“ගාඩි Children of the Sun” අනන්‍යතාව සහ නිදහස සොයා යෑමේ චාරිකාව

2023 ජනවාරි 20

ගාඩි රැහේ විජයා සහ ටිකිරි කඳුගැටයක් මත සිට හාත්පස පැතිරී ඇති කඳු නිම්නය දෙස විපිළිසරව බලා සිටීති.

මෙය ප්‍රේක්ෂකයා චිත්‍රපටයේ දකින අවසන් රූපරාමුවයි.

කල්පනාවේ නිමග්නව සිටින විජයාට ටිකිරි පහත වදන් පෙළ මුමුණයි. එය මුළු චිත්‍රපටයේ ම ටිකිරිගේ මුවින් කියවෙන ඉතා සීමාසහිත වදන් අතරින් අවසන් වදන් පෙළයි.

“අවුසදා මාමාට ඕන වුණා ඔය ඇත්තො ජීවත් කරලා රැහැ පවතිනවා දකින්න”.

ඔවුන් කන්ද පහළට බසිද්දී එකිනෙකට සම්මිශ්‍රණය වන රූප පෙළකින් ඔවුන්ගේ රූප කඳු අතර කුඩා තිත් බවට පත් වේ. රාමුව අඳුරු වෙයි. රාමුවේ පහත සඳහන් වැකිපෙළ ඉහළට ගමන් කරයි.

“ඉංග්‍රීසීන් උඩරට සිංහල නායකයන්ට දුන් පෙරොන්දු කඩ කරමින් 1818 මාර්තු 02 දින ලංකාව ඉංග්‍රීසි යටත් විජිතයක් බවට පත්කරන ලදි. කුල ක්‍රමය මත බිහිවූ රාජකාරි ක්‍රමය ඉංග්‍රීසීන් අහෝසි කරන ලදී. රොඩී ජනතාව පසුගිය කාලය තුළ ක්‍රම ක්‍රමයෙන් තම අනන්‍යතාව වෙනස් කර සෙසු පීඩිත කුල අතරට එක් වූහ”.

ගාඩි ප්‍රජාව අනෙකුත් පීඩිත කුලවලට එක් වූ බව සත්‍යයකි. මේ මොහොාතේ ඔවුන් මෙන් ම අනෙකුත් පීඩිත කුලවල සිටින ප්‍රජාව තවදුරටත් පීඩනයට පත්වන්නේ කුල සාධකය පමණක් නිසා නොව සමාජ ආර්ථික සාධක නිසා බව අපි දන්නෙමු. ඒ අර්ථයෙන් වර්තමානයේ මධ්‍යම පන්තිය ඇතුළු මෙම සමාජ ස්තරයන් ඉතා ශීඝ්‍රයෙන් සමාජ ආර්ථික පීඩනයට හසුවෙමින් තිබෙන බව අපට පෙනේ.

ප්‍රසන්න තම නිර්මාණය පිළිබඳ පහත දක්වන අදහස මෙම විචාරයට ප්‍රවේශයක් වසයෙන් වැදගත් ය.

“මෙම ඓතිහාසික පුරාවෘත්තයේ සමාජ ස්තර දෙකක් නියෝජනය කරන පුද්ගලයන් දෙදෙනෙකු ස්ව කැමැත්තෙන් තොරව සහ තම පුද්ගල අනන්‍යතාව අත් නො හැර එකිනෙකා සමග සහජීවනයෙන් ජීවත්වීමට වෙරදරනවා. අවසානයේ තම ජීවත පැවැත්මට තර්ජනය වන මොහොතේ ඔවුන් අවබෝධ කරගන්නා දෙය නම් ජීවිතය හුදු අනන්‍යතාව මත ම රඳා නො පවතින බවයි. මානව සංහතිය, ජාතික සහ ආගමික අනන්‍යතාව වෙනුවෙන් යුද වදින පරිසරයක මම මේ මායාව ප්‍රශ්න කිරීමට අනන්‍යතාව නැමැති තේමාව උපහැරණයක් විදිහට පාවිච්චි කළා”. https://www.filmisland.net/gaadi/#director

මෙම චිත්‍රපටය නිශ්චිත ඓතිහාසික මොහොතක පිහිටුවා ඇති බව සත්‍යයකි. එමෙන් ම එය අයිතිවන්නේ එම ඓතිහාසික මොහොතට පමණක් නොවන බව අපට හැඟේ. ඓතිහාසික කතාවෙන් ඔබ්බට ගිය කල අපට වැටහෙන්නේ මෙම චිත්‍රපටය නිසැකයෙන් ම වර්තමාන සහ අනාගත ශ්‍රී ලංකාවේ දිශානතිය යම් ආකාරයකට සලකුණු කරන වගයි. වෙනත් ආකරයකට කිව හොත් මෙම චිත්‍රපටය ලංකාව ජරාජීර්ණ අනන්‍යතා දේශපාලනයේ පතුලට ම කිඳාබැහීමේ අවදානම සලකුණු කරන වග පෙනේ.

