වැරදි මිනිසා අත්අඩංගුවට ගැනීම (The Wrong Man)

2024 මාර්තු 4

ලෝකප්‍රකට සිනමාකරුවකු වූ ඇල්ෆ්‍රඩ් හිච්කොක් විසින් 1956 වසරේ දී නිර්මාණය කළ ‘The Wrong Man’ නම් සිනමා කෘතිය ඔහුගේ වෙනත් නිර්මාණවලට වඩා වෙනස් මුහුණුවරක් ගත් බවක් පෙනී යයි. හිච්කොක් වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ ප්‍රෙක්ෂකයා සංත්‍රාසයට හා භීතියට පත්කිරීමේ අරමුණින් චිත්‍රපට නිර්මාණය කළ සිනමාකරුවකු ලෙසයි. එහෙත් ඔහුගේ ඇතැම් චිත්‍රපට එයට තරමක් වෙනස් ආකාරයකින් යම් යම් මානුෂීය සබඳතා හුවාදක්වන ස්වරූපයේ නිර්මාණ වූ බැව් පෙනී යයි. කෙසේ වෙතත් ඔහුගේ සෑම නිර්මාණයකම විශේෂ ගුණාංගයක් වන්නේ මුල සිට අග දක්වාම ප්‍රේක්ෂකයා කෘතිය තුළ රඳවා තබා ගනිමින් ඔවුන්ගේ කුතුහලය හා අපේක්ෂාවන් කුළුගැන්වෙන ලෙස ඒවා නිර්මාණය කර තිබීම නිසයි.

‘The Wrong Man’ චිත්‍රපටය වෙනස් ආරක චිත්‍රපටයක් බැව් එය ආරම්භයේදීම අධ්‍යක්ෂවරයා අපට පැහැදිලි කරයි. හිච්කොක් ගේ සෑම චිත්‍රපටයකදීම ඔහු කිසියම් රූප රාමුවක, අවශේෂ චරිතයක් ලෙස පෙනී සිටීම සිරිතකි. ‘The Wrong Man’ චිත්‍රපටය ආරම්භයේ දීද හෙතෙම කැමරාව ඉදිරියේ දුරස්ථ ඡායාමාත්‍ර රූපයකි (Silhouette long shot) පෙනී සිටිමින් කියා සිටින්නේ එය සත්‍ය සිදුවීමක් ඇසුරෙන් තැනූ තමා නිර්මාණය කළ වෙනස් ආරක චිත්‍රපටයක් බවයි.

මැනී බැලස්ටේ‍රරෝ:ඵ්බබහ ඊ්කකැිඑරුරද* (හෙන්රි ෆොන්ඩා රඟන) නිව්යෝක් නුවර කිසියම් රාත්‍රී සමාජ ශාලාවක සංගීතය වාදනය කරමින් සිය ජීවිකාව ගැටගසාගන්නා දෙදරු පියෙකි. සිය බිරිඳ රෝස් (දෙරා ටයිල්ස් රඟන) හා බාල වයස්කාර දරු දෙදෙනා ද සමඟින් සාමකාමී සරල දිවිපෙවතක් ගතකරන ඔහු, සිය බිරිඳගේ දත්වල ආබාධයක් සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමේ අපේක්ෂාවෙන් කිසියම් මුදලක් ලබාගැනීමට රක්ෂණ සමාගම් කාර්යාලයකට ගොඩවෙයි. බිරිඳගේ රක්ෂණ ඔප්පුව එම සමාගම සතුව ඇති බැවින් එවැනි ණය මුදලක් ලබාගැනීම අසීරු විය නොහැකි බැව් ඔහු සිතයි.

එහෙත් රක්ෂණ සමාගමේ කාර්යාලයට ගොඩවන බැලස්ටේ‍රරෝ ට නොසිතූ විරූ අකරතැඛ්බයකට මුහුණ දීමට සිදුවේ. එහිදී එම කාර්යාලයේ සේවය කරන කාන්තාවන් දෙදෙනෙක් ඔහු දැක විමතියට පත්වෙති.එයට හේතුව වන්නේ ඔහුගේ හැඩරුව, එයට පෙර දෙවතාවකදීම එකී රක්ෂණ කාර්යාලයට කඩාපැන මුදල් මංකොල්ලයක් කළ අපරාධකරුවකුට සමාන වීමයි. මෙකී තොරතුර පොලීසියට දැන්වීමෙන් අනතුරුව බැලස්ටේ‍රරෝ අත්අඩංගුවට ගැනේ.

