අන්තෝනියෝ ග්‍රාම්ස්චි, ඉතිහාසවාදය සහ දයලෙක්තික චින්තනය - 1 කොටස

2022 ඔක්තෝබර් 9

Georg Wilhelm Friedrich Hegel

මෙම ලිපියෙන් උත්සාහ ගන්නේ අන්තෝනියෝ ග්‍රාම්ස්චිගේ චින්තනය සහ දේශපාලනය ඉතිහාසවාදී අංග ලක්‍ෂණයන් අන්තර්ගත කරගන්නා ආකාරයත් ඔහුගේ භෞතිකවාදය තුළ සත්වාදී මෙන් ම හෙගලියානු හා ක්‍රෝච්යානු විඥානවාදී ප්‍රවේශයන් අන්තර්ගත වී තිබෙන්නේ කෙසේ ද යන්නත් පරීක්‍ෂා කිරීම ය.

ඉතිහාසවාදය

පෝල් හැමිල්ටන් විසින් ලියන ලද (Historicism (1996) ග්‍රන්ථයේ ආරම්භයේ දී ම ඉතිහාසවාදය මෙසේ නිර්වචනය කරයි.

ඉතිහාසවාදය යනු ඕනෑ ම වර්ගයක වියමනක් අර්ථකථනය කිරීමේ දී ඓතිහාසික සන්දර්භයේ අතිමූලික වැදගත්කම අවධාරණය කරන විචාරාත්මක ව්‍යවහාරයකි. (Hamilton 1996, 1-2)

මේ අදහසින් ඔබ්බට යමින් ඉතිහාසවාදය සම්බන්ධයෙන් තවත් කරුණු කිහිපයක් මෙසේ ගොනු කළ හැකි ය. ඉතිහාසවාදයෙන් අදහස් කරන්නේ සමාජ හා දේශපාලන ලෝකයේ සෑම දෙයකට ම ඉතිහාසයක් ඇති බවත්, සෑම නීතියක් ම, ආයතනයක් ම, විශ්වාසයක් ම හා භාවිතාවක් ම ඓතිහාසික වෙනසකට භාජනය වන බවත් ය. සෑම දෙයක් ම සුවිශේෂ ඓතිහාසික වර්ධනයක ප්‍රතිඵලයක් බවත් ය.

සමාජ හා දේශපාලන ලෝකයේ කිසිවක් සදාකාලික නො වේ. ඕනෑ ම දෙයක අර්ථය තීන්දු වන්නේ වර්ධනය හරහා ය. කිසිවකට ඒ තුළ ම වූ අර්ථයක් නැත. ඉතිහාසවාදයේ ප්‍රවේශය වන්නේ මනුෂ්‍ය විශ්වාසයන්, භාවිතයන් හා ආයතනයන් ඒවායේ ඓතිහාසික වර්ධනය තුළ තබා පරීක්‍ෂා කිරීම ය. ඕනෑම ප්‍රපංචයක්, සංසිද්ධියක් සුවිශේෂ සමාජ, ආර්ථික, සංස්කෘතික සහ භූගෝල විද්‍යාත්මක තත්ත්වයන් හරහා බිහිවන බවත් මෙහි දී කියවේ. එමෙන් ම මේවා පුළුල් සමස්තයක කොටස් සේ සලකා හඳුනා ගැනීම සිදු වේ. ඕනෑ ම දෙයක් ඓන්ද්‍රීය ලෙස (organic) සලකා බැලීම ද මෙහි දී සිදු වේ. සමාජය නොබෙදිය හැකි සමස්තයකි. එහි දේශපාලනමය, ආගමික, සදාචාරමය, ආර්ථික හා නෛතික සංරචකයන් එකිනෙක අන්තර් සම්බන්ධිත ලෙස ක්‍රියාත්මක වේ.

ඉතිහාසවාදී දැක්ම බුද්ධි ප්‍රබෝධය හා විචාර බුද්ධිය ගැන තැබූ අධි-විශ්වාසය ප්‍රශ්න කළේ ය. බුද්ධි ප්‍රබෝධයේ දාර්ශනිකයන් හා උගතුන් ප්‍රකාශ කළේ විචාර බුද්ධියේ මූලධර්මයන් සාර්වත්‍රික සහ අපක්‍ෂපාතී ඒවා ලෙසට සෑම කාලයකට හා අවකාශයකට ම පොදු ලෙස අදාළ බව ය. ඉතිහාසවාදය ඉහත දැක්ම සමඟ ගැටෙයි. සාර්වත්‍රික, නොවෙනස්, සංසිද්ධි නැති බවත් ඕනෑ ම සංසිද්ධියක් ඒවාට අදාළ ඓතිහාසික සංවර්ධනය මත පිහිටුවමින් පරීක්‍ෂා කළ යුතු බවත් මෙහි දී කියවේ. ඉතිහාසවාදය ඔස්සේ යම් ප්‍රපංචයක් දෙස බලන විට පෙනී යන්නේ ඕනෑ ම දෙයක් සුවිශේෂ සංස්කෘතියක, සුවිශේෂ කාලයක නිපැයුමක් බව ය. මේ අනුව ඉතිහාසවාදී සම්ප්‍රදාය මගින් සැඟවුණු සාපේක්‍ෂකවාදයක් (relativism) මතු කරයි; සාර්වත්‍රික වටිනාකම්වලට වලංගුතාවක් ලබා නොදෙයි. ඉතිහාසවාදයෙන් කියවෙන ප්‍රධාන කාරණයක් වන්නේ ඉතිහාසයේ සත්‍යය, එහි ඓතිහාසික තත්වයන්ට සාපේක්‍ෂක බව ය. ඉතිහාසය පමණක් සැබෑ, සත් (real) බව මෙහි දී කියවේ. ඉතිහාසයෙන් පිටත කිසිවක් නොපවතින බවත් කියවේ. මේ අනුව ඉතිහාසවාදය මගින් ඕනෑ ම ආකාරයක සාරවාදයන්, ඝනීභූත ප්‍රවර්ගයන්, නියතවාදයන්, ඉරණම්වාදයන් ප්‍රශ්න කෙරෙයි; විද්‍යාත්මක ආධානග්‍රාහිත්වය ප්‍රශ්නයට ලක් කෙරෙයි.

මාක්ස්වාදය, පොපර් හා ඉතිහාසවාදය

කාර්ල් පොපර් තමන්ගේ Poverty of Historicism (1957) කෘතියේ ඉතිහාසවාදය නිර්වචනය කරන්නේ මෙලෙසිනි.

