හෙගල්ගේ ඥානවිභාගාත්මක පදනම්- දෙවන කොටස

2023 ජනවාරි 28

හෙගල්ගේ දාර්ශනික අභිලාෂය මයිකල් ඇන්ජිලෝ කලාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අදහසක් සමඟ සමපාත වේ. මයිකල් ඇන්ජිලෝට අනුව සෑම ගල්කුට්ටියක් තුළ ම අභ්‍යන්තර පිළිමයක් ඇත. මූර්ති ශිල්පියාගේ අභිලාෂය විය යුත්තේ මේ අභ්‍යන්තර පිළිමය සොයා ගැනීම ය. දාර්ශනිකයා කරන්නේ හුදෙක් මතයක් ඉදිරිපත් කිරීම නො වේ. තමා තුළ ඇති අදහසක් එළියට දැමීම නො වේ. ඔහු කරන්නේ ක්‍රමානුකූලව අභ්‍යන්තරික සත්‍යය හෙළිදරව් කිරීමකි; මූර්ති ශිල්පියා අභ්‍යන්තරික පිළිමය සොයනවා සේ පරමත්වය ක්‍රමානුකූලව හෙළිදරව් කිරීම ය. මේ හෙළිදරව් කිරීමේ දී අභ්‍යන්තරික ලෙස අපට ලැබෙන්නේ කුමන ආකාරයේ අත්දැකීමක් ද යන්න ගැන සැලකිලිමත් විය යුතු යි. හෙගල්ගේ අභිලාෂය වන්නේ යමක් ප්‍රකාශමාන වෙන ආකාරයට ම ප්‍රකාශමාන කිරීම ය. හෙගල් කෘතිය කියවීමේ දී කියවන්නා මෙම අත්දැකීමෙහි කොටස්කාරයකු විය යුතු යි. යම් පුද්ගලයෙකුට පිටස්තරයෙකු ලෙසට හෙගල්ගේ පොතට ප්‍රවේශ විය නොහැකි ය. හෙගල් ‘දැන්’ යන අත්දැකීම විස්තර කරන පොත කියවන්නා තමන් ඉදිරියේ ‘මෙතැන’, ‘දැන්’ තිබෙන වස්තුවක් පිළිබඳ අත්දැකීම විඳිය යුතු ය. මෙහි දී හෙගල් කියන්නේ ‘දැන්’ යන්න හුදෙකලා දෙයක් ලෙස කිසිවෙකු නොදැකිය යුතු බව ය. අත්දැකීමක් විඳිය හැක්කේ එම අත්දැකීමට සහභාගී වීමෙන් ය. අත්දැකීමක් යනු යම් දිග හැරීමකි (unfolding).

විඥානයේ හැඩයන් අපරිමිත ආකාරයට දිග හැරෙනවා යන්නක් අදහස් වන්නේ නැත. මේ හැඩයන් නිශ්චිත ඉලක්කයන් කරා දිග හැරේ. පරමත්වය අන්‍ය ආත්මයන් හරහා සොයා ගන්නා තෙක් මේ චලනය සිදු වේ. මේ චලනය යම් පරම ලක්ෂ්‍යයක් දක්වා සිදු වේ. ඒ මොහොතේ දී සංකල්පය හා වස්තුව අනුරූප වේ. මෙහි දී ලැබෙන පරම ඥානනය කලින් අවධිවල දී ලැබෙන්නේ නැත.

සංකල්පය හා වස්තුව අතර නොගැළපීම තිබෙන තාක් දුරට අත්දැකීම පරිවර්තනය වේ. ආත්මය සොයා යන්නේ තෘප්තිමත් සංකල්පකරණයකි. සැම විඥාන හැඩයකට ම තම වස්තුව ගැන සුවිශේෂ සංකල්පකරණයක් තිබෙන අතර ම තම ස්වීයත්වය ගැනත් සංකල්පකරණයක් ඇත. සංකල්පීයකරණය පූර්ණ වන තැනක් ඇත. එයට පරමත්වය යැයි කියනු ලැබේ. මේ පරමත්වය, ඥානනය වීමේ ක්‍රියාවලියට පරම ඥානනය යැයි කියනු ලැබේ. සමස්තය පිළිබඳ අවබෝධය, එනම් විද්‍යාව පූර්ණ අර්ථයෙන් එළියට එන්නේ පරම ඥානනය තුළ ය. මුල් අවධිවල දී පැවතුණු අනුභූතික දැනුම පරම ඥානනය වෙත එළඹීමේ දී වඩාත් ශුද්ධ සංකල්පකරණයක් දක්වා ළඟා වේ. ප්‍රපංචවිද්‍යාව තුළ හෙගල් ඉදිරියට යන්නේ විවිධ හැඩයන් විභාග කරමින් ඒ හරහා දාර්ශනික අදහස් ප්‍රසාරණය කරමිනි. මේ ප්‍රසාරණය පරිපූර්ණ වන තැනක් ඇත.

