දිව්‍යමය ප්‍රහසනය වෙළුම 1:
අපාය දෙවෙනි සර්ගය දිව්‍යමය ප්‍රහසනය ( පැදිi – ix)

2022 ජුනි 12

Nine Muses and Apollo

අඳුරු වන් තිමිරය හෙළමින් පහළ ගෙවී යයි දවස,

වැඩ බරින් මුදවත ලොවෙහි ප්‍රාණින් සැවොම,

මම වෙමි එක ම මිනිසා මෙලොව

තනි වුණු මෙතැන එම මුල් දින ම.*1

හටනකි දෙකකි කළ යුතු සෙයකි,

හටනකි ගමන හටනකි සිත ද

මා ගැන සොවින් කඳුළැලි නඟන,

මට මා ගැන ම කම්පා සිතෙන.*2

මතකය නිසැක නොවැරදි කරුණ

නොලසව පැමිණ සිත අග රුඳුණ,

දැන් මම ලැදිව පීරමි මතක

වූ දේ එලෙස නොවළහා කියන.*3

මියුසස්නමින් වැජඹෙන පුදන සරසවි වරම

පන්හිඳ ඇතිව සිටිනා දුබල කවියන් මුවට,

මතකය මහරු එක දෙවඟනකි දෙව් ලිය අතර

වරම ද ලබා දක්වනු ලොවට නුඹ ගුණ විපුල.*4

ඉන් පසු නැවත අමතමි කිවිඳ, “වර්ජිල් කිවිඳ

පෙන්වනු කැමැති අසරණ මට ද පෙර මඟ නුහුරු,

මා දෙස බලනු මා සිත නැ‍ඟෙන බිය සැක දකිනු

එතරම් දෙයක් කළ හැකි තරම් මිනිසෙක් වෙමි ද?”*5

“යොවුන් සිල්වියස් පුතුට පියා වුණු විරුඑනියස් ගැන

පැබදිණි මහ කවි ඔබ රන් සුරතින් මනු ලොව සිටි කල,

වැනසෙන ඇස් ඉස් ලද ඔහු මිනිසෙකි මා වැනි මියෙන

සිය ඉඳුරන් ගෙන වැඩියේ මට පෙර යටි ලෝ වෙතට.”*6

“සුපුරුදු සිරිතටනපුර හඹා’විත් නොකළොත් උවදුරු

ඒ මිනිසා දැක, පසුවට ඔහු ලොව කරනා අපමණ

විස්කම් දේ දැක, මිනිසකු නොලබන සුව ඔහු ලබනෙය

රෝමය වෙනුවෙන් දෙව් පුර අසුනක් ඔහුට ලැබෙන්නෙය.”*7

“පසු කළ උත්තම පීටර් හෙබවූ අසුන පිහිටි බිම

එපුර එරට දෙක තර සර අසිරිය ඔහුගේ නිමැයුම,

සිහසුන වෙනුවෙන් තැනිණ විරාජිත කදිම රෝම පුර

පීටර් පසුපස එන මහ පරපුර රජ වෙති ඒ පවර බිම.”*8

“ඉන් පසු අපාය දක්නා වර ලද මුනිවර පාවුළු

මනු සත අතරින් දෙවියන් තේරූ දෙව් බඳුනක් විය.

සදා විමුක්තිය ලබනා ගමනේ ලබ්ධිය භක්තිය

නිසැක මාර්ගය සැබෑ ද්වාරය බව පෙන්වා දුනි. ”*9

පුළුල් පුරාණෝක්ති පසුතලයකින් අනූන ඝන වියමනකින් සමන්විත මේ පැදි පෙළ පාස්කු මංගල්‍යය සමඟ උදා වුණු අලුත් අවුරුද්දේ පළමු දින සන්ධ්‍යාවේ ආරම්භ වේ.නක්ෂත්‍රමය හා සංස්කෘතික මනෝභාව වාතාවරණය අතින් එය සිංහල දෙමළ අලුත් අවුරුදු දවසේ සන්ධ්‍යාව වැනි ය.මෙහි මුල් පැදියේ භාවමය තත්ත්වය සලකා බලන විට පෙනී යන්නේ තමා මෙලොවමහත් සේ හුදකලා වී සිටින බව ඩාන්ටේ සිතන බව යි. වර්ජිල් සමඟ අපායට යන්නට ගත් හදිසි තීරණය ගැන දැන් ඔහු පසුතැවේ. ඊට හේතු වුණු කාරණා දෙකකි. එක අතකින් එය මෘගයින්ගෙන් බේරෙන්නට ගත් පියවරකි.අනෙක් අතින් වර්ජිල් කවියාට වසඟය වීම නිසාගත් තීරණයකි.

මේ අවස්ථාවේඩාන්ටේගේ සිතේ අරගල දෙකක් ඇත. එකක් ඒ අසාමාන්‍ය ගමන ගැන කල්පනා කිරීමෙන් ඇති වන බිය මුසුසැක‍ය යි. දෙවැන්න තමා ගැන ම ඇති වන ආත්මානුකම්පාව යි. ඩාන්ටේ එසේ සිතමින් තැවුල් සිතින් වර්ජිල් පසුපස පිය නඟන අතරේ බටහිර පුරාණොක්තියේ කියවෙන සරස්වතිය වූ මියුසස් නම් දෙවඟනන් කට්ටුව අමතයි. බුද්ධියට හා කාව්‍යයට අතිරේකව ඒ සඳහා අනිවාර්ය වූ ස්මරණය හෙවත් මතකයට ද අධිපති වූ මියුසස් නම් සුර කතුන් සමූහය අමතන ඩාන්ටේ ඒ අසහාය උත්තමාවියන්ගේ සහාය ඉල්ලයි.

ඉන්පසු වර්ජිල් අමතා තමා මෙවැනි අසාමාන්‍ය ගමනකට සුදුස්සකු දැයි විමසයි. ඒ අතර මියුසස් වරමින් තම මතකය පිරික්සන ඩාන්ටේ එවැනි ගමනක් ගිය දෙදෙනෙකු ගැන කල්පනා කරයි. එක් අයෙකු වර්ජිල්ගේ ‘එනියඩ්’ කාව්‍යයේ වීරයා වූ එනියස් වන අතර අනෙක් චරිතය සාන්ත පීටර් මෙන් බයිබලයේ අලුත් ගිවිසුම අනුව ප්‍රමුඛ චරිතයක් වූ පාවුළු හෙවත් පෝල් ය.

