හේගල් : ආගම සමඟ සැරිසැරීම

2022 ජූලි 7

Kant and Hegel

හේගල්ගේ දැක්ම සකස් වීමේදී ඔහුට සමකාලයේ බලපැවැත්වූ කාරණා දෙකක් ප්‍රමුඛ විය.

1. බුද්ධි ප්‍රබෝධයෙන් මතු කළ සදාචාරාත්මක ප්‍රාර්ථනාව - මෙහිදී මිනිසාට තම ස්වාධීනත්වයෙන් ක්‍රියාත්මක විය හැකි දිශාවන් තීරණය විය. මේ දිශාව තීන්දු කිරීමේදී කාන්ට්ගේ සදාචාර විනිශ්චය දැඩි පිළිගැනීමකට ලක්විය.

2. ක්‍රිස්තියානි ආගමේ බලපෑම- හේගල් තමන්ගේ උසස් අධ්‍යපනය සඳහා දේවධර්මය හැදෑරීය. නමුත් ක්‍රිස්තියානිය සම්බන්ධයෙන් හෙගලියානු ආකල්පය වෙනත් එකක් විය. හේගල් අතින් දේවධර්මය විශාල වෙනසකට ලක්විය.

හේගල්ගේ පරිණත කෘතීන් තුළ මේ සියල්ල අන්තර්ගත කර ගැනීමට උත්සාහයක් ගෙන ඇත. මිනිසුන්ගේ සදාචාරාත්මක ක්‍රියාකාරකම් සහ සමාජ ජීවිතය විකසිත වනනේ යම් සමස්තයක්, ඒකත්වයක් තුළ යැයි හේගල් පවසා සිටියේය.

1788-1793 කාලයේදී හේගල් ඇතුළු තරුණ ජර්මානුවන් බුද්ධි ප්‍රබෝධයෙන් ප්‍රබෝධමත්ව සිටි අතර ග්‍රීක පරමාදර්ශයන්ට විශාල නැඹුරුවක් දැක්වීය. එමෙන්ම පැරීසිය තුළ සිදුවන යුග පරිවර්තනය සම්බන්ධයෙන් ඔවුහු උද්දාමයට පත් සිටියහ. තරුණ මනස් තුළ දාර්ශනික ගිනි පුළිඟු දැල්වෙමින් පැවතිණි. ඔවුන්ගේ අපේක්‍ෂාව වී තිබුණේ ජර්මනිය තුළත් පරිවර්තනයකි. තර්ක බුද්ධිය සහ නිදහස (Reasons and Freedom) ඔවුන්ගේ සටන් පාඨය විය.

ප්‍රංශ සමාජය පරිවර්තනයකට ලක් කළ ලෞකික විප්ලවවාදීන්ගේ මතය සමඟ හේගල්ගේ මුල් කාලීන මතය තුල්‍ය නොවීය. ඔහුගේ අවශ්‍යතාවය වූයේ ආගමික ජීවිතය නඟා සිටුවීමය. නමුත් හේගල්ගේ ආගම සම්ප්‍රදායික සැදැහැවතෙකුගේ ආගමික මතය නොවීය. මෙහිදී හේගල් කාන්ට්ට ළං වූයේය.

කාන්ට් ආගම දෙස බැලුවේ සදාචාරත්මක කෝණයකිනි. මා කළ යුත්තේ කුමක්ද යන්න තීරණය වන්නේ මාගේ ආගමික විශ්වාසය හෝ දෙවියන් වහන්සේගේ අණ අනුව නොව මා සබුද්ධික සත්වයෙකු වශයෙන් දෙන තීන්දුව අනුවය. කාන්ට් කීවේ මිනිසා ශුද්ධත්වයට ළංවන විට ඔහු ශුද්ධ සදාචාරාත්මක අධිෂ්ඨානයෙන් ක්‍රියාත්මක වන ආත්මයක් බවට පත්වන බවයි. කාන්ට් ගේ ආචාර ධර්ම පදනම ප්‍රතික්‍ෂේප නොකළ හේගල් කියා සිටියේ මිනිසා හොඳ දිශාවට චලනය වන්නේ ඔවුන්ගේ හදවතින් සහ හැඟීමෙන් (Sensibility) බවය. ඒ තුළ ආදරය, මිත්‍රත්වය හා කරුණාව ක්‍රියාත්මකය. මෙහිදී හේගල් වඩාත් ළංවූයේ රූසෝටය.

