අන්තෝනියෝ ග්‍රාම්ස්චි, ඉතිහාසවාදය සහ දයලෙක්තික චින්තනය - 2 කොටස

2022 නොවැම්බර් 08

Georg Wilhelm Friedrich Hegel

ග්‍රාම්ස්චිගේ උත්සාහය වන්නේ සත්වාදය නිෂේධනය කිරීම නොවන නමුත් ආධානග්‍රාහිත්වය නිෂේධ කිරීම ය. ග්‍රාම්ස්චිගේ සැබෑ අභිප්‍රාය දැන ගැනීමට ක්‍රමයක් නැති වුවත් ඔහුගේ වියමන්, ලිපි ලේඛන විශ්ලේෂණය කිරීමට හැකියාවක් ඇත. ග්‍රාම්ස්චිගේ ලියකියවිලි තුළ ඇති අසම්පූර්ණත්වයන් ව්‍යාකුලත්වයන්, අසංගතභාවයන් ඔහු ජීවත් වූයේ කුමන පසුබිමක ද, කුමන කොන්දේසි යටතේ ද යන්නෙහි පිළිබිඹුවකි. පැසිස්ට්වාදය නැගෙමින් පැවති භයානක තත්ත්වයද සැලකිල්ලට ලක්කරමින් ග්‍රාම්ස්චිගේ ලිපිලේඛන විශ්ලේෂණය කළ යුතුය.

ග්‍රාම්ස්චිට අවශ්‍ය වන්නේ අනුභූතිවාදීභෞතිකවාදය (empiricist materialism) හා විඥානවාදය යන දෙක ම ප්‍රශ්න කිරීම ය. මේ අවශ්‍යතාවන් මත ඔහු වෙනස් ආකාරයක ප්‍රවේශයක් ගනියි. ඔහු සත්වාදය පවත්නා ආකාරයට පිළිගන්නේ ද නැත. මේ නිසා ප්‍රතිසත්වාදී ප්‍රකාශයන්ද ඔහුගේ සිරගෙයි සටහන් තුළ දැකිය හැකි ය. ඔහුගේ මතයට අනුව සත්වාදයේ සමහර ඥානවිභාගාත්මක පදනම් අනුභූතිවාදය තුළත් දැක ගත හැකි ය. බාහිර ලෝකයේ වාස්තවිකත්වය පිළිබඳ සංකල්පයේ උත්පත්තිය තිබෙන්නේ ආගම තුළ බව ග්‍රාම්ස්චිගේ මතය වේ.

ආගම මගින් උගන්වන දෙයක් වන්නේ සොබාදහම හා විශ්වය දෙවියන් වහන්සේ විසින් මිනිසා නිර්මාණය කිරීමට පෙර නිර්මාණය කර තිබේ ය යන්න ය. ඒ අනුව මිනිසාට පෙර සොබාදහමත්, බාහිර ලෝකයත් පැවතී ඇත. ග්‍රාම්ස්චිගේ මූලික උත්සාහය වන්නේ වාස්තවිකත්වයේ එහි ම ස්වරූපය පැහැදිලි කිරීම නොවේ. මේ යෙදීම ආධානග්‍රාහී ආකාරයට භාවිත කිරීම සම්බන්ධයෙන් ග්‍රාම්ස්චි විවේචනාත්මක වේ. සිරගෙයි සටහන්වල පස් ආකාරයට වාස්තවිකත්වය යන්න යෙදී ඇත (Morera 1990,44)

1. සත්තාවෙහි එහි ම ස්වරූපය (being-in-itself)

2. ස්ථිර සත්තාව (permanent being)

3. සෑම මිනිසෙකුට ම පොදු බව (common to all men)

4. ඕනෑ ම සුවිශේෂ දෘෂ්ටිකෝණයකින් ස්වායත්තව පවතින බව (independent of any point of view which is particular)

5. නිශ්චිතව සත්‍යය (definitely true)

මෙහි පළමුවැන්නෙහි ‘සත්තාවෙහි එහි ම ස්වරූපය’ යැයි ගන්නේ යථාර්ථය දැනගන්නාගෙන් ස්වායත්තාව පවතී යන තේරුමෙනි. දෙවැන්නෙහි ස්ථිර සත්තාව යනු සමාජ ප්‍රපංචයන් පරිවර්තනීය ස්වරූපයක් ගන්නා අතර ඒවා ඕනෑ ම ස්වාභාවික නීතියකට අනුව ක්‍රියාත්මක වන ස්ථිර පැවැත්මකට එරෙහිව යන බව ය. මෙහි දී ග්‍රාම්ස්චිට අවශ්‍ය වන්නේ සමාජ ප්‍රපංචයන් භෞතික විද්‍යාත්මක ප්‍රපංචයන් බවට ඌනනය කිරීමෙන් ගැලවීමට ය. එමෙන් ම ධනවාදයත් ස්වාභාවික එකක් ය යන මතය ඔහු පිළිගන්නේ නැත. දකුණු ඉතාලියේ පසුගාමීත්වය එහි ගොවියන්ගේ ජීව විද්‍යාත්මක දුර්වලතාවක් යැයි ඉදිරිපත් වූ මතවාදයන් සමඟ ග්‍රාම්ස්චි එකඟ වූයේ නැත. මෙහි දී යමක් ශුද්ධ වශයෙන් වාස්තවික යැයි ගන්නවා වෙනුවට ඔහු කියන්නේ ඓතිහාසික වශයෙන් වාස්තවික (historically objective) යන්න ය. ඉහත තුන්වැන්නෙන් සහ හතරවැන්නෙන් ඇඟවන්නේ අපක්‍ෂපාති බව ය. වාස්තවිකත්වය යන්න පුද්ගලයන්ගේ ආත්ම අගතීන්ගෙන් නිදහස්ව ඇත ය යන්න ය. පස්වැන්නෙන් ඔහු අඟවන්නේ සත්‍යය හෝ වාස්තවික දැනුම නැවත සංස්කරණයට හෝ විපර්යාසයට ලක් විය හැකි බව ය; නිශ්චිත ලෙස ගන්නා සත්‍යය වෙනස් විය හැකි බව ය.

