මැකියාවෙලිගේ කුමාරයා : බල දේශපාලනයේ යථාර්ථය

2023 පෙබරවාරි 7

නිකොලොයි මැකියාවෙලී (Niccolo Machiavelli - ක්‍රිස්තු වර්ෂ (1469 - 1527) ඉතාලියේ ෆ්ලොරන්ස් නගරය තුළ උපත ලබයි. මෙම ලිපියෙන් මැකියාවෙලිගේ කුමාරයා (The Prince) කෘතියෙහි දැක්වෙන රාජ්‍යය පාලකයෙකු සතුව පැවතිය යුතු යැයි සැලකෙන ගුණාංග පිළිබඳව විවරණයක් කරනු ලැබේ.

ඒ හරහා වර්තමාන දේශපාලනඥයාගේ භූමිකාව කෙසේ විය යුතුදැයි ද සාකච්ඡාවට බඳුන් කරයි. නිකොලෝ මැකියාවෙලි යනු දේශපාලනය, ඉතිහාසය වැනි විවිධ ක්ෂේත්‍ර සඳහා දායක වූවෙකි. තවද ඔහු විප්ලවවාදී දාර්ශනිකයෙකු වූ අතර සීමාවන්ට බිය නොවී තම අදහස් ප්‍රකාශ කළේය. ඔහු පුනරුද යුගයට අයත් වූ බැවින් ආගමික සංකල්ප හා සදාචාරාත්මක සාරධර්ම වැනි ආචාර විද්‍යාත්මක පදනම් සහගත දේවලින් මිදීමට ඔහුට අවශ්‍යය විය. ඒ සඳහා ඔහු ආචාර ධර්ම ව්‍යුහයන් හා සාරධර්ම දේශපාලනයෙන් විනිර්මුක්ත කළේය. නූතන දේශපාලන දර්ශනයට දැක්වූ දායකත්වය හේතුවෙන් ඔහු නූතන දර්ශනයේ පියා ලෙස නම් කරන ලදී.

පොදුවේ ගත් කල නිකලෝ මැකියාවෙලි තම සියලු කෘති හරහා බල දේශපාලනය යන්න පිළිබඳව පැහැදිලි කිරීමට උත්සහ දරා ඇත. ඔහු ජීවත් වූ ඔහුට සමකාලීන සමාජය තුළ පැවති සමාජ ස්වභාවය එනම්, රාජ්‍යය සහ ආගම අතර පැවති සම්බන්ධතාවය, එයට හේතු වන්නට ඇත.

1513 දී මැකියාවෙලි කුමාරයා ග්‍රන්ථය රචනා කරන ලද්දේ දේශපාලන පිටුවහලෙකු ලෙස ෆ්ලෝරන්ස් නගරය හැර යාමට ඔහුට සිදු වූ පසුවය. මැකියාවෙලි කුමාරයා ලිවීම කෙරෙහි ආභාෂය ලබා ගත් එක් අවස්ථාවක් වනුයේ මැකියාවෙලි මූලිකවම නිරීක්ෂණය කළ පාප් රාජ්‍යයේ ගොරහැඩි, ම්ලේච්ඡ සහ කපටි කුමාරයෙකු වූ සිසේරේ බෝර්ජියාගේ පාලන සමයයි.

එකල ඉතාලිය තුළ දැඩි දේශපාලන ගැටුමක් ඇති වූ කාලයක් විය. ෆ්ලොරන්ස්, මිලාන්, වැනීසිය සහ නේපල්ස් යන නගර රාජ්‍යයන් ඉතාලියේ පාලනය සඳහා සටන් කළ අතර, පාප් පදවිය, ප්‍රංශය, ස්පාඤ්ඤය සහ ශුද්ධ රෝම අධිරාජ්‍යය ද ඉතාලියේ බලය ලබා ගැනීම පිණිස සටන් කළහ. මෙම සෑම බල සටනකින්ම අනෙකාගේ බලතල පවරා ගැනීමේ උපාය මාර්ගයක් අනුගමනය කිරීමට උත්සාහ කළ නමුත් ඔවුන් අපකීර්තිය පැතිරවීම සහ ප්‍රචණ්ඩත්වය වැනි බලය අවභාවිතයන්හි ද නිරත විය. මැකියාවෙලි නැවත ෆ්ලෝරන්ස් වෙත පැමිණි එම වසරේම ප්‍රංශයේ අටවැනි චාල්ස් විසින් ඉතාලිය ආක්‍රමණය කරන ලදී. මෙය මැකියාවෙලිගේ ජීවිත කාලය තුළ සිදු වූ ප්‍රංශ ආක්‍රමණ කිහිපයෙන් පළමුවැන්නයි. මෙම සිදුවීම් රජය කෙරෙහි මැකියාවෙලි තුළ පැවති ආකල්ප කෙරෙහි බලපෑ අතර, ඉතාලි එකමුතුව සඳහා ඔහුට පසුබිම සකස් කළේය.

