ඩාන්ටේ ඇලිගේරි - දිව්‍යමය ප්‍රහසනය - වෙළුම 1: අපාය - පළවෙනි සර්ගය (i –x)

2022 මැයි 19

අඩක් ගෙවූ තැන අප දිවි මඟ හරි මැද

නෙත් හැර අවදිව බැලුවේ වටපිට

දකිනුව මා රැඳි ගනඳුරු වන ගැබ,

පා ඔසවා ඇත නිසි මඟ බැහැරව. *1

ඔලමොල, බියකරු මේ ගන වනයේ,

සැඟවුණු පැතුරුණු වගතුග මෙලෙසැයි,

පැවසුම නොකළැකි උගහට කරුණකි

(සකල පරණ බිය දැනේ සිතන විට), *2

එතැන කටුක තැන ! මරණය පරයන,

එනමුත් ඉන් ලද යහපත කිය හැකි

සිතක් වෙතොත් මට කිය යුතු වන්නේ

සත්ගුණ නොතකන නෙක නෙක අන් දෙය, *3

අසමත් මා මුව නොකියයි සැබැවින්

මාගේ පිවිසුම සිදු වුණු තාලය,

සත්‍යයේ මාවත අත්හළ නිමෙසෙහි

දැඩි ලෙස නිදිබර දුබල කෙනෙකි මම. *4

එනමුදු වන ගැබ මායිම්කොට ගත්

තුඟු කඳු පාමුල ද්‍රොණි නිම්න වැද

මට මා හමු වෙත මා හද දෙදරිණි

අපමණ සහාසික අපාර බියකින්. *5

ඔසවා හිස මාඅවට බැලූ කල,

මනු සත යා හැකි කවර ම‍ඟෙක වුව

කැඳවා ගෙන යන පැහැසර රැස් කඳ

දිනකර සළු හැඳි ගිරි හිස දිස් විය. *6

භිතියෙ ගිරි දඹ වෙත මා කැඳවා

දැඩිතර අසරණ හැඟුමෙහි හප කළ

මහ රැය ත්‍රස්තය එසඳිනි මඳ මඳ

හද විල් තලයේ ගිලෙනට වූයේ. *7

දිය ගැඹරෙහි සිට වෙරළට පිහිනා

මහ හති දමමින් අවසන් බැල්මෙන්

බියකරු දිය දෙස ආපසු බලනා

මා නම් නිසැකව පිහිනුම්කරුවෙකි. *8

දුවනට හැරුණ ද කම්පිත මා සිත

මම යළි හැරුණෙමි අලවා දෙනෙත මල

මෙලොව විසූ යම් දිවි ඇති කෙනෙකුට

ගැලවුම නොම දුන් දුර්ගය බලනුව. *9

වෙහෙසුණු මා කය සැතපිණ මොහොතක්

ඉන් පසු ඇරඹිණ මුඩු හෙල තරණය,

සවියෙන් හෙබි මා පාදය අද්දා

කඳු හෙලනැග්ගෙමි දුබල කොරෙකුවී. *10

ඩාන්ටේ නම් හුදකලා වන්දනාකරුවා දිව්‍ය 'ප්‍රහසනය’ (Divine Comedy) නම් මේ මහා කාව්‍යයේ කථකයාණෝ වෙති. සැහැල්ලුවක් රැගෙන සුදු වතින් සැරසී වන්දනාවේ යන මේ හා සමාන බෞද්ධ වන්දනාකරුවන් අනුරපුර, පොලොන්නරු පුද බිම්වල මෙන්ම ශ්‍රීපාද කරුණාවෙහි ද යෙදී සිටිනු අප කොතෙකුත් දැක ඇත.

මෙම කථකයා උත්තම පුරුෂයෙන් කතා කරයි. මෙය උත්තම පුරුෂ දෘෂ්ටිකෝණයෙන් පැවසෙන කාව්‍යමය පුවතක්වන නමුත් එහි කාව්‍යමය උච්චාරණ දෙකක් වේ. එකක් ඩාන්ටේ නම් වන්දනාකරුවාගේ ය; අනෙක ඩාන්ටේ නම් කාව්‍යක්කාරයාගේ ය.පළමුවැන්න දෙවැන්නේ නිපැයුමකි. එනම් කාව්‍යක්කාරයා විසින් වන්දනාකරුවා බිහි කරනු ලැබ තිබේ.

