වර්නර් හර්සොග් ගේ ගූඪ සිනමා පාරමිතාව

“සිනමාව යනු ජීවිතය කෙරෙහි ඇති මගේ බැඳීමයි”

2022 දෙසැම්බර් 7

Werner Herzog

ලෝකප්‍රකට ජර්මන් ජාතික චිත්‍රපට අධ්‍යක්ෂ වර්නර් හර්සොග් මේ වනවිට චිත්‍රපට 70කට අධික සංඛ්‍යාවක් නිර්මාණයකොට ජාත්‍යන්තර කීර්තියට පත්ව සිටින, එසේම කිසියම් පූජනීයත්වයකින් සැලකුම් ලබන අසාමාන්‍ය සිනමා චින්තකයෙකු ලෙස සැලකේ. වඩාත් විස්මයට පත්විය හැකි කරුණක් වන්නේ ඔහු කිසි දිනෙක විධිමත් අධ්‍යාපනයක් ලැබූවෙකු හෝ සිනමා පාසැලක පවා ඉගෙනීමක් ලැබූ අයෙකු නොවීමයි. වයස අවුරුදු 20ක් එළැඹීමට ද මත්තෙන් හේ සිය ප්‍රථම චිත්‍රපටය නිර්මාණය කළේ වෑල්ඩින්කරුවකු ලෙස කර්මාන්ත ශාලාවක සේවය කිරීමෙන් උපයාගත් මුදලින් බැව් ඔහු පවසයි. සාර්ථක සිනමාකරුවකු වීමට නම් කෙනෙකු කළ යුත්තේ වැඩි වැඩියෙන් චිත්‍රපට නැරඹීම නොව වැඩි වැඩියෙන් කියවීම යැයි ඔහු කිසියම් සිනමා වැඩමුළුවක දී තරුණ සිනමාකරුවන් පිරිසක් අමතා කියා සිටියේය. ඔහු එහිදී ‘කියවීම’ යන්න අවධාරණය කළේ එකී වචනය දස වරක් පමණ (reading, reading, reading…. ලෙස) එක දිගටම උච්චාරණය කරමිනි. එකී කියවීම සිනමාව හා අදාල පොතපතට පමණක් සීමා නොවිය යුතුය යන්න ඔහු අවධාරණය කරයි.

වර්නර් හර්සොග් යනු වඩාත් ගුප්ත හා අද්භූත චරිත ලක්ෂණ පිළිබිඹු කළ අපගේ යුගයේ සිනමාකරුවාය යන්න බොහෝ දෙනාගේ පිළිගැනීමයි. තමා නියැලි කලා මාධ්‍යය පිළිබඳව ඔහුගේ කැපවීම හා ආවේශවීම (possession) පිළිබඳ කදිම නිදසුනක් වන්නේ 1982 දී ඔහු නිර්මාණය කළ ‘Fitzcarraldo’ චිත්‍රපටයේ එන ජවනිකාවක් සඳහා ටොන් 360ක් බරැති දුම් නැවක් ඇමසන් වනාන්තරයේ රූස්ස කඳුවැටියක් ඔස්සේ රැගෙන යාමට ඔහු කළ උත්සාහයයි. එම යුගයේ භාවිතා වූ සිනමා තාක්ෂණයට අනුව පරිගණක දෘෂ්‍ය ප්‍රයෝග (visual effects) භාවිත නොවීය. එබැවින් සිය රංගන ශිල්පීන් හා සිනමා කණ්ඩායමේ සෙසු ශිල්පීන් සියල්ලෝම දැඩි අපහසුතාවකටත් පීඩනයකටත් පත් කරමින් එකී කටයුත්ත සාර්ථක කරගැනීමට ඔහු ක්‍රියා කළේය. හෙතෙම සිය සිනමා නිර්මාණය කෙරෙහි පමණක් ආසක්ත වන, වටහා ගැනීමට අපහසු චරිතයක් බැව් බොහෝ දෙනාගේ පිළිගැනීමයි. තරුණ වියේ සිටම ඔහු ච්ත්‍රපට අධ්‍යක්ෂණය කළේ එවැනිම වූ මායාත්මක මනෝභාවයකින් යුතුවයැයි යන්න ප්‍රචලිත කරුණකි.

