හෙගල්ගේ ඥානවිභාගාත්මක පදනම්- පළමු කොටස

2023 ජනවාරි 21

කාන්ට් තමන්ගේ Critique of Pure Reason කෘතියේ දී පූර්ව කාන්ටියානු පාරභෞතිකවාදයට පහර ගැසුවේ ය. පාරභෞතිකවාදයට එරෙහිව කරන ලද අභියෝග හමුවේ හෙගල් තමන්ගේ පරම විඥානවාදය, ඓන්ද්‍රීයවාදය, පරමාත්මය හා දෙවියන් වහන්සේ පිළිබඳ සංකල්පය ආරක්‍ෂා කළේ ය. කාන්ට්ගේ ප්‍රහාරයන් හමුවේ හෙගල් පාරභෞතිකවාදය අත්හැරියේ නැත. පරමත්වය ගැන දැනුම ලබා ගත හැකිය යන්න හේගල්ගේ පිළිගැනීම විය. පැරණි පාරභෞතිකවාදය අධානග්‍රාහී එකක් යැයි කාන්ට් විසින් කළ හඳුනා ගැනීම හෙගල් ද ඒ ආකාරයෙන් ම පිළිගත්තේ ය. ලයිබ්නීස් හා ස්පිනෝසා යන අයගේ පාරභෞතිකවාදයන් පිළිබඳ දැනුම ශුද්ධ විචාරය හරහා ලබා ගත හැකිය යන අවිචාරාත්මක ප්‍රවේශයට එරෙහිව කාන්ට් දැරූ ස්ථාවරය හෙගල් තමන්ගේ Encyclopedia කෘතියේ දී ප්‍රශංසාවට ලක් කළේ ය.

කාන්ට් සම්බන්ධයෙන් හෙගල් Encyclopedia කෘතියේ දී විවේචනයක් ද රැගෙන ආවේ ය. සංකල්පයන්ට ආවේණික අභ්‍යන්තරික තර්කණය තේරුම් ගැනීමට කාන්ට් අපොහොසත් වූවේ ය යන්න හෙගල් පෙන්වා දුන්නේ ය. කාන්ට්ට අනුව යමක් ඥානයක් ද යන්න තීන්දු කිරීමට ඊට ඉහළින් පවත්නා නිර්ණායකයක් අවශ්‍ය වන අතර එය ඥානයක්ද යන්න තීන්දු කිරීම සඳහා ඊට ඉහළින් පවත්නා තවත් නිර්ණායකයක් වශයෙන් අපරිමිත ප්‍රතිගමනයකට යොමු වේ. අනෙක් අතට හෙගල් විවේචනය කරන ආකාරයට කාන්ටියානු විවේචනය අභ්‍යන්තරික වශයෙන් ලබා ගන්නා එකක් නො වේ. හෙගල්ගේ අදහස නම් ඥානය සම්බන්ධ විචාරය අභ්‍යන්තරික එකක් විය යුතු බව ය; විෂය වස්තුව ඇගයුමට ලක් කළ යුත්තේ එයට ම අභ්‍යන්තරික වශයෙන් අදාළ ප්‍රමිතීන්ගෙන් බව ය. මේ අනුව හෙගල්ගේ ප්‍රපංචවිද්‍යාව කෘතියෙන් ඉදිරිපත් කෙරෙන විධික්‍රමය විඥානය පිළිබඳ ස්වයං-විභාගයකි. ස්වයං-විචාරයකි (self-criticism) හෙගල්ට අවශ්‍ය වන්නේ පාරභෞතිකවාදය නව පදනමක් මත ස්ථාපනය කිරීමට ය.

හෙගල් පටන් ගන්නේ අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන දෛනික සංකල්පයන්ගෙන් ය. දෙවනුව ඔහු පෙන්වා දෙන්නේ මේ දෛනික අත්දැකීම් හා සංකල්පයන් පාරභෞතිකයන් මඟින් ආරෝපණය කරන්නේ කෙසේ ද යන්න ය. හෙගල් දකින ආකාරයට පාරභෞතිකවාදය විචාරාත්මක දර්ශනයක් නිර්මාණය වීමේ ආවශ්‍යක කොන්දේසිය වේ. පාරභෞතිකවාදය ආරක්‍ෂා කිරීමේ ප්‍රතිඵලය වූයේ වඩාත් නිවැරදි දාර්ශනික විධික්‍රමයක් සොයා ගැනීම ය. මේ ඔස්සේ යමින් ය හෙගල් විසින් දයලෙක්තික විධික්‍රමය නිර්මාණය කරන්නේ. හෙගල් ශෙලිංගේ සොබාවික දර්ශනයට විරුද්ධ වන්නේ එය යාන්ත්‍රික ආකාරයට ප්‍රපංචයන්ට ප්‍රාග් ආනුභූතික සැලැස්මක් පටවන නිසා ය. මෙවන් ආකාර ප්‍රාග් ආනුභූතික විධික්‍රමයන්ට එරෙහි නිසා හෙගල්ගේ විධික්‍රමය ප්‍රති-විධික්‍රමයත් එනම් අනිකුත් විධික්‍රම අත්හිටුවන එකක් ලෙසට හඳුනාගත හැකි ය. මේ ප්‍රති-විධික්‍රමය ය හෙගල්ගේ සංකල්පය (the concept the Notion) යන්නෙන් පිළිබිඹු වන්නේ. සංකල්පය යන්නෙන් හෙගල් මෙහි දී ඉදිරිපත් කරන්නේ ඕනෑ ම වස්තුවකට ආවේණික ආකෘතිය යි. යම් වස්තුවකට පිටතින් ප්‍රාග් ආනුභූතික සංකල්පයක් පැනෙව්වොත් වස්තුවේ අභ්‍යන්තරික ආකෘතිය මුණ ගැසෙන්නේ නැත. හෙගල් දයලෙක්තිකය යන්න පාවිච්චි කරන විට එයින් අඟවන්නේ යමක ස්වයං-සංවිධානය (self- organization) වේ. ආභ්‍යන්තරික ලෙස අනුගමනය කරන්නේ වස්තුවක සංකල්පය යි. සංකල්පයක ආභ්‍යන්තරිකතාව සංවිධානය වී තිබෙන්නේ වාදය-ප්‍රතිවාදය-සහවාදය නම් ත්‍රිත්ව ආකාරයට අනුකූලව නො වේ. මේ ත්‍රිත්ව ආකෘතිය ඉදිරිපත් කළේ ෆිෂ්ට ය. එය හෙගල්ගේ ඉදිරිපත් කිරීමක් නො වේ. හෙගල්ගේ දයලෙක්තිකය ආකෘතික (Formal) එකක් නො වේ.