කාව්‍ය සිද්ධි මාලාව අතීතයේ සිදු වූ අයුරින් පිළිබිඹු වන නමුත් ඒ සියල්ල ස්මරණයන් ලෙස කවියාගේ වර්තමානයෙහි සිදු වේ. වන්දනාකරු අතීතයෙහි සිටියත් කවියා වර්තමානයේ සිටින නිසාත්, ස්මරණීය අනුභූතියෙහි පවත්නා වර්තමානික ප්‍රබලත්වය නිසාත් දෙදෙනා ම වර්තමානයෙහි ම සිටිමින් ම පාඨකයා සමඟ අනන්‍ය වෙති. වන්දනාකාරයා දැන් සිය ගමනින් අඩක් ගෙවා ඇත. අවදි වන ඔහු දකින්නේ මඟ වැරදී ඇති බව ය. තමා අඳුරු වනයක නන්නත්තාර වී සිටින බව ඔහු දකියි. තම හුදකලාවෙන් ඔහු අපමණ භීතියට පත් වේ. හිරු එළියේ දැවටුණු කඳු හිසක් දකින තුරු ඔහු වල්මත්ව ඇවිදියි. ආලෝකමත් ගිරි හිස දැකීමෙන් ඔහුගේ බිය පහ වෙන්නට පටන් ගනියි.

සමීප කියවීමක දී මේ කාව්‍යය ක්‍රිස්තියානි අභිධාර්මික ලෝකය ඇසුරු කරන බවත්, වන්දනාකරුවා මෙලොව ගෙවිය යුතු තම දිවිය මැදින් දෙවියන් හා ස්වර්ගය කරා යමින් සිටින බවත් තහවුරු වේ. 'අඩක් ගෙවූ තැන අප දිවි හරි මැද’ යනුවෙන් කාව්‍යාරම්භයේ දී පැවසීමෙන් මෙය හුදෙක් තනි වන්දනාකාරයකුගේ ගමනක් නොව සෑම මිනිසකුගේ ම ගමනක් බව ප්‍රකාශ වේ. ක්‍රිස්තියානි අභිධර්මය ප්‍රකාරව එයමෙසේ සිදු වේ; මිනිසා සිය ජන්මයෙන් ම පව්කාරයෙකි. එනම් ඔහු ස්වකීය ජන්ම-පූර්ව පාප‍යකට වැරදිකරු ය. ඔහුගේ නිෂ්ඨාව දෙවියන් කරා ළගා වීම වූවත් එය ජන්ම පාපය ඇතුළු සිය පාපයන් වෙනුවෙන් පසුතැවෙමින් හා ගැලවුම අයදිමින් යා යුතු ගමනකි; දුකට කිරියකි.

මේ කාව්‍යයෙහි කියවෙන වන්දනාකරුවා මෙන් ඩාන්ටේ නම් සැබෑ කවියා ද සිය දිවියෙන් අඩක් ගෙවා ඇත. 'අපාය’ කාව්‍යයේ අර්ථකථනවේදය සැබවින් විශාල එකකි. ඒ අනුව මේ කාව්‍යය ක්‍රිස්තු වර්ෂ 1300 න් ඇරඹෙන අතර 1265 දී ඉතාලියේ ෆ්ලොරන්ස්හි උපන් ඩාන්ටේ ඇලිගේරි (1265-1321) එවිට තිස්පස්වෙනි වියෙහි පසු වේ. බයිබලයට අනුව මිනිසකුගේ ආයු කාලය වසර හැත්තෑවකි. ඒ අනුව ඔහු දැන් සිය දිවි ගමනින් අඩක් ගෙවා ඇත. ආගමික අර්ථකථනවේදය අනුව වන්දනාකරු සිය ගමන අරඹන්නේ 1300 වසරේ මහ සිකුරාදාට (Good Friday) පෙර දින රාත්‍රියේ ය. එනයින් රාත්‍රියේ අතරමං වීම, කඳු හිසින් හිරු උදා වීම හා උදෑසන දී බිය පහ වීම ආගමික චාරිත්‍රානුකූලව ද අර්ථවත් වේ.

