ප්‍රචාරකවාදී චිත්‍රපටයේ අග්‍ර ඵලය - Triumph Of The Will

2024 ජනවාරි 10

පසුගිය දිනෙක මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර විවෘත කිරීමේ උළෙල අරඹයා රූපවාහිනියේ විකාශය වූ ප්‍රවෘත්තියේ ඇතුලත් වූ රූප මාලාව දුටු මගේ මතකයට නැඟුණේ අතීතයේ දී මා නැරඹූ වාර්තා චිත්‍රපටයකි.

එම වාර්තා චිත්‍රපටය අද දවසේ ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය නොවන, හුදෙක් සිනමා අධ්‍යාපන කටයුතුවලදී පමණක් දැකගත හැකි කෘතියක් බවට පත්ව ඇත. එයට හේතුව එය මුලුමනින්ම නාසිවාදය උත්කර්ෂයට නංවන චිත්‍රපටයක් වීමයි. ‘Triumph Of the Will’ චිත්‍රපටය සැලකෙන්නේ ප්‍රචාරකවාදී වාර්තා චිත්‍රපට ෂානරයේ (propagandist documentary genre) අග්‍ර ඵලය ලෙසයි. මෙම චිත්‍රපටයට පසුබිම් වන්නේ 1934 දී ජර්මනියේ නුරෙන්බර්ග් නුවර පැවති 6 වෙනි නාසි පක්ෂ සමුළුවයි. එම සමුළුවට සහභාගී වූ පක්ෂ නායකයින් අතර ඇඩොල්ෆ් හිට්ලර්, ජෝසප් ගොබෙල්ස්, රුඩොල්ෆ් හෙස, හර්මන් ගෝරිං හා හෙන්රික් හිම්ලර් ද වූහ. සමුළුව සඳහා පක්ෂ සාමාජික සාමාජිකාවන් 7,00,000 පමණ දෙනා සහභාගී වූ බවත් ඒ අතර සුප්‍රසිද්ධ එස්.එස්. හා එස්. ඒ . භටයින් ද වූ බවත් වාර්තාවේ.

මෙම චිත්‍රපට ව්‍යාපෘතිය පවරනු ලැබූයේ නාසීන්ගේ සමීපතම සිනමාකාරිනියක වූ ලෙනී රයිෆන්ස්ටාල් වෙතයි. ඇය කලක් සිනමා නිළියක ලෙස ද කටයුතු කළ, හිට්ලර් වැනි නායකයින් බෙහෙවින්ම අගය කළ කලාකාරියකි. චිත්‍රපටය රූගත කිරීම සඳහා හිට්ලර් විසින් පෞද්ගලිකවම මැදිහත්වී ඇයට අවශ්‍ය සියලුම පහසුකම් සැපයූ බැව්ද කියැවේ. එහිදී කැමරා ශිල්පීන් 36 දෙනෙකු ඇතුලත් 170 දෙනෙකුගෙන් සමන්විත කාර්මික ශිල්පීන් කණ්ඩායමක් ඒ වෙනුවෙන් අනුයුක්ත කළ බැව් සඳහන් වේ. චිත්‍රපටය නිෂ්පාදනය වූයේ හිට්ලර් පාලන සමයේ ප්‍රවෘත්ති අමාත්‍යය වරයා ලෙස කටයුතු කළ ජෝසප් ගොබෙල්ස් යටතේ ක්‍රියාත්මක වූ ප්‍රවෘත්ති හා ප්‍රචාරක කටයුතු අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේයි.

පූර්ණ සැලස්මක් යටතේ කෙරුණු රූගත කිරීම් සඳහා රයිෆන්ස්ටාල් ඉල්ලා සිටි ඕනෑම පහසුකමක් සැපයීමට කටයුතු කෙරිණ. ඇතැම්විට කොඩි ගස්වල මුදුනේ, අහසේ පාවෙන බැලුන වල මෙන්ම හිට්ලර් ගමන් කළ විවෘත වාහනය තුළද කැමරා ස්ථාන ගත කිරීමට අවසර ලැබිණ. ඇත්ත වශයෙන්ම මෙහි පෙනී සිටින හිට්ලර් ඇතුළු පක්ෂ නායකයින් පවා අධ්‍යක්ෂවරියගේ අවශ්‍යතාව අනුව චිත්‍රපටය තුළ කිසියම් රංගනයක යෙදෙන බවක් හැඟී යයි. ඇතැම් සිනමා ඉතිහාසඥයින් පවසන්නේ මෙහි එන ඇතැම් අවස්ථා පෙර පුහුණුවීම් කර, සැබෑ රැළිය පැවැති දිනට පෙර හෝ පසුව රූගත කරන්නට ඇති බවයි. විශේෂයෙන්ම හිට්ලර් ගමන් ගන්නා වාහනයේ රැඳි කැමරාවෙන් ගත් රූප මාලාව ඒ අතර කැපී පෙනේ. ඒ බැව් තහවුරු වන්නේ දුර රූප වල එවැනි කැමරාවක් දක්නට නොලැබීමයි.