මේ අනුව ආගම යනු ස්වාභාවික බාහිර අභිචාරයන්ගෙන් ක්‍රියාත්මක වන්නක් නොව ජීවමය සැදැහැවත් සමස්ත මිනිසුන් යහපත් දිශාවක් වෙත තල්ලු කරන්නකි. මේ ඔස්සේ ආත්මීය හා වාස්තවික වශයෙන් ආගම් දෙවර්ගයක් හේගල් හදුනා ගත්තේය. එනම්,

1. වාස්තවික ආගම (Objective Religions)

2. ආත්මීය ආගම (Subjective Religions)

වාස්තවික ආගම් හුදෙක් දේව ධර්මයක් වන අතර බාහිර ප්‍රකාශයට පත්වන භාවිතයන්ගෙන් යුක්තය. නමුත් ආත්මීය ආගම් දෙවියන් වහන්සේගේ සාධුත්වය අරා ක්‍රියාත්මක වන ජීවමාන අත්දැකීමකි. හේගල් අවිචාර ලබ්ධීන් (supersitions) බැහැර කළේය. ඔහු අති ස්වාභාවික දේ සමඟ ගනුදෙනු කිරීම බැහැර කළේය. හේගල් ගේ මහත් ආස්වාදයට ලක්වූයේ පැරණි ග්‍රීසියේ ජනතා ආගම් ය. ඒ ආගම් මිනිස් සමාජ ජීවිතයේ ම කොටසක් විය. මිනිසුන්ගේ ආගම් (Volks religions) සමාජයේ මහජන ජීවිතයේම කොටසක් විය. එය පරිබාහිර ධර්මයක්, භාවිතයක් නොවීය. ආත්මීය ආගම මඟින් එළියේ පවතින දෙයක් ගැන නොකියවෙයි. මේ ආගමෙන් මිනිසුන් එකිනෙකා බැඳ දමන සුළුය.1

ආත්මගත ගැමි ආගම බුද්ධි ප්‍රබෝධයේ උරුමයන් සමඟ සම්බන්ධ නොවන අතර අවිචාර ලබ්ධීන් පසුපස යන්නේද නැත. හේගල් නැවුම් ක්‍රිස්තියාන්යේ ප්‍රතිජානාත්මක බව ගැන ලීවේය. ඔහු අගය කළේ ආයතනගත ක්‍රිස්තියානි ආගම නොවේ. ඔහුට අනුව කතෝලික ආගම ආගමික අධිකාරිය හා අද්භූත විශ්වාසයන් ඉහළ දැමූ ආගමකි. නමුත් ක්‍රිස්තුස් වහන්සේගෙන් චිත්‍රණය වූයේ සමස්තය ය (wholeness). එය යුදෙව් සදාචාරයට එරෙහි සදාචාර පදනමක් ඉදිරිපත් කර ඇත. එය තර්කය හා හදවත (හැඟීම්) පදනම් කරගත් සදාචාරයක් ඉදිරිපත් කර ඇත. හේගල්ට අනුව ජේසුස් වහන්සේ කාන්ට්යානු සදාචාරය හා භාව ප්‍රකාශන පරමාදර්ශයන් මනාව එක්තැන් කර ඇත.