වන්දනාකරුවාගේ මේ අසරණභාවය මහා ව්‍යසන මැද සමාජයීය මිනිසාගේ අසරණභාවය ද, සිය දිවි ගමන නිවැරදි කර ගැනීමේ අදිටන ද පළ කරයි. ඔහු යන්නේ උදාසීන ගමනක් නොව ලාලසාවත් අනුරාගික ගමනකි. එය දිව්‍යමය චාරිකාවක් ලෙස නිර්මාණය වී තිබුණත් එහි සාමාජයීය හා දේශපාලනික අර්ථය තීව්‍ර එකකි. ඩාන්ටේ ඇලිගේරි ද කවියකු වීමට අතිරේකව මධ්‍යකාලීන හා විද්‍යා පුනර්ජීවනයේ ආරම්භක වකවානුවේ පැවති පාප් රාජ්‍ය තුළ රාජ්‍ය පාලකයකු ලෙස ආලෝලන බහුල වූත්, ජීවිතය හා මරණය අතරේ දෝලනය වූත් දිවියක් ගත කළේ ය. ක්‍රි.ව. 1308 -21 අතර කාලය තුළ මධ්‍යකාලීන යුරෝපයේ අග්‍ර කෘතිය ලෙස මේ කාව්‍යය බිහි වන්නේ ව්‍යාකූලත්වය මතු නොව ලෙයින් ද නැහැවුණු තත්කාලීන ඉතාලි දේශපාලනයෙනි. ඩාන්ටේ අනතුරුදායක ලෙස එහි ගැඹුරෙහි ම ගිලී සිටියේ ය. ක්‍රි.ව. 1300 වන විට ඔහු ෆ්ලොරන්සයේ පාලක ප්‍රභූවේ සාමාජිකයෙකි. 1302 වන විට ඔහුගේ පක්ෂය බලයෙන් පහ කෙරුණෙන් ඔහු පිටුවහල් කෙරිණි. ඉන් පසු ඔහු තමා උපන් ෆ්ලොරන්සය නැවත දුටුවේ නැත. එහෙයින් මෙය පිටුවහලේ දී රචිත වේදනාත්මක කාව්‍යයකි.

සෑම ව්‍යසනයක්ම කිසියම් බිමකට දොරකඩ මාරාවකි. එහෙයින් මොක්පුර දෙවියන් පතා යන මේ වන්දනා ගමන ඩාන්ටේ ඇලිගේරි හා ඔහුගේ දේශය මුහුණ දුන් සමාජ දේශපාලනික ව්‍යසනයන්ගේ කාව්‍යමය ප්‍රතිලාභයක් බව අප අමතක නොකළ යුතු ය. එය මහත් ව්‍යසන අබිමුව ඔහු දිනා ගත් හා මානව ශිෂ්ටාචාරය වෙනුවෙන් ඔහු දිනා දුන් අනර්ඝ කාව්‍යමය වස්තුවකි. මේ බව ඔහුගේ චරිතාපදාන ඇසුරු කිරීමෙන් තහවුරු වේ. එහි අනුහස් සහගත අරුමැසි බලපෑම කොයි තරම් ද යත් චෝසර්ගේ හා මිල්ටන්ගේ සිට බල්සක්ල ටී. එස්. එලියට්, සැමුවෙල් බෙකට් ආදීන් දක්වා පැතිර ඇත. කිතුණු දර්ශනය මෙන්ම ප්ලේටෝගේ දර්ශනය ද එහි චිරන්තන චින්තන විශ්වය බිහි කරයි.

-*1. ‘අඩක් ගෙවූ තැන අප දිවි මඟ හරි මැද’ යන කාව්‍ය පාඨයේ භාවය මුළු මහත් කාව්‍යයේ ගැප් වූ වන්දනා ගමන් ස්වභාවය තහවුරු කරයි. එය ඩාන්ටේගේ කාව්‍යයේ කේන්ද්‍රීය මාතිකාව යි. වන්දනා ගමන මධ්‍යකාලීන යුරෝපයේ ප්‍රකට ආගමික චාරිත්‍රයක් හා ජීවන සම්ප්‍රදායක් වී තිබුණු අතර එය චෝසර්ගේ 'කැන්ටබරි ටේල්ස්’ කාව්‍යයේ ද පිළිබිඹු වී ඇත. ප්‍රාග්-විප්ලවීය රුසියාවේ ද වන්දනා ගමන මුඛ්‍ය චාරිත්‍රයක් වී තිබුණි. වන්දනාකරුවා කලාකරුවකු ලෙස සැලකීම මධ්‍යකාලීන සාහිත්‍යයේ තේමාත්මක සාධකයකි. නූතනවාදය තුළ දී එය ලියෝ ටොල්ස්ටෝයිගේ කෙටිකථාවල රොඩෑන්ගේ මූර්ති කලාවල පැබ්ලෝ පිකාසෝ 'සල්ටිම්බාන්ක්’ නම් සංක්‍රමණික සර්කස්කාරයා පෙරටුගාමී කලාකරුවාගේ සංකේතයක් ලෙස සැලකීම හා පාවුලෝ පැසලිනී 'කැන්ටබරි කථා’ මධ්‍යකාලීන අන්ධකාරය තුළ සිනමාවට නැඟීම දක්වා විද්‍යාමාන වේ.

