හෙගලියානු දර්ශනය,
ඥාන විභාගය සහ සද්භවවාදය

2023 මාර්තු 10

පුද්ගලයෙකුට ස්ව-සවිඥානකත්වය ලබා ගත හැක්කේ සමාජ ලෝකය හා බැඳුණු මහා ව්‍යාපෘතියක් තුළ ය යන්න හෙගල්ගේ දැක්ම විය. ඒ අනුව පුද්ගලභාවයක් මඟින් ලබන විමුක්තියක් නැත. පුද්ගලයා ද ඇතුළත් සම්බන්ධතා පදනම් වී තිබෙන්නේ පිළිගැනීම ලබා ගැනීම සඳහා මිනිසා කරන අරගලයක් සහිත ලෝකයක් තුළ ය. පුද්ගලයා තුළ විවිධාකාර අත්දැකීම් ප්‍රතිබිම්බය වන අතර මෙහි දී පුද්ගලයාට දැනුම, ඥානය මෙන් ම ස්ව-සවිඥානකත්වය ද ලැබෙයි. දැනුම ලැබීම ඓතිහාසික ලෙස විකසිත වන්නකි. හේගල්ගේ දර්ශනය ඔහුගේ සද්භවවාදයෙන් වෙන් කළ නොහැකි ය.

හෙගල්ගේ ව්‍යාපෘතිය කොහෙත් ම අතීත පාරභෞතිකවාදයක තවත් එක් ප්‍රකාශනයක් නො වේ. හෙගල්, දර්ශනයට වඩා ආගම බලයෙන් හීන ප්‍රවේශයක් ලෙස ගත්තේ ය. මේ නිසා හෙගල්ගේ දාර්ශනික නිෂ්ඨාව ආගමික විමුක්තියක් හෝ මෝක්‍ෂයක් නො වේ. නමුත් ආගම හා දර්ශනය යන දෙක ම පොදු විෂයක් අරමුණු කර ගත්තකි. එසේ වුවත් ආගමේ ඌන සංවර්ධනය හෙගල්ගේ දර්ශනයෙන් පියමන් කළ හැකි ය. මෙහි දී හෙගලියානු දර්ශනය අනෙකුත් සියලු දර්ශනයන්ට වඩා වෙනස් හා විශේෂ වන බව පෙන්නුම් කරයි. හෙගල් විසින් ආගම ඉක්මවා යයි. දර්ශනය පිහිටන්නේ ආගමට වඩා ඉහළ තලයක ය. ආගමේ ඊනියා ආධ්‍යාත්මික සාරය දර්ශනයෙන් සංකල්පගත කිරීමට හැකියාවක් ඇත. මේ නිසා ම ආගමික අන්ධකාරයේ ගිලී සිටින්නෙකුව හෙගලියානු දර්ශනයෙන් මුදවා ගත හැකි ය.

හෙගල් බුද්ධි ප්‍රබෝධයේ බුද්ධිවාදය පිළිගත්තේ නැත. එසේ නොපිළිගත්තේ බුද්ධි ප්‍රබෝධයෙන් මිනිස් පරිකල්පනය සහ හැඟීම් තර්කබුද්ධියෙන් (Reason) වියෝ කර එයට යට කර තිබූ නිසා ය. හෙගලියානු සහවාදය තුළ මේ සියලු දේවල් අන්තර්ගත කර ඇත. විශේෂයෙන් ම බුද්ධි ප්‍රබෝධයෙන් පිටුවහල් කළ දෙය හෙගලියානු පද්ධතියට අන්තර්ග්‍රහණය කෙරී ඇත.

ආගමික පරිකල්පනය සම්බන්ධයෙන් හෙගල් දරන්නේ විවේචනාත්මක ආකල්පයකි. පරම සත්තාව එනම් දෙවියන් වහන්සේ පරම ස්වරූපයෙන් නො පවතී. දෙවියන් අවධීන් හරහා පරිණාමයට පත් වෙයි. හෙගල්ට අනුව දෙවියන් වනාහි ලෝක ප්‍රාණේන්ද්‍රියේ තාවකාලික භවයකි (temporal becoming of the world spirit). දෙවියන් වහන්සේ මානව ඉතිහාසයට ඔබ්බෙන් හෝ පිටතින් පවතින්නෙක් නො වේ. මිනිස් ඉතිහාසය වනාහි පරම අධ්‍යාත්ම ක්‍රියාවලියේ ප්‍රපංච විද්‍යාත්මක ප්‍රකාශනයකි. හෙගල් ආගමට ඔබ්බෙන් ඇති වඩාත් උසස් දාර්ශනික සංකල්පයක් වෙත ගමන් කරයි. මේ සංකල්පය තුළ නියෝජනය කරන දේ කුමක් ද? ඉතිහාසය, ජීවිතය, සමාජ සම්බන්ධතා, පරිකල්පනය හා සාංදෘෂ්ටික අත්දැකීම ගැන මෙහි දී කථා කරයි. මේ ජීවිත අත්දැකීම පරම වශයෙන් ග්‍රහණය කිරීමට හෙගල් ලබා දුන් නාමය වූයේ පරම ඥානනය (Absolute Knowing) යන්න යි. හෙගල් කතා කරන්නේ පරමත්වය හෙවත් සමස්තය සමඟ තිබෙන දයලෙක්තික ඒකත්වය ගැන ය. මේ අර්ථයෙන් බලන විට පුද්ගල යමෙකුගේ බුද්ධිමය සවිඥානය පමණක් ගැන හෙගල් කතා කරන්නේ නැත. පුද්ගල සවිඥානයක් සමස්තය සමඟ දක්වන්නා වූ දයලෙක්තික සම්බන්ධය ගැන හෙගල් අදහස් දක්වයි. ප්ලේටෝ, ඇරිස්ටෝටල්, ස්පිනෝසා හා කාන්ට් ‍යන චින්තකයන්ගෙන් හෙගල් වෙනස් වන්නේ මේ ස්ථානයේ දී ය. හෙගල් දක්වන පරම ඥානනය ප්‍රකාශයට පත් වන්නේ සාමාන්‍ය ලෞකික ජීවිතය තුළ දී ය. හෙගල් කතා කරන්නේ ශ්‍රමය වගුරවන, පවුලක් සහිත සමාජ හැගීමක් ඇති, ප්‍රායෝගික ලෙස ක්‍රියාවෙහි යෙදෙන දේශපාලන හා ආගමික සහභාගීත්වයක් සහිත මිනිසෙකු ගැන ය. මේ සමාජ ඛණ්ඩාංකයන් කාන්ට් දක්වා සියලු ම දාර්ශනිකයන් අතින් ගිලිහී ගොස් තිබිණි. පරම ඥානනය හුදු බුද්ධිමය භාවිතයක් නො වේ. එය ජීවන අත්දැකීමක් වන අතර ජීවිත ප්‍රකාරයක් ද වෙයි. එය එළියට එන්නේ නිශ්චිත ඓතිහාසික කාලයක් තුළ සිටින සංයුක්ත ජීවන ආකෘතියක් තුළින් ය. හෙගල් කතා කරන්නේ නිශ්චිත සමාජ හා භූගෝලීයමය ආකෘතියක සිටින මිනිසෙකු ගැන ය. අපි විශ්වය තුළ නැංගුරම් ලා සිටින්නේ එලෙස ය. හෙගල් දක්වන ආකාරයට ඉහළ ම ආධ්‍යාත්මික තත්ත්වය මේ ජීවිත ලෝකය තුළ ම අත්පත් කර ගත හැකි ය. නමුත් ආගමික විමුක්තිය ලැබෙන්නේ පාර-ලෞකික ලෝකයක් තුළ ය. හෙගල් දක්වන පරම තත්ත්වය පුද්ගලික හා සමාජීය ජීවිතය තුළ සාක්ෂාත් කර ගත හැකිය.

