ඩාන්ටේ ඇලිගේරි - දිව්‍යමය ප්‍රහසනය වෙළුම 1: අපාය පළවෙනි සර්ගය - (පැදි xi – xxix)

2022 මැයි 24

බෑවුම අවසන නැඟුම ඇරඹි තැන

දිවියෙක් මතු විය පෙනුමෙන් විසිතුරු

බුහුටි කයින් ගෙන අනත අශ්ව බල!

ඌ සතු ලොම සම බෙහෙවින් තිත් ලද. *11

බැලු බැලු අත මට පෙනුණේ දිවි රුව

මා යා යුතු මඟ යළි යළිඅවුරණ,

එහෙයින් සිතුවේ ඔව් මා සිතු වේ

පියවර ආපසු ගෙන බැස යන්නට. *12

ඒ වන විට පැය අරුණලු අතරයි

නව හිරු නැඟිටියි මේෂ රාශියේ

හිරු තරු පංතිය කැටුවම එන්නේ

උපදින නව ලොව එළිය කරන්නයි. *13

උත්තම සුර පැය සුමිහිරි සෘතුව

පිනවන සඳ මා නෙත සිත අපමණ,

දිරියක් ඇති විය ඇති දිවි අනතුර

පෙරමඟ සුලකුණ විලසින් දක්නට. *14

එනමුත් ලියලන පැතුමන් සුන් කර

නැවතත් කැඳවා මවෙත දරුණු බිය,

විසල් හිසක් ඇති කෑදර කුස ඇති

දරුණු සිංහ රුව මා අබියස විය. *15

තොල කට ලෙව කන ලොබ පිරි සිහ රුව

ලං වන සේ ම යල ඔසවා සිය හිස,

තිරිසන් සිරුරෙහි වෙසමුනි දකිමින්

බියෙන් සලිත විය දෙපසෙහි වාතල. *16

බල දැන් පැමිණෙයි වෘක ‍ධේනුවක්

කෙහෙතිය වූවත් ඇටකටු පෑදුණ,

නිම් නැත නිම් නැත ඒකිගෙ ලෝභය,

කොපමණ දෙනෙකුට මරු සුව දුන්නෙද? *17

ඒ දෙන දැකුමෙන් මා දිරි සුන් විය

ගමනෙහි ඉදිරිය සිත තුළ වැළලිණ,

දුටු විට වැගිරෙන ගොදුරට ලෝභය

ගිරි කුළ තරණය සිතින් බැහැර විය. *18

සොම්නස පහළව විකසිත වූ සිත

තැවුලෙන් ළතවෙයි දොම්නස මතුකොට,

මොහොතක පෙර කල හා මේ වත්මන

සැසඳුම ඒ සැම පරදන තැවුලකි. *19

(උදුරා ගන්නට අපමණ වෙහෙසෙන

දැඩි තණ්හාවෙන් පිරි මසුරෙකු හට

දෛව භාග්‍යය හිමි නැති අයුරින්

හිස්කම සෝකය කඳුළ ඉතිරි විය) *20

සිත්පිත් නැති ඒ රුදු දෙන තිරිසනි;

එකිනෙක පියවර තැබුවේ මා වෙත,

ගොරවා බලකොට මා හට පසුබැස

ආපසු යන ලෙස හිරු නැති අඳුරට. *21

දුවනට වූ කල පල්ලම පසුබැස,

දෙදරා මා හද විසිරුණු නටබුන්

දකිමින් මා වෙත දුබලව පැමිණෙන

රුවක් දුටිමි මම කටහඬ හැකිළුණ. *22

මේ මුඩුබිම මත සිට ගත් මිනිසා

අමතා අයැදිමි, 'නුඹ මිනිසකු වුව,

හේමාලය නම් පේත සතා වුව,

පතළ කුළුණු ගුණ දිගා කරනු මැන!’ *23

"මිනිසකු වී ලොව පෙර කල සිටිය ද

දැන් මම පණ ඇති නරයකු නොවුණ ද

පිය ගම මවු ගම ලොම්බාඩිය වියල

මාන්තුවාවරු වෙති ඒ දෙදෙනම.” *24

"ජුලියස් සේසරු සමයෙහි රෝමයෙ

පසු කල කිය හැකිල අලිබොරු දෙවිවරු

නමඳින අඳුරෙහි බිහි වුණු හිත හොඳ

මහරු ඔගස්ටස් කල මා තරුණෙකි” *25

"කවියකු වූ මම ගැයුවෙමි පද බැඳ

යුක්තිගරුක ගරු ඇන්කයිසිස් හට

ජාතව ඉපදී ගිනි ගෙන සුන් වුණු

ඉලියම අතහැර නැව් නැඟි පුතු ගැන” *26

"ගිනි දෙවි ජය ගත් ට්‍රෝජ පුරය සිට

එදා පිටත් විය උත්තුංග අමර නැව,

රෝමය විය එය සපැමිණි නැව් තොට-

එනැවින් එනියස් රෝමය දැක ගති!” *27

"කිම ඔබ මේ ලෙස වැරහැලි සිරුරින්

තද දුක් අඳුරින් අලාමුළා වී

දිව්‍ය ප්‍රමෝදය උපදින උල්පත

පිහිටි ගිරග හැර වල්මත් වන්නේ ?” *28

මා හඬ සලිතව ඔත්පල නිමෙසෙහි

මෙලෙස බිණිමි මම ඉමහත් චකිතෙන්,

"එහෙනම් ඔබ නොවැ වර්ජිල් කිවිඳා

උත්තම මහ කිවි රස පැදි වැගිරූ” *29

Dante Alighieri

ගොතික් සාහිත්‍යය, රොමෑන්ටිකවාදය, අධියථාර්ථවාදී කලාව, මධ්‍ය - පෘතිවි (Middle-earth) ගැන කියවෙන 'ද ලෝඩ්ස් ඔෆ් ද රින්ස්’ වැනි ෆැන්ටසික සිනමාව යනාදියෙන් පමණක් නොව ෆ්රාන්ස් කෆ්කා සහ ශෝෂ් ලුයී බොහේස්ගේ නූතනවාදී සාහිත්‍යයෙන් ද විභූෂිත කෙරුණු වර්තමාන පරපුරේ සෞන්දර්යාත්මක සංවේදීතාව අනුව ඩාන්ටේ අතින් මැවෙන්නේ සාහිත්තික විස්මලන්තයකි. යථෝක්ත නිර්මාණ කෙරෙහි ද ඩාන්ටේගේ කාව්‍ය ලෝකය බලපා ඇති තරම ගැන සැකයක් නැති අතර පෙරළා ඩාන්ටේගේ සාහිත්‍යය ඇසුරු කරන්නට ඉන් ලැබෙන අනුප්‍රාණය ද ශිෂ්ටාචාරයේ මේ නිමේෂය සතු කලාත්මක සවිඥානකත්වය සලකුණු කරයි.

නිරය හෙවත් අපාය දකින්නට ඩාන්ටේ කවියා යන ගමන වර්තමාන මිනිසාට සහේතුක හා සහෘදික වන්නේ ඔහු ද මේ මිහිතලයේ යුද්ධ, සංහාර, සංගතල, ව්‍යසන ආදිය ලෙස මැවුණු දහසකුත් එකක් අපායන්වල කොතෙකුත් සැරිසරා ඇති බැවිනි. මේ පරිවර්තනය සිදු වන මේ වකවානුවේ දී බංකොලොත් රටක් ලෙස ශ්‍රී ලංකාව ද මිහිපිට අපායක් වීමට ආසන්න ය. ඩාන්ටේගේ අපායෙහි මෙන් මෙහි ද අපාගත කව (circles) බිහි නොවෙතොත් අරුමයකි. අපි අද එවැනි රූපයක් ගන්නා පෙට්‍රල් කව, ඩීසල් කව, ගෑස් කව දකිමින් සිටිමු. ඒවායේ සිටින්නේ අපාගත පව්කාරයින් නොවුණත් අවිචි මහා නිරයේ හෙවත් ඉන්ෆනෝවේ අපිට දැක ගන්නට ලැබෙනු ඇත්තේ අප ද දන්නා හෝ එහි සිටිනු දක්නට කැමැති සැබෑ ප්‍රකට දෙස් විදෙස් සමකාලීන පව්කාර චරිත විය හැකි ය.