ඔහුගේ දාර්ශනික අදහස් වලට ප්‍රධාන වශයෙන් බලපෑම් කළේ ප්ලේටෝ ය. මැකියාවෙලි කුමාරයා කෘතිය හරහා බල දේශපාලනය විස්තර කිරීමට උත්සාහ කර ඇති බව පෙනෙයි. එය ඔහුට සමකාලීනව ඉතාලියේ පැවති දේශපාලන තත්වයට පිළිතුරක් ලෙස ලියා ඇත. මෙම කුමාරයා කෘතිය දේශපාලන දර්ශනයේ අත්පොත සේම බලවාදයේ අත්පොත ලෙසද බොහෝ දෙනා සලකනු ලැබීය.

තමාට සමකාලීනව පැවති දේශපාලන තත්ත්වයට ඔහු විරුද්ධ විය. දේශපාලනය හා ආගම අතර සම්බන්ධයක් පැවතුනි. ප්‍රධාන වශයෙන්, මධ්‍යකාලීන යුගයේදී, එකල කතෝලික පල්ලියට ප්‍රමුඛතාවය හිමි විය. සෑම දෙයක්ම පල්ලියේ පාලනය යටතේ පැවතුනි. ඇරිස්ටෝටලියානු තර්කනය වැනි ග්‍රීක දැනුම පවා දෙවියන්ගේ පැවැත්ම සනාථ කිරීමට යොදාගෙන තිබිණ. පාප්තුමාට සහ පල්ලියට එරෙහිව යාමට කිසිවෙකුට හැකියාවක් නොතිබුණේ ඔවුන් දෙවියන් වහන්සේගේ නියෝජිතයන් ලෙස සැලකූ බැවිනි. පාලකයා පවා දෙවියන් වහන්සේගේ පාලනය යටතේ පැවතුනි. එනිසා ආගම හා දේශපාලනය අතර සම්බන්ධයක් පැවතුනි. කෙසේ වෙතත්, මැකියාවෙලි දේශපාලන චින්තනයේ විශාල විප්ලවයක් සිදුකර ඇත්තේ ඊට විරුද්ධ වීමෙනි. ඔහු බලය හා සදාචාරයට විරුද්ධ විය. මැකියාවෙලි කුමාරයා කෘතියෙහි සදාචාරසම්පන්න නොවන හැසිරීම පිළිබඳව සාකච්ඡා කළේය. නිදසුනක් වශයෙන්, අහිංසක මිනිසුන් ඝාතනය කිරීම සහ වංකකමට එම පොතේ ප්‍රමුඛතාවය ලබා දී ඇත. කුමරුගේ එක් පරමාර්ථයක් වන්නේ බලය සහ සදාචාරය අතර සම්බන්ධතාවයට විරුද්ධ වීමයි. නිදසුනක් වශයෙන්, දේශපාලන විනිශ්චයන් සදාචාරාත්මක විනිශ්චයන්ගෙන් වෙන් වී ඇති බව ඔප්පු කිරීමට ඔහුට අවශ්‍ය විය. දේශපාලන තීන්දු පදනම් වන්නේ බලය ලබා ගැනීම මත වන බවත්, සදාචාරාත්මක විනිශ්චයන්, යහපත් හෝ ගුණවත්කම මත පදනම් වන බවත් පෙන්වා දෙන ඔහු එම හේතුව නිසාවෙන් ම දේශපාලන මතයන් සදාචාරාත්මක ඇගයුම් වලින් විනිර්මුක්ත කරන ලදී.

මැකියාවෙලි සිය කෘතියේ ප්‍රධාන ප්‍රශ්න තුනක් අවධාරණය කළේය. ඒවා පහත පරිදි සාරාංශ කළ හැකිය.

-දේශපාලනය සදාචාරයෙන් මුළුමනින්ම වෙන් කළ හැකිද?

-දේශපාලනයේ පරමාර්ථය පදනම් වන්නේ බලය ලබා ගැනීමේ සහ බලය භාවිතා කිරීමේ භෞතික සීමාව තුළ පමණක්ද?

-කිසියම් දේශපාලන කටයුත්තක් සාධාරණ දේශපාලන ක්‍රියාකාරකම් ලෙස ස්ථාපිත කළ හැකිද?