එය තවදුරටත් යුදෙව් ආගමේ මෙන් දෙවියන් වහන්සේ බාහිරව සිට කරන අණ කිරීමක් නොවේ. ජේසුස් වහන්සේ තර්ක බුද්ධිය හා සංවේදිතාවය අතර විභේදනය ඉවත් කර ඇත. ඔහු මානව වාදය ආත්මගත කරගත් සදාචාර ජීවිතයක් ගෙවා ඇත. හේගල් දකින්නේ මේ නැවුම් ක්‍රිස්තියානිය තමන්ගේ කාලය වන විට පිරිහී ගිය ධර්මතාවයක් වූ බව ය. හේගල් අසංතෘෂ්ටික විඥානය (Unhappy Consciousness) යටතේ ඒබ්‍රහම් විසින් පදනම දමන යුදෙව් ආගම ගැන විමසුමට ලක් කළේය. සොබාදහමේ ඒකත්වය සමඟ තමන්ගේ ගෝත්‍රයට තිබුණු සබඳතාවය ඒබ්‍රහම් කඩා දැමුවේය. මෙයින් පසු සොබාදහම අති ක්‍රියාකාරී, ජීවයෙන් තොර දෙයක් බවට පත්විය. එය ආත්මය සමඟ තවදුරටත් ඒකත්වයක් බවට පත්වන්නේ නැත. ආත්මයෙන් කැඩීමක් ආධිපත්‍යයට යටත් කිරීමත් (separation and domination) මෙයින් පෙන්නුම් කරයි. ඒබ්‍රහම්ගෙන් ආත්මය වස්තුකරණය වීම (objectification) හා සොබාදහමේ මුලාවෙන් මිදීම (disenchantment of nature) නිරූපණය කරයි. හේගල් මේ තුළ දකින්නේ සොබාදහමින් මිදීම සහ ඒ මත සිය ආධිපත්‍යය හෙළීමේ කතන්දරයයි. එනම් සොබාදහම මිනිස් වුවමනාවට අනුකූලව හැඩගැස්වීමට පටන් ගත් මොහොතය. සොබාදහමින් කැඩීමත් සොබාදහම අපට තිබෙන සම්බන්ධය ආධිපත්‍යමය එකක් වීමත් මෙයින් සනිටුහන් විය. යුදෙව් චින්තන විශ්වාසය සහ අපගේ නූතන චින්තන විශ්වාසය අතර සමරූපීතාවයක් මෙහිදී ගොඩ නැගී ඇත. නූතන විඥානය යුදෙව් චින්තනයේ දිශාවට යොමු වී ඇති බව පෙනෙයි. එහෙත් හේගල් ඒබ්‍රහම්ගේ සොබාදහම පිළිබඳ විඥානය නූතන විඥානයේ වාස්තවික රූපයක් ලෙස නොදුටුවේය. සොබාදහම මත ආධිපත්‍යය හෙලීම මිනිසාට පැමිණියේ ඒබ්‍රහම්ගෙන්ය යන්න හේගල් නොකියයි. මිනිසා ශුද්ධ ආත්මයේ කොටසක්ව සිටියේය. දෙවියන්ට බැඳී සිටියේය. නමුත් තෝරාගත් මිනිසුන්ට සිදුවූයේ අනෙකුත් මිනිසුන්ගෙනුත් දෙවියන් වහන්සේගෙනුත් වෙන්වීමටය. ඔහු ලෝකයේ ආධිපත්‍යය තම අතට ගත් අතර සොබාදහම සතුරෙකු ලෙස සළකන්නට පටන් ගත්තේය. දෙවියන් වහන්සේ ඊශ්‍රායෙල් දරුවන්ට පොරොන්දු වූයේ ග්‍රීකයන් කලා සේ සොබාදහම සමඟ භාව ප්‍රකාශන ඒකත්වයට පැමිණීම නොව සොබාදහම තම සන්තකයට ගැනීම ය. තමන්ගේ අවශ්‍යතාවය ඉටු කරගැනීමට සොබාදහම වහලෙකු කර ගැනීම ය.

මේ මොහොත වනාහි මිනිසා සහ මිනිසා අතරත් සොබාදහම සහ ආත්මය අතරත්, මිනිසා සහ සොබාදහම අතරත් බිදීමක් ඇති වූ මොහොතය. ඒකත්වය සහ අන්‍යෝන්‍යතාව ආධිපත්‍යය හා වහල්කමින් විස්ථාපනය කිරීමය. මේ ද්වෛතමය විඥානය අසංතෘෂ්ඨික විඥානයක් බවට පත් වූ ආකාරය පසුව විස්තර කරනු ලැබේ.

ජේසුස් වහන්සේගේ පණිවුඩය කුමක්ද? අහිමි වූ ඒකත්වය නැවත මිනිසුන්ට මතක් කිරීමය. පිටතින් පැමිණෙන අණ හරහා සොබාදහමින් කැඩීම සහ එකිනෙකාගෙන් වෙන්වීම වෙනුවට හදවතේ අණ රැගෙන ඒමය. සොබාදහම හා ආත්මය අතර සහජීවනය ගෙන ඒමය. නමුත් මේ පණිවිඩය මිනිසාට ඇසුණේ නැත. ජේසුස් වහන්සේට අණ කෙරුණේ අනාගත වක්තෘගේ (Messiah) මිත්‍යාව රැක ගැනීමටය. නව ආධිපත්‍යභාවයක් පිළිගැනීමටය. එයින් වන පසුතැවීම භාරගැනීමටය.