හෙගල් තමන්ගේ Encyclopeadia කෘතිය තමන්ට ආසන්න පූර්ණ දාර්ශනික ප්‍රවණතාවන් ගැන විමසුමක් කරයි. ලයිබ්නිට්ස්ගේ පූර්ව කාන්ටියානු පාරභෞතිකවාදය, ෆිෂ්ටගේ අනුභූතිවාදය, කාන්ට්ගේ අනුභූති උත්තර විඥානවාදය ගැනත් විස්තර ඉදිරිපත් වේ. එමෙන් ම පරමාත්මයේ ප්‍රපංචවිද්‍යාව කෘතියේ 803 හා 805 යන ඡේදවලත් දාර්ශනික ඉතිහාසය ගැන කෙටි විස්තරයක් ද කරයි. මේවායෙහි ප්‍රකාශයට පත් වෙන දාර්ශනික ප්‍රවර්ගයන් වඩාත් දියුණු ආකාරයට විස්තාරණය කර තිබෙන්නේ තර්ක විද්‍යාව තුළ දී ය.

ප්‍රපංචවිද්‍යාවේ සඳහන් විඥාන හැඩයන් අනුභූතික-භෞතික දේ සමඟ අන්තර් සම්බන්ධිත ය. ඒවා ශුද්ධ ප්‍රවර්ගයන් ලෙස පෙනී සිටින්නේ නැත. උදාහරණ ලෙස සංජානන විඥාන හැඩයේ දී දේවල් හා ගුණයන් ‘ලුණු සුදුපාට ය’ වැනි අනුභූතික ආකාරයට පෙනී සිටී. මෙයට ප්‍රතිවිරුද්ධ ආකාරයට විද්‍යාව ඉස්මතු වන්නේ ප්‍රපංචවිද්‍යාව කෘතියේ පරම ඥානනය කොටසේ දී ය. එහි දී ප්‍රවර්ගයන් ශුද්ධ ආකාරයට පෙනී සිටී. තර්ක විද්‍යාව කෘතියේ ප්‍රවර්ගයන් පටන් ගන්නේ ප්‍රපංචවිද්‍යාව කෘතියේ පරම ඥානනය කොටසින් පසුව ය. එහි දී ප්‍රවර්ගයන් ශුද්ධ ආකාරයට පෙනී සිටී. ක්‍රමානුකූලව ආනුභූතික ද්‍රව්‍යමය ස්වභාවයෙන් ගැලවී ආත්මය ශුද්ධ ආකාරයට පෙනී සිටීමට පටන් ගනී. මෙය දර්ශන ඉතිහාසයට යෙදුවොත් හෙගල් කියා සිටින්නේ තමන්ට කලින් සිටි දාර්ශනිකයන් සමස්තයේ හෙවත් පරමත්වයේ එක් පාර්ශ්වයක් පමණක් අනාවරණය කර ගත් බව ය. එක් දාර්ශනිකයකු සමස්තයේ අනුභූතිවාදී පාර්ශ්වය පමණක් දකිනා විට ඔහුට සමස්තයේ බුද්ධිවාදී පාර්ශ්වය ගිලිහී යයි. සොබාවික විඥානය ගත් විට එය විවිධ සීමාවන්ගෙන් යුක්ත ය. එයින් ලෝකය ඉදිරිපත් වෙන්නේ තිබෙන ආකාරයට ය. එවන් දැක්මක් අනුභූතිවාදී පටලයකින් වැසී ඇත. එහෙත් හෙගල් ඉදිරිපත් කරන විද්‍යාව මේ අනුභූතික බාධා කිරීම්වලින් ක්‍රමානුකූලව ඉවත් වේ; ඒකපාර්ශ්වීයභාවයන්ගෙන් ගැලවෙයි. ස්වාභාවික විඥානයේ දී වස්තූන් දෙස බලන්නේ ඒකපාර්ශ්වීය ආකාරයට ය. විද්‍යාව මට්ටමේ දී වස්තුව දෙස විවිධ විය හැකියාවන් ඔස්සේ බලනු ලැබේ. හෙගල් දකින ආකාරයට තමන්ගේ දර්ශනය දාර්ශනික වර්ධනයේ තවත් එක් අවධියකට වඩා දර්ශනය පරිසමාප්තියකට යාමකි. හෙගල්ට අවශ්‍ය වන්නේ සොබාවික විඥානයේ ස්වයං විඥානය දක්වා අපව මෙහෙයවීම යි. මේ විද්‍යාව එළියට එන්නේ ආගම හරහා ය. මේ නිසා ම සත්‍ය කරා යන ගමනේ දී ආගම යම් කර්තව්‍යයක් ඉටු කර ඇත. හෙගල් මේ නිසා ආගම අගයන අතර ම බුද්ධි ප්‍රබෝධය මඟින් ආගම සම්බන්ධයෙන් ගෙන ආ විවේචනය ද ඉහළින් පිළිගනී. හෙගල් දර්ශනය සලකන්නේ චින්තනයේ වර්ධනීය අවස්ථාවන් ලෙසට ය. චින්තනය වර්ධනයේ සෑම අවධියක් ම අනෙක් අයවලුන් සමඟ සම්බන්ධ වන අතර ම ඒ අවධීන් එකිනෙකා අපේක්‍ෂා කර ගනී. කලින් එන අවස්ථාවලට වඩා පසුව එන අවධීන් චින්තනමය වශයෙන් ඉහළ ය.