ඔහු දේශපාලනය පිළිබඳ සාම්ප්‍රදායික අදහස්වලට එරෙහිව යාමට උත්සාහ කර ඇති බව සත්‍යයකි. මැකියාවෙලි කුමාරයා කෘතිය තුළින් රාජ්‍යයේ ස්වභාවය පිළිබඳව පුළුල් යථාර්ථයක් සාකච්ඡා කර ඇති අතර එය විප්ලවීය කාර්යයක් වූවා පමණක් නොව එය රටේ යහපතට වඩා සදාචාරාත්මක නොවන දෑ කිරීම තුළින් ස්වකීය පෞද්ගලික වාසි සහගත තත්ත්වයන් උදා කරගැනීම උදෙසා ක්‍රියා කිරීම අවධාරණය කරන්නක් ද විය. මේ අනුව, එය බලය ලබා ගැනීමේ ප්‍රායෝගික මාර්ගයක් වන අතර, කුමාරයෙකුගේ හැසිරීම විස්තර කරමින්, ඔහු වැඩි ශක්තියක් ලබා ගැනීමට සහ බලය ආරක්ෂා කර ගැනීමට

මනෝවිද්‍යාත්මක වශයෙන් යොමු විය යුතු ආකාරය ද පැහැදිලි කරයි. එපමණක් නොව, බලය ලබා ගැනීම, බලය රඳවා ගැනීම සහ බලය ව්‍යාප්ත කිරීම වැනි ප්‍රධාන අරමුණු තුනක් කුමාරයාට තිබිය යුතු බව මැකියාවෙලි ප්‍රකාශ කර තිබේ.

කුමාරයා කෘතියෙහි තුන්වන පරිච්ඡේදයේ මිශ්‍ර මූලධර්මයන්හි ඇතිවිය හැකි ගැටළු සහ ඒවා කළමනාකරණය කළ හැකි ක්‍රම පිළිබඳව සඳහන් කර ඇත. මැකියාවෙලි ප්‍රකාශ කර ඇත්තේ “ කුමාරයෙකු ජනතාවට මිත්‍රශීලී විය යුතුය; එසේ නොමැතිනම් ඔහුට විපත්තියේදී ආරක්ෂාවක් නැත ” යනුවෙනි. (මැකියාවෙලි, (1992,) පිටුව 45).

මැකියාවෙලි පවසන පරිදි, කුමරුගේ සැබෑ අභිප්‍රායන් පුරවැසියන්ට හෙළි නොකිරීම අත්‍යවශ්‍යතාවයකි. ඔහු විරුද්ධවාදිකම් කරන අතරතුර ගුණවත් පුද්ගලයෙකු ලෙස පෙනී සිටිය යුතුය. ඔහු රාජ්‍යයේ ජනතාවගේ අභිවෘද්ධිය අපේක්ෂා කරන පාලකයෙකු ලෙස පෙනී සිටිය යුතුය. නමුත් ඔහු සත්‍යය වශයෙන්ම ගුණවත් පුද්ගලයෙකු නොවිය යුතුය.

කෙසේ වෙතත්, දේශපාලන සන්දර්භයෙහි අවශ්‍යතාවය වන්නේ මැකියාවෙලි විසින් ඉස්මතු කරන ආකාරයේ පාලකයෙකු නොවේ. සංවර්ධනය වෙමින් පවතින, ඌන සංවර්ධිත හෝ සංවර්ධිත ඕනෑම රාජ්‍යයක අවශ්‍යතාවය වන්නේ ජනතාවගේ අවශ්‍යතා තේරුම් ගනිමින් රට සදාචාරාත්මකව පාලනය කරන පාලකයෙකි. සැඟවුණු න්‍යාය පත්‍ර සමඟ වැඩ කිරීම මහජන ඡන්දයෙන් බලය ලබා ගන්නා පාලකයෙකුට සුදුසු නොවේ. මැකියාවෙලි මිනිසාගේ ලක්ෂණ ප්‍රකෘති ස්වභාවයෙන් පැහැදිලි කර ඇත. එනම්, මිනිසුන් තුළ ස්වභාවයෙන්ම පවත්නා සදාචාරාත්මක නොවන ගති ලක්ෂණ නිර්ධය ලෙස ඉදිරිපත් කර ඇති අතර ඒවා බලය ලබා ගැනීමට අත්‍යවශ්‍ය මානව චර්යාවන් ලෙස ද දක්වා ඇත. ඔහුට අනුව, මිනිසා ස්වභාවයෙන්ම අත්පත් කර ගැනීමට සහ බලය ලබා ගැනීමට කැමැත්තක් දක්වයි. ඔවුන් තමන් සතුව නොමැති දේවල් පිළිබඳව ආශා කරන බවත්, ඔවුන් අන් අය කරන දේ කිරීමට කැමති අතර අනෙකුත් පුද්ගලයන් අනුකරණය කරන බවත්, මිනිසුන් ගෞරවයට වඩා දේපළවලට කැමති බවත්, ස්වාභාවිකවම මිනිසුන් කෘතඥ පූර්වක නොවන බවත් පැහැදිලි කරන මැකියාවලි, දෙමව්පියන් දරුවන්ව යම් දෙයක් කිරීමෙන් වළක්වන ආකාරයෙන් බිය භාවිතා කිරීමෙන් මිනිසුන් තුළ පවත්නා ඉහත සඳහන් කරන ලද සදාචාරාත්මක නොවන ගති ලක්ෂණ පාලනය කළ හැකි බව දක්වයි. බලය ලබා ගැනීමට උපකාරී නොවන බැවින් ඕනෑම පාලකයෙක් සදාචාරාත්මක නොවිය යුතු බව මැකියාවෙලි තරයේ ප්‍රකාශ කර තිබේ.