එවැනි උත්තම චරිතයක් නොවන තමා මෙවැනි ගමනක් යන්නේ කෙසේ ද? ඔහු තමා ගත් තීරණය වෙනස් කරමින් ඒ බව තම මාර්ගෝපදේශකයාට දන්වයි. ඩාන්ටේගේ ආත්මය වෙළා ගත් බියගුලුභාවය වහා තේරුම් ගන්නා වර්ජිල් තමා මේ ගමන පැමිණියේ සුර ලොව වෙසෙන ඩාන්ටේගේ පරමාදර්ශී ප්‍රේමවන්තිය වූ බ්‍රියට්‍රිස් නිසා බව කියයි. එනයින් ප්‍රේම කථාවක සාරාංගිය මෙහි නිනද වේ.

-*1.මේ පාස්කු සිකුරාදා සන්ධ්‍යාභාගය යි. හාත්පස අඳුරු පැහැ ගන්වමින් ඒ දවස ගෙවෙයි. මිහිමත සියලු සත්වයින් ඔවුන්ගේ දෛනික වැඩඵලවලින් නිදහස් කර ඇති නමුත් ඩාන්ටේට එවැනි විරාමයක් නැත. ජෝන් සියාඩි පරිවර්තනයේ කියවෙන්නේ දෛනික වැඩපලවලින් විශ්‍රාමයක් ලබා දුන් බව හා අඳුරු වාතාවරණය විසින් ඒ සියලු සත්වයින් විරාමයට කැඳවනු ලැබූ බව ය. එනමුත් ඩාන්ටේට එවැනි විරාමයක් හෝ කැඳවුමක් හෝ නොමැත. තමා ලොව එක ම හුදකලා මිනිසා වී සිටින බව ඩාන්ටේ කියයි. ඔහු ආත්මානුකම්පාවකින් වෙළී යයි.

Aeneas in the Underworld

-*2.එසේ සිටිමින් ඔහු ද්විත්ව යුද්ධයකට (double war) තමා සූදානම් කර ගනිමින් සිටින බව ජෝන් සියාඩි පරිවර්තනයේ කියවේ. එකක් ගමනේ සටන ය. අනෙක ආත්මානුකම්පාවේ, එනම් මේසා දුක්ගැහැට පිරුණු ගමනක යෙදෙන්නට තමාට සිදු වීම නිසා තමා ගැන උපදින කණගාටුව ය. මාර්ක් මූසා පරිවර්තනයේ එය චින්තනමය අරගලයක් බව නොකියවෙන නමුත් ගමන සමඟ අනුකම්පාව (pity) වෙළී ඇති බව කියවේ.

-*3. ඒ සිතුවිලි ගැටුම මැද ඩාන්ටේ ඔහුගේ ස්මරණ ශක්තිය සොයා යයි. ස්මරණය වැරදි නොකරයි. අදිමදි ද නොකරයි. මින් හැ‍ඟෙන්නේ කවියකු හා වියතෙකු ලෙස ඔහු අතීතය පිළිබඳ තමා දත් දේවල් සමඟ තමාගේ වර්තමාන අත්දැකීම තුලනය කරන්නට පෙළඹෙන බව ය.

-*4. ඩාන්ටේ සිය මතකය කැඳවන්නේ ස්වසන්තක මානසික ශක්තියක් ලෙස නොව පුරාණෝක්තිමය වශයෙන් පෙරදිග සරස්වතී දෙවඟන බඳු දෙවඟනක් හෝ දෙවඟනුන් සමූහයක් කැඳවා ලබා ගත යුතු වරමක් ලෙසිනි. ස්මරණය ඇත්තේ ඔවුන්ගේ ආඥාචක්‍රය තුළ ය. ඩාන්ටේ මියුසස්වරියන් (O Muses!) අමතයි. ඒ දෙවඟනෝ උසස් ප්‍රතිභාන ඥානයකින් අනූනව සිටිති.

ඩාන්ටේ ඒ මොහොතේ ඔවුන්ගේ සරණ ඉල්ලයි. ඔහු ඔවුන් අමතා අසන්නේ ඔවුන් දන්නා අතීතයට අනුව, එනම් අපාය දකින්නට පණපිටින් ගිය මනුෂ්‍යයින් ගැන ඔවුන් සතු මතක අනුව තමා මෙවැනි දුෂ්කර, දුරාරෝහ ගමනකට යෝග්‍ය කෙනෙකු දැයි තමාට පවසන ලෙස ය.

එසේ කොට ඔවුන්ගේ සැබෑ උත්තුංගභාවය හා අනර්ඝත්වය විදහා පාන ලෙස ය. ඔවුන් ‘දක්නා දෙයෙහි වාර්තා තබන්නන්’ (recorder of vision) බව ජෝන් සියාඩි පරිවර්තනය කියයි.

මෙම සිංහල පරිවර්තනයේ දී මියුසස් වෙනුවෙන් දැක්විය යුතු පැහැදිලි කිරීම සහිත අධෝ ලිපි සටහන (footnote), ‘මියුසස් නමින් වැජඹෙන පුදන සරසවි වරම, පන්හිඳ ඇතිව සිටිනා දුබල කවියන් මුවට, මතකය මහරු එක දෙවඟනකි දෙව් ලිය අතර, වරම ද ලබා දක්වනු ලොවට නුඹ ගුණ විපුල.’යනුවෙන් කවියට ඇතුළු කර තිබෙන්නේ සිංහල කවි සමයට ආගන්තුක වූ ඒ සඳහන හුදු මියුසස් නාමයට පමණක් සීමා කිරීම කාව්‍ය රසයට බාධාවක් හා අර්ථ ව්‍යාකූලත්වයට තදබල හේතුවක් වන බැවිනි.

ග්‍රීක මියුසස් දෙවඟන කට්ටුව කාව්‍යාවේශයට හෙවත් අනුප්‍රාණයට අධිපතිව සිටින අතර කවියා ඔවුන්ගේ සරණ සොයා යයි. ස්මරණයට ද මුල් වන්නේ ඔවුන් ය. සංඛ්‍යාවෙන් නවයක් වූ ඔවුහු සීයුස්ගේ දියණියෝ වෙති. හීසියඩ් ඔවුන් ගැන මෙසේ ලියයි. “ඔවුහු සියල්ලෝ එක ම මනසක් වෙති. ඔවුන්ගේ හදවත් ගීය සමඟ බැඳී ඇති අතර ඔනුක්ගේ ආත්මය කරදරවලින් තොරව නිදහස් ය. යමෙකුට මියුසස් පෙම් කරන්නේ ද ඔහු සිටින්නේ සතුටිනි. ආත්මය සොවින් පිරී ඇති මිනිසකු ඉදිරිපිට වූවත් මියුසස්ගේ අනුගාමිකයකු ගායනා කරනු අසන කෙනෙහි ම ඔහුට තම අඳුරු දුක් කරදර අමතක වේ. මියුසස්වරියන්ගෙන් මිනිසාට ලැබෙන පූජනීය ත්‍යාගය එය යි.” (Edith Hamilton, Mythology, A Mentor Book, 1969, p.37)