1972 දී ඔහු නිර්මාණය කළ ‘Aguirre The Wrath Of God’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කළ ක්ලවුස් කින්ස්කි (Klaus Kinski) නම් නළුවා වරක් චිත්‍රපට පසුතලයෙන් පිටවීමට තීරණය කළ බැවින් හර්සොග් ඔහුට වෙඩි තැබීමට පවා උත්සාහ කළ බැව් කියැවේ.

හෙතෙම හදවතින්ම දර්ශනවාදියෙකි. ඔහු අතිශයින් දුෂ්කර පරිසරයන් වෙත සිය චරිත රැගෙන යමින් ඔවුන් මරණයේ අද්දරටම තල්ලු කර දමයි. ඇලස්කාවේ හිම කඳු, නිරිතදිග ආසියාවේ මෙන්ම ඇමසන් නදිය අසබඩ ඝණ වනාන්තර ඔහුගේ බොහෝ චිත්‍රපට පසුතල බවට පත්වූයේ එයාකාරයටයි. හෙතෙම සිය චිත්‍රපට පුරා කිසියම් වූ අපූර්වත්වයක් ගොඩනැඟීමට උත්සාහ කරන්නේ ගුප්ත, බියකරු,නීරස එමෙන්ම වික්ෂිප්ත මනෝභාවයක් ජනිත කිරීමටයි.

1982 දී පීරු හි වැසි වනාන්තර පසුතලයක ‘Fitzcarraldo’ චිත්‍රපටය රූගත කරද්දී හෙතෙම මෙසේ පැවසීය.

“අප අවට ඇති මේ පරිසරය දෙස බලද්දී එහි කිසියම් වූ අපූර්ව, ස්වාභාවික සුසංගත බවක් පෙනෙනවා විය හැකියි. එහෙත් එහි ඇත්තේ ‘මරණය’ පිළිබඳ උතුරා යන මනෝභාවයක් ”

වසර 20 කට පසු එනම් 2002 දී ‘Grizzly Man’ නම් වූ වාර්තා චිත්‍රපටය සඳහා වලසකු රූගත කරද්දී, උගේ දෑස් දෙස සෘජුවම බලා සිටිමින් ඔහු කීවේ මෙවැන්නකි.

“මට මේ සතා කෙරෙහි කිසිම සමීප බවක් දැනෙන්නේ නැහැ. ඇත්තේ එකම දෙයයි. එනම්; සොබාදහමේ බියකරු බවයි.”

ඇන්ටාර්ටිකාවේ දී ‘Encounters At The End Of The World’ නම් වූ වාර්තා චිත්‍රපටය රූගත කරද්දී ඔහු කීවේ මෙවැන්නකි.

“ මිනිස් ජීවිතය යනු මහා විනාශකාරී සිද්ධි දාමයක එක් අවස්ථාවක් පමණයි. ඩයිනෝසරයින් මේ පෘථිවියෙන් චුතවීම ඉන් එක් අවස්ථාවක්.මීළඟට එළැඹෙන්නේ අපේ අවස්ථාව බවයි මට හිතෙන්නේ ”

හර්සොග් ගේ චිත්‍රපට තුළ නිරතුරුවම අඩංගුවන චරිතයක් ඇත. එය නම් පරිසරයත්, ඒ කෙරෙහි තදබල ලෙස බැඳුණු හා මායම් වීමක් වැන්නක් ඇතිකරගත් පුද්ගලයෙකි. එකී චරිතය, අවසානයේ එම දැවැන්ත පරිසරය තුළ ක්ෂුද්‍ර ජීවියෙකු බවට පත්වේ. ‘Aguirre The Wrath Of God’ චිත්‍රපටය අවසානයේ දී උඬඟු ගවේෂකයා (ක්ලව්ස් කින්ස්කි රඟන) වනාන්තරයෙන් වටවුණු ඇමෑසන් නදියේ එකතැන කරකැවෙන පහුරක් මත උමතුවෙන් හැසිරෙන සිරකරුවකු බවට පත්වේ. ඔහු වටා ඇත්තේ මියගිය සිය සඟයින්ගේ මළ කඳන්ය. පහුරට ගොඩවුණු 400ක් පමණ වූ රිලා කණ්ඩායමක් ද එහි සිටිති. එම මොහොතේ ගවේෂකයා, තමා ගොඩනැඟීමට උත්සාහ කළ අධිරාජ්‍යය තුළම කොටුවී සිටී.