මා ඉතිහාසවාදය යනුවෙන් අදහස් කරන්නේ එය සමාජීය විද්‍යාවන්ට කරන ප්‍රවේශයක් ලෙසට ය. එයින් උපකල්පනය කරන කාරණාවක් වන්නේ ඉතිහාසමය පුරෝකථනයන් කිරීම එහි මූලික අරමුණ බවත් මේ අරමුණ ඉතිහාසයේ පරිණාමය යටින් දිවයන රිද්මයන්, හැඩයන්, නීතින් හෝ ප්‍රවණතාවන් සොයා ගැනීමෙන් සාක්ෂාත් කරගත හැකි බවත් ය. මට පැහැදිලි වූ කාරණයක් නම් විධික්‍රමය සම්බන්ධයෙන් එවැනි ඉතිහාසවාදී දැක්මවල් න්‍යායාත්මක සමාජීය විද්‍යාවන්ගේ (ආර්ථික න්‍යාය හැරුණු විට) පවතින සතුටුදායක විය නොහැකි තත්ත්වයට වගකිව යුතු බව ය. මාගේ මේ ඉදිරිපත් කිරීම ඇත්ත වශයෙන් ම පක්‍ෂග්‍රාහී එකක් නො වේ. (Popper 1957, 3)

පොපර්ගේ උත්සාහය වන්නේ ඉතිහාසවාදය දුගී විධික්‍රමයක් යැයි ඔප්පු කිරීම ය. ඉතිහාස ක්‍රියාවලියේ අනාගතය අනුමාන කිරීමට දෘඪ තාර්කික නීති අපොහොසත් බව පෙන්වීම ය. පොපර් මෙහි දී සිතන්නේ මාක්ස් ඉතිහාසවාදියකු බවත් ඔහු ප්ලේටෝ, හෙගල්, කොම්ටේ සහ ජේ. එස්. මිල් වැනි චින්තකයන් හා සමාන ඉතිහාසවාදියකු බවත් ය; මාක්ස්ගේ න්‍යාය දුගී එකක් බවත් ය. මාක්ස් ඉතිහාසවාදී අපරාධකරුවකු බවට පත් කිරීමත් ප්ලේටෝ, හෙගල් සහ මාක්ස් විවෘත සමාජයේ සතුරන් බවට පත්කිරීමත් පොපර්ගේ අභිලාෂය වේ.

පොපර්ගේ The Open Society and its Enemies: The Age of Plato, vol 1, (1945) සහ The Open Society and its Enemies: Hegel and Marx, vol 2, (1947) පොත් තුළින් මෙම සතුරු ආකල්ප වර්ධනය කළේ ය. පොපර් වැනි විද්‍යාවේ දාර්ශනිකයන් ඔස්සේ යමින් ලංකාවේ විද්‍යාවේ දර්ශනයට, ගණිතයට හා භෞතිකවිද්‍යාවට සම්බන්ධ නලින්ද සිල්වා වැනි අය මාක්ස්වාදයේ දරිද්‍රතාවය (1993) පොත් ලියූ අතර 1980 පමණ කාලයේ සිට “මාක්ස්වාදය විද්‍යාත්මකද?” යන ප්‍රශ්නය නැගී ය. මාක්ස්වාදය ස්වාභාවික විද්‍යාත්මක නීති පද්ධතියක් බවට පත් කිරීමත් එයින් කෙරෙන අනුමානයන් අසත්‍යකරණයට ලක් කළ නොහැකි නිසා මාක්ස්වාදය විද්‍යාත්මක නොවේ ය යන චෝදනාවට එරෙහිව ද පොත් පත් ලියවිණි. Maurice Conforth, The Open Philosophy and the Open Society: A Reply to Dr. Karl Popper’s Refutations of Marxism (1968) සහ ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි ගේ කාර්ල් පොපර්, මාක්ස්වාදයේ ව්‍යාජ විවේචකයකු ලෙස (2003) මේ ආකාර උත්සාහයන් ය. පොපර්, මාක්ස්ට මෙන් ම හෙගල්ට ඉතිහාසවාදී ලේබලය ඇලවුව ද, පොපර්ගේ අර්ථයෙන් නො ව වෙනත් අර්ථයකින් මාක්ස් හා හෙගල් තුළ පමණක් නො ව ලුකාස් හා ග්‍රාම්ස්චි යන අය තුළත් ඉතිහාසවාදයන් අන්තර්ගත බව හඳුනා ගත හැකි ය. මෙම ලිපියේ ප්‍රධාන අවධානය යොමු වන්නේ ග්‍රාම්ස්චි වෙත ය. ජර්මානු ඉතිහාසවේදී සම්ප්‍රදාය තුළ ග්‍රාම්ස්චි පිහිටුවා ඔහුගේ ඉතිහාසවාදයේ සුවිශේෂ අංගලක්‍ෂණ පරීක්‍ෂා කිරීම මෙහි දී සිදු වේ.

ජර්මානු ඉතිහාසවාදී සම්ප්‍රදාය

සමකාලීන හෙගල් උගතකු වන ෆෙඩ්රික් බෙයිසර් 2011 දී ලියන ලද The German Historicist Tradition කෘතියේ ආරම්භයේ දී ම පෙන්වා දෙන්නේ ඉතිහාසවාදය බුද්ධිමය ලෝකයේ විප්ලවයක් කළ සම්ප්‍රදායක් බව ය. බටහිර චින්තනය තුළ සිදු වූ ශ්‍රේෂ්ඨ විප්ලවීය ප්‍රවණතාවක් බව ය. එය මගින් පැරණි අනෛතිහාසික ප්‍රවේශයන් විස්ථාපනය කර දැමූ බව ය. මේ ප්‍රවණතාව 18 වන ශතවර්ෂයේ මැද භාගයේ ආරම්භ වූවකි. මෙහි දක්වන ආකාරයට, පැරණි ඓතිහාසික චින්තන ක්‍රමය මඟින් සිතුවේ මනුෂ්‍ය ස්වභාවය, සහ තර්ක බුද්ධිය පරම, සදාකාලික හා සාර්වත්‍රික ඒවා බව ය. නව ඓතිහාසික මාර්ගය මේවා සාපේක්‍ෂක, වෙනස්වනසුලු හා සුවිශේෂ ඒවා ලෙසට ගත්තේ ය. ඉතිහාසවාදය මඟින් පෙන්නුම් කරන්නේ හේතුන් හා සන්දර්භයන් මඟින් ඒවායේ අනන්‍යතාව තීන්දු කරන බව ය. යුගයකින් එළියට පැන විශ්වාසයන්, ඇගයුම් සම්බන්ධයෙන් සාමාන්‍යකරණයන් කළ නොහැකි ය. සාර්වත්‍රික ලෝක දැක්මවල්, අතිස්වාභාවික අනාවරණයන් සහ පරම සදාචාර කේතයන් තමන් ජීවත් වූ කාලයෙන් එළියට පැන බිහිකරන්නට යන මායාමය උත්සාහයන් ය. (Beiser 2011)