ඩාන්ටේ ඔවුන් ඇමතීම සම්බන්ධයෙන් සිංහල පාඨකයා සැලකිලිමත් විය යුතු කාරණා දෙකකි. එකක් මේ මියුස්වරියන් වැනි දෙවඟනන් ක්‍රිස්තියානි දේවධර්මයේ ආගමික පුස්තකවල කියවෙන පූජනීය චරිත නොවීම යි. ඔවුන් සැබැවින් අයිති වන්නේ පැගන් (Pagan) නමින් හඳුන්වන පූර්ව - ක්‍රිස්තියානි මිථ්‍යාදෘෂ්ටික බව පැවසෙන පුරාණ සම්ප්‍රදායට හා පුරාණෝක්තියට ය. එයින් පෙනෙන්නේ ඩාන්ටේ තම කාව්‍යය හුදෙක් ක්‍රිස්තියානි ධර්මයේ ප්‍රපංච පරිධිය හා විශ්වාස තුළ පමණක් නොරඳවන බව ය.අනෙක, ඩාන්ටේ ඔවුන් ඇමතීම හුදෙක් කාව්‍ය ශාස්ත්‍රීය රූපක නිපැයුම් කටයුත්තක් නොව එවකට සැබැවින් පැවති විශ්වාස පද්ධතියක ප්‍රතිලාභයක් වන්නට ඇති බව ය.

මියුස් වන්දනය සැබවින් පවතින්නට ඇති බව නිසැක ය. ක්‍රිෂ්ණාගේ හා ගෝපිකාවන්ගේ වෘන්දා වනය මෙන් පුරාණ ග්‍රීසියේ මියුස්වරියන් වෙනුවෙන් ද ඉදි වුණු වන ආරණ්‍යයන් (Muses’ grove) තිබුණි. මධුර මනෝහර ගීයෙන් නාවිකයින්ට මරු කැඳවන සාගර කිඳුරංගනාවියන් වූ සයිරන්වරියන් (Sirens) පිළිබඳ අප්‍රකට පුරාවෘත්තයකට අනුව ඔවුන් මියුස්වරියන් සමඟ ගායනා තරගයක යෙදී පරාජයට පත් වී සිය දිවි නසා ගෙන ඇත. මියුස්වරියන් කිරුළු සෑදීම සඳහා ඔවුන්ගේ අත්තටු ද කපාගෙන ඇත. ගායනය මියුස්වරියන්ගේ ශිල්පය (Muses’ Craft) ලෙස සැලකේ. හංසයින් එය ඉගෙන ගෙන ඇත්තේ ඔවුන් වෙතිනි. ට්‍රෝජන් යුද්ධයේ දී ඇකීලිස් වීරයා මළ අවස්ථාවේ දී ඔහු වෙනුවෙන් ශෝකාලාප වලප්නාව (dirge of Achilles) මියුස්වරියන් විසින් ගායනා කර ඇත.(Robert Graves, The Greek Myths, Volume Two, , Penguin, 1955, pp.213. 245 294, 317,361

ඩාන්ටේ ‘O Muses! O High Genius! Be my aid!’ යනුවෙන්අමතන විට වර්ජිල්ගේ හෝ සමහර විට ඩාන්ටේගේ ම කාව්‍ය ශක්තිය ගැන කියනවා ද විය හැකි බව මාර්ක් මූසා සඳහන් කරයි. ඔහු අමතන්නේ තමන්ගේ ම කාව්‍ය ශක්තියට නම් ඉන් හැ‍ඟෙන්නේ ඔහු තමාගේ අවසන් ගැලවීම හෝ මඟ පෙන්වීම ලෙස සලකන්නේ කාව්‍ය ලෝකය බව යි. මෙය සාහිත්‍ය ලෝකයට ආගන්තුක විශ්වාසයක් නොවේ. 1970 දී සාහිත්‍යය පිළිබඳ නොබෙල් ත්‍යාගය පිළිගනිමින් ඇලෙක්සැන්ඩර් සොල්සිනෙට්සින් විසින් පවත්වන ලද දේශනයේ දී ඩොස්ටොයෙව්ස්කිගේ කියුමක් උධෘත කර ගනියි. “සෞන්දර්ය විසින් ලෝකය ගලවා ගනු ලබනු ඇත.” (Beauty will save the world).

එහි දී සොල්සිනෙට්සින්කලාකරුවන් දෙවර්ගයක් ගැන කියයි. “එක් වර්ගයක කලාකරුවෙක්ස්වායත්ත ආධ්‍යාත්මික ලෝකයක හා එහි වෙසෙන මිනිසුන්ගේ මැවුම්කරු ලෙස තමා ගැන කල්පනා කරන අතර එහි සම්පූර්ණ වගකීම ද භාර ගනියි. කිසිදු මිනිසකුට එවැනි මහ බරක් දරා සිටින්නට නොහැකි බැවින් ඔහු ඇද වැටේ... තවත් කලාකරුවකු තමාට ඉහළින් ඇති මහා බලයක් ගැන කල්පනා කරන අතර දෙවියන්ගේ ස්වර්ගයේ සාමාන්‍ය ආධුනිකයකු ලෙස සතුටින් වැඩ කරයි.”(Alexander Solzhenitsyn, Nobel Lecture, Faber, Straus and Giroux, 1974, p.4)

ඒ දෙවර්ගය අතරින් ඩාන්ටේස්වායත්ත ආධ්‍යාත්මික ලෝකයක හා එහි වෙසෙන මිනිසුන්ගේ මැවුම්කරු ලෙස තමා ගැන කල්පනා කරන අතර එහි සම්පූර්ණ වගකීම ද භාර ගනියි. ඔහු දෙවියන් ගැන කල්පනා කරන අතරේ ම උන්වහන්සේ ද සහිතස්වායත්ත ආධ්‍යාත්මික ලෝකයක හා එහි වෙසෙන මිනිසුන්ගේ මැවුම්කරුවෙක් වේ.

Apostle Paul

-*5. තමා තුළ යම් අගයක් තිබේ නම් ඒ අගය මෙවැනි වෙහෙසකර ගමනකට ප්‍රමාණවත් දැයි ඩාන්ටේ ඉන් පසු වර්ජිල් අමතා අසයි. ඒ පැණය තුළ සිය ගුරු කිවි වෙතින් තමාගේ අගය තක්සේරු කර ගැනීමේ අභිප්‍රායක් ද ඇති බව හැ‍ඟේ. එය සම්ප්‍රදායක් ඇසුරෙන් තමාගේ ස්ථානය නිර්ණය කර ගැනීමේ උත්සාහයකි.