ග්‍රාම්ස්චි මේ ආකාරයට තර්ක ගොඩනගන විට ම ක්‍රෝචියානු විඥානවාදයට අනුව ගොස් කරන විග්‍රහයක් ද ඔහු තුළ ම පවතී. වාස්තවිකව පවතින දෙය දැනගත හැක්කේ මිනිසාට ඇති සම්බන්ධය අනුව බව ග්‍රාම්ස්චිගේ මතය වේ. දැනුම යන්නත් වෙනස් වන, සමුච්චනය වන ක්‍රියාවලියකට යටත් බවත් ඔහු කියයි. මේ නිසා ම වාස්තවිකත්වය යන්න සමාජය බුද්ධිමය ලෙසත් උපකරණමය ලෙසත් වර්ධනය වන විට වෙනසකට භාජනය වන බවත් මෙහි දී කියවේ. මේ අර්ථයෙන් ගත් විට මිනිස් සම්බන්ධයකින් තොරව පවත්නා වාස්තවිකත්වයක් නැත. ග්‍රාම්ස්චි සිරගෙයි සටහන්වල මතුකරන කාරණයක් මෙසේ උපුටමු:

ඉතිහාසයෙන් පරිබාහිර, මානව වාස්තවිකත්වයෙන් පරිබාහිර යමක් පවතී යැයි කෙනෙකුට පෙනිය හැකි ය. නමුත් එවැනි වාස්තවිකත්වයක් විනිශ්චය කරන්නේ කව්ද? විශ්වයේ එවැනි දෘෂ්ටිකෝණයකට අනුව තමන්ව ම සථාපිත කර ගත හැක්කේ කාට ද? එවැනි දෘෂ්ටිකෝණයකින් ඇත්ත වශයෙන් ම අදහස් කරන්නේ කුමක් ද? අපට දැන ගත හැක්කේ මිනිසාට සම්බන්ධ යථාර්ථයක් පමණි. මෙහි මිනිසා ඓතිහාසික ලෙස තමන් බවට පත් වූ කෙනෙකි. දැනුම තුළ යථාර්ථයත් මේ ආකාරයට භවයක් අත්පත් කරගත් එකකි. (Gramsci 1971, 445-446)

මෙම ස්ථානය ග්‍රාම්ස්චිගේ සත්වාදී විරෝධී අදහසත් විඥානවාදය හා ගැළපෙන අදහසත් පෙන්නුම් කරන කදිම තැනකි. ඉතිහාසයෙන් පරිබාහිරව යමක් පවතිනවාය යන අදහසත්, මනුෂ්‍ය වාස්තවිකත්වයෙන් ඔබ්බෙහි වෙනත් වාස්තවිකත්වයක් තිබේ ද යන ප්‍රශ්නයත්, මිනිසාගෙන් පරිබාහිරව එවන් ඓතිහාසිකත්වයක් හෝ වාස්තවිකත්වයක් තිබේ නම් එය විනිශ්චය කරන්නේ කවුද යන ප්‍රශ්නයත් ඔහු නගයි. මෙය සත්වාදය ප්‍රශ්න කිරීමකි. මිනිසා සිටියත් නැතත්, මිනිසා නිරීක්ෂණය කළත් නොකළත්, මිනිසා විනිශ්චය කළත් නොකළත් දෙවියන් වහන්සේ විසින් නිරීක්ෂණය කරන සංවේදනය කරන හා විනිශ්චය කරන සත්වාදී යථාර්ථයක් තිබේද යන ප්‍රශ්නය ඔහු නගයි. දෙවියන්ට හෝ අනුභූති උත්තර දිව්‍යත්වයට පමණක් මේ සඳහා ප්‍රවේශයක් තිබේද යන ප්‍රශ්නය ග්‍රාම්ස්චි නගයි. ග්‍රාම්ස්චිගේ මතය වන්නේ සෑම වාස්තවිකත්වයක් සහ සෑම යථාර්ථයක් සඳහා ම නිල පොදු ප්‍රවේශයක් නොමැති බව ය. මෙහි දී ග්‍රාම්ස්චි කාරණා දෙකක් මතු කරයි.

1. යථාර්ථයේ තිබෙන පුළුල් පැතිරුණු ස්වභාවය සහ දේවල් අතර අසීමිත ආකාරයේ සංකීර්ණ අන්තර් සබඳතාවක් තිබීම.

2. දැනුම උපාර්ජනය කර ගැනීම සඳහා ආයතනික හා බුද්ධිමය තත්වයන්ගේ බලපෑම. මේ තත්ත්වයන්ගේ ස්වභාවය අනුව දැනුමේ කොතරම් ප්‍රමාණයක් උපාර්ජනය කළ හැකිද යන්න තීන්දු වීම.

