ඩාන්ටේ ඇලිගේරි - දිව්‍යමය ප්‍රහසනය වෙළුම 1:
අපාය පළවෙනි සර්ගය - (පැදි XXX – LI)

2022 ජුනි 5

Three Beasts in Inferno

සැරදෙ මා කිවිඳ කිවියන් හට අන්

මහ පහනක් වී ගුරු බැති ඇවුළූ,

ගැඹුරු පෙමින් මම ඔබ පැදි කියවූ

නොමසුරු අසරණ සරණ යදින්නෙමි. *30

ඔබ මා ගුරු ම යල මා ගුරුදෙවි ම ය,

මිහිරෙන් අගතැන් පත් ඔබ කවියෙනි,

මා වෙත අපමණ හරසර ගෙන ආ

මා සතු කවි මඟ පාදා ගත්තේ. *31

බල මැන පසුපස දිව එන රුදු දෙන

මට අණ කරමින් පසුබැස දුවනට,

සුපතළ කිවියනි ඒ වල් දෙනගෙන්

රැක දෙව වෙවුලන අසරණ මා පණ. *32

"මේ වනගහනින් ගැලවී නිදුකින්

යා යුතු නම් නුඹ මේ මඟ වැරදි ය,

ඇය මඟ අවුරයි කවරෙකු වැඩියත්

නැත නැත මින් පෙර කිසිවකු ගැලවී." *33

"නොතිත් නොතිත් රුදු ආශා වගුරන

ඈ රුදු අඟනකි සහාසික විපරිත,

වළඳන වළඳන තරමට ලියලයි

ඈ කුස වැඩෙනා නිම් නැති ආශා." *34

"නොනිවෙන කම් රස රිසි ලෙස ලබනුව

අපමණ තිරිසනු සමඟ නිදයි ඇය,

කවරෙකු සමඟත් ඈ කය එක් වෙයි,

ඈ පණ නසනා දඩබලු එන තුරු.” *35

"මුදලට පොළොවට නොබැඳුණු සුර බලු

හා සම උත්තම සුනඛ මෙදෙස’ විත්

මරා දමයි ඇයල මරණය ඇය හට

අපමණ බිහිසුණු පීඩාවක්කොට.” *36

"සුනඛ රඳුන් එම නැණගුණ, ආලය,

සෙනෙහස හඳුනනල ඉන් තිරිහන් වන,

ඉපදුම සිදු වේ පවර වෙරෝනා

ෆිල්ට්‍රෝ ෆිල්ට්‍රෝ පුරවර අතරේ.”*37

"කැමිලා තරුණිය සිය දිවි පුද දිණි,

ටර්නස්, නෙසියුස් සමඟ යුරාලස්

වැටුණු ඉතාලිය ඔසවා ලන්නට

දිවි දී මැරුණේ දරුණු තුවාලෙන්.” *38

"දෙව් ලෝ කැණහිලු, නිර්භය සුර බලු

සොයාවි නපුරු දෙන පුරයෙන් පුරයට,

උදහස වෛරය ඈ මත පටවා

මනුවග වෙත එව් නිරයට යවනුව.”*39

"මම ඔබ අත්වැල වන්නෙමි ගමනට

ඔබේ ම යහපත පිණිස ය මේ බස,

නරඹනු පව් කළ පැරණි ප්‍රාණයෝ

වැටී අපායේ විඳිති සදා දුක්.” *40

"කන හෙව වැලපෙන උන්ගේ දුක් නද

දකිනු ඇස් දෙකෙන් ප්‍රේත ඡායා,

සමහරු වයස ය නිරයේ තරමට

දෙවෙනි මරණය යි ඒ දිස් වන්නේ.” *41

"ඉන් පසු පෙනේවි ගින්නේ දැවුමෙන්

ප්‍රීති ප්‍රමෝදය විඳින ප්‍රේතයින්,

සතුටට කාරණ අග්නිය ඇසුරෙන්

පවිත්‍ර වීමෙන් දෙව් සැප ලැබුම ය.” *42

"ගිනිකඳු නඟනා බිහිසුණු දැවුමෙන්

කළ පව් දවමින් පිරිසිදු වූවෝ

ඉන් පසු නැඟ එති මොක් සැප පතමින්

දිව්‍ය විමානේ සුර සේනා වෙත.”*43

"නුඹටත් යා යුතු නම් සුරගිරි නැඟ

මම අසමත් වෙමි මඟ පෙන්වන්නට,

මම ආපසු එමි ඔබ මඟ නවතා,

මට වැඩි කෙනෙකුන් ඔබ හා යුතු.”*44

"මහ සුර අදිරද මට නම් නොකැමැති,

කිසිවකු ගෙනෙනුව මට නැත අවසර

ඔහු නිති වෙසෙනා එම ලොව දකිනට,

කැරලිකරු ය මා ඔහු බල නොතැකූ.”*45

"අහසේ පොළොවේ සහ සත් සයුරේ

කොතැනත් නිම් නැති ඔහු අණ පැතිරේ,

ඒ ලෙස සිය දෙව් පුරයෙ ද සිහසුන

දරමිනි රජිඳා එහි වැජඹෙන්නේ.” *46

"නීතිය නොතැකූ කැරලිකාර මට

හිමි නැත විඳිනට එපුර මහත් තුට,

එතුමන් පුරවැසි කළ සැම තුටු වෙති

එය වේ ලැබෙතොත් පරම භාග්‍යය.”*47

සවන් යොමා සිට කිවිඳුන් වදනට

අයැදිමි කිවියර නොයෙදෙන ගමනට,

"කිවියනි, ඒ මහ දෙවියන් නාමෙන්,

ඔබ නොම දන්නා ඒ දෙවි නාමෙන්,*48

මෙතැන නරාවල මා දිවි නැති වන,

වටලා මා සිත භීතිය දනවන,

මීටත් වැඩි තැන වුව පය රැඳවෙන,

මේ උවදුරු බිම නොතබනු මා පණ.*49

මෙතැනින් ගැලවී ඔබ කී අඩවිය

වෙත යන ගමනට මඟ පෙන්වනු මැන,

දක්නට කැමති ය පීටර් දොරටුව,

ගින්නේ දැවෙනා බිම්බර සෙනඟ ද. *50

"එවල මා පසුපසල මම යමි පෙරටුව.”

මම යමි නිහඬව කිවිඳා පසුපස. *51

පළවෙනි සර්ගය නිමි.

Dante and Virgil

ඩාන්ටේට තමාට හමු වන වර්ජිල් පිළිබඳව බොහෝ දේ කියයි. තමාගේ ද කාව්‍යය තුළට ඔහු වර්ජිල් කැඳවා ගෙන එන්නේ මහත් හරසරිනි. ඒ හමුව බලාපොරොත්තු රහිත ඛේදනීය තත්ත්වයක සිදු වේ. දෛවෝපගත හමුව සිදු වන්නේ මඟ වැරදීමෙන් පැමිණි මුඩුබිමක දී ය. අවාසනාවේ දී හා විපතේ දී ශ්‍රේෂ්ඨත්වය හමු වීම නම් කාරණය, වාසනාවේ දී හා සතුටේ දී ශ්‍රේෂ්ඨත්වය දැකීමට වඩා හාත්පසින් වෙනස් ය.

ඩාන්ටේ විසින් ග්‍රහණය කර ගනු ලබන්නේ ඒ වෙනස් තත්ත්වය යි. යුද්ධ, සංහාර, සාගත, ව්‍යසන වැනි මහත් අවාසනාවේ දී හා විපතේ දී පවා කාව්‍යය, කලාව හා හේතුබුද්ධිය හමු වීම පිළිබඳ පරිණත විශ්වාසයක් මෙහි ගැප් වී තිබේ. හිට්ලර්ගේ යුද ජන සංහාර කඳවුරුවල සිදු වුණු රැඳවියන්ගේ කලා කටයුතු (Holocaust Art ) මීට පරම නිදසුනකි.

දෙදෙනා ම කවියන් වන නමුත් ඒ හමුවේ දී දෙදෙනාගේ ස්වභාවය හා තරාතිරම වෙනස් ය. ඩාන්ටේ තවමත් ජීවමාන පුද්ගලයකු වන නමුත් වර්ජිල් මළ මිනිසෙකි; ප්‍රේතයෙකි. වර්ජිල් හා ඩාන්ටේ ජීවත් වුණු කාලයන් දෙක අතර පරතරය වසර දහසකට වැඩි ය. වර්ජිල් ක්‍රි. පූ. 70 – 21 අතර ජීවත් වුණු අතර ඩාන්ටේ ක්‍රි. ව. 1265 – 1321 අතර ජීවත් වේ. මේ යුග දෙක අතර කාල පරතරය ද ඉක්මවන බරපතළ වෙනසක් ඇත.

වර්ජිල් ජීවත් වුණේ ක්‍රිස්තු උපත සිදු වී ක්‍රිස්තු යුගය (Christian Era) ඇරඹෙන්නට ප්‍රථමයෙනි. එහෙයින් වර්ජිල් වූ කලී ප්‍රාග්-ක්‍රිස්තු මනුෂ්‍යයෙකි. මේ කාව්‍යයේ දී ද වර්ජිල් තමා උපන් එම වකවානුව හැඳින්වූයේ මිනිසුන් ව්‍යාජ දෙවිවරුන් වන්දනාමාන කළ අවධියකි ලෙසිනි. (ජුලියස් සේසරු සමයෙහි රෝමයෙ, පසු කල කිය හැකි, අලිබොරු දෙවිවරු නමඳින අඳුරෙහි බිහි වුණු හිත හොඳ මහරු ඔගස්ටස් කල මා තරුණෙකි).