හෙගල්ගේ ප්‍රපංච විද්‍යාවෙන් බලාපොරොත්තු වූයේ නූතන ජීවිතයේ ප්‍රධාන අංශ වූ ප්‍රජාව (community), පවුල, චාරිත්‍ර වාරිත්‍ර, වැඩ කලාවන්, දේශපාලනය, සමාජ අයිතීන් හා ජීවිත අර්ථයේ සුරක්‍ෂිත බව යන ඒවා නැවත ගොඩනැගීම යි. නූතන සබුද්ධිකතාව මඟින් වළ කැපුණු මේවා නැවත නගා සිටුවීම යි. හෙගල්ගේ අරමුණු වූයේ නූතන ස්වයං-සවිඥානකත්වය අස්ථාවර හා පාරරෝපිත බවේ සිට නිර්මාණාත්මක හා සුවදායක එකක් දක්වා පරිවර්තනය කිරීම යි. හෙගල්ගේ ප්‍රවේශය අතීතයට යොමු වූ රොමෑන්තික, වෙනස් වීමට නොකැමති (conservative) එකක් නො වේ. හෙගල් ඉල්ලා සිටින්නේ දයලෙක්තික සබුද්ධිකතාවකි (dialectical rationality). හෙගල් පවසා සිටියේ සාර්ථක නූතනත්වයක් ස්වායත්ත හා සත්‍ය ලෙස නිදහස් එකක් විය යුතු බව යි. මේ නිදහස් බව පුද්ගල ලෙසත්, සමාජීය ලෙසත් සාර්වත්‍රික ලෙසත් අත්විඳිය යුතු ය. මනුෂ්‍ය ජීවිතය හා ලෝක පැවැත්ම සම්බන්ධයෙන් පරම අර්ථ ලැබිය යුතු ය. දර්ශනය ප්‍රඥාවට කරන ආදරයක් (Philo-Sophia) දක්වා මෙහෙය විය යුතුය. ස්වායත්තතාව (autonomy) ලෙසින් හෙගල් අදහස් කරන්නේ වියුක්ත දේශපාලන අයිතීන් තෘප්තිමත් කිරීම හෝ විකල්ප අතරින් තමා කැමති ඕනෑ ම දෙයක් ඇති අයිතිය නො වේ. සාර්වත්‍රික සබුද්ධිකත්වය යෙදවීමේ ඇති හැකියාව යි. එය යෙදවෙන්නේ යමෙකුගේ පුද්ගලික ස්වීයත්වය ගොඩනැගීමටත් ලෝකය තුළ යමෙකුගේ පුද්ගලික බව ගොඩනැගීමටත් ය.

හෙගල් දක්වා සිටින පරම ඥානනය වියුක්ත බුද්ධිමය ක්‍රියාකාරීත්වයක් නො වේ. එය සමාජමය සහභාගීත්වයකින් යුත් ක්‍රියාකාරීත්වයකි. න්‍යාය හා භාවිතය අතර වූ අන්තර් සම්බන්ධතාවක් සහිත ක්‍රියාකාරකමකි. ජීවිත අත්දැකීම සම්බන්ධීකරණය වූ ක්‍රියාකාරකමකි. හෙගල් දක්වා සිටින ස්වීයත්වය (Self) ක්‍රමානුකූලව නිර්මාණය වන්නේත්, එය තමන්ට ම ඥානනය කර ගත හැක්කේත් අනෙක් අය සමඟ වූ අන්තර් ක්‍රියාකාරීත්වයෙන් හා අනෙකාගේ ක්‍රියාකාරකම්වලට මැදිහත් වීමෙන් ය. මේ අන්තර් ක්‍රියාකාරීත්වය සිදු වන්නේ වැඩවලින් එකට සම්බන්ධ වන්නා වූ, භාෂාවක් පාවිච්චි කරන්නා වූ හා පිළිගැනීම ලබාගැනීම සඳහා අරගල කරන්නා වු ලෝකයකය. එමෙන් ම ආදරය සඳහා අරගල කරන සමාජ, ආගමික හා අභිචාරවලින් සම්බන්ධික ලෝකයක ය.

ලෝකය යනු ම පරමාත්මයේ ප්‍රතිමූර්තියකි. මේ පරමාත්මය, පරම ප්‍රාණේන්ද්‍රීය, පරම චෛතන්‍යය මේ ලෝකය තුළ ම අවබෝධ කර ගත හැකි ය. හෙගල් දක්වන ආකාරයට දර්ශනයේ තිබෙන සංකල්පීය සාරය හා පරම ඥානනය අනෙකා හා ලෝකය ගැන තිබෙන ප්‍රායෝගික අත්දැකීම් ප්‍රකාරයන්ගෙන් පෙරී එන්නකි. ගොම්මනේ දී ප්‍රඥාව නැමති බස්සා තටු සලන්නේ මේ ප්‍රායෝගික ක්‍රියාකලාපයන් තුළ දී ය. ප්‍රඥා දර්ශනය පෙරී එන්නේ දහවල වැඩ කිරීමෙන් පසුව ය.