මෙම චිත්‍රපටයට මූලික වසයෙන් විෂය වන්නේ පුද්ගල සහ සමාජ අනන්‍යතාවයි. එනමුදු එය සූක්ෂමව සහ ව්‍යංගයෙන් අනන්‍යතා අර්බුදය විනිවිද ගොස් සමාජයේ පවතින ව්‍යුහමය අර්බුදය ස්පර්ශ කරයි. එනම් මෙම චිත්‍රපටය අප එරී සිිටින ජාතිවාදී සහ ආගමික අන්තවාදය නමැති මඩගොහොරුව රූපකාර්ථයෙන් සනිටුහන් කරයි. එහෙත් සැබෑ ප්‍රශ්නය වන්නේ අපට එදිරිව සිටින ප්‍රතිවාදියා, අප විසින් ම පෝෂණය කෙරෙන ක්‍රම පද්ධතිය ම බව පීඩිත පන්තිය විසින් හඳුනාගෙන ඇද්ද යන්නයි.

වැඩවසම් ක්‍රමය යටතේ නිර්ප්‍රභු සමාජ ස්තරයන්, ආර්ථික සමාජ සහ සංස්කෘතික පීඩාවන්ට ලක්වූ බව අපි දනිමු. ස්වරූපයෙන් වෙනස් වුව ද මෙම පීඩනය වර්තමාන සමාජය දක්වා ම පරිණාමය වී ඇත. පහත කියවෙන පරිදි, කලාකරුවා තම නිර්මාණය කුමන සමාජ කාලාවධියක් පසුබිම් කරගත්තේ වුවත් ඔහුට හෝ ඇයට පවතින විෂම සමාජ යථාර්ථයන් මඟ හැර ගොස් තම නිර්මාණ කාර්යයෙහි නිරතවිය නො හැකිය.

“සාමාන්‍යයෙන් ගත් කල කලාව යනු මිනිසා විසින් අපේක්ෂා කෙරෙන පරිපූර්ණ සහ සුසංවාදී ජීවිතයක අවශ්‍යතාව පිළිබිඹු කෙරෙන ප්‍රකාශනයකි. එනම් පන්ති සමාජය විසින් මිනිසාට අහිමි කරන ලද විශාල ප්‍රතිලාභයන් සාක්ෂාත් කරගැනීමේ අභිලාෂයයි. නිසර්ගයෙන් ම කලා නිර්මාණයක්, සවිඥානිකව හෝ අවිඥානිකව, ක්‍රියාකාරී ලෙස හෝ නිෂ්ක්‍රිය ආකාරයෙන්, සර්වශුභවාදීව හෝ සර්වඅශුභවාදීව පවතින යථාර්ථයට විරුද්ධවීමක් නියෝජනය කරයි - නැතහොත් යථාර්ථයට විරුද්ධව කෙරෙන අරගලයක් ලෙස ප්‍රකාශමාන වෙයි”. Leon Trotsky’s Art and Politicsin Our Epoch (June 1938) https://www.marxists.org/archive/trotsky/1938/06/artpol.htm

මෙම චිත්‍රපටය සවිඥානිකව පවතින යථාර්ථයට විරුද්ධවීමක් නියෝජනය කරයි. විජය සහ ටිකිරිගේ අරගලය නිශ්චිත ලෙස ප්‍රකාශ නොවන්නේ නමුදු එය අපට ස්පර්ශ වේ. මතුපිටින් සරල ලෙස දිස්වන කතාන්දරයක් තුළ යටින් මතුවන කුල සහ පන්ති පීඩනයට, සමාජ අයුක්තියට විරුද්ධව සටන් කිරීමේ මානව අපේක්ෂාව ප්‍රකාශ වෙයි. එය ප්‍රකාශ වන්නේ අප දකින දර්ශන හෝ දෙබස් අතර නොව චිත්‍රපටයේ සමස්ත හරය තුළ ය.