මේ මහා කාව්‍ය රචනා කරන විට ඩාන්ටේ ද සිය නුවර වූ ඉතාලියේ ෆ්ලොරන්සයෙන් පිටුවහල් කළ තැනැත්තෙකි. එහෙයින් ඔහු මේ කාව්‍යයේ කියවෙන අඳුරු වනාන්තරය තුළ අතරමං වුණු පිටස්තරයකු වීම ද්විත්ව පිටුවහල් (double exile) වීමකි. එක් අතින් ඔහු මඟ වැරදීමෙන් 'නෙරපූවකු’ වන අතර තම සමාජ හා පුද්ගලික ජීවිතයේ දී ද තම රටින් නෙරපා දමනු ලැබූවෙකි. තම රට තුළ හෝ එපිට භෞම කලාපයක ව්‍යසනයට ලක් වන සමාජීය මිනිසා ද ඩාන්ටේ වැනි අසරණයෙකි. ඔහුගේ එක ම ගැලවීම් මූලධර්මය වන්නේ වන්දනාකරුවකු ලෙස ස්වකීය සමාජ ප්‍රගමනය ඔස්සේ ගමන්කොට විමුක්තිය ලැබීම ය. ඩාන්ටේගේ කාව්‍යයේ නිදන්ගත සමස්ත ලාලසාව (total passion) එය යි.

ඩාන්ටේ තම කාව්‍යය උත්තම දෘෂ්ටිකෝණයෙන් කථනය කරන නමුත් ඔහු 'අඩක් ගෙවූ තැන මා දිවි මඟ හරි මැද’ යනුවෙන් නොකියා 'අඩක් ගෙවූ තැන අප දිවි මඟ හරි මැද’ යනුවෙන් කියයි. එනයින් ඔහු පොදු මිනිස් ඉරණම හා අන්තරාවලෝකනයෙහි ලා පුද්ගලයා සතු වගකීම සලකුණු කරන අතරේ තම කාව්‍යයේ කාලය හා අවකාශය ද සලකුණු කරයි.

කාලය අතින් ඩාන්ටේ බයිබලයේ සඳහන් ආයු අපේක්ෂාවෙන් අඩක් ගෙවා ඇත. එය ගීතාවලිය (Psalms) නම් පුස්තකයේ මෙසේ කියවේ.

"අප ආයු හැත්තෑ වසරකි.

ඇති නම් හොඳ සවි ශක්තිය,

අසූවක් විය හැකිය.

එහෙත් ඒ කාලය කම්කටොළු හා දුක ම ය.

අප ආයු ගෙවී ගොස් දිවි පෙවෙත වහා නිම වන්නේ ය.” (ගීතාවලිය 90.10)

එහෙයින් ඩාන්ටේ ගෙවා ඇත්තේ ඒ දිවියෙන් අඩකි. ෆ්ලොරන්ස්හි උපන් ක්‍රි.ව. 1265 වසරේ උපන් ඔහු මේ කාව්‍යය ආරම්භ වන විට තිස්පස්වෙනි වියෙහි පසු වන අතර එය දින දර්ශනයට අනුව 1300 වසර යි. කාව්‍ය චරිතයක් ලෙස සිටින්නේ ඩාන්ටේ ම වන බැවින් එය ද මේ කාව්‍ය අර්ථාවලියේ අවියෝජනීය අංගයකි. මේ කාව්‍යයේ 'කාල සාධකය’ එලෙස සරල විය හැකි වෙතත් ‘අවකාශ’ සාධකය ඊට වඩා සංකීර්ණ ය. හාවර්ඩ් සරසවියේ ඉතාලි භාෂා මහාචාර්ය ලිනෝ පර්ටිලී එය මෙසේ පැහැදිලි කරයි.

"අපගේ ජීවන ගමන රූපකාර්ථවත් ලෙස සිදු වන්නක් වන නමුත් ක්‍රිස්තියානි සංස්කෘතිය අනුව මෙම ගමනේ රූපකය මිනිස් ජීවිතයේ නිසඟ අරුත ද, මිනිස් පැවැත්මේ සාරාර්ථය (quintessence of human condition) ද නිර්ණය කරයි. මුල් මිනිස් යුවළ වූ 'ආදම් සහ ඒව’ ( Adam and Eve) පාරාදීසයෙන් (Paradise) පිටුවහල් කළ තැන් පටන් අපි අපේ ම නොවූ භූමියක පිටුවහලේ වසන්නෙමු. එසේ හෘදයාංගම නොවූ භූමි කලාපයේ අපි ආපසු අපේ ගෙදර යන්නට පුල පුලා බලා සිටින සංචාරකයෝ, වන්දනාකාරයෝ වෙමු.” (Lino Pertile, Introduction to Inferno in Cambridge Companion to Dante, Cambridge University Press, 2007, p. 68)

ඒ අනුව කාව්‍ය ආරම්භයේ දී නෙත් හැර අවදි වන ඩාන්ටේ යෙදී සිටින අපූර්ව වන්දනා ගමන රූපකාර්ථවත් ගමනකි. එනමුත් එය ක්‍රිස්තියානි සංස්කෘතියට අනුව සෑම මනුෂ්‍යයකු විසින් ම යා යුතු 'සකලජන ගමනක්’ වේ. මේ කාව්‍යයේ ඇති සිත් වශී කරන ආකර්ෂණය වන්නේ ඒ ගමන සාහිත්තිකව සැබෑ ම සැබෑ ගමනක් වීම යි.

එක සතියක් තුළ දී ඔහු අඳුරු වනයෙන් දෙවියන්ගේ දිදුලන අම්බරයට ළඟා වනු ඇති අතර පිටුවහලේ සිටිය ඔහු එලෙස තම නිවස කරා ළඟා වෙයි. ඔහු මේ කාව්‍ය රචනා කරන්නේ පිටුවහලේ සිටිමින් නිසා ඔහුගේ ළඟා වීම දෙවියන්ගේ රාජධානිය කරා ළඟා වීමක් මෙන් ම තම මව් පොළොව පිහි‍ටි දයාබර ෆ්ලොරන්සය කරා ළඟා වීමක් ද වේ.

‘දිව්‍යමය ප්‍රහසනය’ ඒ ද්විත්ව පිටුවහලේ හා ද්විත්ව සම්ප්‍රාප්තියේ එළිදැක්මකි. එය ක්‍රිස්තියානි සම්ප්‍රදාය තුළ සැබෑවක් වන රූපකයකි. ඒ ආගමික සම්ප්‍රදාය තුළ එම රූපකය ආගමික හා අභිධාර්මික වන නමුදු ලෞකික සාහිත්‍ය සම්ප්‍රදාය තුළ එය සැබෑ සමාජයීය මිනිස් දිවිය බවට පත් වන රූපකයකි. මේ කාව්‍යයේ සාර්වත්‍රික හා සමකාලීන වටිනාකම එය යි.

කාව්‍යයේ ආරම්භක ජවනිකාවේ දී ඩාන්ටේ හට අඳුරු වනය මිස කිසිවක් නොපෙනේ. එය පාපයේ වනයකි (forest of sin). ඉන් ගැලවීම සඳහා කවර මඟක් ගත යුතු ද යන බවත් ඔහුට නොහැ‍ඟේ. මෙහි නූතන සාහිත්‍ය කෘතියක මෙන් සාමාන්‍ය මිනිසාගේ සාන්දෘෂ්ටික අසරණභාවය හා පුද්ගලික තීරණයේ නොහැකියාව සටහන් වී ඇත. ඔහු ජීවන අර්බුදයෙහි ගොදුරකි. ඒ අර්බුදය විසින් ඔහු වෙතින් උදුරා ගනු ලැබ තිබෙන්නේ තමාගේ නිදහස සාක්ෂාත් කර ගැනීමට වුවමනා අවම ඥානය යි.

මේ අසීරු අවස්ථාවේ දී ඔහුගේ අසරණකම කොයි තරම් ද යත් ඔහු නිසලව සිටිය හොත් වනය විසින් ඔහු ගිල ගනු ලබනු ඇත. ලාංකේය සාහිත්‍යය තුළ ඊට සම කළ හැකි රූපක ප්‍රපංචයක් තිබේ නම් එය අන් කිසිවක් නොව ලෙනාර්ඩ් වුල්ෆ් මවන බැද්දේගම වනය යි. සැබැවින් ලෙනාර්ඩ් වුල්ෆ් ද ඒ වනය තම නවකථාව ආරම්භයේ දී විස්තර කරන්නේ තීව්‍රතර ඩාන්ටියානු හැඟීමකිනි.එනමුත් ඩාන්ටේ හා වනය අතර පවතින්නේ සිලිඳු හා වනය අතර සම්බන්ධයට හාත්පසින් වෙනස් එකකි. ඉදිරි සිද්ධි විකාශනය තුළ එම වෙනස හොඳින් පැහැදිලි වේ.