චින්තන අවධියක් ගත් විට ඒ සැම චින්තන අවධියක ම ඉහළට වර්ධනය වීමේ ශක්‍යතාවකින් යුක්ත ය. කාන්ට්ට අනුව ස්වාත්ම-වශයෙන්-පවත්නා-දේ අපගෙන් ස්වායත්තව පවතී. අපට එය දැන ගත නොහැකි ය. අපට දැන ගත හැක්කේ දෙයෙහි පෙනෙන ස්වරූපය පමණි. පෙනෙන දෙය යනු ප්‍රාග් ආනුභූතික ප්‍රවර්ගයන් මැදිහත් වීමෙන් ගොඩනැගුණු ක්‍ෂේත්‍රයකි. මෙහි දී හෙගල් තර්ක කරන්නේ කාන්ටියානු ඥාන විභාගය මගින් අපට පූර්ණ තෘප්තිමත්භාවයක් ලබා ගත නොහැකි බව ය. හෙගල් ‘Ding an-sich’ යන්නට කාන්ට් ලබා දුන් අර්ථය වෙනස් කරමින් ශක්‍යතාව (potential) යන නව අර්ථය ලබා දෙයි. එය වනාහි තවමත් පූර්ණ ලෙස තත්‍යතාවට (actual) පත් නොවුණු තත්ත්වය ය. ‘in-tself’ යන්න ‘for-itself’ දක්වා පත් නොවුණු තත්ත්වය යි. හෙගල් මෙහි දී ප්‍රකාශ කරන්නේ ‘in-and-for-itself’ දක්වා පරිවර්තනය වීම සඳහා ඉඩදිය යුතු බව යි. යම් ශක්‍යතාවක් තත්‍යතාවක් බවට පත් වන්නේ අනෙක් දේවල් ද සමඟ සම්බන්ධ වීමෙන් පසුව ය. යමක් අසම්බන්ධිත ව පවත්නා තාක් දුරට එයට ශක්‍යතාවක් ඇත. ඕක් ගෙඩියක් තුළ ඕක් ගසක් බිහි කිරීමේ ශක්‍යතාවක් ඇත. ඕක් ගෙඩිය ඕක් ගසක් වීමට නම් ඵය සූර්යා ලෝකය සමඟ සම්බන්ධ විය යුතුය. දෙවියන් වහන්සේ ගත්තොත් ඔහු මහත් ශක්‍යතාවක් දරා සිටිති. නමුත් මේ ශක්‍යතාව තත්‍යතාවක් බවට පත් වන්නේ මිනිසෙකු සම්බන්ධ වීමෙන් ය. දෙවියන්ට තමන් ගැන සවිඥානක විය හැක්කේ මිනිසා හරහා ය. ලෝකය නිර්මාණය කිරීමේ දෙවියන්ගේ සැලැස්මෙහි ගැඹුර පැහැදිලි වන්නේ මිනිස් මනස හරහා ය. මිනිසාගේ මනස හරහා ය දෙවියන්ගේ මනසේ ගැඹුර ප්‍රකාශ කළ හැක්කේ.

