මාර්තු 30 දිනට යෙදී ඇති මහාචාර්ය සුචරිත ගම්ලත් අනුස්මරණය නිමිත්තෙනි.
සුචරිත ගම්ලත් (1934.03.10– 2013.03.30)
👨 ​​​​සමිත විජේවර්ධන

2023 මාර්තු 29

2006 වර්ෂයේ අග භාගයේ එක් දිනක සවස් කාලයේ මහාචාර්ය සුචරිත ගම්ලත්, ප්‍රවීණ සිනමාවේදී ප්‍රසන්න විතානගේ හා මම අවිස්සාවේල්ල හරහා හැටන් - දික්ඔය බලා ගමන් කරමින් සිටියෙමු. වාහනය ප්‍රසන්නගේ ය. කලා ළැදි, අර්ථපති සුනිල් ෆොන්සේකානන්ට අයත් තේ වත්තක් දික්ඔය තිබුණේ ය. අප යමින් සිටියේ ඒ වත්තෙහි වූ බංගලාවේ දින දෙක තුනක ශාස්ත්‍රීය විවේකයක් ගත කිරීම සඳහා ය.

දෙහිඕවිට දී වාහනය නතර කළේ අපට තේ බීමේ අවශ්‍යතාවක් ඇති වූ බැවිනි. එහි දී ගම්ලත්හු තරමක ප්‍රසන්න බවකින් “ සමිත, මට ගම් ප්‍රදේශයට ගිහිල්ලා එන්ට ආශාවක් තියෙනවා. අපි එහෙත් යමු දවසක”යි කීහ. දැරණියගලට යන්නේ දෙහිඕවිටින් හැරිලා ය. ගම්ලතුන්ගේ ගම දැරණියගල නක්කාවිට ය. එකල ඉතා දුෂ්කර ගමක් වූ එහි දී ගම්ලතුන් උපන්නේ 1934 මාර්තු 10 වන දා ය. උපන් ගම් පියස හා ඥාතීන් බැලීමේ ගම්ලතුන්ගේ ඒ ආශාව නම් 2013.03.30 වන දින සිදු වූ එතුමාගේ මරණය දක්වා ම ඉටු කර ගත නො හැකි විය.

ගම්ලතුන්ගේ මුල් ම ගුරුවරයා වී ඇත්තේ එතුමාගේ සීයා වූ ගම්ලත් රාලලාගේ මොහොට්ටි අප්පුහාමි පඬිතුමා ය. ගමේ පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබූ ගම්ලත්හු පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවනේ දී පෙරදිග භාෂා කීපයක් පිළිබඳ මනා අධ්‍යාපනයක් ලැබූහ. පෞද්ගලික ගුරුවරුන් යටතේ ද ස්වෝත්සාහයෙන් ද ඉංග්‍රීසි භාෂා සාහිත්‍යය ප්‍රගුණ කළ එතුමා 1959 වර්ෂයේ දී පේරාදෙණි විශ්ව විද්‍යාලයට ඇතුළත් විය. 1963 දී ගම්ලත් සිංහල විෂය පිළිබඳ ප්‍රථම පන්තියේ සුපිරි ගෞරව සාමර්ථ්‍යයක් ලබා ගත්තේ තම විෂය ක්‍ෂේත්‍රයේ දිවයිනේ ම ප්‍රමුඛයා වෙමින් ය. පේරාදෙණිය සරසවියේ ම උපකථිකාචාර්යවරයෙකු ලෙස සේවය කර 1966 දී ලන්ඩන් විශ්ව විද්‍යාලයට ගොස් අචාර්ය උපාධිය ලබා 1970 සිට කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ධුරයකට පත් විය.

1974 දී එකල ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයේ යාපන මණ්ඩපය ආරම්භ වීමත් සමඟ 1975 දී එහි සිංහල අධ්‍යයනාංශයේ පළමු මහාචාර්යවරයා ලෙස පත් විය. මා ගම්ලතුන් දැන හැඳින ගත්තේ එහි දී ය.