අඳුරු වනය ඉදිරියේ ඩාන්ටේ තුළ ඇති වන අසරණභාවය ඔහු තුළ ම පවතියි. එහෙයින් ඔහුට ඉන් ගැලවෙන්නට කිසියම් බාහිර හස්තයක උදව්ව වුවමනා වේ. ඉදිරියේ දී ඩාන්ටේට එය ලැබෙන්නට නියමිත වූවත් සිලිඳුට එය වනයෙන් හෝ ඥාතිමිත්‍ර ඇසුරකින් හෝ පාලක ප්‍රභූවෙන් හෝ ලැබෙන්නේ නැත. විමුක්තිය වෙනුවට සිලිඳුට ලැබෙන්නේ සිරදඬුවම යි. ඔහු ඒ අපායට යන්නේ යළි නොඑන්නට ය. තම අවනඩු කියන්නට ඩාන්ටේට මෙන් භාෂාවක් ද සිලිදුට නැත. ප්‍රභූ ඉංග්‍රීසිය ඔහුට ආගන්තුක ය. 'ස්වභාෂාව’ (vernacular) වූ සිංහලය ද ඔහුට හතුරු ය. ඔහුගේ ජීවන අවකාශය පටු වී ගොස් විනාශය සිදු වන්නේ සියබස තුළ ය.

මේ අතින් ඉරණමේ දී දල භාෂා ලෝකයේ දී ද ඩාන්ටේ සිලිඳුට වඩා බෙහෙවින් වාසනාවන්තයෙකි. වන්දනාවේ යන වියතෙකු හෝ පණ්ඩිත උපාසකයකු වැනි ඩාන්ටේ ඇලිගේරිට වනය රූපකාර්ථවත් විශාලත්වයක් වන අතර සිලිඳුට එය සාගින්න වළකන දඩයම් බිමකි. ඔහු අපායට වැටෙනු වෙනුවට එය නරඹයි.

එනමුත් ඩාන්ටේ ද සිටින්නේ බියකරු වන සතුන් ගැවසෙන මුඩුබිමක ය (wasteland). ඔහු මහත් ‍බියටත්, අපේක්ෂාභංගත්වයටත් පත් වේග. මේ ටී. එස්. එලියට්ගේ මුඩුබිමේ පූර්වගාමී කලාපයකි. එම වනගත කන්දේ බෑවුම අවසන නැඟුම පටන් ගන්නා තැන දිවියෙක් මතු වේ. ඌ මඟ අවුරා ගෙන සිටියි. ඒ අලුයම් වේලාව යි. ඉන් පසු විසල් හිසක් ඇති කෑදර සිංහයෙක් මතු වේ. තුන්වෙනි මෘගයා ලෙස වෘක දෙනක් මතු වේ. ඔහු මහත් සේ බියට පත් වී දුවන්නට පටන් ගනියි.

එවිට බොහෝ කලක් නිහඬව සිටිම හේතුවෙන් ‘හඬ ග්‍රස්තිය’ ඇති හුදකලා පිරිමි මිනිස් රුවක් ඔහු ඉදිරියේ මතු වේ. ඩාන්ටේ මුඩුබිම මැද ප්‍රාදූර්භූත වූ ඒ පුදුම මිනිසා අමතයි. ඔහු සැබෑ මිනිසකු ද, අවතාරයක් ද යන ප්‍රශ්නය ඩාන්ටේට ඇති වේ. ඔහු ඒ රුව අමතන්නේ එම ද්විත්ව - සැකයෙනි. සැබෑ මිනිසකුට දල අවතාරයකට හෝ ප්‍රේතයකුට ද ගැලපෙන ඇමතුමකි ඩාන්ටේ සිදු කරන්නේ.ඒ කවරෙක් ද? ඔහු අනෙකකු නොව ඩාන්ටේගේ පරමාදර්ශී චිරන්තන රෝම ලතින් මහා කවියා වූ සියවස් ගණනකට පෙර මියගිය වර්ජිල් ය. වන සතුන් හඹා ගෙන එන අවස්ථාවක ආපසු හැරී දුවන්නා ඉදිරියේ මතුවන්නේ 'සුපර්මෑන්’ කෙනෙකු හෝ 'සුපර්හීරෝ’ කෙනෙකු නොවේ. දඩයක්කාරයකු ද නොවේ. ක්‍රිස්තියානි ආගමික විශ්වාස අනුව සුරදූතයකු, සාන්තුවරයකු හෝ ගැලවුම්කාරයකු ද නොවේ. ප්‍රවාදාත්මක දාර්ශනික පිළිගැනීම අනුව චින්තකයකු, දේවධර්මවාදියකු හෝ විද්‍යාඥයකු ද නොවේ. එය සැලකිය යුතු කාරණයකි.

Dante finds three beasts and Virgil

රෝම අධිරාජ්‍යයේ මහා කවියා සහ මධ්‍යකාලීන යුරෝපයේ අග්‍රස්ථ කවියා වූ වර්ජිල් හමු වීම ඩාන්ටේගේ කාව්‍යයේ වැදගත් හා එම කාව්‍යය තුළ ආඛ්‍යානමය වශයෙන් කල් පැවතීමට නියමිත හමුවකි. එකී කවියා හමු වීම ක්‍රිස්තියානි ආගමික කැලන්ඩරගේ හා චාරිත්‍ර සංග්‍රහයේ ඉතාමත් වැදගත් දිනයක් වූ මහ සිකුරාදා සිදු වීම ද එහි වැදගත්කම තීව්‍ර හා සංස්කෘතික කරයි.

-*11. කඳු බෑවුම අවසන් වී නැඟුම ආරම්භ වුණු මුඩු පෙදෙස පසු කරන අවස්ථාවේදී තිත් වැටුණු ලොම් සමින් යුතු වේගවත් දිවීමෙහි පැනීමෙහි හැකියාවෙන් යුතු දිවියෙක් ඩාන්ටේට හමු වන අතර ඌ හොර මගඩි (fraud) නම් පාපයේ සංකේතය බවත්, ඒ පාපයේ ගැලී දිවි ගෙවූ පව්කාරයන් (the Fraudulent) මතුවට ඔහු දකින අපායේ අටවෙනි හා නවවෙනි කවයන්වල(Eighth and Ninth Circles) දඩුවම් ලබන බවත් දිව්‍යමය ප්‍රහසනයේ අටුවා ටීකාවලින් හෙළිදරව් වේ. පුර රාජ්‍ය පාලනයේ කලක් නියුතු වූවකු හා ෆ්ලොරන්සියානු උගතකු ලෙස ඩාන්ටේට ඒ ගැන මනා පසුබිම් දැනුමක් තිබිය යුතු ය. පාලකයින් මගඩි නොකිරීම අනුල්ලංඝනීය යහපත් පාලන ධර්මතාවකි. එනමුත් එය එසේ නොවීමේ යථාර්ථය මේ වන මෘගයාගෙන් පෙන්නුම් කෙරේ.

-*12. බැලු බැලු අත ඩාන්ටේට පෙනෙන්නේ ඒ දිවි රුව යි. ජෝන් සියාඩිගේ ඉංග්‍රීසි පරිවර්තනයේ එලෙස නොකියවෙන අතර එහි කියවෙන්නේ දිවියා බැහැරට නොගිය බව හා ඩාන්ටේ ඉදිරිය‍ට යන්නට යළි යළි හැරුණු මඟ දිවියා විසින් අවුරන ලද බව පමණි. මාර්ක් මූසා පරිවර්තනය හා අර්ථකථනය අනුව වර්ණවත් දිවියාගේ ක්ෂණික මතු වීම සහ පැමිණි තැනක් නැති වීම ද මනා සැලකිල්ලට ගත යුතු ය. තිත් වැටුණු, ලකේ ඇති හුරු බුහුටි ඒ මෘගයා ඉන් පසු අතුරුදහන් වන්නේ සංකේතත්වයක් කරා එසවෙමිනි. එය කවරක සකේතයක් ද? මාර්ක් මූසා පවසන්නේ ඉදිරි ගමන වළකන හා කොතැනත් පවතින හෙවත් සර්වස්ථානික බලයක (a force that is everywhere, blocking upward movement) සංකේතයක් ලෙස දිවියා මතු වී නැති වී යන බව ය. ඩාන්ටේ ඒ බාධාවට අනුගත වෙමින් පසු බැස දුවන්නට කල්පනා කරයි.

-*13. ඩාන්ටේ ඒ සිද්ධියේ නක්ෂත්‍රය ද පැහැදිලි කරයි. එය අරුණලු පැතිරෙන අලුයම් හෝරාව යි. හිරු මේෂ රාශියට (Aries) පැමිණෙයි. එය අලුත් වසරක උදාව යි. අලුත් ගමනක, අලුත් වන්දනාවක මුලපිරුම යි. මධ්‍යකාලීන යුරෝපයේ විශ්වාසය අනුව දෙවියන් ලොව මවන අවස්ථාවේ හිරු මේෂ රාශියේ සිටියේ ය. ආගම හා තාරකා ශාස්ත්‍රය යන ද්විත්වයේ එකට එක බැඳීම හෙවත් සංයුඤ්ජනය (religious and astronomical conjunction) ඩාන්ටේගේ දෘෂ්ටාන්තයේ (allegory) ඉතා වැදගත් අංගයකි.