ජේසුස් වහන්සේගේ ජීවිතය ගතහොත් එය සදාචාරය පිළිබඳ සමස්තයක් දේශනා කළ මනස හා හදවත එක්තැන් කළ එකකි. නමුත් කාන්ට්ගේ සදාචාර දර්ශනය ගතහොත් අවසන් අර්ථයේදී එහි යුතුකම (duty) හා ආශාව (desire) අතර බෙදීමක් ජනිත කර ඇත. නමුත් ජේසුස් වහන්සේ තුළ මේ දෙක එක්තැන් කර ඇත. උන්වහන්සේගේ දේශනා තුළ ඇත්තේ ආදරයයි. මිනිසා සහ මිනිසා අතර ඒකත්වයක් ගොඩනැගීමකි. මිනිසාව අනෙක් මිනිසුන් සමඟත් සොබාදහම සමඟත් එක්කිරීම ආදරයේ ලක්‍ෂණය ය.

ජේසුස් වහන්සේගේ ඉගැන්වීම ආදරය හා සම්බන්ධ වූ අතර ඔහුගේ ජීවිතය සමස්තය සමඟ පූර්ණ සහජීවනයෙන් සිටින්නක් විය. ඔහු ජීවිතයේ ඒකත්වය උල්ලංඝණය කිරීමට උත්සාහ ගත්තේ නැත. ජේසුස් වහන්සේගේ පණිවුඩය මිනිසුන් වෙත නොපැමිණි අතර යුදෙව් නීතිය බලවත් හා ආධිපත්‍යමය එකක් විය. මෝසෙස්ගේ නීතිය මිනිස් ජීවිතයේ සෑම අස්සක් මුල්ලක් නෑරම කාන්දු වී තිබිණි. පවුල ඇතුළටම යුදෙව් අණ පනත් යොමුවී තිබිණි. ජේසුස් වහන්සේගේ ජීවන පරමාදර්ශයන් යුදෙව් පරමාදර්ශයන්ට ඇතුළත් කරගෙන තිබුණේ නැත. අනෙක් අතට යුදෙව්වන් දිනා ගැනීමට ජේසුස් වහන්සේගේ පරමාදර්ශයන්ට නොහැකි විය.

ජේසුස් වහන්සේගේ ආගමික විඥානය යුදෙව් මහජන ජීවිතය තුළින් ප්‍රකාශයට පත් වූයේ නැත. ජේසුස් වහන්සේට සිදුවූයේ කුඩා කණ්ඩායමක් වට කර ගෙන ජීවත් වීමටය. අවසානයේ ඔහුට ඔහුගේම ජීවිතය අත්හැරීමට සිදුවිය. ප්‍රතිවාදී ආධිපත්‍යයක් මඟින් ඔහුගේ ජීවිතය අවසන් කළේය. ක්‍රිස්තියානිය යුදෙව් ආගම මෙන් නොව අසංතෘෂ්ඨික විඥානයේ ඉරණමට ලක්විය. යුදෙව් ආත්මය මඟින් සොබාදහම තවත් එක් වස්තුවක් බවට පත් කළේය. දෙවියන්ට යටත් ව සොබාදහමේ ඵල භුක්ති විදීමට යොමු කළේය. එහෙත් ක්‍රිස්තියානිය සොබාදහම සමඟ ඇති කරගත් සම්බන්ධාතවයන් ආදරයේ ප්‍රකාශනයක් ලෙස ගත්තේය.

පැරණි පල්ලිය මුලදී සාමුහික ජීවිතයක් අගය කළේය. මේ යහපත් පැත්ත පසුව පල්ලිය මඟින් ම අත්හැර දැමීය. පල්ලිය ලෝකය සමඟ ගනුදෙනු කිරීමට පටන් ගැනීමෙන් පසුව ඒ තුළ නරක හෘදය සාක්‍ෂියක් සහ කුහකත්වයක් වර්ධනය විය. පල්ලිය බලය සමඟ ගනුදෙනු කරන්නට පටන් ගත්තේය. පල්ලියේ දූෂිත බව හෙළා දැකීමට පල්ලියට හැකියාවක් තිබුණේ නැත.

හේගල් ධ්‍රැව තුනක් එක්තැන් කිරීමට උත්සාහ ගත්තේය.