1977 අගෝස්තු මාසයේ දී යාපනේ සේවය කළ සිංහල පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුගේ දුර්දාන්ත මැදිහත් වීමකින් ඇවිළ ගිය සිංහල දෙමළ ජාතිවාදි කෝලාහලය නිසා යාපන සරසවියේ සිංහල මාධ්‍ය සියලු දෙනාට ම කොළඹට පැමිණීමට සිදු විය. පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ ගොඩනැඟිල්ලක ස්ථාපිත කළ යාපන මණ්ඩපයේ කොළඹ ඒකකයේ අධිපති ලෙස වසරක් පමණ සේවය කළ ගම්ලත්හු රුහුණු විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්යවරයා ලෙස පත් කරනු ලැබූහ. දේශපාලන හේතු මත ගම්ලතුන්ගේ වැඩ තහනම් කළ විශ්ව විද්‍යාල කොමිසම යළිත් එතුමා ඒ වන විට සිංහල අධ්‍යයනාංශයක් වත් නො තිබූ යාපන විශ්ව විද්‍යාලයට මාරු කර යැවී ය. 1980 ජූලි වැඩ වර්ජනයෙන් පසු 1954 දක්වා ම ගම්ලතුන් වැඩ කළේ රැකියා විරහිතයෙකු ලෙස බොහෝ ආර්ථික දුෂ්කරතා මැද්දේ ය. ඒ දුෂ්කරතා මැද්දේ ගම්ලතුන් විසින් කරන ලද සුවිශිෂ්ට කාර්යන් දෙකක් පිළිබඳ අවධානය යොමු කිරීමට කැමැත්තෙමි.

ඉංග්‍රීසි-සිංහල මහා ශබ්දකෝෂය

1980 වර්ෂයේ අග භාගයේ දිනක් මම නුවර ගිය විට මහාචාර්යවරයෙකු මෙහෙයවන ඉංග්‍රීසි පන්තියක් ආරම්භ වන බව දැක්වෙන දැන්වීමක් දුටුවෙමි. ඒ වන විට මම ගම්ලතුනට රැකියාව අහිමි වී ඇති බව දැන සිටියෙමි. එකත් එකට ම මේ නම් ගම්ලත් සර් ම විය යුතු යැයි මම අනුමාන කළෙමි. නියමිත දින මම පන්ති පැවැත්වෙන ස්ථානය හැටියට දැන්වීමෙහි සඳහන් වූ මහනුවර ආදාහනමළු විහාරයේ ධර්ම ශාලාවට ගියෙමි. එකල එහි අධිපති වූ උඩුවාවල චන්දානන්ද හිමියෝ ගම්ලතුන්ගේ මිත්‍ර‍යෙක් වූහ. මගේ අනුමානය නිවැරදි ය. “ගම්ලත් සර්” එහි විය. මහනුවර පදිංචි කරුවෙකු වූ ධර්මසේන පතිරාජයන් (එතුමා ද යාපන සරසවියේ සිංහල අධ්‍යයනාංශයේ ආචාර්යවරයෙකු ලෙස සේවය කළේ ය.) දැන්වීම් මුද්‍රණය කර ප්‍රසිද්ධ කිරීම යනාදියෙන් ගම්ලතුනට අනුග්‍රහ දක්වා තිබුණි. පතිරාජයන් හැරුණු විට එතුමාගේ මිත්‍රයෙකු වූ සුනිල් සමරසිංහයෝ ද එහි වූහ. දැන් මේ තිදෙනා ම අභාවප්‍රාප්ත ය. ඉහත ඉංග්‍රීසි පන්තියේ ශිෂ්‍යයෙකුව සිටි මම පසු ව එහි කළමනාකරු ද වීමි. සතියට දෙදිනක් (සෙනසුරාදා , ඉරිදා) පන්ති පැවැත්වුණි. පන්ති අවසන් වීමෙන් පසු අපි පුරුද්දක් හැටියට මහනුවර ගුණසේන පොත් සමාගමට ගොඩ වැදීමට අමතක නො කළෙමු. එකල්හි එහි ප්‍රධාන කළමනාකාර ඩයස් ගුණවර්ධනයෝ ද ගම්ලතුන්ගේ මිත්‍ර‍යෙක් වූහ. දිනක් සුපුරුදු කතා බහේ දී ගුණවර්ධනයෝ ගම්ලතුන්ට මෙවන් යෝජනාවක් කළහ. “සුචරිත, ඉංග්‍රීසි පන්ති කරන ගමන් ම කරනවා නම් හොඳ වැඩක් තියෙනවා. දැන් මලලසේකර ශබ්දකෝෂය මදි. නරක ද ඉංග්‍රීසි - සිංහල ශබ්දකෝෂයක් ලීවොත්?”ගම්ලතුන් ලියූ ඉංග්‍රීසි- සිංහල මහා ශබ්දකෝෂයේ උපත එතැන ය.