හෙගල්ගේ තිබන විශේෂත්වය වන්නේ ස්වාභාවික (natural), ඓතිහාසික (historical) හා ආධ්‍යාත්මික (spiritual) වශයෙන් එකිනෙක සම්බන්ධිත සමස්තමය මගින් ලෝකයක් ගැන කතා කිරීම යි. මෙය ප්‍රකාශයට පත් වන්නේ නිරන්තර පරිවර්තනයකට හා වර්ධනයකට පත් වන ක්‍රියාවලියක් ලෙස ය. මේ සමස්තයට සම්බන්ධ ක්‍රියාවලියේ ස්වරූපය එය යි. මනුෂ්‍ය ඥානයට පරම ඥානය අත්පත් කර ගත හැකි ය. මෙහි දී මනුෂ්‍ය විඥානය ‘මෙතැන‘ (here) හා දැන් (now) අව්‍යවහිත (බාධා විරහිත) සංජානනයේ සිට ස්වයං සවිඥානකත්වය තෙක් වර්ධනය වෙයි. එය වනාහි ආත්ම පූර්ණත්වයකි. එසේ වර්ධනය වීමෙන් මිනිසෙකුට ලෝකයත් එහි පිළිවෙළත්, තමන්ගේ ක්‍රියාවනුත් විශ්ලේෂණය කර ගත හැකිය. සද් (real) දෙය පූර්ණ ලෙස සබුද්ධික කර ගැනීමේ දී (rational) යමෙකුට පරමත්වයේ ඥානනය වේ. මේ පරමත්වය අත්පත් වන්නේ අවධියෙන් අවධියට ගමන් කිරීමෙනි. මෙයට හෙගල් දුන් නාමය වූයේ පරාරෝපණය (alienation) යන්න යි. මේ එකදු අවධියක් හෝ මිනිස් මනසින් ස්වායත්ත නො වේ. නමුත් ඒවා මනසට වඩා උසස්, මනසින් ස්වායත්තව පවතින ඒවා ලෙස සිතීමට පෙළඹී ඇත. පරම ඥානනයේ අරමුණ මනුෂ්‍ය ආත්මයක් තමන්ව ආවර්ජනය කර ගැනීමත් තමන්ගෙන් එළියට ගිය දෙය නැවත ඇතුළට ගැනීමත් (recapitulation) ය. සෑම සාර්ථක අවධියක් ම ඊට කලින් අවධියේ සංඝටකයන් ශේෂ කර ගනී. ඒ සමඟ ම කලින් අවධිය ඉක්මවා යාමක් ද සිදු කරයි. මෙයට හේගල් දුන් නාමය වූයේ Aufhebung යන්නයි. එය ඉංග්‍රීසියට ‘sublation’ ලෙස පරිවර්තනය කර ගෙන ඇත. ජර්මන් වචනයට ද්විත්ව තේරුමක් ඇත. ඒ යටපත් කිරීම සමග ඉතිරි කිරීම හෝ ආරක්‍ෂා කිරීම යන්න යි (suppresses and conserves). හෙගල් මේ සමඟ තවත් යෙදුමක් පාවිච්චි කරයි. එය නම් 'බවට පත්වීම’ හෝ භවතාව (becoming) යන්න ය. භවතාවක් හැමවිට ම ආතතියක පවතියි. පවතින සම්බන්ධතාවල ස්වභාවය වෙනත් දෙයක් බවට පරිවර්තනය වීමේ ක්‍රියාවලියක යෙදී සිටියි. මෙයට හේගල් කීවේ දයලෙක්තික (dialectic) යන්න ය.

ආත්මයකට අදාළ ආයතනමය නැංගුරමට හේගල් කීවේ වාස්තවික ආත්මය (objective spirit) කියා ය. එය යම් ආත්මයකට පරමත්වය අත්පත් කර ගැනීම සඳහා සහාය දෙයි. මිනිසාගේ විඥානය වාස්තවික ලෙස ප්‍රකාශයට පත්වන්නේ නෛතික, සදාචාරාත්මක, සමාජමය හා දේශපාලනමය ආයතනයන් ලෙසට ය. මේ ආයතනයන් මිනිස් ආත්මයට පරිපූර්ණත්වය අත්පත් කර ගැනීමට උපකාර කරයි. පුද්ගල භාවනාවකින් ආත්මයකට පරිපූර්ණත්වය අත්පත් කර ගත නොහැකි ය. ආත්මයකට විකසිත විය හැක්කේ ආයතන හරහා යාමෙන් ය. පවුල, සිවිල් සමාජය හා රාජ්‍ය ආත්මයකට පිබිදීමකට උදව් දෙයි. පවුල මඟින් යමෙකුට සදාචාරමය ස්වායත්ත බවක් අත්පත් කර ගැනීමට කියා දෙයි. සිවිල් සමාජය මගින් යමෙකුගේ ආර්ථික, වෘත්තිය හා සංස්කෘතික ජීවිතය සංවිධානය කර දෙයි. සමාජ සංවිධානයේ ඉහළ ආයතනය වන රාජ්‍යය වාස්තවික ආත්මයේ අවසන් අවධිය යි. සද් නිදහස අත්පත් කර දෙන්නේ ඒ මගින් ය.

මිනිසකුගේ ආධ්‍යාත්මික ජීවිතයේ ඉහළ ම ආයතනය ආගම ය. ප්‍රොතෙස්තන්ත්‍ර ක්‍රිස්තියානි ආගම මෙහි අවසන් මොහොත ය. ආගම හා දර්ශනය අතර සන්සන්දනයක් කළොත් දර්ශනයේ අන්තර්ගතය සංකල්ප නම් ආගමේ අන්තර්ගතය පරිකල්පනයන් (imagination) වෙයි. ආගම මගින් මිනිසකුගේ මනෝ විද්‍යාත්මක අවශ්‍යතාවක් ඉටු කර දෙයි. හේගල් දක්වන ආකාරයට චිනත්නය ඉදිරියට තල්ලු කරන සද්භාවවාදී බලය නම් පිළිගැනීම ලබා ගැනීම සඳහා කරන අරගලය හා යටත් කර ගැනීම (subjugating) හා නිදහස අත්පත්කර ගැනීම (liberation) අතර දයලෙක්තිකය ය. මේ සද්භාවවාදී බලය හරහා ලැබෙන ස්වයං-විඥානය තවදුරටත් කාටිසියානු හෝ කාන්ටියානු එකක් නො වේ. සත්‍ය උදාවන තෙක් චින්තනය සද්භාවවාදී ගමනක (ontological journey) යෙදෙයි.