කිසිදිනෙක පමාවී ගෙදර නොඑන සිය සැමියාට සිදුවූයේ කුමක්දැයි සොයාබලන බිරිඳට ඔහු ගැන තොරතුරක් දැනගැනීමට ලැබෙන්නේ කාලයක් ගතවූ පසුවයි. බිරිඳට පණිවුඩයක් යැවිය යුතු යැයි බැලෙස්ටේ‍රරෝ කියා සිටියද පොලිසිය කියන්නේ ඒවා අපි බලාගන්නම් කියායි.

පොලිසියේ දී ඔහුගෙන් ප්‍රශ්ණ කෙරෙන අතර අත් අකුරුද පරීක්ෂා කෙරේ. එහිදී හෙලිවන්නේ ඔහුගේ අත් අකුරු මංකොල්ලකරුගේ අත් අකුරුවලට සමාන බවයි. මංකොල්ලකරුවා රක්ෂණ කාර්යාලයේ කවුන්ටරයේ සේවිකාවකට ලියූ තුණ්ඩු කැබැල්ලක තිබූ වැකියක සඳහන්වූයේ ’කලබල නොකර ලාච්චුවේ ඇති සියලුම මුදල් දෙන ලෙසයි. ’පොලීසියේ දී බැලෙස්ටේ‍රරෝ ලවාද එම වචන පෙළම ලියාගනු ලබයි. එය සෑම අතින්ම මංකොල්ලකරුගේ අත්අකුරු වලට සමාන බැව් පෙනේ. එපමණක් ද නොව මංකොල්ලකරු තුණ්ඩුව ලියද්දී කිසියම් වචනයක අකුරක වූ වැරැද්දක් බැලැස්ටේ‍රරෝ අතින්ද එලෙසම වැරදියට ලියැවේ.

හඳුනාගැනීමේ පෙරෙට්ටුවේ දී රක්ෂණ කාර්යාලයේ සේවිකාවන් දෙදෙනෙකුම චූදිතයා හඳුනා ගනිති. උසාවියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බැලැස්ටේ‍රරෝ බන්ධනාගාර ගත කරනු ලබයි. කලකට පසු රිමාන්ඩ් බන්ධනාගාරයෙන් ඉවතට එන බැලස්ටේ‍රරෝ නඩු විභාගයේ දී තමාගේ නිර්දෝෂීභාවය සනාථ කිරීමට කළ හැකි දේ සාකච්ඡා කරගැනීමට නීතීඥයකු හමු වීමට යයි.

යටකි අපරාධය සිදුවූ දින තමා වෙනත් ස්ථානයක සිටි බව සනාථ කිරීමට සාක්ෂි ඉදිරිපත් කළ හැකිනම් චෝදනාවෙන් ගැලවීමට අවස්ථාවක් ඇති බැව් නීතීඥවරයා එහිදී ඔහුට පවසයි. අපරාධය සිදුවූ දින තමා සිය පවුලේ උදවියද සමඟින් නිවාඩුවක් ගත කිරීමට ගම්බද නිවාඩු නිකේතනයකට ගිය බව මෙහිදී බැලැස්ටේ‍රරෝට සිහිවේ. ඒ අනුව හෙතෙම යටකී නිවාඩු නිකේතනය වෙත යාමට තීරණය කරයි. තමන් අපරාධය සිදුවූ දින එහි සිටි බවට සාක්ෂි දෙන ලෙස ඔහු එහි හිමිකරුවාගෙන් ඉල්ලා සිටියද, හිමිකරු පවසන්නේ තමාට බැලෙස්ටේ‍රරෝ පිළිබඳ මතකයක් නොමැති බවයි.