මේ අවස්ථා නිරූපණය සිංහල පාඨකයාට සැළලිහිණි සන්දේශයේ උදා වැනුම සිහිපත් කරවයි. හාත්පස ආලෝකමත් කරමින් සුරගුරු හෙවත් බ්‍රහස්පති තාරකාව උදා වූ කල්හි අශ්විනි හෙවත් අස්විද නැකතෙහි සිට චන්ද්‍රයා අහස් මුදුනට පැමිණි කල්හි යනුවෙන් එහි අතිසුන්දර ලෙස කියවෙයි. එය අප උතුම් පක්ෂියාගේ ගමන් පිරුමයි. මෙය ද උතුම් ඩාන්ටේගේ ගමන් පිරුම යි.ඩාන්ටේ අඳුරු වනයක ඇස් අරින මොහොත යෙදී ඇත්තේ ක්‍රි.ව.1300 මහ සිකුරාදා අරුණෝදයට සුළු වේලාවකට කලිනි. එහෙයින් ලෝකය නිර්මාණයෙහි නැකත වූ මේෂ රාශියෙහි සහ පාස්කු දින උදාවේ ඩාන්ටේ තම නව දිවි ගමන අරඹයි. එය පුනර්භවයකි. එය දවසේ ද උදාව යි. නක්ෂත්‍රය අනුව සූර්යාගේ අලුත් ගමන යෙදීම යි. පාස්කු නම් දවසේ මියයන ක්‍රිස්තුතුමා(Crucifixion) තෙදිනකින් යළි නැඟිටියි (Resurrection).

තතු එසේ වූවත් ක්‍රි.ව. 1300 වසරේ කිසිදු සිකුරාදාවක සූර්යයා දිවා රෑ සම විෂුවයේ (equinox) ද, සියලු කලා සපිරුණු චන්ද්‍රයා ද (නව හිරු නැඟිටියි මේෂ රාශියේ, හිරු තරු පංතිය කැටුව ම එන්නේ) එකට පිහිටියේ නැතැයි ජෝන් සියාඩි පවසයි. එහෙයින් පරිපූර්ණ පාස්කුව (perfect Easter) ඩාන්ටේගේ කාව්‍යමය නිපැයුමක් බවත්, තම පුබුදුව හෙවත් ප්‍රබුද්ධනය (new awakening) වෙනුවෙන් පරිපූර්ණ සිකුරාදාවක සංකේතය ඩාන්ටේට වුවමනා වුණු බවත් එම ටීකාකරු පවසයි. චන්ද්‍රයා තාරකාවක් ලෙස සැලකීම නැවතත් ටොලමිගේ තාරකා ශාස්ත්‍රයට අනූකූලව ලියූවකි.

-*14. එම දිනය ආගමික වශයෙන් උත්තම දිනයක් නිසාත්, එහි උදාව අරුණෝදයෙහි ලකුණු වෙමින් ඇති නිසාත්, එය විශ්ව මහා සම්භවයේ හෙවත් දේව මැවිල්ල නමැති සුමිහිරි සෘතුවේ (sweet season of creation) මුල් හෝරාව නිසාත් ඩාන්ටේ තුළ අලුත් ධෛර්යයක් ඇති වේ. මිනීකන ප්‍රභාස්වර මෘගයා පසු කර යන්නට පුළුවන් බවත්, ඌ සුභ පෙරනිමිත්තක (good omen) දැක්මක් විය හැකි බවත් ඔහුට සිතේ.

මේ ශෝභන දිවියා ලෞකිකත්වයේ මෘගයින් තිදෙනාගෙන් (Three Beasts of Worldliness) එකෙකි. ඒ තිදෙනා අතරින් ඌ ද්වේෂයේ හා පාපතර හොර මගඩි කිරීමේ මෘගයා (Beast of Malice and Fraud) ය. ඒ සතා රූප සෞන්දර්යෙන් යුතු වන්නේ සාපරාධී ලෞකිකත්වයේ ආකර්ෂණය නිසා ය.

-*15. ඩාන්ටේ තුළ ඇති වුණු ඒ ධෛර්ය හා බලාපොරොත්තුව සුන් කරමින් තවත් මෘගයකු මතු වන අතර ඒ ප්‍රචණ්ඩත්වයේ සහ ඉහළ නැඟීමේ අභිලාෂයේ හෙවත් විජිගීෂාවේ වන මෘගයා ය, කායරූප විද්‍යාව අනුව ඒ මෘගයාගේ හිස ලොකු ය, නිතර කෑදර කුසින් යුතු ය, තුලනාත්මක පරිවර්තන පරිශීලනය අනුව ඒ මෘගයා ඩාන්ටේ ඉදිරියට පැමිණෙන්නේ සිය හිස කෙළින් කර ගෙන ය, එලෙස ප්‍රාදූර්භූත වුණු සිංහයාගේ දර්ශනයෙන් ඩාන්ටේ මහත් සේ බියට පත් වේ, විසල් හිස හා උජාරුවට කෙළින් කර ගත් අලි ඔළුව අදටත් චණ්ඩිකමේ, අහංකාරකමේ, උද්ධච්චකමේ, මෙගොලමේනියාවේ හා ඉහළ නඟින බලයට ඇති කෑදරකමේ කාය සංඥාවෝ වෙති,

-*16. අහෝ සිංහයා ඩාන්ටේ වෙත ළං වෙයි. ඌ සාගින්නෙන් සිටින්නකු බව ඩාන්ටේ දකියි. මෘගයාගේ සිටීමේ භීතිය (fear of his presence) නිසා ඌ අවට වාතය ද සලිත වේ. මේ කථනයේ සුවිශේෂතා කිහිපයකි. එකක් නම් පුද්ගලයකු ලෙස ඩාන්ටේ අත්දකින සංවේදනය (perception) යි. මෙය මධ්‍යකාලීන යුගය කෙළවර කරමින් විද්‍යා පුනර්ජීවන යුගය (Renaissance ) එළිපත්තේ ඇති වුණු පුද්ගලික මිනිස්භාවයේ හා මානවවාදයේ (Humanism) උදාව යි.

දෙවෙනි සුවිශේෂතාව වන්නේ එම පුද්ගලික අනුභූතිය අත්විඳින ඩාන්ටේ විසින් ම ඒ බව අපට පැවසීම යි. මෙය ඉලියඩ්, ඔඩෙසි වැනි වීර කාව්‍යයක (Epic) නොසිදු වුණු සාහිත්‍ය ප්‍රාතිහාර්යයකි. ඉලියඩ් කෘතියේ ඒ වෘත්තාන්තය පවසන්නේ හෝමර් කවියා විනා ඒ යුද්ධයට මැදි වුණු අග්මෙම්නොන්, හෙලන්, පැරිස්, ඇකිලීස් වැනි චරිතයක් නොවේ, ඔඩෙසි කාව්‍යයේ ඔඩේසියුස් හෙවත් යුලිසිස් වීරයා ලබන අත්දැකීම් කොයි තරම් විශාල වූවත් ඒවා අපට කියන්නේ ඔහු නොවේ. මෙහි දී අත්දැකීම් ලබන ඩාන්ටේ නම් වන්දනාකරුවා (Dante the pilgrim) ද, ඩාන්ටේ නම් කවියා (Dante the poet) ද එක්කෙනෙකි. ඔහු ම තම ගමනේ අත්දැකීම කියයි.

ඩාන්ටේ විසින් ම පවසන ඒ පුද්ගල අනුභූතීන්ගේ කලාපය ඉන් ශතවර්ෂ ගණනාවකට පසු එළඹෙන පාපෝච්චාරණ (confessions), චරිතාපදාන නවකථා, උත්තම-පුරුෂ දෘෂ්ටිකෝණය, නූතන චිත්‍ර කලාවේ සමාරම්භක කලා ආර වූ උපස්ථිතිවාදය හෙවත් ධාරණාවාදය (Impressionism) තුළ දකින්නට පුළුවන. මීට එකතු විය යුතු තවත් කාරණයක් ඇත. එනම්, ඩාන්ටේ විසින් සිය කාව්‍යාත්මක ආත්ම-කථනය සියබසින් (vernacular) පැවසීම යි. ඩාන්ටේ මෙතැන දී සිංහයකු ඉදිරිපිට අසරණව සියබසින් මුමුනන ඉතාමත් අසරණ කවියෙකි. එසේ වීමෙන් ඔහු සිය බසින් මුමුනන සමකාලීන සිංහල කවියා දක්වා වූ නූතනවාදී කවි පරපුරක පුරෝගාමියා ද වෙයි.