මැකියාවෙලිට අවශ්‍ය වූයේ කුමරු දේශපාලන ක්ෂේත්‍රයේ පමණක් සිටීමයි. ඔහුට අවශ්‍ය වූයේ දේශපාලන තීන්දු වල ස්වභාවය හා විෂය පථයට සදාචාරාත්මක විනිශ්චයන් මුසුවීම වළක්වා ගැනීමට පාලකයා යොමු කිරීමයි. පරමාදර්ශී දේවල් පවා සැබෑ බව ඔහු ප්‍රකාශ කර තිබේ. එහෙත්, යථාර්ථය ඉතා සුදුසු ය. ඔහුට අනුව, ගුණවත්කම යනු මිනිසා විසින් නිපදවන දෙයකි. එබැවින් මිනිසුන්ට ඉහළින් හෝ පහළින් කිසිවක් නැත. එයින් අදහස් කරන්නේ අද්භූත කිසිවක් නොමැති බවයි. එපමණක්ද නොව, කුමාරයෙකු යහපත්, නරක වැනි සදාචාරාත්මක සාරධර්ම ගැන සැලකිලිමත් නොවිය යුතුය. ඔහු පවසන්නේ පාලන ක්‍රියාවලිය සදාචාරාත්මක විනිශ්චයන් නොසලකා බලය මත පමණක් රඳා පැවතිය යුතු බවයි.

මිනිසුන් පාලකයාට ගරු කරන විට සහ ඔහුට කීකරු වන විට, ඔහුට ගරු නොකරන හා ඔහුට කීකරු නොවන පුද්ගලයින්ට වඩා සමීපව සිටීමට වගබලා ගත යුතුය. ඇරිස්ටෝටල් වරක් ප්‍රකාශ කර ඇත්තේ බලය ලබා ගැනීමට ඇති ආශාව ස්වාභාවික දෙයක් බවයි. ඇරිස්ටෝටල් සමඟ එකඟ වෙමින් මැකියාවෙලි ප්‍රකාශ කර ඇත්තේ බලය ලබා ගැනීම, බලය රඳවා ගැනීම සහ බලය ව්‍යාප්ත කිරීම ස්වාභාවික දෙයක් බවත් එය මිනිසාගේ ස්වාභාවික ආශාවක් බවත්ය. මැකියාවෙලි දක්වා ඇති තවත් කරුණක් වන්නේ, වෙනත් රාජ්‍යයකට පහර දෙන විට, එම රාජ්‍යය විනාශ කළ යුතු බවයි. නැවත හිස එසවීමට අවස්ථාවක් නොදිය යුතු බවයි. කෙසේ වෙතත්, රාජ්‍යයක් විනාශ කිරීමේදී එම රාජ්‍යයේ පුරවැසියන් ද විනාශ වනු ඇති බැවින් එය සදාචාරාත්මක මූලධර්මයන්ට එකඟ නොවේ.

