ඊජිප්තු සංස්කෘතිය (පළමු කොටස) - ආරම්භක සමය

👨 අසංක සී. පෙරේරා

2022 ජුනි 30

පුරාතන ඊජිප්තු සංස්කෘතිය, මානව ඉතිහාසයේ විශිෂ්ට ශිෂ්ටාචාරයක ඵලයක් වෙයි. විශ්වය ඥානනය කර ගැනීමේ අඛණ්ඩ උත්ත්සාහයක සලකුණු ඊජිප්තු ශිෂ්ටාචාරයෙහි වර්ධනය හා විකාශනය තුළ විද්‍යමාන වේ. සමස්තයක් ලෙස ගත් විට මනුෂ්‍යයාගේ මරණින් මතු ආත්මය පිළිබඳ සංකල්පය ඊජිප්තු සභ්‍යත්වයෙහි වර්ධනය කෙරෙහි ඉවහල් වූ මූලික ම සාධකය බව කිව හැකියි. අද සිට පළ වන මෙම ලිපි මාලාව රාජ වංශ තිහක පමණ පාරාවෝ රාජ්‍ය පාලන යුග වෙත ප්‍රවේශයකි.

එමෙන් ම, මෙම ලිපි පෙළ තුළින් පහතින් දැක්වෙන මාතෘකා ආවරණය කිරීමට අපේක්ෂිත ය.

1. පාරාවෝ වංශ කතාව සහ රාජධානි යුගයන්

2. සොහොන් ගැබ් සහ දේවස්ථාන ඉදිකිරීම තුළ ගැබ් ව ඇති පැරණි ඊජිප්තු තාක්ෂණික ශිල්පීය දැනුම

3. රූපාක්ෂර

4. ඊජිප්තු කලාව

5. ඊජිප්තුවරු සහ මමිකරණය

6. ඊජිප්තුවරුන්ගේ සමාජීය තත්වයන් සහ රාජ්‍යයේ ස්වභාවය

7. ආගමික හා පුරාණෝක්ති

8. පුරාතණ ඊජීප්තුවෙහි දෙවිවරු

9. පුරාණ ඊජිප්තුවෙහි කාලානුක්‍රමණය

පාරාවෝ රාජ්‍ය පාලනය සහ රාජධානි යුගයන්

පැරණි ඊජිප්තු සංස්කෘතිය අධ්‍යයනය කිරීම යනුවෙන් අප අදහස් කරන්නේ අප්‍රිකානු නියොලිතික කෘෂිකාර්මික නවෝදය මගින් ආරම්භ ව විකාශනය වූ වසර 5000 ක පමණ ඉතා කෙටි ප්‍රෞඪ ඉතිහාසයක මිනිස් ක්‍රියාකාරම් පිළිබඳ ගවේෂණය යි. එනම්, ක්‍රි.පූ. 10,000 - 4000 පමණ කාලයේ දී ගිනිගල් ආශ්‍රිත මානව නිෂ්පාදිතයන්ගේ ප්‍රාරම්භක යුගයෙන් වර්ධනය වූ නුබියානු, ඉතියෝපියානු සහ ලිබියානු ගෝත්‍රිකයන් සැමිටක් හා බටහිර ආසියාතිකයන් හා මිශ්‍ර ව ඇති වූ ජන විකාශනයෙන් පිබිදුනු කෘෂිකාර්මික නවෝදනයේ යුගය පිළිබඳ ගවේෂණය යි.

පැරණි ඊජිප්තුව සහ භූගෝලීය පිහිටීම

බටහිර දෙසින් සහරා කාන්තාරයෙන් ද නැගනහිරින් රතු මුහුද සහ නැගෙනහිර කාන්තාර කඳුකරයෙන් ද උතුරින් මධ්‍යධරණී මුහුදෙන් සහ දකුණු දිගින් නුබියාව ද කේන්ද්‍ර ව, පැරණි ඊජිප්තු ශිෂ්ටාචාරය ජනවාර්ගික විවිධත්වයක එකමුතුවක් වූ සංස්කෘතියක් ලෙස වර්ධනය විය.

ඊජිප්තුවෙහි ආදිතම දෙවිවරයෙක් වූ ප්තා (Ptah) දෙවියන්ගේ ආත්මයේ නිවස (House of the Spirit of Ptah) ලෙසින් අර්ථ ගැන්වුණ පැරණි ඊජිප්තු වදනක් වූ Hwt-Ka-Ptah යන්නෙහි ග්‍රීක උච්චාරණය වූ ඊජිප්ටෝස් (Aegyptos) යන වචනයෙන් වර්තමානයේ අප භාවිතා කරන ඊජිප්තුව (Egypt) යන නාමය විකාශනය වී ඇත.