හෙගල්ගේ ප්‍රපංචවිද්‍යාව කෘතිය මඟින් කියවන්නාව පරමත්වය දක්වා නැගීම සඳහා ඉනිමඟක් සම්පාදනය වේ. කෙසේ නමුත් මේ ඉනිමඟ දිගේ නැගීම සරල කටයුත්තක් නො වේ. එය වංගු සහිත සංකීර්ණ මාවතකි (Labyrinth). හෙගල් මත් කියන ආකාරයට මේ මාර්ගය දිගේ යාම සඳහා සද් චින්තකයාට බරපතල ලෙස වෙහෙසක් දැරීමට සිදු වේ. මේ මාර්ගය දිගේ යාම සඳහා තල්ලුව ලබා දෙන්නේ ආශාව ය (desire). ප්‍රපංචවිද්‍යාවේ අරමුණු අධ්‍යාපනික එකකි (Bildungsroman). පරම ආත්මය උත්සාහ ගන්නේ දාර්ශනික විද්‍යාවක් රූපයෙන් ස්වයං-විඥානය අත්පත් කර ගැනීම ය. හෙගල්ගේ අරමුණ ස්වාභාවික විඥානයෙන් (natural consciousness) ගැලවීම ය. සොබාවික විඥානයක් යනු අධ්‍යාපනික නොවූ, ආකෘතිගත නොවූ අවවර්ධිත විඥානයකි. මේ සොබාවික විඥානයෙන් ගැලවුණු පසු මිනිසෙකුට නිදහස උදා වෙන බව හෙගල්ගේ මතය වේ. සොබාවික විඥානය ඉක්මවා යාමේ දී පුද්ගලයෙකුගේ පැවැත්මේ මූලික කොන්දේසිය ද ඉක්මවා යයි.

ප්‍රපංචවිද්‍යාවේ සෑම අවධියක් ම නිශ්චිත දෙයක් දැනගැනීමට උත්සාහ ගනී. මේ අවධීන් ලෝක ඉතිහාසය තුළ පෙනී සිට ඇත. සත්‍යයේ සමස්තය අල්ලා ගැනීමට නම් විවිධ විඥාන අවධීන් කටයුතු කරන ආකාරය සොයා බැලිය යුතු ය. මේ සෑම අවධියක් ම පරිමිත හා පාර්ශ්වීය ඒවා වන බව හෙගල්ගේ අදහස ය. මේ විඥාන හැඩයන් පුද්ගලයෙකුගේ මානසික පීඨයන් (mental facultuies) නො වේ. ඒ වෙනුවට විඥාන හැඩයන් යනු ඉතිහාසය තුළ පෙනී සිටින විශ්වීය චින්තන මොහොතවල් ය. මේවා පරම ඥානයට ළඟා වීමට කලින් ආත්මය පෙනී සිටින ව්‍යාජ දැනුම් ය. මේ පෙනී සිටීම් හුදෙක් මතුපිට මායාත්මක පෙනී සිටීම් ය (Schein). මෙයට හෙගල් ලබා දෙන ජර්මන් වචනය ‘Erscheinung’ ය. මෙයින් අදහස් වන්නේ දිළිසෙන පෙනුමක් බව යි. උදාහරණ වශයෙන් පළමුවන විඥාන අවධිය වන සංවේදන-නිශ්චයභාවය (sense-certatinty) කොහෙත් ම මනෝවිද්‍යාත්මක මොහොතක් නො වේ. ආත්මය යමක් දැන ගැනීම සඳහා කරන උත්සාහයේ දී වාස්තවික ලෙස පෙනී සිටින සෑම විඥාන අවධියකට ම තමන්ගේ ම කියා ජීවිතයක් ඇත.

ප්‍රපංචවිද්‍යාවේ කේන්ද්‍රීය බලය න්‍යායක් නොව ප්‍රයුක්තතාවකි. මෙහි දී ඥානය උත්පාදනය වන්නේ න්‍යායාත්මක ආකාරයට නො ව භාවිතමය ආකාරයකට ය. ප්‍රපංචවිද්‍යාව මගින් ඓතිහාසික ප්‍රපංචයන් වන පැරණි ග්‍රීක පෞර රාජ්‍යය, නූතන සංස්කෘතිය, ප්‍රංශ විප්ලවය වැනි ඒවා ද ආමන්ත්‍රණය කරනු ලබයි. මිනිසා අන්තර්ක්‍රියාකාරී වන්නේ මේ සමාජ යථාර්ථයන් සමඟ ය.

දර්ශනයේ ඉතිහාසය යනු ශුද්ධ සංකල්පයන් සාර්ව සත්‍යයන්ට ළඟා වීම සඳහා ගන්නා උත්සාහයකි. ප්‍රඥාව පූර්ණ වශයෙන් පහළ වීම සඳහා අතීත සියලු ශ්‍රේෂ්ඨ දාර්ශනික සංකල්පනාවන් දායක වී ඇත.