1. ග්‍රීක ඒකත්වය

2. ක්‍රිස්තියානි ආගම

3. කාන්ට්ගේ සදාචාර නිදහස

මේ වනාහි ග්‍රීකයන් තුළ පැවති භාව ප්‍රකාශන ඒකත්වය, ක්‍රිස්තියානිය සහ බුද්ධි ප්‍රබෝධ සබුද්ධිකත්වයේ නිදහස එක්තැන් කිරීමකි. එහෙත් හේගල් ෆ්‍රෑන්ක්ෆර්ට්වල සිටි අවසන් කාල පරිච්ඡේදයේ ඔහු තේරුම් ගත්තේ මේ එකමුතුව කළ නොහැකි එකක් බවය. ජේසුස් වහන්සේගේ ආගම ග්‍රීක පෞර රජ්‍යය සහ ජීවිතය දරාගත් මහජන ආගම සමඟ සම්බන්ධ කළ නොහැකි විය. ග්‍රීක පෞර ක්‍රමයේ පරමාදර්ශයන් නැවත ස්ථාපනය කළ නොහැකි විය. එය පුද්ගල නිදහසේ නූතන ආත්මය සමඟ සම්බන්ධ කළ නොහැකි විය. කාන්ට්යානු ස්වායත්ත සදාචාරය හා භාව ප්‍රකාශන ඒකත්වය එකිනෙක සමඟ මුසු කිරීම කළ නොහැකි විය. හේගල් මේ එකදු ධ්‍රැවයක්වත් ඉවත් කිරීමට උත්සූක වූයේ නැත. විශේෂයෙන් ම කාන්ට් විසින් සූත්‍රගත කළ සබුද්ධික නිදහස පිළිබඳ ව බුද්ධි ප්‍රබෝධ මතය දිගටම අල්ලාගෙන සිටියේය.

Baruch Spinoza

1800 කාලයේදී හේගල් ෆ්‍රෑන්ක්ෆර්ට් වල දැරූ තනතුරින් ඉවත්ව යිනා විශ්ව විද්‍යාලයේ දර්ශනය ඉගැන්ව්ම් ඇරඹීය. මේ කාලයේ ඔහු වැඩ කරමින් සිටියේ ශෙලිංගේ උත්තේජනය සමඟිනි. මෙහිදී ඒකත්වය අත්පත් කර ගැනීමත් විභේදනය (වෙනස) ඉක්මවා යාමත් ඔහු තේරුම් ගත්තේ ප්‍රතිවිරුද්ධයන්ගේ සමාදානයත් (reconciling oppositions) ලෙසට ය. තර්ක බුද්ධිය මත පදනම්ව රැඩිකල් ස්වායත්තතාව සහ භාව ප්‍රකාශන ඒකත්වය අතර මේ සමාදානය සිදුවේ. මේ පැති දෙකෙහි ඉල්ලීම අධ්‍යහාර වශයෙන් තෘප්ත වන මොහොතේ ඒවා අතර ඒකත්වය ගොඩනැගෙයි. හේගල්ගේ පරිනත පද්ධතිය තුළ මේ ඒකත්වය ගොඩනැගීම කර ඇත.

රොමැන්තික පරම්පරාව භාව ප්‍රකාශන සමස්තය සහ රැඩිකල් නිදහස අතර ගොඩනැගෙන එකමුතුව ස්පිනෝසා සහ කාන්ට් අතර ගොඩනගන එකමුතුවක් ලෙස තේරුම් ගත්තේය. හේගල් දාර්ශනිකව සැරිසරන්නේ මේ උත්සාහයන් තුළය. හේගල්ට අවශ්‍ය වන්නේ මේ ගැටළුවෙන් එළියට යාමේ මාර්ගයකි ප්‍රශ්නය විසඳිය යුත්තේ ද එකදු ධ්‍රැවයක්වත් අත් නොහරිමිණි.

හේගල් පරමත්වය පිලිබඳ සංකල්පය ගොඩනගන්නේ ඉහත ගැටළු ව විසඳීමටය. ඔහු Das Absolute යන්නෙන් අදහස් කළේ සර්ව සම්පූර්ණ, ස්ව අන්තර්ගතයකින් යුත් සර්ව-ආවෘත බවකි. එය ප්‍රපංච ලෝකයට යටින් දිවයන මූලධර්මයක් නොවේ. ඔහු අතින් පරමත්වය මෙසේ නිර්වචනය විය.