පැරණි ඊජිප්තුවරුන් තම දේශය හඳුන්වා ඇත්තේ කෙමෙට් (Kemet) ලෙසිනි. කේම් (Kem) යනු පුරාණ ඊජිප්තුවෙහි කළු වර්ණය සඳහා භාවිත කළ වචනයකි. එබැවින් කෙමෙට් Kemet යනු වචනාර්ථයෙන් ගත් විට ”කළු දේශය” (Black Land) සේ සැලකිය හැකි ය. මෙම නම ව්‍යුත්පන්න වී ඇත්තේ වාර්ෂික ව සිදු වන නයිල් නදිය පිටාර ගැලීම හේතුවෙන් නයිල් නිම්නය තුළ ඇති වූ සාරවත් කළු පසෙහි වර්ණයෙනි. එනම් කෙමෙට් (Kemet) යනු සාරවත් කෘෂිකාර්මික වගා භූමියකි.

යුග පරිවර්තනීය සුවිශේෂීතා මත, ඊජිප්තු ඉතිහාසය පහත පරිදි බෙදා ගැනීම අපගේ අධ්‍යයනය පහසු කරයි. මෙම පැරණි ඊජීප්තු රාජධානි සමයන්, ඊජිප්තු කයිරෝ විශ්ව විද්‍යාලයෙහි ආචාර්ය සා(z)හි හවාස් (Dr. Zahi Hawass) විසින් කරන ලද බෙදුම්කඩනයන් මත පදනම් ව දක්වා ඇත.

1. පූර්ව රාජධානි සමය (ක්‍රි.පූ 5000 - 3100)

2. මුල් රාජධානි සමය (ක්‍රි.පූ 3100 - 2686)

3. පැරණි රාජධානි සමය (ක්‍රි.පූ 2686 - 2181)

4. ප්‍රථම මධ්‍යම රාජධානි සමය (ක්‍රි.පූ 2181 - 2055)

5. මධ්‍ය රාජධානිය (ක්‍රි.පූ 2055 - 1786)

6. දෙවන මධ්‍යම රාජධානි සමය (ක්‍රි.පූ 1786 -1567

7. නව රාජධානිය (ක්‍රි.පූ 1567 - 1085)

8. තෙවැනි මධ්‍යම රාජධානිය (ක්‍රි.පූ 1085 - 664)

9. මැසිඩෝනියානු පාලනය (ක්‍රි.පූ 664 - 33)

1. පූර්ව රාජධානි සමය (Pre Dynastic Period) - (ක්‍රි.පූ 5000 - 3100)

ක්‍රි.පූ 4500 - 3000 පමණ උතුරු අප්‍රිකානු නව පාෂාණ යුගයෙහි අවසාන භාගයේ ඇති වූ කෘෂිකාර්මික පිබිදීම හමුවේ උතුරු අප්‍රිකානු සහ පලස්තීනු උස්බිම්හි සිට ව්‍යාප්ත ව පැමිණි මිනිස් ජන කණ්ඩායම්, නයිල් නදී අතු ශාඛාවන් අශ්‍රිත ව නයිල් ගංගා නිම්නයන් වෙත සංක්‍රමණය වූහ. සතුන් හීලෑ කර ගනිමින් කෘෂිකාර්මික කටයුතුවල යෙදුන මෙම මනුෂ්‍යයෝ, ක්‍රි.පූ 3000 දී පමණ නියොලිතික කෘෂිකාර්මික නවෝදයෙහි සංවර්ධිත අවධියන් හි දී නයිල් ගංගාධාරයේ දකුණු දිග භූමි ප්‍රදේශයන් වෙත ශීඝ්‍රයෙන් ව්‍යාප්ත ව ගියෝය. ඔවුහු නයිල් ගංගාධාරයේ වාර්ෂික පිටාර ගැලීම් හේතුවෙන් වඩ වඩාත් භූමිය තුළට තම ගොවි බිම් ප්‍රසාරණය කරවූහ. එහි ප්‍රතිඵලයක් වශයෙන් ආහාර සුලබ වීමත්, ජනගහනයේ වර්ධනයත්, ප්‍රදේශයේ සශ්‍රීකත්වයත් එක හා සමාන ව දියුණු විය. එහෙයින් ඊජිප්තු ඉතිහාසයේ මුල් අවධිය නයිල් ගංගා නිම්නය ඔස්සේ ශිෂ්ටාචාරය ස්ථාපනය වීමේ අවධියක් ලෙස දැක්විය හැකිය.