ජර්මන් ඉතිහාසවේදී සම්ප්‍රදාය යමෙකු ජීවත් වන යුගය ඉක්මවා ගොස් සාර්වත්‍රික ලෝක දැක්මවල් නිර්මාණය කිරීම, අතිස්වාභාවික හෙළිදරව් කිරීම, පරම සදාචාර මූලධර්ම හා ස්වාභාවික නීති මේ අනුව ඉතිහාසවාදයෙන් අභියෝගයට ලක් වන බව මෙහි දී පෙන්වා දෙයි. මේ ආකාර දැක්මක් බිහි කළ ජර්මන් ඉතිහාසවාදී පරම්පරාවක් 18 වන ශතවර්ෂයේ මැද භාගයේ සිට වර්ධනය විය. යොහාන් මාටින් ක්ලැඩිනියස් (Johan Martin Chladenius -1750-59), ජස්ටස් මෝසර් (Justeus Moser- 1720-94), යොහාන් ගොඩ්ෆිට් හර්ඩර් (Johan Gottfried Herder-1744-1803), විල්හෙල්ම් ෆොන් හුම්බෝල්ට් (Wilhelm Von Humboldt-1767-1835) ලෙපොල්ඩ් ෆොන් රැන්කේ (Leopold von Ranke 1795-1886), විල්හෙල්ම් ඩිල්තේ (Wilhelm Dithey – 1833-1911), හෙන්රික් රිකට් (Wilhelm Dithey – 1833-1911), ජර්මන් ඉතිහාසවාදී සම්ප්‍රදාය පෝෂණය කළහ. 20 වන ශතවර්ෂයේ බිහි වූ ප්‍රධාන, බටහිර මාක්ස්වාදීන් දෙදෙනකු වන ජෝර්ජ් ලුකාස් හා ග්‍රාම්ස්චි පිළිවෙළින් ජර්මානු හා ඉතාලියානු ඉතිහාසවාදී සම්ප්‍රදායන්ගේ බලපෑමට ලක්වූහ. ලුකාස් නව්‍ය කාන්ට්යානුවාදියෙකු වූ හෙන්රිච් රිකට්ගේ බලපෑමට ලක් වූ අතර ග්‍රාම්ස්චි නව්‍ය හෙගලියානුවාදියකු වූ බෙනඩිටෝ ක්‍රෝචගේ බලපෑමට ලක් විය. මොවුන් දෙදෙනාට පෙර හෙගල් තමන්ට කලින් වර්ධනය වී තිබුණු ඉතිහාසවේදය, තමන්ගේ පද්ධතියට සාදරයෙන් පිළිගත් අතර ඉතිහාසවාදයේ තිබුණු සාපේක්‍ෂවාදී ගම්‍යයන්ට කැමති වූයේ නැත.

ග්‍රාම්ස්චි හා ලුකාස් යන දෙදෙනා ම සත්‍යය හා යථාර්ථය නම් සංකල්ප තේරුම් ගැනීමේ දී ස්වාත්ම-වශයෙන්-පවත්නා-දේවල් මිනිසාගෙන් ස්වායත්ත ව පිහිටනවා ය යන මතය බැහැර කළහ. එමෙන් ම මොවුන් දෙදෙනා ම විද්‍යාත්මක ස්වභාවවාදය (scientific naturalism), සංශයවාදී ස්පේක්‍ෂකවාදය (skeptical relativism) බැහැර කළහ. මේ ලිපියේ ප්‍රධාන අවධානය යොමු වන්නේ ග්‍රාම්ස්චිට වන අතර ලුකාස් සම්බන්ධයෙන් සාකච්ඡා වන්නේ අඩු වශයෙනි.

මාක්ස්වාදය, ග්‍රාම්ස්චි සහ ඉතිහාසවාදය

බෙනඩිටො ක්‍රෝච් (1860-1952) තමන්ගේ චින්තන පද්ධතියට දිය හැකි හොඳ ම වචනය ‘ඉතිහාසවාදය’ යැයි කීවේ ය. ග්‍රාම්ස්චිගේ චින්තනයේ සුවිශේෂ ලක්‍ෂණයක් වූයේ මාක්ස් හා හෙගල් යන ජර්මානු චින්තකයන්ට අමතර ව ඉතාලියානු ක්‍රෝචට තිබූ සම්බන්ධය ය. ඉතිහාසඥයන් වඩාත් ගැඹුරින් ග්‍රාම්ස්චි අවබෝධ කර ගන්නවා නම් 1920 හා 1930 දශකවල ඉතාලියානු සංස්කෘතිය අවබෝධ කර ගත යුතු ය. ග්‍රාම්ස්චිගේ සිරගෙයි සටහන් පිළිබඳ ව දාර්ශනික හා දේශපාලන විශ්ලේෂණයක් කරන්නකු ඉතිහාසවාදය නම් සංකල්පය ගැඹුරින් සලකා බැලිය යුතු ය. ඉතිහාසවාදය ග්‍රාම්ස්චිගේ මුළුමහත් චින්තනය තුළ කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටු කරයි. මෙයින් අවධාරණය කෙරෙන කාරණාවක් වන්නේ ඓතිහාසික ස්වයං-විඥානය (historical self-consciousness) යි .

ඉතිහාසවාදය වඩාත් ළංවූයේ ජැම්බටිස්ටා විකෝ (Giambattista Vico-1668-1744), එමෑනුවෙල් කාන්ට්, ජෝර්ජ් හෙගල් වැනි අයගේ චින්තනයට ය. ඔවුන් තුළ අන්තර්ගත වන්නේ ආවශ්‍යකභාවයට (necessity) වඩා නිදහස (freedom) ය. මෙය මාක්ස්වාදයට පැමිණි විට මානව කේන්ද්‍රීයවාදය (humanism) ඉහළට මතු වේ. මේ තුළින් ඉතිහාසයේ විද්‍යාත්මක චරිත ලක්‍ෂණ යට යයි. විද්‍යාත්මක විධික්‍රමයේ ඒකත්වය පහතට වැටේ. හේතුඵලවාදී නියම ඔස්සේ යම් සිදු වීමක් විග්‍රහ කිරීම මෙහි දී බැහැර කෙරේ. මේ අදහස් ක්‍රෝච තුළ පැවති අතර ග්‍රාම්ස්චිටත් සැලකිය යුතු බලපෑමක් කළේ ය.

