හෙගල්ගේ පරමත්වය හා ඓන්ද්‍රීය ලෝක දැක්ම

2022 දෙසැම්බර් 7

Georg Wilhelm Friedrich Hegel

හෙගල් අදහස (the Idea) යන්න පුද්ගලික හෝ ආත්මීය එකක් ලෙසට ගන්නේ නැත. ‘මාගේ අදහස’ වැනි අර්ථයකින් මෙය යොදන්නේ නැත. හෙගල් ආත්මීය විඥානවාදියකු නොවන්නේ මේ නිසාය. අදහස යන්න වාස්තවික වශයෙන් පවතින්නක් බව හෙගල්ගේ අදහස ය. අදහසේ දයලෙක්තිකය පරිපූර්ණ වීම නියෝජනය කිරීමට ‘පරම අදහස’ (Absolute Idea) යන්න පාවිච්චි කෙරෙයි. මේ මොහොතේ දී ආත්මීයත්වය හා වාස්තවිකත්වය අතර පවතින බෙදීම අවසන් වේ. හෙගල් පරමත්වය (the Absolute) හා අදහස (the Idea) යන්න සමාන ආකාරයට යොදා ඇත. පරම අදහස තුළ ඊට කලින් පැවතුණු සියලු අදහස් අන්තර්ගත ය. එනිසා එයට ‘අදහස ගැන අදහස’ යැයි දැක්විය හැකි ය. පරම අදහස යටපත් කරන වෙනත් අදහසක් නැත. පරම අදහස යනු අදහස් අතර තවත් එක් අදහසක් නො වේ. එය අදහස ගැන අදහස ය (self-related Idea). පරම අදහස ආත්මය හා වස්තුව යන දෙකට ම ඉහළින් පවත්නා අදහසක් නො ව, මේ දෙකෙහි ම ඒකත්වය ය. අදහස පරම වන්නේ වෙනත් කිසිදු අදහසක් එයට පිටතින් නොපවතින නිසා ය. මේ පරම අදහස තුළ අභ්‍යන්තරික වශයෙන් ඛණ්ඩනයක් ඇත. පරම අදහස ආත්මීය හෝ වාස්තවික හෝ නොවන අතර එයට වාස්තවික මෙන් ම ආත්මීය ස්වරූපයෙන් පෙනී සිටිය හැකි ය. මේ නිසා ය, ආත්මය වස්තුවට ඌනනය කිරීම හා වස්තුව ආත්මයට ඌනනය කිරීම යන පදනම හෙගල් අතින් බැහැර කෙරෙන්නේ. ආත්මය හා වස්තුව යන දෙක ම පරමාදර්ශී (Idea) වන ගමන් ම සත් (Real) වේ. මේ දෙක දෙකක් ලෙස පෙනෙන්නේ දෛනික අත්දැකීමක දී පමණි. පරමත්වය ගැන ස්වයං සංජානනයක් ඇති කර ගැනීමට කොන්දේසියක් වශයෙන් ආත්මය හා වස්තුව දෙකක් ලෙසට ගැනීම සිදු වේ.

හෙගල්ගේ මේ විග්‍රහය තුළ මතභේදයට ලක් වන තැනක් ඇත. පරම අදහසට තමන්ව ආත්මීය ලෙසත් වාස්තවික ලෙසත් ප්‍රකාශයට පත් කර ගත හැකි නමුත් පරම විඥානවාදය වාස්තවිකත්වයට වඩා ඉහළින් ආත්මීයත්වය තබන්නේ ඇයි ද යන්න එම ගැටලුවටය. මේ ප්‍රමුඛත්වය මතු වන්නේ ස්පිනෝසාට එරෙහි පියවරක් ලෙසට ය. ස්පිනෝසාගේ විග්‍රහය තුළ ආත්මීයත්වයට ප්‍රධාන තැනක් නොලැබුණු අතර එය සාරාර්ථයේ ප්‍රකාරයක් පමණක් බවට පත් කෙරී තිබිණි. ද්‍රව්‍ය සේ ම ආත්මයත් අනෙක් ප්‍රකාරයන් අතර තවත් එක් ප්‍රකාරයකි. ආත්මය සම්බන්ධයෙන් ස්පිනෝසියානු මතයට හෙගල් එකඟ වූයේ නැත. හෙගල්ගේ තර්කය වන්නේ ආත්මීයත්වය පරමත්වයේ ඉහළ ම ප්‍රකාශයට පත් වීමක් බව ය. වාස්තවික ලෝකය ද පරමත්වයේ ප්‍රකාශනයක් නමුත් එය පිහිටන්නේ ආත්මීයත්වයට පහළිනි. පරමත්වයේ වර්ධනයේ සංවිධානමය ස්වරූපය ආත්මීයත්වය ය. පරමත්වය වඩාත් හොඳින් සාක්ෂාත් වන්නේ වාස්තවික ස්වරූපයකට වඩා ආත්මීය ස්වරූපයකිනි. ආත්මීයත්වයෙන් තොර ව සොබාදහමට පැවතිය හැකි වුවත් එය වඩාත් පරිණත නොවූ ඕක් ගසක් වැනි ය.

හෙගල් විසින් පවසන “පරමත්වය සාරාර්ථමය ලෙස පමණක් නොව ආත්මීය ලෙසත් ප්‍රකාශයට පත් වේ” යන්න හෙගල්ගේ ප්‍රධාන ප්‍රවාදයකි. ද්‍රව්‍යමය ලෝකය පරිමිත ආත්මයෙන් ස්වායත්ත ව පිහිටියත් එය අපරිමිත ආත්මයෙන් එනම් පරමත්වයෙන් ස්වායත්ත ව පිහිටන්නේ නැත. හෙගල් නඩත්තු කරන අදහස වන්නේ ආත්මය හා වස්තුවට පරම අදහසෙන් ස්වායත්තව පැවැත්මක් නොමැති බව ය. යමක් ආත්මීය හෝ වාස්තවික වන්නේ පරම අදහස ඇති තැනක ය. පරමත්වයේ ආත්මීය ස්වරූපය බිහි වන්නේ වර්ධනයේ අවසන් අදියරේ දී ය. ආරම්භයේ දී පරමත්වය පෙනී සිටින්නේ සාරාර්ථමය, ද්‍රව්‍යමය, වස්තුමය ලෙසට ය.