-*6. මියුසස් වරම් ගෙන මතකයාණන් අමතන ඩාන්ටේ එවැනි ගමනක් ගිය එනියස් ගැන මුලින් කල්පනා කරයි. එය මේ අවස්ථාවට කෙළින් ම අදාළ වන්නේ රෝමයේ ආදි පියා වූ එනියස් ගැන ලියා තිබෙන්නේ, තමා ඉදිරිපිට හේමාල අවතාරයක් ලෙස සිටිමින්, තමා අපාය වෙත කැඳවා ගෙන යන්නට සූදානම් වන වර්ජිල් නිසා ය. මේ කවියේ ඇති විශේෂත්වය වන්නේ ඒ රෝම වීරයා ඔහුගේ නමින් අමතනවාට වඩා ඔහුගේ පුතාගේ පියා (father ofSylvius) ලෙස සඳහන් කිරීම යි. ‘යොවුන් සිල්වියස් පුතුට පියා වුණු විරු එනියස්...’

එනියස් ඔහුගේ පියා ඇන්කයිසිස් දකින්නට පාතාල ලෝකය (underworld)වෙත ගිය විට ඇන්කයිස් ඔහුට පවසන්නේ ඔහු මහලු වූ විට උපදිනු ඇති සිල්වියුස් ඔහුගේ අන්තිම පුත්‍රයා වනු ඇති බව යි. එනියස් රෝමය ගොඩනඟන බව ද, සිල්වියුස් ද පසු කලෙක රජ කෙනෙකු වන බව ද ඇන්කයිසිස් එහි දී පවසයි. සිල්වියුස් ට්‍රෝජනයේ හෝ අතරමඟ එනියස් රැ‍ඳෙන රටක උපදින දරුවකු නොව ලැවීනියා නම් කාන්තාවකට දාව ඉතාලියේ උපදින දරුවකු වීම ද මෙහි ලා වැදගත්කමක් දරයි.

ලැවීනියා වූ කලී එනියස් ඉතාලියට පැමිණ සිය සෙනඟ සමඟ එහි පදිංචි වුණු පසු හමු වන ලැටිනස් රජුගේ දියණිය යි. ලැටිනස් රජු ඔඩිසියුස් හෙවත් යුලිසිස් ට්‍රෝජන් යුද්ධයෙන් පසු පිටත් වී ආපසු ග්‍රීසියට එන අතරේ හසු වන මායාකාරියක වූ සර්සිට (Circe) දාව උපන් දරුවකු වූ අතර එනියස් සමඟ නොගැටෙන සාමකාමී රජෙකි.

එනමුත් ග්‍රීක හා පුරාණ රෝම පුරාවෘත්තයෙහි සඳහන් පාතාල ලෝකයත්, ඩාන්ටේගේ හා ක්‍රිස්තියානි සාහිත්‍යයෙහි සඳහන් ‘අපාය’ නම් ස්ථානයත් අතර වෙනසක් ඇත. පැරණි විශ්වාසයට අනුව කෙනෙකු මළ පසු මරණා’පර ජීවිතය ගෙවන්නේ එහි ය. පාපය පිළිබඳ කතාවක් එහි නැත. කෙනෙකු මළ පසු සිරුරෙන් වෙන් වන ඔහුගේ සාරය ලෙස මනෝකාය (Psyche) පාතාලය කරා ප්‍රවාහනය කෙරේ.ඩාන්ටේ සිය මතකය තුළ අවදි කරන අනෙක් චරිතය ජේසුස්තුමාගේ ශ්‍රාවකයින් දොළසින් කෙනෙකු නොවූව ද ඊට අත්‍යාසන්න කාලයේ ප්‍රධානතම චින්තකයකු, ලේඛකයකු හා ධර්ම ප්‍රචාරකයකු වූ පාවුළු හෙවත් පෝල් ය. ඒ සංසන්දනය ගැන ද මීට ආසන්නයේ දී ම කියවේ.

තීව්‍ර ලෙස රෝම පුරාණෝක්ති හා බයිබලය ඇසුරු කරන මේ කාව්‍ය ඡේදය අනුව වර්ජිල් එනියස් ගැන කියා ඇති අතර තමා මෙන් මැරෙනසුලු (mortal) මනුෂ්‍යයකු එනියස් ජීවත් වී සිටිය දී අපායට ගොස් ඇත. ට්‍රෝයි විනාශයට පසු නැව් සමූහයක් තනා ගෙන දිව්‍යමය ආනුභාවයෙන් ඉතාලිය බලා සංචාරය කළ එනියස්ට එහි පැමිණ තම සෙනඟ සමඟ පදිංචි වන්නට පෙර පාතාලයට යන්නට සිදු විය. පාතාලයේ දී ඔහුට අනාගත රෝම රාජ්‍යය ගැන අනාවැකිය තම අභාවප්‍රාප්ත පියාගෙන් අසන්නට ලැබේ.

එනියඩ් වෘත්තාන්තය අනුව ට්‍රෝයි පුරයෙන් පිටත් වන ඔව්හු ත්‍රේස්, එනම් වර්තමාන තුර්කි වෙරළ කරා එති. ඔහු මුලින් එහි ජනාවාසයක් පිහිටුවා ගනියි. එනමුත් පසුව පොළෝ ගැබින් උච්චාරණය වන අවවාදයක් හේතුකොට ගෙන ඩිලෝස් නම් දූපත කරා පැමිණේ. එහි දී අසන ඇපොල්ලෝ අනාවැකියක් නිසා ආපසු නැව් නැඟ ක්‍රීටයට පැමිණ එහි ජනාවාසයක් තනා ගන්නට උත්සාහ ගනියි. එනමුත් බෝග මෙන්ම මිනිසුන් ද මියයන හදිසි වසංගතයක් නිසා ආපසු ඩිලෝස් බලා යමු යි ඇන්කයිසිස් යෝජනා කරයි.

එනියස් නිවැරදි මඟට පිවිස ඉතාලිය බලා යාත්‍රා කරයි. එනමුත් හදිසි කුණාටුවකට හසුව ඔව්හු අයෝනියානු මුහුදේ ස්ට්‍රොෆඩීස් දූපත් සමූහයට ළගා වෙති. එහි දී ඔවුන් මුහුණ දෙන්නේ අසාමාන්‍ය අනතුරකට ය. හර්ෆීස් නම් පක්ෂි - කාන්තා විශේෂයක් ඔවුන්ට පහර දෙයි. පලා යන ඔව්හු ග්‍රීක බටහිර වෙරළේ ඇක්ටියුම් කරා ළඟා වෙති.