දයලෙක්තිකය යනු සාම්ප්‍රදායික තර්ක ශාස්ත්‍රයට වෙනස් යම් විකල්ප තර්කණ රටාවක් ද නො වේ. හෙගල්ගේ තර්ක විද්‍යාව කෘතිය මඟින් හෙළිදරව් කරන්නේ දයලෙක්තික පාරභෞතිකවාදයක් වන අතර එය මඟින් සත්තාවේ පොදු සාමාන්‍ය ව්‍යූහය අනාවරණය කෙරේ. හෙගල්ට අනුව සමස්ත සත්තාව යම් සංකල්පයක් හා එම සංකල්පය නොවන්න (F හා ~F) යන දෙකෙන් ම විස්තර කළ හැකි ය. හෙගල්ට අනුව යථාර්ථය හෝ සත්තාව F හා ~F යන පදනම මඟින් සෑදී තිබේ.

හෙගලියානු පාරභෞතිකවාදයේ විෂය වස්තුව වන්නේ පරමත්වය යි. එය අපරිමිත අසංඛත හා නොබෙදිය හැකි එකකි. පරමත්වයේ හේතුව ඒ තුළ ම පවතින්නකි (self-causing). එහි ඇති සමස්තමය බව එහි කොටස්වලට කලින් පැමිණෙන්නකි. කොටස්වල විය හැකියාව තීන්දු කරන්නේ මේ සමස්තය යි. මෙම කොටස්වල අර්ථය තීන්දු වන්නේ නිෂේධන ක්‍රියාවලියක් හරහා ය. ඕනෑම පරිමිත දෙයක් වෙනත් දෙයක් මඟින් තීන්දු වේ (determinate negation). කාන්ට් හා ජාකොබ් අර්ථයන් තීන්දු වීම හඳුනා ගන්නේ යාන්ත්‍රික ආකාරයට ය. එහි දී ඕනෑම සිද්ධියක් හේතුඵලමය ලෙස අවබෝධ කර ගනී. කාන්ට් හා ජාකොබ් වැනි අය තර්කණයට, විචාරයට සීමාවන් ඇති බවත් එනිසා එයට පරමත්වය විනිවිද යා නොහැකි බවත් පවසා සිටියහ. ඔවුන්ගේ හේතුඵලමය හා යාන්ත්‍රික තර්ක ක්‍රමයට එරෙහිව හෙගල් පෙන්වා දෙන්නේ හේතුව හා ඵලයත් ආරෝපණය හා ආරෝපිත වීම (condition & conditioned) එක් තනි නොබෙදිය හැකි සමස්තයක කොටස් බව ය.

හෙගල් සිය දයලෙක්තිකයේ ස්වභාවය තේරුම් කිරීමේ දී කාන්ට්ගේ න්‍යාය විරෝධයන් (antinomies) හා අනුභූති උත්තර දයලෙක්තිකයට (Transcendental Dialectics) අවධානය යොමු කරයි. න්‍යාය විරෝධයන්ගේ සාමාන්‍ය ව්‍යූහය එක හා සමාන ය. මේ ආකාරයට න්‍යාය විරෝධයන් හතරක් කාන්ට් හඳුනා ගත්තේ ය. ඒවා සමන්විත වන්නේ වාදය හා ප්‍රතිවාදය ආකාරයට ය. මේ න්‍යාය විරෝධයන්හි ප්‍රවාදය නිෂ්ප්‍රපංචමය වන අතර ප්‍රතිවාදය ප්‍රපංචමය වේ. වාදය තත්ත්වාරෝපිත නොවන විට ප්‍රතිවාදය තත්ත්වාරෝපිත ය. උදාහරණ ලෙස ගත්තොත්:

වාදය: ප්‍රපංච ලෝකය විස්තර කිරීම සඳහා අහේතුක හේතුවක් අවශ්‍ය ය.

ප්‍රතිවාදය: ප්‍රපංච ලෝකය විස්තර කිරීම සඳහා අහේතුක හේතුවක් නැත. ප්‍රපංච ලෝකය සොබාදහමේ හේතුඵල නියමය අනුව විස්තර කළ හැකි ය.

කාන්ට්ට අනුව න්‍යාය විරෝධයන් විසඳීම සඳහා ක්‍රියාමාර්ගයක් නැත. හෙගල්ට අනුව න්‍යාය විරෝධයන් ඉක්මවා යාමට පුළුවන (self-transcending). කාන්ටියානු න්‍යාය විරෝධයන් ප්‍රශ්නයේ ම කොටසක් විනා විසඳුමක් නො වේ. විසඳුම වන්නේ න්‍යාය විරෝධයන් ද්වෛතයක් ලෙස සැලකීම නොව එක් තනි සමස්තය ම නොබෙදිය හැකි පාර්ශ්වයන් දෙකක් ලෙසට ගැනීම ය. නිෂ්ප්‍රපංචය හා ප්‍රපංචයට අන්තර් විනිවිදීමට හැකි බව පිළිගැනීම ය.