එනයින් ඩාන්ටේ විසින් වර්ජිල් දකිනු ලබන්නේ 'අනෙකා’ (the other) සහ තමාගේ 'අන්‍යභාවය’ (otherness) ලෙසිනි. එය ඩාන්ටේ විසින් තමාගේ පුද්ගල-බද්ධ සීමාව දකිනු ලැබීමක් හා අනෙකා නැමැති විශාලත්වය ඇසුරෙන් තමා නිර්ණය කර ගැනීමකි. ඩාන්ටේගේ මේ පරිශ්‍රමය බරපතළ එකක් වන්නේ ක්‍රිස්තු-යුග කවියකු වන ඔහු ප්‍රාග්-ක්‍රිස්තු කවියකුගේ සරණ සොයා යාම හේතුවෙනි. කෙළින් ම දේව රාජ්‍යය හෙවත් ආනන්දයේ රාජධානිය වෙත යන්නට බලාපොරොත්තු වුණු ඩාන්ටේ නම් වන්දනාකාරයාට ඒ ගමනට කලින් අපාය දැකීමේ අනිවාර්යතාව ඇති කරනු ලබන්නේ වර්ජිල් විසිනි. එය ඩාන්ටේ නම් කවියාට විපත්තියක් සේ වෙස්වළා ගත් ආශීර්වාදයකි. ඒ කාව්‍ය නිමේෂයේ දී ඔහු සයිබීරියාවේ සිර දඬුවම් නියම වුණු ඩොස්ටොයෙව්ස්කි හෝ සකාලින් දූපත දුටු ඇන්ටන් චෙකොව් වැනි ය.

වර්ජිල් කවරෙකු දැයි දැන ගන්නට කලින් ඩාන්ටේ දකින්නේ ඔහු බොහෝ කලක් නිහඬව සිටීමෙන් කටහඬ අහිමි වුණු හෝ දුබල වුණු කෙනෙකු බව ය. මින් කියවෙන්නේ මරණය නිසා කිවියර බවින් සමු ගෙන ප්‍රේත ආත්මයක ගෙවූ වසර දහසකට වැඩි කාලය ගැන විය හැකි ය. කවියකුට හඬ නැති වීම සුළුපටු ව්‍යසනයක් නොවේ. වර්ජිල් විෂයෙහි ඩාන්ටේ ‘හැකිළුණු හඬ’ හෙවත් නිහඬබව (silence) ගැන කියන්නේ මහත් සොවකින් විය යුතු ය. හඬ මුඩු වීමට හේතුව ලෙස වන්දනාකාරයා දකින්නේ ඔහු බොහෝ කලකට පෙර මියගොස් තිබීම, ඔහු හේමාලයකු වීම (a Shade), හිරු නැති අන්ධකාර ලොවක විසීම හා ක්‍රිස්තියානි විශ්වාසය අනුව දෙවියන්ගේ ආලෝකය නොලැබීම නිසා බවත්, ඩාන්ටේගේ ඒ පැදිය, සවිමත් පය අද්දා කොර ගසමින් ගමන් කිරීම (සවියෙන් හෙබි මා පාදය අද්දා, කඳු හෙල නැග්ගෙමි දුබල කොරෙකු වී) යන මේ සර්ගයේ ම මුල් හරියේ පැදිය ඇතුළත් වන ප්‍රභේදයට ඇතුළත් කරන්නට කැමැති බව මාර්ක් මූසා පවසයි. හේතුබුද්ධියේ හඬ වන්දනාකරුවාට ද බොහෝ කලකින් ශ්‍රවණය නොවීම විය හැකි බවත් මූසා තව දුරටත් පවසයි. මූසා ඉන් අදහස් කරන්නේ ගමනේ යෙදී සිටින ඩාන්ටේ නම් වන්දනාකරුවාට ඒ වරප්‍රසාදය දිගු කලකට අහිමි වී තිබීම ගැන ද විය හැකි ය.

වර්ජිල් සමඟ ඇති වන සංවාදයේ දී ඩාන්ටේ තමා තුළ පූර්වෝක්ත මහ කවියාට ඇති මහත් ණයගැති භාවය විවෘතව හෙළි කරයි. එය කාව්‍ය සම්ප්‍රදාය පිළිබඳ සත්‍යයක් මෙන්ම හෝමර්ගේ හා වෙනත් කවියන්ගේ කාව්‍ය සජ්ජායනය කරමින් රටතොට ඇවිදි පුරාණ ග්‍රීක සංචාරක 'රැප්සයිඩ්’ කවියන්ගේ (Rhapsode) සම්ප්‍රදායට නව අර්ථකථනයක් ලබා දීමක් ද වේ. මුල් සොක්‍රටීසියානු කෘතියක් (Early Socratic Dialogue) වූ 'ඉඔන්’ සංවාදයේ (Ion) දී සොක්‍රටීස් එවැනි කවියකු සමඟ වාදයට එළඹෙයි. මෙම සංචාරක කවියන්ගේ සම්ප්‍රදාය 'ට්‍රීබඩෝ’ (Troubadour) නමින් මධ්‍යකාලීන ප්‍රංශයේ ද පැවතුණි. බොබ් ඩිලන් වැනි නූතන ගායකුයකු කරා ද එන්නේ ඒ සම්ප්‍රදාය විය හැකි ය. එවැනි 'ට්‍රීබඩෝ’ කෙනෙකු අපට 'රේඛාව’ චිත්‍රපටියේ මුල් ජවනිකාවේ දකින්නට ලැබේ. ඩාන්ටේ නම් කාව්‍යක්කාර වන්දනාකාරයා සහ වර්ජිල් නම් හේමාල ආත්මය ඒ සංචාරක කලා සම්ප්‍රදාය ඇසුරේ ගොඩනැඟී ඇති අතර ඩාන්ටේ මධ්‍යකාලීන රැප්සයිඩ් හෝ ට්‍රීබඩෝවරුන් අධ්‍යාත්මික ගවේෂණයේ යෙදෙන ගැඹුරු චරිත දෙකක් බවට පත් කරයි.

ඩාන්ටේ තුළ ප්‍රාණභය ඇති කළ නොතිත් ආසා සහිත වෘක ධේනුවගේ අධිකාමුක සාහාසික විතරිතභාවය සහ ඇය කවරෙකු සමඟ හෝ නිදි වැදීම ගැන පැවසෙන වර්ජිල්ගේ විස්තරය හුදෙක් ඇයගේ තිරිසන්භාවය ගැන පැවසීමක් නොවේ. එම වෘක ධේනුවගේ ආශාවන් අර්ථ ගැන්වෙන්නේ දිවියා හා සිංහයා විසින් සංකේතනය කරන ලද බල - කේන්ද්‍රීය ජඩ සමාජ ආශාවන්ගේ විශේෂ හැඟුම් පටිපාටිය (order) තුළ ය. එය මිෂෙල් ෆූකෝගේ බල විශ්ලේෂණ ඇසුරෙන් අද වඩාත් පුළුල් බල - වපසරියක වටහා ගත හැකි කාරණයකි.

ඇගේ ආශාවන් ද සෙසු තිරිසනුන් දෙදෙනාගේ ආශාවන්ගෙන් වෙන්කොට දැකිය නොහැකි අතර මිනිස් සමාජය තුළට කඩා වැදුණු අවලස්සන අභිමතාර්ථ සමූහයක් ලෙස බල ලෝභය, කෑදරකම, ඉහළ නැඟීමේ විජිගීෂාව, උද්ධච්චභාවය, ද්වේෂය, බල ලෝභය යනාදි නොමිනිස් භාව පද්ධතියක් ඊට අයිති ය. එහි විද්‍යාමාන වන පශ්චාත් - යටත්විජිත (Postcolonial) බල මානසිකයක් ද, යටත්විජිතවලට නිදහස උදා වීමෙන් පසු බලයට පත් දේශීය ධනපති පංතීන්ගේ ස්වභාවය හා ඔවුන්ගේ පිරිහීම පිළිබඳ ඉඟිලෑමක් ද දැකීම ඩාන්ටේගේ වර්තමාන පාඨකයින්ට විවෘත සමකාලීන අනුභූති ක්ෂේත්‍රයකි.