පරම ආත්මය (Absolute Spirit) යනු කුමක් ද? ඕනෑ ම ඓතිහාසික හා සංස්කෘතික කාල පරිච්ඡේදයක ස්වයං අවබෝධය, කලාව, ආගම හා දර්ශනය ලෙස ලෝකය අවබෝධ කරවන සහතික කරවන, ලෝකය ඒකාබද්ධ කරන බලවේගය පරම ආත්මය යි. යම් කාල පරිච්ඡේදයක ජීවන විලාසිතාවන් ආවරණය කරන මූලධර්මය (encompassing principle) මෙය යි. හෙගල් ‘Spirit’ යන්න භාවිත කළේ එයට යි. මෙය කොහෙත් ම ක්‍රිස්තියානියේ එන අනුභූති උත්තර නිර්මාපක දෙවියන් වහන්සේ (the transcendental creator/God) හෝ ස්පිනෝසාගේ සාරාර්ථමය දෙවියන් වහන්සේ (substance/God) නො වේ. හෙගල් කතා කරන පරමාත්මය ආත්මයේ (subject) හා සාරාර්ථයේ (substance) සහවාදයකි. එය මිනිස් ඉතිහාසය තුළත්, දැනුම තුළත් ප්‍රකාශයට පත් වෙයි. මේ පරමාත්මය පිළිබඳව පූර්ණ ලෙස හැඳින්වීමක් කළ නොහැකි ය. එය පැහැදිලි කළ හැක්කේ නිෂේධනාර්ථයෙනි. එය එකිනෙකින් ඛණ්ඩනය වූ ලෝක ආත්මයක් (world spirit) නො වේ. එය සුපිරි පුද්ගලයෙක් (super person) නො වේ. හෙගල් කතා කරන්නේ අනුභූතික ලෝකයක අධ්‍යාහාරයෙන් ඇති ස්වභාවයකි. හෙගල් කතා කරන්නේ ඉතිහාසය තුළ ප්‍රකාශයට පත් වන යමක් ගැන ය.

ප්ලේටෝ, ලූතර්, නැපෝලියන්, අයිසෙක් නිව්ටන්, කාන්ට් වැනි අය පමණක් නොව ජිනාවල හෙගල්ට වයින් සැපයූ පුද්ගලයාත්, ප්‍රාදේශීය නගරයේ නගරාධිපති තුළත් ප්‍රකාශයට පත් වන ආත්ම භාවයක් ගැන හේගල් කතා කරයි. මොවුන්ගේ විඥානය, උප විඥානය හා ස්වයං-විඥානය යටින් ක්‍රියාත්මක වන සංඝටකය පරමාත්මය යි. ඇත්ත මිනිසුන්ව ආත්මකරණය කරන්නේත්, නැවත නැවත හැඩගස්වා ගන්නේත්, ඉතිහාසය නිර්මාණය කරගන්නේත්, සංස්කෘතිය නිර්මාණය කරගන්නේත්, තාක්‍ෂණයේ මෙවලම් නිර්මාණය කරන්නේත්, සමාජ හා සදාචාරාත්මක ආකල්පයන් හැඩගස්වා ගන්නේත් දේශපාලන ආයතන ගොඩනංවා ගන්නේත්, විද්‍යාත්මක දැනුම බිහි කරන්නේත් කලාව, ආගම හා දර්ශනය සම්බන්ධයෙන් නිර්ණායකයන් තනා දෙන්නේත් මේ මූලධර්මය මගිනි. ඉහත සියලු සංඝටකයන් එක්සත් කරන (unifying) සාර්වකරනය කරන (totalizing) මූලධර්මය මෙය යි.

පරම ආත්මය සොබාදහමින් විගලිත නො වේ. පරමාත්මය දයලෙක්තික වර්ධනයක (dialectical outgrowth) යෙදී සිටියි. සොබාදහම යනු පරමාත්මයේ උතුරා යාමකි. ලෝකය මානවීකරණය කිරීම (humanize) හා ආධ්‍යාත්මීකරණය කිරීම (spiritualize) ලෙස හෙගලියානු භාෂාව තුළ යෙදී ඇත්තේ මිනිසාගේ මැදිහත් වීමෙන් සොබාදහම ඊට වඩා ඉහළ සද්භාවමය පැවැත්මක් බවට පත් කිරීමේ ක්‍රියාවලිය ගැන ය. හෙගලියානු පරමාත්මය ලෝකය ම ආවරණය කරන පුද්ගලයෙක් නො වේ. මේ ආත්මයට තියෙන්නේ සද්භාවාත්මක චරිත ලක්‍ෂණයක් හා සද්භාවාත්මක සද්භාවයක් ය.

ආත්මය ස්වයං-විභේදනමය අනන්‍යතාවකි (self-differentiating identity). එය පවතින්නේ ම එය බවට පත් වීමේ ස්වභාවයකිනි (returnto itself). හෙගලියානු ආත්ම සාරය එහි උසස් ම ලක්‍ෂණයේ දීත් අනුභූතික පුද්ගලයන් තුළල සමාජයක් තුළ, පොත්පත් තුළ, සමාජ කණ්ඩායම තුළ හා කලා කෘතීන් තුළ මූර්තිමත් වේ.

හෙගල් සම්බන්ධ ආගමික අර්ථකතනවේදියෙක් හෝ බටහිර චින්තනය පිටුපස දෙවියන් වහන්සේගේ ඡායාව වැටී ඇතැයි කියන ජාතික චින්තකයෙක් මෙසේ කිව හැකි ය. “හෙගල් වනාහි දර්ශනය නාමයෙන් දේවධර්මය ඉදිරිපත් කළ පුද්ගලයෙකිත දයලෙක්තික තර්කය ක්‍රිස්තියානි ත්‍රිත්වයට (Gospel) සමාන්තර ය” තවත් කෙනෙකු හෙගල් තුළ අලුත් දර්ශනයක් නැති බවත් එය කාන්ටියානු-කොපර්නිකස් සද්භාවවාදය තුළත්, ස්පිනෝසාගේ ඒකත්වවාදය (Monism) තුළත් අන්තර්ගතව තිබූ චින්තනයක් බවත් කිව හැකි ය. තවත් කෙනෙක් හෙගල් වනාහි ඇරිස්ටෝටලියානු ද්විකෝටිකයේ ම හිරවුණු චින්තකයෙක් ලෙසත් දකියි. විශේෂයෙන් ම ඇරිස්ටෝටල්ල සත්තාව ස්වයං තහවුරු කරන ක්‍රියාවලියක් ලෙස (being-as-a self-actualizing process) ගැනීම හෙගලියානු දයලෙක්තිකයේ ම අතීත රූපයක් ලෙස දක්වන්නෝ ද සිටිති.