ග්‍රාම්ස්චිගේ සිරගෙයි සටහන් කෘතිය අර්ථකථනය කරන්නකුට බාධාවන් දෙකක් මුණ ගැසේ. ග්‍රාම්ස්චි දේශපාලනය, දර්ශනය ගැන පමණක් නොව භාෂාව පිළිබඳ වත් ලියා ඇත. දෙවැනි කාරණය වන්නේ ග්‍රාම්ස්චිගේ කෘතිය පිටු 2353 වැනි ප්‍රමාණයකින් යුත් අතිවිශාල එකක් වීම ය. මෙහි සඳහන් කාරණයන් බොහොමයක් අසම්පූර්ණ සටහන් ය. සමහර අවස්ථාවල දී පිළිවෙළක් සොයා ගැනීම අපහසු ය. සමස්ත පොත ආවරණය කරන පොදු ව්‍යූහයක් නැත. සමහර සටහන් ඉතා මත් සංක්‍ෂිප්ත ඒවා ය. ඔහු ඇත්ත වශයෙන් ම අදහස් කළේ කුමක් ද යන්න තේරුම් ගැනීමට අපහසු තැන් මුණ ගැසේ. 1926 සිට වසර 11 ක් සිරගත ව සිටීමෙන් පසු නිදහස ලබා දවස් දෙකක් ගත වූ 1937 අප්‍රේල් 27 දින, ඉතා මත් අඩු වයසක දී ග්‍රාම්ස්චි මිය ගියේ ය. ඒ නිසා ම ඔහුගේ අසම්පූර්ණ සටහන් සම්පූර්ණ කිරීමට ඔහුට අවස්ථාවක් ලැබුණේ නැත. මේ සටහන්වල අන්තර් සම්බන්ධිත ක්‍ෂේත්‍ර ගණනාවක් තිබෙන නිසා මේවාට නිශ්චිත අර්ථයන් ලබා දීම අපහසු වන අවස්ථා ද මුණ ගැසේ. ඔහු ගොඩනගන සමහර අදහස්වලට ප්‍රතිවිරුද්ධ අදහස් ද ඔහුගේ සටහන් අතුරින් සොයා ගැනීමට ලැබීමත් ග්‍රාම්ස්චි කියවන්නකු අපහසුවට ලක් කරයි. මේ නිසා සැබෑ ග්‍රාම්ස්චි යනු කවුද යන උභතෝකෝටිකය අපට අභිමුඛ වේ.

එස්ටෙව් මොරේරා (Esteve Morera) විසින් ලියනු ලැබූ Gramsci’s Historicism: A Realist Interpretation (1990) කෘතිය තුළ කතුවරයා ගොඩනගන තර්කයන් ඉතාමත් වටිනා නිසා ඒවා පරීක්‍ෂා කිරීම මෙම ලිපියේ ඉදිරි කොටස්වල දී සිදු වේ.

ග්‍රාම්ස්චි සිරගෙයි සටහන් හි දක්වන ආකාරයට මාක්ස්වාදය වනාහි පරම ඉතිහාසවාදයකි (absolute historicism). මෙම ඉතිහාසවාදය, ඥානවිභාගාත්මක හෝ සදාචාරාත්මක සාපේක්‍ෂකවාදය සමඟ සම්බන්ධ වුවත් එය වඩාත් ළංවන්නේ විඥානවාදී දර්ශනය සමඟ ය; කාන්ට් සහ හෙගල්ගේ අදහස් සමඟ ය. ක්‍රෝච හෙගලියානුවෙක් වූ නිසාත් ඩිල්තේ සහ රිකර්ට් නව්‍ය කාන්ටියානුවාදීන් වූ නිසාත් ග්‍රාම්ස්චි ව ද එක්කෝ හෙගලියානු මාක්ස්වාදියකු හෝ නව්‍ය කාන්ටියානුවාදියකු ලෙසට ගැනීමේ ප්‍රවණතාවන් ඇත. කෙසේ නමුත් ග්‍රාම්ස්චිගේ මාක්ස්වාදය පරීක්‍ෂා කළ විට පෙනී යන්නේ ආර්ථිකවාදය, එනම් දෙවන ජාත්‍යන්තරයේ මාක්ස්වාදීන්ගේ න්‍යයාත්මක ස්ථාවරයන් ඉක්මවා යාමට උත්සාහ ගන්නා මාක්ස්වාදියෙකි. එමෙන් ම රුසියානු විප්ලවය යථාර්ථයක් බවට පත් කිරීම සඳහා ලෙනින්ගේ මැදිහත් වීම දාර්ශනික වශයෙන් තහවුරු කිරීමට උත්සාහ ගන්නා මාක්ස්වාදී ක්‍රියාධරයෙකි.

බටහිර මාක්ස්වාදය තුළ පැවති විශේෂත්වයක් වූයේ දයලෙක්තික භෞතිකවාදය තුළ පවත්නා ආත්මීය මූලිකාංගයන් ඉස්මතු කිරීමේ උත්සාහය ය. ජෝර්ජ් ලුකාස්ගේ පන්ති විග්‍රහයත්, ග්‍රාම්ස්චිගේ හෙජමොනිය පිළිබඳ අදහසත් මෙහි දී මතු කළ හැකි ය. ලුකාස් ගත්තොත් ඔහු මාක්ස්වාදයට අනුභූති උත්තර ආත්මීයත්වයක් හඳුන්වා දුන් අතර මේ ආත්මීයත්වය පන්තිය මිස ශුද්ධ අහංභාවයක් නො වේ. ග්‍රාම්ස්චිගේ ප්‍රයුක්තතාව පිළිබඳ දර්ශනය (praxis) ඓතිහාසික ප්‍රශ්න විසඳීම සඳහා ඇති අධිෂ්ඨානමය ක්‍රියාව වේ. එය ද භෞතික මැදිහත්වීමක් විනා පාරභෞතික ප්‍රවේශයක් නො වේ. මේ අනුව, ග්‍රාම්ස්චිගේ න්‍යාය තුළ දේශපාලන ක්‍රියාවට ප්‍රාථමිකත්වය ලැබේ. එමෙන් ම, ක්‍රියාවේ සංස්කෘතික පාර්ශ්වය ද මෙහි දී සලකා බැලේ. මාක්ස්වාදය ප්‍රතිනිර්ණයවාදී (antideterministic) සහ මානවවාදයට සම්බන්ධයක් ඇති ප්‍රවේශයක් ය යන්න තහවුරු කිරීමට ග්‍රාම්ස්චිගේ එළඹුම හේතු විය. ග්‍රාම්ස්චි කථා කරන ආත්මීයත්වය ඝනීභූත අනුභූතිඋත්තර ආත්මයක් නො ව ඓතිහාසිකත්වයට ලක් වූ අනුභූතිඋත්තර ආත්මයකි (historicized transcendental subject) ග්‍රාම්ස්චි පවසන ආකාරයට දේශපාලන ක්‍රියාව, හෙජමොනික මැදිහත් වීම සහ ප්‍රායෝගික හෝ න්‍යායාත්මක ක්‍රියාව තුළින් ප්‍රකාශයට පත් වන්නේ ආත්මයේ ඉතිහාසවේදය ය. තවදුරටත් කීවොත් ග්‍රම්ස්චි කියා සිටින්නේ ප්‍රායෝගික හා න්‍යායාත්මක ක්‍රියාකාරකම්වල වස්තුව ආත්මයෙන් ස්වායත්ත නොවන බව ය.