ඩයස් ගුණවර්ධනයන්ගේ ආරාධනය ලැබී නොබෝ දිනකින් ම ශබ්දකෝෂයේ වැඩ ආරම්භ විය. එහි වැඩ අවසන් කිරීමට වසර තිහක පමණ කාලයක් ගත විය. ඒ කාලය හුදෙක් ශබ්දකෝෂය සඳහා ම යෙදවූ කාලයක් නො වේ. ඉංග්‍රීසි සහ සිංහල පන්තිවල ඉගැන්වීම, සාහිත්‍යකලා හා දේශපාලනය පිළිබඳ සම්මන්ත්‍රණවලට සහභාගි වීම 1989 දක්වා විකොස (වත්මන් සමාජවාදී සමානතා පක්ෂය) දේශපාලන වැඩ, අනිකුත් පොත්පත් හා ලිපි ලේඛන ලිවීම ආදි දහසකුත් එකක් කටයුතු ශබ්දකෝෂයේ කටයුතුවලට සමගාමී ව සිදු විය. ගම්ලතුන් ඒ සියල්ල කළේ දැඩි ආර්ථික බාධක හා කායික මානසික පීඩනයන් මැද්දේ ය. ශබ්දකෝෂය සඳහා පමණක් නො ව අනිකුත් ලේඛන කටයුතු සඳහා කොළ සපයා ගැනීම පවා දුෂ්කර විය. ඇතැම් විට ගම්ලතුන්ගේ මිතුරෝ මේ සඳහා උපකාර කළහ. මහනුවර දී ගම්ලතුන් හඳුනා ගත් වින්කල් පතිරණ මහතා ද එබඳු මිතුරෙකි. පතිරණ මහතා ද කොටස්කරුවෙකු වූ ෆිනෑන්ස් සමාගමක් මහනුවර කොටුගොඩල්ල වීදියේ තිබුණි. එහි කාර්යාලයේ උඩුමහල ගම්ලතුන්ගේ පන්ති පැවැත්වීමට හා ලේඛන කටයුතු සඳහා වෙන් කර දී තිබුණි. ෆිනෑන්ස් සමාගමේ ප්‍රයෝජනයට නො ගත් ආකෘති පත්‍ර තොගයක් මුල්ලක ගොඩ ගසා තිබුණි. ඒවායේ ඇතැම් කොළවල එක් පිටුවක් හිස් ව තිබෙනු දුටු ගම්ලත්හු ඒවා තෝරා දෙන ලෙස මගෙන් ඉල්ලීමක් කළහ. නිමල් අබේසිංහත් (සුදර්ශන) මමත් කොළ දහස් ගණනක් එයින් තෝරා දුන්නෙමු. ශබ්දකෝෂයේ වැඩ කටයුතු කෙරුණේ එසේ ය.

ව්‍යාපාරික සී. ගණේගොඩ මහතා වසර දෙකක් පමණ ද ඊට පසු තවත් කීප දෙනෙක් ද ශබ්දකෝෂ කටයුතු සඳහා උපකාර කළහ. අවසානයේ කිසිදු පොත් ප්‍රකාශකයෙකු අත නො ගැසු ශබ්දකෝෂ ප්‍රකාශන කාර්යයෙහි ලා උර දුන්නේ උපුල් ශාන්ත සන්නස්ගලයන් ය. එසේ නො වන්නට ගම්ලතුන්ගේ දැවැන්තම හා විශිෂ්ටතම ශාස්ත්‍රීය ප්‍රයත්නයේ ඉරණම කුමක් වේද කියා කිය නො හැකි ය.

සීගිරි කුරුටු ගී සිංහල පරිවර්තනය

මහාචාර්ය සෙනරත් පරණවිතානයන්ගේ වෙළුම් දෙකකින් යුත් සීගිරි ග්‍රැෆිටි නමැති මහාර්ඝ ග්‍රන්ථය විද්වතුන් අතර සුපතළ ය. එය ප්‍රකාශයට පත්කර ඇත්තේ 1956 දී ය. මහාචාර්ය නන්දසේන මුදියන්සේ, ලේඛක කේ. ජයතිලක වැනි විද්වතුන් ඉහත ග්‍රන්ථ‍යේ I වෙළුමේ දළ පරිවර්තන ප්‍රකාශයට පත් කර ඇත.

1993 දී පමණ හිටපු පුරාවිද්‍යා කොමසාරිස් එස්. යූ. දැරණියගල මහතා සීගිරි ග්‍රැෆිටි පිළිබඳ සම්පූර්ණ සිංහල පරිවර්තනයක් කරන ලෙස සුචරිත ගම්ලතුන්ගෙන් කරන ලද ඉල්ලීමට අනුව එතුමා එකී භාරදූර කාර්යය ඉෂ්ට කර දුන්නේ ය.