ඩාන්ටේ විසින් වන්දනාකරුවා කාව්‍ය නායකයකු කර ගනු ලැබීම ද වැදගත් කාරණයකි. එහි දී ඔහු තම දෙවියන් වෙනුවෙන් උසස් සෞන්දර්ය නිපදවන්නෙකි. ක්‍රිස්තියානි කලාකරුවකු ලෙස ඔහු සුන්දර ආකෘතියකින් හෙබි වස්තුවක් තනයි. හැකි තරම් විශිෂ්ට ලෙසත්, හැකි තරම් අවංක ලෙසත් එය ඉටු කරන්නට ඔහුට වුවමනා ය. මෙහි ඇති විශේෂ කාරණයක් වන්නේ එවකට පඬිවර භාෂාව ලෙස පැවතුණු වියත් ලතින් බසින් නොව ස්වකීය ස්වභාෂීය ටස්කනික ඉතාලි බසින් එය සිදු කරන්නට ඔහුට වුවමනා වීම යි. මේ අතින් ඔහු තමාගේ දෙවියන් අබියසට යන්නේ වියත් ලතිනයෙන් නොව එවකට ගම්වැසි බස් වහරක් ලෙස පවතින්නට ඇති ස්වභාෂාවෙන් රචිත සෞන්දර්ය රැගෙන ය. මේ අතින් ඩාන්ටේ අපගේ පූජනීය චිරන්තන සිංහල කාව්‍යක්කාරයාට සමාන වේ. අප කාව්‍යක්කාර බෞද්ධ පැවිදි කාව්‍යක්කාරයෝ සහ අනේක ගිහි කාව්‍යකාරයෝ ද ඒ ඩාන්ටියානු විශ්වයට ඇතුළු වෙති. ලතිනෙන් නොලියා ඉතාලියෙන් ලිවීම මඟින් ඔහු ඉතාලි බස සාහිත්‍යය භාෂාවක් බවට හැරවී ය. ඔහු තම කාව්‍යය හැඳින්වූයෙ හුදෙක් 'ප්‍රහසනය’ (Commedia) වශයෙනි.

ඩාන්ටේ අඩ දුරක් පැමිණනෙත් හැර අවදිව වටපිට බලයි. වන්දනාකරුට සිදු වී ඇත්තේ මහත් ඇබැද්දියකි. ඔහුට මඟ වැරදී ඇත. බැදිවල යන්නෙකු වී සිටින ඔහු රැඳි ගනඳුරු වන ගැබක සිටින බැවින් නිසි මඟින් බැහැරට පා නඟා ඇති බව පසක් වේ. මේ වන්දනාකරු හුදෙක් පුද්ගලයකු නොව රටක් ජාතියක් ලෙස සිතන්නේ නම් අප අද මුහුණ දී සිටින මහා ආර්ථික හා දේශපාලනික ව්‍යසනය ද මීට සමාන වේ.

-*2. ඔහුගේ ව්‍යසනය වචනයට නඟන්නට නොහැකි තරම් බිහිසුණු ය; ඔලමොල ය. එය භාෂාවෙන් පිටත දිග හැරෙන්නෙකි. ස්වභාෂික කවියකු ලෙස ඇතැම් විට ඩාන්ටේ කවියාට තම ප්‍රාදේශික භාෂාවේ සීමාවත්, ලතින් භාෂාවේ විදග්ධ විශාලත්වයත් දැනෙනවා විය හැකි ය. අද අප ඇස්පනා පිට දිග හැරෙන බංකොලොත් ණය ආර්ථිකය සහිත වත්මන් වියවුල හා සිංහල භාෂාව අතර අපට ද දැනෙන්නේ මෙවැනි අමාරුවකි. ඩාන්ටේට අනුව පසුකාලීනව එය ආවර්ජනය කිරීමත් භීතියට කාරණයක් වන්නේ පැරණි බිය එම ආවර්ජනය හේතුකොට ගෙන අවදි වන හෙයිනි. ඒ බියකරු බිමෙහි ඇති වනය (wood of the wilderness) ම්ලෙච්ඡ ය. එය හිතුවක්කාර ය. මුරණ්ඩු ය. උද්ධච්ච ය. හීලෑකමක්, සංස්කෘතියක්, මිනිස්කමක් ගෑවිලාවත් නැත.