ග්‍රාම්ස්චි ‘ඉතිහාසවාදය’ යන්න අර්ථ කිහිපයක් සඳහා යොදා ගෙන ඇත. ග්‍රාම්ස්චි ඉතිහාසවාදය යන්න පාවිච්චි කරන්නේ අනෙකුත් ඉතිහාසවාදීන් එය පාවිච්චි කරන ආකාරයට නො වේ.

ඉතිහාසවාදය වියානා කවයේ යථානුභූතවාදීන් නිසා මෙන් ම අල්තුසර් වැනි ව්‍යූහවාදී මාක්ස්වාදීන් නිසා යට ගැසුණේ ය. නමුත් ක්‍රෝච හා ආර්.ජී. කොලිංවුඩ් (R.G. Collingwood) වැනි චින්තකයන් නිසා ඉතිහාසවාදය ලෙහෙසියෙන් යට ගැසීමට නොහැකි විය. විකෝ තමන්ගේ Principles for a New Science හි කියා සිටියේ මිනිසාට ඉතිහාසය අවබෝධ කරගත හැකි අතර එය එසේ සිදුවන්නේ මිනිසා විසින් ඉතිහාසය නිර්මාණය කර තිබෙන නිසා බව ය; දෘශ්‍යමානයෙන් ඔබ්බට ගොස් ඉතිහාසය විනිවිදීමේ හැකියාව මිනිසාට තිබෙන නිසා බව ය.

ග්‍රාම්ස්චිගේ ඉතිහාසවේදී දැක්ම ගොඩනැගීමට ක්‍රෝචගේ බලපෑමට අමතර ව හෙගල්ගේ සහ මාක්ස්ගේ බලපෑම ලැබී තිබෙන බව පැහැදිලි ය. හෙගල් ඉතිහාසය යනු දයලෙක්තික ක්‍රියාවලියක් ලෙසට ගත්තේ ය. ඔහුට අනුව සියලු ම ආකාරයේ විඥාන ආකෘතීන්, ආගම හා දර්ශනය ද ඇතුළත් ව, වර්ධනය වන්නේ දයලෙක්තික ක්‍රියාවලියට අනුකූල ව ය. හේගල්ගේ පරමාත්මයේ ප්‍රපංචවිද්‍යාවට අනුව ඉතිහාසය යනු දයලෙක්තික දිග හැරීමකි. මේ ක්‍රියාවලිය දයලෙක්තික එකක් වන්නේ ක්‍රියාවලිය ඉදිරියට යාම ක්‍රියාවලිය තුළ ම හමු වන සීමාවන්, බාධාවන් හා විසංවාදයන් හරහා ශක්තිය ලබන්නක් නිසා ය. සෑම අවධියක ම ඒ අවධියට විශේෂ වූ බාධාවන් ඇත. මේ අනුව, යම් දාර්ශනික සංකල්පයක් අවබෝධ කර ගැනීමට නම් එය ඓතිහාසික වශයෙන් බිහි වූ සන්දර්භය හා අවධිය තුළ තැබිය යුතු ය. එමෙන් ම එම සංකල්පය සමස්ත සම්බන්ධතා තුළ තැබිය යුතු ය. මෙයින් කරුණු දෙකක් ගැන කියවේ. ඒ විඥානයේ ඓතිහාසිකත්වය (historicity of consciousness) හා සමස්තය පිළිබඳ සංකල්පය (concept of totality) යන ඒවා ය. මේ සංකල්පයන් දෙක ම හෙගලියානු දර්ශනයේ මූලිකාංගයන් ය.

මාක්ස් විඥාන ආකෘතීන්ගේ ඓතිහාසික ගතිලක්‍ෂණයන් සාකච්ඡා කර ඇත. ඔහු විඥාන ආකෘතීන් සමාජ ආකෘතින් ලෙස සලකා කරුණු දක්වා ඇත. මේ සමාජ ආකෘතීන්ගේ ඓතිහාසික ගතිලක්‍ෂණ මාක්ස් අතින් සාකච්ඡාවට ලක් වේ. මාක්ස් සමාජ අවධීන්ගේ සොබාවික හා පරම චරිත ලක්‍ෂණ බැහැර කළේ ය. එමෙන් ම මාක්ස් ජර්මානු ඉතිහාසවාදී දාර්ශනිකයන්ගේ ගතානුගතික ලක්‍ෂණ ඉවසුවේ නැත. මාක්ස්ගේ දයලෙක්තික ප්‍රවේශය යොමු වූයේ ඉතිහාසයේ පාරභෞතික සාරයක් ඇත ය යන මතවාදයට එරෙහි ව ය. පවත්නා තත්ත්වය ආරක්‍ෂා කරන හා ඉහළට ඔසවන ගූඪවාදී ආකෘතීන්ට එරෙහි ව දයලෙක්තිකයේ සබුද්ධික මදය ආරක්‍ෂා කිරීම ඔහුගේ ක්‍රමවේදය විය.

ඉතිහාසයේ දයලෙක්තිකය මෙන් ම එතුළ ගැබ් වන ඉතිහාසවාදය මාක්ස් ප්‍රාග්ධනය කෘතියේ දෙවන මුද්‍රණයට කළ පසුවදනෙහි සඳහන් කරයි. මෙයට අනුව, සෑම ඓතිහාසික වශයෙන් වර්ධිත සමාජ ආකෘතියක් ම දියවෙමින් පවතින මොහොතකි. ඒවාට තිබෙන්නේ සංක්‍රමණීය ස්වභාවයකි: තාවකාලික පැවැත්මකි. මේ ස්වභාවය පිටතින් පනවන එකක් නො ව එහි සාරමය ලක්‍ෂණය ය (Marx 1954, 29). මාක්ස් ඕනෑ ම දෙයක් තේරුම් ගන්නේ ඓතිහාසික ක්‍රියාවලියේ සමස්තයට සම්බන්ධ කරමිනි. ඔහුට වැදගත් වන්නේ ඓතිහාසික සම්බන්ධතා ජාලය සහ සංයුක්ත ඓතිහාසික තත්වයන් විග්‍රහ කරන නීතීන් ය. ඔහු අවධාරණය කරන ව්‍යූහයන් වන්නේ ඓතිහාසික ලෙස තීන්දු කරනු ලැබු ව්‍යූහයන්ය (historically determined structures).