මෙම ස්වාධීන වර්ධනයෙහි සුමට බව රඳා පැවතීමට ඊජිප්තුවරුන්ට ස්වභාවධර්මයෙන් නිසග ව ලැබුණු ආරක්ෂාවක් වූයේ පුරාණ ඊජිප්තුව, ජනශූන්‍ය වූ කාන්තාරවලින් වට වී පැවතීම සහ සතුරු ආක්‍රමණ හා පහරදීම් සිදු විය හැකි ව පැවතියේ බටහිර සහ ඊසාන දිග මධ්‍යධරණී වෙරළ තීරය ඔස්සේ හෝ දකුණෙන් වූ ගංගා නිම්නයෙන් හා සෘජු ව ම මුහුදු මාර්ගයෙන් පමණක් ම වූ නිසා ය.

බොහෝ ඊජිප්තු ඉතිහාසඥයන් සහ විද්‍යාර්ථීන් විසින් ක්‍රි.පූ 5000 ආශ්‍රිත කාල පරිච්ඡේදය ඊජිප්තු පූර්ව රාජධානි සමය (Pre Dynastic Period) ලෙසින් සලකනු ලැබේ. එම කාලපරිච්ඡේදය ස්වාධීන පාරාවෝ රාජ්‍යයක් බිහිවීමට පෙර පැවති අවධිය වෙයි.

ප්තා දෙවියන්ගේ (God Ptah) මූර්තියක්

පූර්ව රාජධානි සමය තුළ පැවති විවිධ සමාජයීය සංස්කෘතිකමය දත්තයන් අනාවරණය කර ගැනීමට පුරාවිද්‍යාත්මක ව වැදගත් ස්ථාන කිහිපයක් සහ ඉන් හෙළි වන කරුණු අධ්‍යයනය කිරීම වැදගත් ය. සංචාරක දඩයම් යුගය ඉක්මවා ස්ථාවර කෘෂිකාර්මික යුගයක් වෙත පිය තැබීමට මානවයා තැබූ සටහන් පුරාවිද්‍යා කැණීම් මගින් අනාවරණය කර ගැනීමට ඊජිප්තු ගවේශකයන් සමත් වී ඇත. ඓතිහාසික ව වැදගත් දත්තයන් හමු වූ ස්ථාන කිහිපයක් වෙත අපගේ අවධානය යොමු කරමු.

ෆෙයුම් (Faiyum)

ක්‍රි.ව. 1920 දී වර්තමාන කයිරෝ නගරයට කිලෝ මීටර සියයක් පමණ නිරිත දිගින් ඇති ෆෙයුම් ක්ෂේම භූමියෙහි සිදු කළ කැණීම් මගින් ක්‍රි.පූ. 4500 පමණ කාල නීර්ණය කළ පැරණි යුගයට අයත් භාජන 300ක් පමණ සහ ධාන්‍ය ගබඩා කළ හැකි බඳුන් සොයා ගැනුණි.

කෙමෙට් (Kemet) යනුවෙන් පැරණි ඊජිප්තුවරුන් හැඳින්වූ සාරවත් වූ කෘෂිකාර්මික නවෝදයෙහි පූර්ව අවධිය, එනම්, සංචාරක දඩයම් යුගය ඉක්ම වූ ස්ථාවර ජනපද සංකල්පයෙහි ආරම්භක යුගයක සටහන් මෙම කැණීම් මගින් අර්ථවත් වේ.

ෆෙයුම් (Faiyum) ක්ෂේම භූමියෙන් සොයා ගත් පූර්ව රාජධානි සමයට අයත් යැයි සැලකෙන,

ධාන්‍ය රැස් කිරීමට භාවිතා කළ වියන ලද රවුම් කූඩය

ෆෙයුම් (Faiyum) ක්ෂේම භූමියෙන් සොයා ගත් පූර්ව රාජධානි සමයට අයත් යැයි සැලකෙන,

පාෂාණමය මිටියක හිසක්

ෆෙයුම් (Faiyum) ක්ෂේම භූමියෙන් සොයා ගත් පූර්ව රාජධානි සමයට අයත් යැයි සැලකෙන,

සත්ව අස්ථි මගින් නිර්මිත ඊතල හිස්

ෆෙයුම් (Faiyum) ක්ෂේම භූමියෙන් සොයා ගත් පූර්ව රාජධානි සමයට අයත් යැයි සැලකෙන,

පාෂාණ මගින් නිර්මාණිත ඊතල හිස්

ෆෙයුම් (Faiyum) ක්ෂේම භූමියෙන් සොයා ගත් පූර්ව රාජධානි සමයට අයත් යැයි සැලකෙන,

පාෂාණ මගින් නිර්මාණිත පිහි තල

ෆෙයුම් (Faiyum) ක්ෂේම භූමියෙන් සොයා ගත් පූර්ව රාජධානි සමයට අයත් යැයි සැලකෙන,

මැටියෙන් සාදන ලද රවුම් පාදම සහිත භාජනයක්

ෆෙයුම් (Faiyum) ක්ෂේම භූමියෙන් සොයා ගත් පූර්ව රාජධානි සමයට අයත් යැයි සැලකෙන,

ගල් පතුරකින් සෑදූ තලයක් සහ ලී මිටක් සහිතව නිර්මාණය කරන ලද දෑකැත්තක්

පූර්ව රාජධානි සමයට අයත් මෙම සොයා ගැනීම් මගින් සංචාරක දඩයම් යුගයේ සිට කෘෂිකාරමික යුගයක් වෙත පැරණි වාර්ගික ජන කණ්ඩායම් සංක්‍රමණය වීම පැහැදිලි ව දැකිය හැකි ය.

