනව වර්ධනය වූ මෙම රාජධානි, නයිල් නදියේ ඉහළ ඩෙල්ටාව හා පහළ ඩෙල්ටාව ලෙස හැඳින්වේ.

මහාචාර්ය ජෝන් කොල්මන් ඩානෙල් (Professor John Coleman Darnell) විසින් ගෙබෙල් ජව්ටි (Gebel Tjauti) පර්වතයන් තුළ රූප සටහන් සොයා ගැනීමට පෙර ඊජිප්තු සංස්කෘතියේ ආරම්භක යුගය පිළිබඳව ඇත්තේ අල්ප වූ සාධකයන්ය.

මුල් යුගයෙහි දත්තයන් තහවුරු කර ගැනීම උදෙසා අන්ර්ඝතම සොයා ගැනීම් ක්‍රි.ව. 1897-1898 අතර කාල පරිච්ඡේදය තුළ බ්‍රිතාන්‍ය පුරාවිද්‍යාඥ ජේම්ස්. ඊ කුයිබෙල් (J. E. Quibell) විසින් සිදු කෙරුණි. පූර්ව ඊජිප්තු ඉතිහාසය පිළිබඳ ප්‍රමුඛ ගවේශකයෙකු වූ ඔහු ඉහළ ඊජිප්තුවෙහි නෙක්හෙන් (Nekhen) ප්‍රදේශයෙන්, වර්තමානයේ නාමර් ඵලකය (Narmer Palette) ලෙසින් හඳුන්වන ශිලා පුවරුව සහ බිඳුණු සෙංකෝල හිසක් සොයා ගත්තේය.

(Professor John Coleman Darnell)

සෙංකෝල හිස (Mace Head)

ඊජිප්තුවරුන් විසින් ප්‍රධාන වශයෙන් භාවිත කළ යුද මෙවලමක් වූයේ සෙංකෝලයයි. එහි ප්‍රාථමික රූපාකාරය වූයේ ලීයකට සවි කරන ලද ගලකි. ජේම්ස්. ඊ කුයිබෙල් (J. E. Quibell) විසින් නෙක්හෙන් (Nekhen) ප්‍රදේශයෙන් සොයා ගැනුණු බිඳී ගිය සෙංකෝල හිසෙහි කැබලි එකලස් කිරීමෙන් පසු උත්සව අවස්ථාවක් සඳහා නිර්මාණය කරන ලදැයි සැලකිය හැකි සෙංකෝල හිසක් ප්‍රතිනිර්මාණය කළ බව පෙනේ.

මෙම සෙංකෝල හිස පාරාවෝ රාජකීයත්වයෙහි සංකේතයන් වූ රාජකීය හිස්වැස්මකින් සහ වෘෂභ වලිගයකින් සමන්විත ය. හිස ඉදිරියෙන් සංකේතාත්මක රූප දෙකකි. ඉන් එකක් ගෝනුසු රුවකි. අනෙක සෙව්වන්දි පුෂ්පයකි. මෙම ගෝනුසු රූපාක්ෂර සංකේතය මගින් නිශ්චිතව ම නිරූපණය වන්නේ ස්කෝපියන් රජු ය.

ඊජිප්තු රාජාභිෂේක නාමයන් විමසා බැලීමේ දී ස්කෝපියන් යන නම මගින් නිගමනය වන්නේ අධිකාරීමය වූ රජ කෙනෙකි. මෙම සෙංකෝල හිසෙහි ඉහළ කොටස, කොටස් කිහිපයකට බෙදා ඒ තුළ ලණුවලින් එල්ලා ඇති පක්ෂි රූප කිහිපයක් ඇත. ඉන් නිරූපිත කෙරෙනුයේ ස්කෝපියන් රජු විසින් යටපත් කර ගත් ප්‍රදේශයන් බව සැලකේ. රජු විසින් පැලඳ ඇති කිරුළෙහි ස්වභාවය අනුව ඔහු ඉහළ ඊජිප්තුවෙහි පාලකයා සේ සැලකිය හැකි ය.