සීගිරි ග්‍රැෆිටි සිංහල පරිවර්තනයේ පළමු වෙළුම 2000 වර්ෂයේ දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලදී. II වෙළුමේ පරිසමාප්ත පරිවර්තනය සොදුපත් බලා අදාළ සංගෘහීත තැටිය (CD) පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට භාර දී ඇත්තේ මීට වසර 18 කට පමණ පෙර ය. එහෙත් ගම්ලතුන් අභවප්‍රාප්ත වී වසර 10ක් සපිරෙන මේ මොහොත දක්වා ම එය මුද්‍රණය වී නැත. සිංහල භාෂා සාහිත්‍යය, පුරාවිද්‍යාව, ඉතිහාසය, සමාජවිද්‍යාව ආදි විෂයන් ගැන උනන්දුවක් දක්වන සාමාන්‍ය සිංහල පාඨකයන්ට ද එකී විෂයන් පිළිබඳ පර්යේෂණවල යෙදෙන විද්‍යාර්ථීන්ට ද ඉහත ග්‍රන්ථය මහත් පිටුබලයක් වනු ඇත.

සීගිරි ග්‍රැෆිටිසම්පාදනයේ දී තමන් මුහුණ දුන් දුෂ්කරතා පරණවිතානයෝ මෙසේ පහදාලති:

“මේ ග්‍රන්ථය රචනා කරන ලද්දේ සාහිත්‍යික හෝ විද්‍යාත්මක ප්‍රයත්න සඳහා ඉතා හිතකර වූ තතු යටතේ නො වේ. එනම් තම රහස් අනාවරණය කරන ලෙස අතීත නෂ්ටාවශේෂයන්ගෙන් ඉදිරිපත් වන ඉල්ලීම් පරයා යන ඒ මොහොතේ අවශ්‍යතා සඳහා කාලය කැප කිරීමට සිදු ව තිබූ ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා කොමසාරිස්වරයෙකුගේ පරිපාලන කටයුතු මධ්‍යයේ ය.” (සීගිරි කුරුටු ගී I වෙළුම, ආමුඛය)

සැබැවින් ම පරණවිතානයන් මේ ග්‍රන්ථය සම්පාදනයෙහි ලා දරා ඇති කායික මානසික ප්‍රයත්නයේ පරිමාව එබඳු විද්වතෙකුට ම විනා සාමාන්‍ය පුද්ගලයෙකුට නම් හිතා ගැනීමටවත් නො හැකි ය. ගම්ලතුන් විසින් සීගිරි කුරුටු ගී පරිවර්තනය කෙරුණේ ද බොහෝ දුෂ්කරතා මැද්දේ ය.

මීට වසර හතකට පමණ පෙර මම හිටපු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතාගෙන්සීගිරි කුරුටු ගී II වෙළුම සිංහල පරිවර්තනය මුද්‍රණය කිරීමෙහි ලා මැදිහත් වන ලෙස ඉල්ලීමක් කළෙමි. එතුමා මගේ ලිපිය එවක සංස්කෘතික ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාට යොමු කළත් එයින් සිදු වූ පලක් නැත.

පරණවිතානයන් තවදුරටත් මෙසේ ලියා ඇත:

“ ...දිගු වසර ගණනාවක් මාගේ චින්තනයේ නිති වාසය කළ පද්‍ය මාලාව ඒවා තුළ බොහෝ සුභාෂිත දක්නා සහෘදයන් හිඟ නොවෙතැයි යන විශ්වාසයෙන් යුතුව දැන් මම ඒවා යා යුතු මඟට පිවිසවමි.” (ඉහත ආමුඛය)

පරණවිතානයන්ගේ විශ්වාසය අහේතුක නො වේ. එබඳු සහෘදයන් වූ සුචරිත ගම්ලතුන් හා හිටපු පුරාවිද්‍යා කොමසාරිස් එස්.යූ. දැරණියගලයන් පරණවිතාන ප්‍රයත්නයේ සිංහල පරිවර්තනයක් සඳහා මැදිහත් වී ඇත. එබඳු ම සහෘදයෙකු වන වත්මන් පුරාවිද්‍යා කොමසාරිස් අනුර මනතුංගයන්ගෙන් මා ඉල්ලා සිටින්නේ සීගිරි ග්‍රැෆිටි II වෙළුම සිංහල පරිවර්තනය එළි දැක්වීමට මැදිහත් වන ලෙස ය.

ඔබගේ අදහස් අපට එවන්න.