රූප, බලය හා මිත්‍යාව

(ජේ.ප්‍රැන්සිස් ඩේවිස් ‘ The Media V alues’ නම් ග්‍රන්ථයට ලියූ ලිපියක් ඇසුරෙනි)

2022 සැප්තැම්බර් 22

‘රූප’ (Images) යන්න අපි සෑම තැනකදීම දකිමු. දැන්වීම් පුවරු, සඟරා, පුවත්වල පමණක් නොව බස් රථවල ද ඒවා ඇත. ඒවා තැපෑලෙන් ද අප වෙත ලැබේ. සිනමාව, රූපවාහිනිය හා අන්තර්ජාලය හරහා ද ඒවා නිකුත්වේ.

ඉරිදා පුවත්පත්වල පලවන සුසිනිඳු වස්ත්‍රාභරණවලින් සැරසුනු ගැහැනුන් මෙන්ම රැවුලබාන උපකරණ හා වැකුම් ක්ලීනර් යන්ත්‍රවල රූප ද අපි සාලයේ සෝපාව මත හිඳගෙන නරඹමු. කෘතීම ආලෝකයෙන් එළිය වුණු දැවැන්ත ක්‍රීඩාගාරවල පැවැත්වෙන තරඟ, බටහිර චිත්‍රපටවල එන වෙඩි තැබීම් හා මිනිස් ඝාතන ද ඒ හරහා අපි දකිමු.

‘රූප ’ නම් වූ ඒවා කොතරම් බලවත් ද යත් ඒවා නොබලා සිටීමට පවා හැකියාවක් අපට නැත. ඒවා අතිශයින්ම චිත්තාකර්ෂණීය වේ. ‘රූප’ හේතුකොටගෙන මානව වර්ගයාගේ සමාජ සන්නිවේදනය ද විප්ලවීය වෙනසකට භාජනය වී ඇත.

මේවන විට වාචික හා ලිඛිත සන්නිවේදනයන් ප්‍රබල පසුබෑමකට ලක්වී ඇත. එයට හේතුව රූප සන්නිවේදනය පෙරමුණට පැමිණ තිබීමයි.

වත්මන් මානව සන්නිවේදන කාර්යය කිසියම් නිශ්චිත ක්‍රමවේද ත්‍රිත්වයක් හරහා ගොඩනැඟුණකි. ඒවා නම් කටවචනය, ලේඛන පදනම් වූ ක්‍රම හා රූප කේන්ද්‍රීය සන්නිවේදනය යන්නයි.

අතීතයේ දී මිනිසා අදහස් උදහස් හුවමාරු කරගත්තේ කටවචනය හරහායි. පසුව ලිඛිත භාෂාව හරහා එය සිදු වුවද එය භාෂාව හැදෑරූ කිසියම් සුවිශේෂී පන්තියකට පමණක් සීමා විය. මුද්‍රණ ශිල්පය බිහිවීමත් සමඟම ලිඛිත සන්නිවේදනය පුළුල් ප්‍රජාවක් කරා පැතිරී ගියේය.

එලිසබත් අයිසන්ස්ටයින් සිය ‘The Printing Press As an Agent Of Change’ නම් ග්‍රන්ථයේ මෙකී විප්ලවීය වෙනස පැහැදිලි කිරීම සඳහා 1453 උපන් කොන්ස්තන්තිනෝපල් හි ජනයාගේ පුරාවෘතය කිසියම් නාටකීය ස්වරූපයකින් ඉදිරිපත් කරයි. තුර්කිවරුනට, බයිසැන්ටන් අගනගරය යටත්වූයේ එකී වසරේ දීයි.

‘ එම වසරේ උපන් මිනිසුන් සිය ජීවිතකාලය තුළ වැඩිම පොත් සංඛ්‍යාවක් නිකුත්වන අයුරු නිරීක්ෂණය කරන්නට ඇත. එම ප්‍රමාණය එයට වසර දහසකට පෙර සමස්ත කොන්ස්තන්තිනෝපලයේ අතින් ලියූ පොත් සංඛ්‍යාවට වඩා මිලියන අටකට වැඩි ප්‍රමාණයකි. පුනරුදය, ප්‍රොතෙස්තානු ප්‍රතිසංස්කරණ හා බටහිර විද්‍යාව යනාදිය එකී විප්ලවය වේගවත් කළ අනෙකුත් කරුණු කාරනා වේ’