ඔවුන්ට ඉතාලිය කරා ළඟා වීමට ලැබෙන්නේ තවත් එවැනි පෙදෙස්වල නන්නත්තාර වීමෙන් පසු ය. අවසානයේ දී ඉතාලි දූපතක් වූ සිසිලියේ බටහිර වෙරළ ආසන්නයෙහි වූ ඩ්‍රෙපනම් කරා එති. ඇන්කයිසිස් එහි දී මියයයි. ඔහුගේ භූමදාන කටයුතුවලින් පසු ඉතාලිය බලා පිටත් වන නමුත් නැවතත් කුණාටුවකට හසු වී වර්තමාන ලිබියාව වූ කාතේජය කරා එති. ඔවුන්ට ඉතාලිය බලා එන්නට ලැබෙන්නේ ඉන් පසුව පමණි.

එනියස් පාතාලයට යන ගමනේ උපදේශිකාවක් වන්නේ කුමීහි සිබිල් නම් වූ අනාගතය කියන්නියකි. ඇය එනියස්ට කියන්නේ ඔහු පාතාලයට රජු වූ ප්ලූටෝගේ බිරිඳ වූ ප්‍රොසිපිනා වෙනුවෙන් තිළිණයක් ද රැගෙන යා යුතු බව යි. ඒ තිළිණය සිබිල්ගේ දෙවොල අවට වනයේ ගසකින් කඩා ගත යුතු රන් රිකිල්ලකි (Golden Bough). ඒ ගස සොයා ගන්නට එනියස්ගේ මව වූ වීනස් පරෙවියන් දෙදෙනකු එවීමෙන් ඔහුට උදව් කරයි.

තම පියා හමු වීමට පාතාලයටයන ඒනියස්ටපියා කියන්නේ ඉතාලියේ දී ට්‍රෝජන්වරුන්ට තවත් කම්කටොලුවලට මුහුණ දෙන්නට ද සිදු වන බව යි. රෝමය පිහිටු වීම ගැන ද ඇන්කයිසිස් අනාවැකි කියයි. එහි දී පුනරුත්පත්තිය පිළිබඳ සංවාදයක් ද ඇති වන අතරේ මතු දවස එනියස් විසින් ගොඩනඟනු ලබන රෝමයේ සිටිනු ඇති එනියස්ගේ පුත් සිල්වියුස් පමණක් නොව රොමියුලස්, ජූලියස් සීසර්, ඔගස්ටස් සීසර් වැනි ඓතිහාසික චරිතයන්ගේ ආත්මයන් ද පාතාලයේ ඇති බව කියයි.

-*7. මේ කවියෙන් කියවෙන්නේ එනියස් පසුවට කළ සේවාව නිසා නපුර ඔහුට උවදුරක් නොකළ බව, ඒ නිසා අපාය දකින්නට ලැබුණු බව හා ඒ වරප්‍රසාදය ඔහු වැනි මහා පුරුෂයකුට ගැලපෙන බව ය. එනියස් කවරෙකු ද, ඔහු නිසා ඇති වන ප්‍රතිලාභ මොනවා ද යන්න සැලකිල්ලට ගනිමින් ලොව සියලු නපුරුකම්වල පසමිතුරුකම් (Adversary of all Evil) ඔහුට අකාරුණික නොවෙතොත් අපායට ගොස් ආපසු පණපිටින් පැමිණීම ඔහු වැනි සිතන මිනිසුන්(Thinking Men) වෙතලැබීම යෝග්‍ය වේ. ක්‍රිස්තියානි ධර්මයේ සිහසුන ලෙස රෝමය බිහි කරන්නේ එනියස් ය. රෝමයේ පියා ලෙස ස්වර්ගයේ උසස්තම ආසනයක් ඔහුට හිමි වීම පුදුමයක් නොවේ. ‘සුපුරුදු සිරිතට නපුර හඹා’විත් නොකළොත් උවදුරු ඒ මිනිසා දැක, පසුවට ඔහු ලොව කරනා අපමණ විස්කම් දේ දැක, මිනිසකු නොලබන සුව ඔහු ලබනෙය,රෝමය වෙනුවෙන් දෙව් පුර අසුනක් ඔහුට ලැබෙන්නෙය.’ඔහුට දෙවියන්ගෙන් ද සංග්‍රහ ලැබුණි.

-*8. එපමණක් ද? පසු කාලයක දී මුනිවර පීටර්ගේ අනුප්‍රාප්තික පාප්වරුන් ද අසුන් ගන්නේ රෝමයෙහි ය. ‘පසු කළ උත්තම පීටර් හෙබවූ අසුන පිහිටි බිම, එපුර එරට දෙක තර සර අසිරිය ඔහුගේ නිපැයුම, සිහසුන වෙනුවෙන් තැනිණ විරාජිත කදිම රෝම පුර පීටර් පසුපස එන මහ පරපුර රජ වෙති ඒ බිම.’ මෙහි දී ඩාන්ටේ විසින් ප්‍රදර්ශනය කරනු ලබන්නේ කාව්‍යමය ප්‍රචණ්ඩතාවකි. ඔහු තම කවියෙන් පූර්ව-ක්‍රිස්තියානි හා පැගනික ඉතාලි පුරාණෝක්තිගත ඉතිහාසය ක්‍රිස්තියානි ඉතිහාසයට එකතු කරයි.

එය වර්තමාන භාෂාවෙත් කියත හොත් එක පෑන් පහරකින් යුග දෙකක් එකතු කර, ඉතිහාසය දෘෂ්ටිවාදී ලෙස නැවත ලිවීමකි. එමඟින් ඔහු ක්‍රිස්තියානි යුගයේ මහා කවියා ලෙස තමාගේ ස්ථානය ද නිර්ණය කර ගනියි. මේ ෆ්ලොරන්සියානු රිපබ්ලිකයේ රාජ්‍ය ප්‍රධානියකු හා තානාපතිවරයකු ලෙස ඔහු විසින් අත්විඳින ලද තිත්ත කටුක රසය ආස්වාදනය කිරීමක් විය හැකි ය. එනියස් නම් ට්‍රෝජන් ආදිකාලීනයා කතෝලික මහාවංශයක ආදිපීතෘවරයකු කිරීමක් ද මෙහි ඇත.

එය වර්තමාන භාෂාවෙත් කියත හොත් එක පෑන් පහරකින් යුග දෙකක් එකතු කර, ඉතිහාසය දෘෂ්ටිවාදී ලෙස නැවත ලිවීමකි. එමඟින් ඔහු ක්‍රිස්තියානි යුගයේ මහා කවියා ලෙස තමාගේ ස්ථානය ද නිර්ණය කර ගනියි. මේ ෆ්ලොරන්සියානු රිපබ්ලිකයේ රාජ්‍ය ප්‍රධානියකු හා තානාපතිවරයකු ලෙස ඔහු විසින් අත්විඳින ලද තිත්ත කටුක රසය ආස්වාදනය කිරීමක් විය හැකි ය. එනියස් නම් ට්‍රෝජන් ආදිකාලීනයා කතෝලික මහාවංශයක ආදිපීතෘවරයකු කිරීමක් ද මෙහි ඇත.

