දිව්‍යමය ප්‍රහසනය වෙළුම 1:
අපාය - තුන්වෙනි සර්ගය දිව්‍යමය ප්‍රහසනය ( පැදි XVIII - LXIII )

2022 අගෝස්තු 7

කිවිඳුන් මට දුන් උපදෙස පිළිපැද

බලනා විට මම දුටුවෙමි බැනරය

ඉමහත් වේගෙන් පෙරට ඇදී යන

සිටුවන පොළොවක් ඊට අහිමි ලෙස.-*1

බැනරය පසුපස දිව එන සෙනඟකි

පේත පෙරහැර කෙළවර නොපෙනිණ,

දුට එක පොදියට දුවන පේත කැල

නොසිතේ මරු වුව එතරම් ලොබ දැයි. -*2

උන් අතරින් මම හඳුනමි ඇතැමුන්

දුටුවෙමි උන් මැද මහ බියගුල්ලා,

කියනු නොහැකි ඒ දරුණු තුච්චතම

පාවා දීමට නිසැකව මුල් වුණු.-*3

එකෙණෙහි වැටහිණ මේ මා දකිනේ

අධම නිකායෙහි ප්‍රේත පිරිස බව,

දෙවියන්ටත් පරසතුරු පිරිසටත්

එක සේ පිළිකුල් පිශාචයින් උන්.-*4

ඒසා කාටත් පිළිකුල් වූවෝ

වාසල් දොරකඩ ඇවිදිති හෙලුවෙන්,

සැබැවින් මේ ලොව දිවියක් නොගෙවූ

උන්ට පහර දෙති දෙබර බඹර මුළු.-*5

උන්ගේ මුහුණේ ඇඳී රුහිරු ඉරි

කඳුළු රුහිරු දෙක මුසු වේ එකිනෙක,

දෙඅයුරක දියරය වැටේ දෙපා මුල

අනත ඉහඳ පණු ජරා සැරව මත. -*6

ඒ නර පණුවන් දෙනෙතින් පසුකොට

දැක්කෙමි සෙනඟක් මහ ගඟ අසබඩ,

ගණිනට නොහැකි ය ඉමහත් සෙනඟකි,

එතෙරක් නොපෙනෙන බියකරු නදියකි.-*7

“කියනු පහදා කවුද ඒ දන,

අඳුර ගලනා ගොම්මනේ වුව

එතෙර වන දැඩි වුවමනාවෙන්

මහ නදී තෙර බලා සිටිනා?” -*8

“සියලු දේ මම ඔබට පහදමි

අනත වැලපුම් සුසුම් එක් වුණු

අධම ඇකොරොන් නදී ඉවුරෙහි

මඳ ඇසිල්ලක් ලබන නිමෙසෙහි.” -*9

මහත් නින්දා ලැබූ විලසින්

සලිත දෙනුවන් බිමට බරකොට

වැරදි මොහොතක කතා කළ සේ

ඉවුර දක්වා ගොළුව සිටියෙමි. -*10

එසැණ දුටුවෙමි අප දෙදෙන වෙත

නදිය පීරා ඇ‍දෙන අඟුළක්,

තොටි හිසෙහි විය පැරණි හිසකේ

දවයි දෙසවන මහලු කැත බස. -*11

“දුක ම වේවා තොපට විපරිත

දෙව් ලොවේ යන පැතුම අත් හළ!

රැගෙන යන්නෙමි එහා ඉවුරට

ශීත ගනඳුර ගිනි ද ඇවිළෙන.” -*12

“තවම නොමැරුණු මිනිස තොප යව

අතැර මළවුන් මෙතැන රොක් වුණු,

” නමුත් බැහැරට නොගොස් රැඳුණෙමි

බොහෝ දුක් පිරි අඳුරු ගංතෙර. -*13

කොවින් පැවසී මෙලෙස තොටියා,

“තොපට නොව මේ දළ තීර්ථය

නදිය සතු වේ තවත් තොටමුණු

එතෙර යා හැකි නොබර අඟුළින්.”-*14

මඟ ලකුණු දන්නා මා නියාමක

වහා “ හාරොන් ” කියා ඇමතී,

“කළොත් අදිටන සිතින් දැඩි ලෙස

ඊට නිසි මහ බලය හිමි වේ.” -*15

“දනුව! හාරොන් කරුණු නිවැරදි

කෝපයට නිසි කාලය ද මේ?”

ලොමින් හැඩිවුණු මහලු කම්මුල්,

සක දෙකක් ලෙස කොවින් ඇවිළෙන, -*16

දෙනෙත වෙත ආ බැවින් නිහැඬිය

මහලු යම වත පිළිමයක් විය.

නමුත් බිඳිමින් නිසල ගල වුව

නිකුත් විය මහ හැඬුම් අපමණ.-*17

තීර්ථකයා දැනුම් දුන් විට

තමන් වෙත පැමිණෙනා දුක්කඳ,

නිරුවතින් සිටි ආත්ම සනුහර

වහා මොර දුනි බියෙන් එකවර.-*18

ඔවුන් සතු වුණු පැහැ වෙනස් විය, ‍

බියෙන් ඇලළුණු හෙලුව මතු විය,

දෙතිස් මළගිය දත් ගැටෙන හඬ

වධක බෙරයක් විලස මතු විය.-*19

දෙව් බඹුන් හට සාප අපමණ,

මාපියන් හට සාප එපමණ,

මිනිස් වංශය සාප ලද්දෙ ය,

කාලයා වුව සාප ලද්දෙ ය. -*20

රඳන තැන වුව සාප ලද්දෙය,

උපත සහතික කෙරුණු බිජුව ද,

කුසින් මෙලොවට පැමිණි දිනය ද,

සාප සිඳු මැද ගිලී නැසුණෙ ය. -*21

සාප කළ පසු සොවින් වැලපී

සුරන් නොතැකූ පිරිස් කැඳවන

කුරිරු තෙර මහ සෙනඟ පොදි බැඳ

බලා සිටියා අඟුළ එන තුරු.-*22

අධම හාරොන් නම් තීර්ථක

අඟුරු දැවෙනා රතැස් නළියන,

අතින් සන්කොට සියල්ලන් හට

අවල දික්කොට පහර දුන්නා, -*23

කිසි ම කඩිසර කමක් නොතිබුණු

ඉතා කම්මැලි පාපියකු හට.

තීර්ථකයා ළතෙත් ගති නැති

අඟුළ පුරවා සෙනඟ ගත්තා. -*24

දෙරණ තල මත විසුල පරඬැල්,

තමන් දෑසින් දකින තෙක් අතු

එකින් එක කොළ වැටෙන සෘතුව

අපා දොර වෙත පැමිණි අයුරින්, -*25

පළමු පව කළ පැරණි මිනිසා

හෙළූ පිළිකුල් පාප බීජය,

වැටෙයි ඉවුරින් අඟුළ ඇතුළට

එකා පස එකිනෙකා පැමිණෙයි. -*26

තීර්ථක සන් කරයි ඔවුනට,

තමන් ගොදුරට ඇම දමන ලෙස

කපටි යම ගිජු ලිහිණි නපුරකු,

එවිට ජනයෝ නඟිති අඟුළට. -*27

එලෙස පව් කළ දනන් පුරවා

අඟුළ ඉවුරින් පිටත් වී යයි,

අඳුරු දියකඳ දෙබෑ කරමින්

වහා ළං වේ එහා ඉවුරට. -*28

අඟුළ එතෙරට ළඟා වනු පෙර

අලුත් සෙනඟින් පිරෙයි මෙතෙර ද,

උන් ද සාපය මුලින් වපුරති,

ඊට පසු දුක් සුසුම් වගුරති.-*29

“මපුත නිම් නැති දේව උදහස

ලබා දැවෙනුව කෙළවරක් නැති

විසල් ජනකඳ කුරිරු තෙර වෙත

සිව් දිසාවෙන් මෙලෙස පැමිණෙති.”-*30

කුළුණු ගුණ පිරි පතළ නැණ හිමි

ඇදුරු හෙළි කළ පුවත එලෙස ය.