-*17. දැන් වෘක ධේනුවක් පැමිණෙයි. ඇය කටු බැල්ලියක වැනි ය. ඇය සියලු ආකාරයේ ආශාවලින් ආතුර වූ එකියකි. දැඩි තෘෂ්ණාවෙන් වැහැරී ගොසිනි. ඇය තම ආශාවන් අශ්ලීලත්වය දක්වා නැංවූ එකියකි. ඇය බෞද්ධ සාහිත්‍යයේ කියවෙන තණ්හා, රතී, රඟා යන මර දුන් තිදෙනාගේ එකතුවක් වැනි ය. කොපමණ දෙනෙකු ඇගේ ආශාවන්ට ගොදුරු වී ඇත් දැයි ඩාන්ටේ කල්පනා කරයි. ඇගේ මීළඟ ගොදුර තමා විය හැකි ය!

-*18. එක පස එකා බැගින් මෘගයින් දකින අතරේ ඒ අවසන් මෘගයා නිසා ඩාන්ටේගේ දිරි මුළුමනින් ම සුන් වේ. කන්ද නැඟීමේ සියලු බලාපොරොත්තු බි‍ඳෙයි. එය සම්පූර්ණ අපේක්ෂා භංගත්වයකි. ඇගේ අශ්ලීල තිරිසන්බව මෙන් ම ඈ තුළ පෙනෙන සහාසික දාමරිකත්වය ද නිසා ඩාන්ටේගේ ගිරි ශිඛර සිහිනය සම්පූර්ණයෙන් බිඳෙයි. ඒ වෙනුවට ඔහු තුළ ඉතිරි වන්නේ භීතියෙන් පිරී යන හිස්කම යි.

-*19. ඒ මානසික අවපාතය තුළ ඔහු අන්තරාවලෝකනයකට යොමු වේ. අහෝ! මිනිසකු ලෙස තමාට සිදු වුණේ කවර නම් මානසික අභාග්‍යයක් ද? මොහොතකට පෙර බලාපොරොත්තුවේ ජය පැන් පානය කළ කෙනෙක් හදිසියේ ම ඔහුගේ දිනුම පරාජයට හැරෙනු දකියි. එවිට ඔහු තම 'පෙර මොහොත’ සහ 'දැන් මොහොත’ සන්සන්දනය කරමින් ළතැවේ.

ඉන් පෙ‍නෙන්නේ ඩාන්ටේ පාරභෞතික සර්වකාලීනත්වයක් තුළ නොව සාන්දෘෂ්ටික වශයෙන් 'මේ දැන් මෙතැන’ පවතිමින් ගිය දේ සහ ආ දේ ගැන සිතමින් සාංකාවෙන් කටයුතු කරන නූතන මිනිසාට සමාන බව යි. ඒ අතින් විසිවෙනි ශතවර්ෂයේ බියජනක ආලෝලන මධ්‍යයේ මිනිසාගේ සාරයට වඩා පැවැත්ම අවධාරණය කරමින් සාන්දෘෂ්ටික මනුෂ්‍යයා පිළිබඳ දාර්ශනික රූපය අවධාරණය කළ හයිඩෙගර්, සාත්‍රෙ වැනි චින්තකයින් වෙනුවෙන් ඩාන්ටේ මිනිසත්භාවයේ අංශුවක් ශිෂ්ටාචාර සාහිත්‍ය වංශය තුළ සලකුණු කරයි.

-*20. මේ පද්‍ය කණ්ඩය සිංහල පරිවර්තනයේ දී වරහන් තුළ දක්වා ඇත්තේ ඩාන්ටේගේ යට කී අන්තරාවලෝකනය හෝ ස්වයං-භාෂණය ඉංග්‍රීසි ජෝන් සියාඩි පරිවර්තනයේ දී වෙනත් භාව හා අර්ථ ධ්වනියකින් යුතුව ඉදිරිපත් කර තිබෙන බැවිනි. ඉන් පළ වන්නේ මසුරෙකු පිළිබඳ රූපකයකි. ඒ මසුරා ඉදිරිපිට කැරකෙන වාසනා චක්‍රය ඔහුගේ බලාපොරොත්තු සුන් කර දමයි. මසුරා වූ කලී අත්පත් කර ගැනීමට ලොබ ඇති තැනැත්තෙකු නිසා තමා වෙත අවාසනාව එළඹුණු කල්හි ඔහුගේ කලකිරීම හා ආත්ම-පරිභවය බලවත් වේ. ඒ නිසා ඔහුගේ වැලපුම හා ආත්ම-හායනය උග්‍ර වේ. ඩාන්ටේගේ තත්ත්වය ද මීට සමාන ය. මසුරකු නොවන තැනැත්තකු අවාසනාව උපේක්ෂාවෙන් විඳ දරා ගනියි. ඩාන්ටේගේ සිතෙහි වූ ඉදිරි ගමනේ හා තරණයේ දැඩි වුවමනාව මින් පෙනේ. ඔහු ඒ වුවමනාවේ දී අවාසනාවට මුහුණ දුන් මසුරෙකි.

සිංහල පරිවර්තනය තුළ සිදු කරන කවි අංකනය හුදෙක් පාඨකයාගේ පහසු පරිශීලනය හා කොටස් වශයෙන් පළකිරීම බලාපොරොත්තුවෙන් සිදු කර ඇති අතර ඩාන්ටේ තම කාව්‍ය රචනා කරන්නේ (cantos) ආකාරයට ය. මේ සර්ගය පද පේළි 135කට වැඩි ගණනකින් සමන්විත ය.

-*21. ඒ බියකරු මෘග ධේනුව ටිකෙන් ටික ඩාන්ටේට ළං වන්නී ය. ඔහු ආපසු දුවන්නට හැරුණු විට ද (සිත්පිත් නැති ඒ දිවි දෙන තිරිසනි; එකිනෙක පියවර තැබුවේ මා වෙත) මෘග ධේනුව ඔහු පසුපස එන්නී ය. ඔහු හිරු නැති අන්ධකාරයේ සැඟවෙයි.මේ ප්‍රකට මෘග ත්‍රිත්වය පිළිබඳ දෘෂ්ටාන්තය නොයෙකුත් අටුවා ටීකා විවාදයන්ට භාජනය වී ඇත. වන්දනාකරුවාගේ මඟ අවුරන ඒ සතුන් තිදෙනා රාගය, අහංකාරය සහ ධන තෘෂ්ණාව සංකේතවත් කරන්නේ ය යන යථෝක්ත සම්ප්‍රදායික මතය ප්‍රතික්ෂේප කරන මාර්ක් මූසා පවසන්නේ මතුවට කියවෙන අපායේ ප්‍රධාන කොටස් තුන ඇසුරෙන් ඒ තිදෙනා තේරුම් ගන්නට තමා කැමති බව යි. ඔහු මෙසේ කියයි.

"පුල්ලි ඇති දිවියා හොර මගඩි නියෝජනය කරන අතර මගඩිකාරයින් දඬුවම් විඳින 'අපායේ අටවෙනි හා නවවෙනි කවවල’ විද්‍යාමාන වේ. සිංහයා සියලු ප්‍රචණ්ඩතාවන් නියෝජනය කරන අතර එවැනි පව්කාරයෝ‘අපායේ සත්වෙනි කවය’ තුළ දැවෙමින් සිටිති. සිංහ ධේනුව නොයෙක් ආකාරයේ අභිකාමරතිය හා ඉහවහ ගිය අසංයමය නියෝජනය කරන අතර ඒ වරදවල්වල ඇලී ගැලී ජීවත් වූවෝ 'අපායේ දෙවෙනි හා පස්වෙනි කවවල’ දැඩි දඬුවම් විඳිති. කොයි අතින් බැලුවත් මෘගයෝ ප්‍රධාන 'මනුෂ්‍ය පාප ප්‍රවර්ග’ නියෝජනය කරන අතර මනුෂ්‍ය වර්ගයා පිළිබඳ කවියාගේ සංකේතය වූ ඩාන්ටේ නම් වන්දනාකාරයාට ඔවුහු තර්ජනය කරති. (Dante Alighieri, The Divine Comedy Volume 1: Inferno translated with an Introduction, Notes and Commentary by, Mark Musa, Penguin Books, 1984, p. 73)

මෘගයින් තුන්දෙනාගේ සංකේතවාදය ගැන අටුවාචාරීහු තවත් මත දරති. දිවියා හොර මගඩි නම් පාපයේ සංකේතය බවත්, සිංහයා ප්‍රචණ්ඩත්වයේ, චණ්ඩිකමේ, අහංකාරකමේ, උද්ධච්චකමේ, ඉහළ නඟින බලයට ඇති අභිලාෂයේ හා මහත් කෑදරකමේ සංකේතය බවත්, වෘක ධේනුව නොයෙක් ආකාරයේ අභිකාමරතිය හා ඉහවහ ගිය අසංයමය සංකේතවත් කරන බවත් ජෝන් සියාර්ඩි පවසන අතරේ ඩොරති එල්. සේයර්ස් කියන්නේ දිවියා කාමාශාවේ සංකේතය බව යි. වෘක ධේනුව හොර මගඩි (fraud) හා ද්වේෂයේ සංකේතය බවයි.