‘Grizzly Man’ නම් වූ වාර්තා චිත්‍රපටයේ එන තිමති ටේ‍රඩ්වෙල් නම් පුද්ගලයා හැඩිදැඩි වලසුන් අතර ජීවත්වෙමින් උපරිම වින්දනයක් ලැබීමට උත්සාහ කරයි. එහෙත් ඔහුගේ මෙම වැරදි වටහා ගැනීම නිසා ඔහු හා ඔහුගේ බිරිඳට උරුම වන්නේ මරණයයි. ඒ ඔවුන් වලසකුගේ පහර කෑමට ලක්වීම නිසයි. එහෙත් හර්සොග් නිතර ඔහුගේ නළු නිළියනට කියා සිටියේ රූගත කිරීමක දී වලසෙකුට වුව ද හොඳටම ලංවී උගේ නාසය ස්පර්ශ කළ හැකි ආකාරය සිතා බැලිය යුතු බවයි. ඔහු නිතර උත්සාහ කළේ ස්වභාව ධර්මය නම්වූ අතිමහත් ප්‍රබල බලවේගය කුමක්දැයි යන්න පිළිබඳව ප්‍රෙක්ෂකයා තුළ පුළුල් හැඟීමක් ඇති කිරීමටයි. එහිදී පරිසරයේ සුන්දරත්වයට ආසක්ත වීමට වඩා එයට ගරුත්වයක් හා බියක් දැක්වීමට ඔහු අපට ආරාධනා කරයි.

Grizzly Man

වර්නර් හර්සොග් ගේ නවතම නිර්මාණයක් වූ ‘Lo And Behold Reveries Of The Connected World’ නම් වූ වාර්තා චිත්‍රපටය සඳහා විෂය වන්නේ අන්තර්ජාලය, පරිගණක තාක්ෂණය හා මිනිස් වර්ගයා කෙරෙහි එහි ඇති බලපෑම පිළිබඳ කරුණයි. නුදුරු අනාගතයේ දී මිනිසා, යන්ත්‍ර සූත්‍ර භාවිතා කරනු ඇත්තේ සිය අත්පා හසුරුවන ආකාරයට බැව් සනාත කිරීමට හෙතෙම උත්සාහ කරයි. හර්සොග් කලකට ඉහතදී කියා සිටියේ සමාජ මාධ්‍ය ජාල යනු මිනිස් වර්ගයා වෙත එල්ල කරනු ලැබූ මෝඩයාගේ නිරුවත් රුදුරු ප්‍රහාරයක් බවයි. හෙතෙම ජංගම දුරකථනය පවා භාවිතා කළේ හදිසි අවස්ථාවකදී පමණි. ඇත්තවශයෙන්ම සිලිකොන් මිටියාවතේ ජයග්‍රහණයන් එතෙක් ඔහුගේ ලෝක දැක්ම කෙරෙහි කිසිදු බලපෑමක් ඇති කළ බවක් නොපෙණින. එහෙත් මෙම චිත්‍රපටය හරහා ඔහු උත්සාහ කරන්නේ අන්තර්ජාලය නම්වූ බිහිසුණු, රුදුරු වනපෙත හා මුහුණට මුහුණ ගැටීමටයි. මෙවර මෙකී උද්යෝගිමත් බාවේරියානුවාගේ මතවාදීමය ආස්ථානය වෙනසකට ලක් වී ඇත. අන්තර්ජාලය යනු විනාශකාරී සොයාගැනීමක් සේ හුවාදැක්වීම වෙනුවට එය සහස්‍ර වර්ෂයකට පසු මිනිස් වර්ගයාගේ පැවැත්ම හා අදාල දැවැන්ත සොයාගැනීමක් සේ විදහා පෑමට මෙවර ඔහු උත්සාහ ගනී.

