බේකර් වීදියේ සුප්‍රසිද්ධ විද්‍යානුකූල අපරාධ පරීක්ෂක ෂර්ලොක් හෝම්ස් ඝාතනය කිරීමේ තැතක්.

(මෙය දොස්තර ජෝන් එච්. වොට්සන් මහතාගේ රහසිගත ලිපි ගොනුවෙහි ඇතුළත් පරීක්ෂණ වාර්තාවක් නොවන බව සලකන්න)

2022 අගෝස්තු 31

රහස් පරීක්ෂක නවකතා සහ කෙටිකතා නිර්මාණ තුළ ෂර්ලොක් හෝම්ස් (Sherlock Holmes) තරම් පාඨකයින් විසින් ආදරයෙන් වැලඳ ගත් කල්පිත රහස් පරීක්ෂක චරිතයක් ලෝක සාහිත්‍යය තුළ නැති තරම් ය.

සිංහල බසින් කියවන පාඨකයින් වෙත සර් ආතර් කොනන් ඩොයිල් (Sir Arthur Ignatius Conan Doyle) විසින් රචිත ෂර්ලොක් හෝම්ස් කතා ඉදිරිපත් කිරීමට සිංහල පරිවර්තකයින් දිගු කලක පටන් උත්සාහ කර ඇත.

නිදර්ශන ලෙසින් ගතහොත් The Hound of the Baskervilles දිගු නවකතාවේ දැනට සොයා ගැනීමට නොහැකි “බැස්කවිල්හි රුදුරු බලුව” නමින් සංක්ෂිප්ත පරිවර්තනයක් (කතුවරයාගේ නම සොයා ගත නොහැකි විය) වසර ගණනකට පෙර පළ විය. එම කෘතියෙහි ම අසංක්ෂිප්ත සිංහල පරිවර්තනයක් 1997 දී “බැස්කවිල් දඩ බල්ලා” නමින් කේ. ජී. කරුණාතිලක මහතා විසින් කරන ලද්දේ ය. සිංහල පාඨකයා අතර මහත් ජනප්‍රියත්වයක් ලබා ගත් චන්දන මෙන්ඩිස් මහතා විසින් සුනඛ ශාපය ලෙසින් එහි සංක්ෂිප්ත පරිවර්තනයක් ද බැස්කවිල් රුදුරු බල්ලා ලෙසින් අසංක්ෂිප්ත පරිවර්තනයක් ද පසුකාලීනව පළ කර ඇත.

සිංහල බසින් කියවන පාඨකයා වෙත ෂර්ලොක් හෝම්ස් කථා මාලාව වඩාත් සමීප කරවීමට පරිවර්තකයකු වශයෙන් චන්දන මෙන්ඩිස් මහතා සමත් වූ බව නොරහසකි. ඔහු විසින් මෙම පරිවර්තනයන් සඳහා යොදා ගත් සුමට, සරල බස් වහර පාඨකයා කතාව තුළ රඳවා ගැනීමේ ලා සුවිශේෂී මෙහෙයක් ඉටු කර ඇත.

The Hound of the Baskervilles හි පරිවර්තන සහ අනුවර්තන තුළ කතාන්දරය සඳහා යොදා ගත් නාමයන් වූ බැස්කවිල්හි රුදුරු බලුව, බැස්කවිල් දඩ බල්ලා ආදී සෘජු පරිවර්තන නාමයන් ඉක්මවමින් චන්දන මෙන්ඩිස් මහතා සිය මුල් ම ෂර්ලොක් හෝම්ස් පරිවර්තනය සඳහා රසවින්දනාත්මක කතා පුවතක ඇඟවුමක් ලබා දීමට පොහොසත් සුනඛ ශාපය යන නම නිර්මාණය කිරීම ම ඔහුගේ ප්‍රතිභාවට දෙස් දෙයි.

ඒ සියල්ල එසේ තිබිය දී ම, සර් ආතර් කොනන් ඩොයිල් විසින් රචිත ෂර්ලොක් හෝම්ස් කතාන්දර තුළ සිටින විද්‍යාත්මක උපදේශක අපරාධ පරීක්ෂකවරයාගේ විද්‍යාත්මක චින්තනය විනාශ කිරීමට තම පසුකාලීන ඉදිරිපත් කිරීම් මගින් චන්දන මෙන්ඩිස් මහතා උත්සාහ දරා ඇති බව කනගාටුවෙන් වුව ද කිව යුතු ය. ඇත්ත. මගේ මේ චෝදනාව සාක්ෂි සහිතව ඔප්පු කළ යුතු ය.

සර් ආතර් කොනන් ඩොයිල්ගේ අභාවයෙන් පසු ඔහු විසින් ගොඩනංවන ලද කීර්තිමත් විද්‍යාත්මක අපරාධ පරීක්ෂක ෂර්ලොක් හෝම්ස් චරිතය උපයෝගී කර ගනිමින් බොහෝ දෙනෙක් කතාන්තර ලිවීමට පටන් ගත්හ. ඉංග්‍රීසි බසින් පමණක් එසේ කතාන්දර ලියූ කතාන්දරකරුවන් 136 ක් පමණ වේ. වෙනත් භාෂාවලින් ද ෂර්ලොක් හෝම්ස් චරිතය උපයෝගී කර ගනිමින් ලියූ අය සිටින්නට පුළුවන. එබඳු රචනාකරුවන්ගේ ක්‍රියා පිළිවෙළෙහි ඇති සදාචාරාත්මක අංශය පිළිබඳව කතා කිරීමට අපි සදාචාරවාදීන්ට බාර දෙමු. මේ ලිපියෙන් අප අවධාරණය කරන්නේ ෂර්ලොක් හෝම්ස් නම් අපරාධ පරීක්ෂකවරයා නිර්මාණය කළ කතුවරයා විසින් ඔහු ජීවත්ව සිටින තුරා ම එම චරිතය හරහා සමාජගත කළ විද්‍යාත්මක චින්තන විධික්‍රමය පසුකාලීන ප්‍රබන්ධ රචකයන් විසින් හෝම්ස් චරිතය අධිභෞතික විකාර සංකල්පයන්ට නතු කිරීමෙන් විනාශ කරන ලද බවත් එම කෘති දැනුවත්ව හෝ නොදැනුවත්ව චන්දන මෙන්ඩිස් මහතා විසින් ලාංකික සමාජය හමුවේ තැබීමෙන් විශාල අවැඩක් සිදු වූ බවත් ය.