තිරිසනුන් තිදෙනාගෙන් එලෙස සංකේතනය වන්නේ මිනිස් ගතිගුණ නිසා මිනිසා සහ තිරිසනා අතර වෙනස තුරන් කරමින් මිනිසා නොමිනිසකු වීමත්, මිනිස් සමාජය නොමිනිස් සමාජයක් බවට පරිවර්තනය වීමත් ප්‍රකාශ වේ. ඩාන්ටේගේ ඉතාලිය සම්බන්ධයෙන් වූවත් ඒ සතුන් තිදෙනාගේ හැඟුම් පටිපාටිය ඊනියා එවකට වරප්‍රසාදිතයින්ගේ මානසිකයන් ය යන අදහස මෙහි දී ගම්‍යමාන වේ. ඩාන්ටේ අයිතිව සිටි සමාජ තලය ද, දේශපාලනිකව ඔහු ලැබූ දණ්ඩනය හා පිටුවහල්වීම ද, ඔහුගේ අසාමාන්‍ය ෆ්ලොරන්සියානු ප්‍රේම ජීවිතය ද ඒ බව තහවුරු කරයි. ඒ ජුගුප්සාජනක හැඟුම් ප්‍රකාශමාන කළවුන් කවර තරාතිරමක සිටියත් උන් සියල්ලෝ ම නිරා දුකට වැටෙන්නෝ වෙති. ඔවුන් මිහිපිට පළ කළ 'පාප ප්‍රභේදය’ අනුව අපායේ කව වෙන් කර ඇත!

ඩාන්ටේගේ වර්ජිල් අභිනන්දනයට පසු වෘක ‍ධේනුව පිළිබඳ වර්ජිල්ගේ බියකරු විස්තරය කියවේ. වර්ජිල් තව දුරටත් පවසන්නේ ඒ වෘක ධේනුව එක්තරා දඩබල්ලකු විසින් මරා දමනු ඇති බව ය. දඩබල්ලා පිළිබඳ ඒ සද්ගුණවත් ප්‍රචණ්ඩ රූපකය 'දිවියා, සිංහයා සහ වෘකයා’ පිළිබඳ අධාර්මික හා වනාන්තර රූපකයන්ට වඩා හාත්පසින් වෙනස් ය. දඩබල්ලා පැමිණෙන්නේ නරකය නැසීමේ උත්තරීතර පරමාර්ථයෙනි. එය යහපත් සමාජයක ඒකායන පැතුම ය. ඒ උතුම් සත්වයාගේ ඉතාලි ජන්මය ගැනත්, ඇදවැටුණු ඉතාලිය නඟා සිටුවන්නට දිවි දුන් විරුවන් හා වීර කතුන් ගැනත් කියවේ. එලෙස ඉතාලි දේශය ගැන පැවසීම ද දිවියා, සිංහයා සහ වෘකයාගේ හැඟුම් පටිපාටිය ජාතික මට්ටමේ දේශපාලනික මානයකින් යුතු බව සනාථ කරයි.

එම දේශය ඇඳ වැටුණු දේශයක් (fallen Italy) බව කීමෙන් එම ඇඳ වැටීමට යථෝක්ත සතුන් හා උන්ගේ ජරා ගතිගුණ මුල් වන්නට ඇති බව ධ්වනිත වේ. වෘක ධේනුව නසන්නට දඩබල්ලා පැමිණෙන්නේ ද එබැවිනි. ඒ සැතිරියට ලැබෙන්නේ කෲර මරණයකි. මින් පෙනෙන්නේ දේශපාලන උපාඛ්‍යානයක් දිව්‍යමය ප්‍රහසනයේ, විශේෂයෙන් එහි 'අපාය’ වෙළුමේ ඇතුළත් වී තිබෙන බව යි.

ඉන් පසු වර්ජිල් බියපත් ඩාන්ටේ අමතා සමහර විට ඊටත් වඩා බියකරු අපාය දකින්නට යාමට යෝජනා කරයි. එනමුත් වර්ජිල් පවසන්නේ ඩාන්ටේ අපායට හා පවිත්‍රාග්නි දනව්වට කැඳවා ගෙන යන්නට තමාට හැකි නමුත් සුර ලෝ දෙවියන් වෙත කැඳවා ගෙන යන්නට හැකියාවක් නැති බව යි. වන්දනා ගමනේ අරමුණ අපාය දැකීම නොවුණත් වර්ජිල්ගේ අපාය සංචාර යෝජනාව නිසා වෘක ධේනුවගෙන් ‍බේරෙන්නට අවස්ථාව උදා වන බැවින් ඩාන්ටේ ඊට කැමැති වේ.

ඩාන්ටේගේ ඒ 'ස්ව-කැමැත්ත’ තීරණය වීම වෘක ධේනුව විසින් ඇති කරන ලද භීතිය නිසා සිදු වූවක් ද, ක්‍රිස්තියානි දේවධාර්මික විශ්වාසය නිසා සිදු වූවක් ද, පුරාණොක්ති පරිඥානය (wisdom of mythology) විසින් නිර්ණය කරන ලද තත්කාලීන ඉතාලි සමාජ චරිතයක් වූ නිසා සිදු වූවක් ද යන්න ගැටළුවකි.

වර්ජිල් බියෙන් වෙවුලන ඩාන්ටේට කියන්නේ ඔහු වැරදි මඟක පැමිණ ඇති බව ය. මේ සියල්ල සිදු වන්නේ වන්දනාකරුවා මඟ වරද්දා ගැනීම නිසා බව සිහිපත් කළ මනා ය. ඩාන්ටේ වෘක අනතුරෙන් ගලවා ගෙන අපාය වෙත යොමු වුණු භූගත පාර පෙන්වන්නට හැකි නමුත් ගිරිදඹයට යන පාර පෙන්වන මාර්ගෝපදේශකයා (guide) වන්නට තමාට නොහැක්කේ තමා කැරලිකාරයකු නිසා බව වර්ජිල් කියයි. දෙදෙනා අපාය (Inferno) දකින්නට පිටත් වෙති.

ප්‍රථම සර්ගය එතැනින් අවසන් වේ.

-*30. ඔබ වර්ජිල් දැයි මීට කලින් එන පැදියේ දී විමසන ඩාන්ටේ කාව්‍යකරණයෙහි ලා තමාටත්, සෙසු කවීන්ටත් ගුරු වූ ඒ රෝම කවියාටතුති පුද කිරීමෙන් අනතුරුව තමා දීර්ඝ කාලයක් පුරා මහත් බැතියෙන් වර්ජිල්ගේ කාව්‍ය සාහිත්‍යය පරිශීලනය කළ අයුරු ද හෙළි කරයි. වර්ජිල් සෙසු කවියන්ට ආලෝකයක් වී ඇති අතර ඔහු නිසා ඔවුහු ගරුත්වය දිනා ඇත. 'සැරදෙ මා කිවිඳ සෙසු කිවියන් හට මහ පහනක් වී ගුරු බැති ඇවුළූ.’

එසේ කියමින් ද ඩාන්ටේ ඉල්ලා සිටින්නේ අනතුරේ වැටී සිටින තමාට පිහිට වන ලෙස ය. ‘ගැඹුරු පෙමින් මම ඔබ පැදි කියවූ’ යන කාව්‍යෝක්තියෙන් හැඟවෙන්නේ කාව්‍යය යනු හේතුබුද්ධියෙන් යුතුව හැදෑරිය යුතු හා පරිශීලනය කළ යුතු බවකි. කාව්‍යය දුෂ්කර ය යන ටී. එස්. එලියට්ගේ විශ්වාසය ඉන් පළ වේ. ඩාන්ටේ ඒ සියලු දේවල් කියන්නේ මරු මුව වැටී සිටින අතරේ දී ය. වන්දනාකාරය සිටින්නේ ඔහුගේ වන්දනාව ද, මෙතෙක් ආ ගමන ද අතරමඟ නවතා දැමෙන අන්දමේ අවස්ථාවක ය.

කාව්‍ය ශාස්ත්‍ර හා අභිනන්දනය පෙරටු කර ගත් ඩාන්ටේගේ ආයාචනය කවියකු ලෙස ඔහුගේ මහත් අසරණභාවය ද ප්‍රකාශ කරයි. ඒ අතින් ඔහු වර්ජිල්ගෙන් ඉල්ලා සිටින්නේ කාව්‍ය ශාස්ත්‍රීය ගැලවීමකි. කවියකු ලෙස ඩාන්ටේට වර්ජිල්ගෙන් තොර ගැලවීමක් නැත. ඔබගේ නොමසුරු අසරණ සරණ යදිමි යි ඩාන්ටේ නොවළහා කියයි. මෙය සැබැවින් කාව්‍යක්කාර වර්තමානිකයකු කාව්‍ය සම්ප්‍රදාය ඇමතීමේ නිදසුනකි. නූතන කාව්‍ය විචාරය තුළ මේ නම් ටී. එස්. එලියට් හෝ හැරල්ඩ් බ්ලූම් ඇසුරෙන් වටහා ගත යුතු ධර්මතාවක් බව කිව හැකි ය.

-*31. සිංහල සන්දේශ කාව්‍යයේ දූතයාගේ අපමණ ගුණ වර්ණනා කෙරෙන අයුරින් ඩාන්ටේ තම ‍ගුරුදේවයාගේ ගුණ වයයි. ‘ඔබ මා ගුරු ම ය, මා ගුරුදෙවි ම ය, මිහිරෙන් අගතැන් පත් ඔබ කවියෙනි, මා වෙත අපමණ හරසර ගෙන ආ මා සතු කවි මඟ පාදා ගත්තේ.’ මේ කවියෝ ඔවුනොවුන්ගේ තත්කාලීන වියත් පරපුරුවලට හා ගුරුකුලවලට අයිති වෙති. සිය ස්වභාෂාව භාවිත කළත් ඩාන්ටේ ද වර්ජිල් වැනි ලතින් පඬිවරයෙකි.