ගාඩි චිත්‍රපටයේ කාල පරාසය වන්නේ පූර්ව යටත් විජිත සහ යටත් විජිත සමයයි. එම සමයේ ගාඩි සමාජය මුහුණ දුන් මර්දනය ප්‍රකට ය. චිත්‍රපටය මෙම නිර්ප්‍රභු සමාජයේ බහුරූපේක්ෂණ දෘෂ්ටි පරාසයක් (kaleidoscopic view) හෙවත් ගාඩි සමාජයේ එකිනෙකට වෙනස් වූ ලක්ෂණ රැසක් නිරූපණය කිරීමට ප්‍රයත්න දරයි. ගාඩි රැහ සිඟමන් යදිති: සිංදු කියති; නටති; ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙති; රදල පැලැන්තියට බියෙන් ජීවත් වෙති.

උඩරට රාජධානියේ අගමැතිව සිටි ඇහැළෙපොළ අදිකාරම අවඥාවෙන් පවසන පරිදි ඔවුන් “මිනිස් දූවිලි ය”.

එනමුදු ඔවුහු සටන් වදිති. ඔවුන් සටන් වදින්නේ කැරැලි ගැසීමෙන් නොවේ. ගාඩි රැහ නියෝජනය කරන විජයා විසින් ප්‍රකට කරන්නේ නිහඬ අරගලයකි. ඔහු ටිකිරි සමග එක්ව රදල පැලැන්තියේ ප්‍රචණ්ඩත්වයට හසු නො වී සිය දිවි බේරාගනී.

ගාඩි චිත්‍රපටයට මූලික වසයෙන් විෂය වන්නේ මිනිසුන්ගේ අනන්‍යතාවයි. මෙම විවධ අනන්‍යතාවන්ට පදනම් වන සමාජ ව්‍යුහයන්ගේ අර්බුදය පිළිබඳව ද චිත්‍රපටය ඉඟි කරයි. එනම් එය පෙන්නුම් කරන්නේ අප සමාජය ජාතිවාදී සහ ආගමික බෙදීම්වලින් වෙන්කරන සතුරු ක්‍රම පද්ධතිවලින් විය හැකි ව්‍යසනයයි. මෙම සමාජ යථාර්ථය ගාඩි චිත්‍රපටයේ පරිවාරයේ සැඟවී පවතී; එළිපිට ප්‍රකාශවන්නේ නැත. මෙම යථාර්ථය එහි සිනමාත්මක භාෂාව සහ කලාත්මක භාවිතය තුළ සැඟවී පවතී.

අප දැනටමත් දන්නා පරිදි “කලාව මානව සංහතිය අත්විඳින දුක්ඛ දොමනස්සයන් ප්‍රකාශයට පත්කරන්නේ විද්‍යාත්මකව හෝ දාර්ශනිකව තර්කනයන් මගින් නොව චිත්‍රාත්මක සහ සංවේදීමය ආකෘතියකිනි. එවැනි සංයුක්ත සංකල්පරූප මගින් සිදුකරන්නේ රසිකයා සතුටට පත්කිරීම හෝ සසල කිරීම හෝ නොසන්සුන්තාවට හෙවත් අසහනයට පත්කිරීමයි”. (The Sky Between the Leaves by David Walsh 2013)

ගාඩි චිත්‍රපටය විශේෂයෙන් ම අවසන් කාර්යය ඇතුළු මෙම කාර්යයන් ත්‍රිත්වය ම එකවර කරයි.

පුළුල් අර්ථයෙන් ගත් කල මෙය නිර්ප්‍රභු සමාජ ස්තරවල මර්දනය කරන ලද හඬට යම් ජීවන අවකාශයක් සැපයේ.එහෙත් මෙවැනි නිර්ප්‍රභු සමාජයක් නිදහස ලබාගන්නේ කෙසේ ද? එවන් නිදහසක් ලබාගැනීම සඳහා කෙරෙන අරගලයේ මිල කොපමණ ද? මේ පසුබිම තුළ මඟ හැරිය නො හැකි ලෙස ප්‍රේක්ෂකයාට දැනෙන මූලික කරුණක් වන්නේ වර්තමාන සමාජය තුළ බලපවත්වන කුල සහ පන්ති විෂමතාව පිළිබඳ ප්‍රශ්නයයි.

