“අසාධාරණේ මේ මිනීමෝරු වාගේ...”
Minarets: ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනයාගේ සංගීත සම්ප්‍රදායන් පිළිබඳ සහකම්පනීය සහ සුතීක්ෂණ වාර්තා චිත්‍රපටයක්

2023 මැයි 5

“මිනරෙට්ස්” වාර්තා චිත්‍රපටයේ එක් අවස්ථාවක දී මොහිදීන් බෙග් විසින් ගායනා කරන ලද ජනප්‍රිය ගීතයක් වන “මනුසතා ලෝකේ ඉපදී මංමුළා වුණා මග දී” ගීතය ඔහු විසින් ගායනා කරන ආකාරය දැක්වෙන රූප රාමු පෙළක් අපට මුණගැසේ.

“අසාධාරණේ මේ මිනීමෝරු වාගේ” යන්න මෙම ගීපද රචනයේ එන එක් වදන් පෙළකි. සමස්ත චිත්‍රපටය දෙස ආපසු හැරී බලන විට ප්‍රේක්ෂකයාට හැඟීයන්නේ ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනයා සිය මාහැඟි සාම්ප්‍රදායික සංගීත භාවිතයෙන් ඉවත් වීම හෝ ඉවත් කරලීම ඔවුනට සිදු වූ මහත් අසාධාරණයක් බවයි.

නාද්‍යා බිමානි පෙරේරා වාර්තා චිත්‍රපටකරණයෙහි ලා දක්වන සිය නිපුණතාව තහවුරු කර ඇත. ඇයගේ නවතම සිනමාපටය වන“මිනරෙට්ස්”ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනයාගේ සංගීත සම්ප්‍රදායන් විෂය කොට ගනිනි.

https://www.youtube.com/watch?v=KNYyy6KObCw

මෙය ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනයා සහ ඔවුන්ගේ සංගීතය, එහි මූලාරම්භය, පරිණාමය, ප්‍රතිවිරෝධයන් සහ අනාගත අභිලාෂයන් පිළිබඳ ඉතා සුතීක්ෂණ සහ සහකම්පනීය විශ්ලේෂණයකි.

ඇය මීට පෙර නිර්මාණය කරන ලද වාර්තා චිත්‍රපටය වන “Work at Your Own Risk”මගින් ඇය ස්ත්‍රී ලිංගික ශ්‍රමිකාවන්ගේ සහ තාවකාලික පදනමක් මත සේවයේ යෙදෙන කම්කරු ශ්‍රමිකාවන්ගේ ජීවිතවලට එබී බලයි.

https://www.youtube.com/watch?v=wjsvwKKZsWs

මිනරෙට්ස් චිත්‍රපටය හරහා නාද්යා සිය වාර්තා චිත්‍රපටකරණයේ ගුණාත්මකභාවය ඉහළ ඉසව්වකට ඔසවා ඇත.

ඇය සිය චිත්‍රපටයේ ආඛ්‍යානය සහ චිත්තාකර්ෂණීය කැමරා දර්ශන මගින් ප්‍රේක්ෂකයා ඇද බැඳ තබා ගැනීමට සමත් වෙයි. පර්යේෂණයන්ගෙන් තහවුරු වී ඇති කරුණු සහිතව චිත්‍රපටයේ විෂයට අදාළ ව බහුවිධ පර්යාවලෝකනයන් සිය නිර්මාණය ඇතුළට ගෙන ඒමට නාද්‍යා සමත්ව ඇත. විශ්වසනීයත්වය වාර්තා චිත්‍රපටයක තිබිය යුතු අවශ්‍යතම ගුණයකි. මෙම චිත්‍රපටයට පාදක වන විෂයමූලික කරුණු ගවේෂණය කිරීම සඳහා ඇය ලංකාවේ විවිධ පළාත්වල සැරිසරා රූගත කළ සිනමා රූප රාමු ද, විදග්ධ සම්මුඛ සාකච්ජා සහ සංරක්ෂිතසිනමා දර්ශන කොටස්ද ඉතා විශ්වසනීය ලෙස සිය පරිහරණයටගන්නී ය. වඩා වැදහත් කරුණක් වන්නේ සමස්ත නිර්මාණය සමඟ සම්මුඛවීමෙන් මුස්ලිම් සංගීත සම්ප්‍රදායන් පිළිබඳ ප්‍රේක්ෂකයා තුළ ඇතිවන සහකම්පනීය හැඟීමයි.