මෙම ලිපිය ආරම්භයේදී සඳහන් කළ ආකාරයෙන් ලොව පුරා සිටින රසඥතාවෙන් යුත් පාඨකයන්ට අනුව නම් ෂර්ලොක් හෝම්ස් යනු ජීවමාන වූ ද විශ්වාසනීය වූ ද පුද්ගලයෙකි, සහෘදයෙකි. සාහිත්‍යයට ලැදි අවරසික නොවන යම් කවෙරෙකුට හෝ ඔහු වීරත්වයෙකින් හෙබි නව විප්ලවීය චින්තනයකින් යුත් විද්‍යාත්මක සමාජයීය චරිතයකි. ශතවර්ෂයකට අධික කාලයක් පුරා ලොව පුරා මෙතරම් පාඨක ජනාදරයකට පාත්‍ර වීම සඳහා ෂර්ලොක් හෝම්ස් මහතා සතු වූ ගුණාංගය වූයේ අන්කිසිවක් නොව මෙම භෞතිකවාදී විද්‍යාත්මක චින්තනය යි.

ෂර්ලොක් හෝම්ස් සතු වූ නිරීක්ෂණයෙන් නිගමනයන්ට පැමිණීමේ විද්‍යාත්මක ක්‍රමවේදය ඉතා ආදරයෙන් හා ගෞරවයෙන් යුතුව අගය කිරීමට සහ අනුගමනය කිරීමට පාඨකයා යොමු කරවීමේ පූර්ණ ගෞරවය ෂර්ලොක් හෝම්ස්ගේ නිර්මාතෘ වූ සර් ආතර් කොනන් ඩොයිල් මහතාට හිමි විය යුත්තේ ය. ඔහු ඒ සඳහා පිටුබලය ලැබුවේ 19 වන සියවස අගභාගය වන විටත් බටහිර ලෝකයේ අධිකාරී ස්වභාවයක් දැරූ විද්‍යාත්මක චින්තන විධික්‍රමයෙන් හා ඊට මුල් වූ අනුභූතිවාදයෙනි (empiricism). අනුභූතිය යනු අත්දැකීම යි. අනුභූතිවාදීන් කියා සිටියේ ලෝකය පිළිබඳ වලංගු දැනුමක් ලබා ගත හැක්කේ මිනිසාගේ ඉන්ද්‍රියන් හරහා ලබා ගන්නා නිරීක්ෂණයන් මඟින් බව යි. ඒ අනුව, විද්‍යාත්මක න්‍යායන් පරීක්ෂණ හා නිරීක්ෂණයන්ගෙන් ලැබ ගන්නා සාධක මත පාදක විය යුතු විය. ස්වාභාවික ලෝකය පිළිබඳ නිවැරදි දැනුම ලබා ගැනීමේ ක්‍රමවේදය ලෙස “විද්‍යාත්මක විධික්‍රමය” මුලින් ම සූත්‍රගත කරනු ලැබුවේ ඉංග්‍රීසි චින්තකයකු වන ෆ්රැන්සිස් බේකන් (1561-1626) විසින් යැයි පොදුවේ පිළිගැනේ.

Sir Arthur Conan Doyle

සර් ආතර් කොනන් ඩොයිල් විසින් වර්ෂ 1890 දී රචිත The Sign of Four හි චන්දන මෙන්ඩිස් මහතා විසින් පරිවර්තනය කළ “සිව්රහස් සලකුණ සහ තවත් ෂර්ලොක් හෝම්ස් කථා” නම් කෘතියෙහි, ෂර්ලොක් හෝම්ස් චරිතය නිර්මාණය කිරීමට කතුවරයාට ලැබුණු පූර්වාදර්ශය මෙසේ දැක්වේ.

“ෂර්ලොක් හෝම්ස් චරිතය නිර්මාණය කිරීම සඳහා කොනන් ඩොයිල් ආදර්ශයට ගත්තේ එඩිංබොරෝ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජෝසප් බෙල්ගේ චරිතය බව ප්‍රකට කරුණකි. රෝගියා නිරීක්ෂණය කොට, ඔහුගේ රෝගය පමණක් නොව, රැකියාව පිළිබඳව ද යමක් කීමට බෙල් සමත්කම් දැක්වීය. ...

... තමා ඒ නිගමනයට එළැඹි ආකාරය බෙල් තම ශිෂ්‍යයන්ට පැහැදිලි කළේය.

මේක බොහොම සරල දෙයක්. නමුත් ඔබ හොඳින් නිරීක්ෂණය කරන්න ඕන, අතින් අල්ලා බලන්න, ඔබේ සියලු ම සංවේදී ඉන්ද්‍රියයන් යොදවන්න. ඉන්පසු බුද්ධිය මෙහෙයවා තීරණයකට එන්න. බෙල් තම ශිෂ්‍යයනට අවධාරණය කළේය.