හේගල් සම්බන්ධයෙන් ද සලකා බලමින් එංගල්ස්, මාක්ස්ගේ විධික්‍රමය ගැන ලියන්නේ මෙවැන්නකි ‘All that exists deserves to perish’: “පවත්නා සෑම දෙයක් ම විනාශ වී යාමට නියමිත ය.” මෙයින් කියවෙන්නේ සෑම යථාර්ථයක් ම (සමාජ යථාර්ථයද ඇතුළත් ව) ක්‍රියාවලියක් ලෙස සංවිධානය වී ඇති බව ය. මේ අනුව, එකකට පසුව එකක් වශයෙන් බිහිවන සෑම ඓතිහාසික පද්ධතියක් ම අවසන් නො වූ වර්ධන ක්‍රියාවලියක සංක්‍රමණීය මොහොතවල් ය. ඕනෑ ම යුගයක් යුක්තිසහගත වන්නේ යම් කාලයක් සඳහා පමණකි. ඉතිහාසය අධ්‍යයනය කිරීමෙන් මාක්ස් හා එංගල්ස් යන දෙදෙනා ම බලාපොරෙත්තු වන්නේ සමාජ ආකෘතීන්ගේ අභ්‍යන්තර ඇගයුම් නො ව ජීවමය මනුෂ්‍යයන්ගේ සංයුක්ත පැවැත්ම ය.

මාක්ස් හා එංගල්ස්ගේ ඉතිහාසවාදය පදනම් වන්නේ යථානුභූතවාදීන් මතු කළ විද්‍යාත්මක සාමාන්‍යකරණමය නීතින් මත නො වේ. යථානුභූතවාදීන් අතින් සිදු වූයේ නීතින් මඟින් විවිධත්වය මත පිළිවෙළක් (regularity) ආරෝපණය කිරීම ය. මාක්ස් හා එංගල්ස්ගේ ඉතිහාසය පිළිබඳ භෞතිකවාදී සංකල්පකරණයට අනුව ඓතිහාසික නීතින් පිහිටා තිබෙන්නේ පවත්නා සමාජ ව්‍යූහයන් මත විනා පිටින් ආරෝපණය කරන පිළිවෙළ මත නො වේ. මාක්ස් කියා සිටින්නේ සමාජය සමස්තයක් හෝ පද්ධතියක් බව ය. මේ සමස්තය වෙනස් වීමේ බීජයන් ඒ තුළ ම පවතින බව ය. මේ සමස්තය සෑදී තිබෙන්නේ ව්‍යූහාත්මක සබඳතාවක් මඟින් ය. සමාජයේ යම් ආවශ්‍යක බවක් තිබේ නම් එය උත්පාදනය වන්නේ සමාජ පද්ධතිය නිර්මාණය කර තිබෙන සබඳතාවන් මඟින් ය. සිද්ධීන් (events) පද්ධතිය මත පදනම් ව නිර්මාණය වේ. මේ සිද්ධීන් තේරුම් ගැනීමට සිදු වන්නේ පද්ධතියට විමර්ශනය කරමින් ය. සමාජ අවධීන් පමණක් නො ව, ඒ හා ගැටගැසුණු විඥාන ආකෘතීන් ද සංක්‍රමණීය වේ. සමාජ සම්බන්ධතා චලනය වන විට විඥාන ආකෘතීන් ද චලනය වේ. අදහස් විශ්ලේෂණය කළ යුත්තේ ඒවායේ ඓතිහාසික සන්දර්භ පදනම් කර ගෙන ය. සමහර විඥානවාදීන් අදහස් හැදෑරුවේ ඒවා බිහි කළ භෞතික යථාර්ථයන්ගෙන් වියෝ කරමිනි. මාක්ස් මෙයට විරුද්ධ විය. සංක්‍ෂිප්ත ව දැක්වුවහොත්, ඓතිහාසික භෞතිකවාදය ඉතිහාසවාදයේ ම රූපයක් වන අතර එහි දී යථාර්ථය සංක්‍රමණීය එකක් යැයි කියවේ. යම් යුගයක අදහස් තුළින් ඒ යුගයේ ද්‍රව්‍යමය යථාර්ථය පිළිබිඹු වන බව මාක්ස් හා එංගල්ස් ජර්මන් දෘෂ්ටිවාදය කෘතියේ දී කියා සිටියහ.

19 වන ශත වර්ෂයේ දී මේ ආකාර ඓතිහාසිකවාදී ප්‍රවේශයක් ජර්මනිය තුළ මතු වී තිබිණි. ඉතාලිය තුළ මාක්ස්වාදී නොවන ඉතිහාසවාදයක් මතු කර තිබුණේ බෙනඩිටෝ ක්‍රෝචය. ඔහුගේ ඉතිහාසවාදී දර්ශනය ඔහුගේ දාර්ශනික කෘති තුළත්, ඓතිහාසික කෘති තුළත් දැකිය හැකි ය. ක්‍රෝච 19 වන ශතවර්ෂයේ අග භාගයේ පැවති යථානුභූතවාදී අදහස්වලට විරුද්ධ විය. මේ යථානුභූතවාදී අදහස්වලින් කෙරුණේ මිනිසා සහ ලෝකය ජීවවිද්‍යාත්මක සහ පාරිසරික තත්ත්වයන්ට ඌනනය කිරීම ය. ජර්මානු ඉතිහාසවාදය උපත ලැබුවේ හේගල් මඟිනි. ජර්මානු ඉතිහාසවේදීන් ආකාරයට ම ක්‍රෝච අවධාරණය කළ කාරණයක් වූයේ ඓතිහාසික ප්‍රපංචවල අද්විතීය ස්වභාවය ය. ක්‍රෝච තර්ක කළ ආකාරයට ඉතිහාසය විද්‍යාවක් විය නොහැකි ය. ඔහුගේ Theory and History of Historiography කෘතියේ දක්වන්නේ ඉතිහාසයේ සත්‍යය කර්තෘකයා වන්නේ පුද්ගල ආත්මය නොවන බව ය. පුද්ගල ආත්මය ඉතිහාසයේ වස්තුච (වාචකය-predicate) වන අතර සත්‍යය කතුවරයා (වාච්‍යය- -subject) වන්නේ සාර්වත්‍රිකයන් ය. නිදහස, ප්‍රගතිය මේ ආකාරයේ සාර්වත්‍රිකයන් ය. ජර්මන් ඉතිහාසඥයන් මෙන්ම ක්‍රෝච වැනි පරම ඉතිහාසවේදියකු අතරත් පොදු ලක්‍ෂණයන් විය. මේ දෙපිරිස ම ඉතිහාසයේ කේන්ද්‍රය වශයෙන් ගත්තේ අදහස් ය. සැබෑ මනුෂ්‍යයන් හෝ සැබෑ සමාජ සම්බන්ධතාවන් ඉතිහාසයේ කේන්ද්‍රයේ තැබීමට මේ අය අපොහොසත් වූහ. මාක්ස් සිය Critique of Hegel’s Philosophy of Right කෘතියේ දී හේගල්ට චෝදනා කළේ හේගල් අදහස් කේන්ද්‍රයේ තැබීම සම්බන්ධයෙනි. කෙසේ නමුත් මාක්ස් හේගල්ව ආරක්‍ෂා කරන්නේ ඔහු දයලෙක්තික සබඳතාව ආරක්‍ෂා කරන නිසා ය.