චිත්‍රපටය විනාඩි 114ක ධාවන කාලයකින් යුත් අතර එය සංස්කරණය කිරීම සඳහා පමණක් ගත වී ඇති කාලය මාස 7 කි. 1935 මාර්තු 28 වන දින බර්ලිනයේ දී හිට්ලර් ඇතුළු පක්ෂ ප්‍රධානීන් ඉදිරියේ එය ප්‍රථම වරට ප්‍රදර්ශන විය.

‘Triumph Of the Will’ චිත්‍රපටය, ප්‍රචාරක කටයුත්තක් වෙනුවෙන් සිනමාත්මක ක්‍රමවේදය පරිහරණය කිරීම (cinematic manipulation) පිළිබඳ ප්‍රබල නිදසුනක් සේ සැලකේ.

ඇත්තවශයෙන්ම මෙම චිත්‍රපටය හරහා සිදුව ඇත්තේ පක්ෂ සමුළුව කිසියම් නාටකීයකරණයකට ලක් කිරීමකි. හිට්ලර් යනු ජර්මානු ජනතාව ගලවාගැනීම පිණිස ස්වර්ගයේ සිට සම්ප්‍රාප්ත වූ නායකයෙක් බවත්, යුදෙව් විරෝධය ඉස්මතු කිරීමත් මෙන්ම නාසි ජර්මනිය ඉතා මැනැවින් සංවිධානය වී ඇති බවත් හුවා දැක්වීම එහි මුඛ්‍ය අභිලාෂයයි. ‘ජර්මනිය යනු හිට්ලර්ය, හිට්ලර් යනු ජර්මනියයි’

රැළිය දින 4ක් පුරා පැවැති අතර එහිදී රයිෆන්ස්ටාල් ඇතුලු කණ්ඩායම කලු සුදු පටල පට අඩි ලක්ෂ ගණනක් වැය කරමින් එය රූගත කළහ.

චිත්‍රපටය ආරම්භ වන්නේ වලාකුළු අතරින් ගමන් ගන්නා ධාවනය වන රූපයක් සමඟිනි. ගුවන් යානයක් සෙමෙන් සෙමෙන් වලාකුළු අතරින් මතුවේ. එහි සෙවනැල්ල පොළොව මත වැටී ඇත. ඉහළ කෝණයක සිට පෙනෙන නුරෙන්බර්ග් නගරය පුරා ලක්ෂ සංඛ්‍යාත ජනී ජනයා රැස්ව සිටිති. වීදි හා මං මාවත් පුරා ස්වස්තික ලාංඡනය සහිත ධජ පතාක ලෙළ දේ. මේ අතර ජනයාගේ ප්‍රීති ඝෝෂා මධ්‍යයේ ගුවන් යානය මිහිතලයට සම්ප්‍රාප්ත වේ. එම ගුවන් යානයේ පැමිණෙන්නේ සියලු දෙනාගේ අපේක්ෂාව වූ නායකයායි. සමස්ත ජර්මන් ජාතියේ ගැලවුම් කාරයායි. හෙතෙම දැවැන්ත සමුළු රැළිය පැවැත්වෙන ස්ථානය වෙත රථ පෙරහැරකින් ගමන් කරයි. මෙහිදී නායකයාගේ ප්‍රතාපවත් බව මෙන්ම පොදු මහ ජනතාව ඔහු වෙත දක්වන ආදරණීය ප්‍රතිචාර හසුකර ගැනීමට සිනමාකාරිය විශේෂ උනන්දුවක් දක්වා ඇති බව පෙනේ.

කෙසේ වෙතත් මෙවැනි ඇතැම් රූප සැලසුම් කොට පසුව රූගත කර ඇති ඒවා බවට සැක කෙරේ. ඇතැම් රූප ලබා ගැනීම සඳහා කැමරාව සුවිශේෂී කෝණ වෙත යොමු කෙරේ. ඇතැම් තැනකදී හිට්ලර් සිය නිල රථයෙන් බසින්නේ ජනතාව අතරින් පැමිණෙන කුඩා දැරිවියක ගෙන් මල් කලඹක් පිළිගැනීමටයි. ඇතැම් අවස්ථාවක විවෘත නිල රථයේ ගමන් ගන්නා නායක තුමා තට්ටු ගොඩනැගිල්ලක් දෙස හිස ඔසවා බලයි. ගොඩ නැගිල්ලේ ජනේලයක් අසළ බළලෙකු සිටී. ඒ අසළ ස්වස්ථිකය සහිත ධජයක් ලෙළ දේ.