Scorpion Macehead

නාමර් ඵලකය (Narmer Palette)

I පාර්ශවය

II පාර්ශවය

හෙරක්නොපොලිස් (Hierakonpolis) ගවේෂණය ව්‍යාපෘති අධ්‍යක්ෂ ආචාර්ය Dr.Renée Friedman ට අනුව ලොව ප්‍රථම ඓතිහාසික ලේඛනය සේ සැලකෙන නාමර් ඵලකය අඟල් 25 (64 cm) පමණ දිගකින් යුත් සන්නාහ පළිහක් බඳු හැඩයකින් යුක්ත පැතලි අළු පැහැති ශිලා පුවරුවකි. නෙක්හෙන් (Nekhen) ප්‍රදේශයේ වූ හෝරස් දෙවියන් උදෙසා වූ දෙවොලක එය පැවති බව සැලකේ. පුවරුවෙහි දෙපස ම විවිධ රූකම් සහ රූපාක්ෂරවලින් සමන්විත ය. එහි රාජකීය ප්‍රධාන රුවක් අන්තර්ගත ය. එය අබියසින් කැට් ෆිෂ් වර්ගයේ මාළුවෙක් සහ කපන කටුවක රූපාක්ෂර ඒකාබද්ධව දක්වා ඇත. එම රූපාක්ෂරයන්ගේ එකතුවෙහි අර්ථය වන්නේ නාමර් යන්නයි. එනම් නාමර් රජු (King Narmer) බවයි.

නෙක්හෙන් (Nekhen) ප්‍රදේශයෙන් සොයා ගැනුණූ සෙංකෝල හිස සහ නාමර් ඵලකය මත ඇති රූ සටහන් අතර බොහෝ සමානකම් දැකිය හැකි ය. නමුත් මෙම රාජකීය රූපයන්ගේ ඇති ප්‍රධානතම වෙනස්කමක් වන්නේ ඔවුන් පැලඳ ඇති කිරුළෙහි වෙනස් බව යි.

නාමර් රජු බව හැගවෙන රූපාක්ෂර

සෙංකෝල හිසෙහි ස්කෝපියන් රජු විසින් පැලඳ ඇත්තේ ඉහළ ඊජිප්තුවෙහි රජු විසින් උපයෝගී කරගත් කිරුළ ය (Hedjet). නාමර් ඵලකයෙහි ඇති නාමර් රජු විසින් පැලඳ ඇත්තේ ඉහළ ඊජිප්තු පාලකයන් පැලඳි කිරුළ ඉක්මවා තම බලය ව්‍යාප්ත කර ඇති බව හඟවන කිරුළකි. එනම් නාමර් රජු සමස්ත ඊජිප්තුවෙහි ම අධිකාරවත් රජු බවට මෙම පුවරුව මගින් මූලිකව ම තහවුරු කෙරේ. ඒ පසුකාලීනව දැකිය හැකි පරිදි ඉහළ ඩෙල්ටාවෙහි වූ ධවල කිරුළ සහ පහළ ඩෙල්ටාවෙහි පාලන සංකේතය ලෙස රක්ත වර්ණ කිරුළ පැලඳි රජුගේ රුව පුවරුවෙහි දෙපස සංකේතවත්ව තිබීමෙනි. මෙම හිස් පලඳනාවන්හි ප්‍රභේදයන් ඇති වීමේ ප්‍රාරම්භක තත්වයන් පිළිබඳ නිශ්චිත අර්ථකථනයන් සැපයීම සඳහා ඊජිප්තු ඉතිහාසයෙහි ප්‍රමාණවත් සාධක මෙතෙක් හමු වී නොමැත. කෙසේ වුවත්, කිරුළු ප්‍රභේදයන් දැක්වෙන පැරණිතම නිදර්ශනය වන්නේ නාමර් පුවරුවයි.