මේ හා සමාන විප්ලවීය වෙනසක් මෙයට වසර 150කට ප්‍රථම සිදුවිය. එය නම් ඡායාරූප ශිල්පය බිහිවීමයි. එහිදී ප්‍රථම වතාවට අවකාශයේ ඇති වස්තූන්ගේ ජීවමාන රූප විශාල පරිමාණයෙන් ප්‍රතිනිර්මානය වීම ඇරඹිණ. රූප සන්නිවේදනය (image communication) බිහිවූයේ ඒ අනුවයි. ඇමෙරිකානු සමාජය තුළ සමාජ වටිනාකම් (social values) ස්ථාපිත කිරීමේ ලා මූලික ස්ථානය හිමිකරගැනීමට එයට ගතවූයේ වසර 50 කටත් වඩා අඩු කාලයකි. ප්‍රචාරක කර්මාන්තය මෙකී වෙනස ඇතිකිරීමට මුල්විය. යම් යම් භාණ්ඩ හා නිෂ්පාදන අලෙවි කරගැනීමේ ලා කටවචනය හා ලිඛිත භාෂාව හරහා කෙරෙන ‘කතන්දර කීම’ ට වඩා රූප භාවිතය වඩාත් නිර්මාණශීලී හා කාර්යක්ෂම වූවක් බැව් එහිදී අවබෝධකර ගැනිණ.

රූපවාහිනියේ සම්ප්‍රාප්තියත් සමඟින් රූප සන්නිවේදන ක්‍රියාදාමය උච්චස්ථානයකට පැමිණියේය. එක්තරා ආකාරයකින් රූපවාහිනිය, වාචික සන්නිවේදනය නම් වූ හෝරා යන්ත්‍රය ආපසු කරකැවීමක් වැන්නක් සිදු කළේය. ඇත්තවශයෙන්ම රූපවාහිනිය කතන්දර කියද්දී අප එයට ඇස් හා කන් යොමා සිටින්නේ හරියටම අපගේ මුතුන් මිත්තන් ගිනිමැලයක් වටා හිදිමින් කතන්දර අසා සිටියාක් මෙනි. එහෙත් රූපවාහිනිය ගෙන එන වඩා වැදගත් කථා බොහොමයක් කටවචනයෙන් නොව රූප අතර සඟවා ගෙන මිත්‍යාවන් වේ. ඇත්තවශයෙන්ම මෙකී මිත්‍යාවන් රූප හරහා ගොඩනඟන්නේ කටවචනය පෙරදා කළ කාර්යයට වඩා ප්‍රබල ආකාරයකිනි.

සරලව පවසන්නේ නම් රූප (images) යනු පිංතූර (pictures) ම වේ. කෙසේවෙතත් වත්මනෙහි එකී රූප සංවිධානය කිරීම හා සැලසුම් කිරීම සිදුවන්නේ ඒවා නරඹන අප තුළ නිශ්චිත භාවමය ප්‍රතික්‍රියාවක් ඇති කිරීම සඳහායි. ඒවා අපට කිසියම් වින්දනයක් ද ලබා දේ. භාවමය වශයෙන් සාන්ද්‍රණය වී ඇති රූප, මිත්‍යාව ගොඩනැඟීම නම් වූ කටයුත්ත වඩාත් හොඳින් ඉටු කරයි.

ඇමෙරිකානු ධජය ඉතා ප්‍රබල භාවමය සන්නිවේදනයක් සෑම ඇමෙරිකානුවෙක්ගේ ම සිත තුළ ඇති කරයි. එකී ධජයේ රූපකය විසින් එතුළ සැඟවී ඇති බොහෝ මිත්‍යාවන් හෙළි කරයි. එයාකාරයෙන්ම වෙළඳ ප්‍රචාරක දැන්වීමක ඇතුළත්, ඉතා ප්‍රවේසමෙන් තෝරා බේරාගත් රූපක හරහා ද අපගේ ඇතුළු හදවතට බලපෑම් කිරීමට වෙළඳ ප්‍රචාරණ ශිල්පීන් උත්සාහ ගනී. අද දවසේ මෙවැනි රූපක හරහා නව අරුත් හා නව විශ්වාසයන් අපගේ ඇතුලතාන්තය වෙත විසරණය වීමක් සිදුව ඇත.