මෙම සමාජ සන්දර්භය සමග අත්‍යන්තයෙන් ම බැඳී ඇති තවත් කථාවන් මෙම චිත්‍රපටියෙන් ප්‍රේක්ෂකයාට සම්මුඛ වේ.

එනම් එකිනෙකට තියුණු ලෙස පරස්පර වන සමාජ පන්තිවලින් මතුවන ටිකිරි සහ විජයා අතර ඇති වන මානව සබඳතාවේ ස්වභාවය පිළිබඳ කථාවයි. මෙය අනුක්‍රමයෙන් විපරිවර්තනය වන මිනිස් සබඳතාවකි. ඔවුන් දෙදෙනා එක්ව යන ගමනේ මුහුණදෙන අභියෝග ඔවුන්ගේ ඉවසිම, විඳදරාගැනීමේ හැකියාව, එකිනෙකා විශ්වාස කිරීමේ හැකියාව පරීක්ෂාවට ලක්වේ. මේ අභියෝග මතුවන්නේ අන්තර් පුද්ගල සිදුවීම් මත පමණක් නොව පසුබිමේ සිදුවන සමාජ දේශපාලන සිදුවීම් මත පදනම්වයි. මේ පසුබිම තුළ ඔවුනට ඇත්තේ තෝරාගැනීම් දෙකක් පමණි. එනම් දිවි බේරාගැනීම හෝ විනාශවීයෑමයි.

ඔවුන්ගේ ප්‍රේමය ගෙත්තමක් වියන්නාක් මෙන් සිදුවන අනුක්‍රමික විකාශයකි. එය ප්‍රේක්ෂකයාගේ කුතූහලය දනවන ආකාරයෙන් එක් රූපරාමුවකින් තවත් රූපරාමුවකට ඉතා සෙමෙන් දෝලනය වේ. අවසානයේ සිනමාවේදියා ඔවුන් දෙදෙනා අතර ඇතිවන ගැටුමෙන් මතුවන ආතතීන් කූටප්‍රාප්තියකට ගෙන යයි. ටිකිරි චිත්‍රපටය අවසානය කරා එළඹෙන තුරු ම තම රදල මූලයන්ගෙන් සැදුණු අනන්‍යතාව පවත්වා ගැනීමට වෙර දරයි. අවසානයේ දී ඇය විජයා සමග ඇතිකරගත් මානව සබඳතාව මත තම අනන්‍යතාව සිය කැමැත්තෙන් වෙනස් කරගැනීමේ තීරණයට එළඹෙයි.

මෙම චිත්‍රපටයේ පවතින විශේෂ ලක්ෂණයක් වන්නේ එහි සරලත්වයි.

විත්‍රපටකරුවා ඒක රේඛීයව කතන්දරයක් කීමේ විධික්‍රමය අනුගමනය කරයි. අන්තර්ගතය පරයා ආකෘතියට නැඟී සිටීමට විත්‍රපටකරුවා ඉඩ නො දෙයි. ආකෘතිය අන්තර්ගතයට ම ඒකාබද්ධ වී ඇත. මෙහි ගුප්ත හෝ තේරුම් ගැනීමට අසීරු සිනමා තාක්ෂණයක් භාවිත කර නොමැත; පසුදසුන් හෙවත් අතීතාවලෝකනයන් නැත. එයින් අදහස් වන්නේ එවැනි සිනමා තාක්ෂණයන් භාවිත කිරීම නො සුදුසු ය යන්න නොවේ. මෙම විත්‍රපටයට එවැන්නක් අවශ්‍ය බව නො පෙනේ. එක් තලයක දී මෙම චිත්‍රපටය, චිත්‍රපටකරුවාගේ පරිකල්පනයෙන් සහ නිර්මාණශීලිත්වයෙන් උපන් ඔහුට ම ආවේණික වූ අර්ථකථනයකින් යුතු සරල ඓතිහාසික කථාවකි.

විත්‍රපටකරුවා ඉතා දෘඪව ම අවමතාවාදිත්වය හෙවත් අල්ප සම්පත් භාවිතය වෙනුවෙන් පෙනී සිටියි. මෙහි දෙබස් ඇත්තේ, ප්‍රවේශමෙන් තෝරාගත් එවැනි දෙබස් නොමැති නම් චිත්‍රපටයට පවතින්නට නො හැකි නිසාවෙනි. සකසුරුවම චිත්‍රපටකරුවාගේ නිපුණත්වයයි.