-*9. තමාගේ චූල භාවය වර්ජිල් සමඟ සැසැඳීමෙන් පසු ඩාන්ටේ තමා සාන්ත පාවුළු සමඟ ද සසඳයි. ඩාන්ටේ ද වන්දනකරුවකු හා ක්‍රිස්තු ලබ්ධිකයකු වන නිසා මෙම සැසඳීම ඔහුට වඩාත් ගැලපේ. ‘දෙවියන් විසින් තෝරා ගන්නා ලද දෙව් බඳුන’(Chosen Vessel) යන උපමාව නිසා පාඨකයා විසින් ඩාන්ටේ ද එවැනි තෝරා ගැනීමක් බව කල්පනා කරනු ලබනු ඇතැයි මාර්ක් මූසා කියයි. ඒ අනුව දෙවියන් ද ඩාන්ටේගේ වන්දනා ගමනට ප්‍රමාණවත් වරමක් හා ආශීර්වාදයක් (grace of god) ලබා දී ඇති බව හැඟවේ.

-*9. තමාගේ චූල භාවය වර්ජිල් සමඟ සැසැඳීමෙන් පසු ඩාන්ටේ තමා සාන්ත පාවුළු සමඟ ද සසඳයි. ඩාන්ටේ ද වන්දනකරුවකු හා ක්‍රිස්තු ලබ්ධිකයකු වන නිසා මෙම සැසඳීම ඔහුට වඩාත් ගැලපේ. ‘දෙවියන් විසින් තෝරා ගන්නා ලද දෙව් බඳුන’(Chosen Vessel) යන උපමාව නිසා පාඨකයා විසින් ඩාන්ටේ ද එවැනි තෝරා ගැනීමක් බව කල්පනා කරනු ලබනු ඇතැයි මාර්ක් මූසා කියයි. ඒ අනුව දෙවියන් ද ඩාන්ටේගේ වන්දනා ගමනට ප්‍රමාණවත් වරමක් හා ආශීර්වාදයක් (grace of god) ලබා දී ඇති බව හැඟවේ.

“... මේ අතිශ්‍රේෂ්ඨ බලය අපගෙන් නොව දෙවියන් වහන්සේගෙන් වන බව දක්වන පිණිස අපි මේ වස්තුව රැස් කර තැබූ මැටි බඳුන් හා සමාන ය. අපි හැම අතින් ම වටලනු ලැබුවත් කොටු වී නොසිටිමු. වියවුල් වුවත් බලාපොරොත්තු රහිත නොවෙමු. ලුහුබඳිනු ලැබුවත් අතරමං නොවෙමු. පහර ලැබූවත් නොනැසෙමු.”

ඒ අනුව මිනිසකු දෙවියන්ගේ තෝරා ගත්භාජනයක් ලෙස කල්පනා කිරීම යනු දෙවියන් තම ස්කන්ධයෙන් පුරවන ලද භාජනයක් හා දිව්‍යමය අන්තර්ගතයෙන් (content) පුරවන ලද ආකෘතියක් (form) ලෙස කල්පනා කිරීමකි. ජෝන් සියාඩි පරිවර්තනයේ මේ කොටස,දේව භක්තිය සහිත ලබ්ධිය (Faith)යන ආධ්‍යාත්මික සාධකයවිමුක්ති මාර්ගයේ සත්‍ය ද්වාරය ලෙස කියවුණත් මූසා පරිවර්තනයේ සාන්ත පාවුළුගේ ආරෝහණයක් (ascension) ලෙස එය තවත් දේවධාර්මික කෙරේ.මෙය පාඨකයා ඩාන්ටේගේ මහා කාව්‍ය කියවීම වෙනුවෙන් පිළිගත යුතු උපන්‍යාසයක් හා සුරතාන්තමය ආගමික අනුභූතියක් වේ. ඒ අනුව ඒ සාන්තුවරයා තුන්වෙනි ස්වර්ගය (third heaven) කරා ඔසවන ලද බව කියමින් දුරවබෝධ දේවධාර්මික අභිරහසකට ඩාන්ටේ ඉඩ තබයි. එය යටකී කොරෙන්ති හස්නෙහි මෙසේ කියවේ.

“දසසතර වසරකට පෙර තුන්වන ස්වර්ගය දක්වා ඔසවා ගනු ලැබූ කිතුනුවකු මම දනිමි. එසේ වූයේ ශරීරයෙන් යුක්තව ද, නොහොත් ශරීරයෙන් වියුක්තව දැයි මම නොදනිමි... එබඳු මිනිසකු ගැන මම පාරට්ටු කරමි. එහෙත් මාගේ දුර්වලකම් ගැන මිස මා ගැනම පාරට්ටු කර නොගනිමි.”මූසා එය සාන්ත පාවුළුගේ දිව්‍ය දර්ශනයක් (vision) ලෙස සලකයි.

“පෝල්ගේ දිව්‍ය දර්ශනය ක්‍රිස්තියානි ඇදැහිල්ල ශක්තිමත් කරන්නට හේතු වුණු අතර එය ඩාන්ටේ නම් වන්දනාකාරයාගේ විමුක්තියට මූලික වේ... වන්දනාකරුවා පළමුවෙනි සර්ගයේ කියවෙන පරිදි අඳුරු වනයට පිටුපෑම ඒ වෙනුවෙන් තැබූ මුල් පියවර ය. ”.”(Dante Alighieri, The Divine Comedy Volume 1: Inferno translated with an Introduction, Notes and Commentary by, Mark Musa, Penguin Books, 1984, p. 85)

ක්‍රිස්තියානි භාෂා සම්ප්‍රදාය තුළ අපෝස්තලික ‍පාවුළු (Apostle Paul) නමින් ගෞරව බහුමානයෙන් යුතුව අමතනු ලබන පෝල්, පාඔලෝ නොහොත් පාවුළු කතෝලික දේව සභා ඉතිහාසයේ අග්‍රගන්‍ය පුරෝගාමී සද්ධර්මචින්තයෙකි. ‘ඇපොසල් පෝල්’ ක්‍රිස්තු තුමාගේ ශ්‍රාවකයින් දෙළොස්දෙනාගෙන් කෙනෙකු නොවූවත් ඒ ශ්‍රාවකයින් ජීවත්ව සිටිය දී ම ප්‍රාතිහාර්යාත්මක ලෙස බරපතළ ධර්ම පරිවර්තනයකට ලක් වූ යුදෙව් වියතෙකි. ඉතාලියෙහි හා සෙසු යුරෝපයෙහි ධර්ම ප්‍රචාරයෙහි ලා ඔහු අතිමූලික විය.