එවැනි සහකම්පනීය හැඟීමක් ඇති වෙනවා යන්නෙන් අදහස් කරන්නේ නාද්‍යා සිය චිත්‍රපටය මඟින් මුස්ලිම් සංගීත සම්ප්‍රදායන් පිළිබඳ හොඳ සහ නරක ලෙස වර්ගීකරණය වන සහසම්බන්ධ ප්‍රතිපක්ෂ(binary opposition) ඉදිරිපත් නො කිරීමට වගබලාගෙන ඇති බව ය. එමගින් ඇයට මෙම විෂය සම්බන්ධව උපේක්ෂා සහගත ආස්ථානයකින් බැලීමට හැකිවී ඇත. එනම් කලු සුදු වර්ගීකරණයක් වෙනුවට මෙම චිත්‍රය විවිධ වර්ණයන්ගෙන් පින්තාරු කිරීමට ඇයට හැකි වී ඇත.

කෙසේ නමුදු මෙම චිත්‍රපටයේ මතභේදයට තුඩුදෙන කරුණු ප්‍රමාණවත් ආකාරයට ගවේෂණය කර ඇත්දැයි කිසිවෙකුට ප්‍රශ්න කළ හැකි ය. එයින් අදහස් වන්නේ මුස්ලිම් ප්‍රජාව තුළ අඩු වැඩි වසයෙන් භාවිත වන සංගීත සම්ප්‍රදායවලට විරුද්ධ වන මුස්ලිම් ජන කොටස් වල අදහස් මෙම නිර්මාණයට ඇතුළත් විය යුතු ය යන්න නොවේ. එම විරෝධාකල්ප මෙම සංගීත සම්ප්‍රදායන් අගය කරන අයගේ සම්මුඛ සාකච්ජාවලින් ම මතුවෙන බව පෙනේ. එහෙත් මෙම විරෝධාකල්පවල මූල බීජයන්හි සම්භවය පිළිබඳ නිර්මාණකරුවා අවධානය යොමු කළේ නම් නිර්මාණයේ අගය තවදුරටත් වැඩි වෙනු ඇත. නිදසුනක් ලෙස හිටපු අධ්‍යාපන ඇමති මහමුද් බදිඋදීන් විසින් මුස්ලිම් පාසල් වල විෂය මාලාවට සංගීතය සහ සෞන්දර්යය විෂයයන් ඇතුළත් කිරීමට ගත් උත්සාහයට විරුද්ධව පැන නැඟුණු විරෝධයේ මූල බීජයන් ගැන තවදුරටත් ගවේෂණය කිරීමේ අවකාශය නිර්මාණකරුවා සොයා ගත යුතු ව තිබිණි.

ලෝක සිනමාවේවාර්තා චිත්‍රපටකරුවන් මෙවැනි ගැඹුරු විශ්ලේෂණයන්හි නිරත වන ආකාරය දැක්වෙන නිදසුන් බොහොමයක් ඇත. නිදසුනක් ලෙස තම විෂයය අතැඹුලක් සේ අල්ලාගත් වාර්තා චිත්‍රපටයක් වන්නේ “Seaspiracy”චිත්‍රපටය යි. මෙම චිත්‍රපට අධ්‍යක්ෂවරයා ලෝකයේ සාගර සම්පත් විනාශ වී යෑමට බලපා ඇති හේතු ප්‍රත්‍යයන් විශ්ලේෂණය කරන්නේ තම ජීවිතය ද අවදානමට තබමින් ය. චිත්‍රපටකරුවා ඉතාම විශද ලෙස මහා පරිමාණයේ දූෂිත ජාත්‍යන්තර වෙළඳ සමාගම් විසින් සාගර සම්පත්වලට කරමින් තිබෙන හානිය ගවේෂණය කරයි. මේ හා සමාන තවත් උදාහරණයක් වන්නේ ඉන්දියාවේ කීර්තිමත් චිත්‍රපටකරුවෙකු වන ආනන්ද් පත්වර්ධන් විසින් ඉතා දීර්ඝ කාලයක් තිස්සේ රූගත කර නිර්මාණය කරන ලද “Father, Son and the Holy War”නම් වූ වාර්තා චිත්‍රපටය යි. මෙම චිත්‍රපටය ආගම, පුරුෂත්වය සහ ප්‍රචණ්ඩත්වය අතර ඇති සහසම්බන්ධතාව විමර්ශනයට ලක් කරයි. වඩාත් බලවත් කම්පනයක් ඇති කරන තවත් වාර්තා චිත්‍රපටයක් ලෙස හැඳින්විය හැක්කේ “Saving Face”නම් චිත්‍රපටය යි. මෙයට පදනම් වන්නේ පකිස්ථානයේ ස්ත්‍රීන් මුහුණදෙන පීඩනය සහ ඔවුන්ව කුරිරු ලෙස පාලනය කිරීමට ඔවුනට විරුද්ධව යොදා ගන්නා ඇසිඩ් ප්‍රහාරයන් පිළිබඳව ය.