-*3. කඨෝරත්වය අතින් ඒ අන්ධකාර වනාන්තරය ඉදිරියේ මරණය පවා සිය අල්පභාවය හා නොහැකියාව පසක් කර ගනියි. ඉන් ලද යහපතක් ද ඇතත් එය කිය යුතු වන්නේසද්ධාර්මික නොවන දේවල් පැවසීමෙන් පමණි. ධර්මය හා අධර්මය අතර මින් ගොඩනැංවෙන්නේ බරපතළ යුගල ප්‍රතිපක්ෂයකි. අධාර්මික වූ දෙය අත්දැකීම මඟින් කෙනෙකු ලබා ගත් දුර්ලභ ආධ්‍යාත්මික ධනස්කන්ධයක් තිබිය හැකි නමුත් ඔහුට එය කියන්නට නම් අධාර්මික හෝ සත්ගුණවත් හෝ නොවන බොහෝ දේ කියන්නට සිදු වේ.

කවියා මුහුණ දෙන මේ අර්බුදාත්මක අවස්ථාව හිට්ලර්ගේ වද කඳවුරක අත්දැකීම් ලද යහපත් මිනිසකුගේ අත්දැකීමට අසමාන ය. මෙලෙසඅප කවියාආවර්ජනයේ උභතෝකෝටිකයකට හෙවත් විරුද්ධාභාසයකට දැන් මුහුණ දෙයි. වනය පිළිබඳ මතකය 'පැරණි බිය’ ඔහු තුළ ඇති කරයි. එය එසේ වූවත් ඩාන්ටේ එය පැවසිය යුතු ම ය. එය ඔහුගේ ඒකායන වගකීම යි. මේ වගකීම 'කැපවුණු සාහිත්‍යය’ පිළිබඳ ශොන් පෝල් සාත්‍ර තහවුරු කළ මතයට සමාන ය. එනමුත් මෙහි සාන්දෘෂ්ටික හැඟීමක් මෙන්ම ඊට අතිරේක වූ ආගමික සාරයක් ද ඇත.

සත්‍යය වෙනුවෙන් යහපත් නොවන දේ ඔහු කිව යුතු නමුත් එසේ කිරීමෙන් වඩාත් උසස් යහපත් තත්ත්වයකට පත් වී පරමාර්ථ සත්‍යය හා දෙවියන් කරා ඔහුට ළඟා විය හැකි ය. මෙය සැබැවින් ම වන්දනා ගමනක සාරය යි. වන්දනාව යනු යා යුතු එකකි. එය කිසියම් සුපුරුදු ආගමික ස්ථානයක සුපුරුදු යාතිකාවේ හෝ පිදුමේ හෝ වැඳුමේ යෙදීමට හාත්පසින් වෙනස් භාවිතයකි. එය දුෂ්කර හා දීර්ඝ චාරිකාවකි. එය සාමාන්‍ය ලෝකය මැදින් යා යුතු ගමනකි. අයහපත දැක හා අත්දැක එය අකැමැත්තෙන් හෝ ආවර්ජනය කරමින් වඩාත් උසස් යහපතක් කරා තමා ඔසවා තැබීම වන්දනා ගමනක් මඟින් ලැබෙන මහඟු ප්‍රායෝගික අධ්‍යාපනය යි.

-*4. තමා හරි මඟට පිටුපා වැරදි මඟට යොමු වුණු අවස්ථාව නියතින් සලකුණු කරන්නට වන්දනාකරු අසමත් ය. ඔහුගේ දිව ඊට නොනැමේ. එනමුත් වැරදි පාරට වැටුණු මොහොතේ තමා නිද්‍රාශීලී මනුෂ්‍යයකුව සිටි බව ඔහු දනියි. ඔහුගේ සමාධිය බිඳී තිබුණි. ඒ ප්‍රමාදයේ දී ඔහු නොමඟට වැටුණි. මේ සාර්වත්‍රික හා සකලජන අනුභූතියකි. මෙහි ඇති සුවිශේෂ කාරණය නම් වන්දනාකරුවා ඒ ගැන ආවර්ජනාත්මක ලෙස ඇති කර ගත් පසුකාලීන ආත්මාවබෝධය යි. එහෙයින් ම ඔහු තවමත් වන්දනාකරුවෙකි; අවංක පාපෝච්චාරණය වුවමනා කවීන්ද්‍රයෙකි.