ඩාන්ටේ විසින් ඉතාලි පුරාණෝක්තියෙහි ගිලෙමින් එනියස් ගැන පැවසූ වහා පළමුවෙනි ක්‍රිස්තු වර්ෂයේ ‘මූල - ක්‍රිස්තියානියේ’(Early Christianity) මහාචින්තකයකුවූ පෝල් හෙවත් පාවුළු ගැන සඳහන් කිරීම ඔහුගේ කාව්‍යයට පාදක වන ක්‍රිස්තියානි දෘෂ්ටිවාදය මතු නොව මහා සම්ප්‍රදායේ (Greater Tradition) වියත් අධිග්‍රහණය ද සිහිපත් කරයි.

ඒ චරිත ඔස්සේ වන්දනාකරුවා, කාව්‍ය නායකයා හා කාව්‍ය කර්තෘ ලෙස ඩාන්ටේ,ලතින් නොවන තම අහිංසක ස්වභාෂා සාහිත්‍යය තුළට ඒ නමගිය උත්තමයන් කැඳවීමක් ද පෙන්නුම් කරන බව කිව යුතු ය.කාව්‍යකරණයේ නා - මුගටි සටනේ දී මුගටියා සිය ජය තහවුරු කර ගැනීම සඳහා හැලි මුගටියා පිට උඩ තබා ගෙන පැමිණීමක් ද මේ සාහිත්‍ය භාවිතයෙහි තිබේ.

මේ කාව්‍යය රචනා කරන අවස්ථාවේ ඩාන්ටේ අත්විඳිමින් සිටි පුද්ගලික ඛේදවාචකය ද, පිටුවහලේ මියයන්නට සිදු වීමේ ඉරණම ද සැලකිල්ලට ගැනීම මැනවි. අපට හැඟී යන්නේ මේ වකවානුවේ ඩාන්ටේ සිය ආගමික ධර්ම සංස්ථාවේ ද අනදරයට පාත්‍ර වෙමින්, පිටුවහල් කරනු ලැබූවකු ලෙස රෝමයේ හා යුරෝපයේ වෙනත් අහුමුළුවල කාව්‍යයෙන් හා සිය පරමාර්ශී බියට්‍ර්ස් ප්‍රේමයේ කරුණා රසයෙන් දිවි ගත කරන්නට ඇති බව ය. ඔහු එවිට රෝමන් පොලාන්ස්කිගේ ‘ද පියානිස්ට්’ චිත්‍රපටයේ වඩ්ඩිස්ලාව් සිපිල්මාන් නම් පෝලන්ත - යුදෙව් පියානෝ වාදකයාට සමාන කෙනෙකි.

වර්තමාන තුර්කියේ (සුළු ආසියාව) පිහිටි රාජ්‍යයක් වූ සිසිපියාවේ ටාර්සස්හි උපන් පෝල් මුලින් ටාර්සසයේ සාවුල් (Saul of Tarsus) නමින් ප්‍රසිද්ධව සිටි අතර ආගමික සංවර්තනයෙන් (conversion) පසු පෝල් විය. ක්‍රිස්තුස්ගේ අවසාන ශ්‍රාවකයා මියයාමෙන් පසු අවසන් වුණු අපෝස්තලික යුගයේ(Apostolic Age), එනම්ක්‍රිස්තු වර්ෂ උදාවේ (පළමුවන ශතවර්ෂය ආරම්භයේ හතලිහ හා පනහ දශකවල) ප්‍රධාන ධර්ම ප්‍රචාරකයකු ලෙස ඔහු හෙලනිස්තික සමාජයේ, යුදෙව් ධර්මයේ හා වෙනත් ස්වදේශීය ධර්ම පාක්ෂිකයින්ගේ විරුද්ධතා මධ්‍යයේ සුළු ආසියාවේ හා යුරෝපයේ මුල් - ක්‍රිස්තියානි ජන සංඝ පිහිටුවී ය.ඔහු ආදි - ජෙරුසලම අවට ක්‍රිස්තු ධර්මය වැලඳ ගත් හෙලනිස්තික ඩයස්පෝරා සාමාජිකයින්ට වධහිංසා පැමිණ වූවකි. මුල් ක්‍රිස්තියානි ආගමෙහි ඉතිහාසය ගැන ෆ්‍රෙඩ්රික් එංගල්ස් මෙසේ ලියයි.

“මුල් ක්‍රිස්තියානි ආගමෙහි ඉතිහාසයට සහ නූතන කම්කරු පංති ව්‍යාපාරයට පොදු වැදගත් කරුණු රැසක් ඇත. නූතන කම්කරු පංති ව්‍යාපාරය මෙන්ම ක්‍රිස්තු ලබ්ධිය ද මුල් වකවානුවේ පීඩිත ජනතාවගේ ව්‍යාපාරයක් විය. එය ප්‍රථමයෙන්ම පෙනී සිටියේ වහලුන් සහ වහල් භාවයෙන් නිදහස් කරනු ලැබූවන්ගේ ද, සියලු අයිතිවාසිකම් අහිමි කරනු ලැබූ දුප්පත් ජනයාගේ ද, එසේම රෝමය විසින් යටත් කර ගනු ලැබූ සහ විසුරුවා හරිනු ලැබූ ජනතාවන්ගේ ද ආගම වශයෙනි. ක්‍රිස්තු ලබ්ධිය සහ කම්කරු සමාජවාදය යන දෙකම වහල් බැමිවලින් හා දුක්ඛිතභාවයෙන් අනාගත ගැලවීම දේශනා කරයි. ක්‍රිස්තු ලබ්ධිය මෙම ගැලවීම මරණයෙන් පසු, ස්වර්ගයේ මතු ජීවිතයක තබයි. සමාජවාදය එය මෙම ලෝකයෙහි සමාජ පරිවර්තනයක තබයි. මේ දෙකටම වධහිංසා පමුණුවන ලදී. ඒවායේ අනුගාමිකයන් පිළිකුළට භාජනය කොට අනන්‍ය නීතිවලට යටත් කරන ලදී.”.”(ප්‍රෙඩ්රික් එංගල්ස්, මුල් ක්‍රිස්තියානි ආගමෙහි ඉතිහාසය, මාක්ස් - එංගල්ස්, ආගම ගැන, අනුවාදය පියසේන මානිල්ගම, ප්‍රගති ප්‍රකාශන මන්දිරය, මොස්කව්, 1895, පිටුව 393)