එදින තමන් සමඟ එකම මේසයේ ආහාර ගනිමින් තවත් කිහිප දෙනෙකුම සිටි බව මතක් වන බැලෙස්ටේ‍රරෝ ඔවුන් සොයා යාමට තීරණය කරයි. එහෙත් ඉන් එක් අයෙකු දැනටමත් මියගොස් සිටින බව ඔහුට දැනගැනීමට ලැඛේ. අනෙකා සොයාගැනීමට නොලැබේ. නිර්දෝෂී භාවය ඔප්පු කිරීමට නොහැකි වීම හා මුදල් අඟහිඟකම් මෙන්ම මෙකී දුෂ්කර අභ්‍යාසය නිසාද දැඩිසේ වෙහෙසට හා පීඩාවට පත්වන බැලැස්ටේ‍රරෝ ගේ බිරිඳ රෝස් රෝගාතුර වේ. වෛද්‍යවරු පවසන්නේ ඇය මානසික ආතතියකට ලක්වී ඇති බවයි. පසුව ඇය මානසික රෝහලකට ඇතුලත් කරනු ලැඛේ. බිරිඳට ප්‍රතිකාර කිරීමට මෙන්ම, දරුවන් බලා ගැනීමට හා නඩු විභාගයට තනිවම මුහණු දීමට ද බැලස්ටේ‍රරෝට සිදුවේ.

නඩු විභාගය දිගටම සිදුවේ. මේ අතරතුර තවත් සුවිශේෂී සිදුවීමක් සිදුවේ. එනම් වෙනත් සොරකමක් කිරීමට ගොස් සැබෑ අපරාධකරුවා පොලීසියට කොටුවීමයි. මෙවරද සාක්ෂිකරුවන් විසින් අපරාධකරුවා හඳුනාගැනේ. මේ අනුව බැලැස්ටේ‍රරෝ නිදහස ලබයි. ඔහු නිදහස ලැබූ දින එකී සතුටුදායක පුවත සිය බිරිඳට සැලකර සිටීමට ඇය රඳවා සිටින මානසික රෝහල වෙත යන බැලැස්ටේ‍රරෝ ට දැනගැනීමට ලැබෙන්නේ ඇය, තමාව හඳුනාගැනීමට පවා නොහැකි තරමටම උමතු භාවයට පත්වී ඇති බවයි. තමා නිදහස් වූ පුවත දැනගැනීමෙන් ඇය සුවපත් වේ යැයි සිතා සිටි ඔහුට සිදුවන්නේ බිරිඳ නැතිව තනිවම නිවසට යාමටයි.

‘The Wrong Man’ චිත්‍රපටය ප්‍රෙක්ෂකයාට කිසියම් සහනයක් ලබා දී අවසන් කිරීමට මෙහිදී හිච්කොක් උත්සාහ ගන්නා බැව් පෙනේ. චිත්‍රපටයේ අවසානයේ, ‘කලකට පසු රෝස් සුවපත් වී රෝහලෙන් පිටව ගියේය’ යන්න සිරස්තලයක් හරහා තිරය මත පතිත වන්නේ ඒ අනුවයි.

මා පාසැල් යන අවධියේ දී සිදුවූ එක්තරා සිදුවීමක් මෙහිදී ක්ෂණිකවම මගේ මතකයට පැමිණියේය. 1965 වසරේ කොළඹ රේස් පිටිය පරිශ්‍රයේ පැවැති කර්මාන්ත ප්‍රදර්ශණය නැරඹීමට සහභාගී වූ මට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් එම ප්‍රදර්ශණ භූමියේ පවත්වාගෙන යනු ලැබූ අලංකාර සශ්‍රීක ආදර්ශ එළවළු ගොවිපළක් දැකගැනීමට ලැබිණ. සරුවට වැඩුණු පතෝල, වැටකොලු, බණ්ඩක්කා හා වම්බටු ගස්වැල් කරලින් බරවී තිබෙනු දුටු මගේ සිත සතුටින් පිරී ඉතිරී ගියේය. එකී අසාමාන්‍ය දසුන මා විස්මයට පත්කළේය. මටද එවැනි එළවලු වගාවක් කිරීමේ ආශාවක් ඇතිවිය. ප්‍රදර්ශන කුටියෙන් බීජ වර්ග, පොහොර, කෘෂි රසායන ද්‍රව්‍ය මෙන්ම උපදෙස් පත්‍රිකා ද ලබාගත් මම නිවස පිටුපස බිම් කොටසේ එළවලු වගා කිරීම ඇරඹීමි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උපදෙස් අනුව කටයුතු කිරීම නිසාදෝ මගේ එළවළු වගාවද අලංකාර සරුසාර එකක් බවට පත්විය. කෘමී සතුන්ගෙන් පැමිණි උවදුරු කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් සමනය කරගැනීමට හැකි වුවද ඌරු මීයන් එළවළු ගස් වැල් මුල්වලින්ම හාරා කපා තිබීම වැලැක්වීමට නම් පිළියමක් සොයාගැනීම පහසු නොවීය. උදෑසන අවදිවී වගාව බැලීමට ගිය මට දැක ගැනීමට ලැබුනේ හද පාරවන දසුනකි. ඉතාමත් සරුවට වැඩුනු ගස් වැල් මිය ගොස් හේබෑවී තිබිණ. මෙම උවදුර මැඩලීමට ඉටාගත් මම අසල්වැසි නිවසක මෙහෙකාර කොලුවකු ද සමඟින් ගස්වැල් විනාශකිරීමට එන ඌරු මීයන් මරා දැමීමට රාත්‍රියේ ඒවා මුර කිරීමට තීරණය කළෙමි.