මෙම කරුණ සනාථ කිරීමට ගත හැකි උදාහරණයක් වන්නේ මෙම චිත්‍රපටයේ සංගීත භාවිතයයි. අපට මතක ඇති ආකාරයට මෙම චිත්‍රපටයේ ඇත්තේ කෙටි සංගීත ඛණ්ඩ ත්‍රිත්වයක් පමණි. එනමුදු මෙම සකසුරුවම් සංගීත ඛණ්ඩ විසින් චිත්‍රපටයට සපයන අලෝකය ඉතා ප්‍රබල ය. විජයා සහ ටිකිරි තම දිවි බේරාගැනීම සඳහා කැලය මැදින් යන චාරිකාවේ එක් මොහොතක මුළු වනය සිසාරා පෙනෙන කඳු මුදුනකට ගොඩවන අවස්ථාවේ වයලීනය මුසු සංගීත ඛණ්ඩයක් පසුබිමෙන් වාදනය වීමට පටන් ගනී. මෙම සංගීත ඛණ්ඩය ටිකිරි කෙරෙහි විජයාගේ හදවත තුළ මෝරන අපරිමිත ප්‍රේමය දරා සිටී. මෙම බලවත් සංගීත ඛණ්ඩයෙන් ඔප් නන්වන විජයාගේ ප්‍රේමය පිළිබඳ හැඟීම් ප්‍රේක්ෂකයාට දැනෙන්නට පටන් ගනී.

විත්‍රපටකරුවා තීව්‍ර ලෙස රූපරාමු සහ චරිත ගොඩනැගීම කෙරෙහි ආසක්ත වෙයි. ඔහු චරිතවලට අවස්ථානුකූලව රිසි පරිදි හැසිරෙන්නට ඉඩ දෙයි. දළ සැකිල්ලක් ලෙස තිරය මත මැවෙන චරිත අනුක්‍රමිකව පරිපූර්ණ මිනිසුන් වන ආකාරය ප්‍රේක්ෂකාගාරය සෙමෙන් ග්‍රහණය කරගනියි. මෙම මිනිස්සු සානුකම්පික ය; අනුරාගී ය; සහකම්පයෙන් භරිත ය; ප්‍රචණ්ඩ ය; ආත්මරාගී ය; විසංවාදී මත දරති.

ඉහත ගති ලක්ෂණ නිරූපණය කෙරෙන නළුනිළියන් තෝරාගැනීම ප්‍රවේශමෙන් කර ඇත. ප්‍රධාන නිළිය ලෙස ඩිනාරා පුංචිහේවාගේ රංගාවතරණය තුළ කෝඩුකාර ලක්ෂණ නොමැත. ඇය ටිකිරිගේ චරිතය ඉල්ලා සිිටින සංකීර්ණ මානව හැඟීම් ප්‍රධාන වසයෙන් ම ප්‍රකට කරන්නේ සිය මුහුණෙන් මතු කෙරෙන භාව ප්‍රකාශනයන්ගෙන් ය. ඇය නිසැකව ම දඩබ්බර සහ අනුකම්පා විරහිත ගැහැනියක ව සිට මෘදු ගුණැති සහකම්පනයෙන් යුතු ගැහැනියක ලෙස විපරිවර්තනය වීමේ අභියෝගය සාර්ථකව ජයගෙන ඇත. සජිත අනුත්තර ඉතා ප්‍රමුදිතව සහ වසඟකාරී ආකාරයට විජයාගේ චරිතයට පණපොවයි. ඔහු ටිකිරිව සිය ආකර්ශණයේ ග්‍රහණයට නතු කරගැනීමට වෙර දරයි. චිත්‍රපටය අවසාන භාගයට පැමණෙන තෙක් සියලු බැමි බිඳ දමා විජයාට ටිකිරිගේ හදවතට ඇතුළුවන්නට හැකිවන්නේ නැත. මෙම ප්‍රේමය ජයගැනිමේ දුෂ්කර ක්‍රියාව සජිත දක්ෂ ලෙස නිරූපණය කරයි. ඉතා කෙටි රංගන පරාසයක් තුළ වුව ද ප්‍රතාපවත් ඇහැළෙපොළ අදිකාරම ලෙස රඟන රවින්ද්‍ර රන්දෙනිය සිය රංගන ප්‍රතිභාව මුළු චිත්‍රපටය තුළ නිරූපණය කර ඇත. මතුපිටින් සෙනෙහෙවන්ත සැමියෙතු ලෙස රඟන ශ්‍යාම් ප්‍රනාන්දු ස්වාර්ථය වෙනුවෙන් සිය බිරිය නොතකා හැරීම සහ ඇයව අපහාසට ලක්කිරීම දක්වා ගොඩනැංවෙන චරිතය සුඛනම්‍යව ඉදිරිපත් කරයි.