ආත්මය යන්න සාර්වත්‍රික වාර්ගීය එකක් වන නමුත් එය පිහිටන්නේ කාලයෙන් පිටත නො වේ. හෙගලියානු ආත්මය ප්ලේතෝනික ආකෘතියක් හෝ කාන්ටියානු නිෂ්ප්‍රපංචයක් නො වේ. ප්‍රපංචවිද්‍යාව තුළ ආත්මය තමන්ට මත් ලෝකයාටත් දක්වන සබඳතාව තේරුම් ගැනීමට ගන්නා උත්සාහයක් ඇත. මේ උත්සාහය විවිධ විඥාන හැඩයන් ලෙස පෙනී සිටියි. හෙගල් සිය කෘතියේ අවසන් පරිච්ඡේදයේ දී පරමත්වය තමන් ගැන ම ආවර්ජනය කරයි (recollection/Erinnerung). මෙයට හෙගල් ලබා දෙන තවත් අදහසක් වන්නේ ‘inwardizing’ යන්න ය. (Hegel 1977, 492). මෙය තමන් ගැන ආවර්ජනයක් වුවත් ඉතිහාසය ගැන ආවර්ජනයක් ද වේ. තමන් ගැන කරන හෙළිදරව්ව තාර්කික ක්‍රියාවලියක් ද වේ. විඥාන ගමන තාර්කික ක්‍රියාවලියක් වන අතර ම එය අධ්‍යාපනික ක්‍රියාවලියක් ද වේ. මේ අධ්‍යාපනය ලැබෙන්නේ විඳවීමක් (suffering) හරහා ය. සෑම විඥාන අවධියකට ම ලැබෙන්නේ තාවකාලික පැවැත්මකි. මේ තාවකාලික පැවැත්මවල් පරිමිත ය. මේ පරිමිතභාවය අලුත් විඥාන අවධීන්ට අවකාශය නිර්මාණය කරයි. එක් විඥාන අවධියක මිය යාම තවත් විඥාන අවධියකට උත්පත්තිය ලබා දෙයි. නමුත් කිසිම විඥාන අවධියක් සම්පූර්ණයෙන් මිය යන්නේ නැත. කලින් විඥාන අවධියේ සාරය ඊ ළඟට පැමිණෙන විඥාන අවධිය තුළ ශේෂ ගත වේ. ආත්මය ෆීනිස් පක්‍ෂියා මෙන් අළු ගසා නැගී සිට ආත්මය අවසාන ගමනාන්තයට පිවිසෙන්නේ පූර්ණ වශයෙන් ස්වයං-විඥානය අත්පත් කර ගනිමිනි. පරම ඥානනය යන්න ප්‍රපංච විද්‍යා චාරිකාවේ අවසන් පරිච්ඡේදය නොවුණත් එය මඟින් මුළුමහත් ප්‍රපංචවිද්‍යාවේ මුල් පරිච්ඡේද සම්බන්ධ කෙරේ. පරම ඥානන අවධියේ දී ආත්මය පරම වශයෙන් ග්‍රහණය කිරීම අසම්පූර්ණ උත්සාහයක් බව අවබෝධ කර ගනී. ආත්මයේ විඳවීම යනු ආත්මය අත්විඳින පරිමිතභාවය ය. පරම ඥානනය සඳහා ඇති ඉණිමගේ පියවරවල් හයක් එනම් විඥානය, ස්ව-විඥානය, විචාරය, පරමාත්මය, ආගම හා පරම-ඥානනය ඔස්සේ වර්ධනය වේ. ප්‍රපංචවිද්‍යා පොත පරිච්ඡේද අටක් ලෙස ව්‍යූහගත වී තිබෙන්නේ විඥාන අවධිය කොටස් තුනකට එනම් සංවේදන නිශ්චයභාවය, සංජානනය, බලය හා අවබෝධනය ලෙස බෙදී තිබෙන නිසා ය.