ෆෙයුම් ක්ෂේම භූමියෙන් සොයා ගත් උපකරණ මෙන්ම කෘෂිකාර්මික මෙවලම් තව දුරටත් පර්යේෂණයන්ට භාජනය කිරීම තුළින් පැරණි ඊජිප්තුවරුන් ප්‍රධාන වශයෙන් තිරිගු වගා කොට ඇති බවත් බාර්ලි සහ වෙනත් බෝගයන් ද වගා කළ බවටත් සාක්ෂි පවතී. සොයා ගත් ධාන්‍ය ගබඩා කරනු ලැබූ භාජනයන් දිගින් අඩි හතරක් සහ ගැඹුරින් අඩි දෙකක් පමණ ප්‍රමාණයන්ගෙන් යුක්ත වීම මගින් තහවුරු වන්නේ ඔවුන් කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය තුළ ලබා තිබූ වර්ධනයයි.

පූර්ව රාජධානි සමයට අයත් සංස්කෘතීන්

නයිල් නදියේ වාර්ෂික පිටාර ගැලීම හේතුවෙන් ලැබුණා වූ සරු පසත් නයිල් නදිය ආශ්‍රයෙන් පැවතුණා වූ ජල මාර්ගයනුත් හේතුවෙන් ෆෙයුම් වැසියන්ගේ වගාවන් සශ්‍රීක විය. වාර්ෂික ව නයිල් නදිය පිටාර ගැලීම හේතුවෙන් ඔවුහු තම වගාවන් වසරේ නිශ්චිත කාලයක් තුළ සිදු කළ බව සිතිය හැකි ය. ඔවුන් විසින් ධාන්‍ය ගබඩා කරන ලද්දේ වගා නොකරන සෘතුන්හි දී ප්‍රයෝජනයට ගැනීමට බව ෆෙයුම් ක්ෂේම භූමියෙන් සොයා ගත් ධාන්‍ය ගබඩා කිරීමට භාවිත කළ බඳුනෙහි විශාලත්වයෙන් ම පැහැදිලි වේ.

නමුත් නයිල් නදියේ වාර්ෂික පිටාර ගැලීම හරහා උත්පාදිත ජල මාර්ගයන් විවෘත වීම මත ම පමණක් ඔවුන්ට යැපීම් මාර්ග සකසා ගත හැකි වූවා ද යන්න පිළිබඳ මෙතෙක් නිශ්චිත අදහසක් ඉදිරිපත් වී නොමැත.

ඔවුන්ගේ ආහාරයන් සඳහා අවශ්‍ය මාංශයන් සපයා ගැනීමට ඔවුන්ට දඩයම් කිරීමට අවශ්‍ය විය. එමෙන් ම ඇතැම් විට වසරේ ජලය හිඟ සෘතූන්හි දී ඔවුන්ට තම අවශ්‍යතා සපුරා ගැනීමට වෙනත් ජලාශ්‍රිත ප්‍රදේශවලට සංක්‍රමණය වීමට සිදු වන්නට ද ඇත.

ෆෙයුම් ක්ෂේම භූමියෙන් සොයා ගත් ආහාර පිසින බඳුන් සහ පිලිස්සුණු මත්ස්‍ය කොටස්, එළුවන්, බැටළුවන්, ඌරන්, පාත්තයන්, කිඹුළන් සහ කැස්බෑවන් ආදී සත්වයන්ගේ ශේෂයන් ඔවුන්ගේ ආහාර රටාව පිළිබඳ අවබෝධයක් ලබා දේ. දඩයමට අමතර ව ඔවුන් සතුන් ඇති කළ බව මින් ගම්‍ය වෙයි.

ඊජිප්තු පූර්ව රාජධානි සමයේ දී වෙන් වෙන් වශයෙන් වූ ජන සංස්කෘතීන් නැගෙනහිර මධ්‍යධරණී ප්‍රදේශන් හා දකුණ දිග මෙසපොතේමියාව (Southern Mesopotamia) ආශ්‍රිතව පැවතියේ ය. ඔවුන් සහ නයිල් නිම්නය ආශ්‍රිතව පැවති ෆෙයුම්, මෙරිම්ඩේ, බඩාරි සහ නකාඩා (Faiyum, Merimda, Badari, Naqada) ආදී ජන සංස්කෘතීන් අතර අන්තර් සම්බන්ධයක් තිබූ බවත් තාක්ෂණික ඥානය සහ නිෂ්පාදන මෙවලම් ඔවුන් හුවමාරු කර ගන්නට ඇති බවත් අපට නිගමනය කළ හැක.