සැළලිහිණි සන්දේශ කතුවර තොටගමුවේ විජයබා පිරුවෙන් හිමි ත්‍රිපිට වාගීශ්වරාචාර්ය ෂඩ්භාෂා පර‍මේශ්වර ශ්‍රී රාහුල සංඝරාජයන් සේ ඔවුහු දෙදෙනා ද යුග දෙකක වියත් සම්ප්‍රදායන් පළ කරති. ඉතාලි සියබසින් 'දිව්‍යමය ප්‍රහසනය’ රචනා කිරීමේ දී වුවත් ලතින් භාෂාවට ඇති ණයගැතිභාවය ද ඩාන්ටේගේ ආයාචනාත්මක අභිනන්දනයෙන් ප්‍රකට වේ.

වර්ජිල් පිළිබඳව ඩාන්ටේ සිදු කරන වර්ණනය, ‘සුලකළ අකුරු මියුරු තෙපලෙන් රඳනා’යනුවෙන් සැළලිහිණි සන්දේශය ආරම්භයේ දී සැළලිහිණියා ඉතා අලංකාර කොට කියන අක්ෂර සහිත මධුර වචනයෙන් ජනමනෝරංජනය කිරීම ගැන ශ්‍රී රාහුල හිමියන් කරන මනස්කාන්ත වර්ණනයට සමාන වන අතර අර්ථාන්විත වෙනස පැනනඟින්නේ ඩාන්ටේගේ වර්ණනය කවියකු තවත් කවියකු අරභයා සිදු කරන්නක් වන අතර සැළලිහිණි වර්ණනය කවියකු පක්ෂියකු අමතා සිදු කරන්නක් වන හෙයිනි.

පළමුවැන්න වඩාත් යථාර්ථවාදී කාව්‍ය කථනයක් වන අතර දෙවැන්න පරිකල්පනාත්මක කාව්‍ය ලෝකයේ අතිශෝක්ති මාර්ගයට අයිති ය. තවද, සැළලිහිණියෙහි ඇත්තේ වගකීම් පැවරුමකට පෙර කරන ආසිරි පැතීමකි. අපාය කෘතියෙහි ඇත්තේ මහත් ඛේදාන්තයක් හමුවේ කරන ආයාචනයකි. ඛේදාන්ත භාව පටිපාටිය තුළ වගකීම් පැවරුමක් සහ තම මොහොතකින් යෙදෙන ගමනක් එහි ද ඇත. ඩාන්ටේ ද වර්ජිල්ගෙන් ඉල්ලා සිටින්නේ තමාගේ ජීවිතය බේරා දී වන්දනා මාර්ගය දැක්වීමේ මාර්ගෝපදේශ වගකීම භාර ගන්නා ලෙස ය.

ඩාන්ටේ හා වර්ජිල් මෙන් අප සැළලිහිණියා ද යමක් මධුර ස්වරයෙන් අලංකාර කොට කියන්නෙකි. පියාසර ගමනක මතු නොව ඇතැම් විට වෙහෙර විහාර හා පිළිම වන්දනාවේ ද යෙදෙන අභිනන්දනීය සත්වයෙකි. කාව්‍ය ප්‍රපංචවේදය (Poetical Phenomenology) සහ කාව්‍ය සංඥාර්ථ විද්‍යාව (Poetical

Semiology) අනුව අද කල්පනා කර බලන විට ගමනකට සහාය දෙන සැහැල්ලුව (lightness) නම් හඟවනය හා ගමනේ යෙදීමේහෙවත් සැරිසැරුම (wandering) නම් හඟවනය සියල්ලන්ට පොදු ය.

-*32. වර්ජිල් කවියාගේ ශ්‍රේෂ්ඨත්වය හා තමා ලද ආභාසය පළකිරීමෙන් අනතුරුව ඩාන්ටේ තමා පසුපස දිව එන රුදු දෙන පෙන්වමින් පලා යාමට හේතුව කියයි. ඒ කුරිරු සත්වයා නිසා තමා ලේ නහර නහර පිපිරෙන තරම් බියකින් වෙවුලන බව කියයි.

-*33. වර්ජිල් පැහැදිලි කරන්නේ මෘගයින් තිදෙනා මඟ හැර උඩට නඟින්නට පාරක් එහි නැති බව ය. ඔහු එසේ කියන්නේ කඳුළු පිරි දෙනෙතින් යුතු ඩාන්ටේ දකිමිනි. මින් පෙර කිසිවකු ඇය වෙතින් ගැලවී නැති බව ද වර්ජිල් කියයි.

-*34. වෘක ධේනුවගේ විපරිතබව, දුෂ්ටකම හා කොතරම් පිරිසක් මරා කෑව ද නොපිරෙන කුස ගැන කියයි. වර්ජිල් වෘක ධේනුවගේ කෲරත්වය විස්තර කොට කියන අතර ඇය රැඳුණු පාරේ ගමන කිසිසේත් සිදු කළ නොහැකි එකක් බව ද අසරණ වන්දනාකරුට කියා දෙයි.

-*35. මෙය ද වෘක ධේනුවගේ නීච පැවැත්ම පිළිබඳ දිග හැරුමකි. ඇය බොහෝ සතුන් සමඟ සංවාසයෙහි යෙදුණු සල්ලාලියෙකි (She mates with

many creatures). එක්තරා දඩබල්ලෙකු (greyhound) පැමිණ ඇය මරා දමන තෙක් ඇගේ අවලම් දුෂ්ට දිවිය එලෙසින් ම පවතියි 'ග්‍රේහවුන්ඩ්’ වූ කලී වේගයෙන් දිව හැකි, දඩයම් ක්‍රීඩා වෙනුවෙන් අද ද යොදා ගන්නා ඥානවන්තභාවයක් සහිත කෙසඟ සුනඛ විශේෂයකි. පුරාණ ඓතිහාසික ලේඛනවල මෙන් ම ප්‍රභූ දඩකෙළි විස්තරවල ද, විද්‍යා පුනර්ජීවන සිතුවම්වල ද මේ සුනඛයා විද්‍යාමාන වන අතර ගෘහස්ථකරණය (domestication) ඉක්මවා සංස්කෘතිකකරණයට ලක් වූවෙකි. ඩාන්ටේගේ අත්‍යාසන්න පසුකාලීන චිත්‍ර ශිල්පියකු ද, ඔහු මෙන් ෆ්ලොරන්ස් වැසියකු ද ලෙස ෆ්ලොරන්ස් ගුරුකුලයට (School of Florence) අයිති චිත්‍ර ශිල්පියකු හා ගණිතඥයකු වූ පාඕලෝ උචෙල්ලෝ (1397-1475) 'රාත්‍රි දඩයම’ (Night Hunt) නම් චිත්‍රයෙහි ෆ්ලොරන්ටියානු ප්‍රභූවරයකු සමඟ දඩයමේ යන ග්‍රේහවුන්ඩ් සුනඛයින් සිතුවම් කර ඇත.

-*36. මෙයින් මතු වැඩ පිණිස පැමිණෙන සුනඛ රාජාගේ උත්තරීතර ගුණ ද , වෘක ධේනුව වෙත මතු කලක දී බිහිසුණු මරණයක් කැඳවනු ලබන බව ද කියයි. එය එවකට අනාවැකියකි.

-*37. ඒ සුනඛයා සතු උත්තම ගුණාංග වන්නේ පොළෝ තලයට තණ්හාවක් නැතිකම, මුදලට ගිජු නොවීම, ඥානවන්ත වීම, ආදරය තිබීම සහ සද්ගුණවත්කම යි. පොළෝ තලයට ඇති ගිජුකමින් අන් සතු රටවල් හා ඉඩම් අල්ලා ගැනීමේ සිට ඉඩම්, අස්වනු, ආකර, වැලි, දැව, සතාසිවුපාවුන් උදුරා ගැනීම දක්වා භූමි පාපයන් අදහස් වේ. සාමාන්‍යයෙන් දඩ බල්ලා සිය ස්වාමියා වෙනුවෙන් සේවය කරන විනා ඒ අතරවාරයේ දී කිසිවක් තම ගොදුරට නොගනියි. දඩ බල්ලා ශික්ෂිත සත්වයෙකි.

ඒ රාජකීය සුනඛයා පැවත එනු ඇත්තේ වෙරෝනාවේ පිහිටිෆිල්ට්‍රෝ සහ මොන්ටිෆිල්ට්‍රෝ නම් දෙපෙදෙස අතරිනි. ක්‍රිස්තියානි විශ්වාස සමුදාය අනුව ඥානය (wisdom), ප්‍රේමය (love) සහ සද්ගුණවත්භාවය (virtue) පූජනීය දිව්‍ය ත්‍රිත්වය (Holy Trinity) සතු මහේක්ෂ ගුණාංගයෝ වෙති. ටීකාකරුවන් පෙන්වා දෙන්නේ මේ රාජකීය සුනඛ සංකේතය 5 වෙනි හෙන්රි, චාර්ල්ස් මාර්ටල් වැනි ඓතිහාසික චරිතයක් හෝ සමහර විට ඩාන්ටේ ම විය හැකි බව ය. තම කාව්‍ය කලාවෙන් හා යුක්තියෙන් ඒ වනචාරිත්වය මුලිනුපුටා දමන්නට ඔහු සිතනවා විය හැකි ය. ඒ නැණවත් ගුණවත් දඩයම් සුනඛයා එන්නේ වැටුණු ඉතාලිය නඟා සිටුවන්නට ය. ඒ ඉතාලිය වර්ජිල්ගේ 'එනිඩ්’ කාව්‍යය අනුව එනියස් සිය පරපුරේ පදිංචියට තෝරා ගන්නා ඉතාලිය, වර්ජිල් ජීවත් වූ තත්කාලීන රෝමය සහිත ඉතාලිය හෝ ඩාන්ටේගේ ඉතාලිය විය හැකි ය.