දයලෙක්තිකය සම්බන්ධයෙන් වඩාත් පැහැදිලි විග්‍රහයක් හෙගල් ඉදිරිපත් කරන්නේ Encyclopedia Logic 79 වන ඡේදයේ ය. දයලෙක්තිකය අවස්ථා තුනකින් සමන්විතය.

a) වියුක්ත පාර්ශ්වය හෝ අවබෝධනය (the abstract side or that of the understanding)

b) දයලෙක්තික හෝ නිෂේධනීය සබුද්ධික පාර්ශ්වය (the dialectical or negatively rational side)

c) සමපේක්‍ෂණමය හෝ සාධනීය සබුද්ධික පාර්ශ්වය (the speculative or positively rational side)

1. වියුක්ත හෝ අවබෝධනමය අවධියේ දී යමක් එහි ම ස්වරූපයෙන් අනෙක් දේවල්වලට සම්බන්ධයක් නොමැතිව ස්වායත්තව පවතින ලෙසට තේරුම් ගනී. මේ මොහොත ස්වයං-පරිපූර්ණ එකක් ලෙසට පෙනී සිටී.

2. දයලෙක්තික හෝ නිෂේධනමය සබුද්ධික අවධියේ දී දේවල් ස්වයං-පරිපූර්ණ ලෙස නොගෙන ඒවා අනෙක් දේවල්වලට ඇති සම්බන්ධය හරහා තේරුම් ගනී. මේ අවධිය දයලෙක්තික යැයි ගන්නේ යමක් එහි විසංවාදය හරහා තේරුම් ගැනීම නිසා ය. යමක් එහි ප්‍රතිවාදය හරහා තේරුම් ගැනීම නිසා ය. විසංවාදය යැයි කියන්නේ වාදය හා ප්‍රතිවාදය යන දෙක ම සලකා බලන නිසා ය. මෙය කාන්ටියානු ප්‍රතිවාදය අවධිය හා සමානය.

3. සමපේක්‍ෂණමය හෝ සාධනීය සබුද්ධික අවධිය හෙගල්ගේ අවධිය ය. කාන්ට්ගේ න්‍යාය විරෝධ විසඳී යන්නේ මේ මොහොතේ දී ය. ද්වෛතයක්, න්‍යාය විරෝධයක් ලෙසට පෙනෙන දෙයට ඉහළින් සමස්තයක් යනුවෙන් දෙයක් හඳුනා ගැනීම මෙහි දී සිදු වේ. සමපේක්‍ෂණය යනු ද්වෛතවාදී චින්තනයෙන් ඔබ්බෙන් යන අවධියකි. කලින් අවධිවල දී යථාර්ථය සම්බන්ධයෙන් ඒකපාර්ශ්වීය දැනුමක් ලැබුණා නම් මේ මොහොතේ දී සමස්තමය දැනුමක් ලැබේ.

වඩාත් වැදගත් වන්නේ හෙගල්ගේ ප්‍රපංචවිද්‍යාව තුළ දයලෙක්තිකය ක්‍රියාත්මක වන ආකාරය ය. ප්‍රපංචවිද්‍යාව කෘතියට කලින් හෙගල් තමන්ගේ Differenz කෘතියෙහි ‘පරාවර්තනයේ දයලෙක්තිකය’ (dialectics of reflection) යනුවෙන් සංකල්පයක් හඳුන්වා දුන්නේ ය. මෙයින් කියවුණේ අවබෝධනයේ සංකල්පයන් අවශයෙන් ම ප්‍රතිවිරෝධී ආකාරයට පිහිටන බවත් මේ ප්‍රතිවිරෝධයන් අපරිමිත සමස්තය තුළ දී විසඳී යන බවත් ය.

දයලෙක්තිකය සම්බන්ධයෙන් වඩාත් පරිණත සංකල්පයක් ගොඩනැගෙන්නේ හෙගල්ගේ පරමාත්මයේ ප්‍රපංචවිද්‍යාව කෘතිය තුළ දී ය. 1803 දී ශෙලිං යිනාවලින් පිටත් ව යන අතර ඉන් පසුව හෙගල් වැඩි අවධානයක් යොමු කරන්නේ තමන්ගේ පාරභෞතිකවාදයට ශක්තිමත් පදනමක් දැමීම සඳහා ය. එහෙත් සාමාන්‍ය විඥානයේ දී මුණ ගැසෙන ආත්මය හා වස්තුව අතර ද්වෛතයක් ඇති බව පෙනෙයි. එහෙත් දාර්ශනික විඥානයකින් සත්‍යය තමන් තුළ ම සොයා ගත යුතු බව හෙගල්ගේ අදහස ය. මේ සඳහා ය හෙගල් විඥානය ගැන ම ස්වයං-විභාගයක්, ස්වයං-විචාරයක් ඉදිරිපත් කරන්නේ. මේ අරමුණු අනුව ය ඔහු සිය ප්‍රපංචවිද්‍යාව අත්දැකීම පිළිබඳ විද්‍යාවක් (science of the experience of consciousness) ලෙස නම් කරන්නේ. හෙගල් සිය පරමාත්මයේ ප්‍රපංචවිද්‍යාව කෘතියේ ප්‍රස්ථාවනාවේ ඉදිරිපත් කරන ආකාරයට විඥානය තමන් ලබන අත්දැකීමෙන් ඔබ්බෙහි කිසිවක් නො දනී. මේ විඥානය තුළ යමක් එහි ම ස්වරූපයෙන් ස්වාත්ම-වශයෙන් (in-self) හඳුනා ගත්ත ද එය මොහොතකින් පරාත්ම - වශයෙන් පවත්නා දෙයක් (for-itself) බවට පරාවර්තනය වේ. සිය ප්‍රපංචවිද්‍යාවේ දී හෙගල් සඳහන් කරන්නේ පාරභෞතික විද්‍යාව වනාහි සත්‍ය අත්දැකීම විස්තර කරන්නක් බව ය. මේ අනුව කාන්ට් පාරභෞතිකවාදයට විරුද්ධ වුවත් හෙගල් එසේ කරන්නේ නැත. හෙගල්ගේ පරමාත්මයේ ප්‍රපංචවිද්‍යාවේ අවසන් අවධිය වන පරම ඥානනය වනාහි විඥානයේ සියලු අත්දැකීම් සමස්තය එකට සලකා බැලීමකි (Er-innerung). හෙගල් පාරභෞතිකවාදය සාධාරණීකරණය කරන්නේ අත්දැකීම හරහා ය. කාන්ට් අත්දැකීමට සීමා පැනවූවත් හෙගල් එසේ කරන්නේ නැත. ප්‍රපංචවිද්‍යාවේ ඇතුළත් විඥාන චාරිකාව තුළ තිබෙන්නේ විඥානයේ දයලෙක්තික ගමන ය. විඥානය ජීවත් වන්නේ ම දයලෙක්තික ගමනෙහි ප්‍රතිඵලයක් ලෙසට ය. හෙගල් කාන්ට් ව විවේචනයට ලක් කරන්නේ ‘අත්දැකීම’ නම් සංකල්පය සම්බන්ධයෙන් කාන්ට් පටු ස්ථාවරයක සිටින නිසා ය. හෙගල් අත්දැකීම යන්න හුදෙක් ඉන්ද්‍රීය සංජානනය යන්නට සීමා කරන්නේ නැත. අත්දැකීම යන්න හුදෙක් සුවිශේෂ දේවල් නිරීක්‍ෂණය කිරීමක් නො වේ. ඒ වෙනුවට අත්දැකීම යන්න මගින් සාර්වත්‍රිකයන් හා නීති නියාමයන් සෙවීමට යොමු වේ.