But the Absolute itself is thus identity of identity and non-identity, opposition and unity are both in it. (Hegel 1977, 156) මේ ප්‍රශ්නයේ දී හේගල්ට තම පරම්පරාවේ දාර්ශනිකයන්ගෙන් කැඩීමට නැතහොත් වෙන් වීමට සිදුවිය. මෙය සිදුවූයේ ඔහුගේ යිනා කාල පරිච්ඡේදයේ අවසන් කාලයේදීය. Phenomenology of Spirit කෘතියට ප්‍රස්ථාවනාවලියමින් මේ වෙන්වීම පිළිබඳ ඇඟවීම් කළේය. ශෙලිංගේ පරමත්වය පතුලක් නැති වලක් (abyss) ලෙසට හේගල් සැළකුවේ එහදිී සියළු වෙනස්කම් මිලින වී යාම නිසාය. රාත්‍රියේ සියළු ම බැටළුවන් කළුපාට යැයි හේගල් කීවේ මේ නිසාය.

To pit this single insight, that in the Absolute everything is the same, against the full body of articulated cognition, which atleast seeks and demands such fulfilment, to palm off its Absolute as the night in which, as the saying goes, all cows are black (Hegel 1977:9)

මෙය හේගල් අවධාරණය කරන්නේ ශෙලින්ගේ පරමත්වයට විවේචනයක් ලෙසටය. හේගල් Absolute යන්නෙන් අදහස් කළේ වෙනත් අදහසකි. ඔහු මේ පරමත්වය ඉතිහාසයට සම්බන්ධ කළ අතර ඉතිහාසය සම්බන්ධයෙන් නව අදහසක් වර්ධනය කරමින් කියා සිටියේ එය වනාහි නිශ්චිත මනුෂ්‍ය ඉරණමක් දිග හැරීමක් ලෙසටය. මෙය තවදුරටත් 18 වන ශතවර්ෂයේ ව්‍යාප්තව පැවති දේවාරක්‍ෂාව (providence) නොවේ. දෙවියන් වහන්සේගේ අරමුණක් දිග හැරීිම වඩාත් ඉහළ එකමුතුවක අරමුණු කරගෙනය. මිනිසාට සමාජය සහ සොබාදහම සමඟ ඒකත්වයක් අවශ්‍යය.

Friedrich Wilhelm Joseph Schelling

ඉතිහාසය තමන් විසින් සාදාගත් තුවාල සුවපත් කරගනිමින් ඉදිරියට ගමන් කරයි. මේ ගමන් කිරීම සිදුවන්නේ ඒකත්වයක් ලබාගැනීමටය. හේගල්ට අනුව ඉහළ ඒකත්වයක් ලැබෙන්නේ දර්ශනය තුළය. ආත්මය සිය සමස්තය අත්පත් කර ගන්නේ දර්ශනය තුළ ය. ඉහළ සහවාදයක් ලබාගැනීම චින්තනයට දියුණුවීම සඳහා ඇති ආවශ්‍යක කොන්දේසියකි. හේගල් අතින් සම්පූර්ණ වන්නේ මේ ව්‍යාපෘතියයි. මේ කාලය වන විට පශ්චාත් කාන්ට්යානු විඥානවාදීන් විශේෂයෙන් ම ශෙලිං හා ෆිෂ්ටේ අහංභාවය-අහංභාවය නොවන දේ (ego – non-ego), ආත්මීයත්වය- වාස්තවිකත්වය දාර්ශනික සාකච්ඡාවට ගෙන තිබිණි. ශෙලිං සොබාදහම පිළිබඳ දර්ශනවාදය ගොඩනගා තිබිණි. නමුත් හේගල්ගේ දාර්ශනික විශේෂත්වය වූයේ මුළු මහත් මනුෂ්‍ය ඉතිහාසයම දේශපාලනික, ආගමික, දාර්ශනික හා කලාත්මක ආදී ක්‍ෂේත්‍ර දාර්ශනික සමස්ථයකට ගැනීමය. හේගල්ගේ මේ දැක්ම අනුභූතියෙන් කරන්නා වූ වියුක්තනය හා වෙනස්කම එකිනෙකට සම්බන්ධ කළ හැකි චින්තනයකි. හේගල් මෙයට කීවේ ප්‍රත්‍යවේක්‍ෂණය (Reflexion=Reflection) කියාය. මෙය වනාහි වෙන් කිරීම (separation) හා ප්‍රතිවිරෝධයන් හරහා යමක් තේරුම් ගැනීමය. ප්‍රතක්‍ෂෙණමය නොවන චින්තකයින් ආරම්භ වී වියුක්තකරණය හරහා ආත්මය එහි වස්තූන්ගෙන් වෙන් කරමින් ප්‍රත්‍යවේක්‍ෂණමය ක්‍රියාත්මක වේ. මේ අනුව කාන්ට්ගේ දර්ශනය ප්‍රත්‍යවේක්‍ෂණය දර්ශනයක් යැයි හේගල් පැවසීය.