-*5. නෙත් යොමා බලන ඔහු තමා කඳු පාමුලක සිටින බව දකියි. වනය ආරම්භ වන්නේ ඒ කඳු බෑවුමෙනි. එහි පහළ නිම්නයකි. ඔහු මහත් සේ බියට පත් වේ. එය වන්දනා ගමනේ දී ඔහු මුල් වරට සැබෑ ම බිය අත්දුටු මොහොත යි. මෙය ජෝශප් කොන්ඩ්‍රාඩ්ගේ 'හාට් ඔෆ් ඩාර්ක්නස්’ නවකථාවේ අවස්ථාවක් වැනි ය. ඩාන්ටේගේ 'අපාය’ ගැන විවරණ සපයන ටීකාකරුවන් පෙන්වා දෙන්නේ මෙම කාව්‍යයේ ඇතුළත් විවිධ පෙදෙස් පිළිබඳ විස්තාරාත්මක භූමිලක්ෂණ විවරණ හෙවත් භූ කේත රේඛනය (topography) සමඟ සසඳන විට මේ පූර්විකා සර්ගයෙහි ඇත්තේ අනිර්ණිත විස්තරයක් බව ය. හදිසියේ අප වන්දනාකාරයා අන්ධකාර වනාන්තරයක අවදි වේ. ඔහු අවට තිබෙන්නේ නොපැහැදිලි හා පෙර සූදානමක් නැතිව දකින එක්තරා සිහිනරූපී දැක්මකි. එය අස්ථානික ය; ඒ හෝ මේ ස්ථානය බව කියන්නට නොහැකි ය. පොළොවේ සමෝච්ච රේඛා නොපැහැදිලි ය. කන්දක් නම් තිබේ. ඒ මත වූ වනය නිම්නයක් ලෙස දිග හැරේ. එහි බියකරු සිහිනයක පෙරදැක්ම ඇත. මේ බියකරු භාවය මතුවට සර්ගය පුරා ව්‍යාප්තිය ලබන්නට නියමිත ය. සහාසික අපාර බියකින් ඔහු හද දෙදරයි.

මේ කඳු ගැටය 'ප්‍රමෝද ගිර’ (Mount of Joy) ලෙස අටුවා ටීකාකාරයෝ අර්ථ දක්වති. ඩාන්ටේ සිය දිවිය අතරමැද සත්‍යයේ මාර්ගයෙන් බැහැර වී වරදේ අඳුරු වනය (Dark Wood of Error) වෙත එළඹ ඇත. එය අධ්‍යාත්මික ජීවිතයට පිටුපා ලෞකික ජීවිතය වැලඳ ගැනීමකි.

මේ අනුව යට කී අනිර්ණිත භූමි දර්ශනයේ කාව්‍යමය හැඟවුමක් තිබේ. එනම් වන්දනාකරුවා නින්දෙන් අවදි වන්නේ වනාන්තරය නම් වූ පාපය (Sin) වෙතට ය. ඔහු පාපයේ දොරින් ඇතුළු වේ. වනය නිම්නයක්, පව්කාර නිම්නයක් බවට පත් වේ. එහෙයින් අන්ධාකාරය, ඔලමොලකම හා බියකරු බව පාපයේ අංගෝපාංගයෝ වෙති. පාපය මරණයටත් වඩා බියකරු ය. සමාධිය බිඳ ගත් අප වන්දනාකරුවා නිසි මඟින් බැහැරව පාපයේ මාර්ගයේ සැරිසරන්නට පටන් ගනියි.