ග්‍රාම්ස්චි අමතර ඓතිහාසික සහ අමතර මානව වාස්තවිකත්වයක් ගැන කථා කිරීම මගින් එළඹෙන නිගමනය වන්නේ පරිපූර්ණ පරම ඥානයක්පැවතිය නොහැකි බව ය. පවතින දැනුම හා පවතින වාස්තවිකත්වය ඓතිහාසික ඒජන්තයාගේ බුද්ධිමය හා ප්‍රායෝගික ධාරිතාවන් මත සහ විද්‍යාවේ උපකරණවල වර්ධනය සහ තාක්‍ෂණික ප්‍රගතිය පදනම් කරගෙන ය දැනුමේ වර්ධනය ඉදිරියට යන්නේ. මේවා අවසානයේ ඓතිහාසික වර්ධනයන් ය. මේවා ඉතිහාසයෙන් පිටස්තර නැත. ග්‍රාම්ස්චි පෙන්වා දෙන ආකාරයට විද්‍යාත්මක ප්‍රගතිය සිදු වූයේ ඇරිස්ටෝටලියානු හා බයිබලයානු සංකල්පයන් අත්හැරීමෙනි. මේ විපර්යාසය සමාජයේ පොදු ප්‍රගතියට හේතු විය. මෙයින් ග්‍රාම්ස්චි ආ නිගමනය වූයේ විද්‍යාව යන්න සමාජ වර්ධනයෙන් ස්වායත්ත නොවන බව ය. විද්‍යාත්මක න්‍යායන් ද පොදු සංස්කෘතික හා දේශපාලන වර්ධනයන්ගෙන් ස්වායත්ත නොවන බව ය. මේ අනුව විද්‍යාත්මක න්‍යායන්ගේ වාස්තවිකත්වය සංස්කෘතියට හා දේශපාලනයට සම්බන්ධිත ය. විද්‍යාවේ වර්ධනය අවසන් විග්‍රහයේ දී මනුෂ්‍යත්වයේ ඓතිහාසික ප්‍රගතිය සමඟ සම්බන්ධිත ය.

මෙයින් වර්ධනය කෙරෙන අදහස වන්නේ ග්‍රාම්ස්චිගේ සිරගෙයි සටහන් හි සත්වාදීමෙන් ම ප්‍රතිසත්වාදී අදහස් ගැබ් ව පවතින බව ය. මේ අනුව ග්‍රාම්ස්චි සම්බන්ධයෙන් අව්‍යාජ තර්කයක් ගොඩනැගීමේ දී මේ පාර්ශ්වයන් දෙක ම සලකා බැලිය යුතු ය.

ග්‍රාම්ස්චිගේ සටහන් තවදුරටත් විශ්ලේෂණය කළොත් විද්‍යාව සම්බන්ධයෙන් ද්විත්ව ගතිලක්‍ෂණයන් ඔහු දැක ඇති බව පෙනෙයි.

1. විද්‍යාව උපරි ව්‍යූහයට අයත් ප්‍රපංචයකි. විද්‍යාව මඟින් යථාර්ථය පිළිබඳ අදහස ඉදිරිපත් කෙරෙන අතර එය දෘෂ්ටිවාදය සමඟ ද සම්බන්ධ ය.

2. විද්‍යාව මඟින් නිෂ්පාදන බලවේගයන්ගේ වර්ධනයට බලපෑමක් කරයි.

මෙයින් පෙනී යන්නේ විද්‍යාව තත්වාරෝපිත වන්නේ ආර්ථිකයෙන් සේ ම සමාජයේ බුද්ධිමය ආකල්පයන් මඟින් ය යන්න ය.

විද්‍යාව සම්බන්ධයෙන් ග්‍රාම්ස්චි ගන්නේ ඉතිහාසවාදී ප්‍රවේශයකි. සොබාදහම පිළිබඳ දැනුම යනු මනුෂ්‍ය සත්තාව සහ සොබාදහම අතර සබඳතාව ය. නමුත් විද්‍යාඥයා සිතන්නේ විද්‍යාව යනු සම්පූර්ණයෙන් ම ශුද්ධ සමපේක්ෂණමය ක්‍රියාවක් බව ය. නමුත් යථාර්ථය තුළ විද්‍යාව මිනිස් අවශ්‍යතා, ජීවිතය හා මනුෂ්‍ය ක්‍රියාකාරකම් සමඟ සම්බන්ධිත ය. විද්‍යාව යනු මිනිස් විඥානයේ ම ප්‍රකාරයක් වන අතර එය සමාජයක උපරි ව්‍යූහයේ ද කොටසකි.

එය විද්‍යාත්මක උපකරණවල වර්ධනය, නිෂ්පාදනයේ හා තාක්‍ෂණයේ වර්ධනය සමඟ සම්බන්ධිත ය. විද්‍යාව ගැන යමෙක් සිතිය යුත්තේ ශ්‍රමය හා පන්තිය සමඟ සම්බන්ධ කරමිනි. මේ අනුව වාස්තවික දැනුමක් ලබා ගන්නවා යනු යම් සංස්කෘතික පද්ධතියක් තුළ සමස්ත මනුෂ්‍ය වර්ගයා හා සම්බන්ධයෙන් තේරුම් ගැනීමකි. එය වියුක්ත මනසකින් ස්වායත්තව පිහිටන වියුක්ත යථාර්ථයක් ගැන දැනුමක් ලබා ගැනීම නො වේ. වාස්තවික දැනුම යන්න සලකා බැලිය යුත්තේ ඓතිහාසික දෘෂ්ටිකෝණයකින් වන අතර එය අවසානයක් නැති අරගලයකි.