හෙගල් විසින් සත්වාදය හා විඥානවාදය අතර සම්බන්ධතාව ගොඩනගන්නේ කුමන ආකාරයකට ද? 1790 දශකයේ දී මුළුමහත් රොමැන්තික පරම්පරාව ම සත්වාදී දෘෂ්ටිකෝණයකින් ලෝකය දෙස බැලීමේ දී ඔවුන් අනුගමනය කළ දාර්ශනිකයා වූයේ ස්පිනෝසා ය. මෙයට එරෙහි විඥානවාදී කඳවුර නියෝජනය කළ ප්‍රධාන දාර්ශනිකයා වූයේ ෆිෂ්ට ය. හෙගල් මේ ප්‍රවේශයන් දෙකෙහි ම වාසිය නෙළා ගත්තේ ය. ෆිෂ්ටගෙන් හෙගල් ලැබූ ප්‍රධාන ආභාසය වූයේ රැඩිකල් නිදහස පිළිබඳ සංකල්පය ය; තමන්වමත්, ලෝකයත් නිර්මාණය කිරීම සඳහා ආත්මයට ඇති බලය එහි ඇති රැඩිකල් නිදහස ය. ෆිෂ්ට ස්ථාපිත කළ ස්ව-උපග්‍රහණමය අහංභාවය (self-positing ego) තමන්වම නිර්මාණය කර ගන්නා අතර ලෝකය ද (non-self/Nicht-Ich) නිර්මාණය කරයි. ස්පිනෝසාගේ ස්වභාවවාදය සොබාදහම තුළ දිව්‍යත්වය දුටු නමුත් මේ දිව්‍යත්වය පවතින්නේ සොබාදහමට ඉහළින් අතිස්වාභාවික එකක් ලෙසට නො වේ. මේ ප්‍රවේශයන් දෙකෙහි ම ප්‍රබලත්වය ගැන සලකා බලමින් රොමැන්තිකවාදී පරම්පරාව කළේ ෆිෂ්ටගේ නිදහස පිළිබඳ සංකල්පයත් ස්පිනෝසාගේ ස්වභාවවාදය පිළිබඳ සංකල්පයත් එකට එක්තැන් කිරීමට උත්සාහ ගැනීම ය. ෆිෂ්ටට අනුව අහංභාවයට (self) තම ස්වාධීනත්වය අනුව වරණීය ශක්‍යතාවක් ඇත. එයට පූර්ව හේතූන්ගෙන් ස්වායත්තාව ක්‍රියාත්මක වීමේ ධාරිතාවක් ඇත; සොබාදහම මත සිය පාලනය ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් ඇත. මේ සියල්ල මිනිසාගේ නිදහස් ක්‍රියාකාරීත්වය ඔස්සේ පැමිණෙන්නකි. ස්පිනෝසාගේ ස්වභාවවාදය මේ රැඩිකල් නිදහසට එරෙහි ව යන්නකි. ස්පිනෝසාගේ ස්වභාවවාදය නිර්ණයවාදී ය (deterministic). ස්පිනෝසාට අනුව දෙවියන් වහන්සේ ක්‍රියාත්මක වන්නේ තමන්ගේ ම ස්වභාවයට අනුව ආවශ්‍යක ආකාරයට ය. එයට වෙනත් ආකාරයකට ක්‍රියාත්මක වීමේ හැකියාවක් හෝ තෝරා ගැනීමේ හැකියාවක් නැත. දෙවියන් වහන්සේගේ සදාකාලික දිව්‍යමය ස්වරූපය වෙනස් කිරීමට වෙනත් කිසිවෙකුට නොහැකි ය. ස්පිනෝසාගේ ස්වභාවවාදයෙන් කියවෙන අනෙක් කාරණය වන්නේ ලෝකය වෙනස් කිරීම සඳහා ඇති ඕනෑ ම අභිප්‍රේරණයකට විරුද්ධ වීම ය. ලෝකය සදාකාලික හා පරිපූර්ණ නිසාත් එහි අඩුවක් නැති නිසාත් ලෝකය වෙනස් කිරීම සඳහා වූ ඕනෑ ම ක්‍රියාමාර්ගයකට ස්පිනෝසියානු සාරාර්ථය විරුද්ධත්වය දක්වයි. ස්පිනෝසාගේ රැඩිකල් දේශපාලනය මෙන් ම ඔහුගේ පාරභෞතිකවාදය ද සමාජ හා දේශපාලන වෙනසකට ඇති ඉඩකඩ අහුරා දමයි. එහෙත් ෆිෂ්ටට අනුව දර්ශනය අවසන් වන්නේ යම් ක්‍රියාකාරීත්වයකිනි. ෆිෂ්ටගේ දාර්ශනික අරමුණ ක්‍රියාවකට තල්ලු කිරීම ය.

හෙගල් ෆිෂ්ට සම්බන්ධයෙන් ද විවේචනාත්මක විය. ෆිෂ්ට විසින් ද්වෛතවාදයක් නඩත්තු කිරීම හෙගල්ගේ විවේචනයට හේතු විය. ප්‍රපංචමය හා නිෂ්ප්‍රපංචමය ලෙසටත්, අහංභාවය හා අහංභාවමය නොවන ලෝකය ලෙසටත් ෆිෂ්ට ද්වෛතයක් නඩත්තු කළ අතර මේ ධ්‍රැව දෙක අතර පරතරයක්, ආගන්තුක බවක්, පරාරෝපිත බවක් සදාකාලික ව පවතින බව ෆිෂ්ටගේ අදහස විය. ඔහු නිදහස පිහිටු වූයේ නිෂ්ප්‍රපංචමය තැනක ය. මේ ද්වෛතවාදී දැක්ම විසඳුමක් නො ව, ප්‍රශ්නයක් ම බව හෙගල්ගේ අදහස විය. නිදහස යන්න හෙගල්ට අත්‍යවශ්‍ය කාරණයක් විය. හෙගල්, ස්පිනෝසා හා ෆිෂ්ට අතර පැවතුණු ගැටලුවට පිළිතුරක් සම්පාදනය කිරීමට උත්සාහයක් ගත්තේ ය. හෙගල්ගේ ප්‍රශ්නය ගොඩ නැඟුණේ මේ ආකාරයට ය: ස්පිනෝසියානු ඒකත්වවාදී ලෝකයක නිදහස අත්පත් කරගන්නේ කෙසේ ද?

ෆිෂ්ට ස්වීයත්වය, මනස හෝ අහංභාවය ප්‍රථම මූලධර්මය ලෙසට පිළිගනී. සෑම දෙයක ම කේන්ද්‍රය වන්නේ මනස ය. සොබාදහම විග්‍රහ කිරීමේත්, සොබාදහම සංවිධානය කිරීමේත් මූලධර්මය මනස ය. ඔහුගේ ගැටලුව වන්නේ අවසන් හේතුව ප්‍රථම හේතුව බවට පත් කිරීම ය. මනස, ලෝකය සංවිධානය කිරීමේ අතිමූලික සද්භාවවාදී මූලධර්මය කිරීම ය. මනස, ප්‍රථම හේතුව බවට පත්කිරීම ය. මෙය ස්පිනෝසා විසින් සාරාර්ථය ප්‍රථම හේතුව බවට පත්කිරීම හා සමාන ය. හෙගල්ගේ පරම විඥානවාදය මනුෂ්‍ය ඒජන්තයාට ප්‍රධාන තැනක් ලබා දුන්නේ ය. එසේ නමුත් ස්පිනෝසාට අනුව මනුෂ්‍ය ඒජන්තයා දිව්‍යමය සාරාර්ථයේ තවත් එක් ප්‍රකාරයක් පමණි. මෙහි දී මනුෂ්‍යයාට සිදුවන්නේ දිව්‍යමය සාරාර්ථය මත පදනම් වීමට ය. ස්පිනෝසාට අනුව සාරාර්ථයට ස්වායත්ත සාරයක් හා පැවැත්මක් ඇති අතර මනස හෝ ද්‍රව්‍යය වැනි එහි ප්‍රකාරයකට ඇත්තේ පරායත්ත සාරයක් හා පැවැත්මකි. මේ දැක්මට අනුව මිනිසා දෙවියන් මත පදනම් වන්නේ නැත. දෙවියන් සදාකාලික, පරිපූර්ණ, ස්වයං පෝෂිත සත්ත්වයෙකි.