අත්දැකීම යන්නෙහි ඇති සුවිශේෂත්වය නම් එයට තමන්ව ම පුළුල් කර ගැනීමේ හැකියාව යි. අත්දැකීමට විය හැකියාවන් ලබා දෙන ආවශ්‍යක කොන්දේසි දෙස ප්‍රතිබිම්බනය කරමින් තම අත්දැකීම පුළුල් කර ගත හැකි ය. එම කොන්දේසි ගැන අනවරතයෙන් සොයා බැලීමෙන් අත්දැකීම පුළුල් කර ගත හැකි ය. හෙගල්ගේ පරමාත්මයේ ප්‍රපංචවිද්‍යාව යනු අත්දැකීම සම්බන්ධයෙන් කරන ස්වයං-සොයාබැලීමේ චාරිකාවකි. මේ චාරිකාවේ දී ස්වයං-විභාගමය ආත්මය (self-examing subject) සිය මුල් අවධිවල විඥානමය තත්ත්වයන් බිහිකළ කොන්දේසි විභාග කරනු ලැබේ.

හෙගල්ගේ ඥානවිභාගාත්මක ප්‍රවේශයේ දී දැනුමේ අන්තර්ගතය (object of knowledge) එම දැනුම අන්වේක්‍ෂණය කිරීමට යොදා ගන්නා නිර්ණායකයෙන් වෙන් කළ නොහැකි ය. නිර්ණායකය වෙනස් කරන විට දැනුමේ වස්තුවත් වෙනස් වේ. සාමාන්‍ය විඥානයේ දෘෂ්ටිකෝණයේ සිට පරම ඥානනයේ දෘෂ්ටිකෝණය දක්වා ගමන් කිරීමේ දී විඥානයේ වස්තුව වෙනස් වේ.

හෙගල් පරමාත්මයේ ප්‍රපංචවිද්‍යාව කෘතියෙන් තම ශිෂ්‍යයන්ට හඳුන්වා දෙන්නේ ‘voyage of discovery’ එනම් තම සොයාගැනීමේ ‘දීර්ඝ ගමන් විස්තරය’ ලෙසට ය. තමන්ගේ ක්‍රමානුකූල අධ්‍යයනයේ පළමු මුද්‍රිත ග්‍රන්ථය වූයේ මෙය යි. කෙසේ නමුත් මේ ගමන් විස්තරය ඔස්සේ ගමන් කිරීම එතරම් පහසු කටයුත්තක් නො වේ. 1807 අප්‍රේල් මාසයේ දී පොත ප්‍රකාශයට පත් වන විට හෙගල්ගේ වයස අවුරුදු 37 කි. එම පොත වනාහි අසංතෘෂ්ටිය හා නොසැලෙන විශ්වාසය යන ද්විත්වය විසින් බිහි කරන ලද එකකි.

හෙගල් මේ පොත ලියන්නට එළඹෙන කාලයේ ප්‍රධාන වර්ධනයන් දෙකක් සිදු වී තිබුණු අතර ඒවා හෙගල්ගේ මනසේ තන්පත්ව තිබූ බව පෙනෙයි. 1789 සිදු වූ ප්‍රංශ විප්ලවය යුරෝපයේ එතෙක් පැවති සාම්ප්‍රදායික චින්තනය උඩුයටිකුරු කර තිබිණි. ප්‍රංශයේ සිදු වූ මේ විපර්යාස සම්බන්ධයෙන් හෝල්ඩරින්, ශෙලිං හා හෙගල් යන තිදෙනා මහත් වික්‍ෂිප්තභාවයට පත් වූහ. 1806 ඔක්තෝම්බර් 14 වන විට යිනාවල යුද්ධය හටගෙන තිබුණු අතර නැපෝලියන්ගේ හමුදාවන්ගෙන් එල්ල වූ ප්‍රහාරය හමුවේ ප්‍රසියානු හමුදාවත් නන්නන්තාර විය. අනෙක් කාරණය වූයේ කාන්ට්ගෙන් ලැබුණු බුද්ධිමය උත්තේජනය යි. Critique of Pure Reason (1781) කෘතිය මෙහි ආරම්භක ලක්‍ෂණය විය. කාන්ට් මෙහි දී නිදහස යන්න සිය දර්ශනයේ කේන්ද්‍රස්ථානය බවට පත් කළේය. මේ නිදහස කේන්ද්‍රගත කළ ව්‍යාපෘතිය ඔහු හැඳින්වූයේ බුද්ධි ප්‍රබෝධය ලෙසට ය. කාන්ට් මෙහි දී කියූ කාරණයක් වූයේ සදාචාරමය හෝ දේශපාලනමය දෙයක් නීත්‍යනුකූල වන්නේ පුද්ගලයාට ස්වායත්ත ස්වාධීන ස්වයං-නිර්ණයමය දෘෂ්ටියක් ඇති තැනක දී පමණක් බව ය. පුද්ගලයාගේ අධිෂ්ඨානයට ක්‍රියාත්මක විය හැක්කේ ඔහුට හෝ ඇයට සබුද්ධික හා තාර්කික ආකාරයට ස්වයං-නිර්ණයමය නීතීන් යෙදිය හැකි තැනක දී බව ය. කාන්ට්ගේ ත්‍රිත්ව විචාරයන් පූර්ව පාරභෞතිකවාදයන්ගෙන් මිදී තිබුණු අතර ඥානවිභාගය, විද්‍යාවේ දර්ශනය, සදාචාර දර්ශනය, දේශපාලනික චින්තනය, කලාවේ දර්ශනය පූර්ව පරිවර්තනයකට ලක් වී තිබිණි. කාන්ට් විසින් කළ දාර්ශනික විප්ලවය දේශපාලන වශයෙන් ප්‍රංශයේ සිදු වූ විප්ලවයට හේතුඵලමය ලෙස බලපා තිබෙන ආකාරයේ ස්වභාවයක් හෙගල් දුටුවේ ය. අවසන් අර්ථයෙන් ගත් විට ප්‍රංශ විප්ලවයෙන් සිදු වූයේ නිදහසේ උදාව ය.