මෙම විත්‍රපටයේ කැමරාකරණය සහ සංස්කරණය පිළිබඳ විශේෂ සඳහනක් කළ යුතු ය. ඉන්දියානු සිනමා සංස්කාරකවරයෙකු වන ශ්‍රීකර් ප්‍රසාද්ගේ සංස්කරණය මටසිලිටු ය. රූපරාමු බලෙන් මූට්ටු කර නැත.

රජුගේ සොල්දාදුවන් අසුන් පිට නැඟී බුලත්ගම දිසාවගේ පවුල සිරභාරයට ගැනීම සඳහා යන අවස්ථාව සංස්කරණය කළ ඇති ආකාරය ප්‍රශස්ත ය. අප සොල්දාදුවන් දකින්නේ නැත. අපට ශ්‍රවණය වන්නේ ඔවුන් නිවසේ දොරටුවට වැරෙන් පහර දෙන හඬ පමණි. අප දකින්නේ පවුලේ සමාජිකාවන් සෝල්දාදුවන්ගේ ග්‍රහණයෙන් බේරීමට දිවයන ආකාරයයි. නැවත අපට ඇසෙන දොරටුව බිඳී යන හඬ සමග ම අප දකින්නේ පවුලේ සාමාජිකාවන්ගේ මුහුණුවල සමීප දසුනකි. ඔවුන්ගේ මුහුණේ ඇඳී ඇති මරණිය බිය කැමරාකරුවා ප්‍රේක්ෂකයාට පෙන්වයි. ඔවුන්ගේ මුහුණුවල ඇති සන්ත්‍රාසය මුසු භීතිය ඊළඟ මොහොත ගැන ඉඟියකි. ඊළඟට අප දකින්නේ සොල්දාදුවන් ඔවුන් සිරභාරයට ගන්නා ආකාරය නොවේ. එම සිදුවීම තුළ අප සොල්දාදුවන් දකින්නේ ම නැත. ඒ වෙනුවට අප දකින්නේ මළබෙර හඬට අනුව සිය මරණය කරා පාතබන සිරභාරයට ගත් ගැහැනුන් ය. අවශ්‍යම රූපරාමු පමණක් තම පරිහරණයට ගෙන එයින් උපරිම බලපෑමක් කිරීමට උදව් වන නිර්මාණාත්මක කැමරාකරණයක් සහ සංස්කරණයක් අපට මෙහි දී හමු වේ.

හැඟීම් ඔප් නැංවීම සඳහා භාවිත වන සමීප රූප මෙම චිත්‍රපටයේ අපට නිරන්තරව හමුවේ. ගැහැනුන් ජල රකුසාට බිලිවීම සඳහා එකිනෙකා පසුපසින් ගමන් කරන අවස්ථාවේ, කැමරා කාචය නාභිගතවන්නේ ඔවුන්ගේ මුහුණු දෙසට ය. මරණය නියම වූ ගැහැනියක ලෙස රඟන අයිරාංගනී සේරසිංහගේ මුහුණෙහි රැඳී ඇති අභිමානය කැමරාකරුගේ අවධානයට හසුවේ. එමෙන් ම හඬා වැටෙමින් ගමන් කරන ගැහැනුන්ගේ විවිධ හැඟීම් සහ ඉරියව් කැමරාකරු සිය ග්‍රහණයට හසුකරගනියි.