පුරවැසියන්ගේ විවේචනයෙන් සහ වෛරයෙන් මිදීම සඳහා එල්ලවන යහපත් ප්‍රතිචාර තමා වෙත රඳවා ගැනීමටත්, අයහපත් සහ වෛරී ප්‍රතිචාර අන් අය අය වෙත යොමු කිරීමටත් පාලකයාට හැකි විය යුතු බව කියැවේ. එනම්, තම පාලනාධිකාරියෙන් සිදුවන අපරික්ෂාසහගත, නීතී විරෝධී හෝ අයහපත් ප්‍රතිඵල ගෙන දෙන ක්‍රියාවන් වල වගකීම අන් අය මත පැවරිය යුතු අතර පාලකයාගේ කීර්තිය සහ පාලකයා කෙරෙහි ජනතාවගේ ප්‍රසාදය වැඩි වන කටයුතුවල වගකීම නිරන්තරයෙන් ම තමා සතු කර ගත යුතු බව මෙමඟින් කියැවේ. තමා විසින් සිදුකළ අයහපත් ක්‍රියාවන් වල වගකීම් අන් අයට පවරා තමා නිදොස් පුද්ගලයෙකු ලෙස පුරවැසියන් ඉදිරියේ පෙනී සිටීම්ට පාලකයා කටයුතු කළ යුතුය. පාලකයාගේ බලය තවදුරටත් සුරක්ෂිත වන්නේ එවිටය. දේශපාලන බලය ලබා ගැනීම සඳහා සදාචාරාත්මක අගයන් සහ සාරධර්ම උල්ලංඝනය කිරීම මැකියාවෙලි පිළිගෙන ඇති බව ද මෙයින් පැහැදිලි වේ. සදාචාරාත්මක අගයන් වලට ස්වකීය දර්ශනයේ මැකියාවෙලි විසින් ඉඩක් ලබා නොදෙයි. ස්වභාවයෙන්ම මිනිසා තුළ පවතින බලයට ඇති ආශාව සදාචාරාත්මක සීමාවන් තුළින් යටපත් කළ නොහැකි බව මැකියාවෙලි අවධාරණය කරයි. මැකියාවෙලි පවසන පරිදි, වෙනත් පුද්ගලයින් සමඟ ගනුදෙනු කිරීමේදී සදාචාරාත්මක නොවන කටයුතුවල යෙදීමට අවසර ඇත. කෙසේ වෙතත්, කුමාරයාට රාජ්‍ය කටයුතු පිළිබඳව සත්‍ය තත්වය පැවසීමට තවත් පිරිසක් සිටිය යුතුය. පාලකයා සෑම දෙයක් පිළිබඳවම ඔවුන්ගෙන් ප්‍රශ්න කළ යුතු අතර ඔවුන්ගේ අදහස්වලට ඇහුම්කන් දිය යුතුය. නමුත්, පසුව ඔහුගේම නිගමනවලට එළඹිය යුතුය. රාජ්‍ය පාලනයේ දී ස්වයං නිගමන සහ තීරණ ලබාග ගත යුතු වන්නේ බලය ලබාගැනීමේ, රඳවා තබා ගැනීමේ සහ ව්‍යාප්ත කිරීමේ ක්‍රියාවලියේ දී කුමාරයාට බාහිර කිසිදු පුද්ගලයකු පිළිබඳව විශ්වාසය තැබිය නොහැකි නිසා ය. ඊට අමතරව, තමාට සහාය දුන් අය පවා පාලනය කිරීමට කුමාරයාට හැකිවිය යුතු බව මැකියාවෙලි සඳහන් කර ඇත.

කෙසේ වෙතත්, පවත්නා තත්ත්වයන්ට අනුව ජනතාවගේ විශ්වාසය සුරැකෙන පරිදි කටයුතු කිරීමට නම් යම්තාක් දුරකට නම්‍යශීලී වීමට පාලකයෙකුට සිදුවේ. අවස්ථාවෝචිතව ක්‍රියා කිරීමට තරම් ඔහු ඥානවන්ත විය යුතුය. කුමාරයා ගුණවත් පුද්ගලයෙකු ලෙස පෙනී සිටින විට, පුරවැසියන් කුමරුගේ අණට පටහැනි නොවනු ඇත. ඒ සඳහා පාලකයා කපටි හා බුද්ධිමත් විය යුතුය, එනම් තමා යහපත් යැයි මවා පෑමට දක්ෂ විය යුතුය. පාලකයෙක් සත්‍යය වශයෙන්ම ආගමික නොවිය යුතු අතර දැහැමි යැයි පෙන්වීම පමණක් ප්‍රමාණවත් බව දක්වා ඇත.