ප්‍රංශ විප්ලවය හා කාන්ට්ගේ කොපර්නිකියානු විප්ලවය යන විප්ලවීය වෙනස්කම්වලින් පසුව ජර්මනියේ සාම්ප්‍රදායික ව පැවති විශ්වවිද්‍යාලයන් යල්පැන ගිය ආයතනයන් වශයෙන් පෙනෙන්නට පටන් ගත්තේ ය. මේවායේ සිටින ඇටවුම් බැහැපු මහාචාර්යවරු තමන්ට උගන්වන්නේ අර්ථශූන්‍ය දේවල් ය යන හැඟීම ශිෂ්‍යයන්ට ඇති විය. තරුණ ශිෂ්‍යයන්ට නම ගිය ඉහළ ම පර්යේෂකයන් හමුවේ ඉගෙන ගැනීමට අවස්ථාව උදා විය. විශ්වවිද්‍යාලවලට අලුත් ආකෘතියක් ලැබෙන්නට විය. කාන්ට් විසින් ලියන ලද පොතක් වූ The Conflict of the Faculties (1798) කෘතියෙන් කියා සිටියේ සාම්ප්‍රදායිකව සියලු ම පීඨයන් දේවධර්මය නම් පීඨයට යටත් කර තිබුණු බව ය. කෙසේ නමුත් මේ ප්‍රවණතාව කාන්ට්ගේ විචාරාත්මක දර්ශනය බිහි වීමත් සමඟ අවසන් විය. මෙයින් පසුව දාර්ශනික පීඨයන් දේවධර්ම පීඨයන්ගෙන් ස්වායත්තව ස්ථාපනය විය. තර්ක බුද්ධිය විචාරාත්මකව යෙදවීමේ නිදහස උදාවිය. මෙහි දී ප්‍රමුඛ වූයේ දාර්ශනික පීඨයන් විනා වෛද්‍ය හෝ නීති පීඨයන් නො වේ. යිනාවලට ෆිෂ්ට පැමිණීමෙන් පසු කාන්ටියානු ව්‍යාපෘතිය ඔහු තවදුරටත් රැඩිකල් කළේ ය. ෆිෂ්ටගේ දේශනවලින් ආභාසය ලබමින් පශ්චාත් කාන්ටියානු දර්ශනය නව දිශාවන් දක්වා වර්ධනය විය. මේ තත්ත්වයන්ගේ ආභාසය ලබමින් ය හෙගල් ප්‍රපංචවිද්‍යාව කෘතිය සම්පාදනය කරන්නේ.

ප්‍රපංචවිද්‍යාව යන්නෙන් හෙගල් අදහස් කරන්නේ කුමක් ද? මේ කෘතියේ විෂය වස්තුව වන්නේ කුමක් ද? මේ කෘතියේ හෙගල් දිගින් දිගට ම යොදන වචනයක් වන්නේ ‘Wissenschaft’ යන්න ය. එහි සාමාන්‍ය අදහස වන්නේ ‘science’ යන්න ය. මෙය දර්ශනය විද්‍යාවක් බවට පත් වීමේ ක්‍රියාව ය. හෙගල් මෙහි දී විද්‍යාව යන්නෙන් අදහස් කරන්නේ අද අප විද්‍යාව යනුවෙන් අදහස් කරන දෙයට වඩා වැඩි දෙයකි. හෙගල්ගේ කාලයේ දී මෙයින් අදහස් කළේ ඥානය සම්බන්ධයෙන් පද්ධතියක දෘඪ සොයා යාමක් යන්න ය. හෙගල් තමන්ගේ පොත නම් කරන්නේ ‘science of the experience (Erfahrung) of consciousness’ කියා ය. මේ හරහා හෙගල් ප්‍රපංචවිද්‍යාව යනුවෙන් අදහස් කළේ කුමක් ද යන්න ගැන දැනුමක් ඇති කර ගත හැකි ය. ‘Geist’ යන්නෙහි තේරුම වන්නේ අත්දැකීමට පිටුපසින් සැඟවී ඇති දෙය ය. ‘Phenomenology’ යන්න විද්‍යාවක් නම් මේ විද්‍යාව මඟින් කරන්නේ සැඟවී ඇති සාරය පෙනී සිටින්නේ කුමන රූපකාරයන්ගෙන් ද යන්න සොයා බැලීමකි. මේ කෘතිය අවසානයේ දී ‘Geist’ හෙවත් පරමාත්මය පූර්ණ වශයෙන් පෙනී සිටී. ඊට කලින් අවධිවල දී පරමාත්මය පෙනී සිටින්නේ අසම්පූර්ණ ආකාරයකට ය. පූර්ණ වශයෙන් පරමාත්මය පෙනී සිටින මොහොතේ දී තවදුරටත් දෘශ්‍යමානයට පිටුපස ඇති සැඟවුණු සාරයක් අහෝසි වී යයි.