මෙරිම්ඩේ (Merimde) ක්‍රි.පූ 4300 - 3700

පූර්ව රාජධානි සමයට ඇතුළත් වන තවත් සංස්කෘතිමය ජන සමූහයක නෂ්ටාවශේෂ ෆෙයුම් ක්ෂේම භූමියෙන් කිලෝ මීටර 115 පමණ උතුරට වන්නට නයිල් නදියේ බටහිර ඩෙල්ටාව ආශ්‍රිත ව දැකිය හැකි ය. පොදුවේ ගත් විට, ෆෙයුම් ක්ෂේම භූමියෙන් හමු වූ භාජන සහ ධාන්‍ය ගබඩා කරනු ලැබූ භාජන මෙම ප්‍රදේශයෙන් ද හමු වේ.

මෙරිම්ඩේ හි හමුවූ මිනිස් හිසක මූර්තිය

මෙහි ඇති එක් සුවිශේෂී ලක්ෂණයක් වන්නේ ෆෙයුම් සංස්කෘතියෙන් හමු වූ ධාන්‍ය ගබඩා කරනු ලැබූ භාජනයන්ට වඩා ප්‍රමාණයෙන් කුඩා ධාන්‍ය ගබඩා කරනු ලැබූ භාජනයන් මෙරිම්ඩේ සංස්කෘතිය තුළ දැකිය හැකි වීම යි. වෙන් වෙන් වශයෙන් වූ ධාන්‍ය ගබඩා මෙහි දැකිය හැකිය. ශිෂ්ටාචාරයේ එක් වර්ධනීය අවස්ථාවක් ලෙස පවුල කේන්ද්‍ර වූ සමාජයක් මෙරිම්ඩේ (Merimde) සංස්කෘතිය තුළ පැවති බව හමු වී ඇති සාධක මගින් පැහැදිලි වේ.

මෙරිම්ඩේවරුන්ගේ ආහාර රටාව ද ෆෙයුම් සංස්කෘතියේ ආහාර රටාවට සමාන වූ අතර ඌරන්, එළුවන්, මසුන් මෙන් ම හිපපොටේමස් සතුන් ද ඔවුන්ගේ ආහාර අතර වෙයි. හිපපොටේමස් වැනි සතුන්ගේ ශරීර විශාලත්වය සැලකීමේ දී ඔවුන් සාමූහික ව දඩයම් කළ බව නිගමනය කළ හැකි වේ.

මෙරිම්ඩේහි (Merimde)සොයා ගත් නෂ්ටාවශේෂ අතර සමස්ත ඊජිප්තු ඉතිහාසය තුළින් හමු වූ පැරණිතම සම්පූර්ණ ප්‍රමාණයේ මිනිස් හිසක මූර්තිය වැදගත් ය. එය නිර්මාණය කිරීමේ හේතුව තව මත් හෙළි වී නොමැති මුත් සංස්කෘතිමය වශයෙන් මෙරිම්ඩේවරුන් වඩාත් දියුණු තලයක සිටි බව ඉන් පෙනේ.

බඩාරි (Badari) ක්‍රි.පූ 4500 - 4000

වර්තමානයේ ඊජිප්තුවෙහි මධ්‍යයෙහි එල් බඩාරි (El –Badari) ප්‍රදේශය මුල් කොට ගත් වඩාත් ව්‍යාප්ත වූ සංස්කෘතියක් ඇත. මෙම ජන කණ්ඩායම් පසු කාලීන ව සභ්‍යත්වයට පැමිණි, ඊජිප්තුවරුන්ගේ පූර්වජයන් සේ විද්‍යාර්ථීහු සලකති. ඔවුන් සතුව දියුණු කෘෂිකර්මාන්තයක් පැවතුණි. පොදුවේ ගත් විට, අනෙකුත් සංස්කෘතීන්හි දී මෙන් ඔවුහු ද තිරිගු, බාර්ලි ධාන්‍ය වර්ග වැවූහ. එයට අමතර ව පලතුරු වර්ග සහ ඖෂධීය පැළැටි වර්ග රෝපණය කළහ.

පසු කාලීන ව ඊජිප්තුවරුන් නිර්මාණය කළා වූ මූර්ති කලාවේ ආරම්භක ශෛලිය මෙම සංස්කෘතිය තුළින් බිහි විය. ඔවුහු නව මානයකින් යුත් ශෛලියකින් යුතු ව මානව රූප සහ වෙනත් මූර්ති නිර්මාණය කළෝ ය.