සම්ප්‍රදායිකව මිත්‍යාවන් යනුවෙන් හැඳින්වෙන්නේ කිසියම් සංස්කෘතියක හා ජන සමාජයක පවතින්නාවූ පාරම්පරික විශ්වාසයන්ය. ඇතැම්විට එහිදී විවිධාකාරයේ වීරයින් පිළිබඳව තොරතුරු අප වෙත ගෙන එයි. මිනිසුන් සූර්ය වන්දනාවේ යෙදීම පිළිබඳව හෝ වැඩිහිටියන්ට ගරු කළ යුත්තේ ඇයි වැනිදෑ එහිදී පැහැදිලි කෙරේ. එහි දී බොහෝවිට සිදුවන්නේ ‘මිත්‍යා විශ්වාස’ ව්‍යාජ, අන්ධ පිළිගැනීම් සේ සැලකීමට ඇති ඉඩකඩ සීමාවීමයි. ඒ අනුව එමඟින් කිසියම් ජන සමාජයක පසුගාමී සංස්කෘතිමය භාවිතාවන් තවදුරටත් ඉදිරියට ගෙනයයි.

රූප සංස්කෘතියේ (image culture) ඇතුලත් මිත්‍යාවන් හදුනාගැනීමේ ප්‍රධානතම යතුර වන්නේ ඒවා දීර්ඝ කාලයක් පුරා රූප රටාවන් (patterns of images) ලෙස ඉදිරිපත්වීම සලකා බැලීමයි. ඒවා වෙළඳ ප්‍රචාරක කටයුතු, විනෝදාශ්වාද වැඩ සටහන් හා ප්‍රවෘත්ති වැනි විවිධ මූලාශ්‍රයන් ඔස්සේ පැමිණෙන රූපාවලීන් වේ.

වෙනත් ආකාරයකට පවසන්නේ නම් රූප කියවීම තල දෙකක දී සිදුවිය යුතුවේ. පළමුව යටකී භාවාත්මක තලයේ දී කරන්නාවූ කියවීම සැලකිය හැක. නිදසුනක් ලෙස ‘ජාතික ධජය’ යන්න අප සිත්තුළ එවැනි භාවාත්මක තලයේ කෙරෙන කියවීමකට මඟ හෙළිකරයි. එසේම නිරුවත් ශරීරයක රූපයක් දකිද්දී අප සිදුකරන්නේ ද එවැන්නකි.

අනෙක් තලයේ දී අපට රූපයක් කියවීමට එකී රූපයෙන් මඳක් ඈත්ව එය තවත් සිය ගණනක් වූ අනෙකුත් රූප සමඟ පුළුල් සංදර්භයක තබා නිරීක්ෂණය කිරීමට සිදුවේ. ඒවායේ සැඟවුණු අරුත් අපට වටහා ගැනීමට හැකිවන්නේ එවිටයි. නොඑසේ නම් යටකී භාවමය කියවීම හරහා ඒවායේ පුළුල් අරුත් සැඟවී යාමට කොතෙකුත් ඉඩකඩ ඇත. අද අපවෙත ගලා එන දහස් ගණනක් වූ රූප අතර ඇති එවැනි යටි අරුත් පැහැදිලි ලෙස හඳුනාගත් විට ඒවා වටහාගැනීමේ අපහසුවක් ඇති නොවේ.

රූප හරහා නිතර අප වෙත ගෙන එන පළමු මිත්‍යාව වන්නේ මේ ලෝකය ජීවත්වීමට අතිශයින් දුෂ්කර, බිහිසුණු ස්ථානයක් වන බවත්, එහිදී අපව ආරක්ෂා කිරීමට තුවක්කු, පොලීසිය හා හමුදාව අවශ්‍යය වන බවටත් පතුරුවා ඇති මතවාදයයි.

මේ අනුව බහුතරයක් මාධ්‍ය ආයතන ‘පොලිස් කථා’ මෙන්ම ‘Terminator 2’ වැනි චිත්‍රපට හා නාටක නිෂ්පාදනය කිරීම පිළිබඳව නිරතුරුවම සිය අවධානය යොමුකරමින් සිටිනු පෙනේ.

