දිව්‍යමය ප්‍රහසනය වෙළුම 1:
අපාය දෙවෙනි සර්ගය දිව්‍යමය ප්‍රහසනය ( පැදි XL - XLIX)

2022 ජූලි 7

Dante and Virgil

“එපවත් පවසා මා වෙත බැතියෙන්

ඉවත බැලූ සඳ දුටුවෙමි පියකරු

දෙනයන ගැල්වුණු දිලෙන කඳුළු බිඳු,

මා මේ ගමන‍‍ට කෙවිටෙන් දුවවන.”*1

එළඳා පැතු ලෙස ආවෙමි ඔබ වෙත,

සුර ගිර වෙත යන කඩිනම් මාවත

අහුරා සිටිමින් ඔබ බිය පත් කළ

තිරිසන් තුන් බිය පලවා හැරියෙමි*2

මන්ද පමා තව නොගොස් අපා මඟ

රඳනේ මේ ලෙස බියගුළු හදකින්?

නිවට ද ඔබ හද? නසනට නොහැකි ද

හදවත රඳනා ඔබ බියගුල්ලා ?*3

මොක් පුර නිවසන අබිසෙස් ලැබ ඇති

තුන් සුර ලලනා සය නෙත් ඔබ වෙත

යොමු වී ඇති බව පවසමි නිසැකව,

ඔබ වෙත ඇප වෙයි මගේ ද වචනය.*4

හිමකර සිසිලේ හැකිළුණු කුසුමෝ

අරුණලු පහසින් නැවතත් අවදිව

සිය පෙති විහිදා නටු අග සවි වෙති,

ආපසු පැමිණෙයි මිහිරි ප්‍රභාතය.*5

එලෙසම සවියෙන් මම තිරිහන් වෙමි

ලේ නහර පුරා දැන් දුවයි දිරිය බල,

මම යළි ඉපදෙමි දිරියෙන් නැඟිටිමි,

නිදහස් මිනිසකු වී ඔබ අමතමි.*6

“අපමණ කරුණා දක්වා මා මෙහි

කැඳවූ ළඳට ද, මා මෙහි ගෙන ආ

ඈ බස අසමින් ඉක්මන් ගමනට

සැරසෙන ඔබට ද ආසිරි වේවා.”*7

ඔබ සත් වදනින් පුබුදා මා හද

මුල් අරමුණ වෙත කැඳවයි නැවතත්,

මා ගුරු! මා මුනි! අඳ මා කනවැල!

ඔබ වෙයි දෙසිත ම මින් පසු එක සිත.*8

මා බස අසමින් පෙර මඟ ගත්තේ

පිටුපා මා වෙත, පියවර ඔසවා

ඔහු පසුපස මම යන්නට වූයෙමි

අපමණ බිහිසුණු කටුක මඟකි එය.*9

දෙවෙනි සර්ගය නිමි.

දෙවෙනි සර්ගය අවසාන භාගයට සම්ප්‍රාප්ත වී ඇති නමුත් තවමත් වර්ජිල් හා ඩාන්ටේ අතර කතාව විනා ගමන යෙදුණේ නැත. මේ සංවාදය සිදු වන භූමිභාගය මෘගයින් සහිත වනය හා අපාය අතර ය. ගිරි ශිඛරය ඉහළින් ඇත. වන්දනාකරුවාට මඟ වැරදුණේ ගිරිදඹයට යන ගමනේ දී ය. වන මෘගයින්ට බියෙන් ආපසු දිව එන අතරේ දී මුඩු බිම සහිත පල්ලමේ දී වර්ජිල් ඔහුට හමු විය. ගමන ඇනහිට ඇති අතර සංවාදය සිදු වන්නේ ඒ ස්ථානයේ ය.

තමාගේ ගමනට පසුබිම් වුණු කරුණුකාරණා එකිනෙක ගෙන හැර දැක් වූ පසු වර්ජිල් ඩාන්ටේට දොස් කියයි. උසස් දිව්‍යමය බලවේග උද්යෝගයෙන් කටයුතු කරන විට පවා ඩාන්ටේට තවත් ප්‍රමාද විය හැකි ද? එපමණක් ද? වර්ජිල් ම මාර්ගෝපදේශකයා ලෙස පැමිණෙන්නට බලාපොරොත්තු වී සිටියි.