ආත්මය අවසාන පරිච්ඡේදයට එළඹීමේ දී චින්තනය දාර්ශනික විද්‍යාවක් බවට පරිවර්තනය වේ. ආත්මය යම් සුසංවාදීමය අත්දැකීමක් මේ මොහොතේ දී ලබා ගන්නා බව හෙගල්ගේ මතය වේ. මේ මොහොතේ දී මිනිසා තමන්ව ආත්මයක් ලෙස වටහා ගන්නා අතර ම බාහිරත්වය යන්න අභ්‍යන්තරිකත්වය සමග අත්‍යන්ත ලෙස සම්බන්ධ අභ්‍යන්තරයේ ම පිටාර ගැලීමක් ලෙසට අවබෝධ කර ගනී. ආත්මයට ආත්මයක් වීම සඳහා ස්වයං-අනෙකෙකු (self-opposed/self-othering) අවශ්‍ය බව මෙහි දී තේරුම් ගනී.

ප්‍රපංචවිද්‍යාවේ අභිලාෂය සාමාන්‍ය විඥානය අධ්‍යාපනික කිරීම යි. සාමාන්‍ය විඥානය විද්‍යාවක් දක්වා ඉහළ නැංවීම යි. විඥානයේ සරල ම රූපය වන සංවේදනමය ඥානයේ (sense knowledge) සිට සමස්තය තේරුම් ගත හැකි සියල්ල අනාවරණය කරන සුළු පරම ඥානයක් දක්වා තල්ලු කිරීම යි. එහෙත් මෙහි ඥානය යන්න දැනුම (knowledge) යන්නට සීමා වන්නේ නැත. මේ සඳහා ‘විඥානය’ යන්න වඩාත් ගැළපේ. හෙගල්ගේ ප්‍රපංචවිද්‍යාවෙන් හෙළිදරව් කරන්නේ හුදෙක් ඥානවිභාගය පාරභෞතිකවාදය, සෙබාවික විද්‍යාව, දේව ධර්මය පමණක් නොව ආශාවන්, ආකල්පයන්, සදාචාරය, ප්‍රචණ්ඩත්වය, සමාජ සංස්කෘතික හා ආගමික භාවිතයන් ඇගයුම් හා අපේක්‍ෂාවන් ය.

පුද්ගල විඥානය නම් ක්‍ෂේත්‍රය තුළ පුද්ගල විඥානයේ ආකල්ප, දැනුවත්භාවය යන ක්ෂේත්‍ර ආවරණය කරන අතර දෙවන කොටස එනම් සංස්කෘතික විඥානය නම් ක්‍ෂේත්‍රයේ දී සමාජය, දේශපාලනය හා සංස්කෘතිය වැනි ලෝක සමස්තයන් මුණ ගැසේ. මේ අනුව, මෙහි දී කථා කෙරෙන්නේ පුද්ගල විඥානයන් වෙනුවට සමාජීය, සංස්කෘතික හා දේශපාලන විඥානයන් ය. හෙගල් මෙය දක්වන්නේ මම (I), අපි (we) බවට පත්වීමක් ලෙසට ය. මෙහි දී වඩාත් සංකීර්ණ සාමූහික විඥානයකට මිනිස් ආත්මය ප්‍රවේශ වේ. තුන්වන කොටසේ දී එනම් පරම විඥානය කොටසේ දී වඩාත් විශ්ව ව්‍යාප්ත සාර්වත්‍රික හා සමස්තමය ආකාරයට විඥානය ක්‍රියාත්මක වේ. මෙහි දී ආත්මය දිව්‍ය ආත්මය (God eye perspective) පර්යාවලෝකනයකට ආත්මය ප්‍රවේශ වේ. මෙය ආගමික-දාර්ශනික විඥානයකි. හෙගල්ගේ පරිච්ඡේද අට විඥාන ප්‍රවර්ගයන් තුනකට බෙදා දැක්විය හැකි ය.

I. පුද්ගල විඥානය

1. සංවේදන-නිශ්චයභාවය

2. සංජානනය

3. බලය හා අවබෝධය

4. ස්වයං-විඥානය

5. විචාරය

II. සංස්කෘතික විඥානය

6. ආත්මය

III. පරම විඥානය

7. ආගම

8. පරම ඥානනය

අවසන් පරිච්ඡේදයේ විඥාන රූපය පරම එකක් වන්නේ එය ඉදිරියේ කිසි ම ආකාරයේ දාර්ශනික ඉතිරියක් ශේෂ ගත නොවන නිසා ය. දෙයක-එහි ම-වූ- ස්වරූපයක් පරම ඥානනයට පිටස්තරව නොපිහිටන නිසා ය; විඥානය පරිපූර්ණ ආකාරයෙන් පෙනී සිටින නිසා ය; විඥානයට පූර්ණ වශයෙන් නිදහස අත්පත් වන නිසා ය.