ග්‍රාම්ස්චිගේ බුද්ධිමය පසුබිමෙහි සිටින්නේ මූලික ව ක්‍රෝච බව අවිවාදාත්මක ය. හේගල්, මාක්ස්, ක්‍රෝච සහ ජර්මානු ඉතිහාස පාසැල මේ පසුබිමෙහි ක්‍රියාත්මක වූයේ කෙසේ ද යන්න සොයා බැලිය යුතු ය. ඉතා මත් නිශ්චිත ව කිව හැකි කාරණයක් වන්නේ ග්‍රාම්ස්චි විසින් හේගල්, මාක්ස් හා ක්‍රෝච හොඳින් කියවා තිබුණු බව ය. ඔහුගේ ලිපි ලේඛන තුළින් මෙයට අදාළ විමර්ශනයන් දැක ගත හැකි ය. ග්‍රාම්ස්චිගේ සිරගෙයි සටහන් තුළ ක්‍රෝච සමඟ සැලකිය යුතු සංවාදයක් ඉදිරිපත් කර තිබෙන අතර ක්‍රෝචගේ ඉතිහාසවාදය ප්‍රශ්න කිරීමක් ද කරයි. මෙහි දී ග්‍රාම්ස්චි කියා සිටින කාරණයක් වන්නේ ක්‍රෝචගේ ඉතිහාසවාදය වඩාත් මුරණඩු සහගත ලෙස ඓතිහාසික භෞතිකවාදයට විරුද්ධ බව ය. එංගල්ස් විසින් ප්‍රති-ඩූරිංවාදයක් මතු කළා සේ ග්‍රාම්ස්චි විසින් ප්‍රති-ක්‍රෝචියානුවාදයක් මතු කර ඇත. ක්‍රෝච සමඟ සැසඳූ විට ග්‍රාම්ස්චිට තිබුණේ ජර්මානු ඉතිහාසවාදය සම්බන්ධයෙන් සීමිත දැනුමකි. නමුත් මේ සීමිත දැනුම සමඟින් ග්‍රාම්ස්චි, ක්‍රෝච සම්බන්ධයෙන් විවේචනාත්මක විය.

ග්‍රාම්ස්චි සම්බන්ධයෙන් වඩාත් පැතිර තිබෙන අර්ථකථනයක් වන්නේ ඔහු හෙගලියානු මාක්ස්වාදියකු බව ය. තවත් අර්ථකථනවලින් කියවෙන්නේ ග්‍රාම්ස්චිගේ පරම ඉතිහාසවාදය මඟින් ඕනෑ ම ආකාරයක සාරවාදයක් හෝ ප්‍රාග් ආනුභූතික සාධ්‍යතාවාදයක් බැහැර කෙරෙන බව ය. එමෙන් ම ඉතිහාසයට යම් අරමුණක්, අවසානයක් හෝ එල්ලයක් (telos) තිබෙනවාය යන මතය බැහැර කෙරෙන බව ය. මෙහි දී අප සොයා බැලිය යුත්තේ ග්‍රාම්ස්චිගේ ඉතිහාසවාදය කුමන ආකාරයේ එකක් ද යන්න ය. ක්‍රෝච පිළිබඳ ව ග්‍රාම්ස්චි තේරුම් ගන්නේ කුමන ආකාරයේ දෘෂ්ටිකෝණයකට අනුව ද යන්නත් සොයා බැලිය යුතු ය. එය හෙගලියානු ආකාරයකට ද, සත්වාදී (realist) ආකාරයකට ද, භෞතිකවාදී ආකාරයකට ද, දයලෙක්තික සත්වාදයක් (dialectical realism) ලෙසට ද යන්න සොයා බැලිය යුතු ය.

ග්‍රාම්ස්චි තුළ ක්‍රෝචියානු මෙන් ම ප්‍රති-කෝචියානු අදහස් තිබෙන බව මුලින් ම තේරුම් ගත යුතු ය. ඔහු ‘historicism’ යන වචනය සමඟ ‘transcience’ යන වචනයද යොදා ඇත. මේ වචනයෙන් ඔහු අදහස් කළේ ආර්ථික ආයතනයන්ගේ තාවකාලික ගතිලක්‍ෂණ ඇඟවීම ය. චින්තනය හා විඥානයත් මේ ආකාර ගතිලක්‍ෂණයන් පෙන්නුම් කරයි. ඔහුට අනුව, වෙනස් වන ගතිලක්‍ෂණයන් සලකා බැලිය යුත්තේ ජීවිතය-මරණය දයලෙක්තිකයේ සමස්ත ඓතිහාසිකත්වයට අනුකූල ව ය. ‘dialectico-historical’ යැයි කීවේ මෙයටය (Morera 1990,36)

ග්‍රාම්ස්චිගේ උනන්දුව යොමු වන්නේ සමාජ සමස්තයෙහි වර්ධනයේ ආකෘතීන් වෙත ය. මේ උත්සාහයේ දී ග්‍රාම්ස්චි සිය ඉතිහාසවාදය මඟින් ඉතිහාසයේ සියලු ම ආකාරයේ ස්ථිර මූලිකාංග බැහැර කරයි. සමාජය තාවකාලික ය; ක්ෂණභංගුර ය. (ephemeral). ඉතිහාසය අධ්‍යයනය කරනවා යනු තාවකාලික ක්‍රියාවලියක් (temporal process) අධ්‍යයනය කිරීම ය. ග්‍රාම්ස්චිගේ ඉතිහාසවාදී සංකල්පය සමපේක්‍ෂණමය වියුක්ත එකක් නො වේ. ඔහුගේ ඉතිහාසවාදයෙන් ගම්‍ය කෙරෙන්නේ ඉතිහාසයේ චලනමය ස්වභාවය ය. ඓතිහාසික ආවශ්‍යක බව යනු සම්බන්ධතා සංකීර්ණයක් සහිත ඓතිහාසික ක්‍රියාවලිය සමස්තයක් වශයෙන් ගැනීම ය.