මෙහි ඇති අඩමාන හා සංක්‍රාන්ති තත්ත්වය විශේෂිත ය. ඩාන්ටේගේ පුද්ගලික දිවිය තුළ ද, බියට්‍රිස් කෙරෙහි වූ ආදරය පාදක කර ගනිමින් ‘නව දිවිය’ (Vita nuova) ලිවීමෙන් පසු ‘දිව්‍යමය ප්‍රහසනය’ ‍ලිවීම නම් වියමන්කරණයේ අන්තර්-පඨිත සහසම්බන්ධය තුළ ද ඒ අවිනිශ්චිතතාවේ මොහොත තිබේ. ඔහු ‘නව දිවිය’ හෙවත් ඔහුගේ ‘ගොළු හදවත’ රචනා කිරීමෙන් පසු පුද්ගලික ජීවිත තුළ සිදු වී තිබෙන දේ බොහෝ ය. අනෙකකු සමඟ විවාහ වූ බියට්‍රිස් මියගොසිනි. ඔහු තම අනුවේදනීය පුද්ගලික තරුණ ප්‍රේම දිවියට අතිරේකව ප්‍රසිද්ධ රාජකාරි දිවියක් ද ගත කර, පිටුවහල් කිරීමේ වේදනාකාරී දඬුවමට මෙන්ම ආපසු සියරට යාම ජීවිතයට බලවත් තර්ජනයක් නිසා වෙනත් තේරීමක් නැති දුක්ඛිත තත්ත්වයට පත් වී සිටියේ ය. ‘නව දිවිය’ අවසානයේ දී ඩාන්ටේ ඇය ඉතාමත් දුරකින් දකින අතර අලුත් ගමනක් යාමට තීරණය කරයි. ‘දිව්‍යමය ප්‍රහසනය’ කාව්‍යයේ හදවතේ ඇත්තේ ඒ අලුත් ගමන හා ඊට කලින් ඔහු පත්වන ව්‍යාකූලත්වය තුළ ය.

‘නව දිවිය’ කෘතියේ දී ඔහු කරළියට ගෙනාවේ තමාගේ ම අනුරාගයන් (his own passions) නම් දැන් ඔහුට අනෙක් මිනිසුන්ගේ අනුරාගයන් හා ලාලසාවන් (passions of other people) ගවේෂණය කරන්නට වුවමනා වේ. තමාගේ සමීපතමයන් ඇතුළු මුළුමහත් සමාජය ඔහු තම කාව්‍ය කතිකාවට ඇතුළු කර ගන්නා අතර සමාරම්භක භාව ගීත සාහිත්‍යමය අදියරක (lyrical stage) සිට වීර කාව්‍යමය සාහිත්‍යමය අදියරක් (epic stage) හෝ වෘත්තාන්ත අදියරක් (narrative stage)කරා ගමන් කරන්නට සූදානම් වේ. මේ අපට ක්‍රිස්තියානි චින්තක තෝමස් ඇක්වයිනස්ගේ කලා න්‍යාය උපුටමින්‘තරුණයකු ලෙස කලාකරුවාගේ ආලේඛයක්’ (A Portrait of the Artsit as a Young Man) නම් තම මුල් නවකථාවේ දී ජේම්ස් ජොයිස් එළඹෙන නිගමනය අනුව අපට එළඹිය හැකි ස්වාධීන නිගමනයකි. (James Joyce, A Portrait of the Artist as a Young Man, Penguin, 1972, pp. 211-6).

එහෙයින් ඔහු පුද්ගලික පුරාණෝක්තියෙන් හෙවත් පුද්ගලික ෆැන්ටසියෙන් පොදු සමාජ පුරාණෝක්තියක් (public mythology)හෙවත් සමාජ ෆැන්ටසියක් (public fantasy) කරා ගමන් කරන්නට සැරසෙයි. ‘නව දිවිය’ කෘතිය ඔහුගේ පුද්ගලික අපාය හා පුද්ගලික පාරාදීසිය නම් නම් ‘දිව්‍යමය ප්‍රහසනය’ සමාජ අපාය හා සමාජ පාරාදීසිය (social hell and paradise) වේ. එහි ‘අපාය’ කාණ්ඩයේ සමාජයේ සියලු කතිකා, කෙඳිරිලි, විලාප හා බෙරිහන් දීම ඇතුළත් වේ. ඔහු ඒ වෙත ගමන් කිරීම හා එහි කැඳවා ගෙන යාම හෘදයාංගම තලයක දිග හැරෙන පුද්ගලික හැඳුනුම් තුළ සිදු වේ. පුද්ගලික ලෝකය හා සමාජ ලෝකය අතර සම්බන්ධය ඒ අයුරින් ගොඩනැගේ.