“එක ම අරමුණ නදිය තරණය

ඊට ලොබ බැද සිටිති මේ දන.” -*31

“උනුන් සිත් අසු ගමන පොලඹන

තියුණු සන් කටු දේව යුක්තිය,

ඔවුන් අත්විඳි දරුණු භීතිය

සිත්හි ආශා මනදොළක් වේ.” -*32

“සාධු ගුණ පිරි එක ද මිනිසෙක්

නදී තරණය පිණිස නොවඩියි,

තීර්ථක හාරොන් ද ගුගුළේ

දනුව නුඹ සත්ගුණ නිසාවෙනි.” -*33

ඇදුරු නිම කළ සැණින් ඒ බස

රුදුරු ඒ බිම කම්පනය විය,

දැනිණ ඇති වන භූමි චලනය

තවම දහඩිය දමයි මතකය. -*34

කඳුළු නිම්නය නැඟී සුළඟක්

රතැස් අවබිය රැඳුණු අහසට

තෙපුල් නංවා හමා ගෙන යන,

මගේ ඉඳුරන් මට අහිමි විය. -*35

පැමිණි අපමණ සැහැසි සරතැස

තවත් දරන්නට නොහැකි මඟියකු

ගැඹුරු නින්දට වැටෙන අයුරින්

මම ද දෙනයන පියා ගත්තෙමි. -*36

තුන්වෙනි සර්ගය නිමි.

ඩාන්ටේ තම මාර්ගෝපදේශක මහ කවි වර්ජිල් සමඟ අපාය අභ්‍යන්තරයට යන ගමන අරඹමින් වාහල්කඩ හා ප්‍රවේශ ශාලාව පසු කරන අතරේ ශාප ලද්දවුන්ගේ (damned souls) මුල් පිරිස දකියි. අපායට නොවැටුණ ද ඔවුන් අත්විඳින දඬුවම දකියි. ඔහු මුලින් දකින්නේ හේතුවක් නැති වේගයනින් බැනරයක් පසුපසින් දුවන පිරිසකි. ඒ පිරිස පසුපසින් අසංඛ්‍ය සංඛ්‍යාත පිරිසක් ද දිව එති.

ඒ මරණය විසින් ගොදුරු කර ගනු ලැබ ඇතැයි සිතන්නට නොහැකි තරමේ මහා සෙනඟකි. නිරුවතින් දුවන ඔවුන්ට දෙබරු හා බඹරු (hornets and wasps) වට කර ගෙනඅනිති. ඔවුන්ගේ මුහුණුවලින් ලේ දහරා ගලයි. කඳුළු ද මුසු වී ඒවා ඔවුන්ගේ දෙපා මුල වැටෙන අතර තුවාලවල සැරවයෙහි ඉහඳ පණුවෝ (maggots) සිටිති. මෙසේ දඬුවම් ලබන සියල්ලන් හේමාලයින් (Shades) වන අතර ඔවුන් අතරින් කිහිප දෙනෙකු හඳුනා ගන්නට ඩාන්ටේ සමත් වේ. ඉන් එක් අයෙකු ‘මහා පාවා දීමක් හෙවත් ප්‍රතිෂේපයක්’ කළ බියසුල්ලා බව ඩාන්ටේ කියයි. එනමුත් ඔහුගේ නම නොකියවේ.

ඒ පිරිස පසු කරමින් දෙනෙත් යවන ඩාන්ටේ මහත් පළලින් යුතු ගංගාවක ඉවුරේ විශාල පිරිසක් රැස් කකා සිටිනු දකියි. හාත්පස ඇත්තේ මන්දාලෝකයක් පමණි. වර්ජිල් අමතන ඩාන්ටේ ඔවුන් ඒ තරම් උනන්දුවකින් ගං ඉවුරේ බලා සිටින්නේ මන්දැයි විමසයි.

එවේලෙහි පැහැදිලි කිරීමක් නොකරන වර්ජිල් පවසන්නේ ‘ඇකොරොන්’ නම් ඒ වේදනාකාරී නදිය ඉවුරේ මඳ වේලාවක් රැ‍ඳෙන්නට ඉඩ ලැබුණු විට කරුණු පැහැදිලි කර දෙන බව යි. නුසුදුසු අවස්ථාවක තමා ඒ ප්‍රශ්නය ඇසූ බව කල්පනා කරමින් ඩාන්ටේ ලජ්ජාවෙන් බිමට බලා ගනියි. නදී ඉවුරට ළඟා වන තුරු ඔහු නිහඬව සිටියි.

හිටිහැටියේ අදුරු නදියෙන් මතු වන යාත්‍රාවක් ඔහු දකියි. එහි තොටියා මහල්ලෙකි. සැරපරුෂ මිනිසකු වූ තොටියා මෙගොඩට ළං වෙමින් කෑගසා කියන්නේ තමා විසින් විපරීත ආත්මයන් සදාකාලික අන්ධකාරය, අයිස් සහ ගින්න (eternal darkness, ice and fire) සහිත එගොඩට රැගෙන යන තීර්ථකයා බව ය.

ඩාන්ටේ මළ මිනිසකු නොවන බව තොටියා දකියි. මළවුන්ගෙන් ඈත් වී සිටින ලෙස තොටියා ඩාන්ටේට කියයි. එනමුත් ඩාන්ටේ නොසෙල්වී බලා සිටින බව දකින තොටියා, ඩාන්ටේ වැන්නන්ට එගොඩ විය හැකි වෙනත් තොටුපළක් ග‍ඟේ ඇති බවත් හා එහි ගොස් සැහැල්ලු අඟුළකින් එතෙර යා හැකි බවත් පවසයි.

එවිට වර්ජිල් ‘හාරොන්’ (Charon) නමින් ඔහු අමතයි. මේ ගෙවෙන්නේ කෝපාවිෂ්ට විය යුතු මොහොතක් නොවන බවත්, චේතනාවක් තිබේ නම් ඒ චේතනාව බල ගැන්වෙන (power is for what is willed) බවත් ඔහු දැන ගත යුතු බව දෘඪ ස්වරයෙන් පවසයි. කෝපයෙන් දැවෙන දෙනෙත් ඇති මහල්ලා එවිට නිහඬ වේ.

තම විනාශය (doom) පැවසෙන හාරොන්ගේ දැනුම්දීම (announcement of Charon) අසන නිරුවත් හේමාලයින්ගේ වර්ණය වෙනස් වෙයි. දත් කිටි කිටි හා ගැටෙයි. ඔව්හු තම ඉරණම අසා මහ හඬින් බෙරිහන් දෙමින් දෙවියන්ට ද, තම දෙමාපියන්ට ද, මුළු මහත් මිනිස් වංශයට (human race) ද, එම කාලයට හා ස්ථානයට ද, තමන්ගේ උපතට මුල් වුණු කලල බීජයට (seed of their begining) ද සාප කරති(curse).

ඉන් පසු ඒ සියල්ලෝ මහ හඬින් විලාප දෙති. ජීවත් වී සිටිද්දී දෙවියන්ට අකීකරුව පව් කළවුන්ගේ එම කෲරතර ඉවුරේ ගොනු වෙති. බෝට්ටුවට නඟින ලෙස ඔවුන්ට සංඥා කරන හාරොන් නම් යක්ෂයා (devil) හෙවත් යක්ෂ තීර්ථකයා එක් අලස පාපිෂ්ටයකුට හබලෙන් පහර දෙයි. ඔහුගේ ඇස් ගිනි ගත් ගල් අඟුරු (glowingcoals) වැනි ය.

ඉන් පසු එකිනෙකා වෙන් වෙන් වශයෙන් යාත්‍රාවට නංවා ගන්නේ තුරු ලතාවලින් පත් ගිලිහෙන ශරත් සෘතුවේ (autumn) දී ගිලිහී බිම ගොඩවුණු පරඬැල් තට්ටු දෙස ගසක අත්තක් බලා සිටින අයුරිනි. එසේ පව්කාරයින් නංවා ගන්නා තොටියා තම යාත්‍රාව එහා ඉවුරට රැගෙන යයි. එලෙස යාත්‍රාව ඈත ඉවුරට ළඟා වන්නට පෙර ම තවත් මහ සෙනඟක් මෙහා ඉවුරේ එකතු වෙයි.

වර්ජිල් ‘මා පුත’ යනුවෙන් ඩාන්ටේ අමතා සියල්ල විස්තර කර දෙන්නේ ඉන් පසු ය. ඒ පැහැදිලි කිරීම අවසන් වෙත් ම අඳුරු පොළොව වේගයෙන් සෙලවෙන්නට පටන් ගන්නා අතර ඒ ගැන නැවත කල්පනා කරන විට පවා දහඩිය දමන තරමේ මහත් බියක් ඇති වන බව ඩාන්ටේ කියයි. පොළොවේ සලිතය සමඟ කඳුළු නිම්නයේ මහා සුළඟක් ඇති වේ. ඩාන්ටේගේ සිහිය තුරන් වී යයි. ඔහු තද නින්දට වැටේ.

-*1 -*2. ජීවත් වී සිටිද්දී කළ පව් වෙනුවෙන් සුර ලොවේ ප්‍රතිපක්ෂය වූ අපායෙහි දී දේව ඵලවිපාක ඇති වන්නේ පරාස්ථාපන (contrapasso) ස්වරූපයෙන් බව මාර්ක් මූසා කියයි. එනම් දඬුවම පාපය සිදු කළ ආකාරයට ගැලපෙන ස්වරූපයකින් සිදු වේ.