එක් රාත්‍රියක අපි දෙදෙනා පොලු දෙකක් ද අතැතිව එළවළු කොටුව මුරකරමින් ඌරු මීයන් මරා දැමීමට සූදානම් ව සිටියෙමු. මධ්‍යම රාත්‍රියටද ආසන්නව තිබිණ. ටික වේලාවකට පසු සිගරට්ටුවක් බීමට අවශ්‍යයැයි කියමින් කොළුවා රෑ කඩයක් සොයා පිටව ගියේය. ඔහු යන විට පොල්ල ද රැගෙන ගිය බව මට මතකය. සෑහෙන වේලාවක් ගත වුවද කොළුවා නොපැමිණියෙන් මම ඔහු සෙවීමට පිටත් වුනෙමි. සිදුවී ඇති දේ අවබෝධකොට ගැනීමට මට හැකි වූයේ ටික වේලාවකට පසුවයි.

එදින රාත්‍රියේ එම ප්‍රදේශයේ කිසියම් නිවසක දෙපිරිසක් අතර කෝලාහාලයක් හටගෙන ඇත. පොල්ලක් අතැතිව ඒ අසලින් යන අපගේ කොළුවා දුටු පිරිසක් ඹහු අල්ලාගෙන පොලීසියට ගෙන යාමට සූදානම් වන අයුරු මට දැකගැනීමට ලැබීමෙන් මම සංත්‍රාශයට පත්වීමි. ඒ වන විටත් පිරිස ඔහුට හොඳහැටි ගුටිබැට දී ඇති බැව් පැහැදිලි විය. මට ඔහු ඛේරාගැනීමට හැකිවූයේ බලවත් පරිශ්‍රමයකින් පසුවයි. වාසනාවකට මෙන් මා අත පොල්ලක් තිබුනේ නැත.

හිච්කොක් ගේ චිත්‍රපටයේ දැක්වෙන්නේ 50 දශකයේ නිව්යෝක් නුවර සමාජ පසුබිමයි. එකල එම නගරයේ පොලීසිය හා අධිකරණ පද්ධතිය විසින් බැලස්ටේ‍රරෝ නැමැත්තාට දඬුවම් පමුණුවන්නේ සාධාරණ, නීතිමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමෙනි. ඔහු කිසිදු ශාරීරික වධ හිංසාවකට ලක්වනු අපි නොදකිමු. එහෙත් එම ක්‍රියාමාර්ගය හේතුවෙන් පවා ඔහු බලවත් මානසික පීඩනයකට ලක්වේ.

එහෙත් අද දවසේ මෙවැන්නක් අප රටෙහි සිදුවුවහොත් විය හැකි විනාශය කවරක්දැයි පැහැදිලි කළයුතු නොවේ. කලකට ඉහත වත්තල ප්‍රදේශයේ දී ජෙරාඩ් පෙරේරා නම් අයෙකුට මුහුණදීමට සිදුවූයේ ද එවන් ඉරණමකටයි. එවන් සිදුවීම් අපරට තුළ පමණක් නොව වෙනත් රටවලද කොතෙකුත් සිදුවිය හැක.එහෙත් ඒවාට මුහුණ දුන් බොහෝ අයට බැලැස්ටේ‍රරෝට මෙන් මෙලොව ජීවත්වීමේ වාසනාව තිබුණිදැයි යන්න සැක සහිතය. ‘The Wrong Man’ චිත්‍රපටය ප්‍රේක්ෂක අප කම්පනයට හා සසල කිරීමට සමත් වන්නේ එය හුදු සංත්‍රාසය ජනිත කිරීමෙන් ඔබ්බට ගොස් කිසියම් සමාජමය ගැටලුවක් සාකච්ඡා කරන චිත්‍රපටයක් වීම නිසයි.

ඔබගේ අදහස් අපට එවන්න.