ඉතිහාසඥයින් සොයා ගත් ඔවුන්ගේ සොහොන් භූමි තුළ දැකිය හැකි විශේෂත්වයක් වූයේ මිහිදන් කළ සිරුරු සමග යුධ ආයුධ හමු වීම අල්ප වීම යි. සාමාන්‍යයෙන්, බඩාරිවරුන් සාමකාමී වූ ජන වර්ගයක් ලෙස ශාස්ත්‍රඥයින් සලකන්නේ මේ කරුණු හේතුවෙනි. ඔවුහු පසු යුගයන් තුළ ඊජිප්තුවරුන්ගෙන් විද්‍යමාන වූ ශරීර ලක්ෂණයන්ගෙන් යුක්ත වූවෝ වූහ.

ඔවුන්ගේ කොන්ඩා ලා දුඹුරු පැහැය මිශ්‍රිත කළු පැහැයෙන් යුත් බොකුටු ආකාරයකින් විය. පුරුෂයන් සම්පූර්ණයෙන් රැවුල මුඩු කරන ලදැයි සැලකේ. ඇත් දළ සහ අස්ථිවලින් නිර්මාණිත පනා ආදිය හමු වීම තුළින් ඔවුන් වඩාත් සභ්‍ය වූ පිරිසක් බව ගම්‍ය වේ.

බඩාරි (Badari) සංස්කෘතිය තුළින් සොයා ගත් පූර්ව රාජධානි සමයට අයත් යැයි සැලකෙන,

සොහොන් ගර්භයකින් සොයාගත් භෂ්මාවශේෂ තැන්පත් කළ බඳුනක්

බඩාරි (Badari) සංස්කෘතිය තුළින් සොයා ගත් පූර්ව රාජධානි සමයට අයත් යැයි සැලකෙන,

මැටි වලින් නිර්මිත බඳුනක්

බඩාරි (Badari) සංස්කෘතිය තුළින් සොයා ගත් පූර්ව රාජධානි සමයට අයත් යැයි සැලකෙන,

ඇත් දළ උපයෝගී කරගනිමින් නිර්මාණය කරන ලද හිපපොටේමස් සත්වටයකුගේ ආකෘතියෙන් යුත් රූපලාවන්‍ය බඳුනක්

බඩාරි (Badari) සංස්කෘතිය තුළින් සොයා ගත් පූර්ව රාජධානි සමයට අයත් යැයි සැලකෙන,

හිපපොටේමස් සත්ව දළයකින් නිර්මිත කාන්තා රුවක්

බඩාරි (Badari) සංස්කෘතිය තුළින් සොයා ගත් පූර්ව රාජධානි සමයට අයත් යැයි සැලකෙන,

පබළු ආභරණයක්

බඩාරි (Badari) සංස්කෘතිය තුළින් සොයා ගත් පූර්ව රාජධානි සමයට අයත් යැයි සැලකෙන,

සුවඳ විළවුන් ගබඩා කිරීම සඳහා භාවිතා කළ ඇත් දළ හැන්දක්

බඩාරි (Badari) සංස්කෘතිය තුළින් සොයා ගත් පූර්ව රාජධානි සමයට අයත් යැයි සැලකෙන,

මැටි වලින් නිර්මිත බඳුනක්

නකාඩා (Naqada) ක්‍රි.පූ 4000 - 3000

බඩාරි (Badari) ප්‍රදේශයට කිලෝමීටර 150 පමණ දකුණු දිශාවෙහි පැවති සංස්කෘතියක්. එය ඉහළ ඊජිප්තුව තුළ පුළුල් ව ව්‍යාප්ත ව පැවති සංස්කෘතිය වේ. එමෙන් ම මුල් පාරාවෝ රාජ්‍ය පාලන යුගයන්ගේ පදනම වූයේ එය යි. මෙම සංස්කෘතිය අබිඩොස් (Abydos), හෙරක්නොපොලිස් (Hierakonpolis) සහ නකාඩා (Naqada) ප්‍රදේශයන් අලළා ව්‍යාප්ත වූ සංස්කෘතියකි. කාන්තාර උෂ්ණත්වයට ඔරොත්තු දෙන උස් වූ ඕවලාකාර නිවස්නයන්හි ඔවුහු වාසය කළෝ ය. කෘෂිකර්මාන්තය මෙන් ම අනෙකුත් සංස්කෘතික අංගයන් තුළ ඔවුහු වඩාත් පෙරට පැමිණියෝ ය. ක්‍රි.පූ. 3000 - 3500 පමණ කාලය වන විට මෙම සභ්‍යත්වය නයිල් නදියේ උතුරු දෙසට සහ දක්ෂිණ ප්‍රදේශ කරා වේගයෙන් ව්‍යාප්ත වූ බව දැකිය හැකි ය. එමෙන් ම, කෘෂි ආර්ථිකමය සමාජයක් කරා වර්ධනය වෙමින් ඔවුහු මධ්‍යම ආසියාව, ඉරානය ආදී වෙනත් ප්‍රදේශ සමග සම්බන්ධතා ගොඩනගා ගත් හ. එම සබඳතා හේතුවෙන් නකාඩා (Naqada) සංස්කෘතියෙහි මූර්ති සහ අනෙකුත් නිර්මාණයන් විමර්ශනය කිරීමේ දී ඔවුන් වෙනත් සංස්කෘතිමය ශෛලීන් උකහා ගත් බව පැහැදිලි ව දැකිය හැකි ය.