-*38. කැමිලා තරුණිය, ටර්නස්, නෙසියුස් සහ යුරාලස් යන්නෝ වර්ජිල්ගේ 'එනිඩ්’ කාව්‍යයේ චරිත වේ. කැමිලා තරුණිය ඉතාලිය වෙනුවෙන් සිය දිවි පුදා ඇත. ටර්නස්, නෙසියුස් සහ යුරාලස් වැටුණු ඉතාලිය ඔසවා ලන්නට සටන් කොට දරුණු තුවාලවලින් මියගොස් ඇත.

හෝමර්ගේ ඔඩිසි (සිංහල පරිවර්තනයථ වීර චාරිකාවල ඩේවිඩ් කරුණාත්න) හා සමාන සිද්ධි බහුල දීර්ඝ මුහුදු යාත්‍රික ආඛ්‍යානයක් වූ 'එනිඩ්’ කාව්‍යයේ දී ට්‍රෝජන්වරු පිරිසක් සමඟ ට්‍රෝජ පුරයෙන් රහසේ නැව් නැඟ නව බිමක් සොයමින් පලා යන එනියස් චණ්ඩ කුණාටුවලට හසුව තැන් තැන්වලට ගසා ගෙන යයි. අවසානයේ දී ඉතාලියට ළඟා වූ විට එහි පදිංචිකරුවන් වූ ලැටියන්ස්වරුන් (Latians) සහ රුටුලියන්වරුන් (Rutulians) සමඟ සටන් වදින්නට ද සිදු වේ. මේ චරිත කිහිපය ඒ සටන්වල දී තම මව්බිම වෙනුවෙන් දිවි පිදුවෝ වෙති. රෝමයට දකුණින් පිහිටි ඉතාලි කඳු පංති ආසන්නයේ ලැටියම් නම් පුරාණ දිස්ත්‍රික්කයේ ලැටින්වරු ජීවත් වුණු අතර රුටුලියන්වරු ද රෝමයට දකුණුදිගින් විසූ රුටිලි වංශයට අයිති ජනකායක් වූහ.

කැමිලා යුවතිය (maid Camilia) මෙටාබස් (Metabus) රජුගේ රණකාමී දියණිය යි. ලැටියන්ස්වරුන් හා ට්‍රෝජන්වරුන් අතර ඇති වන සටනේ දී ඇය මියයයි. ඇය ග්‍රීක ඇමේසන්වරියන්ගේ ඉතාලි අනුවර්තනය (Italian versionof an Amazon) ලෙස සැලකේ.

ට්‍රෝජන්වරුන්ට එරෙහිව ඉතාලි බිමේ දී යුද ප්‍රකාශ කරන තවත් ඉතාලිවාසී ජනකායක් වූ රුටිලියන්වරුන්ගේ රජු ටර්නස් වූ අතර ඔහු අවසන් ද්වන්ද සටනක දී එනියස් අතින් මියයයි. නෙසියුස් සහ යුරාලස් යන දෙදෙනා තරුණ ට්‍රෝජන්වරු වන අතරේ එක් රාත්‍රියක රුටුලියන් කඳවුරක් වැටලූ අවස්ථාවේ ඔවුහු මියයති. ඔවුන් තමතමන්ගේ පාර්ශ්වයන් වෙත දක්වන ලද පාක්ෂිකත්වය පසුකාලීන සාහිත්‍යයන්හි අවංක මිත්‍රත්වයේ උසස් ප්‍රමිතියක් ලෙස පිළිබිඹු වී ඇත.

‘අපාය’ කාව්‍යයේ දී වර්ජිල්ගේ හේමාල අවතාරය ඩාන්ටේ අමතා කියන්නේ වල් සතුන් තිදෙනාගේ කෑදර බලයට යට වී ඇත්තේ එවැනි රණකාමීන් දිවි පුදා රැක ගත් ඉතාලි දේශය බව ය. එයින් හැඟවෙන්නේ ඉතාලිය වූ කලී තම වීරයා වූ එනියස්ටත් වඩා පැරණි දේශයක්බව ය. රජ සුනඛයා එන්නේ ඒ ඉතාලිය බේරා ගන්නට ය. වචනාර්ථයෙන් ගත් විට වර්ජිල් මෙහි ‘වැටුණු ඉතාලිය’ බව කියන්නේ එනියස් දික්විජය ලැබූ නව වර්ජිලියානු ඉතාලියට ය.

-*39. සෑම නගරයකින් නගරයකට යමින් ඒ සුනඛයා වෘක ධේනුව සොයනු ඇති බවත්, 'වෛරය’ (Envy) නම් දුෂ්ට ධර්මය විසින් එය ඇය මත පටවා මනු ලොවට එවන ලද බැවින් ඇය නැවතත් අපායට යවනු ඇති බවත් වර්ජිල් පවසයි. මෙහි වෛරය නම් දුෂ්ට ධර්මයට පුද්ගලභාවයක් ආරෝපණය කර ඇති අතර එය අපායේ වෙසේ. සුනඛයා සෑම නගරයකට දුවමින් බලන්නේ ඒ යක්ෂ ආත්මය එහි සැඟවී සිටින්නේ ද යන බව යි. කවර නගරයක වූව ද ඒ වෘක ධේනුව සැඟවී සිටින්නට පුළුවන.

දඩ බල්ලා නගරයෙන් නගරයට දිව යාමෙන් ඩාන්ටේගේ දිව්‍යමය ප්‍රහසන කාව්‍යයේ මෙන් ම වර්ජිල්ගේ කාව්‍යයේ ද ඇති සංචාරක ස්වභාවය ධ්වනිත වේ. මෙය හෝමර්ගේ 'ඔඩිසි’ වීර කාව්‍යයට ද අදාළ ය. දිව්‍යමය ප්‍රහසන කාව්‍යය ද වන්දනා ගමන් විස්තරයක් හෙවත් සංචාරාඛ්‍යානයකි (travelogue). එහි ලා ගමන් කිරීම හෙවත් සැරිසැරීම ප්‍රධාන රූපකයක් (metaphor) හා හඟවනයක් (signifier) වන නිසා වන්දනාකාරයාගේ ගමනට සාමාන්තර ලෙස දඩ බල්ලාගේ දිවීම ප්‍රතිබිම්භිත රූපකයක් (reflexive metaphor) බවට පත් වේ. බල්ලා මිනිසාගේ විශ්වාසනීය මිත්‍රයකු හා ගමන් සගයකු වන නිසා එය වඩාත් අර්ථාන්විත වේ. දඩ බල්ලා මිනිසාගේ එළිමහන් දඩයම් ක්‍රීඩාවේ ද සහායකයෙකි.

-*40. වර්ජිල් හේතුබුද්ධියේ කිවියර සෘෂිවරයකු නිසා ඔහුට මඟ පෙන්වන්නට හැක්කේ මිනිසාගේ එම තර්ක ඥානයට (Human Reason) යා හැකි දුරට පමණි. මේ වර්ජිල් ප්‍රාග්-ක්‍රිස්තියානි යුගයේ කවියකු, චින්තකයකු හා වංශකථාකාරයකු වන නිසා ක්‍රිස්තු යුගයේ වෙසෙන කවියකු ලෙස ඩාන්ටේ විසින් හඳුනා ගනු ලබන වර්ජිල්ගේ පරමවිඥානාර්ථමය සීමාව විය හැකි ය. 'මම ඔබ අත්වැල වන්නෙමි ගමනටl ඔබේ ම යහපත පිණිස ය මේ බස, නරඹනු පව් කළ පැරණි ප්‍රාණයෝ වැටී අපායේ විඳිති සදා දුක්.’ ඉන් මතු ගමනක් වර්ජිල්ට නැත.

පාපිෂ්ට වන මුර්ගයින් තුන්දෙනාගෙන් ගැලවෙන මනුෂ්‍යයා මුලින් අපායට (Hell) ගොස් පාපය (Sin) හඳුනා ගතයුතු ය. පවිත්‍රත්වයේ අග්නියෙන් පාප ශෝධන කරන ලොවට (Purgatory) ද ගොස් පාපය නිෂ්ක්‍රමණය (Renunciation of Sin) කිරීම ද සියැසින් දැක ගත යුතු ය. දෙවියන් වෙසෙන රම්‍ය දේශය (Kingdom of God) කරා යා හැකි වන්නේ ඉන් අනතුරුව පමණි. වර්ජිල් අසමත් වන්නේ තුන්වැන්නේ දී ය.

ඩාන්ටේගේ ගමන ඉතාමත් දුෂ්කර ගමනක් වන අතර දිව්‍යමය ප්‍රහසනයේ පළමුවෙනි වෙළුම වූ අපාය (Inferno) මුල් ගමන ද, දෙවෙනි වෙළුම වූ 'පාප දවන ස්ථානය’ (Purgatorio) දෙවෙනි ගමන ද, තුන්වෙනි වෙළුම වූ 'පාරාදීසය’ (Paradiso) සුරලොව ගමන ද පිළිබිඹු කරයි.