මේ පැදි කිහිපයේ දී අපක්ෂපාතීව, පැත්තක් නොගෙන මධ්‍යස්ථව සිටීමේ පාපයට (sin of neutrality) ලබන දඬුවම වන්නේ එකී නිෂ්ක්‍රීයතාව(inactivity) වෙනුවෙන් දණ්ඩනමය සක්‍රීයතාව නියම වීම යි. ඒ අනුව ඔවුන්ට බැනරයක් පසු පසින් දුවන්නට සිදු වේ.

මෙලොව ජීවත් වී සිටිය දී ඔවුන්ට බැනරයක්, සටන්පාඨයක් නොතිබුණි. දැන් දඬුවම ලෙස ඔවුන් අත්විඳින්නේ සදාතනිකව නොනැවතී දිවීම යි. ‘කිවිදුන් මට දුන් උපදෙස පිළිපැද, බලනා විට මම දුටුවෙමි බැනරය, ඉමහත් වේගෙන් පෙරට ඇදී යන, සිටුවන පොළොවක් ඊට අහිමි ලෙස.’

වර්ජිල් විසින් ඩාන්ටේට කලින් දී තිබුණු උපදෙස වූයේ මෙලොව සලකුණවක්වක් ඉතිරි නොකර මියගිය ඔවුන්‍ අසල රැ‍ඳෙන්නට කාලය නාස්ති නොකරන ඔවුන් දෙස බලමින් ඉදිරි ගමන යන (look and pass) ලෙස ය.එසේ නතර නොවී ඉදිරියට යන අතරේ ඒ සාප ලද්දන් අත්විඳින දඬුවම ඔහු දකියි. ‘බැනරය පසුපස දිව යන සෙනඟකි, පේත පෙරහැර කෙළවර නොපෙනිණ, දුට එක පොදියට දුවන පේත කැල, නොසිතේ මරු වුව එතරම් ලොබ දැයි.’

බැනරයට නැවතීමක් නැති අතර එය පසුපසින් දුවන පෙළපාළියට ද නැවතුමක් නැත. ජීවත් වී සිටිය දී නිෂ්ක්‍රීය සිටියවුන් අපායෙහි සදා සක්‍රීය කර ඇත. මෙලොවේ දී බැනරයක් නොතිබුණු නිසා බැනරයක් ද ලැබී ඇත.

ඒ සෙන‍ඟෙහි විශාලත්වය දකින ඩාන්ටේ පුදුම වේ. මරණයට ඒ තරම් සෙනඟක් ගොදුරු කර ගත හැකි දැයි ඩාන්ටේ කල්පනා කරයි. ‘I wondered how death could have undone so great a number’ යන කාව්‍ය ලෝකයේ එම ප්‍රකට යෙදුම, ටී. එස්. එලියට් ‘මුඩුබිම’ (The Waste Land, 1922) කාව්‍යයේ දී ‘I had not thought death had undone so many’ යනුවෙන් යොදා ගෙන ඇත. එලියට් එසේ කරන්නේ ලෝක යුද වාතාවරණය මැද ලන්ඩන් පාලම පසු කර යන ජනකාය විස්තර කිරීම වෙනුවෙනි. තම කාව්‍යයේ ලතින් උධෘතයේ දී ද ඔහු ඩාන්ටේ උපුටයි.

බැනරය පසුපසින් අතිමහත් සෙන‍ඟක් දුවන බව පැවසීමෙන් ඩාන්ටේ කවියාගේ දැඩි දේශපාලනික හා දාර්ශනික ස්ථාවරයන්ගේ ස්ථායිතාව, ඒ වෙනුවෙන් ඔහු අත්විඳින ලද මහත් විපාකය සහ තත්කාලීන ඉතාලි සමාජය තුළ නිෂ්ක්‍රීය පුද්ගලයින්ගේ සමාජ තලයේ විශාලත්වය ගැන හැඟවේ.

-*3. ජීවත් වන අතරේ කිසිදු ස්ථාවරයක් දරා සිටින්නට තරම් කැපවීමක් නොපෙන්වීම නිසා සුර පුරෙන් මෙන් ම අපායෙන් ද ප්‍රතික්ෂේප වී මීටර් සියයේ ධාවන පථයක මෙන් ප්‍රවේශ භූමියේ දිව යන්නන් අතර සිටින කිහිප දෙනෙකු හඳුනා ගන්නට ඩාන්ටේ සමත් වන අතර එක් අයෙකු ගැන විශේෂයෙන් සඳහන් කරයි.

ඩාන්ටේ ඒ තැනැත්තා හඳුන්වන්නේ ‘මහා ප්‍රතික්ෂේපය සිදු කළ බියගුල්ලා’ (the coward who hadmade the great refusal) ලෙසිනි. ‘උන් අතරින් මම හඳුනමි ඇතැමුන්, දුටුවෙමි උන් මැද මහ බියගුල්ලා, කියනු නොහැකි ඒ දරුණු තුච්චතම, පාවා දීමට නිසැකව මුල් වුණු.’

මේ හේමාල රූපය කාගේ දැයි හදුනා ගැනීම උගහට ය. ඩාන්ටේ පවසන මේ ‘මහා ප්‍රතික්ෂේපය’ කුමක් ද? එය සිදු කළ අසාමාන්‍ය භ්‍රෂ්ට චරිතය කවරෙක් ද? ඒ සම්බන්ධයෙන් අර්ථකථකයින් අතර ද එකඟතාවක් නැත. මාර්ක් මූසා ඒ වෙනුවෙන් යෝග්‍ය චරිත මාලාවක් ඉදිරිපත් කරන අතර බොහෝ දුරට ඒ තැනැත්තා ක්‍රිස්තුතුමාට මරණ දඬුවම දීම හෝ නිදහස් කිරීම හෝ සිදු නොකර ස්ථාවරයක් නොගැනීම සිදු කළ අවස්ථාවාදී පොන්ටියස් පිලාත් (Pontius Pilate) නමින් ජුදෙයාවේ ( වර්තමාන ඊශ්රායලයේ සහ බටහිර ඉවුරේ කොටසක් ) රෝම ප්‍රාදේශීය ආණ්ඩුකාරයා විය හැකි බව පවසයි. චූදිතයාගේ නිර්දෝෂභාවය ගැන තමාගේ විශ්වාසය අනුව කටයුතු නොකර සතුරු උද්ඝෝෂකයින්ගේ හිතුමතයට ඉඩ දීම එතුමා කුරුසියේ මරා දමන්නට හේතු විය.

“පිලාත් ඔවුන්ගේ ඉල්ලීම පරිදි තීන්දුව දුන්නේ ය... ඔහු ජේසුස් වහන්සේ ඔවුන්ගේ හිතුමතයට පාවා දුන්නේ ය.” (ශුද්ධ බයිබලය, ශුද්ධවර ලූක් 24-5, ශ්‍රී ලංකා බයිබල් සමාගම, 1990, පිටු 110 - 11)

“දෙවිඳුන් විසින් බලය නොදෙන ලද්දේ නම්, මට විරුද්ධව ඔබට කිසි බලයක් නැත. එබැවින් මා ඔබ අතට පාවා දුන් තැනැත්තාගේ පාපය වඩාත් බරපතල ය... ” (ශුද්ධ බයිබලය, ශුද්ධවර ජොහාන් 11, ශ්‍රී ලංකා බයිබල් සමාගම, 1990, පිටුව 143)

“... පිලාත් වතුර ගෙන, ජනකාය ඉදිරියේ අත් සෝදමින්, ‘මේ මනුෂ්‍යයාගේ ලේ ගැන මම නිදොස් ය. ඔබ ම වගබලා ගන්නැයි’ කී ය.” (ශුද්ධ බයිබලය, ශුද්ධවර මතෙව් 24, ශ්‍රී ලංකා බයිබල් සමාගම, 1990, පිටුව 40)

“පිලාත් ජනතාව සතුටු කරන්නට කැමැතිව, බරබ්බස් ඔවුන්ට නිදහස් කර දී, ජේසුස් වහන්සේට කසයෙන් තළවා, කුරුසියෙහි ඇණ ගසනු පිණිස භාර දුන්නේ ය.” (ශුද්ධ බයිබලය, ශුද්ධවර මාක් 15, ශ්‍රී ලංකා බයිබල් සමාගම, 1990, පිටුව 67)

එනමුත් ඩාන්ටේ සමඟ විප්‍රවාසයෙහි (exile) සිටි ඔහුගේ පුත් යකොපො ඇලිගේරි පවසන්නේ මේ චරිතය මාස පහක් සහ දින අටක් තරමේ කෙටි කලකින් පාප් ධූරය අතහැර ගිය තාපස සෙලෙස්ටීන් නම් ඓතිහාසික චරිතය බව ය. එනමුත් මුල් කාලීන රෝම පඬිවරයකු හා මානවවාදියකු වූ පෙට්‍රාක් ඒ තාපස - පාප්වරයා බියසුල්ලෙකි යන මේ මතය ප්‍රතික්ෂේප කරයි.