එහෙත් අප ජීවත්වන ලෝකය බිහිසුණු තැනක් බැව් කියැවෙන වඩාත් ප්‍රබල රූපාවලීන් ගෙන එන්නේ ප්‍රවෘත්ති හරහායි. පුවත් පත් හා රූපවාහිනී නාලිකා මේවා වැඩි වැඩියෙන් ප්‍රචාරය කරන්නේ ඒවා වඩා පහසුවෙන් අලෙවි කරගැනීමට හැකිවීම හරහා සිය නාලිකා හා පුවත්පත් වලට ලැබෙන ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර (ratings) අපේක්ෂාවෙනි. ප්‍රවෘත්ති යනු සැබෑවක් (real) යැයි විශ්වාස කිරීම හරහා ලෝකය පිළිබඳ දැනෙන එකී භීතිය දෙගුණ තෙගුණ වීමක් සිදුවේ.

දෙවැනි මිත්‍යාව වන්නේ මේ සඳහා විසඳුම් සෙවීමේ කාර්යය සුදු ජාතිකයින්ට භාරදිිය යුතුය යන්නයි. මෙවැනි සිදුවීම් වාර්තා කිරීම හරහා බලය ඇත්තේ කවරෙකුටදැයි යන්න තහවුරු කෙරේ.

ඇමෙරිකානු ප්‍රවෘත්ති නාලිකාවල මෙකී පුවත් ඉදිරිපත් කරන නිවේදකයින් බහුතරයක් මැදිවයසේ සුදු ජාතිකයෝ වෙති. පෙරටුගාමී නිදහස් මාධ්‍ය ව්‍යාපාරයක් වන ‘Fairness and Accuracy Reporting’ හෙවත් FAIR හි අධ්‍යයනයන්ට අනුව රූපවාහිනියේ රාත්‍රී සම්මුඛ සාකච්ඡා වැඩසටහන් සඳහා සහාභාගී වන අමුත්තන් අතර දහයකට නවයක් සිටින්නේ සුදු ජාතිකයින් බැව් හෙළිවිය. එහිදී කාන්තාවන්ගේ සහභාගීත්වයක් ඇත්තේම නැතිතරම් බැව් එකී අධ්‍යයනය පෙන්වා දෙයි. වෙළඳ ප්‍රචාරණය හා ජාතික පුවත් විකාශයන් හරහා ද මෙකී බලකේන්ද්‍රීය ව්‍යුහය ස්ථාපිත වී ඇත.

නිදසුනක් ලෙස ‘Shivas Regal’ වැනි විස්කි වර්ගයක වෙළඳ ප්‍රචාරක පටයක දී සම්පූර්ණ යුරෝපීය ඇඳුමින් සැරසුණු සාර්ථක ව්‍යාපාරිකයින් පිළිබිඹුවන අතර කාන්තාවන් හුදු මුළුතැන්ගෙයි විශේෂඥයින් සේ පමණක් විදහා දැක්වේ. බොහෝ මාධ්‍ය රූපක (media images) එයාකාර ස්ථාපිත සම්මතයන් මෙන්ම ලිංගිකත්වය හා ජාතිකත්ව මුහුණුවරක් ද පෙන්නුම්කරන බැව් පැහැදිලි වේ.

තුන්වන මිත්‍යාව වන්නේ මුදල් හදල් යහමින් යොදමින් දේවල් තමන් සතුකරගැනීම හරහා ජීවිතය සාර්ථක කරගතහැකි බවට ගෙන එන විශ්වාසයයි.

සාර්ථක ජීවිතයක් යන්න හා සමඟ ධන බලය අත්‍යයන්තයෙන් බැඳී පවතී යැයි යන්න අප නිරතුරුවම දකින රූප විශේෂයෙන්ම වෙළඳ දැන්වීම් හරහා ප්‍රකාශ වේ. දැවැන්ත නිවාස, සංචාරක නැව්, ඉහළ පෙලේ රටබීම, රාත්‍රී භෝජන සංග්‍රහයන් , රන් රිදී මුතු මැණික්, දිදුලන වස්ත්‍රාභරණවලින් සැරසුණු ගැහැනුන්, මුහුදු වෙරළට මුහුණලා පැවැත්වෙන ප්‍රිය සම්භාෂණ, බර්මියුඩාහි නිවාඩු සංචාර, බෝට්ටු සවාරි, බී එම් ඩබ්ලිව් වාහන හා විසිතුරු මුළුතැන් ගෙවල් යනාදී වශයෙන් එකී ලැයිස්තුවේ කෙලවරක් නොපෙනේ. මේ සියල්ල සුඛෝපබෝගී ජීවිතය සංකේතවත් කරයි. එහෙත් එය එසේ වන්නේ ඒවාට වියපැහැදම් කිරීමට අපට ඇතිතරම් ධනබලය ඇත්තේ නම් පමණි.