එහි දී තම අලුත් ගමනේ සාහිත්‍ය ශානරය ‘ප්‍රහසනයක්’ (commedia) ලෙස හඳුන්වන්නට ඩාන්ටේ කැමැති වුණේ මන්ද යන කාරණයට පිළිතුරු සෙවිය යුතු ය. දිව්‍යමය ප්‍රහසනය රචනා කරන විට ඩාන්ටේ තම ෆ්ලොරන්සය, පුරවැසිකම හා පාලක ප්‍රභූ තානාන්තර අහිමි සාමාන්‍ය අනාථ මිනිසෙකි. ඒ තත්ත්වය මැද දෘඪ මධ්‍යකාලීන ශානර ධුරාවලිය (hierarchy of genres) නොසලකන ඩාන්ටේට උසස්, මධ්‍යම, පහත් යන බෙදුම නොවූ බවත්, ඔහු (අපාය මෙන්ම) දෙවියන් ද දැක ආපසු පැමිණ ඒ අසාමාන්‍ය අත්දැකීම අපට පවසන ක්‍රිස්තු වර්ෂ 1300 පමණකාලයේ විසූ නිහතමානී සාමාන්‍ය මිනිසකු බවත් ගුසෙපි මට්සෝටා සඳහන් කරයි. මට්සෝටා තව දුරටත් පවසන්නේ ‘නව දිවිය’ බාහිර ලෝකයෙන් වෙන්ව, හුදෙක් ම හුදකලාව සහ ඔහුගේ ම දිවියේ ඇතුළාන්තය වෙත අප ඇද ගෙන යාම හේතුවෙන් ආඛ්‍යානයක් ලෙස අසාර්ථක වීමේ ඉරණමට ගොදුරු වූවක් බව යි.

“දිව්‍යමය ප්‍රහසනය ආරම්භ වන්නේ එක්තරා ආකාරයකට නැවක් මුහුදුබත් වීම වැනි දෙයකිනි. ඒ ඔහු ඉදිරියේ දී දීර්ඝ වශයෙන් විස්තර කරනු ලබන වෙනත් බුද්ධිමය කර්තව්‍යයන්ගේ නෞකා පරිමාන විනාශයක් වන නමුත් එහි හිස යොමු වී ඇත්තේ වෙනත් දෙසකට ය.” (Giuseppe Mazzotta, Reading Dante, Yale University Press, New Haven and London, 2014, p. 26).

ඇත්ත වශයෙන් සිදු වී තිබෙන්නේ ඩාන්ටේ ගත් මුල් මඟ වැරදී ඔහු අනතුරේ වැටීමකි. දැන් ඔහු එක්කෝ වන්දනාව නවතා ආපසු යා යුතු ය. නැතහොත් අලුත් ගමනක් පටන් ගත යුතු ය. ඔහු පැකිළෙන්නේ අලුත් මඟක් ගන්නට ය. කෙනෙකුට තමා ආ මඟ වැරදුණු බව පිළිගැනීමත්, පරාජය පිළිගෙන ආපසු යාම වෙනුවට තවත් මඟක් ගෙන ඉදිරියට යාමත් පහසු නැත. මේ එවැනි අතීරණාත්මක හා දෝලනාත්මක මිනිස් අවස්ථාවකි.

Beatrice visits Virgil in Limbo

-*1.බ්‍රියට්‍රිස් තමාගේ හේතු දැක්වීම අවසන් කරත්ම ඇගේ දෑසේ රැඳී තිබුණු කඳුළු බිඳු දැකීමෙන් තම ගමන ඉක්මන් වුණු බව වර්ජිල් ඩාන්ටේට කියයි. ‘එපුවත් පවසා මා වෙත බැතියෙන්, ඉවත බැලූ සඳ දුටුවෙමි පියකරු දෙනයන ගැල්වුණු දිලෙන කඳුළු බිඳු, මා මේ ගමන කෙවිටෙන් දුවවන.’