කෙසේ නමුදු නාද්‍යා මුස්ලිම් ජනයාගේ සංගීත සම්ප්‍රදායන් පිළිබඳ බහුවිධ අදහස් සහ ආකල්ප ප්‍රේක්ෂකයා ඉදිරියේ තැබීමට ඉතා වෙහෙසක් ගෙන ඇති බව සිය කැමරාව කල්මුණේ, පුත්තලම, අම්පාර, අඩාලච්චෙනෙයි, ගාල්ල, වැලිගම, කොළඹ ආදී ලංකාවේ විවිධ පළාත් වලට ගෙන යෑමෙන් පැහැදිලි වෙ.

මෙම චිත්‍රපටයේ මූලික ප්‍රස්තුතය වන්නේ සිය සංගීත භාවිතයට අදාළව මුස්ලිම් ජනයාගේ අත්දැකීම් සහ ඔවුුන් මුහුණ දුන් අභියෝගයි. මූලික වසයෙන් විග්‍රහ කිරීමේ පහසුව සඳහා පමණක් මෙම චිත්‍රපටය කොටස් තුනකට බෙදා වෙන් කළ හැකි ය. පළමු කොටස වෙන්වන්නේ 1960 ගණන්වල භාවිත වූ මුස්ලිම් සංගීත සම්ප්‍රදායන්හි ස්වර්ණමය යුගය සලකුණු කිරීමට ය. දෙවන කොටස වෙන්වන්නේ පසුකාලීනව ඔවුන් මුහුණ දුන් අභියෝගයන් සහ සීමාවන් හඳුනාගැනීම වෙනුවෙනි. තුන්වන කොටස නැගී එන තරුණ මුස්ලිම් සංගීතවේදීන් විසින් අත්හදා බලමින් සිටින සංගීත නිර්මාණ සහ එහි අන්තර්ගතය මෙන් ම ආකෘතීන් පිළිබඳ විග්‍රහයක යෙදෙයි. කෙසේ වුව ද චිත්‍රපටය තුළ මෙම කොටස් වෙන වෙන ම හඳුනාගත හැකි ආකාරයට ඉදිරිපත් නො වේ. මෙම තේමා තුන සමස්ත චිත්‍රපටයටම අන්තර්ග්‍රහණය කර ඇත.

සිය සම්මුඛ සාකච්ජාව මගින් මෙම චිත්‍රපටයට මූලික ප්‍රවේශය සපයන්නේ විශ්‍රාමලත් මහාචාර්යවරයෙකු වන එස්. එම්. එම් අනාස් ය.

“එක් කාල වකවානුවක ජන සංගීතය මුස්ලිම් ජනයා අතර ඉතා ජනප්‍රියව පැවතුණා. යම් යම් කාලවල දී එය පරිහානියට පත් වුණ අතර සමහර කාලවල දී එය අභාවයට ගියා. දැනට මෙම ජන සංගීතය නැඟෙනහිර පළාතේ කල්මුණේ, නින්දවූර්, අක්කරෙයිපත්තු, කාතන්කුඩි, ඔට්ටමාවඩි, එරාවූර් ආදී ප්‍රදේශවල මිනිසුන් අතර තවමත් පවතිනවා. ඒත් කලින් තිබ්බ ස්වර්ණමය යුගය දැන් ඉවරයි...මේක ආරක්ෂා කරගන්න අපට බැරි වුණා. මේක අපේ අධ්‍යාපන ක්‍රමයට ඇතුළත් කරගන්න බැරි වුණා”.

අවසාන රූප රාමු පෙළෙහි දී මෙම චිත්‍රපටයට පදනම් වූ එක් පර්යේෂණ පත්‍රිකාවක් ගැන සඳහන් වෙ. එය නදීන් වානියාසින්හම් විසින් ලියන ලද “ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ගේ සංගීත සහ ගීත සම්ප්‍රදායන්: දළ විශ්ලේෂණයක්” යන පර්යේෂණය යි.

https://www.ices.lk/_files/ugd/fba0ea_6513801249834f96892087d9f7ee1937.pdf

නදීන් සිය පර්යේෂණයෙන් සොයා ගන්නා කරුණු සිත් ගන්නා සුලු ය.