ප්‍රපංච විද්‍යාව දිග හැරෙන ආකාරයට අවසානයේ මුණ ගැසෙන්නේ සමස්තයකි. මේ සමස්තයට පිටතින් කිසිවක් නැත. පුද්ගලික, සංස්කෘතික හා පරම විඥානයන් එකිනෙකින් වෙන් කර ගත හැකි ලෙස පවත්නා අවධීන් නො වේ. විශ්ලේෂණය සඳහා ඒවා එකිනෙකින් වෙන් කෙරුණත් යථාර්ථයේ දී එසේ වෙන් කළ නොහැකි ය. ලොක්, කාන්ට් වැනි චින්තකයෝ පුද්ගල විඥානයෙන් පටන් ගෙන එයින් පරමත්වයක් අපෝහනය කරගැනිමට උත්සාහ ගත්තත් හෙගල්ගේ මතය වන්නේ පුද්ගල විඥානය පරමත්වයෙන් වෙන් කළ නොහැකි බව ය.

හෙගල්ගේ සුප්‍රසිද්ධි කියමනක් වන්නේ පවත්නා ඕනෑ ම දෙයක් සම්බන්ධිත ආකාරයට පවතින බවත් පැවැත්ම යනු ම සහසම්බන්ධිතය බවත් ය. යමක් සාරයක් වශයෙන් පවතිනවා යනු එය අනෙක් දේවල්වලට පවත්නා සහසබඳතාවය ය.

හෙගල් දක්වා සිටින ආකාරයට තමන් හඳුනා ගන්නා ඕනෑ ම විඥාන ආකෘතියක් සාම්ප්‍රදායික දාර්ශනික ප්‍රවණතාවකි. සාම්ප්‍රදායික දාර්ශනිකයෙකුගේ හඬ නියෝජනය කිරීමකි. මේ ඕනෑ ම විඥාන ආකෘතියකින් දෝංකාරය දෙන්නේ සම්ප්‍රදායික ඥාන විභාගයේ, පාරභෞතිකවාදයේ, ආචාර විද්‍යාවේ, දේශපාලන න්‍යායේ හෝ ආගමේ දර්ශනයේ ස්ථාවරයකි.

යථාර්ථයේ සියල්ල පරමත්වය තුළ අන්තර්ගත නම් හා ඒ නිසා ම පරමත්වයෙන් පරිබාහිරව කිසිවක් නැත්නම් (nothing outside the Absoulte) දාර්ශනික ගවේෂණය පරමත්වයෙන් ම පටන් ගත නොහැකි ද යන ප්‍රශ්නය නැඟිය හැකි ය. කෙසේ නමුත් ප්‍රපංචවිද්‍යාව කෘතියේ දී ඔබට සමස්තය, පරමත්වය, පරම ඥානනය මුණ ගැසෙන්නේ පිටු 400ක් පමණ කියවා අවසන් වීමෙන් පසුව ය. මෙයින් හෙගල් කියන්නේ පරමත්වය සඳහා ඍජු, රේඛීය, කෙටි මාර්ගයක් නැති බව ය. පරමත්වය මුණ ගැසෙන්නේ අසම්පූර්ණත්වයන් හරහා යාමෙන් බව ය. ආලෝකයට යා හැක්කේ අඳුර හරහා ය. සෑම විඥාන අවධියක ම අඩුපාඩු සීමාවන් විභාග කිරීම අනිවාර්යෙන් කළ යුතු ය. එමෙන් ම සෑම විඥාන අවධියකට ම සාධාරණත්වය ද ඉටු කළ යුතු ය.

හෙගල් පරම ඥානනය හරහා පරමත්වය ස්ථාපිත කිරීමට ගන්නා උත්සාහය සහ කාන්ට්ගේ ව්‍යාපෘතියේ එන අනුභූති උත්තර අපෝහනය (Trurscendental Deduction) අතර යම් සාම්‍යයක් දැකිය හැකි ය. කාන්ට්ගේ අනුභූති උත්තර අපෝහනය ඇති වන්නේ (Conditions of Possibility) කෙසේ ද යන්න සොයා බලයි. අවබෝධනයේ පදාර්ථයන් (categories of understanding) මේ කොන්දේසියන් ය. හෙගල් ඉදිරිපත් කරන්නේ අභ්‍යන්තරික සබඳතා පිළිබඳ දහමකි. මේ සමස්ත ආභ්‍යන්තරික සබඳතාවන්ගෙන් ස්වායත්තව යථාර්ථය හෝ පරමත්වය අල්ලා ගැනීමට පදනමක් නැත. යමක් අනෙකුත් දේවල්වලට දක්වන සබඳතාවෙන් පූර්ව ආකාරයට කිසිදු දෙයක් සම්බන්ධයෙන් ඥානයක් නැත. සමස්තයට සම්බන්ධ නොකර කිසිදු දෙයක් වියුක්ත හෝ හුදකලා ආකාරයට තේරුම් ගත නොහැකි ය.