ශ්‍රීකර් ප්‍රසාද් පොදු වසයෙන් සඳහන් කරන කාරණා මගින් මෙවැනි සංස්කරණ අභ්‍යාසයක ඇති වැදගත්කම හැඟී යන අතර එම කරුණු ගාඩි විත්‍රපටයේ සංස්කරණයට ද අදාළ බව පෙනේ.“කිසියම් දර්ශනයක් මගින් ඇතිකරගැනීමට අපේක්ෂා කරන බලපෑම සඳහා රූපරාමු තෝරාගැනීම සහ එම රූපරාමු දිවෙන කාල පරාසය තෝරාගැනීම ඉතා තීරණාත්මක ය. මනෝභාවයන් නිරූපණය කිරීම සඳහා විවිධ රූපරාමු එකට ඇමුණු කල ඔබ අනිවාර්යෙන් ම සමස්ත චිත්‍රපටය චලනය වන ආකාරය හෙවත් එහි ගමන් මාර්ගය සලකුණු කරයි. චිත්‍රපටය කෙතරම් දුරට මටසිලිටු ආකාරයට දිස්වේ ද එතරම් දුරට ම සංස්කරණ ද හොඳින් සිදුවී ඇති බව අපට හැඟේ. රංගන ශිල්පියෙකු ඉතා හොඳින් රඟපාන කල සංස්කරණමය කැපීම් මගින් ඔබ එයට බාධා නො කළ යුතු ය. මූලික නීතිය වන්නේ ආඛ්‍යානයේ ගමන් මග සහ රංගනය අතර සමතුලිතභාවය පවත්වාගැනීමයි. අවසාන විග්‍රහයේ දී වැදගත් වන්නේ සංස්කාරකවරයාගේ සමස්ත තක්සේරුව යි. උදාහරණයක් ලෙස, චිත්‍රපටයේ එක් රූපරාමුවක තරුණියක හඬන දර්ශනයක් ඔබට තප්පර 10, 20 හෝ 40 කාලයක් වුවත් පෙන්විය හැකිය. එනමුදු එම කාර්යය මගින් ප්‍රේක්ෂාගාරයට චිත්‍රපටය විසින් ඇතිකරන බලපෑම ගැන සංස්කරණ ශිල්පියාට තක්සේරුවක් තිබිය යුතු ය”. ”.http://www.sreekarprasad.com/pace.htm චිත්‍රපටයේ මූලික කථා සාරයෙන් ඉවත් වී ඒ දෙස ආපසු හැරී බලන කල, සමහරවිට ප්‍රේක්ෂකයෙකුගේ සිතෙහි පහත සඳහන් ප්‍රශ්න මතුවිය හැකි ය.

අනන්‍යතාව යනු කුමක් ද? න්‍යායාත්මකව සහ ප්‍රායෝගිකව ගත් කල මෙම අනන්‍යතා සංකල්පය අර්ථකථනය වීම හෝ දුර්භාවිතයට ලක්වී ඇත්තේ කෙසේ ද? ශ්‍රී ලංකාවේ හෝ වෙනත් රටක තම අනන්‍යතාව රැකගැනීම වෙනුවෙන් පෙනී සිටින ජන කණ්ඩායම් අප තේරුම්ගන්නේ කෙසේ ද? සමාජ ප්‍රපංචයක් ලෙස අනන්‍යතාව යන සංකල්පයට අප කෙතරම් වැදගත්කමක් දිය යුතු ද? පොදු අනන්‍යතාවක් නිර්මාණය කරගැනීමේ අරමුණෙන් කෙරෙන ක්‍රියාමාර්ග (සමහරවිට බලය යොදා කෙරෙන) සමග අප ගනුදෙනු කරන්නේ කෙසේ ද? අනන්‍යතාව සහ බහුත්වවාදය හෙවත් සියලු මිනිසුන්ගේ අයිතීන් පිළිගැනීම සහ ඒවාට ගෞරව කීරීම අතර ඇති සහසම්බන්ධතාව කුමක් ද? අනන්‍යතාව පිළිබඳ කරුණ සමාජ සහ අන්තර් පුද්ගල මානව සම්බන්ධතා විෂයයෙහි කටයුතු කරන්නේ කෙසේ ද? පන්ති සමාජයක් තුළ අනන්‍යතාව සහ ජාතිකත්වය ක්‍රියාත්මක වන ආකාරය අප තේරුම් ගන්නේ කෙසේ ද?

චිත්‍රපටය ඍජුව මෙම ප්‍රශ්න නගන්නේ නැත. ඒවාට පිළිතුරු සපයන්නේ ද නැත. එසේ සැපයීමට අවශ්‍ය ද නැත. එනමුදු මෙම චිත්‍රපටය ප්‍රේක්ෂකයා විසින් ඇසිය හැකි එවැනි ප්‍රශ්න මතු කිරීමට අවශ්‍ය අවකාශය සහ උත්තේජනය සපයයි.

ඔබගේ අදහස් අපට එවන්න.