“ඔබ විසින් අනුගමනය කරන්නේ කුමන සංගීත සම්ප්‍රදායක් දැයි ඇසූ කල මුස්ලිම් ජන ප්‍රජාවගේ ක්ෂණික ප්‍රතිචාරය ව්‍යාකූල ය. ඔවුන් මුලින් ම පවසන්නේ එවැනි සම්ප්‍රදායක් ඔවුනට නැති බවත් ඉස්ලාම් දහම ඇතුළත එවැනි සම්ප්‍රදායකට ඉඩක් නො මැති බවත් යි. කෙසේ නමුදු තවදුරටත් හාරා අවුස්සන විට ඔවුන් පවසන්නේ ඔවුන් විවිධ අවස්ථාවල දී විශේෂයෙන් මහම්මත්තුමාගේ උපන්දිනය සමරන මොහොතේ දී භක්ති ගීත ගායනා කළ බවයි.

මෙම සංගීත සම්ප්‍රදායන් පරිහානිය 1980 සහ 1990 වසරවල දී ආරම්භ වී ඇත. මෙම තත්වයට බල පෑ මූලික හේතු ලෙස සැලකෙන්නේ මුස්ලිම් ජාතිකත්ව සංකල්පය මතුවීම සහ ප්‍රජා මට්ටමෙන් ආරම්භ වූ ඉස්ලාම් ආගමික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යි. එහි ප්‍රතිපලයක් ලෙස කාලයාගේ ඇවෑමෙන් සහ සමාජ පරිවර්තනයන්ගේ බලපෑමෙන් ජන සංගීත සම්ප්‍රදායන් මෙන් ම ජනප්‍රිය සංගීත සම්ප්‍රදායන් ද මුස්ලිම් ජනයාගෙන් ඈත් වන්නට පටන ගෙන ඇත”.

සංගීතය සහ ඉස්ලාම් දහම, විශේෂයෙන් ම සූෆි සංගීතය සහ ඉස්ලාම් දහම අතර ඇත්තේ ආතතිගත සම්බන්ධතාවකි. මෙම ආතතිය පැනනගින්නේ ඉස්ලාම් දහමට සම්බන්ධ නිතීයට අනුව සංගීත භාවිතයට ඉඩ තිබේ ද නැද්ද යන විවාදයට අදාළව යි. සමහර විද්‍යාර්ථින්ගේ තර්කයට අනුව සංගීත භාවිතය කළ යුත්තේ සීමාසහිතව ය. තවත් ගුරුකුලයන්ට අනුව සංගීත භාවිතය තහනම් ය නැතහොත් “හරාම්” ය. වෙනත් ආකාරයකට කිවහොත් ලෝකයේ වසන මුස්ලිම් ජනතාව මේ සම්බන්ධයන් නිශ්චිත මතයක් දරන්නේ නැත.

චිත්‍රපටය මෙම ප්‍රශ්නය සංවාද කරලිය ගෙන එන්නේ ඉතා සංවේදී සහ සූක්ෂමතාවකින් යුතුව ය.

මෙම චිත්‍රපටය තුළ සුප්‍රසිද්ධ මොහිදින් බෙග් සංගීතඥයාගේ දායකත්වය පිළිබඳ වැදගත් මානයක් ප්‍රේක්ෂකයාට ගෙන එයි.

කල්මුණේ වසන ඉතා ප්‍රබල හඬකින් යුතු ගායකයෙකු වන මරුතමුනෙයි එස්. එම්. කමල්ඩීන් පවසන පරිදි බෙග් මාස්ටර් සියලු මුස්ලිම් ජනයා විසින් අගය කළේ නැත. එබැවින් මුස්ලිම් ජනතාව සහ ඔහු අතර තිබී ඇත්තේ යම් දුරස්ථ සම්බන්ධතාවකි.

විකල්ප ධාරවේසංගීතඥයෙකු වන අජිත් කුමාරසිරි මෙම සුඑ ජන කොටස් යැයි හඳුන්වා දෙන ජනවර්ග සිංහල ගීත ගායනා කිරීම ශ්‍රව්‍ය දේශපාලනයේ (audio politics) අංගයක් ලෙස සලකා ඒ ගැන විග්‍රහයෙක යෙදෙයි. ඔහුගේ නගන ප්‍රශ්නය වන්නේ සුඑ ජන කොටස් සිංහල ඡාතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් ජාතිවාදී යැයි හංවඩු ගැසිය හැකි ගීත ගායනා කළේ මන් ද යන්නයි. තම සංගීත සම්ප්‍රදායන් ප්‍රගුණ කරමින් එවා සංවර්ධනය කිරීමට ඔවුන් තම කාලය සහ ශ්‍රමය කැප නො කළේ මුස්ලිම් සමාජයේ අභන්තරයෙන් පැන නැගුණු ප්‍රශ්න නිසා ද නැතහොත් වෙනත් හේතු නිසා ද යන්න ගවේෂණය කළයුතු බව ඔහු පවසයි.