කාන්ට් ඉදිරිපත් කළේ ආත්මීය තර්කණයේ (subjective logic) ඉහළ ම ස්වරූපය ය. එයට ආත්මය මත පදනම් වූ සද්භාවවාදයක් (subject-based ontology) යැයි කිව හැකි ය. හෙගල් විසින් කළේ ඇරිස්ටෝටල්, ස්පිනෝසා හා කාන්ට් විසින් ඉදිරිපත් කළ සංඝටක නව පද්ධතියක් යටතේ එක්තැන් කිරීමකි. ඒවා නව පද්ධතියේ ආවශ්‍යක කොටස් බවට පත් කිරීමකි. එමෙන් ම හෙගල් කරන්නේ ස්පිනෝසාගේ සාරාර්ථය (substance) කාන්ට් හා ෆිශ්ටගේ ආත්ම සංකල්පය (subject) සමඟ සහවාදයකට යැවීමකි. මෙය දාර්ශනික වශයෙන් නූතනත්වයකි. මේ සහවාදය වනාහි කාන්ට්ගේ විචාරාත්මක දර්ශනයෙන් පසුව සිදු වූ දාර්ශනික වශයෙන් වැදගත් ම ක්‍රියාවලිය යි. හෙගල්ගේ Phenomenology පොතින් ආරම්භ කෙරුණු ව්‍යාපෘතිය Logic පොතින් තවදුරටත් තහවුරු විණි. හෙගල්ගේ ප්‍රවේශය ආධානග්‍රාහි පාරභෞතිකවාදයට එරෙහි විප්ලවීය ප්‍රවේශයකි. ලෝකය සම්බන්ධයෙන් ඉදිරිපත් වී තිබුණු වාස්තවික තර්කණය (objective logic) ට එරෙහිව කාන්ට් මතු කරන ආත්මීය තර්කණය (subjective logic) අලුත් ප්‍රවේශයකි. කාන්ට් විසින් තහවුරු කෙරුණේ මනස තවදුරටත් හුදෙක් සාරාර්ථයක්, වස්තුවක්, දෙයක් නො ව ආත්මයක් (subject= I think) බවයි. හේගල්ගේ Lectures on the History of Philosophy වල ස්පිනෝසාව දාර්ශනික ඇගයීමකට ලක් කළත් ඔහුව ඉක්මවා යා යුතු බව හේගල් දක්වයි. ස්පිනෝසා කියන්නේ පරමත්වය සාරාර්ථය වන බවයි. (Absolute as Substance) එමෙන් ම ස්පිනෝසා දෙවියන් වහන්සේව සාරාර්ථයට තුල්‍ය කරයි (Absolute=God). මෙය සර්ව ඊශ්වරවාදයක් වන අතර දෙවියන් ලෝක සමස්තයට සමාන වේ.

හෙගල් පරමත්වය ආත්මීය (Absolute as subject) ලෙස ගත්තේ කුමක් නිසා දර? මෙය සද්භවවාදී අර්ථයෙන් ගත්තොත් එයින් කියවෙන්නේ සද්භවය (Being) පවතින්නේ ම ක්‍රියාවලියක් ලෙස බව ය. සද්භවය තම ක්‍රියාවලිය තුළ ම ස්වයංභවතාවක් (self-becoming) අත්පත් කරගන්නා බවය. මේ ක්‍රියාවලියට අරමුණක් ඇත (Teleology). සද්භවය සහ චලනය (Being and Movement) අතර වෙනසක් නැත. ඒවා අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර නැත. සද්භවයේ ස්වභාවය ම චලනයයි. චලනය තුළ සද්භවය පවතියි. සද්භවයට ආත්මයක් ලෙස තමන්ව ම දැන ගත හැකි අතර මෙම දැනුම සද්භවය තහවුරු කරයි. සද්භවය සහ චින්තනය එකිනෙක පරිවර්තමනය වේ.

සද්භවය සැබෑ වන්නේ එහි චලනයෙන් ම ය. නිෂේධනය සුවිශේෂ කාර්යභාරයක් සිදුකරන්නේ මෙහි දී ය. ස්වයං-නිෂේධනය ආත්මයේ සද්භවවාදී ස්වභාවය යි. ආත්මයේ සද්භවාදී ව්‍යූහයට හේගල් කීවේ ‘Logic’ කියා ය. මේ සද්භාවවාදයට අනුව ආත්මය පිහිටන්නේ ම එයට ම එරෙහිව යි. එය හැම විට ම එය ඉක්මවා යයි. එහි පැවැත්ම නිර්මාණය වී තිබෙන්නේ එහි ම ස්වභාවය නිෂේධනය කර ගනිමින් ය. සෑම නිෂේධනයක් ම නව තත්ත්වයක් බිහි කරයි. ආත්මයට වෙනස්ව සාරාර්ථයක් (Substance) ගත්තොත් එය එයට ම තුල්‍ය වේ. එය අනන්‍යතා නියමයට (A=A) අනුකූල වෙයි. නමුත් හෙගල්ට අනුව ආත්මය ආත්මයට ම තුල්‍ය නො වේ (I≠I) ආත්මයේ ස්වභාවය ස්වයං අනන්‍යකරණ ක්‍රියාවලියක සිටීම ය. එය අනන්‍යතාව ලබා ගනිමින් සිටියි (Yovel 2005:20).

ස්පිනෝසා දෙවියන් වහන්සේ සාරාර්ථයක් ලෙස ගත්තේ ඩේකාට්ස් අනුව යමිනි. නමුත් කාන්ට්ගේ මතය වූයේ ඩේකාට්ස්ගෙන් මෙන් ම ස්පිනෝසාගෙන් ආත්මය පිළිබඳ සාධනීය යමක් නොකියවෙන බවයි. ආත්මය සංකීර්ණ ව්‍යූහය ලෙස කාන්ට් ගත්තේ ය. අනුභූතියෙන් ලැබෙන නානාතාවෙන් යුත් අපිළිවෙළගත සංවේදනයන් දැනුමක් බවට පත් කරන්නේ ආත්මීය මැදිහත් වීමකින් ය. එහි කාර්යය එක්සත් ක්‍රියාකාරිත්වයකි (unifying activity). කාන්ට් මෙයට කීවේ සංවිජානයේ අනුභූතිඋත්තර ඒකත්වය (Transcendental Unity of Apperception) ඒ සඳහා කාන්ට් විසින් උපයුක්ත තවත් යෙදුම් කීපයක් විය. සංවිජානයේ සංස්ලේශී ඒකත්වය (The Synthetic Unity of Apperception); ශුද්ධ සංවිජානයේ ඒකත්වය (The Unity of the Pure Apperception); ස්වයංවිඥානයේ අනුභූති උත්තර ඒකත්වය (The Transcendental Unity of Self-Consciousness). එයට අනුභූති උත්තර යන්න පාවිච්චි කළේ අපගේ සෑම අනුභූතියක් ම එය මඟින් සැකසුවත් අනුභූතියෙන් එය සෘජුව තේරුම් ගත නොහැකි නිසා ය. ඇසෙන් ලොව සියලු දේ දුටුවත් ඇසට ඇස දැක ගත නොහැකිවා සේ ය. මෙම ආත්මය ප්‍රාග් අනුභූතික අත්‍යවශ්‍ය තත්ත්වයකි. අනුභූතියෙන් ගෙන එන ඉන්ද්‍රීය දත්තයන් ඒකත්වයට ගෙන එන්නේ කාන්ටියානු ආත්මය මගිනි. මේ අනුව කාන්ට් කතා කරන්නේ අනුභූතියක් හටගන්නා තත්වයන් (conditions of the possibility of the experience) සම්බන්ධ‍යෙනි. කාන්ට්ගේ ප්‍රවේශය ඥාන විභාගාත්මකය. හෙගල් කරන්නේ කාන්ට්ගේ ඥාන විභාගාත්මක ප්‍රවර්ගයන් සද්භවවාදී ප්‍රවර්ගයන් බවට පෙරළීමය. ඥාන විභාගාත්මක අපොහොසත් බව සද්භවවාදී අපොහොසත් බව බවට පෙරළීමය. වෙනත් ලෙසකින් කීවොත් යථාර්ථයේ ස්වභාවය ම අපොහොසත් බව, අඩුව බව ය.