-*6. රැය ගෙවී හිරු උදා වේ. එය දින දර්ශනය අනුව නිශ්චිත දිනයක උදාවකි. එනම් ජේසුතුමා කුරුසය මත මියයන්නට නියමිත මහ සිකුරාදා උදාව යි. හිස ඔසවා බලන ඔහුට සූර්යයා නම් තාරකාවෙන් නිකුත් ආලෝක කදම්භ නම් සළුපට පටලා ගත් ගිරි හිස පෙනේ. මිනිසා යන කොයි පාරත් ඉන් එළිය කරයි. ඔහු ස්ව-කැමැත්තෙන් තෝරා ගන්නේ කවර මාවතක් ද, ඒ මාවතේ ඔහු කෙළින් ම ඉදිරියට කැඳවා ගෙන යනු ලබන්නේ සූර්ය තාරකාව විසිනි. පරිවර්තනය අනුව ඒ කාව්‍යමය නිරීක්ෂණය නිවැරදි නම් එය අවදානම් සහගත එකකි. සූර්යයා පාර නිවැරදි කරන්නේ නැත. සූර්ය මෙහෙවර වන්දනාකාරයා හෝ මඟියා තෝරා ගත් ම‍ඟේ ඉදිරියට ඔහු කැඳවා ගෙන යාම පමණි.

මේ වන්දනා ගමන සිදු වන්නේ පාස්කු කාලයේ (Easter season) දී නිසා සූර්යයාගේ නැඟීම මඟින් ක්‍රිස්තුතුමා මරණයෙන් නැඟිටීම (Resurrection) ද සංකේතවත් කරන අතර සූර්යයා නිරක්ෂය පසු කරමින් නැවත ඉපදීම (equinoctial rebirth) ද ධ්වනිත කරයි. සිංහල අවුරුද්දේ සූර්ය උදාව ද ඊට සමපාත වන අතර මහ සිකුරාදා සහ සිංහල දෙමළ අලුත් අවුරුද්ද එක ම දිනකට යෙදෙන අවුරුදු අපට ඇත.

ඉංග්‍රීසි පරිවර්තනවල දී මෙම 'පැහැසර රැස් කඳ දිනකර සළු හැඳි ගිරි හිස දිස් විය’ යන අදාළ කාව්‍ය පාඨය ලියවෙන්නේ එක්කෝ ‘the sweet rays of that planet’ (එම ග්‍රහයාගෙන් නික්මුණු සුමිහිරි රැස්) යනුවෙනි. එසේ නැති නම් ‘morning rays of light sent from the planet’ (එම ග්‍රහයාගෙන් නික්මුණු උදා ආලෝක කදම්භ) යනුවෙනි. තාරකාවක් විනා ග්‍රහයකු නොවන සූර්යයා ඒ දෙවෙනි නාමයෙන් හඳුනා ගැනීම ටොලමිගේ තත්කාලීන සිතියම් විද්‍යාව පිළිගත් තාරකා ශාස්ත්‍රඥයන්ට අනුව සිදු වී ඇත.

-*7. රාත්‍රිය පුරා වන්දනාකරුවා මහත් කාලකණ්ණි අපේක්ෂභංගත්වයක ගිල්වා තැබූ භීතියේ කූටප්‍රාප්තිය ඒ හිරු එළිය දැකීමෙන් මඳින් මඳ තුනී වී යයි. එය බර පොදියක් සේ ඔහුගේ හද විලෙහි ගිලී නොපෙනී යන්නට වෙයි. ඊට තුඩු දුන් එක ම හේතුව ඉර සේවය යි.

-*8. දිව්‍යමය ප්‍රහසනය කාව්‍යය මඟින් ආගමික ප්‍රපංච හා අභිධාර්මික කාරණා කොතෙකුත් ස්පර්ශ කරන අතරේ එය සර්වකාලීන හා සර්වභෞමික පාඨක ප්‍රජාව ඇමතිය හැකි කාව්‍යයක් ද වන්නේ, වන්දනාකරුවා ඇතුළු කාව්‍ය චරිතයන්ගේ සාන්දෘෂ්ටික පැවැත්ම ලෙස කෙනෙකු සාමාන්‍ය ජීවිතයේ දී මුහුණ දෙන භීතිය, හුදකලාව, අතීරණය, අපේක්ෂා භංගත්වය, දිරිසුන් බව, කාංසාව වැනි මනෝභාවයන් ස්පර්ශ කරන්නට සමත් වන නිසා ය. බිහිසුණු රාත්‍රිය ගත කළ වන්දනාකරුවාට ඒ උදය දැනෙන්නේ පැරණි පිහිනුම්කරුවකු ඔක්සිජන් නැතිව දිය ගැඹුරෙහි සිට දිය ඉස්මත්තට පැමිණ වෙරළේ වැතිර තදින් හති දමමින් බියකරු දියකඳ දෙස ආපසු හැරී බලන අයුරිනි.