ඩාන්ටේ සඳහන් කරන්නේ 5 වෙනි සෙලෙස්ටීන් පාප්වරයා ගැන නම් ඔහු ‘මහා ප්‍රතික්ෂේපය’ ලෙස දකින්නේ සුපුරුදු හුදකලා තාපස දිවිය පිණිස බරපතළ වගකීම සහිත පාප් ධූරය අත්හැරීම ය. 5 වෙනි සෙලෙස්ටීන් පාප්වරයා තම තනතුර අත්හැර දැමීමෙන් පසු බලයට පැමිණියේ ඩාන්ටේ පිටුවහල් කරන්නට නියෝග දුන් 8 වෙනි බොනිෆස් පාප්වරයා නිසා සෙලෙස්ටීන් පාප්වරයා සම්බන්ධයෙන් ඩාන්ටේ තුළ නොකැමැත්තක් තිබෙන්නට ඇතැයි කල්පනා කිරීම ද සාධාරණ ය. 5 වෙනි සෙලෙස්ටීන් පාප්වරයා රෝම පරිපාලන හා ශාසනික කටයුතුවලට වඩා තාපස වෘතය පිරූ පාප්වරයකු නිසා එතුමාගේ පාලනය ඩාන්ටේට වඩාත් සහනදායි වාතාවරණයක් ඇති කරන්නට ඉඩ තිබුණි.

කොයි අතින් බැලුවත් ඩාන්ටේ සමාජයීය මිනිසාගේ ‘අනුත්සුක උපේක්ෂාව’ (indifferance) හෙළා දකින බවත්, සදාචාර, දේශපාලනික හා සමාජ ප්‍රශ්න සම්බන්ධයෙන් පුද්ගලයාගේ මැදහත් වීම බලාපෙරොත්තු වුණු බවත්, එසේ නොවූවන් සම්බන්ධයෙන් කර්කශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත් පෙනේ. මේ කාරණය නිසා ඇමරිකාවේ වහල් ක්‍රමය අහෝසි කිරීම (Abolitionism) සඳහා වූ දුෂ්කර සහ ශ්‍රේෂ්ඨ ව්‍යාපාරයේ දී එහි චින්තකයින්, කවීන් හා දේශපාලනඥයින් විසින් ඩාන්ටේ නිදහස හා විමුක්තිය වෙනුවෙන් හඬ අවදි කළ තැනැත්තෙකු ලෙස සලකනු ලැබී ය. ඩාන්ටේ ඇමරිකානු - නීග්‍රෝවරුන් අතර විමුක්තවාදියකු ලෙස පිළිගැනිණි.

වහල් ක්‍රමය නැති කිරීමේ ව්‍යාපාරයේ, ඇමරිකානු සිවිල් යුද්ධයේ සහ එම යුද්ධය නිසා බෙදුණු උතුරු දකුණු ජනපද නව ප්‍රතිපත්තිය යටතේ නැවත එකතු කිරීම වෙනුවෙන් පෙනී සිටි මැසචුසෙට්ස් සෙනට්වර චාල්ස් සමර් මෙන්ම ෆ්‍රෙඩ්රික් ඩග්ලස්, හෙන්රීටා කෝඩීලියා ඇතුළු ඇමරිකානු දේශපාලනඥයෝ සහ සංස්කෘතික නායකයෝ ඩාන්ටේ වහල් ක්‍රමය අහෝසි කිරීමට දායකවන්නන්ගේ ලැයිස්තුවේ තබා ගත්හ.

වහල් ක්‍රමය ඇමරිකානු එක්සත් ජනපද භූමියෙන් අතුගා දමන්නට හා ඒ ප්‍රබුද්ධන මූලධර්මය තුළ සියලු ජනපද එකතු කරන්නට මෙහෙය වුණු ශ්‍රේෂ්ඨ ඇමරිකානු කවියකු සහ අධ්‍යාපනඥයකු වූ හෙන්රි වඩ්ස්වර්ත් ලෝංෆෙලෝ ‘දිව්‍යමය ප්‍රහසනය’ සම්පූර්ණයෙන් ඉංග්‍රීසියට පරිවර්තනය කළ ප්‍රථම ඇමරිකානුවා විය.

අප්‍රිකානු - ඇමරිකානු සංස්කෘතිය තුළ ඩාන්ටේගේ කෘති වැදගත් ආවේශජනක මූලාශ්‍රයක් වුණු සැටිත්, අප්‍රිකානු - ඇමරිකානු ලේඛකයන් 1820 සිට එම නිර්මාණ කියවූ සැටිත්, අර්ථකථානය කළ සැටිත් ඩෙනිස් ලූනි 2011 වසරේ පළ කරන ලද ‘Freedom Readers: The African American Reception of Dante Alghieri’ කෘතියෙහි පෙන්නුම් කරයි. 19 වන ශතවර්ෂය අග භාගය වන විට ඩාන්ටේ රැඩිකල් ප්‍රතිසංස්කරණවාදියකු ලෙස සලකන ලද අතර නූතනවාදී නවකථාවක ගද්‍ය ශෛලියෙන් ලියනු ලැබුණි.

‘දිව්‍යමය ප්‍රහසනය’ වහල් ආඛ්‍යානයක් (slave narative) ලෙස ගැනුණු අතර ජනවාර්ගික වශයෙන් වෙන්කොට තැබීම (segrigation), ජන සංක්‍රමණය (migration) හා ජන සමෝධානය (integration) වෙනුවෙන් ඩාන්ටේ නම් ශ්‍රේෂ්ඨ මධ්‍යකාලීනයාගේ හඬ අවදි කරවීමට උත්සාහ කෙරිණ.

ඩාන්ටේ විසින් ඊනියා මධ්‍යස්ථභාවය නොඉවසනු ලැබීම ඔහුගේ සැබෑ පෞරුෂය සමඟ ද බැඳී තිබුණු ලක්ෂණයක් ව පෙනේ. චරිත ස්වභාවය අතින් ඔහු සොක්‍රටීස්ට සමාන විය. බියසුල්ලෙකු නොවූ ඩාන්ටේ වසර 1289 ජූනි 11 දින ඇති වූ කැම්පාල්ඩීනෝ සටනට (Battle of Campaldino) සහභාගි වෙමින් සිය කායික හා මානසික ධෛර්ය පෙන්නුම් කළ අතර එම සටනේ දී සොල්දාදුවන් 21, 000 ක් අතරින් 3500 ක් දෙනා එදින මියගියහ. ඉන් දශකයට පසු ඔහු පාප්තුමා ඇතුළු මධ්‍යකාලීන යුරෝපයේ ඉතාමත් බලපෑම් සහගත වූ බල ගනුදෙනුකරුවන්ට (powerbrokers) එදිරිව ෆ්ලොරන්ස් කවුන්සිලවල (Florentine councils) ප්‍රමුඛ සාමාජිකයකු ලෙස කටයුතු කළේ ය.

-*4 -*8. ඩාන්ගේ තමාගේ ම දැක්මෙන් වහා වටහා ගත් කාරණයක් ඉන් පසු කියවේ. තමා දකින ඒ හේමාල සමූහය දෙවියන් ද, දෙවියන්ගේ සතුරන් ද එක සේ පිළිකෙව් කළ ‘නීච ආත්මයන්ගේ නිකාය’ (sect of evil soul) බව ඔහු තේරුම් ගනියි. ඒ බව වහා තේරුම් ගත් බව පැවසීමෙන් ඩාන්ටේට ඒ චර්යා ක්ෂේත්‍රය ගැන පූර්ව දැනුමක් හා ජුගුප්සාවක් පැවතුණු බව කියවෙන අතර ඩාන්ටේ සෘජු මිනිසකු විනා එවැන්නකු නොවන බව සනාථ වේ. ‘එකෙනෙහි වැටහිණ, මේ මා දකිනේ අධම නිකායෙහි ප්‍රේත පිරිස බව, දෙවියන්ටත් පරසතුරු පිරිසටත්, එක සේ පිළිකුල් පිශාචයින් උන්.’

ඉන් පසු ඒ පිරිස ලබන දඬුවම ගැන ද, ඒ ශාප ලද්දන් විඳින කරුමය ගැන ද පැවසේ. ‘ඒසා කාටත් පිළිකුල් වූවෝ, වාසල් දොරකඩ ඇවිදිති හෙලුවෙන්, සැබැවින් මේ ලොව දිවියක් නොගෙවූ, උන්ට පහර දෙති දෙබර බඹර මුළු.’

