ඩාන්ටේ ඇලිගේරිගේ දිව්‍යමය ප්‍රහසනය වෙළුම 1: අපාය, සිව්වෙනි සර්ගය, (පැදි 1 – 10)

2024 මැයි 22

සවන ඇඹරෙයි අහස ගුගුරයි අවදි වෙමි මම,

මනස මත් වී නිදි ගැඹර දිග ඇදුණු

කිසිවකු තිගැස්සී ඇස් ඇරී මෙලොවට පතිත විලසින්,

නැඟී සිටියෙමි අවට බලනුව නොදැන කොහිදැයි.*1

කුහුල් නෙත් හැර දෙපස බැලුවෙමි හැරී දෙපසට,

නැඟී දෙපයින් බලනු හැකි විය මට දසනුදෙස

යොදා මුළු වෙර දකිනු කොහිදැයි මා සිටින්නේ,අයා ගත් නෙත් දුටුව දැකුමයි

මේ කියන්නේ.*2

පරතෙරෙක් නොපෙනෙනා දැක්මකි මහ අගාධෙහි

හැඬුම් වැලපිලි පිරුණු නිම්නෙකි අඳුර සවිවුණු,

කෙළවරක් නැති මහා දුක්නද ගිගුරුමක් වැනි

දෙනෙත් අබියස සවන පාරයි මා සසලකොට.*3

පල නැත දෙනෙතෙහි තදබල අඳුරකි සවි වුණු මීදුම,

නොපෙනෙයි පතුලක් දෙනෙත දුවන්නේ පල නැති දිවුමකි,

අඳුර විනා මට කිසිවක් නොපෙනේ බැලුවත් දිරියෙන්

අඳුර - ගැඹුර - සොව - දුක්කඳ එක තැන එක ලෙස.*4

“යමු අපි ඒ වෙත ගැඹුරු අගාධෙහි ඇති දුක්කඳ වෙත,”

කිවියා කීවේලේසුන් සුදුමැලි ඔදසුන් මුහුණින්,

“මම යමි පළමුව, ඔබ එයි මා යන මඟ මා පසුපස,”

කිවියර මුහුණෙහි වෙනසට අඳ නැති මා සිත බොඳ විය.*5

“මේසා ඔබතුම වේ නම් බියපත්, මා අසරණ වෙයි

මා හද බිඳි කල ඔබ මිස කවරෙක් වී ද සරණ මට?

මා යනු කෙලෙස ද මේ දුක් ගැඹරට ඔබ බිය වේ නම්? මා නිවැරදි නැත, ඔහු දුන් පිළිතුර

සැනසී මා සිත.*6

“මෙහි ගිලි මනුසත් ආත්ම අපමණ නන්වන දුක්කඳ

මාගේ මුහුණට නන්වයි කරුණා කම්පා අපමණ

එය මා බිය බව සිතනා සිතුවිලි නැත නැත නිවැරදි,

අප යා යුතු දුර ඉක්මන් කරවයි ඔබ හා මා පය.”*7

ඉන් පසු කිවියර බැස්සා පළවෙනි කවයට බියකරු

පෙන්වා මා එහි යා යුතු නිසි මඟ එතැනින් පහළට,

මාගේ සවනට ගොනු වූ අයුරින් නොපෙනෙන අවටින්

එහි නෑ තිබුණේ උස් හඬ වැලපිලි ඝෝර අ‍ඳෝනා.*8

අගාධ කවයෙහි අගාධ අඳුරෙහි වූයේ සුසුමන්

අපා දඬුවම් නොලබා හෙළනා සුසුම්ය ඒ සැම

පිරිමි ද ගැහැනු ද දරුවො ද එහි වූ මහ සෙනඟක් ලෙස “නැත නුඹ ඇසුවේ

මේ දක්නා දෙස සිටිනේ කවුදැයි.”*9

“පහදමි නුඹ හට මෙහි නැත පව් කළ දනන් අපා වැටි,

එනමුත් ගත කළ නිදොස් උසස් දිවි පමණක් සෑහෙද?

නැත බව්තීස්ම ලැබුවේ මේ සුදු නිවැරදි සද්දන,

ඒ ලැබුමෙනි අප ලෝ දන ලබනේ ඇදහිල්ලේ මඟ.”*10

ආමුඛය (1 – 10)