බ්‍රියට්‍රිස්ගේ ඇස් දෙකේ කඳුළු තිබීම හේතු මාලාවක් සහිත ලොකු කථාවකි. මූලික වශයෙන් එලෙස නැ‍ඟෙන කඳුළුවලින් යහපත් ප්‍රජාවක් ගැන කියවේ. ඒවා අනෙකාට යහපතක් කරන්නටඅවස්ථාව උදා වීම නිසා ඇති වූ තුටු කඳුළු ය. ඩාන්ටේ වෙනුවෙන් ඇය ගත් උත්සාහය සාර්ථක වීමේ තුටු කඳුළු ය. මේ කොටසේ තවත් කවියක (7 වෙනි කවිය) තමා මෙහි එවූ බියට්‍රිස්ට ද, තම බසට සවන් දුන් ඩාන්ටේට ද තුති පුදන විට වර්ජිල් තුළ ද ඒ ආධ්‍යාත්මික ධර්මතාව ඇත. මේ සියුම් ආධ්‍යාත්මිකත්වයට පාදක වන දර්ශනවාදයේ වඩාත් නූතන නිදසුන් ඇකඩමිකය හා ප්‍රායෝගිකත්වය අතර යුක්තිගරුක සහසම්බන්ධය (justice and balance between the acadaemic and practical spheres) ස්ඵුට කළ ප්‍රධාන නූතන චින්තිකාවක වූ සිමොන් වේල්ගේ චරිතයෙන් හා පැවිදි පාෂාණ හා පරිනාමවාදී විද්‍යාඥයකු මෙන් ම ප්‍රකට දාර්ශනිකයකු ද වූ තායිහාඩ් ඩි ෂාඩෑන්ගේ චරිතයෙන් ඉදිරිපත් වේ.

ප්‍රාග්-ඉතිහාසය දක්වා පැතිරෙන අතීතයෙන් ගමන් අරඹා අනාගතය වෙත වන්දනාවේ යන්නෙකු ලෙස (Pilgrim of the future made the journey entirely in the past) සිය පරිනාමවාදී ග‍වේෂණයන් පිණිස ප්‍රංශයේ සිට ඉන්දියාවට එමින් සිටිය දී ෂාඩෑන් මෙසේ ලිවී ය.

“ඉතින් මම දැන් මෙතැන සිටින්නේ නැවතත් මගේ නන්නත්තාර පැවැත්මට ඉඩ හරිමිනි. මගේ උද්යෝගයේ කලින් තිබුණු නැවුම්භාවය දැන් නැත; මා රැගෙන යන්නේ කවර අන්තයක් වෙතට දැයි මා කවර කලකවත් දැන සිටියේ නැති නමුත් මගේ දෛවය හඹා යන්නටත්, මා ඒ දෛව මාර්ගයෙහි රඳවන්නටත් මම කැමැත්තෙමි. ඒ සමහර විට මගේ අන්තිම දවස් අනාථයකු ලෙස මහ පාර අයිනේ ගත කරන තුරු යම් යම් අලුත් පියවර මාලාවකට ඉඩ හැරීම පමණක් විය හැකි ය.”(Teilhard de ChardinAlbum, Collins, 1966, p. 127).

‘මානව පෞරුෂය’ ලිපිය ආරම්භ කරමින් සිමොන් වේලේ මෙසේ ලියයි. “නුඹ කෙරෙහි කැමැත්තක් මට නැත - කෲරත්වයක් හා යුක්තියට රිදුමක් නොකර කිසිදු මනුෂයයකුට මේ වචන පැවසිය නොහැකි ය.”(Simone Weil: An Anthology, Penguin Classics, 2005, p. 70).

බියට්‍රිස්ගේ කඳුළු ගැන විවරණයේ දෙවෙනි කාරණය ඇය මහතෝකෘෂ්ට ස්ථානයක සිට අවාසනාවන්තයින්ගේ යටි තලයට පැමිණ සිටීම යි. ඇය හමුවන වර්ජිල්ගේ තත්ත්වය ද ඉතා කණගාටුදායක ය. ඔහු ගැලවුමක් නැති පේතයෙකි. ඩාන්ටේ ද අනතුරකට මුහුණ පා සිටියි. එහෙයින් ඇය රැඳී සිටින්නේ කඳුළු නිම්නයක ය. මේ නිසා ඇගේ ඇසේ දිලෙන්නේ හේතුයුක්ත කඳුළු ය.

Death Mask of Dante

තුන්වෙනුව කලින් කවියක පැවසුණු පරිදි ඇය ආපසු යන්නට තරම් උත්කෘෂ්ට ස්ථානයක සිට පැමිණ සිටියි. ඇගේ කඳුළු චාලි චැප්ලින්ගේ කඳුළු මෙන් මිහිතලයේ විසූ හා වෙසෙන අසරණයන්ට සේවය කිරීමට අවස්ථාව ලැබීම වෙනුවෙන් හෙළන කඳුළු ය.

පූර්වෝක්ත කවියේ දී ස්ථාන දෙකක් අතර වූ සංක්‍රමණය ගැන ද කියවෙන අතර ඒ මෙලෙසිනි. ‘එනමුත් කිව මැන මේ දුර ගෙවනට, අගාධ අපා කට වෙත බැස එන්නට නොබියව නොලසව අදිටන් කළයුරු, නැවතත් යා යුතු උත්තම තැන සිට.’