හෙගල් තමන්ගේ පොත ලියන්නේ අනාගතයේ දී තමන් ලියන්නට යන සමස්ත දාර්ශනික පද්ධතියට හැඳින්වීමක් ලෙස ය. මේ පොත තුළ පශ්චාත් කාන්ටියානු දර්ශනයේ සියලු දාර්ශනික විවාදයන්හි සාරය අන්තර්ගත කර ගැනීමට ඔහු අදහස් කළේ ය. ඒ සමඟ ම තමන්ගේ උසස් නැවුම් දාර්ශනික අදහස් එකතු කිරීමට ද උත්සාහ ගත්තේ ය. මෙම කෘතියේ ප්‍රස්ථාවනාවේ හෙගල් සඳහන් කරන්නේ ‘this path to science is itself already science’ යනුවෙනි. එනම්, විද්‍යාවට ඇති මේ මාර්ගයත් විද්‍යාවක් බව ය. මෙයින් ඔහු අදහස් කරන්නේ ක්‍රමානුකූල දාර්ශනික පද්ධතියක් මේ කෘතියෙන් ආරම්භ වන බව ය.

පරමාත්මයේ ප්‍රපංචවිද්‍යාව කෘතියේ ව්‍යූහය අසම්ප්‍රදායික එකකි. හෙගල් කෘතියට ප්‍රස්ථාවනාව ලියන්නේ සමස්ත කෘතිය ලියා අවසන් වීමෙන් පසුව ය. ප්‍රස්ථාවනාවෙන් පසුව කෙටි හැඳින්වීමක් ඇත. මෙම හැඳින්වීම පොත ආරම්භයේ දීම සම්පාදනය කළා යැයි සිතිය හැකි ය. විඥාන අත්දැකීම පිළිබඳ විද්‍යාව ලියවෙන්නේ සොබා දහම පිළිබඳ දර්ශනය, පරමාත්මය පිළිබඳ දර්ශනය යන තේමාවන්ට හැඳින්වීමක් වශයෙනි.

හෙගල්ගේ සමස්ත පද්ධතිය සමන්විත වන්නේ ප්‍රධාන කොටස් තුනකිනි. ඒ තර්කවිද්‍යාව, සොබාදහම පිළිබඳ දර්ශනය හා පරමාත්මය පිළිබඳ දර්ශනය යන කොටස්වලින් ය. මේ සමස්ත පද්ධතිය තුළ ප්‍රපංචවිද්‍යාව ස්ථාපනය කරන්නේ කුමන ආකාරයට ද යන්න සොයා බැලිය යුතු ය. හෙගල් ප්‍රපංචවිද්‍යාවෙන් කථා කරන්නට යන දෙය තර්කවිද්‍යාව තුළ උපරිමයකට යන අතර එයින් කතා කරන දෙය සොබා දහමේ දර්ශනය තුළින් තවත් ඉදිරියට ගමන් කරන අතර පරමාත්මය පිළිබඳ දර්ශනයේ දී සිය දාර්ශනික පාරප්‍රාප්තිය සිදු වේ. ප්‍රපංච විද්‍යාව තුළ ගොඩනගන දර්ශනයෙහි සීමාව වන්නේ පරම ඥානය ය (Absolute Knowing).

හෙගලියානු අර්ථයෙන් phenomenology නම් වචනයෙන් හඟවන්නේ ප්‍රපංච පිළිබඳ විද්‍යාව science of phenomena යන්න ය. ප්‍රපංච යනු පෙනී සිටීම ය. ග්‍රීක වචනයක් වන ‘phainomai’ යන්නෙන් ‘appear’ යන්නත් ‘logos’ නම් වචනයෙන් ‘account reason’ යන අර්ථයත් ගෙන එයි. මේ අනුව ‘phenomenology' යන්නෙහි අර්ථය වන්නේ ‘study of appearance(s)’ ය. නමුත් මෙහි ‘appearance' යන්නෙහි විසංවාදමය බවක් ඇත. එහි සාමාන්‍ය අර්ථය යමක පෙනී සිටීම හෝ ප්‍රකාශයට පත් වීම ය (emergence or manifestation of something). හෙගල් Erscheinen නම් වචනය appearance, එනම් ‘පෙනී සිටීම’ නම් නාම පදය හැඟවීම සඳහා යොදා ගෙන තිබෙන අතර ම ‘erscheinen’ යන්න ක්‍රියා පදයක් වශයෙන් ද යොදා ඇත. එහි තේරුම වන්නේ ‘to appear’ පෙනී සිටීම යන්න ය. මෙසේ පෙනී සිටින්නේ පරමාත්මය ය (Geist). ‘Geist’ යන්න පුද්ගලයෙකුගේ බුද්ධිමය පාර්ශ්වය හා මනස සඳහා භාවිත වූ ජර්මානු වචනය ය. නමුත් හෙගල් තමන්ගේ ප්‍රපංචවිද්‍යාවේ දී Geist යන්නෙන් හඟවන්නේ සාමූහික මනසකි. එය ලෙහෙසියට පරිවර්තනය වන්නේ ‘Spirit’ ලෙසට ය. මෙය ප්‍රජාවක් විසින් හුවමාරු කරගන්නා සාමූහික මනසකි (Inwood 2018, vi). මේ නිසා ය හෙගල් I that is we and we that is I” (Hegel 1977, 110) ලෙසට ලියන්නේ. එමෙන් ම ත්‍රිත්වයේ තුන්වන පුද්ගලයා ‘The Holy Spirit’ ශුද්ධ ආත්මය හෙගල්ගේ මනසේ තැන්පත් ව පැවතුණා යැයි සිතිය හැකි ය.