තව මොහොතකින් වර්ජිල් බියපත් අනෙකාට පවසනු ඇත්තේ අවසන් ආරෝහණය (Final Ascent) වූ තව්තිසාව කරා ඔහු කැඳවා ගෙන යන්නට තමා අපොහොසත් බැවින් වෙනත් මාර්ගෝපදේශකයකුගේ (guide) මඟ පෙන්වීම ලබා ගත යුතු බව ය. ඊට හේතුව නැවතත් ක්‍රිස්තියානු අභිධර්මය ඔස්සේ තේරුම් ගත යුතු වේ.

ඒ සම්ප්‍රාප්තිය සඳහා වර්ජිල් ඇතුළු වියත් කවියන් විසින් නියෝජනය කරනු ලබන මානව තර්ක බුද්ධිය (Human Reason) ප්‍රමාණවත් නොවන අතර ඊට වුවමනා වන්නේ උත්තරීතර වූ ප්‍රේමය හෙවත් ආදරය (Love) යි. ඉදිරියේ දී ඩාන්ටේ වෙත ඒ මාර්ගෝපදේශය ලබා දෙන්නේ ඔහුගේ මියගිය පෙම්වතිය වූ (Beatrice) ය.

ෆ්ලොරන්සයේ විසූ බියට්‍රිස් ඔහුගේ පරමාදර්ශී ආදර වස්තුව විය. ඇය සමඟ විවාහ වුණේ නැතත්, ඇයට දුරස්ථව සිටිමින් ඇයට පෙම් කළ ඩාන්ටේට ඇය පරමාර්දර්ශී දිව්‍යමය ප්‍රේමය (Divine Love) ද, දෙවියන්ගේ සාදෘශ්‍යය විය. ඒ අනුව දිව්‍යමය ප්‍රහසනයේ අවසන් ‍වෙළුම වන 'පාරාදීසය’ කාව්‍යයේ ඩාන්ටේගේ මාර්ගෝපදේශිකාව වන්නේ බ්‍රියට්‍රිස් ය.

-*41. අපාය දොරටුවෙන් ප්‍රවිෂ්ට වූ විට ඩාන්ටේට දකින්නට ලැබෙන දේවල් වර්ජිල් කියා දෙයි. එයින් අරමුණු කර ගැනෙන්නේ වන්දනාකාර කවියාගේ සිත සූදානම් කිරීමට වැඩිමනත් දෙයකි. එහි යා යුත්තේ මෘගයින් තිදෙනාගෙන් ගැලවෙන්නට ය. උන් පාපයේ නාම රූප හා ශරීරයෝ වෙති. උන්ගෙන් නියත මරණය සිදු වේ. එය බියකරු ය. මේ ගමන ද ඊට දෙවෙනි නැත. අපායේ වැටී කර කියා ගත හැකි දෙයක් නැතිව පව්කාරයින් වේදනාවෙන් මහ හඬ තලනු ඔහුට අසන්නට ලැබෙනු ඇත. වේදනාවෙන් ඇඹරෙන 'හේමාලයින්’ (tormented shades) ඔහු දකිනු ඇත. උන් කිසිවකුටත් අපායෙන් ගැලවීමක් නැත. ඒ නිසා සමහරුන්ගේ වයස අපායේ වයසට සමාන ය. අපායේ වයස මිනිස් වර්ගයාගේ වයස තරම් බව ය මින් හැ‍ඟෙන්නේ!

අපායේ දී දකින්නට ලැබෙන්නේ 'මිනිසාගේ දෙවෙනි මරණය’ (second death) යි. පළමුවෙනි මරණය මිහිපිට සිදු වන මරණය වන අතර පාපය හා අපායේ වැටීම දෙවෙනි මරණය යි. 'කන හෙව වැලපෙන උන්ගේ දුක් නද, දකිනු ඇස් දෙකෙන් ප්‍රේත ඡායා, සමහරු වයස ය නිරයේ තරමට, දෙවෙනි මරණය යි ඒ දිස් වන්නේ.’

-*42. ඉන් පසු වර්ජිල් දෙවෙනි සංචාරය ගැනත් කියයි. එය දඬුවම් කොට සමාවක් දිය හැකි මට්ටමේ පව්කාරයින් තද ගින්නෙන් දවා පවිත්‍ර මිනිසුන් බවට පත් කරන පාරභෞමික තලය යි. ඒ දැවීම මඟින් ඔවුන් සුරලොව යාමටත්, දෙවියන්ගේ ආනන්දාලෝකය ලබන්නටත් සූදානම් කරනු ලැබේ. එය පව්කාරයින්ගේ හා භ්‍රෂ්ටයින්ගේ පුනරුත්ථාපන මධ්‍යස්ථානය යි. අපාය මෙන් දරුණු වේදනා ඇති කරන තැනක් වූවත් ඒ දැවීමේ වේදනා විඳින්නෝ සුරතාන්තයක් අත්විඳිති. ඊට හේතුව ඒ දැවුම තාවකාලික එකක් වීමත්, පසුව ඔවුන්ට ස්වර්ගයට යන්නට පුළුවන් වීමත් ය.

-*43. පාපයන් වෙනුවෙන් ගින්නේ වැටී දුක් විඳි පසු ඔවුන්ට ලැබෙන්නේ පරම සන්තෘෂ්ටියකි. දැවීම කොයි තරම් බිහිසුණු වූවත් එයාකාර දැවුමෙන් තම කළ පව් දවමින් පිරිසිදු වූවෝ ඉන් පසු මොක්පුර කරා නැඟ එති. ඉන් පසු ඔවුන් සිටින්නේ දේවාභිෂේක ලැබූ ආසිරි ලද්දවුන් අතර ය. ඒ ස්වර්ගය යි.

-*44. වර්ජිල් ඩාන්ටේ අමතා කියන්නේ එහි යන්නට නම් මඟ පෙන්වන්නට තමන් සපුරා අසමත් බව යි. ඩාන්ටේට එහි යන්නට වුවමනා නම් ඔහු වෙනත් ගයිඩ් කෙනෙකු සොයා ගත යුතු ය. මෙය හිමාලය නඟින්නකු නේපාලයේ තැනිබිමේ දී සාමාන්‍ය මඟ පෙන්වන්නකු සමඟ පැමිණ කඳු තරණයට වෙනත් අයෙකු සොයා ගත යුතු වීමට සමාන ගැටළුවකි. වර්ජිල්ට කළ හැක්කේ ඩාන්ටේ අතරමඟ නවතා ඔහුගෙන් සමු ගැනීම පමණි. 'මට වැඩි කෙනෙකුන් ඔබ හා යුතු.’

ක්‍රිස්තු ධර්මය බිහි වීමට සාපේක්ෂව වර්ජිල් වූ කලී ස්වාභාවික වස්තු දේවත්වයෙන් සැලකූ අප්‍රබුද්ධ මිථ්‍යාග්‍රාහී ආදි - යුගයක කවියෙකි (Pagan poet). එහෙයින් ඔහුට ක්‍රිස්තියානි දේවධර්මානුකූල පරමෝත්කෘෂ්ට විමුක්තියකට හිමිකමක් නැත.

-*45. සුරලොවට අධිපති දෙවියන් තමාට මනාප නැති බවත්, තවකෙකු එහි කැඳවා ගෙන යන්නට ද තමාට අවසරයක් නැති බවත්, තමා ජීවත් වී සිටිය දී එම දිව්‍ය රාජයාගේ අණසකට විරුද්ධව කැරලි ගැසූවකු බවත් වර්ජිල් කියයි. ඉන් ව්‍යංගාර්ථයෙන් කියවෙන්නේ වර්ජිල් ද මෙලොව දී දෙවියන්ගේ මට්ටමේ කෙනෙකුව සිටි බවකි.

එපමණක් නොව ක්‍රිස්තියානි දේවධර්මානුකූල අප්‍රබුද්ධ මිථ්‍යාග්‍රාහී ආදි - යුගයක ඉපිද මියගියත් වූවත් වර්ජිල් ඇත්තෙන් ම මහා කවියකු බවත්, ක්‍රිස්තු යුගයේ වෙසෙන්නට නියම වූ ඩාන්ටේ වැන්නන්ට පවා ඔවුන්ගේ කාව්‍යය වෙනුවෙන් මඟ පෙන්වන්නට ඔහුට හැකි බවත් කියවේ. එහෙයින් ක්‍රිස්තු යුගයේ දෘෂ්ටිවාදයට පවා ඩාන්ටේ විසින් අභියෝග කිරීමක් මෙහි තිබේ. සැබැවින් මෙහි කැරලිකාරයකු වන්නේ ඩාන්ටේ ය.