වනයක්, ගිරිකුළක් සහ නිම්නයක් ගැන කියූ කවියා සාගරය උපමාවට ගැනීමෙන් ඔහුගේ විශ්වවිද්‍යාව පැහැදිලි වේ. නිර්මාණවාදය තුළ වෙසෙන කවියා දෙවියන් විසින් මවන ලද පෘථිවි සමස්තය ග්‍රහණය කර ගනියි. මෙලොව එලොව දෙක නිරූපණය කරන්නට ඇපකැප වුණු මහා කාව්‍යයකට සුදුසු ලෝක දැක්මක් සහිත වැනුමකි මේ !

-*9. කවියා මෙහි ලා 'මම’ හා 'මගේ සිත’ අතර අර්ථ භේදයක් හා ප්‍රපංච භේදයක් දකියි. ඔහුගේ මනස පලා යාමට යොමු වේ. එනමුත් 'මම’ වූ ඔහු ආපසු හැරී තමා ගැලවුණු මරු කපොල්ල දෙස බලයි' එය ඉන් පෙර කිසිවකුට පණ බේරා ගෙන යන්නට ඉඩ නොදුන් මරු කටකි' කාව්‍ය නායකයා හා කථකයා තුළ වූ වීර කාව්‍යමය ද්විත්ව පෞරුෂය මින් තහවුරු වේ' ඔහු සරල මිනිසකු නොවේ' අනතුරකින් ගැලවුණ ද ඔහු තම අනතුරු කලාපය දෙස හැරී බලයි. 'සිතීම’ හෙවත් 'ගැඹුරු කල්පනාව’ ඔහු සතු ය.

-*10. මේ පැදිය සංකීර්ණ එකකි. ඔහු තම දෙපය අතරේ වෙනසක් දකියි. ඒ දෙකෙහි අසමානත්වයක් ඇත. වෙහෙසුණු සිරුර සුළු වේලාවක් සතපන ඔහු මුඩු කඳු බැස්ම නඟින්නට පටන් ගනියි. ඔහුගේ එක පාදයක් පමණක් ශක්තිමත් ය. එසේ කීමෙන් අනෙක් පය දුර්වල බව කියවේ. ඔහු යන්නේ නොණ්ඩි ගසමිනි. ඔහු තම සවිමත් පය ඇද ගෙන යයි. එසේ නම් එය ඔහුට කීකරු නැති පයකි. ඔහු තම සවිමත් පය වුවමනාවෙන් ඇද ගෙන කඳු පල්ලම නඟින කොරෙකි. මෙය වන්දනා ගමනේ ඉතා වෙහෙසකර ජවනිකාවක් බව නිසැක ය.

වන්දනාකරු ගෙන හැර දක්වන දෙපය වෙනස අවබෝධ කර ගන්නේ කෙසේ ද? දැඩි පය (pie fermo) යන්න ඩාන්ටේගේ විචාරකයින් මෙන් ම පරිවර්තකයන් ද අපහසුවට පත් කළ යෙදුමකි. ක්‍රිස්තියානි පුරාවෘත්තය අනුව වඩාත් ශක්තිමත් පාදය මෙලොව හා බැඳුණු ලෞකික පාදය වේ. එය ලොවට බර වුණු 'යටි පයකි.’ ඒ පය තුළ ලොවට ඇති ප්‍රේමය දෙවියන්ට ඇති ප්‍රේමයට වඩා බලවත් ය. වන්දනාකරුවාගේ තත්ත්වය ද ඊට සමාන ය. ඔහු තුළ දෙවියන්ට ඇති ප්‍රේමය ලොවට ඇති ප්‍රේමයට වඩා බලවත් වුණි නම් වන්දනා ගමනේ යෙදෙන්නට වුවමනාවක් නැත. දෙවියන් කරා යන්නට ඒ දැඩි පයේ සවිය වුවමනා ය. එය කෙසේ හෝ ඇද ගෙන කොර ගසමින් යා යුතු ය. ඒ පයෙහි ස්වාභාවික නැමියාව පොළොව කෙරෙහි බැවින් එය හරකෙකු මෙන් ඇද ගෙන යාම අනිවාර්ය වේ. එසේ නොකළොත් ඔහු නැවත අන්ධකාර වනාන්තරයට වැටේ. වන්දනා ගමනක් යනු සුළුපටු ගමනක් නොවන බව මින් හැඟවේ. අකැමැති පය බලහත්කාරයෙන් ඇද ගෙන යා යුතු දුකට කිරියකි ඒ !

ඔබගේ අදහස් අපට එවන්න.