ඉතිහාසවාදය, සත්වාදය හා විඥානවාදය

ග්‍රාම්ස්චි තමන්ගේ ඉතිහාසවාදය සත්වාදී එකක් ලෙසටත් ගෙන ඇත. මෙහි දී ඔහු හෙගල්ගේ චින්තනය ඉතිහාසවාදී මෙන් ම සත්වාදී ලක්‍ෂණ දරන බවත් සඳහන් කර ඇත. ක්‍රෝචේ හෙගල්ගේ මේ සත්වාදී පාර්ශ්වය ග්‍රහණය කර ගැනීමට අපොහොසත් වූ බව ග්‍රාම්ස්චිගේ මතය විය. හෙගල්ගේ මේ සත්වාදී පාර්ශ්වය මාක්ස්ටත් බලපාන ලද බව ග්‍රම්ස්චිගේ අදහස විය. මෙහි දී සත්වාදය යනුවෙන් අදහස් කරන්නේ යථාර්ථය සම්බන්ධයෙන් ඉතිහාසවාදී ප්‍රවේශයක් ගන්නා බව ය. සත්වාදී යැයි කියන්නේ යථාර්ථය පිළිබඳ ව කථා කෙරෙන බව ය. ක්‍රෝච විසින් හෙගල්ගේ සමපේක්‍ෂණ මූලිකාංගයන් මතු කළත් සත්වාදී මූලිකාංගයන් මතු කළේ නැති බව ග්‍රාම්ස්චිගේ මතය වේ. යථාර්ථය මත හිතුවක්කාර ලෙස ඔබ්බන අදහස් ග්‍රාම්ස්චි පිළිගන්නේ නැත. ග්‍රාම්ස්චි විඥානයෙන් ස්වායත්ත ව පවතින යථාර්ථය පිළිබඳ අදහසට දිරි දෙන ප්‍රකාශයන් සිදු කර තිබෙන අතර ම අදහස්වල උත්පත්තිය සැබෑ ඓතිහාසික ලෝකය තුළ සොයා ගත හැකි ය යන අදහසත් ප්‍රකාශයට පත් කරයි. ඉතිහාසය අතික්‍රමණය කළ හෝ අනුභූති උත්තර විඥානයක් තුළ අදහස්වල උත්පත්තිය තැබීමට ග්‍රාම්ස්චි උත්සාහ ගන්නේ නැත.

ග්‍රාම්ස්චි භෞතික විද්‍යාව සම්බන්ධයෙන් කරන විග්‍රහය තුළ සත්වාදී දැක්මක් සොයා ගත හැකි ය. භෞතික විද්‍යාවේ ක්‍ෂුද්‍ර ප්‍රපංච මිනිස් ආත්මයෙන් ස්වායත්ත ව පවතිනවා යැයි ගන්නේ නැත් නම් ඒවා නිරීක්‍ෂණයට ලක් වන දේ නො ව අප විසින් නිර්මාණය කළ දේවල් බවට පත් වේ. ක්‍ෂුද්‍ර ප්‍රපංච මිනිස් ආත්මයෙන් නිර්මාණය කරනවා ය යන මතය ස්වසන්තානමාත්‍රවාදී (solipsism) වේ. එමෙන් ම ඔහු තවදුරටත් කියා සිටින්නේ අප විඥානය තුළ සිදු වන වෙනස්කම්වලට අනුකූල ව යථාර්ථයත් වෙනස් වෙනවා යැයි ගැනීම ද කළ නොහැකි බව ය. මෙය ව්‍යවහාර චින්තනයට පමණක් නො ව විද්‍යාත්මක චින්තනයට ද පිළිගත හැකි සත්‍යයක් නො වේ. දැනුමට ඔබ්බෙන්, චින්තනයට ගත හැකි යමක් ඇත ය යන්න ඉවත් කළ නොහැකි සත්‍යයකි. මෙයින් කියවෙන්නේ චින්තනයට ඔබ්බෙන් නිශ්ප්‍රපංචයක් නොදන්නා දෙවියෙකු හෝ අඥාතයක් ඇත ය යන්න නො වේ. නමුත් සංයුක්ත අර්ථයෙන් මෙයින් කියවෙන්නේ යථාර්ථයේ සාපේක්‍ෂ වශයෙන් නොදන්නා ක්‍ෂේත්‍රයක් (relative ignorance of reality) පවතින බව ය. තවමත් නොදන්නා දෙයක් (something as yet unknown) පවතින බව ය. තව මත් නොදන්නා දෙය යම් දිනක දැක ගත හැකි දෙයක් බවට පත් වන බව ය. භෞතික හා බුද්ධිමය ආම්පන්න දියුණු වූ දිනක මේ ඉතිරි ශේෂය දැක ගත හැකි බව ය (Morera 1990,40). ග්‍රාම්ස්චිගේ ප්‍රවේශය සත්වාදී යැයි ගත් විට අදහස් දෙකක් සැපිරේ.

1. සැබෑවෙහි ස්වායත්ත ස්වරූපය

2. ස්වායත්තාව පවත්නා දෙය දැනුම තුළ පිළිබිඹු වේ

මෙය තුළ දැනුම සම්බන්ධයෙන් යම් අනුරූපතාවාදී අදහසක් ගැබ් වේ. ග්‍රාම්ස්චි සිතන ආකාරයට මාක්ස්වාදයේ ඉතිහාසවාදී සත්වාදය අනෙකුත් දාර්ශනික පද්ධතීන්හි ඇති සමපේක්‍ෂණ දෘෂ්ටිවාදයට විරුද්ධ ය. ග්‍රාම්ස්චි සම්බන්ධයෙන් අර්ථකථනයක් ඉදිරිපත් කරන තවත් කෙනකුට අනුව ග්‍රාම්ස්චි තුළ පවතින සත්වාදී නොවන ස්ථානයන් මතු කර පෙන්වීමට ද පුළුවන. මේ ගැටලුව විසඳා ගන්නේ කෙසේ ද?

ඉහත ගැටලුව සාකච්ඡා කිරීමට ඉදිරියේ දී පළ වන මේ ලිපියේ දෙවන කොටසින් බලාපොරොත්තු වෙමි.

සමස්ත ලිපියට ආශ්‍රිත ග්‍රන්ථ

(01)Beiser, F. (2011): The German Historicist Tradition, Oxford: Oxford University Press.

(02)Gramsci, A (1971): Selections from Prison Notebooks, London: Lawrence and Wishart.

(03)Gramsci, A (1995): Antonio Gramsci: Further Selections from Prison Notebooks, Minneapolis: University of Minnesota Press.

(04)Gramsci, A (1992): Prison Notebooks, vol 1, New York: Colombia University Press

(05)Gramsci, A (2007) Prison Notebooks, vol 3, New York: Colombia University Press.

(06)Gramsci, A (2011): Prison Notebook, vol 2, New York: Colombia University Press.

(07)Hamilton, P. (1996): Historicism, London: Routledge.

(08)Morera, E (1990): Gramsci’s Historicism: A Realist Interpretation, New York: Routldge.

(9) Popper, K (1957): Poverty of Historicism, London: Routledge.

ඔබගේ අදහස් අපට එවන්න.