ඊජිප්තු ජීවනයෙහි ආරම්භක ආගමික සංකල්ප සහ දේවස්ථාන ඉදිකිරීම ද මෙම යුගයේ විශේෂත්වයකි. තඹ, රන්, රිදී මෙන් ම ඇත් දළ උපයෝගී කර ගත් භාණ්ඩ නිෂ්පාදනය ද පුළුල් ව ව්‍යාප්ත වූ කාල පරිච්ඡේදයක් ලෙස නකාඩා (Naqada) සංස්කෘතිය කැපී පෙනෙයි.

ක්‍රි.ව. 1984 දී ඇමරිකානු ඉතිහාසඥ මයිකල් හොෆ්මන් (Michael A. Hoffman) ඇතුළු ගවේෂක පිරිසක් විසින් හෙරක්නොපොලිස්හි (Hierakonpolis) සොයා ගත් නකාඩා (Naqada) යුගයට අයත් ගොඩනැගිලි පද්ධතියක තොරතුරු මගින් මෙම සංස්කෘතිය පිළිබඳ ව පැහැදිලි චිත්‍රයක් මවා දෙයි. පෙර සංස්කෘතීන් තුළ පැවති සීමා සහිතකම් ඉක්ම වූ නගර මොවුන් නිර්මාණය කළ බැව් එම සොයා ගැනීම් මගින් තහවුරු වෙයි. භාණ්ඩ නිෂ්පාදනය කරන ස්ථාන, ගබඩා සංකීර්ණ, පාලන මධ්‍යස්ථාන, ආයුධ නිෂ්පාදන, ස්වර්ණාභර්ණ නිපයුම් ආදී කෘෂි ආර්ථික සමාජයක මූලිකාංග, නකාඩා (Naqada) සංස්කෘතිය තුළින් විද්‍යාමාන වෙයි.