(සිව්රහස් සලකුණ සහ තවත් ෂර්ලොක් හෝම්ස් කථා - චන්දන මෙන්ඩිස් පරිවර්තනය)

නිරීක්ෂණය මගින් නිගමනයට පැමිණීම යනු හුදෙක් ඕපපාතික හැකියාවක් නො වේ. නිරීක්ෂණය මගින් නිගමනයට එළඹීම සඳහා ෂර්ලොක් හෝම්ස් ප්‍රගුණ කළ ක්ෂේත්‍රයන් රාශියකි. සර් ආතර් කොනන් ඩොයිල් විසින් වර්ෂ 1887 දී රචිත A Study in Scarlet හි චන්දන මෙන්ඩිස් මහතා විසින් කළ අසංක්ෂිප්ත පරිවර්තනය වන “ලෝහිත පරීක්ෂණය සහ තවත් ෂර්ලොක් හෝම්ස් කථා” කෘතියෙහි දොස්තර වොට්සන් විසින් ෂර්ලොක් හෝම්ස් සතු එවන් පරිචයන් මෙසේ දක්වයි.

“මම කඩදාසියක් ගෙන ෂර්ලොක් හෝම්ස් සතු දැනුම ගැන එහි සටහන් කළෙමි.

ෂර්ලොක් හෝම්ස්ගේ හැකියාවන්

1. සාහිත්‍යය - කිසිත් නොදනී

2. දර්ශනය - කිසිත් නොදනී

3. තාරකා විද්‍යාව - කිසිත් නොදනී

4. දේශපාලනය - ඉතා ම සුළු දැනුමක් ඇත

Francis Bacon

5. උද්භිද විද්‍යාව - අවිධිමත් බෙලඩෝනා, අබිං හා විෂ වර්ග හොඳ දැනුමක් ඇත. ගෙවතු වගාව ගැන කිසිත් නො දනී.

6. භූගර්භ විද්‍යාව - ප්‍රායෝගික දැනුමක් ඇත. එහෙත් සීමිතයි. පස් වර්ග හොඳින් හඳුනාගත හැක. සපත්තුවල හෝ කලිසම් කකුලේ තැවරී ඇති මඩවල ස්වභාවයෙන් ඒවා ලන්ඩනයේ කිනම් පෙදෙසක දී තැවරුණු ඒවා දැයි ඔහුට කිව හැකිය.

7. රසායන විද්‍යාව - ඉතා විශිෂ්ට දැනුමක් ඇත.

8. කාය ව්‍යවච්ඡේද විද්‍යාව - නිවැරදි එහෙත් අක්‍රමවත් දැනුමක් ඇත.

9. සුවිශේෂී සිද්ධීන් පිළිබඳ දැනුම - ඉතා පුළුල් දැනුමක් ඇත. මේ ශතවර්ෂයේ සිදු වූ සියලු ම භීෂණයන් පිළිබඳ සම්පූර්ණ විස්තර ඔහු දනී.

10. වයලීනය වාදනයට ඔහු දක්ෂයි.

11. කඩු සරඹ හා බොක්සින්වල අතිදක්ෂයෙකි.

12. බ්‍රිතාන්‍ය නීතිය ගැන හොඳ ප්‍රායෝගික දැනුමක් ඇත.

(සිව්රහස් සලකුණ සහ තවත් ෂර්ලොක් හෝම්ස් කථා - චන්දන මෙන්ඩිස් පරිවර්තනය - පි. 22-23)

ෂර්ලොක් හෝම්ස් සතු නිරීක්ෂණයන් මගින් නිගමනය කරා පැමිණීමේ විද්‍යාත්මක න්‍යායෙහි පදනම තවදුරටත් විවරණය කර ඇත්තේ මෙසේ යි:

“මට ම විශේෂ වුණු වෘත්තියක් තිබෙනවා. මං හිතන්නේ මුළු ලෝකයට ම ඒ රැකියාව කරන එක ම එක්කෙනා මම. මේ ලන්ඩනයේ කොයි තරම් රජයේ සහ පෞද්ගලික රහස් පරීක්ෂකයෝ ඉන්නව ද ? එයාලා ප්‍රශ්නයක් විසඳගන්න ගිහින් අමාරුවෙ වැටුණම, එන්නේ මා ළඟට. මට පුළුවනි ඔවුන් නිවැරදි මාර්ගයට යොමු කරන්න. ඔවුන් දන්න සාක්ෂි සියල්ල ම මට ඉදිරිපත් කරනවා. අපරාධ ඉතිහාසය ගැන මගේ දැනුමත් උපයෝගී කරගෙන, මට සාමාන්‍යයෙන් පුළුවන් ඔවුන්ට උදව් කරන්න. අපරාධවල බොහෝ විට තිබෙනවා මූලික සමානතාවක්. ඒ කියන්නේ අපරාධ දහසක සියලු ම විස්තර ඔබ හොඳින් දන්නවා නම්, එක්දහස් එක්වෙනි අපරාධය විසඳන එක බොහොම සුළු දෙයක්.

(සිව්රහස් සලකුණ සහ තවත් ෂර්ලොක් හෝම්ස් කථා - චන්දන මෙන්ඩිස් පරිවර්තනය - පි. 25)

මේ අනුව, භෞතික සාධක නිරීක්ෂණය කිරීමෙහි සමත් පුහුණු ඉන්ද්‍රියන් සහ විමර්ශනාත්මක බුද්ධිය යන විද්‍යාත්මක ඵලයන්ගේ එකතුවෙන් නිර්මාණය වූ කල්පිත චරිතයක් ලෙස ෂර්ලොක් හෝම්ස් අපට හැඳින්විය හැකි ය.