ඔවුන්ට එවැනි දඬුවමක් ලැබෙන්නේ අපායේ රජයන පරාස්ථාපන (contrapasso) න්‍යාය අනුව ය. ජීවිතයේ මධ්‍යස්ථව හා නිෂ්ක්‍රීයව කරබා ගෙන සිටි ඔවුන්ට දැන් දෙබරුන් හා බඹරුන් පහර දෙන විට එසේ මධ්‍යස්ථව හෝ නිෂ්ක්‍රෟයව හෝ සිටින්නට නුපුළුවන. ඩාන්ටේ කියන්නේ ඔවුන් ‘උපන්නාට වැනුණා විනා’ ජීවිතයේ ප්‍රතිවිරෝධතාවන් සහ පසමිතුරුතාවන් සමඟ පොර නොබඳින ලද බවකි.

ඔවුන් විඳින දඬුවම නිසා ඔවුන්ගේ මුහුණු ලේවලින් ඉරි වැටී ඇත. ලේ බිඳු කඳුළු ද සමඟ මුසු වී බිමට වැටේ. තුවාල පැසවීම නිසා ඇති වුණු ජුගුප්සාජනක සැරවයෙහි පණුවෝ ලගිති. ‘උන්ගේ මුහුණේ ඇඳී රුහිරු ඉරි, කඳුළු රුහිරු දෙක මුසු වේ එකිනෙක, දෙඅයුරක දියරය වැටේ දෙපා මුල, අනත ඉහඳ පණු ජරා සැරව මත.’

‘මධ්‍යස්ථභාවයේ දේශපාලනය’ (politics of neutrality) හෙළාදැකීම තුළ ‘දේශපාලන කැපවීම’ කෙරෙහි වූ ඩාන්ටේගේ නැඹුරුව පැහැදිලි වන අතර ඔහුගේ මහා කාව්‍යය දේශපාලනය වෙනුවෙන් ගැයෙන භාව ගීයක් බවට පත් වේ. මේ නිගමනය ‘අපාය’ ඇතුළු ‘දිව්‍යමය ප්‍රහසනය’ පිළිබඳ අධිකියවීමක් (over-reading) නොව නිසා ඩාන්ටේගේ කාව්‍යය කියවීමේ පුරාවිද්‍යාව (archiologyof reading of Dante) මඟින් සනාථ වන කාරණයකි. ඉන් මේ කාව්‍යයේ සර්වකාලීනත්වය මෙන්ම පැහැර හැරිය නොහැකි සමකාලීන අදාළත්වය ද තහවුරු කරයි. එය අපාය, පවිත්‍රාග්නිස්ථානය හා මෝක්ෂය (Inferno,Purgatorio and Paradiso) ඔස්සේ මරණින් මතු ජීවිතය කරා යන ෆ්ලොරන්ටියානුවකුගේ චාරිකා විස්තරය හා ලොව ප්‍රකටතම සංචාරාඛ්‍යානය (travelogue) වන අතරේඔහුට හමුවන මළවුන් අද ජීවත්වන්නවුන් වෙත ද වැදගත් පාඩම් කියා දෙයි.

ඒ නිසා කළු මිනිසුන් වර්ගවාදී ලෙස හෙළාදැකීමට (anti- Black racism) විරුද්ධ දේශපාලන කතිකාව තුළ අද පවා ඩාන්ටේගේ කාව්‍යය හෘදයාංගම ලෙස උධෘත කර ගැනේ. සදාචාර ධර්ම - අර්බුදයක දී අපක්ෂපාතව සිටීම ඩාන්ටේගේ කාව්‍යයෙහි දඬුවම් ලබයි.එනමුත් ඒ සැබෑ අපායේ නොව අපා දොරටුවේ සිට ඇකොරොන් නදිය දක්වා ඇති දිගු පෙදෙසේ දී ය. අපායට ප්‍රවිෂ්ට වීමට පෙර දකින ඒ දේවල් ඔස්සේ අපට ඩාන්ටේගේ සදාචාර විශ්වය (moral universe) අවබෝධ කර ගත හැකි වේ. වැට උඩ සිටියවුන් (fence-sitters), ඇත්ත - බොරුව සඟවා සිටියවුන්, දෙපැත්තට වැනි වැනී සිටියවුන් (wafflers)සහ අවස්ථාවාදීන්(opportunists) මේ විශේෂ අන්තරාලයේ සිටින අයුරු ඔහු දකියි. ඔව්හු සිහිබුද්ධියෙන් හා ස්වච්ඡන්දතාවෙන් යුතුව වඩාත් යහපත් දේ තෝරා නොගත්තහු වෙති. ඔවුන්ගේ සුරදූත පාර්ශ්වය ද දෙවියන් හා ලුසිෆර් අතර සිටිමින් යහපත වෙනුවෙන් ගෞරවය ද, අයහපත වෙනුවෙන් ගර්හාව ද නොලැබුවෝ වෙති. ඔවුන් ගැන කතා කරන්නටවත් එපා යැයි වර්ජිල් කියයි.

දෙබර හා බඹර ප්‍රහාරයට ලක් වෙමින්, කුණු වී ඕජස් ගලන තුවාල ඇතිව බැනරය පසුපස දුවන සෙනඟ දැකීමෙන් පසු ඔහු දකින්නේ බියකරු මහා නදියකි. එහි මෙහා ඉවුරේ විශාල ජනකායක් රැස් කකා සිටින්නේ යම් බලාපොරොත්තුවකිනි. ‘ඒ නර පණුවන් දෙනෙතින් පසුකොට, දැක්කෙමි සෙනඟක් මහ ගඟ අසබඩ, ගණිනට නොහැකි ය ඉමහත් සෙනඟකි එතෙරක් නොපෙනෙන බියකරු නදියකි.’

-*9 -*13. ඒ මහ පිරිස කවුද යන ප්‍රශ්නයත්, ඔවුන් ගඟ තරණය කරන්නට ඒ තරම් ගිජුව බලා සිටින්නට හේතු වුණු න්‍යාය (law) කුමක් ද යන ප්‍රශ්නයත් ඔහු වර්ජිල්ගෙන් විමසයි. ‘කියනු පහදා කවුද ඒ දන, අඳුර ගලනා ගොම්මනේ වුව, එතෙර වන දැඩි වුවමනාවෙන්, මහ නදී තෙර බලා සිටිනා?’

ඔවුන් දෙදෙනා පැමිණ සිටින්නේ ඇකරොන් (Acheron) නම් ආපදා නදි‍යේ ඉවුර සමීපයට ය. තවත් ඉදිරියට යන්නේ නම් ඔවුන් පාතාල දේශයට මළවුන්ගේ ආත්ම රැගෙන යන හාරොන් (Charon) නම් තොටියා සමඟ යා යුතු ය. ඔවුන්ට ඉවුරේ සිටින්නන්ගේ, එනම් අපායේ වේදනා විඳින්නට යන්නන්ගේ දුක් අ‍ඳෝනා හා මොර දීම් ඇසෙයි.

ඩාන්ටේගේ පැණයට පිළිතුරු දීම වර්ජිල් කල් දමයි. ‘සියලු දේ මම ඔබට පහදමි, අනත වැලපුම් සුසුම් එක් වුණු, අධම ඇකොරොන් නදී ඉවුරෙහි මඳ ඇසිල්ලක් ලබන නිමෙසෙහි.’

ඒ ප්‍රශ්නය නුසුදුසු මොහොතක ඇසූ බව සිතා ඩාන්ටේ ලැජ්ජාවට පත් වේ. ‘මහත් නින්දා ලැබූ විලසින්, සලිත දෙනුවන් බිමට බරකොට, වැරදි මොහොතක කතා කළ සේ, ඉවුර දක්වා ගොළුව සිටියෙමි.’

ඒ නිහැඬියාව මැද ඩාන්ටේ දකින්නේ ජල යාත්‍රාවක නැඟී එන මහලු තොටියෙකි. ‘එසැණ දුටුවෙමි අප දෙදෙන වෙත, නදිය පීරා ඇ‍දෙන අඟුළක්, තොටි හිසෙහි විය පැරණි හිසකේ, දවයි දෙසවන මහලු මුව බස.’ තොටියාගේ පෞරාණිකත්වය පිළිබඳ පැහැදිලි සඳහන ඔහුගේ මහලුකම පිළිබඳ හැඟවුමක් මෙන් ම එම චරිතය පුරාණෝක්තියෙන් ලබා ගත් බවට ද හැඟවුමකි. දෙවෙනි සර්ගයේ දී රාකෙල් නම් ස්ත්‍රී චරිතය සම්බන්ධයෙන් ද ‘පෞරාණික’ යන නාමවිශේෂණය යෙදිණ.