God Osiris

ක්‍රි.පූ. 3500 - ක්‍රි.ප.ූ 3200 පමණ යුගයෙහි දී නුබියාව තුළ ඊජිප්තු ධවල කිරුළෙහි (Hedjet) හැඩය ගත් හිස් පලඳනා පැවති අතර ඇතැම් විට එම ආභාසය ඊජිප්තුව තුළ භාවිතයට ගැනුණා විය හැකි ය. ධවල කිරුළ ක්‍රමයෙන් ඉහළට සිහින් වන පරිදි නිමවා ඇත. පැරණි ඊජිප්තුවෙහි වන්දනාවට පාත්‍ර වූ පාතාල ලොවෙහි අධිපති ඔසිරිස් දෙවියන් (God Osiris) මෙම ධවල කිරුළ පලඳින බැවින්, එම දේව ගණයා සංකේතවත් කිරීමේ අරමුණින් මෙම හිස් පලඳනාව, ආරම්භයේ දී උපයෝගී කරගත් බව පෙනෙයි. එමෙන් ම දේව සංකේතයක් ශීර්ෂ ආවරණය ලෙස යොදා ගැනීම, පාරාවෝ රජු වෙත දේවත්ව ආරෝපණය වඩාත් තීව්‍ර ලෙස නිරූපණය කෙරෙන සංකල්පයකි.

රතු පැහැති කිරුළ බිහිවීම අරමුණුව ඇත්තේ වඩ්ජෙට් දෙවඟන (Goddess Wadjet) සංකේතවත් කිරීම ය. පසුකාලීන යුගයන් හී දී මෙම ධවල සහ රක්ත වර්ණ කිරුළු, ඒකාබද්ධ කර ප්‍රතිනිර්මාණය කෙරුණ ද්විත්ව කිරුළ දැක ගත හැකි ය. එම ද්විත්ව කිරුළ නිශ්චිත අර්ථයෙන් ම රාජ්‍ය එක්සේසත් කිරීම නිරූපණය උදෙසා නිරූපිත සංකලනයකි. නාමර් පුවරුව මගින් ඊජිප්තු ජීවනයෙහි ආරම්භ ලක්ෂ්‍යයෙහි දී ලිඛිත භාෂාවක් සහ සටහන් තැබීමේ භාවිතාවක් පැවතීම ඊජිප්තු ශිෂ්ටාචාරයේ විකාශනය පිළිබඳ සාධනීය ඉඟියක් සපයයි.

පුරාතන ඊජිප්තුවෙහි ප්‍රධාන කිරුළු ප්‍රභේදයන්

ඉහළ ඊජිප්තුව ධවල කිරුළ

පහළ ඊජිප්තුව රක්ත වර්ණ කිරුළ

ද්විත්ව කිරුළ

නාමර් පුවරුවෙහි ඉදිරි පාර්ශ්වයෙහි රූකම්, දෙකොටසකට බෙදා ඇත. එහි ඉහළ කොටසෙහි රාජකීයත්ව නාමය දෙපස ගව රූ දෙකක් ද ධවල කිරුළ සහ වෘෂභ වලිගයකින් යුත්, රජුගේ පූර්ණ රුවකින් සමන්විත ය. වෘෂභයා රජුගේ පෞරුෂය සහ තේජවන්ත බව විදහා දැක්වීම සඳහා ඊජිප්තුවරුන් භාවිත කළ සංකේතාත්මක නිරුපණයකි. රජු දකුණතින් යෂ්ටියක් ද වමතින් දණ ඔබා ගත් මිනිසෙකු ග්‍රහණයට ගෙන තිබේ. රජු විසින් පහර දීමට සැරසෙන මෙම පුද්ගලයා ජන කණ්ඩායමක නිරුපණයක් සේ සැලකෙයි. ඉහළින් පාරාවෝ රජුගේ රාජකීයත්වයෙහි ආරක්ෂක හෝරස් දෙවිඳුන්ගේ රුවක් උකුසු වේශයෙන් නිරූපිත ය. හෝරස් දෙවිඳුන් පොහොට්ටු සයක් සහිත පැපිරස් මල් මිටියක් මත සිටියි.