වර්ජිල් කවියා සමඟ අපාය බලන්නට ඩාන්ටේ යන ගමන ඇරඹී තිබේ. අපාය දොරටුවෙන් ඇතුළු වූ ඔවුන් දෙදෙන මුලින් දුටුවේ පව් කළවුන් නොවුණත් ස්වාර්ථය හේතුකොට ගෙන මෙලොව සිටිද්දී පැත්තක් නොගත් මනුෂ්‍යයින්ටමෙන්මදෙවියන් සහ ලුසිෆර් නම් යක්ෂයා අතර සිදු වූ ගැටුමේ දී කවර පැත්තක්වත් නොගත් සුරදූත අවස්ථවාදීන්ට සිදු වී තිබෙන වින්නැහිය හා ඇකොරොන් නදිය ඔස්සේ සැබෑ අපාය වෙත පාපීන් රැගෙන යන හාරොන්ගේ අඟුලයි. දුන් අදෝනා දෙන පාපිෂ්ටයින් ඊට පටවා ගන්නා අතර ඩාන්ටේ තවමත් ජීවත්වන්නකු වන බැවින් හාරොන් මුල දී ඔහු සිය අඟුලෙන් රැගෙන යාම ප්‍රතික්ෂේප කරයි. ඩාන්ටේගේ මාර්ගෝපදේශක මහකවි වර්ජිල් නිසා ඊට ගොඩවන්නට ඔහුට අවස්ථාව ලැබේ. ඒ නදී තෙර සිදු වන්නේ තුමක් දැයි විස්තර කරන අතරේ බියකරු භූමිකම්පාවක් සහ හමන්නට පටන් ගන්නා වේරම්බ වාතයක් හේතුවෙන් දුබල ඩාන්ටේ සිහිසුන්ව තද නින්දකට වැටේ. මේ නිසා ඩාන්ටේට අඟුලේ අපායට ආ ගමන මතක නැත. ඩාන්ටේ‍ දෙනෙත් හරින්නේ දැන් ය. ඒ මහත් ගිගිරුමක් නිසා නින්ද සුනුවිසුනු වීමෙනි. බියපත්ව හාත්පස බලන ඩාන්ටේ දකින්නේ ඔවුන් දෙදෙනා බියකරු අඳුරු අගාධයක මුවවිටෙහි සිටින බව ය. වර්ජිල්ගේ මුහුණ ද සුදුමැලි වී ඇති අයුරු ඩාන්ටේ දකියි. ඔහු සිතන්නේ තමා මෙන්ම වර්ජිල් ද බිය වී සිටින බව ය. එනමුත් තමාගේ මුහුණ වෙනස් වූයේ භීතිය නිසා නොව ඉමහත් ශෝකයෙහි ගැලී සිටින්නන් කෙරෙහි ඇති වූ සහකම්පාව සහ කරුණාව නිසා බව කියන වර්ජිල් සිය සිසුවකු බඳු ඩාන්ටේ සමඟ අගාධයෙහි පළමුවෙනි කවයට ඇතුළු වේ.

එකිනෙක කවියේ භාවය හා විවරණ

1.ඩාන්ටේගේ සිහි නැති නින්ද බිඳින්නේ භයංකර ගිගිරුමක් නිසා ය. එනයිනි ඔහු සවිඥානක නොවූ අඟුල් ගමන ගැන කියන්නේ. ඔහුගේ අවදිවීම ස්වකැමැත්තෙන් සිදු වූවක් නොවේ. බාහිර බලහත්කාරයකින් සිදුවූවකි. විසල් වූ දෙනෙතින් සැබවින් දුටු දේ ය ඉන් පසු ඩාන්ටේ කියන්නේ. සවනකලඹමින්අහස ගුගුරන හඬින් ඔහු අවදි වී ඇත. ඒ බව කියන්නේ ඩාන්ටේ ය. තමා සිටින්නේ කොහි දැයි ඔහු ඉන් පසු කල්පනා කරයි. තිගැස්සී ඇස් ඇරී මෙලොවට පතිත විලසින්නැඟී සිටියෙමි අවට බලනුව නොදැන කොහිදැයි.කුහුල් නෙත් හැර දෙපස බැලුවෙමි හැරී දෙපසට. නැඟී දෙපයින් බලනු හැකි විය මට දසනුදෙස යොදා මුළු වෙර දකිනු කොහිදැයි මා සිටින්නේ. අයා ගත් නෙත් දුටුව දැකුමයි මේ කියන්නේ.

2 - 7.ඩාන්ටේට පෙනෙන්නේ බියකරු අන්ධකාර අගාධයකි. එහි පතුලක් නොපෙනේ. එහි හැඬුම් වැලපිලි ඇසේ. ඩාන්ටේට පෙනෙන්නේ ඒ දර්ශනයෙන් වර්ජිල් ද බියපත්ව සිටින බවකි. එසේ නම් තවත් ඉදිරියට යා නොහැකි ය. එනමුත් ඉදිරියට යමු යි වර්ජිල් පැවසීම ඩාන්ටේට ගැටළුවකි. ඒ ප්‍රශ්නය විස‍ඳෙන්නේ තමාගේ මුහුණේ ඇත්තේ බිය නොව දුකෙහි ගිලුනවුන් ගැන ඇති අනුකම්පාව සහ කරුණාව බව වර්ජිල් පැහැදිලි කිරීමෙනි. යා යුතු මඟ දුර ය. පය ඉක්මන් කළ යුතු වන්නේ ඒ දුර නිසා බව ද වර්ජිල් කියයි.