මාර්ක් මූසා පරිවර්තනයේ සඳහන් වන්නේ ජල යාත්‍රාව ගැන කියවෙන්නේ බෝට්ටුවක් ලෙසිනි. මේ සිංහල පරිවර්තනයේ දී ඊට ‘ගංගා රෝහණ වර්ණනාව’ හා සිංහල කවි සමයට අනුකූලව ‘ධර්මය හා පාපය’ පිළිබඳ හැඟීමක් ධ්වනිත කරනු පිණිස ‘අඟුළ’ යන පදය යොදා ඇත.

“වෙඩියෙන් දලගිනි අඟුළට වැද ගෙන වැඩියෙන් පුරවා තිබු වෙඩි ගිනි ගෙන එහි උන් සත් ගිනි බිය වී තරයෙන වැටෙමින් ගඟ තුළ බල බෝ පැන් බොන” (මාතර කිවියර දන කළ ගඟරු පුදකව්, සංස්කාරක සිරි තිලකසිරි, රත්න පොත් ප්‍රකාශකයෝ, 1997, කවිය 194, පිටුව 28)

ඒ තොටියා කෲර මනුෂ්‍යයෙකි. ඔහු යාත්‍රාවේ සිටිමින් ඉවුරේ සිටින පිරිස අමතන්නේ කර්කශ වචනයෙනි. ‘තොපට විපත්ම වේවා.’ (Woe to you) ඔහු ඔවුන් අමතන්නේ ‘විපරීත ආත්මයන්’ ලෙසිනි. ඔව්හු පාපයේ ගැලීමෙන් තම ආත්ම විපරීත කර ගත්තෝ මෙන් ම යහපත සහ අයහපත අතර වෙනස දකින ස්වච්ඡන්දතා බුද්ධිය විපරීත කර ගත්තෝ වෙති. දරුණු ගති ඇති තීර්තකයාට ඔවුන් පෙනෙන්නේ අවවර්තිකයින්, කාම විකෘතිකයින් හෝ මිථ්‍යා දෘෂ්ටීන් වැලඳ ගත්තවුන් ලෙසිනි. ‘දුක ම වේවා තොපට විපරිත, දෙව් ලොවේ යන පැතුම අත් හළ! රැගෙන යන්නෙමි එහා ඉවුරට, ශීත ගනඳුර ගිනි ද ඇවිළෙන.’

-*14 - 15. ඩාන්ටේ මැරුණු මිනිසකු නොව ජීවමාන මිනිසකු බව දකින තොටියා මළ මිනිස් සමූහයෙන් පැත්තකට වී සිටින ලෙස අණ කරයි. ඔහු දෙවෙනුව පවසන්නේ එවැනි මිනිසුන්ට එතෙර විය හැකි වෙනත් තොටුපළක් ද, වෙනත් යාත්‍රාවක් ද ඇති බව ය. මින් පෙනෙන්නේ ඩාන්ටේට පෙර අපාය බලන්නට ගිය හර්කියුලිස්, ඔඩිසියස්, එනියස් ආදීන් ගැන ඔහු දන්නා බව සහ එවැන්නන්ට යාත්‍රා පහසුකම් සපයන්නට නොකැමැති බව යි.

ඉන් පෙනෙනතවත් කාරණයක් වන්නේ මෙලොව ජීවත් වන අතරේ අපාය බලන්නට යන්නන් කිසියම් නරුමතාවකින් යුතු වූවන් බව ය. ඔව්හු පව් කරනවා වූවත්, නොකරනවා වූවත්, පාප වෙනුවෙන් ලැබෙන මහත් දඬුවම් දකින්නට කැමැති අවවර්තිකයෝ ද, නිකරුණේ වේදනා විඳින්නෝ ද, එසේ වේදනා ලැබීමෙන් ප්‍රමෝදයක් අත්විඳින්නෝ ද වෙති.‘තවම නොමැරුණු මිනිස යව තොප, අතැර මළවුන් මෙතැන රොක් වුණු, නමුත් බැහැරට නොගොස් රැඳුණෙමි, බොහෝ දුක් පිරි අඳුරු ගංතෙර.’

ඉවත් වෙන්නට අණ කළ පසු තොටියා ඩාන්ටේ නම් වන්දනාකාරයාට හා විපරිත මඟියාට උපදෙසක් ද දෙයි. ‘කොවින් පැවසී මෙලෙස තොටියා, තොපට නොව මේ දළ තීර්ථය, නදිය සතු වේ තවත් තොටමුණු, එතෙර යා හැකි නොබර අඟුලින්.’

ඩාන්ටේ තොටියාට අබිමුඛ වන මේ අපූර්ව මොහොත ඇන්ටන් චෙකොව්ගේ සකාලින් දූපත් ගමන හා ඩොස්ටොයෙව්ස්කිගේ ‘මළගෙයක සටහන්’ සිහිපත් කරයි. තවද වෙසක් දින රාත්‍රියේ විනෝදයට අපාය නැරඹීම ද සිහිපත් කරයි. හැට දශකයේ වෙසක් දවසට සිරගෙවල් නරඹන්නට මහජනයාට ඉඩ දෙන සිරිතක් අප රටේ විය.

-*16. තොටියාගේ විවෘත ප්‍රතික්ෂේපය නිසා ඇති වුණු අර්බුදයට වර්ජිල් වහා මැදහත් වේ. “දනුව! හාරොන් කරුණු නිවැරදි, කෝපයට නිසි කාලය ද මේ? ලොමින් හැඩිවුණු මහලු කම්මුල්, සක දෙකක් ලෙස කොවින් ඇවිළෙන...’

එම මැදිහත් වීමතර්කාණුකූල පියවරකි. එය සුර ලෝ වැසි බ්‍රියට්‍රිස්ගේ දැඩි ඉල්ලීම නිසා වර්ජිල් විසින් ඩාන්ටේ කැඳවා ගෙන යනු ලබන ගමනකි. ඩාන්ටේගේ ඒ වන්දනාව වර්ජිල්ගේ සංක්‍රමණ සීමා සමතික්‍රමණය කරමින් සුරලොවට ද යා යුතු ගමනක් නිසා තීර්ථකයා ඇති කරන බාධාව වර්ජිල් ජය ගත යුතු ම ය. ඔහු තොටියා වෙත ඉදිරිපත් කරන්නේ අධිපතිවාදී තර්කයකි. ඔහු මුලින් තොටියාගේ කෝපය හෙළා දකියි. අධිෂ්ඨානය දැඩි නම් ඊට බලය ලැබෙන බව (Will is powered) ඔහු කියයි. ‘මඟ ලකුණු දන්නා මා නියාමක, වහා ‘හාරොන්’ කියා ඇමතී, ‘කළොත් අදිටන සිතින් දැඩි ලෙස ඊට නිසි මහ බලය හිමි වේ.’

වර්ජිල්ගේ ඒ හිටිවන පැහැදිලි කිරීම, නූතන රසිකයාට එකවර ආතර් ෂෝපන්හුවර් සහ මිෂෙල් ෆූකෝ යන චින්තකයින් දෙදෙනා කැඳවන පෙරනිමිත්තකි. ෂෝපන්හුවර්ට අනුව ලෝකයේ මූලික මානසික ධාවකය හෙවත් ප්‍රේරණය (drive) ස්වච්ඡන්ද අධිෂ්ඨානය (Will) වන අතර අදහස් සහ ලෝකය පිළිබඳව අප අත්දක්නා නිරූපණයන් හෙවත් ලෝකය විසින් තමා අපට පෙන්වනු ලබන සන්දර්ශකයන් (representations) සියල්ල අධිෂ්ඨානය වේ. ඒ අනුව අපි අධිෂ්ඨානය නම් නදියේ ගලා යමින් අපේ ජීවිතගත කරමු. අප සිදු කරමින් සිටින්නේ අපගේ ක්‍රියාවන් හුදෙක් තාර්කික කර ගැනීමක් හා අපගේ ක්‍රියාවන් තේරුම් ගැනීමක් පමණි. එලෙස ජීවිතය ගත කරන්නට අප තුළ පවත්නා අධිෂ්ඨාන ලැදියාව අපගේ දුකෙහි හා වේදනාවේ මුල යි (cause of suffering). මේ අදහස සෞන්දර්යවේදය කරා ද රැගෙන එන ෂෝපන්හුවර් එකී මානව තත්ත්වය (human condition) පාදක කර ගන්නා ඛේදාන්ත නාට්‍යය සියලු කලාවන් අතරින් අග්‍ර කලාව (Tragedy)ලෙස සලකයි.