ආරම්භක යුගය තුළ වූ රූපාක්ෂරයන්හි පැපිරස් මල් ගොබය සංකේතවත් කෙරුණේ සංඛ්‍යාමය අරුතින් දහසක් නිරූපණය කිරීම උදෙසා බැවින්, මෙම පූර්ණ විස්තරය රජු විසින් සතුරන් හය දහසක් යටත් කර ගත් සෙයක් ප්‍රකට කරයි. වම් පස කුඩා මිනිස් රුවක් රජුගේ පාවහන් රැගෙන එන දර්ශනයකි. ඔහු පාවහන් රහිතව දක්වා ඇත්තේ ඇතැම් විට මෙම සිදු වීම පූජ්‍ය ස්ථානයක දී සිදු වූ බැව් ඒත්තු ගැන්වීමට විය හැකි ය. යට කොටසෙහි නිරුවත් මිනිස් රූ දෙකකි. මොවුන් රජුට යටත් වූ පරාජිතයන්ගේ සංකේතාත්මක සලකුණක් වැන්න. රාජ්‍ය එක්සේසත් කළ රජුගේ විරාජමානත්වය පුවරුවෙහි ඉදිරිපස කොටසින් නිරූපිත ය.

පසු භාගයෙහි රූකම් පේළි තුනකින් යුතු ය. පළමු පස මෙන් ගව රූ දෙකකින් සහ රජුගේ නම ද පූර්ණ රජුගේ රුව සහ ඔහුගේ පාවහන් රැගෙන යන කුඩා රුවක් ද ඇත්තේ ය. මෙතුළ රජු රක්ත වර්ණ කිරුළ දරා සිටී. කුඩා කාන්තා රුවක් සහ වඩාත් කුඩා ප්‍රමාණයේ මිනිසුන් කිහිප දෙනෙකි. දෙවන කොටසෙහි, දිගැති ගෙලින් යුත් සත්ව රූ දෙකකි. මෙමගින් පැරණි රාජ්‍ය දෙකොටස එක් සේසත් කිරීම අදහස් කෙරෙයි. එමෙන් ම ගව රුවෙන් ඊජිප්තුවෙහි පැරණිතම දේවතාවියක් වන හාතර් දෙවඟන නිරූපණය වන බව අදහස් කෙරේ. හාතර් දෙවඟන සහ පාරාවෝ රජු එක්තැන්ව මූර්තිමත් කළ ප්‍රථම අවස්ථාව නාමර් පුවරුව තුළින් විද්‍යමාන ය.

ස්කෝපියන් රජුගේ රුව සටහන් වූ සෙංකෝල හිස තුළ වූ ඉහළ ඊජිප්තු රජු සතු කිරුළ හේතුවෙන් නාමර් රජු ස්කෝපියන් රජුගෙන් පසු අභිෂේක ලැබූ අනුප්‍රාප්තිකයෙකු බව සැලකිය හැකි ය.

එමෙන් ම නාමර් ඵලකයෙහි ඇති රූ සටහන් හා රූපාක්ෂරයන්ට අනුව නාමර් රජු ඉහළ සහ පහළ ඊජිප්තුව එක්සේසත් කළ පාලකයෙක් බව සනාථ වෙයි. නයිල් නිම්නයේ ඉහළ ඩෙල්ටාවෙහි පාලකයාව සිටි නාමෙර් රජු (King Narmer) විසින් පහත ඩෙල්ටාව ආශ්‍රිත මිටියාවතෙහි වූ රාජධානිය ආක්‍රමණය කොට ඊජිප්තු ඉතිහාසයෙහි ප්‍රථම වරට එක් සේසත් වූ මුල්ම ස්ථාවර රාජ්‍යය බිහි කළේ ය. එමගින් රාජ්‍ය පාලනයෙහි පළමුවන පාරාවෝ රාජ්‍ය වංශය ස්ථාපිත කළේය. මෙම්පිස් නුවර (City of Memphis) අගනුවර කර ගත් මෙම ප්‍රථම ස්ථාවර රාජ්‍යය, නයිල් නදියෙහි උතුරු දිග ඩෙල්ටාවෙහි තම අධිකාරය පිහිටුවා ගත්තේ ය.