හෙගල් මේ දැක්ම ආපසු හැරවූයේ ය. දෙවියන් මිනිසා මත පදනම් වන බව හෙගල්ගේ මතය විය. දෙවියන්ට තමන්ව සාක්ෂාත් කරගත හැක්කේ මිනිස් ක්‍රියාකරකම් හරහා ය. දෙවියන් තමන් ගැන ස්වයං-සවිඥානික බවක් ඇති කර ගත හැක්කේ මිනිසාගේ ස්වයං-සවිඥානකත්වය හරහා ය. දෙවියන් කලින් සිටම පරිපූර්ණ නැති අතර දෙවියන්ට පරිපූර්ණ විය හැක්කේ මිනිසා හරහා ය. දෙවියන්ට තම ශක්‍යතාව තථ්‍ය කරගත හැක්කේ මිනිස් ක්‍රියාකාරකම් හරහා ය. දෙවියන් පරිපූර්ණ වන්නේ මිනිසා හරහා නිසා මිනිසාට දිව්‍යමය විය හැකිය. මේ නිසයි හෙගල්, ෆිෂ්ට විසින් ප්‍රමුඛත්වය ලබා දුන් මිනිස් ක්‍රියාකාරකම අගය කරන්නේ. මේ අනුව අපගේ ක්‍රියාකාරීත්වය හරහාය දිව්‍යත්වය සාක්ෂාත් කර ගත හැක්කේ. හෙගල්ට මෙහි දී මතුකර ගැනීමට අවශ්‍ය වන්නේ නිදහස පිළිබඳ කාරණය ය. ස්පිනෝසියානු නිදහස අදාළ වන්නේ දෙවියන් වහන්සේට පමණි. මේ ඔස්සේ යමින් ස්පිනෝසාව අත් නොහැර හෙගල් කියා සිටින්නේ මිනිසා නිදහස වීමට නම් සමස්ත සාර්වත්‍රිකත්වය සමඟ අනන්‍ය විය යුතු බව ය.

අහඹුවේ අනිවාර්යතාව

හෙගල්ගේ පරම විඥානවාදය ආමන්ත්‍රණය කරන තවත් ප්‍රමුඛ දාර්ශනික මාතෘකාවක් වූයේ අහඹුව (contingency) පිළිබඳ ප්‍රශ්නය ය. මෙහි දී හෙගල්ගේ ස්ථාවරය සමහරුන් හඳුනා ගත්තේ සෑම දෙයක් ම හේතුවකට අනුකූල ව ආවශ්‍යක ලෙස අනිවාර්යෙන් සිදුවන්නක් ලෙසට ය. මේ මතයට කියන්නේ ‘Panlogism’ කියා ය. තවත් පිරිසක් හෙගල්ගේ ස්ථාවරය හඳුනා ගත්තේ සෑම දෙයක් ම අහඹුවේ යථාර්ථයට අනුකූල වන බව ය. හෙගල් වනාහි දේවල් සිදු වන්නේ අහඹුවේ අනිවාර්යතාව (necessity of contingency) අනුව යැයි ප්‍රකාශ කළ මුල් ම දාර්ශනිකයෙකි. ඔහු අනිවාර්යතාව හා අහඹුව යන දෙක ම එකට එකතු කර ප්‍රවාදයක් ගොඩ නඟන්නේ කෙසේ ද? හෙගල්ව Panlogist කෙනෙකු ලෙස තේරුම් ගැනීම සඳහා හේතූන් දෙකක් පවතී. හෙගල්ට අනුව පරමත්වයේ හේතුව එය ම වේ.

එය පවතින්නේ එහි ම ස්වභාවයේ අනිවාර්යතා අනුව ය. හෙගල් මේ ආකාරයේ අදහසක් ද ගම්‍ය කරයි. පරමත්වය යථාර්ථයේ සියල්ල නියෝජනය කරනවා නම් එය සීමා කරන එයින් පිටත කිසිවක් නැත. මේ මතවාද දෙකෙන් ම කියවෙන්නේ සෑම දෙයක් ම හට ගන්නේ දිව්‍යමය ස්වභාවයේ අනිවාර්යතාවයට අනුකූල ව බව ය. යමෙකු අහඹුව හෙගල්ගේ පද්ධතියට ඇතුළු කිරීමට උත්සාහ ගත්තොත් අහඹුව පිහිටන්නේ පරමත්වයට හෝ සමස්ත පද්ධතියට හෝ පිටතින් බව ය. අහඹුව පරමත්වයට පිටතින් පිහිටනවා නම් එයින් පරමත්වය පරිමිත එකක් බවට පත් කෙරෙන බව ය. ස්පිනෝසාගේ දැක්ම වූයේ සෑම දෙයක් ම පවතින්නේ එක් තනි අපරිමිත සාරාර්ථයක අනිවාර්යතාවට අනුකූල ව බව ය.

අහඹුව හරහා හෙගල්ව කියවන්නන් තුළ සැලකිය යුතු තර්කයක් පවතී. මෙවැනි ප්‍රවේශයකින් කියවෙන්නේ දර්ශනය මඟින් විස්තර කළ යුත්තේ පරිමිත ලෝකයක් ගැන බව ය. පරිමිතත්වයේ ස්වභාවය නම් අහඹුව ය. එයින් ස්ථාපනය කෙරෙන්නේ අහඹුවේ අනිවාර්යතාවය ය. මේ අහඹු කාරකය තහවුරු කිරීමට ස්පිනෝසාට නොහැකි වූ බව හෙගල්ගේ මතය විය.

හෙගල්ගේ විශේෂත්වය වන්නේ මෙම අහඹුව ආත්මීය ආකාරයට පමණක් නොව වාස්තවික ආකාරයටද ක්‍රියාත්මක වෙන බව පැවසීම ය. හෙගල් තර්ක කළේ ලෝකයේ ඇති සුවිශේෂයන් හා වෙනස්කම් උත්පාදනය වන්නේ පරමත්වයේ සිදුවන ස්වයං-ඛණ්ඩනය නම් අනිවාර්යතාව නිසා බව ය. හෙගල් මුහුණ දුන් උභතෝකෝටිකය වූයේ අහඹුව පද්ධතියට ඇතුළතින් ස්ථාපනය කරනවා ද නැත්නම් පද්ධතියෙන් පිටත ස්ථාපනය කරනවා ද යන්න ය. මෙය තේරුම් ගැනීමට හෙගලියානු පද්ධතියේ සුවිශේෂත්වය හඳුනාගත යුතු ය.

ඓන්ද්‍රීය ලෝක දැක්ම

හෙගලියානු පද්ධතිය ඓන්ද්‍රීය ලෝක දැක්මකි. විශ්වය වනාහි එක් තනි විශාල ජීවමය ක්‍රියාවලියක් බව මෙහි දී කියවේ. හෙගල්ගේ ප්‍රමුඛ කියමනක් වූයේ පරමත්වය වනාහි එකක් හා සියල්ලම වන බව ය. මේ පරමත්වය ගතික එකක් ද වේ. පරමත්වය වර්ධනය වන්නේ ජීවයක් ලෙසට ය. පරමත්වය වනාහි කලින් ම සිට පැවතුණු පරිපූර්ණත්වයක් ලෙසට ගන්නේ නැත. බොහොමයක් ආගම්වලින් හෙගල් වෙනස් වන තැන මෙතැන ය. පරමත්වය වර්ධනය වන්නේ අසම්පූර්ණ ඒකත්වයක් ලෙසට වන අතර එය අභ්‍යන්තරික ලෙස ඛණ්ඩනය වෙමින් වර්ධනය වේ. මේ වර්ධනයට ශක්තිය ලබා දෙන්නේත් මේ අභ්‍යන්තරික ඛණ්ඩනය ය. මෙම ඛණ්ඩනමය පාර්ශ්වයන්, ස්වයං පරාරෝපිත පාර්ශ්වයන් තනි සමස්තයක් තුළට අන්තර්ග්‍රහණය වේ. මේ ඓන්ද්‍රීය ලෝක දැක්ම හෙගල්ගේ ප්‍රපංචවිද්‍යාව, තර්ක විද්‍යාව, සෞන්දර්ය විද්‍යාව, ආචාර විද්‍යාව හා ඉතිහාස ක්‍රියාවලිය තුළ දැක ගත හැකි ය. මේ ඓන්ද්‍රීය ලෝක දැක්ම හෙගල්ගේ ස්වාභාවික දර්ශනයට පමණක් සීමා වනවා යැයි ගැනීම වැරදි ය. එය ඔහුගේ සමස්ත ලෝක දැක්ම තුළ ම දැක ගත හැකි ය. ඓන්ද්‍රීය ලෝක දැක්ම ප්‍රකාශයට පත් වන සංකල්ප කීපයක් ඇත. ප්‍රතිවිරෝධයන්ගේ ඒකත්වය, දයලෙක්තිකය, වෙනස-තුළ-අනන්‍යතාව මේ අතරින් කීපයකි.