මිෂෙල් ෆූකෝ දකින්නේ බලය (Power) මානව පැවැත්ම, දණ්ඩන සමාජයක පැවැත්මක් බවට පරිවර්තනය කරන අයුරින් නිෂේධනාත්මක නිර්මාණ මෙහෙවරක නිරත වන (Power creates) බව යි.

-*17 -*23. වර්ජිල්ගේ පිළිතුරෙන් තොටියා මෙල්ල වේ. ආදි කාලයක සිටි ජීවත්වන්නා වූ තොටියාගේ කෝපයෙන් නිල් වුණු, රැවුලින් වැසුණු දෙකම්මුල් සහ ගිනි චක්‍ර දෙකක් වැනි දෙඇස් කරා නිසලතාව පැමිණේ. ‘දෙනෙත වෙත ආ බැවින් නිහැඬිය, මහලු යම වත පිළිමයක් විය, නමුත් බිඳිමින් නිසල ගල වුව, නිකුත් විය මහ හැඬුම් අපමණ.’

ඉවුරට ළඟා වෙමින් තීර්ථකයා සිදු කළේ එළඹෙනු ඇති අපා දුක ගැන පෙර දැනුම් දීමකි. එය ඇසීමෙන් නිරුවත්ව සිටි පව්කාර ප්‍රේත ආත්මයන්ගේ වර්ණය වෙනස් වේ. ඔවුන්ගේ දත් කට කට ගා සැලෙයි. විශාල පිරිසකගේ දත් කට කට ගා සැලීමෙන් නිකුත් වන ශබ්දය ඉතාමත් බියකරු එකක් බව නිසැක ය. ‘තීර්ථකයාදැනුම් දුන් විට, තමන් වෙත පැමිණෙනා දුක්කඳ, නිරුවතින් සිටි ආත්ම සනුහර වහා මොර දුනි බියෙන් එකවර,ඔවුන් සතු වුණු පැහැ වෙනස් විය, බියෙන් ඇලළුණු හෙලුව මතු විය, දෙතිස් මළගිය දත් ගැටෙන හඬ වධක බෙරයක් විලස මතු විය.’

ඒ නරක ආත්මයෝ තමන් මැවූ දෙවියන්ටත්, තමන්ගේ දෙමාපියන්ටත්, මුළුමහත් මිනිස් වංශයටත්, කාලයට සහ ස්ථානයටත්, තමන්ගේ සම්භවයේ මූල බීජයටත්, තමන් මෙලොවට බිහි වුණු දිනයටත් ශාප කරති. ‘දෙව් බඹුන් හට සාප අපමණ, මාපියන් හට සාප එපමණ, මිනිස් වංශය සාප ලද්දෙ ය, කාලයා වුව සාප ලද්දෙ ය, රඳන තැන වුව සාප ලද්දෙ ය, උපත සහතික කෙරුණු බීජුව ද, කුසින් මෙලොවට පැමිණි දිනය ද, සාප සිඳු මැද ගිලී නැසුණෙ ය.’

සියල්ලන්ගේ උපතේ බීජය (seed of their begining) ගැන පැවසීමෙන්, මුල් වරට පාපයට වැටුණු ආදි පීතෘවරයා වෙතින් ලැබුණු ජන්මගත පාපී උරුමය ගැන ද පැවසේ.

සාප කිරීමෙන් පසු සියල්ලෝ වැලපෙමින් යාත්‍රාව ඉවුරට ළඟා වන තුරු පොදි ගැසී බලා සිටිති. අවාසනාවන්තකමේ ඒ ඉවුර දෙවියන්ට පිටුපෑ සෑම මිනිසකු වෙනුවෙන් ම පවත්නා ස්ථානය යි. ‘සාප කළ පසු සොවින් වැලපී, සුරන් නොතැකූ පිරිස් කැඳවන, කුරිරු තෙර මහ සෙනඟ පොදි බැඳ, බලා සිටියා අඟුළ එන තුරු.’

-*24 -*30. රතැසින් යුතුහාරොන් සංඥාවකින් සියල්ලන් කැඳවයි. ඔහු නිරත වී සිටින්නේ ඉක්මනින් යා යුතු ගමනක ය. ඒ නිසා ඔහු කම්මැලි පව්කාරයකුට හබලින් පහර දෙයි. ‘අධම හාරොන් නම් තීර්ථක, අඟුරු දැවෙනා රතැ’ස් නලියන, අතින් සන්කොට සියල්ලන් හට, අවල දික්කොට පහර දුන්නා, කිසිමකඩිසර කමක් නොතිබුණු, ඉතා කම්මැලි පාපියකු හට, තීර්ථකයා ළතෙත් ගති නැති, අඟුළ පුරවා සෙනඟ ගත්තා.’

ඉන් පසු ගෙතෙන්නේ උපමා රූපක සහිත කාව්‍යොක්තියකින් පිරිපුන් පැදි දෙකකි. ‘දෙරණ තල මත විසුල කුණු ගොඩ, තමන් දෑසින් දකින තෙක් අතු, එකින් එක කොළ වැටෙන සෘතුව, අපා දොර වෙත පැමිණි අයුරින්, පළමු පව කළ පැරණි මිනිසා, හෙළූ පිළිකුල් පාප බීජය, වැටෙයි ඉවුරින් අඟුළ ඇතුළට, එකා පස එකිනෙකා පැමිණෙයි.’

මින් පෙනෙන්නේ එතෙක් ඉවුරේ සිටි සියලු මඟී - ප්‍රේතයින් අඟුළට නංවා ගත් බව කි. එවිට එය බර අඟුළකි. වෙනත් තොටුපළක සැහැල්ලු අඟුළක් ඇති බව ඩාන්ටේට ඔහු කීවේ එබැවිනි. එහි යන්නන් ඉතා දුර්ලභ නිසා එය සැහැල්ලු ය.

‍යාත්‍රාව පව්කාරයින්ගෙන් පිරී ඉවුර හිස් වේ. කවියා මේ අවස්ථාව ඉතා ගැඹුරින් කවියට නඟයි. ඔහුගේ ප්‍රධාන උපමාව අනුව ඒ අවස්ථාව, සෘතු වෙනස් වීම අනුව පැසුණු පරිණත කාලයක් ලෙස සැලකෙන, ගස්වල කොළ ඉදී, කහ ගැහී, බිමට වැටෙන ශරත් සෘතුව යි (autumn). හිම පතනය සහිත ශීත සෘතුවට (winter) ඉඩ හරිමින් ඒ සමයේ දී ගස් අතු කොළ රහිත රුක් සැකිලි බවට පත් වේ.

ශ්‍රී කාලිදාසගේ ‘සෘතුසංහාරය’ අනුව මෙය උෂ්ණ සෘතුව යි. “කොහි ද ඒ තණ නිල්ල... පරුෂ පවන වේගය, අඹරා ගසයි ගුවනට, වියළී ගිය කොළ රැස...විහඟ කැල සුසුම් ලති, කොළ හැලී ඉදල් වූ, හිස් වූ තුරු මත රැඳී..” (ශ්‍රී කාලිදාස, සෘතුසංහාරය, පරිවර්තනය - සුචරිත ගම්ලත්, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, 1987, පිටුව 45)

එසේ වූවත් බටහිර අර්ධ - ගෝලයෙහි ශරත් සමයේ ද ශීත පවතියි. මේ සෘතුව ගැන මනා විස්තරයක් ජෝන් කීට්ස්ගේ ‘Ode to Autumn’කවියේ කියවේ. ඒ අනුව මෙය අස්වනු රැස් කර ගබඩා කරන, ඵලභරිත සෘතුවක් වන අතර මිනිස් ශ්‍රමය බහුලව යෙදේ. සොබාවික පරිහානියෙන් අවසන් වන එය ලොවට වින්ටරය කැඳවයි.

ඩාන්ටේගේ කවියේ ඇත්තේ අස්වනු රැස් කිරීමේ හා ශ්‍රම බාහුල්‍යයේ විපරීතය යි. රැස් කරන අස්වනු පාපී හේමාලයින් වන අතර ඔවුන් රැගෙන යන්නේ අපායේ ගබඩා වෙතට ය. කඩිසරකම ඇත්තේ අපායට යන යාත්‍රාවට නඟින්නට ය. ඩාන්ටේ කියන්නේ එම සෘතුවේ කොළ එකිනෙක හැලී, රුක් පාමුල එකතු වුණු පරඬලා ගොඩවල් හිස් අතුවලට පෙනෙන අයුරින්, පාපයට වැටුණු පළමු මිනිසා වූ ‘ආදම්ගේ අධම බීජයේ’ (evil seed of Adam’s Fall) ඵල එකිනෙක, වරකට එක බැගින් ඉවුරෙන් අඟුළට වැටුණු බව යි.