ෂර්ලොක් හෝම්ස් කතාන්දරවල බොහෝ අවස්ථාවල සඳහන් වන හෝම්ස්ගේ උස, නිතරම පැලැඳගෙන සිටින ඔහුගේ සුපුරුදු දම් පැහැති පිට කබාය, නැතිනම් වෙස් මාරු කිරීම සඳහා ඔහු සතු වූ සුවිශේෂ හැකියාව, බොක්සින් ක්‍රීඩාව පිළිබඳව ඔහු සතු වූ දක්ෂතාව, නැතිනම් තනි යෂ්ටියේ ආත්මාරක්ෂක බරිත්සු සටන් කලාවේ ප්‍රවීණයෙක් වීම, ආදි වශයෙන් වූ ඔහුගේ ද්විතීයික හැකියාවන් කිසි විටෙකත් පාඨකයන් තමන්ගේ ප්‍රධාන අක්ෂය කොට ගත්තේ නැත. මනඃකල්පිත සංකල්පයන් ප්‍රතික්ෂේප කිරීම සහ විද්‍යාත්මක පදනමකින් අපරාධ විසඳීම යන මූලික පදනම ෂර්ලොක් හෝම්ස් කෙරෙහි වූ පාඨක ආකර්ෂණයට එක ම හේතුව විය.

සර් ආතර් කොනල් ඩොයිල් විසින් රචිත කතාන්දර තුළ දී පාරභෞතික මනඃකල්පිත දේවල් පිළිබඳව ෂර්ලොක් හෝම්ස්ගේ අදහස් කිහිපයක් වෙත අපි යොමු වෙමු.

1. සර් ආතර් කොනල් ඩොයිල් විසින් වර්ෂ 1924 දී රචිත The Adventure of the Sussex Vampire හි සසෙක්ස් හි වැම්පයර් භීෂණය කතාව තුළ හොම්ස්ගේ අදහස බලන්න. (මේ කතාව චන්දන මෙන්ඩිස් මහතා විසින් පරිවර්තනය කළ “සිව්රහස් සලකුණ සහ තවත් ෂර්ලොක් හෝම්ස් කථා” කෘතිය තුළ අන්තර්ගත ය.)

Dr.Joseph Bell

“හා ...... හා ........ මේ සූචියේ ඒක නැතිවෙන්න බෑ. මේ තියෙන්නෙ ...... හංගේරියාවේ වැම්පයර් භීෂණය, ට්‍රාන්සිල් වේනියාවේ වැම්පයර් භීෂණය...

එය මඳක් වේලා කියවූ හෝම්ස් පොත ඉවතට දැම්මේ ය. පට්ටපල් බොරු වොට්සන් ! මහ අමූලික බොරු ! ජීවත්වෙන අයගේ ලේ උරා බොමින් තැනින් තැන ඇවිදින මළමිනී එක්ක අපට තියෙන රාජකාරිය මොකක්ද වොට්සන් ? උංව මිනීවලේ තියන්න පුළුවන් හෘදය පසාවෙන්න ලී උලක් යැව්වොත් විතරලු. පිස්සු විකාර !”

(සිව්රහස් සලකුණ සහ තවත් ෂර්ලොක් හෝම්ස් කථා - චන්දන මෙන්ඩිස් පරිවර්තනය - පි. 194)

“බේකර් වීදියේ දී ම මේ කාරණා එකින් එක විසඳමින් ආ හැටි මං ඔබට කියන්නද? හෝම්ස් කීය. ලේ උරා බොන වැම්පයර් භීෂණ කියන කතාව මට නං පිස්සු විකාර කතාවක්. එංගලන්තයෙ ඇත්ත වශයෙන් ම එහෙම දෙයක් නැහැ.”

(සිව්රහස් සලකුණ සහ තවත් ෂර්ලොක් හෝම්ස් කථා - චන්දන මෙන්ඩිස් පරිවර්තනය - පි. 213)

2. සර් ආතර් කොනල් ඩොයිල් විසින් වර්ෂ 1901 දී රචිත The Hound of the Baskervilles හි චන්දන මෙන්ඩිස් මහතා විසින් පරිවර්තනය කළ “බැස්කවිල් රුදුරු බල්ලා” කෘතියෙහි මෙසේ දැක්වේ:

“ඉතින් මාගේ පෙම්බර දරුවනි, බැස්කවිල් පරම්පරාවට විනාශය ගෙන ආ සුනඛයා පිළිබඳ ශාපයේ කථාන්තරය එයයි. කටකතාවලින් හෝ අනුමාන කිරීම්වලින් අපගේ හදවත් තුළ ඇතිවන භීතිය ප්‍රමාණයෙන් වැඩිය. නමුත් කථාන්තරය පැහැදිලිව දැන සිටීමෙන් ඇතිවන භීතිය අඩු නිසා, මෙය පැහැදිලිව ලියා තැබීමට මම තීරණය කෙළෙමි. බැස්කවිල් පවුලේ සාමාජිකයන් බොහෝ දෙනෙකු හදිසි, බිහිසුණු ඛේදජනක මරණවලට ගොදුරු වූ බව ඇත්තකි. එහෙත් දෙවියන් වහන්සේ අපේ පරම්පරාවට, සදහටම දඩුවම් නොකරනු ඇත. ශුද්ධ ලියැවිලිවල දක්වා ඇති පරිදි තුන්වෙනි හෝ සතරවැනි පරම්පරාවලින් පසුව එන අහිංසකයන්, මේ ශාපයෙන් ගලවා ගැනීමට දෙවියන් වහන්සේ ක්‍රියාකරනු නියතයි. කෙසේ වුවද අඳුරු වැටුණු පසු වගුරු සහිත විල්ලුව පෙදෙසට ගමන් නොකරන මෙන් නුඹලාට මම තරයේ අවවාද කරමි.