8 -10. ඔවුහු අපායේ පළමුවෙනි කවයට(First Circle) බසිති. වර්ජිල් මුලින් යන අතර ඩාන්ටේ පසුපසින් යයි. ඒ කවය සුවිශේෂ තැනකි. එහි සිටින්නේ පව්කාරයින් නොව නිර්දෝෂ මිනිසුන් ය. මානව වංශයෙහි අතීතයෙහි මහත් මෙහෙවරක් කළ උත්තමයෝ ද එහි සිටිති. එනමුත් ඔවුන් සම්බන්ධයෙන් ක්‍රිස්තියානි ධර්මය ප්‍රකාර පැනනගින ගැටළුවක් ඇත. ඔව්හු බව්තීස්මය(Baptism)නොලැබුවෝ වෙති. ඩාන්ටේගේ මාර්ගෝපදේශකයා වූ මහා කවි වර්ජිල් ද එවැන්නෙකි. එනමුත් ඔව්හු අපායේ දඬුවම් නොවිඳිති. සිරගතව සිටිනවා පමණි. ඔව්හු ගැලවීම අහිමි වීමේ දැඩිතර ශෝකය නිසා මහත් සුසුම් හෙළති. ඒ නිසා ඇසෙන්නේ සුසුම් ගොසකි. ඇත්ත වශයෙන් වර්ජිල් මහා කවියාගේ වාසස්ථානය ද එහි ය. ඩාන්ටේගේ හා වර්ජිල්ගේ හැඟුම් අතරේ සියුම් වෙනසක් ඇත. අපායට වැටුණු සියල්ලන් ගැන පොදු දුකකි ඩාන්ටේට ඇත්තේ. ඒ ඔහුගේ නවකභාව නිසා ය. එනමුත් පරිණත වර්ජිල්ට ඇත්තේ ද ගැලවුමක් නැති නිදොස් පිරිස ගැන පමණක් ඇති වූ දුකකි. මේ වැදගත් වෙනස මේ කාව්‍යාවලියේ සටහන්වන බව අප අමතක නොකළ යුතු ය. ක්‍රිස්තියානි ධර්මය අනුව නිත්‍ය ගැලවීම පිණිස බව්තීස්මය අනිවාර්ය දෙයකි. එනමුත් බව්තීස්මය සංස්ථාපනය වන්නට පළමුව ඉපිද, ජීවත් වී, මියගියවුන් ඉරණම කුමක් ද? අපාය කාව්‍යයේ සිව්වෙනි සර්ගය මුල් භාගයේ දීම ඩාන්ටේ නිරූපණය කරන්නේ මේ විසඳුමක් නැති ගැටළුව යි.

මේ ඉරණමට ලක්වන අතරේ සත්ගුණවත් දිවියක් ද, මිනිස් වර්ගයා වෙත පැහැර හැරිය නොහැකි සේවයක් ද ඉටු කළ මහා ජනකායක් අපායේ සිටින නමුත් ඔව්හු දණ්ඩනයට ලක්ව වේදනා නොවිඳිති. ඒ මන්දයත් ඔවුන් මෙහි සිර වී සිටින්නේ ඔවුන්ගේ වරදක් නිසා නොවීම යි. ඔවුන් රැඳී සිටින මේ විශේෂ කලාපය අපායේ මායිම හෝ පවිත්‍රාග්නි ස්ථානය(Purgatory) යි.

ඔව්හු පළමු මනුෂ්‍යයා වූ ආදම් පාපයට වැටීම (Fall of Adam) සහ ජේසුතුමා කුරුසියේ දිවි පුදා (Crucifixion of Christ)නැවත මළවුන්ගෙන් නැඟිටුම(Resurrection of Christ)අතර කාලයේ මෙලොව ජීවත් වූවෝ වෙති. එහි වැඩිහිටි ගැහැනු පිරිමි මෙන්ම දරුවෝ ද සිටිති. මේ පිරිස පිළිබඳ වගකීම කවියකු ලෙස භාර ගන්නා ඩාන්ටේ මුළුමහත් මිනිස් වර්ගයා පිළිබඳ හැඟීම් සහගත චේතනාවකින් යුතුව ඇතැම් විට දේවධාර්මික විය නොහැකි කාව්‍යාත්මක එකතු කිරීමක් කරයි. ජොන් ඩී. සින්ක්ලෙයාර් මේ පිළිබඳව මෙසේ කියයි. “සකල සියලු කාලයන්වල මනුෂ්‍ය ආත්මසහ යුදෙව් ජනයා හෝ ක්‍රිස්තුභක්තිකයින් නොවන්නන් ද පවිත්‍රාග්නි ස්ථානයේ සිරකාරයන් (inmates of Limbo) අතරට ඇතුළු කිරීම මඟින් ඩාන්ටේ නිර්භීත සහ සාරාත්මක වූ නිසඟ එකතු කිරීමක් කරයි.”*

*Dante, The Divine Comedy, 1: Inferno, Italian text with translation and comment by John D. Sinclair, Oxford University Press, New York, 1961, p. 68

ඔබගේ අදහස් අපට එවන්න.