හෙගල්ට අනුව සද්භවය (Being) යන්න ආත්මයේ ව්‍යුහය ගන්නා ආකාරය පහදයි. සද්භවයේ ව්‍යුහය යනු සුවිශේෂ වර්ගයක අන්තර්ගතයක් නො ව එය එය බවට පත් වීමකි (ultimate becoming). මේ භවයට පත් වීම ප්‍රතිවිරුද්ධයන් හරහා සිදු වෙයි. වෙනත් ලෙසකින් කීවොත් භවයට පත් වීම සිදු වන්නේ අන්‍යතාභාවය (otherness) හරහා යි. අන්‍යතාභාවය ආත්මයෙන් පිටත තියෙන සද්භවයක් නො ව ආත්මයේ ම දිගුවකි; ආත්මයේ ම එළියට යාමකි. කාන්ට්ගෙන් හෙගල් වෙනස් වන්නේ මෙහි දී ය. කාන්ට්ට අනුව ආත්මයට තමන්ගෙන් එළියෙන් පවතින මූලාශ්‍රයක්, නිමිත්තක් (transcendental object) තමන්ගේ අන්තර්ගතය සෑදීමට අවශ්‍ය ය. හෙගල් එයින් වෙනස් ය. හෙගලියානු ආත්මය පරිමිත ආත්මයේ (Finite I) සිට අපරිමිත ආත්මය (Infinite I) දක්වා විහිදෙයි. හෙගල්ගේ විශේෂත්වය ඔහුගේ දර්ශනයෙන් පරම සද්භාවය (Absolute Being) විවරණය කිරීම යි.

හෙගල්ගේ දර්ශනය ගනුදෙනු කරන්නේ අපගෙන් පරිබාහිරව එළියේ තියෙන දේවල් සමඟ නො ව ආත්මයේ මැදිහත් වීම සහිත ලෝකයක් සමඟ ය. වෙනත් ලෙසකින් කීවොත් හෙගල් කිියන්නේ මිනිස් විඥානයෙන් පරිබාහිරව ලෝකයක් නැත යන්න නොව එම ලෝකය සංකල්පීය එකක් වන බව යි. හෙගල් මේ කියන දෙය හුදෙක් ඥාන විභාගාත්මක ආම්පන්නවලින් පමණක් තේරුම් ගත නොහැකි ය. හෙගල් කියා සිටින්නේ අනුභූතික ලෝකයක අපට මුණ ගැසෙන දේවල්, කරුණු, ඉන්ද්‍රීය සංජානමය වස්තු සද්භවවාදී ප්‍රවර්ගයන් ය (ontological categories) යන්නයි. ඒවා පරමාත්මයේ ව්‍යුත්පන්නයන් ය. සද්භාවය (Being) ප්‍රමාණය (Quantity), ගුණය (Quality) මේවා සියල්ල සද්භවවාදී ප්‍රවර්ගයන් ය. හේගල්ගේ Logic කෘතියේ පෙන්වා දෙන්නේ මේ ප්‍රවර්ගයන් දයලෙක්තික වර්ධනයක යෙදෙන බවය.

හෙගලියානු පද්ධතියේ අනෙකුත් සංඝටකයන් වන පවුල, සිවිල් සමාජය වැනි දේවල් ද සාර්වත්‍රික ආත්මයේ දිග හැරීමකි. ආත්මය තමන්ව ම සාක්ෂාත් කර ගැනීමේ ප්‍රතිඵලයන් ය. එනිසා මේවා පරිබාහිර පැවැත්මවල් ලෙස ගැනීම වැරදිය. යථාර්ථයේ සුවිශේෂ අන්තර්ගතයක් ගත්තොත් එය ආත්මයේ සුවිශේෂකරණයන් ය. ස්වීයත්වය (Self) අවබෝධ කර ගත හැක්කේ සාර්වත්‍රික ආත්මය හා සම්බන්ධ කිරීමෙනි.

පරමාත්මය එයට ම සමාන නොවන අතර ම එය දැනට මත් සම්පූර්ණ වූ සමස්තයක් නො වේ. පරමාත්මය පිහිටන්නේ භවතාමය සමස්තයක් (becoming totality) ලෙසයි. අනුභූතික ලෝකය වශයෙන් පරිබාහිරකරණය වන්නේ මේ ආත්ම සාරය යි. සොබාදහම ලෙස, ඉතිහාසයේ විවිධ රූප ලෙස ආත්මය පරිබාහිරකරණය වෙයි. ආත්මය ක්‍රියාකාරී වන්නේ ආත්මය එයින් ම පරාරෝපණය වීමෙන් ය; තමන්ගේ ම ප්‍රතිවිරෝධයන් හරහා ය. මේ ආත්ම තමන්ගේ ම ප්‍රතිවිරෝධයන් හරහා දියවී යන අතර එය යමක් ශේෂ ගත කරයි. ආත්මයේ සවයං-සාක්ෂාත්කරණය විමුක්ති ක්‍රියාවලියක් ද වෙයි. හෙගලියානු අර්ථයෙන් විමුක්තිය යන්නට ඛණ්ඩාංක දෙකක් ඇත. එකක් සද්භාවවාදී වන අතර අනෙක සමාජ හා ආර්ථිකමය වේ. ස්වයං-සාක්ෂාත්කරණය අත්පත් කර ගැනීමක්, දේශපාලන පීඩනයෙන් විමුක්ත වීමත් යන විමුක්ති ප්‍රවර්ග දෙක මෙයට අයත් ය. මෙය හෙගලියනු ආකාරයට කීවොත් ‘Substance becomes Subject’ ය.