ඩාන්ටේ මෘගයින් තිදෙනාගේ දෘෂ්ටාන්ත බීජය ලබා ගන්නේ ජෙරුසලම් නම් මැදපෙරදිග නගරය බැබිලෝනියාවේ නෙබුකඩ්නසාර් අතින් මහත් විනාශයක් ලබන්නට නියම වීමේ සහ එහි වැසියන් බැබිලෝනියාවේ විප්‍රවාසී සංක්‍රමණිකයින් වීමේ අනතුර ගැන අනාවැකි කියන බයිබලයේ පැරණි ගිවිසුමේ දිවැසිවර ජෙරමියාගේ පොතෙනි. ඩාන්ටේ ද ඉහත සඳහන් කළ පරිදි තම කාව්‍යයේ කියවෙන වන්දනා ගමනේ දී රූපකාර්ථවත් ලෙස මෙන් ම සැබෑ ජීවිතයේ දී ද පරාජිත දේශපාලනික විප්‍රවාසියෙකි (exile). ඔහුට රෝමයේ විප්‍රවාසය ලැබෙන්නේ මරණය වෙනුවට ය.

සෘෂිවර ජෙරමියා මෙසේ කියයිග. "ජෙරුසමේ ජනයිනි, වීදිවල ඔබමොබ දිව ගොස් බලන්න. ප්‍රසිද්ධ තැන්වල සොයා දැන ගන්න. යුක්තිය ඉටු කරන, සත්‍යය සොයන එක ද මිනිසකුවත් සිටිත් දැයි සොයා බලන්න... කැලෑවෙන් එන සිංහයෙක් ඔවුන් මරා දමන්නේ ය. සන්ධ්‍යා කාලයේ එන වෘකයෙක් ඔවුන් නැතිභංග කරන්නේ ය. දිවියෙක් ඔවුන්ගේ නගර අසල රැක සිටින්නේ ය. ඉන් පිටතට පැමිණෙන සියල්ලන් ඉරා දමන්නේ ය.” (බයිබලයල, දිවැසිවර ජෙරමියාගේ පොත, 5. 1-6)

එම මෘගයින් විසින් ඩාන්ටේ පලවා හරනු ලබන්නේ 'හිරු ගොළු වුණු පහත් තැනක්’වූ වරදේ අන්ධකාරය (darkness of error) වෙතට ය. ඔහුට කිසියම් තුන්වැන්නකුගේ මැදිහත් වීම වුවමනා වන්නේ එයින් නිදහස් වී නැවත නිවැරදිකමේ සූර්යාලෝකයට එන්නට ය.ඩාන්ටේ මුලින් ඉදිරියට යා හැකි මඟ සොයා ගෙන තිබුණත් වල් සතුන්ගේ පැමිණීම නිසා ඒ මඟ ගැනීම වැලකුණි. ඔහු යෙදී සිටින්නේ වන්දනා ගමනක බැවින් නැවත අන්ධකාරය වෙතට යාම ඔහුගේ ගමනාන්තය විය නොහැකි ය.

සිංහයා සහ වෘක ධේනුව ගැන කීමේ දී 'තොල කට ලෙව කන, ලොබ පිරි සිහ රුව ලං වන සේ ම ය, ඔසවා සිය හිස’ යන කවි පදයේ මෙන් 'වැනි - සේ ය - සේ ම’ ය යන සැක සහිත අඩමාන වදන් ඩාන්ටේගේ මුල් ඉතාලි කෘතියෙහි යෙදෙන බව මාර්ක් මූසා කියයි. එහි දී කවියාගේ අභිමතාර්ථය වී තිබෙන්නේ උන් වෙනුවෙන් සිතුවම් කරනු ලබන වදන් චිත්‍රය කිසියම් බොඳ කිරීමකට ලක්කොට උන් සදාචාරමය භුමිදර්ශනයක් මැද, සිතා ගත නොහැකි තැනකින් (nowhereness from the moral landscape) විද්‍යාමාන වූවන් බව පැවසීම බව මූසා කියයි.

එහෙයින් කවියාගේ මඟ අඩමාන අඩවියක් බවත්, මෘග චෛතසිකයින්ගේ පැමිණීම කොහෙන් ආවා දැයි කියන්නට බැරි බවත් මින් ධ්වනිත වේ. මගඩි, කාමය සහ ධන ආශාව වර්තමාන සාහිත්‍ය හා ආගමික ලෝකයේ සුලභ පාපයන් වන අතර විනෝද කර්මාන්තය (Entertainment Industry) හා සන්තෘෂ්ටි කර්මාන්තය (Pleasure Industry) ඒ වෙනුවෙන් ම ගොඩනැඟී ඇත. කවිය වන්දනාවක් ලෙස සලකන ඩාන්ටේ ඒ ඔස්සේ අඩමාන සදාචාරමය භුමිදර්ශනයක් සිතුවම් කරයි.

-*22. බෑවුම බැස දුවන 'කිවියර - වන්දනාකරුට’ අමුතු මිනිස් රුවක් හමු වේ. එය අපේක්ෂ භාංගත්වය මැද සිදු වන අනපේක්ෂිත හමුවකි. ඒ රුව දුබල ය. කටහඬ ද දුබල ය. එලෙස හමු වන්නා පමණක් නොව ඒ හමුව සිදු වන අවස්ථාව ද විශේෂිත ය. ඩාන්ටේ කාමුක වෘක ධේනුව විසින් හඹා ගෙන ඒමේ විපත්තියට ලක් වන්නේ සිය වන්දනාවේ ඉදිරි ගමන ගැන අවස්ථාවක් ලබා ගෙන තිබිය දී වන අතර එවිට ඔහු වන්දනාකරුවකු ලෙස කිසියම් භූමි කලාපයක් දිනා ගෙන සිටි පුද්ගලයෙකි.

දැන් වෘක ධේනුව නිසා ඒ සියල්ල ඔහුට අහිමි වේ. ඔහුට නැවතත් අඳුරු වනයට, හිරු නැති ලොවට යන්නට සිදු වී ඇත. ‘ගොරවා බලකොට මා හට පසුබැස, ආපසු යන ලෙස හිරු නැති අඳුරට’ යනුවෙන් එය කියවේ. එය 'ලැබීම’ පසුපසින් පැමිණි 'නොලැබීමකි’. ගොදුරක් බවට පත් වී සිටින ඩාන්ටේගේ සැබෑ හැඟීම් ක්ෂේත්‍රය, එනම් තමා මුහුණ දුන් අත්දැකීමේ භාව විපාකයේ තරම කියවෙයි. එම පරාජිත භාව තත්ත්වය ඉදිරියේ හමු වන්නේ ද බොහෝ කලක් කතා නොකර සිටියකුගේ අඩ-හඬකි. ඒ තැනැත්තා ද අංගසම්පූර්ණ මිනිසකු නොව අඩ-මිනිසෙකි: මිනිස් බාගයක් පමණි.

-*23. ඩාන්ටේ එම මුඩුබිම මත සිට ගෙන සිටින ඒ මිනිසා අමතයි. (නුඹ මිනිසකු වුව, හේමාලය නම් පේත සතා වුවල පතළ කුළුණු ගුණ දිගා කරනු මැන)* සරණක් අවැසි මොහොතක මතුවුණු එම ආශ්චර්යමත් ප්‍රාදූර්භාවය ඉදිරිපිට ඩාන්ටේට දැනෙන්නේ ගැටළුවකි. ඩාන්ටේගේ ප්‍රශ්නය සිංහල ව්‍යවහාරය තුළ වරනැ‍ඟෙනු ඇත්තේ ඒ තැනැත්තා මනුෂ්‍යයෙක් ද? ප්‍රේතයෙක් ද? යනුවෙනි. ඩාන්ටේගේ තත්ත්වය කොයි තරම් අසරණ ද යත් ඔහු ඒ දෙදෙනාගෙන් කවරෙකු වෙතින් වූවත් සරණක් අයැදියි.