හේගල්ගේ අවසාන සහවාදය තුළ වෙන් කිරීමට මෙන්ම එකමුතුවටද ඉඩක් තැබිය යුතුය. සබුද්ධික ස්වායත්තතාවයක් ක්‍රියාත්මක වන්නේ වෙන් කිරීම ඇති තැනකය. ස්වායත්තාවය එකමුතුවකට ගෙන එන්නේ හේතුවේ භාෂාවෙනි. හේතුව (Reason) යන්නට හෙගල් අලුත් තේරුමක් ලබා දුන්නේය. එය අවබෝධයෙන් (understanding) වෙනස් ය. කාන්ට්ට අනුව ඉන්ද්‍රීය සංවේදනය (sensation) දැනුමක් (knowledge) බවට පත්කරන්නේ අවබෝධනය හරහාය. එහිදී සංල්පයන් හා පදාර්ථයන් මැදිහත්වීම සිදුවේ. නමුත් හේගල්ට අනුව අවබෝධය වනාහි එකිනෙක සම්බන්ධ කිරීම (fixation) හුදකලා කිරීම (soluting) සහ විශ්ලේෂණය කිරීමය. එය නිව්ටෝනියානු වැනි සාමාන්‍ය සංකල්ප සමඟ සම්බන්ධය. නමුත් එයින් හේගලියානු සංකල්පය (Concept) ගැන යමක් නොකියවේ. හේගල් සහ කාන්ට් යන දෙදෙනාටම අනුව අවබෝධනය හේතුවෙන් වෙනස්ය. හේගල් කාන්ට් මෙන් අවබෝධනය න්‍යායාත්මක දනුමේ ප්‍රජානන බලයක් ලෙස ගත්තේ නැත. ඔහුට අනුව එය දැනුමේ ආවශ්‍යක අවධියක් පමණි. හේගල්ට අනුව තර්ක බුද්ධිය, හේතුව (Reason) ආරම්මන ක්‍රියාවකි. (purposive action). සංකල්පීය සහ ප්‍රත්‍යවේක්‍ෂණමය චින්තනය යොදාගැනීමකි. වැරදි සහ සීමිත බෙදීම් බිඳ හෙළීමේ ක්‍රියාවලියකි. ගැටුම් සමනය කිරීමේ ක්‍රමවේදයකි. තර්ක බුද්ධිය දයලෙක්තිකමය වේ. කාන්ට්ගෙන් වෙනස්ව හේගල් කීවේ තර්ක බුද්ධිය අවබෝධනයට වඩා ඉහළින් පිහිටන බවය. එය සම්ප්‍රේක්‍ෂණමය ලෙස ක්‍රියාත්මක වේ. හේතුවෙන් ඉල්ලා සිටින්නේ දර්ශනය තුළ ඉහළ සහවාදයකි. නමුත් මෙය රොමෑන්තිකවාදීන් පැතූ ආකාරයේ කිසිදු විභේදනයක් නොමැති ඒකත්වයක් වෙතට නැවත යාමක් නොවේ.

1. “කෙසේ නමුත් තරුණ හෙගල්ගේ මේ මතය Young Hegel කෘතියෙන් විවේචනය කළ ජෝර්ජ් ලුකාස් කීවේ ආගම නිසා හේගල්ගේ මේ කාලයේ අදහස් විකෘතව ඇති බවය. මෙය ප්‍රතිගාමී උරුමයක් ලෙස ද ඔහු දුටුවේය.

ආශ්‍රිත ග්‍රන්ථ

1. Hegel (1977) Phenomenology of Spirit, trans. A.V. Miller, Oxford, Oxford University Press

2. Hegel, (1977) The Difference between Fichte’s and Shelling’s System of Philosophy,trans. H.S. Harris, Albany, Sate University of New York Press

ඔබගේ අදහස් අපට එවන්න.