ග්‍රාම්ස්චිගේ ලේඛන සත්වාදී ඒවා ලෙස ගැනෙන්නේ කුමන පදනමකින් ද? මෙයට දිය හැකි පිළිතුර වන්නේ මේ ලේඛන තුළින් යථාර්ථය ගැන කතා කෙරෙන්නේ ය යන පදනමෙනි. ග්‍රාම්ස්චි යොදා ගන්නා සංකල්පයන් වන ආධිපත්‍යය, නිෂ්පාදන බලවේග, දෘෂ්ටිවාදය ආදි සංකල්ප සලකා බැලෙන්නේ ඓතිහාසික යථාර්ථයෙන් ගම්‍ය කරගත් න්‍යායාත්මක සංකල්ප ලෙසට ය. එමෙන් ම මේ සංකල්පයන් සැබෑ සමාජ අන්තර්ගතයන් නිරූපණය කරනවා ය යන්න මෙහි දී පිළිගැනේ. ග්‍රාම්ස්චි සිය විග්‍රහයන් මඟින් ලෝකයේ සැබෑ ලෙස, යථාර්ථවත් ලෙස, සත් ලෙස පවත්නා දෙය නිරූපණය කරනවා ය යන මතයේ සිටියි. සැබෑ ලෙස පවත්නා දෘෂ්ටිවාදයන් සහ ප්‍රවණතාවන් සිය විග්‍රහයන් තුළින් ඉදිරිපත් කරනවා යන්න මෙහි දී කියවේ. ඔහු මිනිසා ගැන ලියන්නේ වියුක්ත ආකාරයකින් නො වේ. මිනිසාට සාර්වත්‍රික ලෙස වටිනාකම් ලබා දීමක් සිදුකරන්නේ ද නැත. ඔහු තමන්ගේ සංකල්පයන් හා උපකල්පනයන් සමස්ත වශයෙන් පවත්නා යථාර්ථය පිළිබිඹු කරනවා සේ ගනියි. මේ සැබෑ යථාර්ථය මිනිසාගේ සිතීමෙන් පරිබාහිරව පවත්නා දේ ලෙස ද ගනියි. මේ අර්ථයෙන්ය ග්‍රාම්ස්චි සත්වාදියකු මෙන්ම භෞතිකවාදියකු ද වන්නේ.

තර්ක බුද්ධිය (reason) යන්න විඥානවාදයේ ප්‍රධාන දාර්ශනික ප්‍රවර්ගයකි. ග්‍රාම්ස්චි කියා සිටින්නේ තර්ක බුද්ධිය යන්න තර්ක බුද්ධියෙන් ම අප ලබන දෙයක් නොවන බව ය. එය ද්‍රව්‍යමය ලෝකයට සම්බන්ධයක් තියෙන බව ය. ක්‍රෝචගේ අදහස් අගය කරමින් ග්‍රාම්ස්චි කියා සිටින්නේ දාර්ශනිකයන් විසඳීමට උත්සාහ කරන ප්‍රශ්න කලින් දාර්ශනික චින්තකයන් ඉතිරි කළ අංකුර නොව ඔවුන් විසඳන්න යන ප්‍රශ්න සැබෑ ඓතිහාසික වර්ධනයන් මඟින් ඔවුන්ට ඉදිරිපත් කරන ලද ප්‍රශ්නයන් බව ය.

ග්‍රාම්ස්චි ඓතිහාසික භෞතිකවාදය ගැන කථා කරමින් පවසා සිටියේ එය මඟින් සලකා බලන්නේ මනුෂ්‍ය වර්ගයාගේ ද්‍රව්‍යමය ක්‍රියාකාරීත්වය බව ය. ඇන්ටෝනියෝ ලැබ්රියෝලාගේ The Philosophy of Praxis ග්‍රන්ථය ග්‍රාම්ස්චි අනුගමනය කරන බව පැහැදිලි ය. ලැබ්රියෝලා ‘praxis’ යන්න සත්වාදී ක්‍රියාවලියක් බවත් එය ජීවිතයෙන් චින්තනයට ගමන් කිරීමක් විනා චින්තනයෙන් ජීවිතයට ගමන් කිරීමක් නොවන බව කියයි. ග්‍රාම්ස්චි ද මෙහි දී කියා සිටින්නේ තමන් සැබෑ ප්‍රයුක්තතාව (praxis) හඳුන්වා දෙන බවත් තමන් කිසිදු ආකාරයක අනුභූතිඋත්තර සංඝටකයන් නොපිළිගන්නා බවත් ය. තමන් සම්පූර්ණයෙන් ම පදනම් වී සිටින්නේ මිනිසුන්ගේ සංයුක්ත ක්‍රියාවන් තුළ බවත් මේ සංයුක්ත මිනිසුන් තමන්ගේ ඓතිහාසික අවශ්‍යතාවන් සඳහා යථාර්ථය පරිවර්තනය කරමින් සිටින බවත් ග්‍රම්ස්චි පවසයි. ඔහු ප්‍රයුක්තතාව හරහා සමාජ ක්‍රියාවලිය අවබෝධ කර ගැනීමේ ක්‍රමවේදයක් ඉදිරිපත් කරන අතර මේ සමාජ ක්‍රියාවලිය තුළ සැබෑ මිනිසුන් ක්‍රියාත්මක වේ. මෙහි දී කිසිදු ආකාරයක දිව්‍යමය හෝ ලෝක ආත්මයක මැදිහත් වීමක් පිළිගන්නේ නැත. මනුෂ්‍යයා සමඟ ගනුදෙනුවක් ඇති සමාජ ක්‍රියාවලියක් පමණක් පිළිගන්නා අතර ඉතිහාසයේ විෂය වස්තුව හැඳින්වීමට ප්‍රයුක්තතාවේ දර්ශනය යන්න පාවිච්චි කරයි.