තල දෙකක් අතර වූ ඒ සංක්‍රමණය මඟින් වාසනාවන්තයින් හා පව්කාරයින් අතර පරතරය සලකුණු වන අතර ම එක ම තැනැත්තියක දෙතැනෙහි ම සිටීමෙන් සමාජ අවකාශයක් තුළ මානසික අවකාශයට තිබිය යුතු පුළුල් ඉඩකඩ ද සලකුණු වේ. යස ඉසුරු විඳින්නට පමණක් සීමා වුණු පැවිදි සංස්ථා සාමාජිකයින්ගේ අවස්ථාවාදය මෙන්ම දේශපාලනයේ දී ජනතාවාදය ද පිළිබඳ පොදු විවේචනයක් ද මෙහි අන්තර්ගත ය. එක අතකින් බියට්‍රිස් සෞභාග්‍යයේ තලයෙන් ව්‍යසනයේ තලයට පැමිණීමෙන් සැප විඳින්නට පමණක් කැප වුණු පැවිද්දා විවේචනයට භාජනය වේ.

අනෙක් අතින් ජනතාවාදය වෙනුවෙන් බුද්ධිමය උරුමය හා විදග්ධ සංස්කෘතිය ප්‍රතික්ෂේප කිරීමේ දේශපාලනික අපරාධය ද මින් විවේචනය වේ. ලෝක දෙකක් අතර එවැනි සංක්‍රමණයට පුළුල් ඉඩකඩ පැවතීම සැබෑ සංස්කෘතියේ, ප්‍රබුද්ධනයේ හා දේශපාලනික ක්‍රියාකාරිත්වයේ (political activism) මූලික කොන්දේසිය වේ.

ඒ කොන්දේසිය නොසපුරන සමාජ ජීවිතය අපායක් වන අතර එහි නූතන අනුවර්තනය නාසිවාදය යි. ස්ටැලින්වාදයේ හා පෝල්පොට්වාදයේ නරකතම අවස්ථාවල ද ජනතාවාදයේ බැනරය යටතේ මේ ඒකපාක්ෂික ගල් ගැසීම සිදු වේ.

-*2.වර්ජිල් දිගින් දිගට ම කරුණු කියා පාන්නේ අපාය ගමනට ඩාන්ටේ දක්වන නොකැමැත්ත හෝ දෙගඩියාව පහ කරන අරමුණෙනි. බ්‍රියට්‍රිස්ගේ ඇරයුම අනුව පැමිණි තමා මෘගයින් තිදෙනාගෙන් ඔහු බේරා ගත් බව වර්ජිල් ඩාන්ටේට සිහිපත් කර දෙයි. ‘එළඳා පැතු ලෙස ආවෙමි ඔබ වෙත, සුර ගිර වෙත යන කඩිනම් මාවත අහුරා සිටිමින් ඔබ බිය පත් කළ තිරිසන් තුන් බිය පලවා හැරියෙමි.’

-*3.ඒ තරම් කරුණ පැවසූ පසු ද ගමනට පැකිළෙන්නේ මන්දැයි වර්ජිල් විමසයි. හදවතින් මෙතරම් බියගුලු මන්දැයි අසන වර්ජිල් තමා පැවසූ කරුණු අසා සිත බිය පහ කර නොගන්නේ මන්දැයි ඩාන්ටේගෙන් විමසයි. ‘මන්ද පමා තව නොගොස් අපා මඟ, රඳනේ මේ ලෙස බියගුළු හදකින්? නිවට ද ඔබ හද? නසනට නොහැකි ද හදවත රඳනා ඔබ බියගුල්ලා?’

-*4.වර්ජිල්ට අනුව දේව සභාවේ (Heaven’s court) ලලනුන් තිදෙනකුගේ (මැඩෝනා, ලුසියා සහ බියට්‍රිස්) වරම් සහගත බැල්මට අතිරේකව තමාගේ ප්‍රතිඥාව ද ඩාන්ටේට තිබේ. එය දුලබ වරමකි. තුන් ලලනාවෝ දේවාභිෂේක ලද්දෝ වෙති. රෝම මහා කවියා ලෙස වර්ජිල්ගේ ප්‍රතිඥා සහගත වචනය ද ඇත. එපමණක් නොව වර්ජිල් ‘හේමාලයකු’ ලෙස අපාය හොඳින් දන්නා කෙනෙකි. ‘මොක් පුර නිවසන, අබිසෙස් ලැබ ඇති, තුන් සුර ලලනා, සය නෙත් ඔබ වෙත, යොමු වී ඇති බව පසමි නිසැකව, ඔබ වෙත ඇප වෙයි මගේ ද වචනය.’