හියුගෝ බැස්කවිල් විසින් ඔහුගේ පුතුන් දෙදෙනා වන රොජර් හා ජෝන් වෙත, ඔවුන්ගේ සොයුරිය වන එලිසබෙත්ට මේ කිසිවක් නොපැවසිය යුතුය යන උපදෙස ද සහිතව ය.

මේ අද්භූත කථාන්තරය කියා අවසන් කිරීමෙන් පසු මෝටිමර් දොස්තර මහතා තම උපැස් යුගල නාසය දෙසට තල්ලු කළේය. අනතුරුව ඔහු මගේ මිත්‍ර ෂර්ලොක් හෝම්ස් දෙස ඇසිපිය නෙහෙළා බලා සිටියේය. හෝම්ස් ඈනුමක් හැර තම අතේ තිබූ සිගරට් කොටය ගිනි උඳුනට විසි කළේය.

ඉතින් ? ප්‍රශ්නය නැඟුණේ හෝම්ස්ගෙනි.

ඔබට හිතෙන්නෙ නැද්ද ඒක බොහොම සිත් ඇදගන්නාසුලු කථාවක් කියල? දොස්තර මෝටිමර් විමසීය.

සුරංගනා කථා එකතු කරන කෙනෙකුට නම් හොඳයි. හෝම්ස් කීය.

(බැස්කවිල් රුදුරු බල්ලා - පි: 30-31 - චන්දන මෙන්ඩිස් පරිවර්තනය )

ෂර්ලොක් හෝම්ස් 1904 දී සිඩ්නි පැජට්ගේ ඇසින් *

3. බැස්කවිල් මන්දිරය ආශ්‍රිත සිතියම නිරීක්ෂණය කිරීම ආශ්‍රිතව දොස්තර වොට්සන් සහ හෝම් අතර සිදුවන සංවාදය, සර් ආතර් කොනල් ඩොයිල් විසින් වර්ෂ 1901 දී රචිත The Hound of the Baskervilles හි චන්දන මෙන්ඩිස් මහතා විසින් පරිවර්තනය කළ බැස්කවිල් රුදුරු බල්ලා කෘතියෙහි මෙසේ දැක්වේ:

“වොට්සන් : මේක මහ භයානක පළාතක් වෙන්න ඇති?

හෝම්ස් : ඔව්. පළාත පිහිටල තියෙන්නෙත් ඊට සුදුසු ආකාරයට. මනුෂ්‍යයින්ගෙ වැඩකටයුතුවලට අමනුෂ්‍යයින් ඇඟිලි ගහන්න පටන් අරගෙන.

වොට්සන් : ඒ කියන්නේ මේක භූතයින්ට සම්බන්ධ වැඩක් කියා ඔබත් විශ්වාස කරනවා?

හෝම්ස් : යක්ෂයාගෙ නියෝජිතයො ඉන්න පුළුවනි, ලේ මස් නහරවලින් සැදුණු අය. (පි: 50 -51 - චන්දන මෙන්ඩිස් පරිවර්තනය )

4. සර් ආතර් කොනල් ඩොයිල් විසින් වර්ෂ 1904 දී රචිත The Adventure of Black Peter හි චන්දන මෙන්ඩිස් මහතා විසින් පරිවර්තනය කළ “ලේ සලකුණ සහ වෙනත් ෂර්ලොක් හෝම්ස් කථා” තුළ අන්තර්ගත මැර පීටර් කතාව තුළ හොප්කින්ස් සහ හොම්ස්ගේ සංවාදය බලන්න.

“ඔබ අදහස් කරන්නේ අඩි සටහන් ඔබට දකින්න ලැබුණෙ නෑ කියන එකද?

මට සහතික කරලා කියන්න පුලුවන් හෝම්ස් මහත්මයා, එහි කිසිම අඩි සටහනක් තිබුණේ නෑ

යාලුවා, මං අපරාධ පරීක්ෂණ විශාල ගණනක් කරලා තියෙනවා. එහෙත් අහසෙන් පියාඹාගෙන ආ සතෙකු කළ අපරාධයක් තවමත් මට දකින්න ලැබිලා නෑ. අපරාධකාරයා දෙපයින් යන කෙනෙක් නම්, ඔහුගේ පාදයෙන් හෝ පාවහන්වලින් පොළොවේ ඇති වූ මොනවා හරි ලකුණක්, පලුදුවීමක්, සීරීමක් නැත්නම් බඩු එහා මෙහා වීමක් තිබිය යුතුයි.

(ලේ සලකුණ සහ වෙනත් ෂර්ලොක් හෝම්ස් කථා - චන්දන මෙන්ඩිස් පරි - පි.139)

5. සර් ආතර් කොනල් ඩොයිල් විසින් වර්ෂ 1908 දී රචිත The Adventure of Wisteria හි චන්දන මෙන්ඩිස් මහතා විසින් පරිවර්තනය කළ “සිව්රහස් සලකුණ සහ තවත් ෂර්ලොක් හෝම්ස් කථා” තුළ අන්තර්ගත විස්ටේරියා මන්දිරයේ වික්‍රමය කතාව තුළ පොලිස් නිලධාරීන් වන බේන්ස්, වෝල්ටර්ස් සහ හෝම්ස් අතර ඇති වන සංවාදය බලන්න.

“මේකෙ කුස්සියේ පුදුමාකාර දේවල් සිද්ධ වෙන්නෙ. ඔබ ජනේලයට තට්ටු කළාම මම හිතුව ඌ ආයෙමත් ඇවිත් කියල.