කෙසේ වෙතත් වර්තමානයේ පවා මැකියාවලිගේ යෝජනාවන් ක්‍රියාවට නංවන ජනතා නියෝජිතයන් සිටින බව රහසක් නොවේ. ජනතාවගේ ආගමික වාර්ගික සංස්කෘතික සහ ආචාර ධර්මීය පිළිගැනීම් තම දේශපාලන න්‍යාය පත්‍රයන් වෙනුවෙන් භාවිතා කරන පාලකයන් ලොව පුරා දක්නට ලැබේ. මැකියාවෙලි පාලිතයන් පිළිබදව මනා අවබෝධයකින් යුතුව කුමාරයා කෘතිය රචනා කර ඇති බව පෙනේ. එපමණක් නොව මානව චිත්ත සන්තානයේ ක්‍රියාකාරිත්වය පිළිබඳව ද ඔහුට මනා අවබෝධයක් පැවති බව කුමාරයා කෘතිය විමර්ශනය කිරීමෙන් පැහැදිලි වේ. මැකියාවෙලි දක්වා ඇති ආකාරයට කුමාරයා නැතහොත් පාලකයා සිටිය යුත්තේ ව්‍යාජ ප්‍රතිරූපයක් ජනතාව ඉදිරියේ මවා ගෙන ය. ව්‍යාජ ප්‍රතිරූපය පාලකයාගේ බලය සුරක්ෂිත කිරීමටත්, පාලකයාගේ සැබෑ ගති ලක්ෂණ පුරවැසියන්ගෙන් සැඟවීමටත්, ඒ තුළින් පුරවැසියන් තුළ පාලකයා පිළිබඳව ගොඩනැගෙන විශ්වාසය හරහා තවදුරටත් පාලකයාගේ බලය ව්‍යාප්ත කිරීමටත් හැකියාව ලැබේ. දේශපාලන මූල ධර්මයක් වශයෙන් සහ පාලන බලය ලබාගැනීමේ මාර්ගයක් ලෙස මැකියාවෙලිගේ දේශපාලන න්‍යායන් භාවිතා කිරීම කොතෙක් දුරට සදාචාර සම්පන්නද යන්න ගැටලු සහිත වන්නේ කුමාරයා කෘතියේ එන විනිශ්චයන් සදාචාර විනිශ්චයන් ගෙන් විනිර්මුක්ත කර ඇති නිසාය. නමුත් මැකියාවලි ට අනුව බලය ලබා ගැනීමට නම් සහ පුරවැසියාගේ අඛණ්ඩ විශ්වාසය දිනා දිනා ගැනීමට නම් පාලකයෙකුට සදාචාර විනිශ්චයන් ගෙන් බැහැරවීමට අනිවාර්යයෙන්ම සිදුවේ. ව්‍යාජ ප්‍රතිරූපයක් මවා ගන්නා පාලකයා ජනතාව ඉදිරියේ සදාචාරාත්මක මූලධර්ම වලට යටත්ව හැසිරීමෙන් පුරවැසියන්ගේ අඛණ්ඩ සහයෝගය නියත වශයෙන්ම පාලකයාට ලැබෙනු ඇත. එවිට දේශපාලනමය වශයෙන් සාර්ථක පාලකයෙකු බවට පත්වීමට මැකියාවෙලිගේ කුමාරයා ට හැකියාව ලැබෙනු ඇත. පුරවැසියන්ගේ සහයෝගය ඇති එවැනි කුමාරයෙකු සිටින රාජ්‍යයකට පහර දීමට අනෙක් පාලකයින් පවා බිය වනු ඇත. පාලකයාගේ චරිතය හුදෙක් මවාගත් චරිතයක් බව කිසිදු පුද්ගලයෙකු නොදැන සිටින තෙක් පාලකයාගේ පාලනය සුරක්ෂිත වන අතර එලෙස මවාගත් චරිතය තවදුරටත් රැකගැනීමට පාලකයා දක්ෂ විය යුතුය.

මක්නිසාදයත්, සදාචාරාත්මක වීම බලය ලබා ගැනීමට කිසිදු උපකාරයක් නොවන අතර එය කුමරුගේ බලය තවදුරටත් ව්‍යාප්ත නොකරන බැවිනි. මැකියාවෙලි පවසන පරිදි තණ්හාව යනු කුමරු සමඟ පැවතිය යුතු ගුණාංගයකි. වෙනත් වචන වලින් කිවහොත්, විශ්වාසවන්තභාවය පාලකයන් විසින් භාවිතා නොකළ යුතුය. විශ්වාසනීය වීම බලය ලබා ගැනීමට, බලය ව්‍යාප්ත කිරීමට හෝ බලය රඳවා තබා ගැනීමට උපකාරී නොවීම එයට හේතුවයි. එනිසා පාලකයාට එක් අවස්ථාවකදී හිවලෙකු හා තවත් අවස්ථාවකදී සිංහයෙකු ලෙස කටයුතු කිරීමට සිදු වන බව ඔහු පෙන්වා දෙයි. උගුල් හදුනා ගැනීම සඳහා කපටි ලෙස හැසිරීමේ ගුණාංගය සහ වෘකයන්ට එරෙහිව ආරක්ෂා වීමට තරම් ශක්තිමත් වීම දේශපාලන ක්ෂේත්‍රයට පිවිසීමේදී පැවතිය යුතු අනිවාර්ය ලක්ෂණයක් බව ඔහු පවසයි. මැකියාවෙලි අවධාරණය කර ඇත්තේ මේ ලෝකයේ බහුතරයක් ඔවුන්ගේ චරිතය තුළ සදාචාරාත්මක නොවන සහ අයහපත් බවයි. එබැවින් බහුතරය සදාචාරාත්මක නොවන විට සදාචාරාත්මක චරිතයක් වීම නිෂ්ඵල ය. ඔහුට අනුව, කුමාරයෙකු සදාචාර සම්පන්න නොවිය යුතු ආකාරය පමණක් දැන ගැනීමෙන් බලවත් පාලකයෙකු බවට පත් විය හැකිය.