1932 යම් දිනක් දක්වා ග්‍රාම්ස්චි ‘Marxism,’ historical materialism’ යන වචන පාවිච්චි කරන අතර පසුව ඒ වෙනුවට ‘philosophy of praxis’ යන්න වචනය පාවිච්චි කරයි. මෙයට හේතුව සොයා ගැනීමට අපහසු නැත. මාක්ස් හා එංගල්ස් යන නම් දෙකත් ඔහුගේ ලිපිලේඛන වලින් අතුරුදහන් වෙයි. තමන් ලියන දේවල්වල සැබෑ මූලාශ්‍රය මාක්ස් හා එංගල්ස් ය යන කාරණය ඔහු සඟවයි. මේ වනාහි මුසොලීනිගේ වාරණයෙන් මිදීම සඳහා ගත් උපක්‍රමයකි.

සත්වාදී ග්‍රාම්ස්චිගේ මූලාශ්‍රය මාක්ස් හා එංගල්ස් නම්, ප්‍රතිසත්වාදී ග්‍රාම්ස්චිගේ මූලාශ්‍රය ක්‍රෝච ය. මෙහි දී ඉතිහාසවාදය මඟින් හැඟවුම්කරණය කරන්නේ සත්‍යයේ අනන්‍යතාව ඓතිහාසික ලෙස තත්වාරෝපණය සිදු වී තිබෙන්නේ කොහොම ද යන්න ය. එමෙන් ම ග්‍රාම්ස්චිගේ උත්සාහය අනුභූතිඋත්තර පාරභෞතිකවාදයන් බැහැර කිරීම ය. මේ ආකාර පාරභෞතිකවාදයන්ට එරෙහිව ග්‍රාම්ස්චි මානවවාදය හඳුන්වා දෙයි. ඔහුට අනුව එය චින්තනය පරම වශයෙන් ලෞකිකකරණයට ලක් කිරීම සහ මහපොළොවට ගෙන ඒමකි.

මෙහි දී ග්‍රාම්ස්චි ඉතිහාසවාදය යනුවෙන් ගන්නේ ඕනෑ ම ආකාරයක වියුක්ත දෘෂ්ටිවාදයන්ගෙන් ගැලවීම සහ භෞතිකවාදයේ ඌනනවාදයන්ගෙන් ගැලවීම ය. වෙනත් ලෙසකින් කීවොත්, සමාජ ප්‍රපංච භෞතික විද්‍යා නියමයන්ට ඌනනය කිරීමට එරෙහි වීම ය. ඔහු කියන්නේ ඉතිහාසය මනුෂ්‍ය ක්‍රියාවලියක් ලෙසට තේරුම් ගත යුතු බව ය. ග්‍රාම්ස්චිගේ මාක්ස්වාදය පරම ඉතිහාසවාදයක් හෝ පරම මානවවාදයක් ලෙසට ගැනීම හරහා මාක්ස්වාදය තුළ ම සංවාදමය තත්ත්වයන් බිහි කළේය. ඒ මානවවාදී මාක්ස්වාදය හා ව්‍යූහවාදී මාක්ස්වාදය අතර ය. බටහිර මාක්ස්වාදය තුළ ග්‍රාම්ස්චි හඳුනාගෙන තිබෙන්නේ මානවාදී මාක්ස්වාදියකු ලෙසට ය.

ග්‍රාම්ස්චිගේ පරම ඉතිහාසවාදය මඟින් දර්ශනය ඉතිහාසවාදී එකක් බවට පත් කෙරෙයි. ග්‍රාම්ස්චි දර්ශනය තුළ තිබෙන ඓතිහාසික බව (historicity of philosophy) පිළිගැනීම ලෝකය ප්‍රායෝගික ආකාරයට සංකල්ප ගත කිරීමේ උත්සාහයකි. දර්ශනය ශුද්ධ මනසකින් උපදින දෙයක් වෙනුවට ජීවිතයේ ගැඹුරකින් උපදින දෙයක් ලෙස පෙන්වීම ඔහුගේ උත්සාහය ය. එමෙන් ම දර්ශනය යන්න ඉතිහාසය තුළින් උපදින එකක් විනා වෘත්තිය දාර්ශනිකයන්ගේ හිස්ගෙඩි වලින් උපදින එකක් නො වේ. ග්‍රාම්ස්චිට අනුව දර්ශනය යනු යුගයක අදහස් ය (ideas of epoch).