රැබයි (Rabbi) නමින් හඳුන්වනු ලබන යුදෙව් ධර්මාචාර්යවරුන්ගේ යුදෙව්වාදයට (Rabbinic Judaism) පූර්වයෙහි පැවතුණු ෆරිසී(Pharisee) නම් ධර්මාචාර්යවරුන්ගේ යුදා ධර්මයේ ෆරිසීවරයකු වූ සාවුල්මුල් ක්‍රිස්තු භක්තිකයකුට හිංසනය පැමිණවීමට අනුමැතිය ලබාදී තවත් එවැන්නවුන් සම්බන්ධයෙන් යුදෙව් ධර්ම නීතියට අනුව ක්‍රියා කිරීම සඳහා ඩැමස්කස් බලා යන ගමන අතරමඟ දී ප්‍රාදූර්භුත වන දීප්තිමත් ආලෝකයක් හා මියගිය ක්‍රිස්තුතුමාගේ ආමන්ත්‍රණයක් හේතුකොට ගෙන මහත් කම්පනයකින් තැති ගෙන ඉන් පසු ක්‍රිස්තු ධර්මය වැලඳ ගැනීම ක්‍රිස්තු ඉතිහාසයේ සන්ධිස්ථානීය සිද්ධියකි. මේ සිද්ධිය විද්‍යා පුනරුදයේ (Renaissance)ප්‍රධාන චිත්‍ර ශිල්පියකු වූ කරවජ්ජියෝගේ (Conversion of St. Paul, Caravaggio) ප්‍රකට චිත්‍රයට පාදක වේ.

පසුව පාවුළු නමින් ප්‍රකට වන ප්‍රධාන ක්‍රිස්තු පඬිවරයකු වූ ඔහු ක්‍රිස්තු ධර්මයේ ප්‍රධානතම ලේඛන සංග්‍රහය වූ අලුත් ගිවිසුමේ ලේඛන රැසක කර්තෘත්වය දරයි. මහා ඇලෙක්සැන්ඩර්ගේ යුගයේ පටන් ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානයක් ලෙසත්, පුරාණ විශ්ව විද්‍යාලය නිසා සුළු ආසියාවේ ප්‍රධාන ශාස්ත්‍රීය මධ්‍යස්ථානය ලෙසත් ප්‍රකට වූ ටාර්සස් නගරයේ උපන් ඔහු ඇරමයික (හීබෲ)හා ග්‍රීක වියතෙකු වූ අතර ක්‍රිස්තු ධර්මයවැලඳ ගන්නට පෙර ස්ටොයික දර්ශනවාදියකු (Stoic Philosopher) විය.

දෙවියන් විසින් තොරා ගන්නා ලද දෙව් බඳුන (Chosen Vessel) යන උපමාවෙන් ඩාන්ටේ ඔහු ඇමතීමේ ඓතිහාසික, දාර්ශනික හා කාව්‍යමය පසුතලය එලෙසින් ප්‍රතිනිර්මාණය වන අතර ඩාන්ටේ තමාගේ චූලභාවය පෙන්වීමට තෝරා ගන්නා චරිත ඉතාමත් දැවැන්ත ඒවා බව ඉන් තහවුරු වේ.‘ඉන් පසු අපාය දක්නා වර ලද මුනිවර පාවුළු මනු සත අතරින් දෙවියන් තේරූ දෙව් බඳුනක් විය.’

එනමුත් ඩාන්ටේ සඳහන් කරන සාන්ත පාවුළුගේ අපාය ගමන බයිබල් මූලාශ්‍රයකින් උත්පාදනය නොවන අතර එය කැනොනික හෙවත් පිළිගත් ප්‍රමාණික ආගමික ග්‍රන්ථ මාලාවට ඇතුළත් නොවන (Non-canonical) Apocalypse of Paul හෙවත්Visio Sancti Pauliනම් මධ්‍යකාලීන ලේඛනය ඇසුරු කර ඇත. ඒ ලේඛනය අනුව දෙවියන්ගේ සුරදූතයකු විසින් සාන්ත පෝල් අපාය පෙන්වීම සඳහා කැඳවා ගෙන යනු ලැබේ.

ඔහු එහි දකින්නේ බියකරු අවතාර මහත් රාශියකි (terrible forest of ghosts). ද්වේශ සහගත ලෙස නින්දා අපවාද පැතිර වූවන්ගේ අවතාර (Ghost of Slander), සල්ලාලයින්ගේ අවතාර (Ghost of Fornication), කෝපගත්තවුන්ගේ අවතාර (Ghost of Anger), මුසාවාදකාර අවතාර (Ghost of Falsehood), උද්ධච්ච අහංකාරයින්ගේ අවතාර (Ghost of Pride), වහා කිපෙන්නවුන්ගේ හිංසක අවතාර (Ghost of Irritability ) යනාදිය එහි සිටින පාම් අතු රිකිලි අතින් ගත් සුන්දර රන්වන් සුරදූතියෝ ද එහි සිටිති. පෝල් ඒ ගැන තමා එහි රැගෙන ආ සුරදූතයාගෙන් විමසූ විට දැන ගන්නට ලැබෙන්නේ සත්‍යයේ සුරදූතයන් (Angles of Truth) වූ ඔවුහුසත්‍යවාදී පුද්ගලයින් (Truthful Souls) මියගිය විට ඔවුන්ගේ ආත්මයන් දෙවියන් වෙත කැඳවා ගෙනඑන්නට මහ පොළොවට යවන්නන් බව යි. මෙවැනි සාහිත්‍ය නිරූපණයන් ලෝක විනාශය පිළිබඳ හෙළිදරව් කිරීමේ (Apocalypse) සම්ප්‍රදායට අයිති වන අතර එය පරමරාජ්‍යයේ (Utopia) ප්‍රතිපාර්ශ්වය වූ දුෂ්රාජ්‍ය නවකථා සාහිත්‍යයේ හා සිනමාවේ (Dystopian novel and cinema)අතීත පුරෝගාමියා වීමෙන් ජෝර්ජ් ඕවල්ගේ 1984, ජෝශෆ් කොන්ඩ්‍රඩ්ගේ ‘ හාට් ඔෆ් ඩාර්ක්නස්’(Heart of Darkness), මිෂෙල් හූල්බෙක්ගේ ‘සබ්මිෂන්’(Submission) හා ෆෝඩ් කපෝලාගේ ‘ඇපොකලිප්ස් නව්’(Apocalypse Now) චිත්‍රපටි වෙනුවෙන්ශානරීය අනන්‍යතාව, සෞන්දර්යවේදය හා රෙටොරිකය (rhetoric) ලබා දෙයි.එහි සිංහල කලා අනුවර්තන ගුණදාස අමරසේකරගේ ‘අසත්‍ය කතාවක්’, සරත් ආරියරත්නගේ ‘මේ කාගේ මේ කමතා’ වැනි නවකථාවල හා අශෝක හඳගමගේ ‘ඇන්ටික් කඩේක මරණයක්’වේදිකා නාට්‍යයේ දැකිය හැකි ය.

ඔබගේ අදහස් අපට එවන්න.