පාරාවෝ රාජ වංශයන් බිහිවීමට වසර දෙසීයකට පමණ පෙර සටහන් වූ මානව සහ සත්ව රූප ඇතුළු ප්‍රකාශනයන් ගෙබෙල් ජව්ටි (Gebel Tjauti) පර්වතයන් මත දැකිය හැකි ය.

King Narmer

මෙම පර්වත නෙලීම් තුළ දැකිය හැකි විශේෂිත ම රූප සංකේතයන් වන්නේ දෑත් පිටුපසට බැඳි සිරකරුවෙක් රැහැනකින් අල්වා ගත් සෙංකෝලයක් රැගත් පුද්ගලයෙකුගේ රුව හා සම්බන්ධිත රූප පෙළයි. පසෙකින් දැක්වෙන්නේ උකුසු රුවකි. උකුසු රුව මගින් මූර්තිමත් වන්නේ ඊජිප්තුවෙහි රාජකීයත්වය විදහා දක්වන හෝරස් දෙවියන් (God Horus) වේ. ඒ සමගින් ඇති අනෙක් රූපය නම් ගෝනුසු රුවකි. සර්පයෙකු කටින් ඩැහැගත් කොකෙකුගේ රූපය මගින් නිරූපණය වන්නේ සිරකරුවා අල්වාගත් තැනැත්තා විසින් ලබා ගත් යුධ ජයග්‍රහණයක් බව මහාචාර්ය ජෝන් කොල්මන් ඩානෙල්ගේ (Professor John Coleman Darnell) විවරණයෙහි දැක්වේ.

ගෙබෙල් ජව්ටි (Gebel Tjauti) පර්වතය මත ඇති සංකේත

රාජකීයත්වය හැගවෙන ගෝනුසු රූපය (Scorpion)

උකුසු රූපය රූපය (God Horus)

සමස්ත සංකේතයන් ඒකාබද්ධ කළ විට මෙම පර්වතය මත සලකුණු කර ඇති රූපයන්ගේ අදහස මෙසේ දැක්විය හැකි ය. එනම් 'යුද්ධයෙන් විජයග්‍රහණය කළ ස්කෝපියන් රජු' ලෙසිනි.

පුරාවිද්‍යාඥ ජේම්ස්. ඊ කුයිබෙල් (J. E. Quibell) විසින් සොයාගත් සෙංකෝල හිස සහ නාමර් ඵලකය ඇති ස්ථානයෙහි සිට ගෙබෙල් ජව්ටි (Gebel Tjauti) පර්වතයන් අතර ඇත්තේ සැතපුම් හැටක් පමණ දුරක් වීමද ස්කෝපියන් රජු පිළිබඳව සෙවීමේ දී වැදගත් සාධකයකි. එමෙන් ම පර්වත රූප සංකේත මගින් දැක්වෙන්නේ පහළ ඊජිප්තුවේ සිට ඉහළ ඊජිප්තුවෙහි නකාඩා (Naqada) ප්‍රදේශය දෙසට ගමන් කරන ස්කෝපියන් රජු ය. මින් ගම්‍ය වන්නේ ඔහු විසින් පහළ ඊජිප්තුව ආක්‍රමණය කර විජයග්‍රහණය කළ බව යැයි විද්‍යාර්ථීන් විසින් සැලකේ. මෙම රූපයන් සෙංකෝල හිස අයත් කාලයට වඩා වසර දෙසීයකට පමණ පෙර නිර්මිත බව මහාචාර්ය ඩානෙල් (Professor Darnell) පෙන්වා දෙයි.