හතරවන මිත්‍යාව වන්නේ සතුට, වින්දනය හා ලිංගික ආකර්ෂණය (sex appeal) යන්න මුදලට ලබාගතහැකිය යන්නයි.අහා! අප කෙතරම් ධනවත් වුවද ජීවිතයේ කිසිම් දේක අඩුවක් ඇතැයි අපට හැඟේ. අප කැමති ගැහැනිය හෝ මිනිසා අප සතුකරගැනීමට අපට නොහැකිවී ඇත.

ජීවිතයේ වැඩිපුර කාලයක් අප ගතකරන්නේ ගෙදර දොරේ වැඩකටයුතු වල යෙදෙමිනි. එය කෙතරම් නීරස ජීවිතයක්ද? එහෙත් මෙකී රූප මාලාවන් හරහා අපට දනවන්නේ සතුට අප ලඟ ලඟ ම ඇති බවකි. මේවා වැඩිවශයෙන්ම වෙළඳ දැන්වීම් ප්‍රචාරක රූපකයි. නිදසුනක් ලෙස ‘Hope’ සුවඳ විලවුන් ‘Joy’ පිඟන් සෝදන කුඩු, නැතිනම් නවතම ‘ටොයෝටා’ මෝටර් රථය පිළිබඳ වෙළඳ ප්‍රචාරණ දැන්වීම් සඳහන් කළ හැකියි. මෙකී දැන්වීම්වල පෙනී සිටින්නන් ඉමහත්වූ සතුටකින් සිටිනු පෙනේ. ඔවුහු පිරිවරාගෙන සිටින්නේ ආදරවන්තයින්ය. ඔවුන් අහසේ පියාසර කරන්නට සැරසෙන්නාක් මෙනි. බොහෝවිට එවන් සතුටක් ලඟාකර දෙන්නේ යන්ත්‍ර සූත්‍ර හා නවීන තාක්ෂණයයි. සතුටින් සිටීමට නම් එකී තාක්ෂණය මිලට ගත යුතුවේ.

පස්වැනි මිත්‍යාව වන්නේ ඔබට ඇත්තේ ආකර්ෂණීය නොවන ශරීරයක්ය යන්නයි.

මාධ්‍ය තුළ හා වෙළඳ ප්‍රචාරණයේ දී අපට දැකගැනීමට ලැබෙන ගැහැනුන,් සිහින් සිරුරැති රූමතියන් වේ. පිරිමින් මනා මස්පිඬු සහිත කඩවසම් අය වෙති. අනෙක් අතින් අප වැනි අය ස්ථූල ශරීර සහිත කිසිදු හැඩයක් නැති, දුඟඳ හමන ශරීර ඇත්තෝ වෙමු. මේ පිළිබඳ අපගේ මිතුරු මිතුරියන් නිතර සඳහන් නොකරනවා විය හැකියි. එවැනි දේ හිතමිත්‍රාදීන්ට සෘජුව පැවසීම සුදුසු නොවන්නේ එවැනි විවේචන හිත් රිදවීමට හේතුවන නිසයි. එහෙත් මාධ්‍ය හරහා මෙවැනි අංග සම්පූර්ණ ගැහැනුන් හා මිනිසුන් නිරතුරුවම දැකීමට ලැබීම අපගේ සිත් තුළ කිසියම් කම්පනයක් ඇතිකරයි. ඒවායේ පෙනී සිටින අයවළුන් ඒ සඳහා විශේෂයෙන් ම වේශනිරූපණය කර ඇති බව කිසිවෙකුත් අපට නොකියති. ඒ අනුව අපට හැඟීයන්නේ එකී කාන්තාවන් සුරදූතිකාවන් පිරිසක් ලෙසයි. ඔවුනගේ දෙකකුල් සුන්දර පෙනුමෙන් යුක්තය. දෑස් නිල්පැහැයෙන් දිදුලයි. මුහුණේ කිසිදු ලප කැලැලක් දැකිය හැකි නොවේ.

හයවන මිත්‍යාව වන්නේ වෙළඳ ව්‍යාපාර හා සංස්ථා වැනි ආයතන මහජනයාගේ සුභසිද්ධිය තකා නිරතුරුවම කටයුතුකරමින් සිටී යන්නයි.