ඌ ඇවිත් මොකාද ?

යක්ෂයා දෙවියනේ යක්ෂයා. ඌ? ජනේලෙ ළඟට ඇවිත් හිටියා.

කොයි වෙලාවෙද?

දැන් පැය දෙකකට ඉස්සර වෙලා. අඳුර වැටීගෙන එද්දි. මම මෙතන වාඩිවෙලා පොතක් බලාගෙන හිටියා. මොකක් නිසා මට ජනේලෙ දිහා බලන්න හිතුන ද මම දන්නෙ නෑ. දෙයියනේ ඒකා වීදුරුවෙන් මං දිහා බලාගෙන හිටියා!. මට ඒක හීනෙනුත් පෙනේවි.

වෝල්ටර්ස් මොනවද ඔබ මේ කියන කතා? පොලිස් භටයෙකුගේ කටින් පිටවිය යුතු වචනද?

මම දන්නවා, ඔව් මම දන්නවා. මං ඌට භය වුණා. ඒකෙ හංගන්න දෙයක් නෑ මහත්මයා. උගෙ පාට නිකං මඩ පාටයි වගේ. උගේ ප්‍රමාණය ඔබ වගේ දෙකක් විතර ඇති. උගේ ඇස් දෙක ගොබලු ගෙඩි දෙකක් වගේ. බැල්ම ..... දෙයියනේ ! උල් දත් ටික විලිස්ස ගෙන මා දිහා බලාගෙන හිටියේ බඩගින්නෙ ඉන්න සතෙක් වගේ. ඇත්තමයි මහත්මයා මම ගල් ගැහිලා හිටියෙ. මට හුස්ම ගන්නවත් බැරි වුණා. ඒ පාර එක මොහොතකින් ඌ අතුරුදහන් වුණා. මම එළියට දුවල පඳුරු අතර බැලුවා. මේ ලෝකෙ පාලනය කරන දෙයියන්ට පිං සිද්ධ වෙන්න මොකෙක්වත් හිටියෙ නැහැ.

ඔබ හොඳට රාජකාරි කරන පොලිස් භටයෙක් බව මම දන්න නිසා මිසක් වෝල්ටර්ස්, නැත්නම් මට ඔබ ගැන උසස් නිලධාරීන්ට රපෝර්තු කරන්න සිද්ධ වෙනවා. ඌ මොන යක්ෂයා වුණත් රාජකාරියෙ යෙදිල ඉන්න පොලිස් නිලධාරියෙක් ඌව අල්ල ගන්න බැරිවුණ එක ගැන දෙවියන්ට ස්තූති කරන එක නං මහ වස ලැජ්ජාවක්. මේක ඔබට පෙනුණු හීනයක් ද?

ඒක පහසුවෙන් තීරණය කරන්න පුලුවන්, හෝම්ස් කීය.

ඔහු කුඩා ලන්තෑරුම දල්වා ජනේලය අසල බිම හොඳින් පරීක්ෂා කළේය.

ඔව්, මේ සපත්තුවේ ප්‍රමාණය දොළහවත් වෙන්න ඕන. කකුලෙ හැටියටම ඇඟත් තියෙනව නම් ඌ යෝධයෙක්.

මොක ද ඌට වුණේ?

පඳුරු අතරින් පාර පැත්තට දිවූ බවයි පෙනෙන්නෙ.

(සිව්රහස් සලකුණ සහ තවත් ෂර්ලොක් හෝම්ස් කථා - චන්දන මෙන්ඩිස් පරිවර්තනය - පි. 170 - 171)

සර් ආතර් කොනන් ඩොයිල් විසින් වර්ෂ 1887 සිට 1927 කාලය තුළ නිර්මාණය කරන ලද ෂර්ලොක් හෝම්ස් කතාන්දර අතුරින් දිගු නවකතා හතරක් ඇත්තේ ය. ඒවා නම් A Study in Scarlet - November 1887, The Sign of Four - February 1890, The Valley of Fear - September 1914 iy The Hound of the Baskervilles - August 1901 යනුවෙනි. එම කතා මෙන්ම ඔහුගේ අනෙකුත් සියලු ම කෙටි කතා තුළත් කොනන් ඩොයිල් තම විද්‍යාත්මක අපරාධ පරීක්ෂකයා වන ෂර්ලොක් හෝම්ස් නිර්මාණය කර ඇත්තේ පෙර සඳහන් කළ ආකාරයට ම භෞතික සාධක නිරීක්ෂණය කිරීමෙහි සමත් පුහුණු ඉන්ද්‍රියන් සහ විමර්ශනාත්මක බුද්ධිය යන විද්‍යාත්මක ඵලයන්ගේ එකතුවෙන් නිර්මාණය වූ චරිතයක් ලෙසින් පමණි.

චන්දන මෙන්ඩිස් මහතා විසින් පසුව සමාජගත කෙරුණු කෘතිවල ඇති ෂර්ලොක් හෝම්ස්ගේ චරිතය විකෘති කරන ලද අවස්ථා දෙස අපි දැන් බලමු.

සර් ආතර් කොනන් ඩොයිල්ගේ අභාවයෙන් පසු ඔහු විසින් ගොඩනංවන ලද කීර්තිමත් විද්‍යාත්මක අපරාධ පරීක්ෂක ෂර්ලොක් හෝම්ස් චරිතය උපයෝගී කර ගනිමින් පසුකාලීනව බොහෝ දෙනෙක් කතාන්තර ලිවීමට පටන් ගත් බව මෙම ලිපිය ආරම්භයේ දී අපි සඳහන් කෙළෙමු.