ගෙබෙල් ජව්ටි (Gebel Tjauti) පර්වතයන්හි සිට සැතපුම් හතළිහක් පමණ දුරින් පිහිටි ස්කෝපියන් රජු පාලනය කළේ යැයි මහාචාර්ය ඩානෙල් (Professor Darnell) විසින් අනුමානිත අබිඩෝස් (Abydos) හි උම් එල් -කුආබ් (Umm el-Qa’ab) ප්‍රදේශයේ සිදු කළ කැණීම්වල දී විවිධ භාජන කොටස් මිලියන දහයකට අධික ප්‍රමාණයක් හමුවී ඇත. මෙම බඳුන් තුළ මේදය හා තෙල් තිබුණි.

එමෙන්ම ප්‍රාථමික මස්ටාබා හැඩයෙන් යුත් යූ - ජේ (U - J) සොහොන් ගැබෙහි කරන ලද කැණීම් මගින් එම සොහොන් ගැබ ස්කෝපියන් රජුගේ (King Scorpion) බව සාධනය කෙරෙන දත්තයන් සොයා ගැනීමට ජර්මානු පුරාවිද්‍යාඥ Professor Gunter Dreyer සමත් විය. එම මස්ටාබාවෙහි වර්ග අඩි 800 ක පමණ ප්‍රමාණයෙන් යුත් දොළොස්වෙනි කුටීරයෙහි වූ සොයා ගැනීම් අතර හමු වූ ඇත් දළෙන් නිර්මිත රාජකීය යෂ්ටිය වැදගත් වේ.

ස්කෝපියන් රජුගේ යැයි සැළකෙන සොහොන් ගැබ

එමෙන් ම රූපාක්ෂර සහිත වූ බඳුන් රාශියක ගෝනුසු රුව සටහන්ව ඇත. මෙම සියලු දත්තයන් විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව මෙම සොහොන් ගැබ ස්කෝපියන් රජුගේ (King Scorpion) බව පුරාවිද්‍යාඥයන් විසින් නිගමනය කොට ඇත. කාබන් පරීක්ෂණයන්ට අනුව මෙම සොහොන් ගැබ ප්‍රථම පාරාවෝ රාජ වංශයට වසර දෙසීයයකට පෙර ඉදි කළ බව තහවුරු වී තිබේ.

මෙම ස්කෝපියන් රජුගේ (King Scorpion) සොහොන් ගැබ තුළින් හමු වූ අනෙක් වැදගත් ම සාධකය වන්නේ යමෙක ඇමීණීමට හැකිවන අයුරින් සිදුරක් සහිතව නිර්මිත ඇත්දළ කැබලි 180 ප්‍රමාණයක් හමු වීමයි. මේවායේ සටහන්ව ඇති රූපාක්ෂරයන් මගින් විවිධ ප්‍රදේශ නාමයන් හඳුනා ගැනීමට හැකි වී ඇත. බා-සෙට් (Ba-set), බූටෝ (Buto) ආදී ලෙසිනි. එමෙන් ම මෙම සොහොන් ගැබෙන් හමු වූ වයින් ගබඩා කර තිබුණේ යැයි සැලකෙන පන්සියයක් පමණ වූ බඳුන් පලස්තීනු ප්‍රදේශන්ට ආවේණික වූ ඒවා සේ සැලකේ. හෙරක්නොපොලිස් (Hierakonpolis) ප්‍රදේශයෙහි සිදු කෙරුණා වූ කැණීම් මගින් ස්කෝපියන් රජුගේ (King Scorpion) සමයට අයත් විශාල ප්‍රමාණයෙන් බීර නිෂ්පානය කළ ප්‍රදේශයක් සහ වර්තමාන කානැක් දෙව්මැඳුරෙහි පාදමට සමාන ආකෘතියකින් යුත් බිම් සැකැස්මක් සොයා ගැනුණි. කාබන් පර්යේෂණයන්ට අනුව පාරාවෝ ප්‍රථම රාජ වංශයට වසර හත්සියයකට පෙර නිර්මාණය කළැයි සැලකෙන කුඩා හෝරස් (God Horus) දේව ප්‍රතිමාවක් ද මෙම ප්‍රදේශයෙන් සොයා ගැනුණි. එමෙන් ම ඊජිප්තුවරුන් විශ්වාස කළ පරිදි මරණින් මතු ආත්මය සුරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය වූ සෙරමික්වලින් සාදන ලද මුහුණු ආවරණයක් ද මෙම ප්‍රදේශයෙන් හමු වී ඇත.