ග්‍රාම්ස්චිගේ සත්වාදය වියුක්ත පාරභෞතික සත්වාදයක් නො වේ. එය සංයුක්ත මිනිසුන්ට, සංයුක්ත තත්ත්වයන්ට සම්බන්ධ සත්වාදයකි. එමෙන් ම, මේ සත්වාදය භෞතිකවාදයට ද සම්බන්ධ ය. ග්‍රාම්ස්චිගේ භෞතිකවාදය විඥානවාදයට ද සම්බන්ධ ය. ග්‍රාම්ස්චි භෞතිකවාදය සම්බන්ධයෙන් කථා කරන්නේ බුකාරින්ට සම්බන්ධ කරමිනි. ග්‍රාම්ස්චි සිය දැක්ම ගොඩනගන කාලයේ බුකාරින්ගේ භෞතිකවාදයට නිර්ණයවාදය (determinsm), යාන්ත්‍රිකවාදය (mechanism) ආදියත් සම්බන්ධිතව පැවතිණි. මේ භෞතිකවාදය මඟින් සත්වාදී ගම්‍යයන් ද ඉදිරිපත් වී තිබිණි. බුකාරින්ගේ Historical Materialism: A System of Sociology කෘතිය 1921 දී ප්‍රකාශයට පත් විය. 1923 දී ජෝර්ජ් ලුකාස් මේ කෘතියට ප්‍රතිචාර දැක්වූ අතර ග්‍රාම්ස්චි තම සිරගෙයි සටහන් තුළ බුකාරින්ගේ පොත සම්බන්ධයෙන් විවේචනාත්මක විය. ග්‍රාම්ස්චි මේ පොත හඳුනා ගත්තේ යථානුභූතවාදයෙන් සහ විද්‍යාවාදයෙන් පිළුණු වූ එකක් ලෙසට ය. ඔහු කියන්නේ බුකාරින්ගේ දාර්ශනික පිළිවෙළ ආධානග්‍රාහි බවත් ඓතිහාසික එකක් නොවන බවත් ය. ග්‍රාම්ස්චිට අනුව බුකාරින්ගේ භෞතිකවාදය සමපේක්ෂණ විඥානවාදයට වඩා හොඳ එකක් නො වේ. එමෙන් ම, දිව්‍යවාදී පාරභෞතිකවාදයකට වඩා හොඳ එකක් ද නො වේ. එය උඩු යටිකුරු වූ විඥානවාදයකි. එහි දී සිදු වන්නේ අනුභූතික සංකල්පයන්ගෙන් සමපේක්ෂණ සංකල්ප විස්ථාපනය කිරීමකි. බුකාරින්ට මඟ හැරෙන්නේ දර්ශනයේ සංයුක්ත ඉතිහාසවේදය ය. බුකාරින්ගේ භෞතිකවාදය මෙන් ම වියුක්ත විඥානවාදය ද ග්‍රාම්ස්චි විසින් බැහැර කරනු ලබයි. වියුක්ත විඥානවාදය මඟින් චින්තනය, සත්තාවෙන් වෙන් කෙරෙයි. වියුක්ත විඥානවාදය තුළ සමපේක්ෂණ දර්ශනය ව්‍යවහාරික ඥානයෙන් (common sense) ඛණ්ඩනය කෙරෙයි. කෙසේ නමුත්, ග්‍රාම්ස්චි ප්‍රයුක්තතාව අර්ථකථනය කිරීමේ දී පදනම් වන්නේ විඥානවාදය පිළිබඳ දැඩි හා ඍජු ස්ථාවරයන් මත ය. ග්‍රාම්ස්චි අට වෙනි සිරගෙයි සටහන් පොතෙහි මෙසේ ලියයි:

ආත්මීයවාදී සංකල්පකරණය තමන්ගේ ‘ඓතිහාසික සහ සංස්කෘතිමය නොවන අර්ථකථනය සොයන්නේ උපරි ව්‍යුහය තුළ ය. නමුත් මෙය හුදෙක් දාර්ශනික අද්භූතවාදයක් පමණි (Gramsci, vol 3, 2007, 317)

චින්තනය සත්තාවෙන් වෙන් කිරීම, අදහස යථාර්ථයෙන් වෙන් කිරීම, ආකෘතිය අන්තර්ගතයෙන් වෙන් කිරීම, හුදු සමපේක්ෂණමය ආකෘතිය හෙගලියානු දයලෙක්තියට එරෙහිව යන බව ග්‍රාම්ස්චිගේ මතය වේ. පරිබාහිර යථාර්ථයක් ගැන කරන ස්වභාවවාදී විග්‍රහයන් වෙනුවට මානව හා ඓතිහාසික පදනම් ග්‍රාම්ස්චි විසින් මතු කරන අතර ‘ද්‍රව්‍ය’ යනු මනුෂ්‍ය සබඳතාවක් ලෙස ගනියි. ග්‍රාම්ස්චි ද්‍රව්‍යය (matter) යන්න මෙසේ අර්ථකථනය කරයි.

ද්‍රව්‍යයක් නිෂ්පාදනයේ වස්තුවකි. එයින් කැටිකර පෙන්වන්නේ සමාජ සම්බන්ධයකි. මේ සමාජ සම්බන්ධතාව සුවිශේෂ ඓතිහාසික කාලපරිච්ඡේදයක් සමඟ සමපාත වේ. (Gramsci, vol 2, 2011, 165-166)

ද්‍රව්‍යය යනු සමාජ සබඳතාවකි. ඒවා සුවිශේෂ ඓතිහාසික කාල පරිච්ඡේදයන් සමඟ සම්බන්ධිත ය. ආත්මය වන්නේ මනුෂ්‍ය ස්වභාවය ය. එය ඉතිහාසය ද වේ (Gramsci, vol3, 185-186). ග්‍රාම්ස්චිගේ ඓතිහාසික භෞතිකවාදය තවදුරටත් බුකාරින්ගේ ඓතිහාසික භෞතිකවාදය නො වේ. ඔහු කථා කරන ද්‍රව්‍ය සොබාවික විද්‍යාවේ කථා කෙරෙන ද්‍රව්‍ය නො වේ. ඔහු කථා කරන ද්‍රව්‍ය නිෂ්පාදන බලවේග සමඟ සම්බන්ධ ය. ඔහු කියා සිටින්නේ අප සොබාදහම අනුභූතිමත් කරන්නේ ශ්‍රමය හා තාක්‍ෂණය අතර මැදිහත්කරණයක් හරහා බව ය. ඔහු සිරගෙයි සටහන්හි ඉතාමත් විචිත්‍ර ආකාරයට මෙය දක්වයි:

ප්‍රයුක්තතාවේ දර්ශනයට අනුව ‘ද්‍රව්‍යය’ යන්න තේරුම් ගත යුත්තේ සොබාවික විද්‍යාව ද්‍රව්‍යය තේරුම් ගන්නා ආකාරයට හෝ පාරභෞතික වාදය ද්‍රව්‍යය තේරුම් ගන්නා ආකාරයට නො වේ. ද්‍රව්‍යයේ භෞතික විද්‍යාත්මක, රසායන විද්‍යාත්මක හා යාන්ත්‍රික විද්‍යාත්මක මූලිකාංගයන් තේරුම් ගත යුත්තේ නිෂ්පාදනීය ආර්ථික විද්‍යාත්මක මුලිකාංගයන් ලෙසට ය. නිෂ්පාදනය සඳහා සමාජීය හා ඓතිහාසික වශයෙන් මේ මූලිකාංගයන් සංවිධානය වී තිබෙන්නේ කෙසේ ද යන්න ය. සොබාවික විද්‍යාවන් තේරුම් ගත යුත්තේ අවශ්‍යයෙන් ම ඓතිහාසික ප්‍රවර්ගයක් ලෙසත් මිනිස් සම්බන්ධයක් ලෙසත් ය. (Gramsci 1971, 465-466)

මේ අනුව ග්‍රාම්ස්චි ද්‍රව්‍යත්වය යන්න අර්ථකථනය කරන්නේ වියුක්ත ආකාරයකට නොව ප්‍රයුක්තතාවේ ප්‍රවර්ගයක් ලෙසට ය. සමාජීය හා ඓතිහාසික ලෙස මිනිස් මැදිහත් වීමෙන් සංවිධානය කරන්නක් ලෙසට ය. මේ මිනිස් මැදිහත් වීම ය ඔහු මානවාදය වශයෙන් ගන්නේ. ග්‍රාම්ස්චිගේ Further Selection from Prison Notebooks කෘතියේ මානවීයත්වය හා වාස්තවිකත්වය සම්බන්ධයෙන් පැහැදිලි විග්‍රහයක් කරයි:

මනුෂ්‍යත්වය විරහිතව විශ්වයේ යථාර්ථය කුමක් වැනි වේ ද? විද්‍යාවේ සමස්තය ම ජීවිතය සමඟ බැඳී ඇත; මනුෂ්‍යත්වයේ ක්‍රියාකාරකම් සමඟ බැඳී ඇත. මනුෂ්‍යත්වයේ ක්‍රියාකාරීත්වය විරහිතව විද්‍යාත්මක ඇගයුම් පවා නිර්මාණය කරන්නේ කවුද? මනුෂ්‍ය ක්‍රියාකාරීත්වය නොමැතිව වාස්තවිකත්වය කුමක් වැනි දෙයක් වේ ද? එය සම්පූර්ණයන් ම වියවුලකි; ශූන්‍යයකි; අකිංචයකි. යමෙක් මනුෂ්‍යත්වය කියා දෙයක් නොපවතී යැයි සිතුවොත් භාෂාව හෝ චින්තනය ගැන වත් සිතිය නොහැකි ය. ප්‍රයුක්තතාවේ දර්ශනයට අනුව සත්තාව චින්තනයෙන් වෙන් කළ නොහැකි ය. මනුෂ්‍යත්වය සොබාදහමෙන් වෙන් කළ නොහැකි ය; ක්‍රියාකාරකම් ද්‍රව්‍යයෙන් වෙන් කළ නොහැකි ය; ආත්මය වස්තුවෙන් වෙන් කළ නොහැකි ය. යමකු මේ විභේදනය කරගහගෙන ගියොත් ඔහු එක්කෝ ආගම තුළට කඩා වැටේ නැත්නම් හැඟීමක් නැති වියුක්තකරණයකට කඩා වැටේ. (Gramsci 1995, 292)

ග්‍රාම්ස්චිට අනුව භෞතිකවාදය සහ විඥානවාදය අනුපූරක වනවා විනා අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරී නො වේ. මේවා වෙන වෙන ම ගත්තොත් මේ දෙකට ම සැබෑ ඉතිහාසවේදය ග්‍රහණය කර ගැනීමට නොහැකි ය. භෞතිකවාදය යටින් දිව යන සාරය සත්තාව වන අතර විඥානවාදය යටින් දිවයන සාරය චින්තනය ය. නමුත් මේවා වෙන වෙන ම ඒකත්වය ග්‍රහණය කර ගැනීමට අපොහොසත් ය. ග්‍රාම්ස්චිගේ ඓතිහාසික භෞතිකවාදය ප්‍රයුක්තතාවේ දර්ශනය වන අතර එයින් භෞතිකවාදී වියුක්තකරණයන් හා විඥානවාදී වියුක්තකරණයන් ඉක්මවා ගොස් සංයුක්ත හා ගතික ඒකත්වය ග්‍රහණය කර ගැනීමට උත්සාහ කරයි. චින්තනය හා පැවැත්ම අතර බිහි වී ඇති ද්වෛතවාදය හෙගල්ගේ විඥානවාදී දර්ශනය තුළ ඉක්මවා ගොස් ඇත. ග්‍රාම්ස්චි හෙගල්ගේ මෙම ප්‍රවේශය දැනගෙන සිටි බව පැහැදිලි ය. ග්‍රාම්ස්චිගේ පහත ප්‍රකාශනය ඔහු මොන තරම් දුරට හෙගලියානු විඥානවාදය අනුගමනය කරනවා ද යන්නට සාක්‍ෂි සපයයි.