ඩාන්ටේගේ අපාය කියවීමේදී ඩාන්ටේගේ ඉතාලියේ ඓතිහාසික තත්ත්වයන් එක කෙළින් ම අදාළ වන අතර ඊට ඩාන්ටේගේ පංති පසුබිමල නිදහස් කොමියුනයක් ලෙස ෆ්ලොරන්සයේ තත්ත්වය, ගුවේල්ෆ්වරු (Guelph) හා ගිබිලින්වරු (Ghibelline) අතර පැවති සිවිල් ගැටුම, එතුළ ඔහුගේ පාක්ෂිකත්වය, පිටුවහල් කිරීම හා පිටුවහලේ මියයාම ඇතුළත් වේ. නිදහස් ෆ්ලොරන්ස් කොමියුනයේ ඉහළ - මධ්‍යම පංතික ඇලිගේරි කෙනෙකු ලෙස උපන් ඔහු ගුවේල්ෆ් පාක්ෂිකත්වයෙන් යුතු වූ අතර ගිබිලින්වරුන්ගේ සතුරුභාවය ද උපතින් උරුම කර ගති.

ක්‍රි.ව. 1265 සිදු වුණු ඔහුගේ උපතට පසු ආසන්න වකවානුවේ දී ගුවේල්ෆ් පාර්ශ්වය ජය ලැබූ නමුත් ගිබ්ලින් අනතුර ඔහු හැදෙන වැඩෙන සමය පුරා ඔහුගේ සිත හොල්මන් කළේ ය. අපායේ දඬුවම් ලබන්නන් අතර ඔහුට පෙර පරපුරේ ගිබ්ලින් රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ සහ ගිබ්ලින් පඬිවරුන්ගේ චරිත දක්නා ලැබේ.

ඩාන්ටේගේ ඉරණම තීන්දු කරනු ලැබුණේ කොමියුන පාලනයට ඔහු සෘජුව සහභාගි වීම මඟිනි. ගුවේල්ෆ්වරු කළු සහ සුදු වශයෙන් දෙකට බෙදීමෙන් සිවිල් ව්‍යාකූලත්වය තවත් දරුණු විය. ඩාන්ටේ ධවල පාක්ෂිකයෙකි. අවාසනාවකට මෙන් ඩාන්ටේගේ ක්‍රියාකාරී දේශපාලන දිවිය තුළ ඒ කළු - සුදු කල්ලිවාදය ශීඝ්‍රයෙන් වැඩණු අතර වඩාත් දෛවෝපගත වූයේ ක්‍රි.ව. 1300 දී ඒ දෙපාර්ශ්වය අතර ප්‍රචණ්ඩ ගැටුම් ඇති වන විට ඔහු ඉහළ අධිකරණ මහේස්ත්‍රාත් ධුරයක් හෙබවීම යි.

නිදහස් කොමියුනයට වඩා රෝමයේ පාප් පාලනයට කැමැති වුණු කළු පක්ෂය පාප්වරයාගේ මැදිහත්වීම ඉල්ලා සිටියේ ය. පාප් පාලනය ෆ්ලොරන්සය තුළ ශක්තිමත් කිරීමේ වුවමනාවෙන් කටයුතු කළ අටවෙනි බොනිෆස් පාප්තුමා තුන්වෙනි බේරුම්කාරයකු ෆ්ලොරන්සය වෙත එවන ලද අතර ඔහු ඩාන්ටේගේ පාර්ශ්වය වූ ධවලවාදී පාලනය නිරායුධ කොට දමා, පිටුවහලේ සිටි කළු පාක්ෂිකයන්ට ආපසු පැමිණීමට ඉඩ දුනි.

එවිට ඩාන්ටේ ෆ්ලොරන්සයෙන් පිට දේශපාලන රාජ දූත මෙහෙවරක යෙදී සිටියේ ය. ෆ්ලොරන්සයේ තත්ත්වය ඉතාමත් අයහපත් වුණු අතර පරාජිත ධවල පාර්ශ්වය නියෝජනය කරන්නෙකු ලෙස අනිවාර්ය පිටුවහල් වීම තොරා ගන්නට ඩාන්ටේට සිදු විය. 'අපාය’ ඇතුළු 'දිව්‍යමය ප්‍රහසනය’ රචනා වන්නේ මේ තිත්ත අත්දැකීමෙනි.

ෆ්ලොරන්තියානු කුමන්ත්‍රණයේ දී පාප් රාජ්‍යයේ කාර්යභාරය ඩාන්ටේට අමිහිරි අත්දැකීමක් වූ අතර ඔහුතම කාව්‍යය ඔස්සේ පාපයේ විශාලත්වය හා සාරාර්ථය මෙන් ම යහපත් දේශපාලන බලයක සද්භාවය හා සතුටද විභාග කළේ ය. පව්කාර අපරාධකරුවන් අපායට දැමීම සහ පවිත්‍ර කළ හැකි වූවන් පවිත්‍රාගාරයට යැවීම මෙන්ම ලෞකික රාජ්‍යය ජරාජීර්ණ වී යද්දී ස්වර්ගය වැනි ප්ලේටෝනියානු ආකෘති විශ්වයක සංවිධිත පාලනයක ප්‍රහර්ශය හා ආදරය තිබිය යුතු ය යන විශ්වාසය ද මෙහි තිබේ.

-*46. වර්ජිල් ඉන් පසු ස්වර්ගවාසී මහා අධිරාජයා වූ දෙවියන්ගේ මහේශාක්‍යභාවය ගැන කියයි. අහසේ, පොළොවේ සහ සප්ත සාගරයේ සෑම අහුමුල්ලක ද ඔහුගේ අණසක පැතිර ඇති බැවින් ඔහුගේ සඟ පුරයේ අණසක ඔහු සතු බව කිව මනා නොවේ.

-*47. කැරලිකරුවකු ලෙස දේව නීතියට පිටුපෑ නිසා තමාට එපුර දැක්මේ සතුට විඳින්නට නොහැකි බව වර්ජිල් ඉන් අනතුරුව පවසයි. එය 'අහෝ දෙව්දත් නුදුටි මොක් පුර’ වැනි ගුත්තිල පැදිය අපට සිහිපත් කරවන අවස්ථාවකි. වර්ජිල් තව දුරටත් පවසන්නේ ඒ දේව රාජ්‍යයේ පුරවැසිකම ලැබූවන් වාසනාවන්තයින් හා පරම සොම්නස අත්විඳින්නන් බව ය.

-*48. දැන් ඩාන්ටේ කතා කරයි. ඔහු වර්ජිල් අමතා ආයාචනා කරන්නේ දෙවියන්ගේ ශ්‍රී නාමයේ නමින් තමාට පිහිට වන ලෙස ය. මෙහි විසංවාදයක් හා තර්කාභාසයක් ඇත. ඩාන්ටේ ආයාචනා කරන්නේ වර්ජිල් නොදන්නා කෙනෙකු නමින් තමාට සරණක් ලබා දෙන ලෙස ය. මෙය යාචකයකුගෙන් රන් කහවනු අයැදීමකි.‘ කිවියනි, ඒ මහ දෙවියන් නාමෙන්, ඔබ නොම දන්නා ඒ දෙවි නාමෙන්.’

මෙය නූතනවාදය (Modernism) මඟින් පශ්චාත්-නූතනවාදයට (Postmodernism) ඉතිරි කරන ලද දාර්ශනික ගැටළුවකි. එනම් ශුන්‍යතාවකින්. හිස්බවකින් හා රික්තයකින් (Lack) කිසියම් අස්ථිත්වයක්, සාධනීයත්වයක් හා අනාගතයක් බලාපොරොත්තු වීම යි. වර්ජිල්ට ඇත්තේ දෙවියන් පිළිබඳ හුදු නාමයක් පමණි. ඔහු දෙවියන්ගේ කෙනෙකු ද නොවේ. එහෙයින් වන්දනා ගමනේ අවසාන අරමුණ ඉටු කර ගන්නට ඩාන්ටේට සහාය වන්නට වර්ජිල්ට නොහැකි ය.

ඩාන්ටේ මෙන් ම මුලින් පිටුවහල් කිරීමට ද, දෙවෙනුව බරපතළ වැඩ සහිත දඬුවමට ලක්කොට ශ්‍රම කඳවුරකට යවන අවස්ථාවේ අතරමඟ මියගිය ඕසිප් මෙන්ඩල්ටම් නම් ප්‍රකට රුසියානු කවියා ඩාන්ටේ ගැන මෙසේ කියයි.

"ඩාන්ටේ වූ කලී නූතනවාදයට අභියෝග කරන්නෙකි. ඔහුගේ සමකාලීනභාවය නොසි‍ඳෙන උල්පතකි. එය මනින්නට නොහැකි ය. එහි අවසන් වීමක් ද නැත... අද දවස දිශාවට එල්ල කිරීමකින් තොරව ඩාන්ටේගේ සර්ග කියවීමක් ගැන සිතන්නටවත් නොහැකි ය. ඒවා නිර්මාණය කර ඇත්තේ ද ඒ වෙනුවෙන් ම ය. ඒවා අනාගතය අල්ලා ගන්නට එවන ලද මිසයිල වේ. ඒවා මඟින් අනාගතත්වයේ (futurum) විවරණ ඉල්ලා සිටිනු ලැබේ.” (Allen Mandelbaum, The Divine Comedy of Dante Alighieri, Paradiso , Bantam Books, 1986, p.xiii)

තමා නොදන්නා හෝ තමාට ප්‍රවිෂ්ට වීමේ වරප්‍රසාදය නැත්තෙකුගේ නාමයෙන් කෙනෙකු යමක් කරන්නේ කෙසේ ද? වර්ජිල් මුහුණ දෙන්නේ බරපතළ ගැටළුවකට ය. එය වඩාත් බරපතළ වන්නේ තවත් හේතුවක් නිසා ය. ඒ කුමක් ද යත්, ඩාන්ටේ ඉල්ලා සිටින්නේ ද ඉතාමත් බරපතළ උදව්වකි. එනම් කීතු කරන්නට දිව එන කෑදර වෘක ධේනුවගෙන් තම දිවි බේරා දෙන ලෙස ය.