-*5.තර්කානුකූලත්වය හඳුනන කෙනෙකු ලෙස ඩාන්ටේ ද වර්ජිල්ට ප්‍රතිචාර දක්වයි. ඔහු එය කාව්‍යාත්මක උපමා උපමේය ඇසුරෙන් පළ කරයි. රාත්‍රි කාලයේ පින්නෙන් ශීතල වී හැකිලී, අඩපණ වී තිබුණු මල් හිරු දුටු විට තම නටු අග විකසිත වීම පිණිස අවදි වෙයි. ඒ අයුරින් බියෙන් හැකිළී තිබුණු හදවත, හිරු රැස් වැනි වර්ජිල්ගේ වදන් ඇසීමෙන් ප්‍රාණවත් වේ.

මේ පැදියේ ධ්වනි අවකාශය තුළ සොබාදහම් වැනුමක් සේ ම රෝලන්ඩ් බාතගේ වෘත්තාන්ත කේත හෙවත් සංහිතා අර්ථයෙන් වෘත්තාන්තය ඉදිරියට තල්ලු කරන උපක්‍රමයක් ද සැඟවී ඇති. ‘හිමකර සිසිලේ හැකිළුණු කුසුමෝ, අරුණලු පහසින් නැවතත් අවදිව, සිය පෙති විහිදා නටු අග සවි වෙති, ආපසු පැමිණෙයි මිහිරි ප්‍රභාතය.’

-* 6.තමා තුළ ඇති වුණු චිත්ත විපර්යාසය ඩාන්ටේ මේ පැදියෙන් කදිමට විස්තර කරයි. ඔහු තුළ ජීව ශක්තිය පුෂ්පිත වේ. ධෛර්යේ ප්‍රවාහය ඔහුගේ හදවත තුළට ගලා එයි. ඉතින් ඔහු බිය නම් යදමින් නිදහස් වුණු මිනිසකු ලෙස කතා කරයි. ‘එලෙසම සවියෙන් මම තිරිහන් වෙමි, නහර පුරා දැන් දුවයි දිරිය බල, මම යළි ඉපදෙමි, දිරියෙන් නැඟිටිමි, නිදහස් මිනිසකු වී ඔබ අමතමි.’

-*7.ඩාන්ටේගේ ඒ වෙනස් වීමෙන් වර්ජිල් මහත් සේ සතුටු වේ. වර්ජිල්ගේ කථාවෙන් හැඟවෙන්නේ බියට්‍රිස්ගේ අරමුණ ඉටු වීම ඔහුගේ අරමුණ ඉටු වීමක් ලෙස ඔහුට දැනෙන බව යි. තමාට එවැනි අරමුණක නොමසුරු වරප්‍රසාදය ලබා දෙන ලද්දේ බියට්‍රිස්ගේ කරුණාවන්තකම විසිනි. ඔහු ඒ ගැන ඇයට ණයගැති වන අතර තමා විසින් රැගෙන එන ලද සත්‍යයේ වචනයට එකඟ වීම ගැන ඩාන්ටේට ද කෘතඥ වේ. ‘අපමණ කරුණා දක්වා මා මෙහි කැඳවූ ළඳට ද, මා මෙහි ගෙන ආ ඈ බස අසමින්, ඉක්මන් ගමනට සැරසෙන ඔබට ද ආසිරි වේවා!’

මින් පෙනෙන්නේ බියට්‍රිස්ට හා ඩාන්ටේට වඩා වැඩි සතුටක් වර්ජිල් අත්විඳින බවකි. මෙය මිනිසකු තුළ ඇති විය හැකි සුවිසල් හැඟුමකි. පරාර්ථය නිසා අත්විඳින සතුටක් මෙන් ම, උතුම් මෙහෙවරකට අවස්ථාව උදා වීම නිසා ඇති වුණු පරමානන්දයක් ද මෙහි ඇත.