ඓන්ද්‍රීය ලෝක දැක්ම තුළ දැක ගත හැකි ප්‍රධාන ලක්‍ෂණ තුන වන්නේ ඒකත්වය වෙනස හා වෙනස-තුළ-ඒකත්වය ය. ඓන්ද්‍රීය වර්ධනය අභ්‍යන්තරයේ පවතින්නේ ප්‍රතිවිරෝධතා අතර චලනයකි. මතුපිටින් ප්‍රතිවිරෝධතා ලෙස හඳුනා ගන්නා ඒකත්වය-වෙනස, ශක්‍යතාව-තථ්‍යතාව, ඇතුළත-පිටත, දෘශ්‍යමානය-සාරය යන ඒවා ඇතුළත ඒකත්වයක් ඇත. එක් පාර්ශ්වයක සිට අනෙක් පාර්ශ්වය දක්වා සිදු වන චලනයක් ඇත. හෙගල් විසින් හඳුන්වා දෙන in-itself (ansich) යනු අනෙකුත් දේවල්වලට සම්බන්ධයක් නැති ස්වරූපයක් නො ව යම් කිසි ශක්‍යතාවක් සහිත අවවර්ධිත ස්වරූපයකි. හෙගල්ට අනුව for-itself (für sich) යනු වඩාත් සංවිධානාත්මක වර්ධිත තත්ත්වයක් බවට පත් වූ ස්වභාවයකි. හෙගල් හඳුන්වා දෙන ‘සංකල්පය’ Concept යනු සත්තාව (Being) හා සාරය (Essence) යන දෙක ම ඓන්ද්‍රීය ලෙස ඒකත්වයට පත් වූ තත්ත්වයකි. මෙම මොහොතට පත් වූ විට සත්තාව හා සාරය වශයෙන් කරන බෙදීමේ අසම්පූර්ණත්වය අවබෝධ කර ගනී.

ඒකත්වවාදය (monism) හා විඥානවාදය (idealism) යන ප්‍රවේශයෙන් එකට එක්තැන් වීමෙන් පරම විඥානවාදය සෑදෙයි. මෙහි ඒකත්වවාදය මඟින් ඇඟවෙන්නේ ද්වෛතවාදී විරෝධී අදහසකි. ඒකත්වවාදය ගොඩ නැඟී තිබෙන්නේ ම ඓන්ද්‍රීයවාදී අදහසකිනි. මානසික-භෞතික, සත්වාදී-පරමාදර්ශවාදී වශයෙන් බෙදී ඇති ලෝකය එක් තනි ජීවමය බලයක විවිධ වර්ධිත අවධීන් ය. පරම විඥානවාදය ඓන්ද්‍රීයවාදී ලෝක දැක්මක් මත පදනම් වී තිබේ යැයි කියන්නේ සොබාදහමේ සෑම දෙයක් ම යම් අරමුණක් එල්ලයක් වෙත යොමු වී ඇතය යන මතය නිසා ය.

හෙගල්ගේ Science of Logic තුළ ද මේ ඓන්ද්‍රීය දැක්ම දැක ගත හැකිය. හෙගල් තර්කය පිළිබඳ විද්‍යාවක් ගොඩ නඟන්නේ ජීවිතය පිළිබඳ තර්කයක් ගොඩ නැඟීම සඳහා ය. හෙගල්ට තමන්ට කලින් වර්ධනය කෙරී තිබුණු සොබාදහම සම්බන්ධයෙන් යාන්ත්‍රික දෘෂ්ටියට එරෙහි ව ය තර්ක විද්‍යාව ගොඩ නඟන්නේ. යාන්ත්‍රික ලෝක දැක්මකට ජීවිතය තේරුම් ගැනීම කළ නොහැකි බව හෙගල්ගේ මතය විය. ජීවමය සත්තාවන් ගත්තොත් එය ස්වයං-ජනනමය හා ස්වයං ලෙස සංවිධානය වන එකකි. යාන්ත්‍රිකවාදියෙකු ලෝකය තේරුම් ගන්නේ එක් සිද්ධියක් වෙනත් සිද්ධියක් මත බලපෑම් කරන ආකාරයට ය. ඓන්ද්‍රීය දැක්මක් මඟින් ලෝකය තේරුම් ගන්නේ බෙදා වෙන් කළ නොහැකි ඒකත්වයක් ලෙසට ය. සමස්තය එක් එක් කොටස් මත ක්‍රියාත්මක වේ. හෙගල්ගේ ඓන්ද්‍රීය ලෝක දැක්ම 17 වන සියවසේ සිට වර්ධනය වූ යාන්ත්‍රික දැක්මට එරෙහි ප්‍රතිචාරයක් විය. මේ යාන්ත්‍රික දැක්මේ ආරම්භකයා රෙනේ ඩේකාට්ස් ය. ඔහු විසින් සොබාදහම ගණිතමය නීතියකට ලක් කළේ ය. ගණිතමයකරණය වූ මේ යාන්ත්‍රික ලෝක දැක්මට අනුව සොබාදහමේ දේවල් අවකාශය පුරා ව්‍යාප්ත ව ඇත. ඒවාට දිගක් පළලක් ගැඹුරක් ඇත. ද්‍රව්‍යයන් ව්‍යාප්තමය (extended) හා චිනත්නයේ නොයෙදෙන දේවල් (unthinking things) ලෙස සලකා ඒවා මිනුමට ලක් කළ හැකි ය. ද්‍රව්‍යය යනු අවකාශයේ ඉඩක් ගන්නා දේවල් ය. ඒවා ආවස්ථිති නියමයට යටත් ය. බාහිර බලවේගයන්ගේ බලපෑමකින් තොරව වස්තුව චලනය වනු ඇත. යම් වස්තුවක් නියත ප්‍රවේගයකින් සරල රේඛාවක නොනැවතී ගමන් කරනු ඇත. යම් වස්තුවක් තම ස්ථානය වෙනස් කරනු ලබන්නේ වෙනස් දෙයක් ඒ මත බලපාන්නේ නම් ය. එක් වස්තුවක් තවත් වස්තුවක් මත ක්‍රියාකරනවා යනු වස්තුව වෙනත් තැනකට තල්ලු කරනවා යන්න ය. මේ බලපෑම මනිනු ලබන්නේ යම් වස්තුකින් වෙනත් වස්තුවකට පහර දෙන විට එම වස්තුව අවකාශයේ කොපමණ ඉඩක් තුළ ගමන් කළා ද යන්න මිනුමට ලක් කිරීමෙනි.