මෙම සමස්ත සොයා ගැනීම් මත පුරාවිද්‍යාඥයන් නිගමනය කරන්නේ පූර්ව ඊජිප්තු රාජධානි සමයේ ඉතිහාසය තව දුරටත් ඈතට ගමන් කරන බව ය. එම ඉතිහාසය ලිඛිත ඉතිහාසයකි. ලිඛිත සංස්කෘතියකි. පූර්ව ඊජිප්තු ඉතිහාසයට අයත් ස්කෝපියන් රජු විසින් බා-සෙට් (Ba-set) බූටෝ (Buto) ආදි ප්‍රදේශයන් මෙන් ම පලස්තීනය, මෙසපොතේමියාව ඇතුළු රාජ්‍යන් සමග අන්තර් සබඳතා පවත් වන ලද බවත් විශාල පරිමාණයේ නිෂ්පාදනයන් හා ආගමික වන්දනාවන් ඇතුළු සංස්කෘතිමය වශයෙන් දියුණු ඉතිහාසයක් ගොඩ නඟන ලද බවත් ඉන් තව දුරටත් නිගමනය කෙරේ.

මීළග ලිපියෙන් අපි මෙතෙක් සාකච්ඡා කළ පූර්ව අවධියෙන් ඊජිප්තු සංස්කෘතියෙහි පාරාවෝ රාජ වංශයෙහි පළමුවන අවධිය වෙත පිවිසීමට අපේක්ෂා කරමු.

2022 මැයි 19

පුරාතන ඊජිප්තු සංස්කෘතිය, මානව ඉතිහාසයේ විශිෂ්ට ශිෂ්ටාචාරයක ඵලයක් වෙයි. විශ්වය ඥානනය කර ගැනීමේ අඛණ්ඩ උත්ත්සාහයක සලකුණු ඊජිප්තු ශිෂ්ටාචාරයෙහි වර්ධනය හා විකාශනය තුළ විද්‍යමාන වේ. සමස්තයක් ලෙස ගත් විට මනුෂ්‍යයාගේ මරණින් මතු ආත්මය පිළිබඳ සංකල්පය ඊජිප්තු සභ්‍යත්වයෙහි වර්ධනය කෙරෙහි ඉවහල් වූ මූලික ම සාධකය බව කිව හැකියි. අද සිට පළ වන මෙම ලිපි මාලාව රාජ වංශ තිහක පමණ පාරාවෝ රාජ්‍ය පාලන යුග වෙත ප්‍රවේශයකි.

2024 මාර්තු 20

මුල් රාජධානි සමය

ඊජිප්තු සංස්කෘතිය ලිපි මාලාවේ දෙවන කොටසින් අපි ස්කෝපියන් රජුගෙන් පසු අභිෂේක ලැබූ අනුප්‍රාප්තිකයෙකු ලෙස නාමෙර් රජු (King Narmer) හඳුනා ගතිමු. ඔහු නයිල් නිම්නයේ ඉහළ ඩෙල්ටාවෙහි පාලකයා වූ අතර පහත ඩෙල්ටාව ආශ්‍රිත මිටියාවතෙහි වූ රාජධානිය ආක්‍රමණය කොට ඊජිප්තු ඉතිහාසයෙහි ප්‍රථම වරට එක් සේසත් වූ මුල්ම ස්ථාවර රාජ්‍යය බිහි කළේ ය.

එමගින් රාජ්‍ය පාලනයෙහි පළමු වන පාරාවෝ රාජ්‍ය වංශය පිහිටු වූයේ ය. මෙම්පිස් ...

ඔබගේ අදහස් අපට එවන්න.