මෙවැනි මනෝභාවයෙන් අපට නැවත ඩොස්ටොයෙව්ස්කිගේ සාහිත්‍යය තුළ හමු වන අතර අසරණ මිනිස්සු, අපරාධය සහ දඩුවම, නිවටයා යන නවකථාවල එවැනි මහර්ඝ මිනිස් චරිත මැවී ඇත. මාර්ටින් වික්‍රමසිංහ‘නවකථාංග හා විරාගය’ විචාර කෘතියේ දී හඳුනා ගන්නේ ද මේ පරාර්ථකාමී ලාලාසයේ (passion of selflessness) කූටය විය හැකි ය. වික්‍රමසිංහ ශ්‍රීමතුන් එය භවිෂ්‍යත් විදර්ශනාව ලෙස නාමකරණය කරමින් ඡද්දන්ත ජාතකය ඇතුළු පැරණි බෞද්ධ සාහිත්‍යය, ගූඪ චෛතසික ධර්ම, නව සාහිත්‍යය, භවසත්තාවාදය, විතරාගී චිත්‍ර ප්‍රතිමා, විරාගය, මෛත්‍රිය හා ප්‍රේමය ඔස්සේ විවරණය කරයි.

“ඊ. ඇම්. ෆෝස්ටර් තම යන පොතෙහි ලා ‘භවිෂ්‍යත් විදර්ශනය’ (prophecy) නමින් නවකථාංගයක් හඳුන්වයි. එය ඇරිස්ටෝටල් තම කාව්‍ය හාස්ත්‍රයෙන් හැඳින්වූ ‘ආවර්තනය’ (revolution) යන කාව්‍යාංගයට නෑකම් ඇත්තකි.”

“නවකථාවක භවිෂ්‍යත් විදර්ශනාව දකින්නට වුවමනා චෛතසික දෙකක් ඇත: අනභිමානය ඉන් එකකි; උපහාස සිත මැඩ ගැනීම අනිකයි.”

“ඉණකඩක් හැඳගත් මුනිවරයකු කොළඹ වීදියක දී දකින්නා ඔහුගේ අධ්‍යාත්ම චරිතය ගැන නොසිතයි; ඇතැම් විට ඔහුගේ කටකොනට සිනාවක් නගියි. මුනිවරයා කෙරෙහි ඔහුගේ සිත නොපැහැදෙන්නේ එහි පිවිසි අභිමානය හා ගර්වය නිසාය. ඔහුගේ කටකොනට සිනා නගින්නේ බුද්ධිය හා උපහාස සිත නොමැඩ ගන්නා ලද බැවිනි.”

ඒ විදර්ශනා ලක්ෂණය වෙනුවෙන් නැවත ඊ. ඇම්. ෆෝස්ටර් උපුටමින් මාර්ටින් වික්‍රමසිංහ සඳහන් කරන්නේ ඒ උත්තම අංගයට නිදසුන් කළ හැක්කේ ඩොස්ටොයෙව්ස්කි, හර්මන් මෙල්විල්, ඩී. එච්. ලෝරන්ස් හා එමිලි බ්‍රොන්ටේ යන සිව් දෙනා පමණක් බව යි. නවකථාවක් තුළ ඒ ලක්ෂණය ඇති වන්නේ අනෙක් සියලු අංගයන්ගේ එකමිතිය නිසා ඇති වන කල්පනා ලෝකයට හිමි වාතාවරණයෙනි යන ෆෝස්ටර්ගේ විවරණය තවත් පුළුල් කරන වික්‍රමසිංහ ආධ්‍යාත්මික ධර්මතා පිළිබඳ ක්ෂේත්‍රයට ද නොබියව පිවිසෙයි.

“භවිෂ්‍යත් විදර්ශනාව අරබයා පළමු වන තැන ලබන්නේ රුසියන් නවකථාකාරයකු වන ඩස්ටවුස්කිය. මේ ලේඛකයින් හතර දෙනාම ගූඪවාදීන් වීම අපගේ සැලකිල්ලට හසුවිය යුතු වැදගත් ප්‍රශ්නයක් නඟන සන්නිපාතයකි. මොවුන්ගෙන් ඩස්ටවුස්කි දර්ශනය උගත් ප්‍රාඥ ගූඪ වාදියෙකි...” (මාර්ටින් වික්‍රමසිංහ, නවකථාංග හා විරාගය, සීමාසහිත මවුන්ට් ප්‍රකාශකයෝ, 1965, පිටු 31- 4).

මාර්ටින් වික්‍රමසිංහ දකින භවිෂ්‍යත් විදර්ශනාව ඩාන්ටේගේ කාව්‍යයෙහි ද දැකිය හැකි අතර රටින් පිටුවහල් කරනු ලැබූවකු හා හෙළි නොකළ ප්‍රේමයෙහි පරාජිතයකු ලෙස පෙන්නුම් කරන චෛතසික ධර්මයෙහි දැකිය හැකි ය. ඒ විදර්ශනාව උපදින්නේ සිය ජීවිතය පිළිබඳව ඔහු මුහුණ දී සිටින ගැටළුව, තමා පිළිබඳව ඇති අනභිමානය, පැරණි ක්‍රිස්තියානි ධර්මය පාදක කර ගත් නිහතමානිත්වයේ ගූඪ චෛතසික ධර්ම, කාව්‍ය ශාස්ත්‍රය කෙරෙහි වූ දැඩි කැපවීම, විරාගය - මෛත්‍රිය - ප්‍රේමය යන හැඟීම් යනාදියෙහි ය.