චන්දන මෙන්ඩිස් මහතා විසින් ඉදිරිපත් කරන “ඩ්‍රැකියුලාට එරෙහිව ෂර්ලොක් හෝම්ස් සමග කාල්ටන් මිනීමැරුම” නම් පොත ද එබඳු රචනයකි. එය තුළ ඇති පහත සංවාදය මගින් පමණක් ම චන්දන මෙන්ඩිස් මහතා විසින් සිංහල පාඨකයන් වෙත ලබා දෙන ෂර්ලොක් හෝම්ස් පිළිබඳ විකෘති අර්ථකථනය පැහැදිලි වෙයි.

මෙය ෂර්ලොක් හෝම්ස්ගේ මිතුරා වන දොස්තර වොට්සන්ගේ දෘෂ්ටියෙන් ලියැවුණකි:

“එය විවෘත කළ වහාම මුල් පිටුවේ තිබුණේ චිත්‍රයකි. එහි වූයේ බිම වැතිර සිටින මිනිසෙකු වටා එක් රැස්වී සිටි, මිනිසාට තරමක් සමාන පෙනුමක් සහිත, එහෙත් කළුපාට යෝධ පිහාටු සහිත සත්ත්ව වර්ගයකි. උදේ පාන්දරම මගේ මිත්‍රයාගේ කියවීමේ රුචිය අවදි කළ පොත (* වැම්පයර්වරු හා ඔවුන්ගේ සොයුරු වර්ගයා - එදා සිට අද දක්වා) ගැන, මම පුදුමයට පත්වූයෙමි. පොතේ පිටුවක් දෙකක් පෙරලද්දී දකින්නට ලැබුනේ මුල් පරිච්ඡේදයයි. එහි මුල් ඡේදය මම නිකමට කියවා බැලීමි. එහි මෙසේ සඳහන් විය.

1887 දී පළවූ ෂර්ලොක් හෝම්ස් පළමු කතාව A Study in Scarlet පළවූ බීටන් නත්තල් වාර්ෂික සංස්කරණයේ කවරය**

වැම්පයරයෙක් යනු කවුද? ඒ සියදිවි හානිකරගත් පුද්ගලයෙක්, තවත් වැම්පයර්වරයෙකුටග් ගොදුරක්, නැත්නම් තමාගේ ආත්මය යක්ෂයාට විකුණා දැමූ පුද්ගලයෙකු විය හැක. දහවල් කාලය පුරා ඔහු වැතිර සිටින්නේ මිනී පෙට්ටියක් තුළය. හිරු බැසගොස් අන්ධකාරයෙන් ලොව වැසී යන තුරු, එම සොහොනෙන් නැගිටීමට ඔහුට අවසර නොමැත. හිරු බැස ගිය පසු අවධිවන ඔහු, තමාගේ පාපකාරී ආහාරය වන මිනිස් රුධිරය සොයා ගමන් අරඹයි.

ඔහු ස්වභාවික මරණයකට පත් නොවේ. එහෙත් අන්‍යයන්ට ඔහු විනාශකර දැමීමට හැකිය. මෙය සිදුකළ හැක්කේ, දහවල් කාලයේ ඔහු නිදා සිටියදී ඔහුගේ හදවත පසාවන සේ ලී උලක් යැවීමෙනි, එසේත් නැත්නම් ඔහුගේ ගෙල කපා දැමීමෙන් සහ ඔහුගේ අපිරිසිදු මුඛය සුදුළුෑනුවලින් පුරවා දැමීමෙනි. මෙතෙක් නොමැරී සිටි එම වැම්පයරයා සාමදානයේ සැතපෙන්නේ එවිට පමණි.

ඉන්දියාව ආදී පෙරදිග රටවල ජනයා වැම්පයරයන් ඇතිවීම වැළැක්වීමට ඉතා ඥානාන්විතව කටයුතු කරති. කෙනෙකු මියගිය විට මළසිරුර භූමදාන නොකරන ඔවුහු, දර දැමූ සෑයක දමා මළසිරුර පුළුස්සා දමති. මෙම ශතවර්ෂ ගණනක් තිස්සේ ආසියානු රටවල ඉටුකෙරෙන චාරිත්‍රයකි. මෘතශරීර ආදාහනය කොට මෙසේ විනාශකර දැමීම, තවමත් අපේ යුරෝපා රටවල දක්නට නොලැබීම කණගාටුවට කරුණකි.

මොන පිස්සු බහුබූත කතාද ? කී මම පොත වසා දැමුවෙමි.

ඇයි වොට්සන්, මොකුත් ප්‍රශ්නයක්ද? ඔහුගේ අඩවන් දෑසින් මා කළ දෙය දුටු මගේ මිත්‍රයා විමසුවේය.

මට ඔබ ගැන හරි පුදුමයි හෝම්ස් මම කීවෙමි. බුද්ධිමත් මිනිස්සු මේව විශ්වාස කරන්නේ නැහැ. මේ වගේ මිථ්‍යා දේවල්වලට යොමු වෙන්නේ නොමේරූ මනසක් ඇති අය, එහෙම නේද?

ඔහු වෙතින් දිස් වූයේ සන්සුන් බවකි. කෙනෙකු සටනට යනවා නම් තමන්ගේ සතුරා ගැන හැමදෙයක්ම දැන සිටිය යුතුයි. ප්‍රබල ආයුධයක් ලෙස යොදාගත හැක්කේ එයයි හෝම්ස් කීය. මේ සිද්ධියේ කෙළවරක් දකින්න මට උවමනායි වොට්සන්. ඔවුන් ගැන සුළු තොරතුරක්වත් අහිමි කරගන්න ම බෑ.