යාන්ත්‍රික දැක්මෙන් තවදුරටත් කියවෙන්නේ කාරක හේතුවක් (efficient causality) මගින් සිද්ධීන් මෙහෙයවෙන බව ය. නිෂ්ඨා හේතුවක් නොමැති ව යම් සිද්ධියක් විස්තර කළ හැකි බව මෙයින් කියවේ. යාන්ත්‍රික ලෝක දැක්ම තුළ අන්තර්ගත තවත් ලක්‍ෂණයක් වන්නේ පරමාණුකවාදී අදහස ය (atomism). ද්‍රව්‍ය පදාර්ථ තවදුරටත් නොබෙදිය හැකි පරමාණුවලින් සැදී ඇති බවත් මේ පරමාණු එකිනෙකින් වෙන් කෙරන්නේ හිස් අවකාශයකින් බවත් මෙහි දී කියවිණි. සියලු ම අතිමූලික බලයන් වන ගුරුත්වාකර්ෂණ බලය, චුම්භකත්වය, විද්‍යුතය පරමාණු අතර ඇති අන්තර් සබඳතා හරහා පැහැදිලි කළ හැකි බවත් මෙයින් පැහැදිලි කෙරිණි.

17 වන සියවසේ දී මේ යාන්ත්‍රික ලෝක දැක්ම බලසම්පන්න ප්‍රවේශයක් වුවත් 18 වන ශතවර්ෂයේ දී මේ දැක්ම රොමැන්තිකවාදීන් හා හෙගල් වැනි දාර්ශනිකයන් අතින් ප්‍රශ්න කෙරෙන්නට විය. යාන්ත්‍රික දැක්මකින් පැහැදිලි කළ නොහැකි ක්‍ෂෙත්‍ර ගණනාවක් විය. ගුරුත්වාකර්ෂණ බලය මේ ආකාර සංසිද්ධියකි. චන්ද්‍රයා හා පෘථිවිය අතර ඇති ගුරුත්වාකර්ෂණය ක්‍රියාත්මක වන්නේ දූරස්ථ ආකාරයට විනා ස්පර්ශ ආකාරයට නො වේ. 18 වන ශතවර්ෂයේ අගභායේ දී චුම්භකත්වය හා විද්‍යුතය සම්බන්ධයෙන් නව සොයා ගැනීම් සිදු වූ අතර මෙහි දී බලයන් ක්‍රියාත්මක වන ආකාරය සාම්ප්‍රදායික යාන්ත්‍රික දැක්මෙන් පැහැදිලි කළ නොහැකි විය. යාන්ත්‍රික දැක්ම වඩාත් අර්බුදයට ගියේ මනුෂ්‍ය ක්‍රියාවන් තේරුම් ගැනීමේ දී ය. මිනිසෙකුගේ මනස ශරීරයකට කරනු ලබන බලපෑම යාන්ත්‍රික දැක්ම හරහා පැහැදිලි කළ නොහැකි විය. මානසික ක්‍රියාවන් වෙනස් වන්නේ ස්ථානීය වෙනසක් ආකාරයට නො වේ. මනස යාන්ත්‍රික දැක්මකට යටත් කළොත් එක්කෝ මනස සොබාදහමෙන් පිටත තැබීමට සිදු වේ. එවිට එය ගූඪවාදී අන්තර්ගතයක් බවට පත්වේ නැත්නම් මනස, සොබාදහමේ අනෙක් වස්තූන් අතර ස්වාභාවික වස්තූන් ලෙස ස්ථාපනය කිරීමට සිදු වේ. එවිට මනස සංකීර්ණ යන්ත්‍රයක් බවට පත් වේ. මනස සොබා දහමට පිටින් තැබුවොත් අපි ද්වෛතවාදීන් බවට පත් වෙමු. මනස සොබාදහමේ ම තවත් වස්තුවක් බවට පත් කළොත් අපි යාන්ත්‍රික භෞතිකවාදීන් බවට පත් වෙමු.

හෙගල්ගේ ඓන්ද්‍රීය ලෝක දැක්ම මඟින් භෞතිකත්වය හා මානසිකත්වය එකම සුසමාදර්ශයක් වෙත ගත්තේ ය. ඓන්ද්‍රීය ලෝක දැක්ම ඌනිතවාදී නොවන (non-reductivist) මෙන් ම සාර්වත්‍රික (holistic) හා සවභාවවාදී (naturalistic) එකක් වේ. හෙගල්ගේ ඓන්ද්‍රීය ලෝක දැක්ම මුල දී දාර්ශනික එකකට වඩා ආගමික එකකි. හෙගල් සිය The Spirit of Christianity (1790) කෘතියෙහි අපරිමිතය දිව්‍යමය ජීවිතයක් ලෙසට ගත්තේ ය. ආරම්භයේ දී ලෝකය දෙවියන් වහන්සේ හා සමඟ විය. ශුද්ධ වූ ත්‍රිත්වය ඓන්ද්‍රීය ලෝක ව්‍යූහයකි. පුද්ගලත්වයේ හා සොබාදහමේ ඇති පරාරෝපණය මේ ඓන්ද්‍රීයත්වය තුළ අහෝසී වී යයි. හෙගල් ක්‍රමානුකූල ව ආගමික ඓන්ද්‍රීය ලෝක දැක්මක් දක්වා ගමන් කළේ ය. සමකාලීන සංස්කෘතියේ විවිධ බෙදීම් මෙම ඓන්ද්‍රීය ලෝක දැක්ම හරහා ඉක්මවා යා හැකි බව හෙගල්ගේ අදහස විය. පුද්ගලයා හා ලෝකය ප්‍රතිසන්ධානයකට ගෙන ඒම එහි උත්සාහය විය.

හෙගල් තමන්ගේ ඓන්ද්‍රීය ලෝක දැක්මට බුද්ධිමය පදනමක් සෙවී ය. පාරභෞතිකවාදය එනම් තර්කවිද්‍යාව තුළත්, ඥාන විභාගය තුළත්, ස්වාභාවික විද්‍යාවන් තුළත් මේ දැක්ම සෙවී ය. ස්පිනෝසා තුළ ඔහු සොයා ගත් දේ අතිශයින් ම තීරණාත්මක විය. ඔහුගේ ඇගයුමට ලක් වූයේ ස්පිනෝසාගේ පාරභෞතිකවාදය ය. මෙම පාරභෞතිකවාදය හෙගල්ගේ ඉහළ ම අගය කිරීමට ලක් විය. හෙගල් පූර්ණ වශයෙන් ස්පිනෝසා වෙත යොමු වූයේ ෂෙලිං සමඟ යිනා වල සහයෝගයෙන් ඉන්නා කාලයේ දී ය. එම කාලයේ දී ෂෙලිං ද ස්පිනෝසාවාදියෙකු වී සිටියේ ය. හෙගල් වඩාත් උනන්දු වූයේ ස්පිනෝසාගේ ඒකත්වවාදයටත් ඔහුගේ ආගමික දැක්ම හා දෙවියන් වහන්සේට දැක් වූ බුද්ධිමය ආදරය හා කරුණාවටත් ය. ස්පිනෝසා තමන්ගේ දර්ශනයේ ආරම්භක ලක්ෂ්‍යය වශයෙන් සැලකුවේ විශ්වීය සාරාර්ථයකි. ඔහු එය තමන්ගේ දර්ශනයේ අරමුණු හෝ නිගමන වශයෙන් සැලකුවේ නැත. හෙගල් දුටු ආකාරයට ස්පිනෝසා ඉදිරිපත් කරන්නේ ජ්‍යාමිතික විධික්‍රමයකි. මේ විධික්‍රමය පටන් ගන්නේ ස්වසිද්ධීන්ගෙන් හා නිර්වචනයන්ගෙන් වන අතර ඒවා මත පදනම් ව තර්ක කිරීම හා නිගමනයන්ට පැමිණීම සිදු වේ. ඒ වන විටත් කාන්ට්ගේ අනුභූති උත්තර දයලෙක්තිකය (Transcendental Dialectic) මඟින් ස්පිනෝසාගේ ප්‍රවේශයේ ඇති ආභාසයමය ස්වරූපය හඳුනා ගෙන තිබිණි.