හෙගල් ‘Spirit’ යන්නෙන් හඟවන්නේ අතිමානුෂීය දිව්‍යමය ආත්මයක් නො වේ. මෙයට දිය හැකි වඩාත් ගැළපෙන තේරුම ‘මනුෂ්‍ය ස්වභාවය’ යන්න යි. මේ අනුව පරමාත්මය මඟින් කියවෙන්නේ අප ගැන ය. අපගේ ස්වභාවය ගැන ය. පරමාත්මයේ විවිධ ස්වරූපයන් එයට ම පෙනී සිටින ආකාරය මෙහි දී නිරූපණය කෙරෙයි. පරමාත්මය තුළින් ප්‍රකාශයට පත් වන්නේ අතිමානුෂීය ලෝකයක් හෝ අවතාරමය ස්වරූපයක් නො වේ. ජර්මානු ‘Geist’ නම් වචනය ‘ghost’ යනුවෙන් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය වී තිබීම හෙගලියානු ආත්මයට වැරදි තේරුමක් එකතු වීමට හේතු විය. හෙගල් පරමාත්මය යන්න මේ ලෝකයෙන් වියෝ කරන්නේ නැත. පරමාත්මය යනු මිනිසාට හිමි මනසේ ම අද්විතීය ස්වරූපයකි. අනෙකුත් සතුන්ට මෙන් නොව මිනිසාට ස්වයං- විඥානයක් අත්පත් කර ගත හැකි ය. අපට අප ගැනම සවිඥානක විය හැකි ය. මේ ගුණය සතුන්ට නැත. අප කොහොම විය යුතු ද යන්න තීරණය කළ හැක්කේ මිනිසාට පමණි. අපගේ මනසේ ස්වභාවය යන්න අපට සොබාදහමින් හෝ උපතින් ලැබුණු එකක් නොව අප විසින් ම තීන්දු කළ එකකි. අප නිදහස් පුද්ගලයන් වන නිසා අපගේ මිනිස් ස්වභාවය අපට ම තීරණය කර ගත හැකි ය. හෙගල් දක්වන මෙම ස්වයං-විඥානික භාවය පුද්ගලයෙකුට උපතින් ම ලැබෙන්නක් ද නො වේ. එය යම් කාලයක් ගත වීම හරහා ලැබෙන එකකි. උපතේ දී ළමයෙකු සත්ව ස්වභාවයකින් වෙනස් නැත. එහි දී ළමයෙකුට පරිවර්තනමය විඥානයක් නැත (unreflective). මිනිසාට විඥානමය පරිණත බවක් ලැබෙන්නේ අප ගැන ම පෙරළා විචාරාත්මකව සිතීමෙනි. ප්‍රාථමික අවධීන්හි අපි වනාහි අප ගැන වත් සිතීමට නොහැකි (unself conscious) අය වෙමු. මේ ප්‍රාථමික අවධීන්හි ඇති නොසමත්කම් පිටු දකිමින් අපට ක්‍රමානුකූල නිදහස් සත්ත්වයන් විය හැකි ය. ඉතිහාසය යනු ක්‍රමානුකූල ස්ව-විඥානය අත්පත් කර ගැනීමේ ඉතිහාසය වේ. පරමාත්මය පූර්ණ වශයෙන් සාක්ෂාත් වන්නේ නූතන යුගයේ දී ය.

හෙගල් පරමාත්මයේ විවිධ පාර්ශ්වයන්ට විවිධාකාරයේ සැලකිලි ලබා දෙයි. මේ අනුව පරමාත්මයේ ප්‍රපංචවිද්‍යාව යනු ආත්මය අපට පෙනී යන විවිධ රූපයන් ගැන දළ සටහනකි. ආත්මයේ අවවර්ධිත ස්වරූපයක් එනම් මනෝ විද්‍යාත්මක ආශ්‍රයන්ගෙන් පමණක් සැදුම් ලත් අවධියක් තිබෙන අතර සමාජයේ ආයතන හා නීති හරහා පෙනී යන ආත්ම ස්වරූපයක් ද ඇත. මේ සමාජ ආයතන හා නීතිරීති යනු මිනිස් විඥානයේ ම ප්‍රක්ෂේපණයකි. මේ සවිඥානක බව නැති කෙනෙකුට සමාජ ආයතන හා නීති පද්ධතීන් පෙනී යන්නේ දෙවියෙකුගේ වරමක් හෝ සොබාදහමේ ලියවී තිබෙන දෙයක් ලෙස ය.

ප්‍රාථමික අවධීන්හි දී පරමාත්මය පූර්ණ සාක්ෂාත් වීමකට නොයන අතර, එය පරිපූර්ණ ආකාරයට සාක්ෂාත් වන්නේ දර්ශනය තුළ ය. මෙහි දී ආත්මය පූර්ණ ස්ව-විඥානයකට යොමු වේ. මෙය වනාහි පරම ස්ව-විඥානය යි (absolutae self- consciousness).

මේ අනුව පරමාත්මයේ ප්‍රපංචවිද්‍යාව කෘතියේ අන්තර්ගත වන්නේ පරමාත්මයේ විවිධ හැඩයන් පරමත්වය අත්පත් කර ගැනීම දක්වා වර්ධනය වෙන ආකාරය ය. පරමාත්මයේ විවිධ පෙනීසිටීම්වල ඇති අනේකභාවය හෙගල් විසින් නිශ්චිත විද්‍යාත්මක පිළිවෙළකට ගෙන ඇත. අසම්පූර්ණ පෙනී සිටීම් මේ අසම්පූර්ණත්වයන් පියමන් කර ගැනීම සඳහා වඩාත් පරිපූර්ණ ආකෘතීන් දක්වා වර්ධනය වන ආකාරය හෙගල් පෙන්නුම් කරයි. මේ විඥාන ආකෘතීන්ගේ අවසන් සත්‍යය ආගම තුළත් ඉන් පසුව විද්‍යාව එනම් සමස්තය තුළත් විසඳා ගන්නා ආකාරය හෙගල් දක්වයි.