නකාඩා (Naqada) සංස්කෘතීන් තුළින් සොයා ගත් පූර්ව රාජධානි සමයට අයත් යැයි සැලකෙන,

ඇත් දළ වලින් නිර්මිත උපකරණ

නකාඩා (Naqada) සංස්කෘතීන් තුළින් සොයා ගත් පූර්ව රාජධානි සමයට අයත් යැයි සැලකෙන,

දඩයම්කරුගේ පලකය

නකාඩා (Naqada) සංස්කෘතීන් තුළින් සොයා ගත් පූර්ව රාජධානි සමයට අයත් යැයි සැලකෙන,

මිනිස් රුවක්

නකාඩා (Naqada) සංස්කෘතීන් තුළින් සොයා ගත් පූර්ව රාජධානි සමයට අයත් යැයි සැලකෙන,

සංග්‍රාමික පළිහක්

නකාඩා (Naqada) සංස්කෘතීන් තුළින් සොයා ගත් පූර්ව රාජධානි සමයට අයත් යැයි සැලකෙන,

මැටියෙන් නිර්මාණය කළ ගවයන් සතර දෙනෙක්

නකාඩා (Naqada) සංස්කෘතීන් තුළින් සොයා ගත් පූර්ව රාජධානි සමයට අයත් යැයි සැලකෙන,

සංගීත උපකරණයක්

නකාඩා (Naqada) සංස්කෘතිය ආශ්‍රිත සොහොන් භූමි පරිශ්‍රයන් පිළිබඳ විමසීමේ දී එම සමාජයෙහි පැවති සමාජ ස්තරයන් සහ ක්‍රියාකාරකම් පිළිබඳ ව පැහැදිලි අදහසක් ඇති කර ගත හැකි ය. ඇතැම් සුසාන භූමි තුළ සාමයෙන් සැතැපුණු පුද්ගල කණ්ඩායම් මෙන් ම ඇතැම් සොහොන් භූමි තුළ අමානුෂික ලෙස ඝාතනයට ලක් වූ පුද්ගල කණ්ඩායම් ද දැකිය හැකි ය. ඝාතනයට ලක් වූවන් එක්කෝ සිරකරුවන් හෝ විවිධ දඩුවම්වලට පාත්‍ර වූවන් බව ඔවුන්ගේ අස්ථි තියුණු ආයුධවලින් කැපී තිබීමෙන් සහ කැඩී තිබීමෙන් පෙනේ. ඓතිහාසික සාධක නොමැති කමින්, නකාඩා (Naqada) සංස්කෘතිය සහ ඊජිප්තු පූර්ව රාජධානි සමය (Pre-dynastic period) තුළ ඊජිප්තුවෙහි පාලන තන්ත්‍රය පිළිබඳ ව පැවති අනවබෝධය වර්තමාන ඉතිහාස ගවේෂණයන් මගින් වෙනස් තලයකට යොමු කර ඇත.

ඉතිහාසය කිසි විටෙකත් ස්ථිතික නො වේ. එය නව සොයා ගැනීම් මත වෙනස් වෙයි. ඓතිහාසික ලිඛිත සාධක හමු වීම ඉතිහාසය තුළ තහවුරු වූ කරණු වෙනස් කිරීම සඳහා වඩාත් තීව්‍ර බලපෑමක් ඇති කරයි.

එය ඊජිප්තු ඉතිහාසයට ද පොදු වූ නියාමයකි.

ඊජිප්තු ඉතිහාසයෙහි පූර්ව රාජ්‍ය පාලන අවධිය සහ මුල් කාලීන රාජ්‍ය පාලන අවධිය (පළමු පාරාවෝ රාජ්‍ය පාලන යුගය) ඇති වීම අතර පැවති රික්තය සපුරා ලීමට යේල් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජෝන් කොල්මන් ඩානෙල් (professor john coleman darnell) සමත් වී ඇත.

එය ඉතිහාසයේ නව පිටුවක ආරම්භයකි.

දකුණු දිග ඊජිප්තුවෙහි නයිල් නදියට කිලෝමීටර දහයක් පමණ බටහිර දෙසට වන්නට පිහිටා ඇති ගෙබෙල් ජව්ටි (Gebel Tjauti) පර්වතයන්හි පැවති සංකේතාත්මක රූ සටහන් කිහිපයක් ඔහු විසින් සොයා ගනු ලැබිණ.. එම සොයා ගැනීම මත මෙතෙක් අපැහැදිලි ව පැවති පාරාවෝ වංශ කතාවේ ආරම්භය දැන් අපට සැලකිය යුතු මට්ටමින් සම්පූර්ණ කළ හැකි ය.

මෙම ලිපියෙහි දෙවන කොටසින් අපි ඒ ගැන කතා කරමු.

2022 අගෝස්තු 20

ඊජිප්තු සංස්කෘතියේ ආරම්භක සමය පිළිබඳව මෙම ලිපි මාලාවෙහි පළමු කොටසින් අපි සාකච්ඡා කෙළෙමු. පූර්ව ඊජිප්තු ඉතිහාසයෙහි අවසානය සහ ප්‍රථම පාරාවෝ රාජ වංශය ආරම්භය අතර පැවති රික්තය සපුරා ලීමට ඉතිහාසයේ නව සොයා ගැනීම් සමත් වී තිබේ. මෙම ලිපියෙන් ඊජිප්තු ඉතිහාසයෙහි පදනම වූ පූර්ව ඊජිප්තු ඉතිහාසයෙහි අවසානය ගැන අවධානය යොමු කරමු. එහි දී විශේෂයෙන් අවධානය යොමු වන්නේ ස්කෝපියන් රජු වෙත ය. ..

2024 මාර්තු 20

මුල් රාජධානි සමය

ඊජිප්තු සංස්කෘතිය ලිපි මාලාවේ දෙවන කොටසින් අපි ස්කෝපියන් රජුගෙන් පසු අභිෂේක ලැබූ අනුප්‍රාප්තිකයෙකු ලෙස නාමෙර් රජු (King Narmer) හඳුනා ගතිමු. ඔහු නයිල් නිම්නයේ ඉහළ ඩෙල්ටාවෙහි පාලකයා වූ අතර පහත ඩෙල්ටාව ආශ්‍රිත මිටියාවතෙහි වූ රාජධානිය ආක්‍රමණය කොට ඊජිප්තු ඉතිහාසයෙහි ප්‍රථම වරට එක් සේසත් වූ මුල්ම ස්ථාවර රාජ්‍යය බිහි කළේ ය.

එමගින් රාජ්‍ය පාලනයෙහි පළමු වන පාරාවෝ රාජ්‍ය වංශය පිහිටු වූයේ ය. මෙම්පිස් ...

ඔබගේ අදහස් අපට එවන්න.