චින්තනය සත්තාවෙන් වෙන් කළ නොහැකි ය; ක්‍රියාකාරකම (ඉතිහාසය) ද්‍රව්‍යයෙන් වෙන් කළ නොහැකිය; ආත්මය වස්තුවෙන් වෙන් කළ නොහැකි ය; යමකු මේ විභේදනය කරන්න ගියොත් ඔහුව වැටෙන්නේ හිස් කථා බහකට ය; අර්ථශූන්‍ය වියුක්තකරණයකට ය. (Gramsci, vol 2, 2011, 191)

වාස්තවිකත්වය යන්න හෙජමොනික අරගලයක ප්‍රතිඵලයක් විනා දෙන ලද දෙයක් නො වේ. වාස්තවිකත්වය සඳහා අරගල කිරීම මනුෂ්‍ය වර්ගයාගේ සංස්කෘතික ඒකාබද්ධකරණය සඳහා කරන අරගලයක් ද වේ.

ග්‍රාම්ස්චි ප්‍රයුක්තතාවේ දර්ශනය තුළ පාවිච්චි කරන්නේ හෙගල්ගේ භාෂාව ය; සංයුක්ත සාර්වත්‍රිකය (concrete universal); ඓතිහාසික වශයෙන් සංයුක්ත (historically concrete), ආත්මය වස්තුකරණය කිරීමේ ක්‍රියාවලිය ය (the process of objectification of the subject). මෙහි දී උදාහරණ ලෙස දැක්විය හැකි ය. මෙහි දී ග්‍රාම්ස්චි හෙගලියානු විඥානවාදය සමඟ අනන්‍ය වන අතර වියුක්ත සත්වාදයේ සහ යථානුභූතවාදයේ ශේෂයන් ගලවා දමයි. ග්‍රාම්ස්චි මෙවැන්නක්ද ලියා දක්වයි:

ප්‍රයුක්තතාවේ දර්ශනය ශුද්ධ ක්‍රියාවක් නොව අශුද්ධ ක්‍රියාවකි. එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ලෞකික ක්‍රියාකාරකමකි. (Gramsci, vol 2, 2011, 177-178)කි.

මේ ප්‍රයුක්තතාවේ දර්ශනය මඟින් කියවුණේ, ඉතිහාසයෙන් හා දේශපාලනයෙන් වියෝ කළ දර්ශනයක් හුදු පාරභෞතිකවාදයක් පමණක් බව ය. ප්‍රයුක්තතාවේ දර්ශනය යනු සංයුක්ත ආකාරයට ඉතිහාසවාදී දර්ශනයකි. මේ දැක්ම ගොඩනැගීමේ දී ඔහු මාක්ස්, ක්‍රෝච යන අයව එක්තැන් කිරීමක් කරයි. න්‍යාය හා භාවිතය අතරත් චින්තනය හා පැවැත්ම අතරත් ආර්ථික ව්‍යුහය හා උපරි ව්‍යුහය අතරත්, බලය හා අනුමැතිය අතර දයලෙක්තික සබඳතාව දකියි. ග්‍රාම්ස්චි ජර්මන් දාර්ශනික සම්ප්‍රදායෙන් සැලකිය යුතු ආභාසයක් ලබා ගෙන ඇත. හෙගල් සත්වාදය සිය විඥානවාදී දැක්මෙන් පලවා හැරියේ නැත. ඔහුට අනුව සත්වාදය සිය පද්ධතියෙන් පරිබාහිර නො වේ. ග්‍රාම්ස්චි භෞතිකවාදියෙකි. නමුත් ආධනග්‍රාහි භෞතිකවාදියකු නො වේ. ඔහු තුළ සංයුක්ත සත්වාදයක් මෙන් ම හෙගලියානු ක්‍රෝචියානු විඥානවාදී දාර්ශනික ප්‍රවර්ගයන් අන්තර්ගත ය. ඉතිහාසවාදය හා දයලෙක්තිකය ග්‍රාම්ස්චිගේ චින්තනයේ කේන්ද්‍රයේ ම පිහිටා ඇත.

ආශ්‍රිත ග්‍රන්ථ

(01)Beiser, F. (2011): The German Historicist Tradition, Oxford: Oxford University Press.

(02)Gramsci, A (1971): Selections from Prison Notebooks, London: Lawrence and Wishart.

(03)Gramsci, A (1995): Antonio Gramsci: Further Selections from Prison Notebooks, Minneapolis: University of Minnesota Press.

(04)Gramsci, A (1992): Prison Notebooks, vol 1, New York: Colombia University Press

(05)Gramsci, A (2007) Prison Notebooks, vol 3, New York: Colombia University Press.

(06)Gramsci, A (2011): Prison Notebook, vol 2, New York: Colombia University Press.

(07)Hamilton, P. (1996): Historicism, London: Routledge.

(08)Morera, E (1990): Gramsci’s Historicism: A Realist Interpretation, New York: Routldge.

(09)Popper, K (1957): Poverty of Historicism, London: Routledge.

ඔබගේ අදහස් අපට එවන්න.