හෝම්ස් බැස්කවිල් සිද්ධිය ආරම්භයේදී ඩෙවොන්ෂරයේදී ඔබ කියූ දේ දැන් ඔබට අමතකද? දුෂ්ට ක්‍රියා හා භීෂණය සමග මට හැකිතරමින් මං සටන් කරනවා. ඒ වුනත් භීෂණයේ පියා වන යක්ෂයා මා සමග සටනට ආවොත්? ඒක නම් මට සෑහෙන්න අමාරු වෙන්න ඉඩ තියෙනවා. ඔබ එදා කිව් කතාවට මටත් එකඟ විය හැකි බවයි කිව යුත්තේ.

වොට්සන්, බොහොම ශක්කිමත් නාවිකයන් නව දෙනෙක් අකාලයේ මරණයට පත්වුනා, හදිසියේම. පුංචි ළමයි පස් දෙනෙක් උගුරෙන් ලේ ගලා ගිය සිදුරු සහිතව හිරිහැරයට ලක්වුණා. එහෙම නම් මේව වුණේ කොහොමද කියල තේරුම් කරන්න. ඒවා තේරුම් කළ හැකි සරල උපකල්පනයක් ඔබ ළඟ තියෙනවද? මගේ මිත්‍රයා එම ප්‍රශ්නය ඇසුවේ අනුකම්පා විරහිත ස්වරයකිනි.

එහෙම උපකල්පනයක් මා ළග ඇත්තෙ නෑ මම කීවෙමි. මම අපරාධ පරීක්ෂකයෙක් කියල කාටවත් කියන්නෙත් නෑ.

මා කතා කළ අයුරෙන් ඔහුගේ කෝපය නිවී ගියේය. මෙවර ඔහු සිනා වූයේ හිතාදර අයුරෙනි. මගේ හිතවත් වොට්සන් , ඔබ නම් පරණ මනුස්සයාමයි. ඔබ සුපුරුදු විදිහට කලින් දැරූ මතයේ ම නොසැලී සිටිනවා. මං ඔබෙන් යළිත් ඉල්ලා සිටින්නේ, මං පැමිණි නිගමනය ගැන විශ්වාසය තියන්න කියලයි. මට ලැබුණු දත්ත හැම එකක් ම විශ්ලේෂණය කරලා, මේ වගෙ විනිශ්චයකට ඒම පහසු වුණේ නෑ වොට්සන්. ඒ සඳහා මං බොහොම ආදරයෙන් වැළඳගෙන හිටි මගේ ප්‍රතිපත්ති, මගේ මූලධර්ම විශාල ගණනක් අත්හැර දමන්න සිදු වුණා. කිසිසේත් විය නොහැකි හැම දෙයක් ද ඉවත් කිරීමයි මට පුරුදු විධිය. මං ඒක කළා. එතකොට ඉතිරි වෙන්නෙ එකම විකල්ප විසඳුමයි. ඒක විය නොහැකි දෙයක් වගේ පෙනුණත්, නිවැරදි එක එය විය යුතුයි. යම් විධියකින් මං යන මාර්ගය වැරදි නම්, ඒකෙ වගකීම මම සම්පූර්ණයෙන් ම භාර ගන්නවා.

(ඩ්‍රැකියුලාට එරෙහිව ෂර්ලොක් හෝම්ස් සමග කාල්ටන් මිනීමැරුම - චන්දන මෙන්ඩිස්. පි: 65 -67)

දැනුවත් පරිවර්තකයකු වශයෙන් චන්දන මෙන්ඩිස් මහතා විසින් ඉහත කෘතිය හා එවැනි ෂර්ලොක් හෝම්ස් චරිතය ඝාතනය කරන කෘති පරිවර්තනය නොකළා නම් කෙතරම් හොඳ ද? පරිවර්තනය කෙරෙහි පරිවර්තකයාට වගකීමක් නැද්ද? මෙය පරිවර්තනයක් යැයි කියමින් ඕනෑ ම දෙයක් සමාජගත කිරීමට බරපතළ මිනිසකුට පුළුවන් ද?

මෙම ලිපිය අවසන් කිරීමට පහත සටහන තබමි.

තම පුතුගේ මරණින් පසු සර් ආතර් කොනන් ඩොයිල්, තම ජීවිතයෙහි අග භාගයෙහි දී පාරභෞතික පර්යේෂණයන්ට නැඹුරු විය. සුරංගනාවියන් පිළිබඳ ගවේෂණයන් ඔහුගේ ප්‍රධානතම විෂය විය.

ඒ කෙසේ වුව ද, විද්‍යාත්මක අපරාධ පරීක්ෂක ෂර්ලොක් හෝම්ස්ගේ නිර්මාපකයා වූ සර් ආතර් කොනන් ඩොයිල් විසින් එකී තම පරිහානිගත යුගයේ දී පවා ෂර්ලොක් හෝම්ස් ආදරෙන් වැලඳගෙන සිටි ප්‍රතිපත්ති සහ මූලධර්මයන් ඝාතනය නොකිරීම පිළිබඳව පාඨක ප්‍රසාදය ඔහුට හිමි විය යුතු යැයි සිතමි.

Notes:

සර් ආතර් කොනන් ඩොයිල් විසින් රචිත ෂර්ලොක් හෝම්ස් කතාන්දර නාමාවලිය වෙතට the 62 Sherlock Holmes stories written by Arthur Conan Doyle මගින් පිවිසෙන්න.

* By Sidney Paget - de: Wikipedia, Public Domain, https://commons.wikimedia.org/w/index.php?curid=6635141

** David Henry Friston, Public domain, via Wikimedia Commons

Asanka C Perera
Asanka C Perera

ඔබගේ අදහස් අපට එවන්න.