චිත්‍රපටය ආරම්භ වන්නේ ඇමෙරිකාවේ කැලිෆෝර්නියා ලොස් ඇන්ජිලස් විශ්වවිද්‍යාලයේ (UCLA) ගොඩනැගිල්ලක ඇති 3420 නම් කාමරයේ දීය. එකී කාමරය තුළ සුවිශේෂී යන්ත්‍රයක් තැන්පත්කර ඇත. එය නම් අද අප ‘අන්තර්ජාලය’ ලෙස හඳුන්වනු ලබන මාධ්‍යය හරහා ප්‍රථම වරට ඉලෙක්ට්‍රොනික පණිවිඩයක් යැවූ යන්ත්‍රයයි. එකී සංඥාව වූයේ ‘Lo’ යන්නයි. ඇත්තවශයෙන් ම එහිදී උත්සාහ ගෙන ඇත්තේ ‘Login’ නම් වචනය යැවීමට වුවද මුල් අකුරු දෙක ලියද්දී පරිගණකය ක්‍රියා විරහිත වූ නිසා පණිවිඩය යැවුණේ ‘Lo’ ලෙසටයි. චිත්‍රපටයේ සිරස්තලයට නිමිත්ත වූයේ එයයි. චිත්‍රපටයේ ආරම්භක ජවනිකාවේ දී කොරිඩෝවක් හරහා ගමන් කරන කැමරාව එකී කාමරයට ඇතුළුවද්දී අපට හර්සොග් ගේ හඬ පසුබිම් කථනයක් සේ ඇසෙන්නට පටන් ගනී.

“මෙම ගොඩනැගිල්ලේ කොරිඩෝව අවට ප්‍රදේශය නීරස පෙනුමකින් යුතු වුවද අප ගමන් කරන්නේ පූජනීය ස්ථානයක් වැනි තැනකටයි.”

ඔහු මෙම කාමරය හඳුන්වන්නේ මිනිස් වර්ගයා අත්දකිමින් සිටින දැවැන්ත විපර්යාසයට මුල් වූ ගුප්ත අවකාශයක් ලෙසයි. ඔහු එය නම් කරන්නේ ‘Ground Zero’ යන නාමකරණයෙනි.

තමා කිසිවිටෙකත් බාහිර සත්‍යය පසුපස හඹා නොයන බවත් වැදගත් වන්නේ ප්‍රහර්ෂාත්මක සත්‍යය (ecst atic truth) ගවේෂණය කිරීම බවත් ඔහු කියයි. ඒ අනුව නූතන ඉතිහාසය තුළ සිදුවූ මෙකී සංසිද්ධිය විචක්ෂණශීලී බරසාර බවකින් යුතුව තිරය මත දිගහැරීමට වඩාත් සුදුසු සිනමාකරුවා ඔහු බැව් පිළිගැනීමට අපට සිදුවේ. මෙකී තාක්ෂණික විප්ලවය අපගේ ජීවිත හා අනන්‍ය වන මොහොත මේ යැයි ඔහු පවසයි. අන්තර්ජාලය ඔස්සේ සිදුවන දැනුම හුවමාරුවීම මිනිසුන් ලෙස අපගේ විඥානයට කවර අන්දමේ බලපෑමක් කරන්නේ ද? අපට දැරීමට නොහැකි ආකාරයකින් සිදුවන එකී විපර්යාසයේ ප්‍රතිඵල සමාජය තුළ සංසරණය වන විට කවරක් නම් සිදුවිය හැකිද?

අද දින ඩිජිටල් තාක්ෂණය කොතෙක් දුරට සමාජය තුළ කිඳා බැස ඇතිද යත් එය අපට දරා ගැනීමට පවා නොහැකි මට්ටමකට පැමිණ ඇත. ඇත්තවශයෙන්ම මෙම චිත්‍රපටය සාකච්ඡා කරන්නේ අනාගතයේ දී මිනිසා කවර නම් සත්ත්වයෙකු විය හැකිද යන්නයි. ගින්දර හා විදුලිබලය භාවිතයට ගැනීම මිනිස් ශිෂ්ටාචාරයේ දැවැන්ත ඉදිරි පියවරක් සේ සැලකිය හැකි බවත්, මෙයද එවැනිම වූ තවත් පියවරකැයි ද ඔහු කියා සිටී.