එපමණක් නොව, කුමාරයෙකු යම් වැරැද්දක් කර ඇති විට, එම වැරදි ක්‍රියාව පිළිගැනීම, පුරවැසියන් අතර කුමරු කෙරෙහි අවිශ්වාසයක් ඇති කරන බව මැකියාවෙලි සඳහන් කරයි. එම වැරදි ක්‍රියාවෙහි වගකීම වෙනත් පුද්ගලයෙකුට පැවරීම්ක් ඒ සඳහා ගත්හැකි සුදුසුම පියවර ලෙස ඔහු තවදුරටත් සඳහන් කරයි.

තමාගේ දුන්නෙහි ශක්තිය ගැන අදහසක් ඇති හා දුරින් පිහිටි විශේෂිත ස්ථානයක් ඉලක්ක කරගත් බුද්ධිමත් දුනුවායෙකු ලෙස කුමාරයා ක්‍රියා කළ යුතු බව මැකියාවලි ප්‍රකාශ කර තිබේ. අවසාන වශයෙන්, මැකියාවෙලිගේ කුමාරයා කෘතිය දේශපාලනයේ ප්‍රායෝගික අංශය අවධාරණය කර ඇති බව ප්‍රකාශ කළ හැකිය.

මෙය බටහිර සාහිත්‍යයේ පළ වූ වඩාත්ම බලගතු සහ ආන්දෝලනාත්මක ග්‍රන්ථවලින් එකකි. දේශපාලන අධිකාරිය රැකගැනීමේ මාධ්‍යයන් කෙතරම් දුරාචාරමය වුවත් අවසානය සාධාරණීකරණය කරන බවට ප්‍රසිද්ධ ලෙස තර්ක කරන “කුමාරයා“ ලියා ඇත්තේ උපහාසයක් ලෙස ද එසේත් නැතිනම් බ්‍රිතාන්‍ය දාර්ශනිකයෙකු සහ නොබෙල් ත්‍යාගලාභී බර්ට්‍රන්ඩ් රසල් වරක් පැවසූ පරිදි “මැරයන් සඳහා අත්පොතක් ලෙස“ ද යන්න පිළිබඳව විචාරකයන් දිගු කලක් පුරා විවාදයට ගෙන ඇත. මැකියාවෙලි විසින් ඉදිරිපත් කරන ලද කරුණු අතර: නායකයින් සැමවිටම ඔවුන්ගේ සැබෑ අභිප්‍රායන් වසන් කළ යුතු බව, නොගැලපීම වළක්වා ගත යුතු බව, සහ “රාජ්‍යය ආරක්ෂා කර ගැනීම සඳහා දයාවට, ඇදහිල්ලට, මනුෂ්‍යත්වයට, අවංකකමට, ආගමට එරෙහිව” නිතරම ක්‍රියා කළ යුතු බව දක්වා ඇත.

දේශපාලනයේ නිරතවන පුද්ගලයන්ගේ ක්‍රියාකලාපයන් වටහා ගනු වස් මැකියාවෙලි ඉදිරිපත් කළ අදහස් කිහිපයක් පහතින් සාරාංශගත කර ඇත.

-තමන්ගේ නොවන රාජ්‍යයක් පාලනය කරන කුමාරයෙකු තමාට වඩා අඩු බලයක් ඇති අසල්වැසි දුර්වල රාජ්‍යවල කුමාරවරුන් ආරක්ෂා කළ යුතුය.

-එමෙන්ම තමන්ට වඩා බලගතු අසල්වැසි රාජ්‍ය දුර්වල කිරීම සඳහා කළ හැකි සෑම දෙයක්ම කළ යුතු ය.

-කිසියම් ප්‍රමාණයක කුරිරුකම් සිදුවුණි නම් ඒවාට මුල් වූයේ තමා නොව තම නිලධරයන්ගේදළදඬුකම් බව ජනතාවට ඒත්තු ගැන්විය යුතුය.

-සහෝදර රට වැසියන් මරා දැමීම, හිතමිතුරන් පාවාදීම, ඇදහීමෙන්, දයානුකම්පාවෙන් හා ආගමෙන් තොර වීම යනාදිය දක්ෂතා හෝ නිපුණතා වශයෙන් දැක්විය හැකි නොවේ.

-යථා තත්ත්වය විවෘතව කතා කරන්නන්ට එරෙහිව නිසි පියවර ගැනීමෙන් තමා තමාගේ ආරක්ෂාව සලසා ගැනීම කළ යුතුය.

-කෙනෙකුගේ දේපල පැහැරගැනීමට කුමාරයෙකුට අවශ්‍යනම් ඒ සඳහා සොයාගත හැකි හේතු හිඟ නැත.