න්‍යාය විරෝධ (antinomies) ලෙස කාන්ට් හඳුනා ගත්තේ මේ ආකාර ආභාසයන් ය (fallacies). හෙගල් තමන්ගේ Differnzschaftවල ෂෙලිංට අනතුරු ඇඟවීමක් කරන්නේ ෂෙලිං ස්පිනෝසාගේ ජ්‍යාමිතික විධික්‍රමය ආකෘතියක් ලෙසට ගත් නිසා ය.

ස්පිනෝසා ගත්තොත් ඔහු අර්ධ ආකාරයේ යාන්ත්‍රිකවාදියෙකි. ඔහු ලෝකය විස්තර කරන ක්‍රමවේදය මූලික වශයෙන් ගෙන තිබෙන්නේ ඩේකාට්ස්ගෙනි. ඩේකාට්ස් සේ ම ස්පිනෝසා ද ද්‍රව්‍යයේ සාරය වශයෙන් ගත්තේ ව්‍යාප්තිය ය (extension). ඩේකාට්ස් සේ ම ස්පිනෝසා ඕනෑම දෙයක් විස්තර කළේ කාරක හේතුව ආශ්‍රයෙනි. ඕනෑම දෙයක් ගත්තොත් එය ඊට කලින් හේතුවක් නිසා සිදු වන බව මෙහි දී පිළිගැනිණි. ස්පිනෝසා තමන්ගේ Ethics කෘතිය තුළ ආත්ම කේන්ද්‍රීය විග්‍රහයන් බැහැර කළේ ය. සාධ්‍යතාවාදී දැක්මක් පිළිගත්තේ නැත. ස්පිනෝසාට අනුව විශ්වීය සාරාර්ථය යෝධ යාන්ත්‍රණයක් වැනි ය.

හෙගල්ට ස්පිනෝසාගේ රැඩිකල්භාවය මෙන් ම දුර්වලතාව ගැන ද අවබෝධයක් තිබිණි. ස්පිනෝසාගේ පද්ධතිය තුළ නොවිසඳුණු ගැටලුවක් හෙගල් හඳුනා ගත්තේ ය. සැම දෙයක් ම දෙවියන් වහන්සේ තුළ පවතී නම් දෙවියන් අපරිමිත හා සදාකාලික නම් සෑම දෙයක් ම අපරිමිත හා සදාකාලික විය යුතු ය. එසේ නමුත් ස්පෙිනා්සියානු ප්‍රවේශයට අනුව සියලු ප්‍රකාරයන් (modes) පරිමිත හා තාවකාලික ඒවා විය යුතු ය. ස්පිනෝසියානු පද්ධතිය තුළ අපරිමිතත්වය හා පරිමිතත්වය එකිනෙකට සම්බන්ධ කිරීම උභතෝකෝටිකයක් විය. එකිනෙක ප්‍රතිවිරෝධී ප්‍රවර්ගයන් දෙකක් එක් තනි සාරාර්ථයක් තුළ තැබීම ස්වයං-විරෝධී වේ. සදාකාලිකත්වය හා තාවකාලිකත්වය, බෙදිය හැකි භාවය හා බෙදිය නොහැකි භාවය, සීමිතත්වය හා අසීමිතත්වය යන ප්‍රතිවිරෝධයන් එකම සාරාර්ථයන් තුළ විසංවාදයකින් තොර ව ස්ථාපනය කිරීම ගැටලුවක් විය. මේ ගැටලුවට මුලින් ම මුහුණ දුන්නේ ෂෙලිං ය. ෂෙලිංට මේ ප්‍රශ්නය සඳහා විසඳුමක් නොමැතිකම හෙගල් හා ෂෙලිං අතර දාර්ශනික විරසක භාවයක් ඇති වීමටත් බලපෑවේ ය. යිනා වලින් ඉවත් වීමට හෙගල්ට බලපෑ එක් හේතුවක් වූයේ මෙය යි. 1801 දී ෂෙලිංතමන්ගේ Presentation of My System කෘතිය තුළ කියා සිටියේ පරමත්වය වනාහි ශුද්ධ අනන්‍යතාවක් බවත් ඒ තුළ වෙනස, විසංවාදය යන ඒවාට ඉඩක් නැති බවත් ය. ශෙලිංගේ මේ ඒකත්වවාදී ශුද්ධ අනන්‍යතාව මඟින් සියලු ම ආකාරයේ වෙනස්කම් බැහැර කෙරිණි.

හෙගල් තමන්ගේ ඓන්ද්‍රීය ලෝක දැක්ම ඉදිරිපත් කරන්නේ ෂෙලිං අතින් නොවිසඳුණු ගැටලුවට පිළිතුරක් සම්පාදනය කිරීමට ය. හෙගල්ට අනුව පරමත්වයේ ඓන්ද්‍රීය වර්ධනය තුළ ස්වයං-විභේදනය (self-differentiation) අන්තර්ගත වේ.

එය ඒකත්වයේ සිට වෙනස දක්වා වෙනසේ සිට ඒකත්වය දක්වාත් චලනය වේ. මේ අනුව ස්පිනෝසාගේ විශ්වීය සාරාර්ථය හඳුනාගත යුත්තේ සදාකාලික ස්ථිතික එකක් ලෙස නො ව, සදාකාලික ව චලිතයේ යෙදෙන, වර්ධනය වෙන යාන්ත්‍රණයක් ලෙසට ය.

ස්පිනෝසාගේ සාරාර්ථය පරමත්වයේ එක් මොහොතක් ලෙසට පමණක් ගත හැකි ය. නමුත් එය වෙනස් වීමට ලක් වේ. හෙගල් කරන්නේ ස්පිනෝසාගේ විශ්වීය සාරාර්ථය ජීවමය ඓන්ද්‍රීයත්වයක් (living organism) දෙසට තල්ලු කිරීම ය.