හෙගල් තමන්ගේ ප්‍රපංචවිද්‍යාව නිර්වචනය කිරීමේ දී යෙදුම් කීපයක් පාවිච්චි කරයි. ‘Pathway of doubt’, ‘a way of despair’, ‘a thoroughgoing scepticism’ මේවායින් හෙගල් කියන්නට හදන පොදු කාරණය කුමක් ද? පරමත්වය යන්න තර්කයක පූර්ව අවයවයන් මඟින් ගම්‍ය කර ගත හැකි දෙයක් නො වේ. තවදුරටත් සැක කළ නොහැකි තැනකින් ආරම්භ වී ඉදිරියට යා හැකි කාටිසියානු නිශ්චිතභාවයක් ද නො වේ. හෙගල් ආරම්භ කරන්නේ සරල සංවේදනමය නිශ්චිත බවකි (sense certainty). මේ තැන සැක කළ නොහැකි තැනක් නො වේ. මේ තැන සැක කළ හැකි තැනකි. පරම ඥානනයට එළඹෙන තෙක් ප්‍රපංචවිද්‍යා ගමන අසංතෘෂ්ටීන්ගෙන් පෙළෙයි. සැකය දිගට ම ක්‍රියාත්මක වේ. සෑම අවධියක දී ම යම් මුලාවක් ශේෂ ගත වේ.

සෑම මොහොතක දී ම ඉගෙන ගැනීමට යමක් ඉතිරි වේ. පරමත්වය එළඹෙන තෙක් අතරමග ආරක්‍ෂා කිරීමට යමක් ඉතිරි වන්නේ නැත. පරමත්වය වෙත ගමනේ දී සෑම විඥාන අවධියක් ම අපොහොසත්භාවයන් නියෝජනය කරනවා නම් සත්‍ය තීන්දු කිරීම සඳහා පරිබාහිර නිර්ණායකයන් අවශ්‍යතාවක් නැත. දැනුම යන්න පරමත්වයෙන් එළියෙහි පවතින පරමත්වය විසින් දැනගත යුතු දෙයක් නොව පරමත්වය ක්‍රමානුකූලව සාක්ෂාත් කර ගැනීමේ ක්‍රියාවලිය වේ. ප්‍රපංචවිද්‍යාව තුළ හමු වන විඥාන හැඩයන් යනු පරමත්වය චලනය වන විවිධ ආකාරයන් ය. සෑම විඥාන හැඩයක් ම පෙනී සිටින්නේ තමන් තුළින් පරමත්වය නියෝජනය කරනවා සේ ය. කෙසේ නමුත් ප්‍රපංචවිද්‍යාවේ මුලින් හමු වන විඥාන අවධීන් සමස්තයක් ලෙස පරමාත්මය අල්ලා ගැනීමට අපොහොසත් වේ. පරමත්වය සාක්ෂාත් වූ විට දේවල් ආභ්‍යන්තරික වශයෙන් සම්බන්ධය යන අවබෝධය ලැබේ. හෙගල් තමන්ගේ Difference Between Fichte and Schelling කෘතියේ මෙසේ දක්වයි ‘The task of philosophy is to construct the Absolute for consciousness’ (Hegel, 1977, 94). ඔහු තවදුරටත් දක්වන ආකාරයට:

‘...the Absolute gets produced by reflection for consciousness it becomes thereby an objective totality, a whole of knowledge, an oraganizing of conditions. Within this organization, every part is at the some time the whole; for its standing is its connection with the Absolute.(Hegel, 1977,98)

මෙය දෙවියන්ට යොදුවොත් දෙවියන්ගේ දැනුම යනු දෙවියන් සම්බන්ධයෙන් මිනිසාට ඇති දැනුම ය. දෙවියන් මා දෙස බලන ඇස වනාහි මා දෙවියන් දෙස බලන ඇස ය.

ආශ්‍රිත ග්‍රන්ථ

Hegel, G.W.F. (1977): Phenomenology of Spirit, tans. A.V. Miller, Oxford: Oxford University Press.

Hegel, G.W.F. (1977): Difference between Fichte’s and Schelling’s Systems of Philosophy, trans. H.S.Harris and W. Cerf, Albany: Sunny Press

ඔබගේ අදහස් අපට එවන්න.