මෙම චිත්‍රපටයේ එන ඉතා වැදගත් සංවාදයක් වන්නේ නව්‍යතාවකින් යුතු සංගීත අත්හදා බැලීම් කිරීමට උත්සාහ කරන නැඟී එන තරුණ මුස්ලිම් සංගීතඥයන් විසින් කරන විමසුම යි.

බහුවිධ මාධ්‍යයන්ගෙන් සංගීත නිර්මාණ කරන ඉමාඩ් මජීඩ් (Imaad Majeed) “පූජනීය ඩිජිටල් අවකාශයක” (digital sacred space) ආගමික භක්ති ගීත සහ අනෙකුත් සංගීත අත්හදා බැලීම් කිරීමට ඇති හැකියාව ගැන කතා කරන අතර රැප් සංගීත භාවිතයේ සහ කාව්‍යකරණයේ යෙදෙන ෂාප්නල් අවාම් (Shafnl Awam) “සමාජ සවිංඥානික සංගීතයක්” සමාජගත කිරීමේ වැදගත්කම අවධාරණය කරයි.

සංගීතය විෂය කොටගත් මෙම චිත්‍රපටයට යොදා තිබෙන හඬ සහ සංගීතය ඉතා බලවත් ලෙස හැඟීම් දනවයි. අදහස් කුඑ ගැන්වීම සඳහා රූප රාමු තෝරා ගැනීම සහ රූප ඡෙදනය හෙවත් ඒවා එකිනෙකට ප්‍රවේශමෙන් සම්බන්ධ කිරීමටමෙම චිත්‍රපටයේ සංස්කරණ ශිල්පියා වන සමන් ඇල්විටිගල සිය කෘතහස්ත දායකත්වය උපරිමව සපයා ඇත.

මෙම චිත්‍රපටය පිළිබඳ ලියන ආචාර්ය අමීර් අලි ඉතා වැදගත් අදහසකින් සිය වියමන අවසන් කරයි.

https://groundviews.org/2023/04/20/disappearing-music-traditions-of-muslims/

“මුස්ලිම්වරුන්ගේ ගිලිහී ගිය සංගීත සම්ප්‍රදායට නැවැත උපතක් අවශ්‍ය වෙයි. නාද්‍යා පෙරේරාගේ ඓතිහාසික වාර්තා චිත්‍රපටය ප්‍රජාවගේ ඇස් ඇරීමක් විය යුතු ය”.

ඇත්ත වශයෙන් ම මෙවැනි උපතක් සඳහා සමාජ කතිකාවක් ගොඩනැගීමේ ප්‍රථම පියවර මුස්ලිම් ප්‍රජාවේ අභන්තරයෙන් ම පැනනැගිය යුතු ය.

මෙම චිත්‍රපටයේ අවසන් දර්ශනය ඉතා බලවත් රූපකාර්ථයකි.

ගාලු මුස්ලිම් පල්ලියේ යාච්ඤාවට කාලය දන්වන්නා (Muezzin) තම මොටර් සයිකලයේ නැගී ගාලු කොටුටේ දොරටුවෙන් එළියට යයි. මෙහි දී ගාලු කොටුව නැමැති සංස්කෘතික සීමාවන්ගෙන්න් එළියට ඒම උත්සාහ කිරීම අවදානම් සහිත ක්‍රියාවක් විය හැකි ය. එම මාර්ගය ආරක්ෂාකාරී නො මැති විය හැකි ය. එළියට ආපසු විශාල බසයක්ඔහු යන මාර්ගය වළකයි. කෙසේ හෝ සිදුවිය හැකි ව තිබූ ජීවිත අනතුර ඔහු වළකා ගනියි.

පවතින සමාජ සංස්කෘතික සීමාවන් තුළ දරුණු අනතුරු වලට මුහුණ නොදී මුස්ලිම් ජනයා සිය සංගීත සම්ප්‍රදායන්ගේ රඳා පවත්වා ගෙන යන්නේ කෙසේ ද යන්නසහ තරුණ මුස්ලිම් කණ්ඩායම් සිය සංගීත නිර්මාණ ලාලසාවට නො කඩවා ආවේශය සපයාගන්නේ කෙසේ ද යන්න අනාගතය විසින් තීරණය කෙරෙනු ඇත.

ඔබගේ අදහස් අපට එවන්න.