මෙහි ඇතුලත් පක්ෂ නායකයින්ගේ කථා චිත්‍රාගාරයක පසුව රූගත වී ඇති බවටද මත පළවේ. මන්ද යත් එයාකාරයෙන් පැහැදිලි ලෙස හඬ පවිගත කිරීමක් එකළ භාවිතාවූ හඬ පටිගත කිරීමේ තාක්ෂණය හරහා කළ නොහැකි වූ බව ඇතැම් විචාරකයින් පැවසීමයි. මෙම චිත්‍රපටයේ පෙනී සිටීම වෙනුවෙන් හිට්ලර්, විශේෂයෙන් යම් යම් පෙර පුහුණුවීම්වල යෙදුනු බවට ද වාර්තා පළවේ. විශේෂයෙන්ම 1965 දී මිකායෙල් රොම් නම් රුසියානු සිනමා කරුවා නි්ර්මාණය කළ ‘Ordinary Fascism’ නම් විශිෂ්ට වාර්තා චිත්‍රපටයේ මේ පිළිබඳ යම් යම් සාක්ෂි ඉදිරිපත් වී ඇත. ‘Ordinary Fascism’ චිත්‍රපටයේ සියයට අනූවක් පමණ ඇතුලත් ව ඇත්තේ ජර්මානු නාසිවාදී චිත්‍රපට වලින් උපුටා ගනු ලැබූ කොටස්ය. දෙවන ලෝක යුද්ධය අවසන්වීමට ආසන්න කාලය තුළ ජර්මනිය ආක්‍රමණය කළ රුසියානු රතු හමුදාව විසින් අත්පත් කරගත් එවැනි චිත්‍රපට කොටස් හා ඡායාරූප අතර

ගොබෙල්ස්ගේ පෞද්ගලික පුස්තකාලයේ තිබූ චිත්‍රපට මෙන්ම මිය ගිය හා අත් අඩංගුවට පත්වූ සොල්දාදුවන් ගේ සාක්කුවල තිබූ ඡායාරූප ද විශාල සංඛ්‍යාවක් විය. එම රූප කොටස් අතර හිට්ලර්ගේ පුද්ගලික ඡායාරූප ශිල්පියා විසින් රූගත කළ සුවිශේෂී ඡායාරූපයක් ද ඇතුලත් වේ. එහි දැක්වෙන්නේ කණ්නාඩියක් ඉදිරියේ හිට්ලර් කථාවක් පුහුණුවන ආකාරයයි. ‘Ordinary Fascism’ නාසිවාදයට එරෙහි මතවාදයක් උදෙසා නාසිවාදී චිත්‍රපට කොටස් භාවිතා කළ කදිම වාර්තා චිත්‍රපටයකි.

සිනමා විශේෂඥයින්ගේ මතයට අනුව වාර්තා චිත්‍රපටය (documentary film) යනු සැබෑ සිදුවීම්, සැබෑ චරිත හා අවස්ථා කිසියම් කලාත්මක ඒකාග්‍රතාවක් වෙනුවෙන් සංවිධානය කිරීමක් සේ සැලකේ. එහෙත් එහිදී බොහෝ විට සිදුවන්නේ සැබෑව යටපත් වී ප්‍රබන්ධය ඉස්මතුවීමයි. තමා නරඹා ඇති ඇතැම් වාර්තා චිත්‍රපට ප්‍රබන්ධ චිත්‍රපට (fiction film) වලටත් වඩා ප්‍රබන්ධයක් සේ හැඟෙන බැව් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් වරක් නිසියම් සම්මන්ත්‍රණයකදී ප්‍රකාශ කළේය. එහිදී සත්‍යය මෙන්ම ව්‍යාජය හා මවාපෑම කුමක්ද යන්න වටහා ගැනීම අතිශයින්ම දුෂ්කර වේ.

‘Triumph Of The Will’ වාර්තා චිත්‍රපටයක් සේ පිළිගැනීමට ඇතැම් විචාරකයින් මැලි වන්නේ එය කිසියම් මතවාදයක් ඉස්මතු කිරීම වෙනුවෙන් කරන ලද ප්‍රබන්ධයක් සේ ඔවුන් සැලකීමයි.

මධයම අධිවේගී මාර්ගය විවෘත කිරීමේ උත්සවය පමණක් නොව අප රටේ විවිධ දේශපාලන පක්ෂ හා අදාල එවැනි උත්සව, රැළි හා සංදර්ශන කැමරාව වෙනුවෙන් කරන රඟ දැක්වීම් බැව් වටහා ගැනීම බුද්ධිමත් ප්‍රේක්ෂකයාට අපහසු නැත. මෙම ස්වභාවය අප රටට පමණක් සීමා වූවක් නොවන බව ද පෙනී යයි. මේවා සැලසුම් කිරීම සඳහාම වෙන්වුණු ‘සිදුවීම් කළමණාකරණ සමාගම්‘ (event management companies) පවා අද දවසේ ක්‍රියාත්මක වේ.මධයම අධිවේගී මාර්ගය විවෘත කිරීමේ උළෙල සඳහාද එවැනි ආයතනයක සේවය ලබාගත් බැව් දැනගැනීමට ඇත.

කෙසේ වෙතත් රූපවාහිනිය වැනි මාධ්‍යයක් කල එළි බැස ඇති අද දවසේ පවා ‘Triumph of the Will’ චිත්‍රපටය මෙකී ප්‍රචාරකවාදී සිනමා ෂානරයේ අග්‍රඵලය ලෙස තවමත් රැඳී සිටී.

ඔබගේ අදහස් අපට එවන්න.