හෙගල්ගේ කෘතියේ විෂය වස්තුව කුමක් ද? මෙම විෂය වස්තුව සොයා ගැනීම සඳහා අවධානය යොමු කළ යුත්තේ හෙගල්ගේ ප්‍රස්ථාවනාවට නොව කුඩා හැඳින්වීමට ය. හෙගල්ගේ ප්‍රස්ථාවනාව වඩාත් සම්බන්ධ වන්නේ මෙම සමස්ත කෘතියේ අවසන් ඡේදවලට ය. මෙහි අවසන් ඡේදවල තමන් අනාගතයේ දී ගොඩනගන්නට යන සමස්ත පද්ධතිය ගැන සංක්‍ෂිප්ත අදහස් මාලාවක් අන්තර්ගත ය. අවසන් නිගමනාත්මක ඡේදවල තමන් කලින් කථා කළ පරිච්ඡේද ගැන සංක්‍ෂිප්ත විවරණයක් ලබා දෙන්නේ නැත.

හෙගල් පරමාත්මයේ ප්‍රපංචවිද්‍යාවට ලියන කෙටි හැඳින්වීමේ දී එක්තරා ප්‍රශ්නයක් නඟයි. එය නම් අපට පරමාත්මය දැන ගත හැකි ද දැනගත හැකි නම් එය දැනගන්නේ කෙසේ ද යන්නය. මේ ප්‍රශ්නයට අදාළ දාර්ශනික මූලය තිබෙන්නේ කාන්ට්ගේ Critque of Pure Reason කෘතියේ ය. මේ කෘතියෙන් ඉදිරිපත් කරන ස්වාත්ම-වශයෙන්-පවත්නා-දෙය (thing-in-itself) අපට දැනගත නොහැකි බවත් අපට දැනගත හැක්කේ දෘශ්‍යමාන වන දෙය (thing-as-they-appear-to-us) පමණක් ය යන අදහසත් සමඟ සම්බන්ධ ය. කාන්ට්ගේ මේ ප්‍රවේශය හෙගල්ට අනුව මිනිස් ඥානය සම්බන්ධයෙන් ගොඩනැගුණු සංශයවාදයකි. හෙගල්ට අනුව මෙවන් සංශයවාදයක් මඟින් අපගේ විඥානයෙන් පිටතට ගොස් පරිබාහිර දෘෂ්ටිකෝණයකින් බැලීමට හැකියාවක් නැත. කාන්ටියානු ඥානවිභාගය අනුව ඩේකාට්ස් විසින් ඇති කරන ලද දැනගන්නා හා දැනගැනීමට භාජනය වන දෙය අතර ද්වෛතය තවදුරටත් ශේෂගත වී පවතී. එමෙන් ම, මම හා මාගේ ප්‍රජානන උපකරණ අතර බෙදීමක් නඩත්තු වේ.

හෙගල්ගේ ප්‍රපංචවිද්‍යාව කෘතියේ අරමුණ වන්නේ දැනගන්නා හා දැනගැනීමට භාජනය වන දෙය අතර සම්බන්ධයක් ඇති කිරීම ය. කාන්ට්ගෙන් ප්‍රතිවිරුද්ධව හෙගල් පවසා සිටින්නේ පරමත්වය එනම් සමස්තය අපට ග්‍රහණය කර ගත හැකි බව ය. මේ ග්‍රහණය කිරීම එක විට කළ නොහැකි අතර අවධියෙන් අවධියට ගමන් කරමින් ක්‍රමානුකූලව කළ හැකි කටයුත්තකි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ය විඥානයේ විවිධ අවධීන් හටගන්නේ. මේ සෑම අවධියක් ම පරමත්වය ග්‍රහණය කරගන්නේ පාර්ශ්වීය ආකාරයට ය. මෙහි කලින් අවධිවල දී කරන වැරදි අඩුපාඩු ඊළඟ අවධියට යාම සඳහා තල්ලුවක් ලබා දෙයි. මේ අනුව වැරැද්ද අත්හිටුවීම ඩේකාට්ස්ගේ ක්‍රමය වුවත් එය හෙගල්ගේ ක්‍රමය නො වේ. වැරැද්ද සත්‍යයට ළඟා වීම සඳහා ඇති උදව්වකි.

මෙයින් තවදුරටත් පැහැදිලි වන්නේ හෙගල් සිය ප්‍රපංච විද්‍යාවේ දී කාන්ට් විසින් නොවිසඳන ලද ගැටලුවකට පිළිතුරක් සම්පාදනය කරන බව ය. කාන්ට් සිය ඥානවිභාගයේ දී ඉදිරිපත් කරන්නේ කැමරා ආකෘතියකි. මනස කැමරාවක් සේ ක්‍රියාත්මක වී පරමත්වය විකෘති කරයි. මෙම කැමරා ආකෘතිය මඟින් මම වනාහි තවත් මම වැනි අය අතර එක් සිතන්නෙක් පමණක් ය යන්න අත්හිටුවයි. මා සංජානනයට ලක් නොකරන ලෝකය, මම වැනි වෙනත් අයෙක් සංජානනය කරන්නේ ය යන්න මෙහි දී අත්හිටුවයි. අනෙකාගේ දෘෂ්ටිකෝණයෙන් ද ලෝකය සංජානනය වන බව මෙහි දී කතා කරන්නේ නැත. මේ ගැටලුව විසඳීමට ය අපගේ විඥානය අවධි කීපයක් හරහා වර්ධනය වනවාය යන්න හෙගල් විසින් පෙන්වා දෙන්නේ. හෙගල් තමන්ගේ ඥානවිභාගයට අනෙකාගේ දැක්ම ඇතුළු කර ගනී. මේ නිසා ස්වායත්තව පවත්නා පරමත්වයක් පිළිබඳ ව හෙගල් විශ්වාස කරන්නේ නැත.

ඔබගේ අදහස් අපට එවන්න.