Dante and Three Beasts

“භවිෂ්‍යත් විදර්ශනාව වනාහි මනුෂ්‍ය විෂය ඉක්මවන දයාව, ප්‍රේමය, හෝ කෲරකම හා ප්‍රලය පිළිබඳ අවස්ථා හා කවි අන්තර්ඥානයෙන් ඒ අවස්ථා දුටුවන් ධවනිතාර්ථ දනවන බසින් ඒ අරබයා කරනු ලබන වර්ණනාවන්ගෙන් ද ප්‍රකට වන්නකි.”(මාර්ටින් වික්‍රමසිංහ, නවකථාංග හා විරාගය, සීමාසහිත මවුන්ට් ප්‍රකාශකයෝ, 1965, පිටුව 41).

කාව්‍යයේ මේ අවස්ථාවේ ඩාන්ටේ සිටියේ සියැසින් අපාය දකින්නට යම් දෝ නොයම් දෝ යි සිතමිනි. මේ වන විට ඔහු සැහැල්ලුව එල්ලා ගෙන අනුරාධපුර අටමස්ථානේ ගොස් මඟ වැරදුණු අසරණ වන්දනාකාරයකු වැනි ය. දැන් ඩාන්ටේ අලුත් ගමනක් ලෙස ආරම්භ කරන්නට යන්නේ සාමාන්‍ය මාවතින් හෝ අපේක්ෂා කර ගෙන පැමිණි වන්දනා මාවතින් වෙනස් මඟක යන ගමනකි (detour).

-*8.ඩාන්ටේ අපාය ද තම අරමුණට ඇතුළු කර ගනිමින් දිග වන්දනා ගමන නැවත අරඹයි. එම තීරණයට එළඹෙමින් ඩාන්ටේ පවසන්නේ වර්ජිල් හා ඔහුගේ අවංක සත්‍යයේ වචනය නිසා තම හදවත අලුත් ගමන වෙත නැඹුරු වුණු බව ය. දෙවියන් දකින්නට යන වන්දනාව ඔහුගේ මුල් අරමුණ වූ අතර අතරමං වීම සහ මෘගයින් තිදෙනා නිසා ඒ අරමුණ වෙනස් විය. ඔහු බියෙන් වෙවුලමින් ආපසු දිව්වේ වන්දනාව අතහැර දමමිනි. දැන් නැවත පැරණි අරමුණ කරා යන්නට ඔහුට පුළුවන්කම ලැබී ඇත.

ඒ ගමන ඔහුට තනිව යා හැකි ගමනක් නොවේ. තම මාර්ගෝපදේශකයා, උතුම් ස්වාමියා සහ ගුරු දේවයා වර්ජිල් බව ඔහු කියයි. මාර්ක් මූසා පරිවර්තනයේ එය ‘my guide!my lord and teacher!’යනුවෙන් කියවෙන අතර ජොන් සියාඩි පරිවර්තනයේ ‘My Guide! My Lord! My Master!’ යනුවෙන් කියවේ.තවද මින් ඉදිරියට වර්ජිල් සහ ඩාන්ටේ එක ම සිතකින් කටයුතු කරන බව ද පැවසේ. ‘ඔබ සත් වදනින් පුබුදා මා හද, මුල් අරමුණ වෙත කැඳවයි නැවතත්, මා ගුරු! මා මුනි! අඳ මා කනවැල! ඔබ, වෙයි දෙසිතම මින් පසු එක සිත.’

-*9.ඒ අනුව දෙදෙනා එකෙකු ලෙස ගමන අරඹන අතර වර්ජිල් ඩාන්ටේට පිටුපා මාර්ගෝපදේශකයා ලෙස ඉදිරියෙන් ගමන් ගනියි. එය දුෂ්කර, අනතුරුදායක හෙලේ යන ගමනකි. ‘මා බස අසමින් පෙර මඟ ගත්තේ පිටුපා මා වෙත පියවර ඔසවා, ඔහු පසුපස මම යන්නට වූයෙමි, අපමණ බිහිසුණු කටුක මඟකි එය.’

ඔබගේ අදහස් අපට එවන්න.