ඩාන්ටේගේ දිව්‍යමය ප්‍රහසනයේ අපාය වස්තුවේ 'ප්‍රේතයා’ සිරි තිලකසිරි විසින් 'ප්‍රේත වස්තුව’ නමින් සිංහලට පරිවර්තනය කරන ලද පේතවත්ථුපාළියට තරමක් වෙනස් වන අතරේ බොහෝ ආකර්ෂණීය සමානකම්වලින් ද යුතු වේ. තම අටුවාවෙහි ලා සිරි තිලකසිරි පේතවත්ථුපාළිය ඔස්සේ ඩාන්ටේගේ අපා ගමන හා දුක්ඛිත වන්දනා පරිශ්‍රමය කරා ළඟා විය හැකි අත්වැලක් අපට සපයයි.පේත යන ශබ්දයෙහි සංස්කෘත රූපය 'ප්‍රේත’ යනුවෙන් සිටින බවත්, මේ ශබ්ද දෙකම 'මියගිය තැනැත්තා’ හා 'ප්‍රේතාත්මභාවය ලද්දා’ යන අරුත් දෙක්හිම යෙදී ඇති බවත්, බොහෝ ප්‍රේත වස්තුවල ප්‍රේත ශබ්දය යෙදී ඇත්තේ ප්‍රේත යෝනියෙහි උපන්නන් සඳහා බවත් තිලකසිරි ලියයි.

"ප්‍රේතාත්මයක් ලබා උපදින්නේ මිනිස් ලොවෙහිදී කරන ලද බලවත් අකුශල කර්ම හේතුකොට‍ගෙනය. ඇතැම් විට ඉතාම බලවත් අකුශල කර්ම හේතුකොටගෙන සමහරු නිරයෙහි බොහෝ කලක් පැසී එයින් චුතව ප්‍රේතව උපදිති... ප්‍රේත ලෝකයයි කිවද තිරිසනුන්ට මෙන්ම ප්‍රේතයන්ටද වෙන් වූ ලෝකයක් නොමැත. ඔවුහු අරණය පර්වතාදි කිසියම් තැනක උපදිති. සුකරමුඛ ප්‍රේත වස්තුවෙහි සඳහන් වන භික්ෂුව බුද්ධාන්තරයක් මුළුල්ලේ නිරයෙහි පැසී ගෞතම බුදුරදුන් සමයෙහි රජගහ නුවරට නුදුරු ගිජ්ජකූට පර්වත පාදයෙහි උපදී... අභිජ්ජමාන ප්‍රේත වස්තුවෙහි සඳහන් වන ප්‍රේතයෝ ආහාර සොයා යොදුන් ගණන් යති... නෑයින් සොයා යන ප්‍රේතයින් තම ඥාතීන් වෙසන එසේම තමන් පෙර විසූ ගෘහයන්හි බිත්ති, පවුරු ආදියෙහි පිටතද සතරමං හන්දි, තුංමං හන්දි ආදියෙහිද, ගෙවල් දොරමුලු, කවුළුමුලු මෙන්ම නුවරවලට හා ගෘහවලට ඇතුළුවන දොරවලද එසේම ගෙවල්හි දොරවල උළුවහුද ඇසුරු කොටගෙන සිටින බව තිරෝකුඩ්ඪ ප්‍රේත වස්තුවෙහි සඳහන් වේ. මේ අනුව ප්‍රේතයින් නොසිටින තැනක් නැත... ප්‍රේතයන් ඔවුන් විසින්ම තමන් නොදැක්වූ විට මිනිසකුට පියවි ඇසින් දැකිය නොහැකිය.” (සිරි තිලකසිරිල ප්‍රේත වස්තුවල ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, 2008, p. xvii-xviii)

ඩාන්ටේගේ නිරයත්, එහි භාව ලෝකයත්, නිරයේ වෙසෙන්නන්ගේ පැවැත්මත් තේරුම් ගන්නට ප්‍රේත වස්තුවෙන් ලැබෙන්නේ අනර්ඝ ප්‍රවිෂ්ටයකි. ඩාන්ටේගේ ප්‍රේතයෝ හෝ භූතයෝ හේමාලයන් හෙවත් සෙවණැලි (Shadesor Shadows). වෙති. ඔවුහු පණ ඇති මිනිසකුගේ සෙවණැල්ලකට සමාන ය. එය ආලෝකට විනිවිද නොයන අඳුරු ලපයකි. එය ක්‍රියාකාරී ය.

ක්‍රිස්තියානි විශ්වාසය අනුව මනුෂ්‍යයා මියයන නමුත් ඔහුගේ ආත්මය මරණා’පර ජීවිතයක් අපායේ හෝ ස්වර්ගයේ හෝ ඒ දෙක අතර වූ අග්නියෙන් දැවි දැවී පාප ශෝධනය වන ස්ථානයේ හෝ ගෙවයි. ඒ ශරීරය අහිමි හේමාලයකු හැටියට ය. ඩාන්ටේ ඒ වෙනුවෙන් වහරන්නේ සිරුරක හෙවනැල්ල හා මළ පසු ආත්මය යන ඉතාලි අර්ථද්වය ඇති ombra වදන යි. සාමාන්‍ය සෙවණැල්ලක් මෙන් 'හේමාලයා’ ද ශරීරය නැතිව වූවත් ශරීරය සතු සෑම බාහිර අංගවලින් සමන්විත වන අතර ශරීරය මෙන් සියලු ශාරිරීක ක්‍රියාවල යෙදෙයි.

-*24. හේමාලයකු ලෙස ප්‍රාතිහාර්යකින් මෙන් ඩාන්ටේට තම පරමාදර්ශී මහා කවියා වූ වර්ජිල් හමු වේ. ඔහු හෝමර්ගේ ඉලියඩ් හා ඔඩෙසි වීර කාව්‍යයන්ට වසර දහසකටත් වැඩි කාලයකට පසු තවත් එවැනි කෘතියක් ලතින් බසින් රචනා කළ රෝම කවියා ය. එය පරාජිත ට්‍රෝජ පුරයේ හෙවත් ඉලියමේ (Ilium) අඛණ්ඩතාව එහි සිට ඉතාලියට වෙත ගෙන ආ ලතින් වීර කාව්‍යයකි.

ක්‍රිස්තු යුගය ආරම්භ වීමට වසර කිහිපයකට පෙර එය ලතින් භාෂාවෙන් රචිත බැවින් වර්ජිල් මහා ද්වාරයේ කවියා(Poet of the Gate) ලෙස සැලකේ. උතුරු ඉතාලියේ මන්ටුවා නම් පෙදෙසේ උපන් ඔහු සම්භාව්‍ය අධ්‍යාපනයක් ලබා එය පරිපූර්ණ කර ගන්නට රෝමයට ගියේ ය. ඔහු රෝමයෙන් එපිට නිසංසල පිටිසර ජීවත් වීමට මනාප වූ ලජ්ජාශීලී පුද්ගලයකු වූ අතර දුර්වල සෞඛ්‍යයෙන් යුතු විය. පසුව පළමුවැනි රෝම අධිරාජ්‍යයා බවට පත් වූ ඔගස්ටස් සමඟ ග්‍රීසියට යන ගමනක නිරතව සිටි ඔහුට ඉතා දුර්වල සෞඛ්‍ය තත්ත්වය නිසා ආපසු එන්නට සිදු විය. ඒ ගමන අතරමඟ දී වර්ජිල් මියගියේ ය. තම කාව්‍යය ගිනිබත් කරන ලෙස ඔහු මියයන්නට පෙර ඉල්ලා සිටින ලද නමුත් ඔහුගේ සිත අවසාන මොහොතේ වෙනස් කරන්නට ඔහු සමඟ සිටියෝ සමත් වූහ.

ඒනිඩ් කාව්‍යයෙන් කියවෙන්නේ ඔහු බෙහෙවින් ආදරය කළ රෝම මහා ලෝකයේ අභිවෘද්ධිය ඇති කරන බලවත් අපේක්ෂාවෙන් විරචිත කළ රෝම ජාතියේ පරිකල්පිත සම්භවය යි. මහත් සිද්ධි බාහුල්‍යයෙන් යුතු වූ වර්ජිල්ගේ ඒනිඩ් වීර කාව්‍ය වෘත්තාන්තය අනුව රෝමවරුන්ගේ පෙළපත පැවතෙන්නේ හෝමර් විසින් ඉලියඩ් හා ඔඩෙසි කාව්‍යවලින් අජරාමර කරන ලද ට්‍රොයි පුර විසූ ට්‍රෝජන්වරුන්ගෙනි. ට්‍රෝයි ගිනි ගෙන විනාශ වුණු පසු එනියස් තවත් ට්‍රෝජන්වරුන් පිරිසක් සමඟ දිවි බේරා ගෙන, මුහුදේ යාත්‍රාකොට ඉතාලියේ බටහිර වෙරළට පැමිණ එහි පදිංචි වේ.