මේ ගැටළුව අප ඉදිරියේ දෙයාකාරයෙන් වර නැ‍ඟෙයි. එක අතකින් ඩාන්ටේ ඒ බව දැන දැන ම වර්ජිල්ගෙන් ගැලවුම ඉල්ලා සිටියි. අනෙක් අතට වර්ජිල් තමාට පිළිතුරු දීමේ වරප්‍රසාදය අහිමි ගැටළුවට පිළිතුරු දෙන්නට බැඳී සිටියි. වර්ජිල් ඉදිරිපිට අඬා වැටෙන්නේ සාමාන්‍ය වන්දනාකාරයෙක් නොවේ. ඔහු කවියෙකි. තමාගෙන් අනුප්‍රාණය ලැබූ අනුප්‍රාප්තිකයෙකි. එහෙයින් කලාත්මක පෙළපත් වගකීමක් ද ඔහුට ඇත. එනමුත් ඩාන්ටේගේ ක්‍රිස්තියානි දේවධර්මය අනුව වර්ජිල් ජීවත් වී මියගියේ රෝමයෙහි ක්‍රිස්තු ධර්මය පිහිටු වීමට කලිනි. එහෙයින් ඔහුට දෙවියන්ගේ භවන වූ ස්වර්ගයට (Heaven) පිවිසීමට වරම් නැත.

-*49. ඩාන්ටේ ඉල්ලා සිටින්නේ මෙතරම් බිහිසුණු තැනක තමා නොතබන ලෙස ය. වර්ජිල් යෝජනා කරන තැන මීටත් වඩා නරක තැනක් වූවත් එහි යන්නට ඩාන්ටේ කැමැති වන්නේ වර්ජිල්ගේ මාර්ගෝපදේශය ඔහුට ලැබෙන බැවිනි. මෙතැන නරාවල මා දිවි නැති වන, වටලා මා සිත භීතිය දනවන, මීටත් වැඩි තැන වුව පය රැඳවෙන, මේ උවදුරු බිම නොතබනු මා පණ.

-*50. ඩාන්ටේ මහත් කැමැත්තෙන් වර්ජිල්ට එකඟ වේ. 'පීටර් දොරටුව’ වෙත මඟ පෙන්වන්නැයි ඩාන්ටේ කියයි. ඉන් පසු දෙදෙනා පිටත් වෙති.

පීටර් දොරටුව (Peter’s Gate) ලෙස හඳුන්වනු ලබන්නේ අපායේ දොරටුව නොව ගින්නෙන් පාපිෂ්ටයන්ගේ පාප දහනය කරන 'පර්ගේටරි’ (Purgatory) නම් ස්ථානයේ දොරටුව යි. මාර්ක් මූසා පරිවර්තනයේ එය සාන්ත පීටර් විසින් මුර කරනු ලබන දොරටුව (the gate Saint Peter guards) ලෙස සඳහන් වන අතර ජෝන් සියාඩි පරිවර්තනයේ (Peter’s gate) ලෙස සඳහනි.

පීටර් හෙවත් පේදුරු නම් සාන්තුවරයා ජේසුතුමාගේ ශ්‍රාවකයින් දොළොස් දෙනාගෙන් කෙනෙකි. පුරාණ ක්‍රිස්තියානි සභාවේ සමාරම්භක ප්‍රධානීන් අතරින් ද කෙනෙකි. ප්‍රමුඛතම සාන්තුවරයා සහ රෝම දේව සසුනේ ආරම්භකයා ලෙස ඔහු ඉමහත් ගෞරවයට පාත්‍ර වේ. ක්‍රිස්තියානි ආගමික වංශාවලිය අනුව රෝමයේ ප්‍රථම බිෂොප්වරයා හෝ පාප්වරයා වූ එතුමෝ නීරෝ නම් රෝම අධිරාජ්‍යයා අතින් එහි ම මරණයට පත් විය.

කතෝලික සම්ප්‍රදාය අනුව එතුමා මරණයට පත්කොට ඇත්තේ කුරුසිය උඩුයටිකුරු කරමිනි. ඒ සම්ප්‍රදාය අනුව එතුමා සැබැවින් ස්වර්ගය ඉදිරිපිට සිටින අතර මරණයට පත් වූවන් පැමිණි කළ ඒ තැනැත්තාගේ පින් පව් බලා ඔහු පව්කාරයකු නොවේ නම් ස්වර්ගයේ දොර විවෘත කරයි. පව්කාරයකු නම් අපායට යවයි.නූතනවාදී මහා මූර්ති ශිල්පී ඔගස්ටේ රොඩෑන් විසින් 'සිතන්නා’ (The Thinker) මූර්තිය මුලින් නිර්මාණය කළේ 'අපාය දොරටුව’ (Gate of Hell) නමිනි. ඔහුගේ මුල් අදහස වූයේ 'දිව්‍යමය ප්‍රහසනය’ ගැන කල්පනා කරන ඩාන්ටේ ලෙස එම ලෝකඩ මූර්තිය නිර්මාණය කරන්නට ය. ඔහු 1889 වසරේ දී එය ඇත්ත වශයෙන් ප්‍රදර්ශනය කළේ ද 'අපාය දොරටුව’ නමිනි. ඊට 'සිතන්නා’ හෝ 'චින්තකයා’ නම ලැබුණේ ඊට 'කවියා’ යන නම ද ලැබීමෙන් පසු 1902 වසරේ දී ය.

මෙතැනින් ගැලවී ඔබ කී අඩවිය වෙත යන ගමනට මඟ පෙන්වනු මැන, දක්නට කැමති ය පීටර් දොරටුව යන පරිවර්තිත පද පෙළ මූසා පරිවර්තනයේ යෙදී ඇත්තේ ‘lead me there to the place you spoke about, that I may see the gate Saint Peter guards...’ යනුවෙනි.

මූසා කියන්නේ ඩාන්ටේගේ පද පෙළ ව්‍යාකූල බව ය. බොහෝ අටුවාකරුවන් එය අර්ථ දක්වන්නේ ගින්නෙන් පාපිෂ්ටයන්ගේ පාප දහනය කරන විශේෂ ස්ථානයේ දොරටුව ලෙස බව මූසා කියයි. ඩාන්ටේ විසින් එම ස්ථානය පාදක කර ගනිමින් රචනා කරන ලද දෙවෙනි වෙළුම අනුව එම ස්ථානයේ දොරටුව සාන්ත පීටර් වෙතින් යතුර ලබා ගත් සුරදූතයකු (Angel) විසින් මුර කරනු ලබයි.

ඩාන්ටේ තම කාව්‍යයේ එසේ කියන අවස්ථාවේ දී එම ස්ථාන දෙක පිළිබඳ තම කාව්‍ය චරිත සතු විය හැකි අවබෝධයේ සීමාව ගැන ද අප කල්පනා කළ යුතු ය. එම පද පෙළේ ව්‍යාකූලත්වය එවිට තවත් වැඩි වන අතර ඒ ගැන සංකීර්ණ සාකච්ඡා සිදු වී ඇති බව පෙනේ. සමහර විට ‍යථෝක්ත ස්ථාන දෙකට ම තමා කැඳවා ගෙන යන ලෙස ඩාන්ටේ නම් වන්දනාකරුවා වර්ජිල් නම් හේමාල අවතාරයෙන් ඉල්ලා සිටිනවා විය හැකි ය.

එනමුත් එය ද නිසැකව කියන්නට නොහැකි වන්නේ ඒ දෙදෙනාගෙන් එක් අයෙකුවත් එවැනි දොරටුවක් 'පවිත්‍රාග්නි දනව්වේ’ ඇති බව හෝ‘ස්වර්ගයේ’ නොතිබෙන බව හෝ නොදන්නා නිසා යැයි මූසා කියයි. වන්දනාකරුවාගේ එම ඉඟිලෑම (allusion) සාන්ත පීටර් විසින් ස්වර්ගයේ දොරටුපාලකයා ය යන පොදුජන විශ්වාසය නිසා ඇති වූවක් බව ද ඒ අටුවාකරු වැඩිදුරටත් පවසයි.

සමහර විට වන්දනාකරුවා ඉල්ලන්නේ යථෝක්ත ස්ථාන දෙකට ම තමා රැගෙන යන ලෙස නොව වර්ජිල් අවසානයට කී ස්ථානයට, එනම් පවිත්‍රාග්නි දනව්වට කැඳවා ගෙන යන ලෙස විය හැකි ය. කෙසේ වූවත් අප දකින්නේ ඒ ව්‍යාකූලත්වයන් මධ්‍යයේ මේ සත්පුරුෂයන් දෙදෙන තම මහා ගමන ආරම්භ කරන්නට සැරසෙන බව යි.

ඔබගේ අදහස් අපට එවන්න.