කාන්ටියානු උරුමය

හෙගල් ආරක්‍ෂා කළ කාන්ටියානු උරුමය කුමක්ද? හෙගල්, කාන්ට්ට සාධනීය මෙන් ම නිෂේධනීය ආකාරයට ණය ගැති ය. කාන්ට් සිය Critique of Judgement කෘතියේ නඩත්තු කළ ප්‍රධාන අදහසක් සම්බන්ධයෙන් හෙගල් සාධනීය විය. එයින් කියවුණේ සමස්තය එහි කොටස්වලට වඩා ප්‍රමුඛ වනවා යන්න ය. සෑම කොටසක ම අනන්‍යතාව ගොඩ නැඟෙන්නේ මේ සමස්තය මඟින් බව ය. දෙවනු ව, මෙයින් කියවුණේ මෙහි කොටස් එකිනෙක අන්තර්ක්‍රියා කරන බව ය. කාන්ට්ට අනුව යමක ක්‍රියාකාරීත්වය පදාර්ථයක ක්‍රියාකාරීත්වය හා සමාන නො වේ. පදාර්ථයක් ගත්තොත් එහි කොටස සමස්තයට වඩා ප්‍රමුඛ හා ප්‍රථම වේ. පදාර්ථය තුළ ස්වයං-ජනනමය ලක්‍ෂණයක් නැත. එහි ස්වයං-සංවිධානමය බවක් ද නැත. ද්‍රව්‍යයක් ක්‍රියාත්මක වන්නේ වෙනත් බාහිර බලපෑමක් ලැබුණොත් පමණි. කාන්ට්ට අනුව සංවිධානාත්මක සමස්තය එහි කොටස්වලට ඌනනය කළ නොහැකි ය. කොටසට වඩා වැඩි යමක් සමස්තය තුළ ඇත. කාන්ට් මෙහි දී විනිශ්චයන් වර්ග දෙකක් හඳුන්වා දෙයි. ඒ විශ්ලේෂී (analytic) හා සංස්ලේෂී සාර්වත්‍රික (synthetic universal) ලෙසට ය. විශ්ලේෂී විනිශ්චයක දී සමස්තයට වඩා කොටස ප්‍රමුඛ වේ. එමෙන් ම සෑම කොටසකට ම තමන්ගේ ම වූ අනන්‍යතාවක් ඇත. සංස්ලේෂී සාර්වත්‍රික විනිශ්චයක දී කොටසට වඩා ප්‍රමුඛ වන්නේ සමස්තය ය. මෙම කාන්ටියානු සමස්තයට හෙගල්ගේ විශේෂ අවධානය යොමු විය. හෙගල් පසු කාලයේ දී දියුණු කළ සංයුක්ත සාර්වත්‍රිකත්වය (concreate universal) පිළිබඳ අදහසට කාන්ටියානු ආභාසය ලැබී ඇත. කාන්ට් තමන්ගේ Critique of Judgement කෘතියේ දී කියා සිටියේ සාර්වත්‍රික ඓන්ද්‍රීයත්වය (universal organism) යාන්ත්‍රික මූලධර්මයකට ඌනනය කළ නොහැකි බව ය. සොබාදහමේ රටාව හා පිළිවෙළ සොබාදහමේ නීතීන් සමඟ එකඟ ය. ඓන්ද්‍රීයත්වය යන්න යාන්ත්‍රිකත්වය ඉක්මවා යන්නකි. ඓන්ද්‍රීයත්වයේ මූලධර්මය වන්නේ ස්වයං-ජනනමය බව හා ස්වයං-සංවිධානමය බව ය. යාන්ත්‍රිකවාදය ක්‍රියාත්මක වන්නේ එක් ක්‍රියාවක් තවත් ක්‍රියාවක් මත බාහිර ආකාරයට බලපාන ආකාරයට ය. ඓන්ද්‍රීයත්වයක් ගත් විට එය පවතින්නේ බෙදිය නොහැකි ආකාරයේ ඒකත්වයක් ලෙසට ය. ඓන්ද්‍රීයත්වයක් විශ්ලේෂී ආකාරයට තේරුම් ගත නොහැකි ය. කාන්ට්ගේ Critique of Judgement කෘතියෙහි විශේෂත්වය වූයේ පරමාදර්ශය (ideal) හා සත්බව (real) අතර පාලමක් ගොඩ නැඟීම ය. ප්‍රපංචය හා නිශ්ප්‍රපංචය අතර සබඳතාව ගොඩ නැඟීම ය. කාන්ට්ගේ Critique of Pure Reason හා Critique of Practical Reason වෙන වෙන ම ගත් විට පළමු වැන්නෙන් ආවශ්‍යක, අනිවාර්ය (necessity) බවත් දෙවැන්නෙන් නිදහසත් (freedom) නියෝජනය වේ. මේ කෘතීන් ආවරණය කෙරෙන ක්‍ෂේත්‍ර වැඩ කරන්නේ වෙන වෙනත් සද්භවවාදයන් දෙකකට අනුකූල ව ය. ආවශ්‍යක බව ක්‍රියාත්මක වන්නේ ප්‍රපංචමය ක්‍ෂේත්‍රයේ වන අතර නිදහස ක්‍රියාත්මක වන්නේ නිශ්ප්‍රපංචමය ක්‍ෂේත්‍රය තුළ ය. පළමු කෘතිය සොබාදහම වැඩ කරන ආකාරයත් දෙවන කෘතිය සදාචාරය වැඩ කරන ආකාරයත් පැහැදිලි කරයි. හේතුඵලවාදී හා යාන්ත්‍රිකවාදී මූලධර්මයන් වැඩ කරන්නේ ප්‍රපංචමය ලෝකය තුළ ය. කාන්ට්ගේ විග්‍රහයට අනුව සෞන්දර්යය විනිශ්චය තුළ මුල් කෘති දෙක තුළින් නිපන් ද්වෛතවාදයන් විසඳා ගනී. ප්‍රපංචමය හා නිශ්ප්‍රපංචමය ලෝකයන් අතර සුසංවාදයත් ගොඩ නැඟේ. මෙහි දී ඓන්ද්‍රීයත්වයේ නාමයෙන් සද්බව (real) හා පරමාදර්ශී බව (ideal) එකට එක්තැන් වේ. කලා කෘතියක් තුළ මේ ක්‍ෂේත්‍ර දෙක අතර සුසංවාදයක් ගොඩ නැඟේ.

හේගල් මෙහි දී කාන්ට්ගේ ක්‍රමවේදය ප්‍රශ්න කරයි. කාන්ට් සොබාදහම ඓන්ද්‍රීයත්වයකින් යුක්ත ය යන්න පිළිගත්තේ නැත. ඔහුට අනුව සොබාදහම සම්බන්ධයෙන් මනුෂ්‍ය දැනුම යාන්ත්‍රික අවබෝධයකට සීමා වේ. සොබාදහමට එයට ම ආවේණික වූ බලයක්, අරමුණක් තියෙනවා යැයි කාන්ට් පිළිගත්තේ නැත. කාන්ට්ට අනුව ඓන්ද්‍රීයත්වය නිර්මාණය කරන්නේ අප නොවේ නම් එය දැන ගැනීමේ හැකියාවක් ද අපට නැත. අපට දැනගත හැක්කේ අපගේ අනුභූතියෙන් ලැබෙන දේ පමණ ය. අපගේ අධිෂ්ඨානය අනුව නිෂ්පාදනය කළ දේ ගැන අපට දැනුමක් ලැබිය හැකි නමුත් අනුභූතිය වැඩ නොකරන ක්‍ෂේත්‍රයන් ගැන අපට දැනුවත් විය නොහැකි ය. මෙම කාන්ටියානු දැක්මට හෙගල් එරෙහි විය. ඒ වෙනුවට ය, ඔහු සොබා දහම සම්බන්ධයෙන් ඓන්ද්‍රීය දැක්මක් ඉදිරිපත් කරනු ලැබුවේ. මේ ඓන්ද්‍රීය දැක්ම වර්ධනය කිරීමේ දී පැරණි දේවධර්මය මඟින් වර්ධනය කළ අදහස් ඔහු උපයුක්ත කර ගත්තේ ය. දේවධර්මයට අනුව සොබාදහම අරමුණු සහගත ය. දෙවියන් වහන්සේ සොබාදහම නිර්මාණය කිරීමේ දී මේ අරමුණු සහගත බව එයට ඇතුළු කර ඇත. පැරණි දේවධර්මය ආවශ්‍යක ආකාරයට ම මානව කේන්ද්‍රීයවාදී ය.