හාරොන් නම් තීර්ථකයා එකිනෙකාට අඟුළට නඟින්නට සංඥා කරයි. ඩාන්ටේ එය සමාන කරන්නේ රාජාලියකු විසින් සිය ගොදුරට කරනු ලබන උපායශීලී වසඟයට ය(like the falcon to its lure). ‘තීර්ථක සන් කරයි ඔවුනට, තමන් ගොදුරට ඇම දමන ලෙස, කපටි යම ගිජු ලිහිණි නපුරෙකු, එවිට ජනයෝ නඟිති අඟුළට.’

මුළු සෙනඟ පටවා ගත් යාත්‍රාව පිටත් වී යන අතර එය එහා ඉවුරට ළඟා වන්නටත් පෙර ඉවුර නැවතත් සෙනඟින් පිරේ. ‘එලෙස පව් කළ දනන් පුරවා අඟුළ ඉවුරින් පිටත් වී යයි, අඳුරු දියකඳ දෙබෑ කරමින්, වහා ළං වේ එහා ඉවුරට, අඟුළ එතෙරට ළඟා වනු පෙර, අලුත් සෙනඟින් පිරෙයි මෙතෙර ද, උන් ද සාපය මුලින් වපුරති, ඊට පසු දුක් සුසුම් වගුරති.’

වෙරළට රැස් වන විශාල සෙනඟ පිළිබඳ ඩාන්ටේගේ සංකල්පනාව ඔහුගේ කාලයේ ෆ්ලොරන්සය සමඟ ගැලපෙන අතර එවැනි මහා ජන සංඝයක් පිළිබඳ කාව්‍යමය හා දාර්ශනික අදහසක් ඇති කර ගැනීම හිතලුවක් නොවූ බව පෙනේ. එකොළහ, දොළහ හා ඩාන්ටේ ජීවත් වූ දහතුන්වන සියවස වන විටත් ෆ්ලොරන්ස්, මිලාන්, වෙරෝනා, පාදුවා, බොලොංඤා, නේපල්ස්, ෆෙරාරා වැනි ප්‍රධාන ඉතාලි නගර සියල්ලෙහි ශීඝ්‍ර ජන වර්ධනයක් ඇති වී තිබුණු අතර වට නගර ප්‍රාකාර (circuit walls) පුළුල් කරන්නට සිදු වී තිබුණි.

දහහතර වෙන් ශතවර්ෂයේ ජීවත් වූ රචකයකු වූ ඩීනෝ කොම්පාඤ්ඤි පැවසුවේ ‍ෆ්ලොරන්සයේ ඇති හොඳ වාතාශ්‍රය ප්‍රජනනයට දිරි දෙන බව යි.‍‍ෆ්ලොරන්සියානු ස්ත්‍රීන් සුන්දර හා ගැබ් ඇති වන සඵලතාවෙන් උසස් බව (Florentine women are lovely and very prolific) වසර 1339 විස්තරයක සඳහනි. ජනගහන වර්ධනය නිසා ෆ්ලොරන්සයේ දෙවෙනි කොටු පවුරට (enclosure) එපිටින් ඉදි කර ඇති ගොඩනැගිලි වට කරමින් තුන්වෙනි කවයක් (third circle) ද ගොඩනංවන්නට 1284 වසරේදී සිදු විය. (Speculum, A Journal of Mediaeval Studies, Volume XI, University of Chicago Press, July 1936, No 3, p.317).

-*31 -*34. පොරොන්දු වූ පරිදි ඉවුරට ළඟා වී ඇති නිසා වර්ජිල් එහි සිදු වන දේ ස්නේහවන්ත ස්වරයෙන් විස්තර කරයි. ඔහු පවසන්නේ දෙ‍වියන්ගේ උදහස (wrath of God) තුළ මකබෑවී යනු පිණිස ලොව සිවු දිගින් සෙනඟ එහි ළඟා වන බව ය.

ඔවුන්ගේ මානසිකත්වය වී තිබෙන්නේ ඉක්මනින් අපායට යාම යි. ඒ ‍දිව්‍ය යුක්තිය (Divine Justice) බලාපොරොත්තුවෙනි. ඒ නිසා එතැන දී ඔවුන්ගේ භීතිය ආශාවකට හැරේ. ‘මපුත නිම් නැති දේව උදහස, ලබා දැවෙනුව කෙළවරක් නැති, විසල් ජනකඳ කුරිරු තෙර වෙත, සිව් දිසාවෙන් මෙලෙස පැමිණෙති.’

කරුණා ගුණෙන් අනූන ඇදුරුතුමා පවසන්නේ යහපත් අත්මයක් කවදාකවත් මේ ගඟ තරණය කරන්නට නොපැමිණෙන නිසා ඩාන්ටේ දුටු විගස හාරොන් විසින් මැසිවිලි නඟනු ලැබීම සාධාරණ බව ය. ඩාන්ටේ ද යහපත් ආත්මයකින් අනූන බව ඉන් කියවේ. ‘කුළුණු ගුණ පිරි පතළ නැණ හිමි, ඇදුරු හෙළි කළ පුවත එලෙස ය, ‘එක ම අරමුණ නදිය තරණය, ඊට ලොබ බැද සිටිති මේ දන. උනුන් සිත් අසු ගමන පොළඹන, තියුණු සන් කටු දේව යුක්තිය, ඔවුන් අත්විඳි දරුණු භීතිය, සිත්හි ආශා මනදොළක් වේ, සාධු ගුණ පිරි එක ද මිනිසෙක්, නදී තරණය පිණිස නොවඩියි, තීර්ථක හාරොන් ද ගුගුළේ, දනුව නුඹ සත්ගුණ නිසාවෙනි.’

ඉවුරේ රැස්කකා සිටි හේමාලයින් (shades) ග‍ඟෙන් එතෙර වීමට දක්වන ලද හදිස්සිය දේව යුක්තියේ බලවත් බලාපොරොත්තුව නිසා සිදු වූවක් බව පවසනු පිණිස සිංහල කවි සමයට අනුව සන් කටුවලින් කිති කවනු ලැබූ සිත් නමැති අශ්වයාගේ ගමන (සිත් අසු ගමන පොළඹන, තියුණු සන් කටු දේව යුක්තිය) යනුවෙන් පරිවර්තනය කර ඇත.

-*35 -*36. ඒ පැහැදිලි කිරීම අවසන් කළ සැණින් අනපේක්ෂිත දෙයක් සිදු වේ. එනම් බියකරු පොළොව කම්පනය වීම යි. එය සිහිපත් වන විටත් තමාට දහඩිය දමන බව පැවසීමෙන් ඩාන්ටේගේ මේ ගමන එවේලෙහි සිදු වන්නක් නොව පසු කාලයක දී මතකයට නංවන ගමනක් බව සිතීමට වඩා මාර්ක් මූසාගේ කල්පනා කරන්නේ ඩාන්ටේගේ චාරිකාව පිළිබඳ කාරණය, මතකයේ ආසන්නතාව (immediacy of the remembrance) මඟින් වැඩිදියුණු කරන බව ය.

තවද එම හැඟීම ඇති වන්නේ ඩාන්ටේ නමැති කවියා තුළ ය. වන්දනාකරුවා මුහුණ දෙන බියකරු අත්දැකීම එසැණින් කවියාට දැනී කවි මනස විස්මයෙන් පිරෙයි. එය කඳුළින් පෙඟී ගිය පොළොවකි. ඉන් බිහිසුණු සුළඟක් නැඟී එන අතර එය රතට හුරු ආලෝකයක් වෙත හූ කියා ගෙන යයි. එයින් ඩාන්ටේගේ සිහි විසංඥ වේ. වෙහෙසුණු කෙනෙක් මෙන් ඔහු තද නින්දට වැටේ. ‘ඇදුරු නිම කළ සැණින් ඒ බස, රුදුරු ඒ බිම කම්පනය විය, දැනිණ බියකරු භූමි චලනය, තවම දහඩිය දමයි මතකය, කඳුළු නිම්නය නැඟී සුළඟක්, රතැස් අවබිය රැඳුණු අහසට, තෙපුල් නංවා හමා ගෙන යන, මගේ ඉඳුරන් මට අහිමි විය, පැමිණි අපමණ සැහැසි සරතැස, තවත් දරන්නට නොහැකි මඟියකු, ගැඹුරු නින්දට වැටෙන අයුරින්, මම ද දෙනයන පියා ගත්තෙමි.’

මාර්ක් මූසා පවසන්නේ ඩාන්ටේගේ සිහි විසංඥ වීම හෝ නින්ද හෝ වෘත්තාන්ත සංක්‍රාන්තිය හඟවන උපක්‍රමයක් (transitional device) බව ය. පළමුවෙනි සර්ගය ආරම්භයේ දී ද ඩාන්ටේ නින්දකින් අවදි වේ.

ඔබගේ අදහස් අපට එවන්න.