හෙගලියානු දර්ශනය තුළ දැනුමට අවශ්‍ය පූර්ව තත්ත්වයක් ලෙස සමාජය හා දේශපාලනය ගනියි. හෙගල් එක පැත්තිකන් සද්භාවයේ සැබෑ වීමත් (actualization of being) අනෙක් පැත්තෙන් දැනුම අත්පත් වීමත් එක විට සිදුවන ආකාරය‍ත් පහදයි. දැනුම ඉදිරියට ඇදෙන්නේ ඓතිහාසික පරිණාමයක් හරහා ය. මේ පරිණාමය මිනිස් නිදහස දෙසට යොමු වී ඇත. දැනුම උත්පාදනය වන්නේ යමෙකුගේ ඔළුව තුළින් උල්පතකින් ජලය ගලා එනවා සේ නො වේ. දැනුම යන්න අපෝහනය වන්නේ සමාජය හා දේශපාලන යථාර්ථය සංකල්පීයකරණය කිරීමට යාමේ දී ය. මේ නිසා දැනුම යන්නට පසුබිමෙහි සමාජ හා දේශපාලනය සද්භවයක් තිබෙනවා යැයි කියවෙයි. දැනුමේ වර්ධනයට පවුල, සමාජය, සිවිල් සමාජය, රාජ්‍ය ආයතන, ආගම, කලාව යන සමස්තය අවශ්‍ය ය.

හෙගල්ගේ විඥානවාදී දර්ශනයේ සුවිශේෂත්වය වන්නේ, දාර්ශනික ඥානය හුදු වියුක්ත තාර්කික අවකාශයක ප්‍රභවය වන්නක් නොවන බව පැවසීම යි. කාටිසියානු බුද්ධිවාදය ගත්තොත් එහි දී ඥානය උත්පාත වන්නේ තාර්කික අවකාශයක් තුළ ය. එහි දී බාහිර ලෝකයට විමර්ශනය නොකර, ගණිතානුකූල දැනුමක් උපදී. හෙගලියානු ලෝකයක් තුළ දාර්ශනික ඥානය බිහිවන්නේ සමාජ, ආර්ථික, මානසික හා ස්වාභාවික ලෝකය සංකල්ප ගත කිරීමට යාමේ දී ය. මේ ලෝකය ඇත්ත වශයෙන් ම පවත්නා දෙයකි. දැනුම වාස්තවික ලෝකය මත ගිලී ඇත.

සමාජ හා දේශපාලන ආයතන පරමාත්මයේ පිටතට පෙනෙන වාස්තවික රූපය යි. (outer/objective shape) මේ අනුව සමාජල ප්‍රායෝගික හා දේශපාලන ජීවිතය යනු විඥානයක් එයට ම හා අනෙකුත් විඥානයන්ට සම්බන්ධ වී තිබෙන ආකාරය යි. පරමාත්මය එළියට එන ස්වරූපයන් තුනක් ඇත. ඒ දර්ශනය, කලාව හා ආගම යි.

හෙගල් විසඳූ ඥාන විභාගාත්මක ගැටලුව

හෙගල්ට කලින් තිබුණු ඥාන විභාගාත්මක ගැටලුවක් වූයේ ලෝකය දැන ගන්නට යාමේ දී දැනගැනීමේ ක්‍රියාව සහ දැනගන්නා වස්තුව වශයෙන් පැල්මක් හමු වීම යි. මෙහි දී පැවැති උභතෝකෝටිකය වූයේ මනසට ස්වායත්තව ඇති දෙය කුමක් ද යන්න ය. එක ම වස්තු විවිධ නිරීක්‍ෂණවලට වෙනස්ව දිස් වන්නේ කෙසේ ද යන්න යි.

කාන්ට්ගේ තර්කය තුළින් කියවුණේ මේ දෙය (the thing) සම්පූර්ණ වශයෙන් ඥානනය කර ගත නොහැකි බව ය. මෙයට ප්‍රතිවිරුද්ධ අදහසක් සූත්‍රගත කරන හේගල් කියා සිටියේ 'සබුද්ධික දේ සත් බවත් සත් දෙය සබුද්ධික බවත් ය’ (real is rational rational is real). මෙයින් ගම්‍ය කරන අදහස වන්නේ ඕනෑ ම දෙයක් වේ නම් එය දැන ගත හැකි ය යන්නය. හේගල් කියා සිටියේ පරම යථාර්ථයේ රහස විචාරයෙන් (විචාරයෙන්) අනාවරණය කරගත හැකි බව ය. නමුත් කාන්ට්ට අනුව මිනිස් මනසට ළඟා විය හැකි කොටසක් සහ ළඟා විය නොහැකි කොටසක් වශයෙන් ඥාන විභාගාත්මක සීමාවක් පැනවෙන බව ය. මේ අනුව කාන්ට් අතින් කියුවණේ මිනිසෙකුට ඉන්ද්‍රීය සංජානනයෙන් ඔබ්බට යා නොහැකි බව ය. එසේ වන්නේ මිනිස් මනසට ඇති ඥානවිභාගාත්මක සීමාවක් නිසා ය. ප්‍රපංචය, එනම් පෙනීමෙන් ඔබ්බට මනසට ගමන් කළ නොහැකි ය. කාන්ට්ගේ න්‍යායට අනුව අපට පෙනෙන්නේ රතුපාට ඇපල් ගෙඩියක් විනා ඇපල් වනාහි මෙවැන්නක් වේ යන්න නො වේ. රතු පාටට පෙනෙන ඇපල් ගෙඩිය පිටුපස කුමක් හෝ යමක් තිබිය යුතු ය යනුවෙන් ශේෂයක් ඉතිරි වේ. එයට 'ඇපල් ගෙඩියේ-එහි ම- ස්වරූපය’ යයි කිව හැකි ය.

මනසේ ප්‍රවර්ගයන් ක්‍රියාත්මක වන්නේ ප්‍රපංචමය යථාර්ථය සමඟ පමණක් නිසා දෙයෙහි යථාර්ථය අපට අනාවරණය කර ගත නොහැකි ය. මෙය කලු කුහරයක් අපට දැකගත නොහැකිවා සේ ය. ආලෝක කිරණ කලු කුහරය තුළින් අප වෙත එන්නේ නොමැති නිසා අපට එය නොපෙනෙන නමුත් එවැන්නක් ඇතැයි අපි ගනිමු. කාන්ට්ගේ න්‍යාය ඔස්සේ ගියොත් අපට ලැබෙන නිගමනය වන්නේ යථාර්ථය සම්බන්ධයෙන් අපට කිසිදු දැනුමක් නොමැති බව ය.