බොහෝවිට වෙළඳ ප්‍රචාරණය හා ප්‍රවෘත්ති හරහා ව්‍යාපාර පිළිබඳව නිශේධාත්මක කරුණු කාරණා හෙළිදරව් කෙරෙන්නේ ඉතා සීමිතවයි. මින් අදහස් වන්නේ ඒ ආයතන බොහොමයක් හොඳ බව නොවේ. එහෙත් මෙකී ආයතන සිය ප්‍රතිරූපය ඉහළ දමාගැනීම සඳහා සිය ධනය යොදවමින් ප්‍රචාරණය හා ප්‍රවෘත්ති මාධ්‍යය මෙහෙයවනු ලබන බව කිසිවෙකුත් නොදනී. මේ අනුව ඒ පිළිබඳව අපට දැනගැනීමට ඇත්තේ ධනාත්මක කරුණු කාරනා පමණක් වීම පුදුමයක් නොවේ.

ඇතැම් ව්‍යාපාර සම්පූර්ණ පිටු පිරවූ දැන්වීම් මඟින් තමන් පරිසරය පිළිබඳව දැඩි අවධානයකින් සිටින බව පවසති. එසේම ඉන්ධන භාවිතය නිසා වන පරිසර දූෂණය අවම කිරීමට නව රසායනික සංයෝගයන් යොදාගන්නා බව ද සපථ කරයි.ඒ අතර මොවුන් වයස අවුරුදු 18 ට අඩු අයට දුම්බීම නුසුදුසු බවට ද දැන්වීම් පළකරති.

මෙහි ප්‍රතිඵලය කුමක්ද?

මෙම ප්‍රශ්නය වෙනත් ආකාරයකට ඉදිරිපත් කරන්නේ නම් යටකී මිත්‍යාවන් අපට පීඩාකාරී වී ඇත්තේ ඇයිදැයි විමසිය යුතුවේ. එහිදීි පිළිතුරු මාලාවක් ලැබීමට ඉඩකඩ ඇත.

රූප සංස්කෘතිය තුළ අළෙවිවන භෞතික වස්තූන් හරහා ඇතිකොට ඇත්තේ හිස්බවකි. එබැවින් අපි බොහෝ දෙනෙකු කිසියම් අසතුටකින් පසුවෙමු. මෙකී රූපක නිර්මාණය කිරීමට යොදවන්නාවූ මුදල්, නිර්මාණ ශක්තීන් හා සම්පත් ප්‍රමාණය සලකා බැලීමේ දී එය අර්ථශූන්‍ය ක්‍රියාන්විතයක් සේ පෙනේ.

මේ අනුව රූප සංස්කෘතිය තුළ ඇත්තේ මිත්‍යාව හා අන්ධ විශ්වාසයන් බැව් පෙනේ. මෙයට ප්‍රතිවිරුද්ධ දිසාවන් වෙත අපගේ අවධානය ගෙන යන සංඥා කුලුණු කොතෙකුත් ඇත. කෙසේ වෙතත් රූප කියවීමට ඉගෙන ගැනීම නිවැරදි මාර්ගයේ යෑමට තබන ප්‍රථම පියවර සේ සැලකිය හැකියි. මාධ්‍ය සාක්ෂරතාව වැඩි දියුණු කිරීමේ පාඨමාලා හැදෑරීම හරහා රූප කියවීමට ඉගෙන ගැනීම හා ඒවා විශ්ලේෂණය කිරීම හැදෑරිය හැකිය. අද දින අපවෙත එල්ලවන දහසකුත් එකක් වූ රූප භාවිතයන්ට ප්‍රතිවිරුද්ධව අපගේ සිතැඟි යොමු කිරීමට හා වෙනත් විකල්පයන් සොයායෑමේ උත්සාහයන් වෙත යොමුවීම සාක්ෂාත්කරගැනීමට හැකිවන්නේ ඒ හරහායි. වත්මන් රූප සංස්කෘතිය විසින් ගෙන එන මිත්‍යාව ජයගැනීමටත්, දැනුවත්භාවයකින් යුතුව වත්මන් රූප සන්නිවේදන යුගය අතික්‍රමණය කිරීමටත් හැකිවනුයේ ද එයාකාරයෙනි.

ඔබගේ අදහස් අපට එවන්න.