‘Lo And Behold’ එක්තරා ආකාරයකින් විස්මය දනවන අපූරු චිත්‍රපටයකි. මෙම චිත්‍රපටය නිර්මාණය කිරීම සඳහා වූ මූලික අදහස පහලවූයේ වර්ෂ 2015 දී ඇමෙරිකාවේ නිව්යෝක් නුවර සිදුවූ අන්තර්ජාල සේවාවන් බිඳ වැටීමක් නිසා බැව් හර්සොග් කියයි. එහිදී ඉන්ධන පොම්පවල සිට ATM යන්ත්‍ර දක්වා වූ සියලු සේවාවන් ක්ෂණිකව ඇනහිටියේය. ප්‍රාන්තයේ සියලු කටයුතු අඩාල විය.

“නිව්යෝක් නුවර ඇතිවූ වැලි කුණාටු තත්වයක් නිසා එවැන්නක් සිදුවුණා. මගේ බිරිඳත් එයට මුහුණ දුන්නා. ඇය කියා සිටියේ දින දෙකක් තුළ ප්‍රාන්තයේ ජනයා මළමිනී බවට පත්වූ බවයි. ඔවුනට වැසිකිලියක් පවා පාවිච්චි කිරීමට බැරිවුණා. දහස් ගණන් පිරිස් පාරවල්වල පිස්සුවෙන් මෙන් ඔබමොබ ඇවිදිමින් සිටියා.”

මුලින්ම හර්සොග් අපේක්ෂා කළේ මෙම අදහස පෙරදැරිකරගෙන වෘතාන්ත චිත්‍රපටයක් නිර්මාණය කිරීමටයි. එහෙත් ඒ සඳහා බරපැන ඉසිලූ ‘Net Scout’ සමාගමේ අපේක්ෂාව වූයේ අන්තර්ජාලය යන්න උත්කර්ෂයට නංවා කෙටි විඩියෝපට මාලාවක් නිපදවීමයි. කෙසේ වෙතත් අවසානයේ එක්තරා ආකාරයක වෘතාන්ත වාර්තා චිත්‍රපටයක (Docudrama) ස්වරූපයේ චිත්‍රපටයක් කිරීමට එකී සමාගම කැමැත්ත පලකළේය. එම සමාගමේ විධායක නිලධාරියෙකු පැවසුවේ එය ප්‍රචාරකවාදී චිත්‍රපටයක් නොවූ ස්වාධීන නිර්මාණයක් බවයි. එය ප්‍රෙක්ෂකයාට සිතීමට යමක් ඉතිරිකරයි.එය අපගේ සමාගම පිළිබඳ කිසියම්ම හෝ අදහසක් ප්‍රේක්ෂකයා තුළ ඇති කරයි නම් එය ප්‍රමාණවත් බව ඔහුගේ අදහසයි. චිත්‍රපටය තුළ විශේෂඥයින් රැසක් හා අන්තර්ජාලයේ බලපෑමට නතු වූ සාමාන්‍ය ජනතාව ද අදහස් දක්වති. එසේම තාක්ෂණික ජයග්‍රහණ, එනම්; ස්වයංක්‍රීය මෝටර් රථ, පාපන්දු ක්‍රීඩා කරන රොබෝවරුන් ගැනද සඳහන්වේ. එහෙත් චිත්‍රපටයේ අන්තර්ගතය බොහෝවිට අප සිත්තුළ දනවන්නේ භීතිය හා අස්ථිරත්වයකි.

ඔහු වරක් චිත්‍රපටයේ දර්ශනයක් සඳහා එක්තරා නිවසකට යයි. එකී නිවසේ ජීවත්වන දෙමාපිය යුවලගේ දියණියක මෝටර් රථ අනතුරකට මුහුණ දී හිස සුන් මළකඳක් බවට පත්විය. එහෙත් ඇතැම් උදවිය අන්තර්ජාලය භාවිත කරමින් එකී ව්‍යසනය විහිළුවකට පත්කරගත් බව ඇගේ දෙමාපියෝ පවසති.