කාන්ටියානු උභතෝකෝටිකය ගැන ෆිශ්ට මෙවැනි ප්‍රශ්නයක් නැගීය. යථාර්ථය ගැන අපට දනුමක් ලබාගත නොහැකිය කියන කාන්ට් එවැනි යථාර්ථයක් තිබෙන බව දැන ගත්තේ කෙසේ ද? එවැන්නක් ඇතැයි ගන්නා විට ම ඒ දෙය සම්බන්ධව දැනුමක් ඇතැයි කියා කියවෙනවා නොවේ දැයි මෙහි දී තවත් ගැටලුවක් මතු වේ. දෙයෙහි ඕනෑ ම ස්වරූපයක පැවැත්ම පිළිගත් විට කාන්ට් විසංවාදයක සිරවේ. ‘පැවැත්ම‘ යන්න අවබෝධනයේ ප්‍රවර්ග 12න් එකකි. ප්‍රවර්ගයන් අදාළ වන්නේ ප්‍රපංචයන් සම්බන්ධයෙන් පමණි. දැන් සිදු වී ඇත්තේ කුමක් ද? ප්‍රපංචයන්ට අදාළ ප්‍රවර්ගයන් නිර්ප්‍රපංචමය යථාර්ථයක් සමඟ ඇඳී ඇතය යන්න මෙහි දී කිය වේ. මෙය ස්වයං-විසංවාදයකි. මෙයින් කාන්ට්ගේ ඥානවිභාගාත්මක ප්‍රාසාදය බිඳ නොවැටෙන්නේ ද?

කාන්ට්ගේ විචාරාත්මක දර්ශනය පශ්චාත් කාන්ටියානුවන් අතින් සමපේක්‍ෂණමය විඥානවාදයක් දක්වා තල්ලු කෙරුණි. විඥානවාදීන් තර්ක කළේ මනසට පිටින් දෙන අන්තර්ගතයන් ද මනසේ ම නිර්මාණයක් වන බව ය. දේවල් ද ඇතුළත්ව දැනුමේ වස්තූන් ද මනසේ ම (පරම මනසේ) නිර්මාණ වේ.

හේගල්, යථාර්ථය බුද්ධිමය බවත් බුද්ධිමය බව යථාර්ථවත් බවත් කීවේ ය. ඒ අනුව තවදුරටත් මිනිස් මනස නොදන්නා දෙයක් තිබිය නොහැකි ය. එමෙන් ම විඥානයට පිටතින් එයින් ස්වායත්තව පවතින දෙයක 'රහස’ අවබෝධ කර ගත හැකි ය.

විඥානයට පිටතින් එයින් ස්වායත්ත, බාහිර එහි ම වූ දෙයක් තිබිය නොහැකි ය. නමුත් තවදුරටත් මෙවැනි ප්‍රශ්නයක් පැන නැගෙයි. දේවල් සහිත ලෝකයක් අපගෙන් පරිබාහිරව තිබෙනවා සේ පෙනෙයි. එසේ අපගෙන් පරිබාහිර පවත්නා ලෝකය අපගේ මනසේ නිර්මාණයක් විය නොහැකි ය. එසේ නම් මේවා කුමන මනසක නිර්මාණයන් ද?

කාන්ට්ට අනුව අපගේ දැනුම ගොඩනැගෙන්නේ ප්‍රවර්ගයන් හරහා ය. මෙම ආත්මීය ප්‍රවර්ගයන් සාර්වත්රික ලෙස පොදුවේ අප සියල්ලන්ගේ මනස් තුළ තිබේ. හෙගල්ට අනුව මේ ප්‍රවර්ග මිනිස් මනසෙන් ස්වායත්තව වාස්තවික ලෙස ඇත. අපි උදාහරණයක් හැටියට පුටුවක් ගනිමු. පුටුව අපගේ මනසින් පරිබාහිරව ඇත යන්න අමුතුවෙන් කිව යුතු දෙයක් නෙවෙයි. කාන්ට්ට අනුව නම් පුටුවේ ප්‍රපංචමය භාවය අපට දැක ගත හැකිය. නමුත් පුටුවේ යථාර්ථය අපට හසු නො වේ. නමුත් හෙගල්ට අනුව පුටුවේ තවදුරටත් දැන ගත නොහැකි යථාර්ථයක් ශේෂ වන්නේ නැත. පුටුව සමන්විත වන්නේ පුටුව සම්බන්ධයෙන් අපට තිබෙන අදහස්වලින් ය. පුටුව අනුභූතිකව ග්‍රහණය කිරීමේ දී මැදිහත් වන සාර්වත්‍රිකයන් වේ. එනම් පුටුවේ දිග, පළල, උස, බර වැනි සාර්වත්‍රිකයන් ය. මේවා නොමැතිව පුටුව ගැන දැනගැනීමේ වෙනත් ක්‍රමයක් අපට නොමැත. මේ ප්‍රවර්ගයන්ට හෙවත් සාර්වත්‍රිකයන්ට වාස්තවික පැවැත්මක් ඇති නමුත් මේ සාර්වත්‍රිකයන්ට පුටුවෙන් ස්වායත්ත පැවැත්මක් නැත. පුටුව යැයි කියන්නේ පුටුව ගැන අප දන්නා දේවල් ය. පුටුව ගැන අප දන්නා දේ වනාහි අදහස්වල සම්බන්ධයන් ය. තාර්කිකව පියවරෙන් පියවර ඉදිරියට යමින් යන ගමනේ දී හමු වන බාධාවන්, විසංවාදයන් ජය ගනිමින් යථාර්ථයේ සාරය සම්බන්ධයෙන් පූර්ණ දැනුවත්භාවයක් අත්පත් කර ගත හැකි ය. හේගල්ගේ තර්කය වන්නේ චින්තනය අනුගමනය කරන්නේ යථාර්ථයේ ආභ්‍යන්තරික තර්කය බව ය. චින්තනය වර්ධනය වන්නේ සමස්තය හමු වෙන තෙක් ය.

ආශ්‍රිත ග්‍රන්ථ

Yovel. Y(2005): Hegel’s Preface to the Phenomenology of Spirit, Princeton: Princeton University Press.

Norman.R (1976):Hegel’s Phenomenology: A Philosophical Introduction. London: Sussex University Press.

Zizek, S (2003):Tarrying with the Negative. Kant, Hegel and the Critique of Ideology, Durham: Duke University Press

ඔබගේ අදහස් අපට එවන්න.