එනියස් ඒ පිරිසේ නායකයා සහ රෝමානු වංශයේ ආදිපීතෘවරයා වේ. ඔහු සුවිශේෂ මනුෂ්‍යයෙකි. ඔහුගේ මව වීනස් දෙවඟන වන අතර ඩාන්ටේ විසින්ද මෙහි සඳහන්කොට ඇති ඔහුගේ පියා ට්‍රෝයි පුර රාජකීය පරපුරකට අයිති අන්කයිසිස් නම් මනුෂ්‍යයෙකි. මේ නිසා එනියස් 'දෙව් - මිනිස් සංවාසයෙන්’ බිහි වූවෙකි.

Roman poet Virgil

එහෙයින් ආදරයේ දෙවඟන වූ රූමත් වීනස් සිය අඩ මිනිස් පුතු රකියි. ට්‍රෝයි පුරයේ ද සතුරන්ව සිටි දෙවිවරු එනියස්ට ද බොහෝ හතුරුකම් කරති. හෙලන් පැහැර ගැනීමේ පළිය ගනිමින් ග්‍රීකයින් විසින් ට්‍රෝයි පුරය සහාසික ලෙස ගිනි තබා විනාශ කරන විට අන්කයිසිස් ඇඳට වැටුණු මහල්ලෙකි. එනියස් ඔහු කර තබා ගෙන සෙස්සන් සමඟ පිටත් වෙයි. ඒනිඩ් කාව්‍යයේ දෙවෙනි පොතිට්‍රෝයි පුරය පැහැරීම’ (The Sack of Troy) නමි. එය අවසන් වන්නේ මෙලෙසිනි.

"රැය ගෙවී යන කල්හි මම මගේ ‍සහෝදරයින් කරා ආපසු පැමිණියෙමි. මව්වරු, සැමියන් සහ තරුණ මිනිසුන් සහිත අලුත් ජනයින්ගේ සම්ප්‍රාප්තිය නිසා සංඛ්‍යාව වැඩි වී ඇති බව දැකීමෙන් මම බියට පත් වුණෙමි. සියල්ලන් පැමිණ සිටියේ පිටුවහල් වීමේ අපේක්ෂාවෙනි. ඔවුහු තිර අදිටනකින් යුතුව බඩුමුට්ටු ආම්පන්න සූදානම් කර ගෙන දසතින් පැමිණ සිටියහ. ඔවුන්ට වුවමනා වූයේ මගේ නායකත්වය යටතේ මා විසින් සයුරින් එතෙර තෝරා ගනු ලබන ඕනෑම බිමක් කරා කැඳවා ගෙන යනු ලැබීම ය. දවස පහන් කරමින් දැන් අයිඩා ගිරි මුදුනට ආසන්‍න බෑවුම සමීපයේ උදා තාරකාව පායා එයි. ග්‍රීකයින් නගරයට පිවිසෙන සෑම ප්‍රවේශ ද්වාරයකම ඒවා අවුරා ගෙන සිටින බැවින් ගැලවී පළා යාමේ බලාපොරොත්තු සුන් වෙයි. මම එය ඉවසා දරා ගනිමින් මගේ පියා ඔසවා ගෙන කඳුකරයට ගියෙමි.” (Virgil, The Aeneid, Translated into English Prose by W. F. Jackson Knight, Guild Publishing, 1989, p. 74)

Sack of Troy and Aeneas flee caring his father

ඩාන්ටේට මුඩුබිමේ දී හමු වන්නේ තම ඉතාලියට සම්භාව්‍ය වංශාවලියක් මතු නොව ආදරයේ හා සුන්දරත්වයේ දෙවඟන වූ වීනස් තම වංශයේ මාතාව ද බව වීර කාව්‍යයෙන් තහවුරු කරමින් ඉතාලිය මධ්‍යකාලීන යුරෝපයේ කාව්‍ය ශාස්ත්‍රාලය බවට පත් කළ වර්ජිල් නම් මහා කවියා ය. ඔහු ඉතාලියට හෝමර් ය.

ඩාන්ටේ ඉතා අසරණව ඔහු අමතයි. ඔහු පිළිතුරු දෙමින් කියන්නේ තමා එක් කලෙක මනුෂ්‍යයකු වී සිටි අතර තමාගේ පියා සහ මව ලොම්බාඩියේ උපන් මාන්තුවාවරුන් බව ය.

-*25. ජූලියස් සීසර්ගේ සමයේ (sub Julio) තමා උපන් බවත්, එය ව්‍යාජ දෙවිවරුන් ඇදැහූ වකවානුවක් වූ බවත්, උතුම් ඔගස්ටස් සීසර්ගේ අවදියේ ඇති දැඩි වුණු බවත් වර්ජිල් කියයි.

-*26. තමා කවියකුව සිටි බවත්, යුක්තිගරුක ගරු ඇන්කයිසිස්ගේ පුතු ලෙස ගිනි ගෙන දැවුණු ප්‍රෞඪ ඉලියමෙන් ගැලවී නැවින් පැමිණි එනියස් ගැන ලියූ බවත් කියයි. ඔහු කියන්නේ තමා ඒනිඩ් කාව්‍යයේ කතුවරයාව සිටි බව ය.

-*27. වඩාත් විස්තරාත්මක ලෙස ඇන්කයිසිස් පුත් පවර එනියස්ගේ දුෂ්කර ගමන ගැන පවසනු වස් සර්ග පාදයක් මෙලෙස විස්තර කොට සිංහල පරිවර්තනයේ දක්වා ඇත.

-*28. ඩාන්ටේ අමතා වර්ජිල් අසන්නේ පැණයකි. මේ ලෙස වැරහැලි සිරුරින් හා තද දුක් අඳුරින් අලාමුළා වී දිව්‍ය ප්‍රමෝදය උපදින උල්පත පිහිටි ගිරිදඹය (Mount of Joy) වෙත නොයා වල්මත් වී සිටින්නේ ඇයිදැයි වර්ජිල් අසයි. වන්දනාකරුවකු ලෙස ඩාන්ටේට තමාගේ පාපයන් නමැති මෘගයින් තිදෙනා අතික්‍රමණය නොකොට ඒ දෙව් විමන වෙත යා නොහැකි ය. එමෙන්ම තවකෙකුගේ ආධාරය නැතිව ඒ වන මෘගයින් සමඟ සටන් කරන්නට ද නොහැකි ය. වර්ජිල් කැඳවනු ලබන්නේ ඒ වෙනුවෙනි.

-*29. තමා ඉදිරිපිට සිටින්නේ වර්ජිල් කවියා දැයි ඩාන්ටේ බලවත් හැඟීමකින් යුතුව හා ඉතාමත් නිහතමානී ලෙස අසයි. රෝම කවියා කෙරෙහි වූ ඩාන්ටේගේ ගෞරවය නිමිහිම් නැත.

කාව්‍ය ශාස්ත්‍රය පැත්තෙන් අපට ස්වාධීනව තහවුරු කර ගත හැකි සත්‍යයක් ද මේ හමුවේ ඇත. එනම් මෙහි දී ඩාන්ටේ මුළුමනින්ම අසරණ ය. ඔහු භීතියෙන් පළා යන්නෙකි. වැරදුණු පාරක පැමිණි ගමනක් නිසා යා හැකි නිවැරදි අන්තයක් ද ඔහුට නැත. අනෙක් අතට වර්ජිල් මියගිය කවියෙකි (dead poet). අපට මියගිය කවීන්ගේ වැදගත්කම අවබෝධ කර ගැනීම පිණිස 'මියගිය කවියන්ගේ සමාජය’ (The Dead Poets Society) නම් ප්‍රසිද්ධ ඉංග්‍රීසි චිත්‍රපටිය හෝ ටී. එස්. එලියට්ගේ 'සම්ප්‍රදාය සහ පුද්ගල ප්‍රතිභාව’ (Tradition andIndividual Talent) නම් ලිපිය හෝ හැරල්ඩ් බ්ලූම්ගේ 'ආභාසයේ කාංසාව’ (Anxiety of Influence) හෝ සිහිපත්කළ හැකි ය.ඩාන්ටේ අසරණව සිටීමත්, මියගිය කාව්‍ය ප්‍රේතයකුගේ අත්වැල වුවමනා වීමත් කාව්‍ය සම්ප්‍රදාය පිළිබඳ ගැඹුරුතම සත්‍යයක්, එනම් නව කවියා අතීත කවියන් ඇසුරෙන් කවි මඟ සොයා ගැනීමත්, පැරණි කවියේ ප්‍රාමාණික අනුපිළිවෙළ නව කවියකු නිසා වෙනස් වන්නේ ය යන එලියටියානු ප්‍රවාදයත්, නවකවියා පැරණි කවියන්ගේ ආභාසය ජය ගැනීමේ කාංසාවෙන් පෙළෙන්නේ යන බ්ලූමියානු ප්‍රවාදයත් වර්තමානිකයාට සිහිපත් කර දෙයි.

ඔබගේ අදහස් අපට එවන්න.