“අන්තර්ජාලය යන සාතන්ගේ පිළිබිඹුවක් කියලයි අපිට හිතෙන්නේ ”

යනුවෙන් එකී මව සෘජුවම ප්‍රකාශ කරයි.

මින් අනතුරුව හර්සොග් බටහිර වර්ජීනියාවේ ‘Green Bank’ නම් වූ නගරයේ වැසියන් සමඟ සම්මුඛ සාකච්ඡා පවත්වයි. එකී නගර වැසියෝ ජංගම දුරකථන භාවිත නොකරති. එයට හේතුව ඔවුනට ගුවන්විදුලි තරංග දරාගැනීමට නොහැකිවීමයි. එය කිසියම් රෝගී තත්වයකි. ඒ අනුව එම ප්‍රදේශය ‘ගුවන්විදුලි තරංග මුක්ත කලාපයක් ’ බවට පත්කොට ඇත. එසේම අන්තර්ජාලයට දැඩිලෙස ඇබ්බැහි වූ පුද්ගලයින් පුනරුත්තාපනය කෙරෙන මධ්‍යස්ථානයක් පිළිබඳ කොටසක් ද චිත්‍රපටයේ ඇතුළත් වේ. එහිදී දැනගැනීමට ලැබෙන්නේ එක්තරා යුවලක් වීඩියෝ ක්‍රීඩා කරමින් සිටියදී ඔවුනගේ කුඩා බිළිඳා අනතුරකින් මිය ගිය ආකාරය පිළිබඳවයි.

හර්සොග් මෙහිදී පවසන්නේ තමා මාධ්‍යවේදියෙකු නොවන බැවින් මෙම සිදුවීම්වල සත්‍ය අසත්‍යතාවන් පිළිබඳ ප්‍රශ්න කිරීමට උත්සාහ නොකරන බවයි.

දකුණු කොරියාවේ වීඩියෝ ක්‍රීඩා සමාජශාලා (video game parlours) වෙත යන ඇතැම් බාල වයස්කාරයින් වැසිකිලි යාමට පවා පරිගණක තිරය ඉදිරියෙන් නොනැගිටිති. ඔවුන් එසේ කරන්නේ තරඟයෙන් ලකුණු අඩුකර ගැනීමට අකමැති නිසයි. ඇතැම් අය සුදුසු යට වැසුම් (diapers) පවා ඇඳගෙන ඒ සඳහා සූදානම්ව පැමිණෙන බව චිත්‍රපටය හරහා අපට දැනගැනීමට ලැබේ.

හර්සොග් යනු උණුසුම් හදවතක් සහිත මානවවාදියෙකි. අන්තර්ජාලයට අප අවශ්‍යද? යනුවෙන් අසනු ලැබූ පැනයකට ඔහු මෙසේ පිළිතුරු සැපයීය.“

එයට එවැන්නක් අවශ්‍යය බව මා හිතන්නේ නැහැ.”හර්සොග් ගේ චිත්‍රපට හරහා අපට යමක් කියා දෙන්නේ නම් එය කවරක් විය හැකිද? එය නම් මෙයයි.

“අප උත්කර්ෂයට නංවන, අප ප්‍රීතියෙන් කුල්මත් කරවන සංකල්ප කෙරෙහි අප කෙතරම් ආසක්ත බවක් පෙන්නුම් කළ ද ඒ සියල්ල නිෂ්ඵලය” යන්නයි.

ආශ්‍රේය මූලාශ්‍ර

අන්ද්‍රියා ෂියා විසින් රචිත ‘cinema remains my connection to life itself ‘ නම් ලිපිය

‘Lo and Behold’ නම් වාර්තා චිත්‍රපටය

වර්නර් හර්සොග් සමඟ බී බී සී ආයතනය කළ සම්මුඛ සාකච්ඡාව

ඔබගේ අදහස් අපට එවන්න.