වර්තමානයේ පාලකයන්ගේ ක්‍රියාකලාපයන් මැකියාවෙලිගේ ඉගැන්වීම් හා සමගාමී වන ආකාරය මෙම සාරාංශයෙන් පැහැදිලි වනු නොඅනුමානයි. මෙය සරල ආකාරයට, නමුත් බොහෝ කම්පන සහගත කරුණු ප්‍රකාශ කරන ග්‍රන්ථයකි. ඔබ කෙනෙකුට තුවාල කරන විට, ඔහුට පළිගැනීමට නොහැකි වන පරිදි එය කරන්න ලෙසත්, සතුරෙකු වගා කරන්න එවිට ඔබට අන් අයව ප්‍රසිද්ධියේ පෙළා දැමීමෙන් බිය ගැන්වීමට හැකි බවත්, ඔබට අයිති නැති ප්‍රදේශ යටත් කර ගැනීම ස්වභාවික සහ සාමාන්‍ය දෙයක් වන බවත් එහි දැක්වේ. “කුමාරයා“ කරන සෑම අපරාධයක්ම කිරීමට සහ තවත් දේ කිරීමට මිනිසුන්ට පෙළඹවීමක් අවශ්‍ය නොවේ. ඒ වෙනුවට පොතේ බලපෑම තුළ සිදුව ඇත්තේ පසුගිය වසර 500 පුරා අසංඛ්‍යාත පාඨකයන්ට, හැකි උපරිමයෙන්, දේශපාලනය සහ සදාචාරය පිළිබඳ වඩාත් වැදගත් ප්‍රශ්නවලට මුහුණ දීමට සූදානම් කිරීම ය. පාලකයෙකුගේ හැසිරීම පෙර වටහාගෙන නොරැවටී සිටීමට එය පාලිතයන්ව යොමු කරවයි.

මැකියාවෙලිගේ මෙම අදහස්වලින් දේශපාලනඥයින්ගේ ක්‍රියාකලාපයන් මැන බැලීමේ හැකියාව ජනතාවට තිබේ. ලෝකයේ සමකාලීන දේශපාලනය දෙස බලන විට, මැකියාවෙලි කුමාරයෙකුට මඟ පෙන්වූ ආකාරය ප්‍රායෝගික වශයෙන් භාවිතා කරන දේශපාලනඥයන්ගේ/ පාලකයින්ගේ චරිත දැකිය හැකිය. කෙසේ වෙතත්, ඕනෑම දේශපාලන සන්දර්භයකට අවශ්‍ය වන්නේ මැකියාවෙලි ප්‍රකාශ කළ අර්ථයෙන් දේශපාලන සහ සදාචාරාත්මක ස්වභාවය එකිනෙකින් වියුක්ත වූ ස්වභාවයෙන් පාලකයෙකු නොවේ. සත්‍යයෙන් වියුක්ත වූ සැඟවුණු න්‍යාය පත්‍ර, අසත්‍ය ප්‍රකාශන ආදි සදාචාරාත්මක නොවන දෑ දේශපාලන විනිර්මුක්ත වූ දිනට පාලකයන් සහ පාලිතයන් එක් රේබාවකට එනු නිසැකය. දේශපාලනඥයන් වගකිව යුතු, සදාචාරාත්මක, කිසිවක් ආපසු බලාපොරොත්තු නොවී රාජකාරිය වෙනුවෙන් රාජකාරිය කරන්නේ නම්, ජනතාවගේ අභිමතය පරිදි ක්‍රියාකර සදාචාරාත්මක පසුබිමක් තුළ ඔවුන්ගේ බලය ව්‍යාප්ත කරන්නේ නම් එය වඩාත් ඵලදායී වනු ඇත.

ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය

1. Roberto Ridolfi, The Life of Niccolò Machiavelli, trans. C. Grayson (Chicago: University of Chicago Press, 1963), 133–38; Sebastian de Grazia, Machiavelli in Hell (Princeton, N.J.: Princeton University Press, 1989), 32–40; C. H. Clough, Machiavelli Researches (Naples: Publicazioni della Sezione romanza dell’Istituto universitario orientale, 1967), 33.

2. John H. Langbein, Torture and the Law of Proof (Chicago: University of Chicago Press, 1977).

3. E.g., Vettori to Machiavelli, 23 November 1513; Machiavelli to Vettori, 19 December 1513; Francesco Guicciardini to Machiavelli, 17 May 1521: Niccolò Machiavelli, Lettere, ed. F. Gaeta (Milan: Feltrinelli, 1961) [Opere, vol. 6], 298, 308–9, 401–2.

4. Elizabeth L. Eisenstein, The Printing Revolution in Early Modern Europe (Cambridge: Cambridge University Press, 1983).

ඔබගේ අදහස් අපට එවන්න.