හෙගල් 1800 කාලයේ සිට සිය ඓන්ද්‍රීය දැක්මේ ආරක්‍ෂාව වෙනුවෙන් පෙනී සිටියේ ය. මේ නිසා ය, ඔහු ෂෙලිංගේ සොබා දහමේ දර්ශනය වෙත යොමු වූයේ. 1798 කාලයේදී ෂෙලිං On the World Soul ලියමින් ඓන්ද්‍රීය ලෝක දැක්ම ආරක්‍ෂා කර තිබිණි. එම කාලයේ දී සමකාලීන වශයෙන් දියුණු වී පැවති ස්වාභාවික විද්‍යාවේ වර්ධනයන් සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් ෂෙලිංට තිබිණි. හෙගල් තමන්ගේ Differenzshaft කෘතියේ සවාභාවික දර්ශනයේ ආරක්‍ෂාව වෙනුවෙන් පෙනී සිටියේ ය. ඔහුගේ කේන්ද්‍රීය තර්කය වූයේ ඓන්ද්‍රීය සංකල්පයට පමණක් ආත්මීයත්වය හා වාස්තවිකත්වය අතර ද්වෛතය ඉක්මවා යා හැකි බව ය. හෙගල් තර්ක කළ ආකාරයට කාන්ට් හා ෆිෂ්ට යන දෙදෙනාට ම කාටිසියානු දර්ශනයෙන් උරුමකර දුන් ද්වෛතවාදයෙන් ඔබ්බට යාමට නොහැකි විය. කාන්ට් හා ෆිෂ්ට යන දෙදෙනා ම අනුභූතික (empirical) හා අනුභූති උත්තර (transcendental) වශයෙන් ද්වෛතයක් ආරක්‍ෂා කළේ ඩේකාට්ස් විසින් ගොඩ නැඟූ ව්‍යාප්තිය (res extensa) හා විඥානය (res cogitans) නම් ද්වෛතවාදී දැක්මට අනුකූල ව ය.

කාන්ටියානු ප්‍රාග් අනුභූතික ආත්මය (Transcendental Unity of Apperception) අනුභූතිය සකසන, අනුභූතිය සංවර්ධනය කරන මූලාශ්‍රය ය. අනුභූතික අන්තර්ගතය සැපයෙන්නේ පිටතිනි. මේ ද්වෛතය ඉක්මවා යාම සඳහා ෆිෂ්ට පියවරවල් කීපයක් ගත්තේ ය. ඔහුට අනුව අනුභූති උත්තර ආත්මය අත්දැකීමේ අන්තර්ගතය ද නිපදවනු ලබයි. ඔහු ආත්ම-වස්තු විභේදනය (subject-object difference) වෙනුවට ආත්ම-වස්තු අනන්‍යතාව (subject object Identity) හඳුන්වා දුන්නේ ය. හේගල්ගේ තර්කය වූයේ මේ අනන්‍යතාව ළඟා කර ගත හැක්කක් නොවන බව ය. ආත්ම-වස්තු යන දෙවර්ගය ම වර්ධනයේ අවස්ථාවන් ලෙසට ය හෙගල් හඳුනා ගන්නේ. හෙගල්ට කලින් මත් ෂෙලිං සිය ඓන්ද්‍රීය ලෝක දැක්ම වර්ධනය කරමින් පවසා සිටියේ සොබාදහම ඓන්ද්‍රීය ප්‍රපංචයක් නම් මානසික හා භෞතික ලෝකයත්, ආත්මීය හා වාස්තවික ලෝකයත්, පරමාදර්ශී හා සත් ලෝකයත් වශයෙන් දෙකට බෙදීමේ තේරුමක් නැති බව ය. ද්වෛතයන් වශයෙන් පෙනෙන දේවල් එක් තනි ජීවමය බලයක් වර්ධනය වීමේ හා සංවිධානය වීමේ විවිධ අවධීන් පමණක් බවත් ය. ද්වෛතයන් ලෙස පෙනෙන ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයන් එකිනෙක මත පදනම් වන බව ය. මානසිකත්වය වනාහි ඓන්ද්‍රීය වර්ධනයේ ඉහළ ම සංවිධානාත්මක රූපය ය. ශරීරය වනාහි ඓන්ද්‍රීය වර්ධනයේ පහළ අවධියකි. ෂෙලිං හා හෙගල් යන දෙදෙනා ම සොබාදහම පරමාත්මයේ දෘශ්‍යමාන පාර්ශවය වන බවටත් ආත්මය වනාහි එහි අදෘශ්‍යමාන පාර්ශවය බවටත් එකඟ වූහ.

පසුකාලීන ව ඉතා මත් වැඩි වශයෙන් විවෙචනයට ලක් වූ ක්‍ෂේත්‍රය වන්නේ හෙගල්ගේ සොබාවික දර්ශනය ය. හෙගල්ගේ පැත්තෙන් බැලුවොත්, ඔහුගේ සොබාවික දර්ශනය අනාගතයේ ගොඩ නැඟෙන දාර්ශනික පද්ධතියේ ආවශ්‍යක කොටසකි. සමහරුන්ට අනුව හෙගලියානු පාරභෞතිකවාදයේ දුර්වල ම පාර්ශ්වය ඔහුගේ සොබාවික දර්ශනය ය. මේ සොබාවික දර්ශනයට අනුභූතික හෝ සම්පරීක්‍ෂණමය පදනමක් නැති බවටත් ඔවුහු තර්ක කළහ. සොබාදහම සම්බන්ධයෙන් ප්‍රාග් අනුභූතික න්‍යායකරණයක් පමණක් මෙහි ඇති බවට කියවිණි. හෙගල් පරිණාමවාදය ප්‍රතික්‍ෂේප කර තිබිණි. හෙගල් නිව්ටන්ගේ චලන නියමයන්වලට වඩා ළං වූයේ කෙප්ලර්ගේ චලන නියමයන්ට ය. හෙගල්ගේ සොබාදහමේ දර්ශනය තුළ ඇරිස්ටෝටල්ගේ ස්වාභාවික විද්‍යාත්මක ශේෂයන් අනතර්ගත ව පැවතිණි. හෙගල් සූර්යයා වටා ග්‍රහ වස්තූන් හතරක් පමණක් භ්‍රමණය වන බව පිළිගෙන තිබිණි. මේ තත්ත්වයන් තුළ හෙගල්ගේ සොබාවික දර්ශනය යල් පැන ගිය ගවේෂණයක් ලෙසට හෙගල් විවේචකයන් අදහස් මතුකර තිබිණි.

මේ අනුව පැහැදිලි වන්නේ හෙගල්ගේ පරමත්වය යාන්ත්‍රික ලෝක දැක්මට එරෙහි ව ගොඩ නැඟූ සංකල්පයක් බව ය. හෙගල් වර්ධනය කරන්නේ ඓන්ද්‍රීය ලෝක දැක්මකි. මේ ඓන්ද්‍රීය ලෝක දැක්ම හෙගල්ගේ සොබාදහමේ දර්ශනය තුළත් හඳුනා ගත හැකි ය.

ආශ්‍රිත ග්‍රන්ථ

Beiser, F. (2005): Hegel, New York: Routledge.

Hegel, G.W.F. (1977): Difference between Fichte’s and Schelling’s Systems of Philosophy, trans. H.S.Harris and W. Cerf, Albany: Sunny Press.

Harris, H.S. (1983): Hegel’s Development: Night Thoughts (Jena 1801-1806), Oxford: Clarendon Press.

Harris, H.S. (2002): Hegel’s Development:Toward the Sunlight (1770- 1801), Oxford: Clarendon Press.

ඔබගේ අදහස් අපට එවන්න.