කැත්ලීන් ජයවර්ධන ලියූ ඉවුරු: සුළු ධනේශ්වර චින්තනයක දෝරේ ගලා යාම

2022 මාර්තු 30

ඉවුරු නවකතාවෙහි කතුවරිය වන කැත්ලීන් ජයවර්ධනට වර්තමාන සමාජය පිළිබඳ තදබල විවේචනයක් ඇත. පන්සල්වල රණවිරු උත්සව පැවැත්වීම, දේශපාලකයන්ගේ අමන ක්‍රියා ගැන කෙරෙන සඳහන් කිරීම්, පාතාල ක්‍රියා, 71, 83, 89 වසර ආශ්‍රිත සියලු දෙනා දන්නා සිදු වීම් ආදි බොහෝ දෑ ඔබට මෙහි දී හමු වෙයි. දේශපාලකයින් ඇතුළු බලවත්තු මිනිසුන් රැවටීම සඳහා එකමුතුව, සංහිඳියාව ආදි හිස් වදන් පට්ට ගසති; මිනිසුන්ගේ කතිරවලින් බොරුකාර පාලකයෝ වැජඹෙති; සංවිධිත ආගම් ප්‍රචාරකයෝ දෙපිටකාට්ටු වැඩ කරති; රෑවටීම, බොරුව, වංචාව දස දෙස පැතිර ඇත; තරගකාරී අධ්‍යාපනය භයානක ලෙස දූ දරුවන් හා මවුපියන් අතර වෛරයේ පවුරක් ඉදි කර තිබේ; යුක්තිය සාධාරණය වල් වැදී ඇත; හැම කාලයක ම සිටින, හැම කාලයක ම නිදහස ලබන, හැම කාලයක ම නිදහසේ හැසිරෙන බරබ්බස්ලා සිටිති; වර්ගවාදය හා විවිධ භේදභින්න වීම් මිනිසා වෙළා ගෙන ය; ස්ත්‍රී පීඩනය ඔඩු දුවා ඇත. මේ ආදි වශයෙනි. පොත පුරා මෙබඳු දෑ ඕනෑ තරම් ය. හාත් පස සමාජ ප්‍රශ්න හා ගැටලු කෙරෙහි අන්ධ ව බහුභූත තොග ගණනින් ලියැවෙන කාලයක එක අතකට මේ විරෝධාකල්පය පවා යම් දෙයකි. එහෙත් එපමණි.

කතුවරියගේ දුර්වලතා මතු වී එන්නේ ඇගේ විරෝධයට පාත්‍ර වී ඇති මෙකී සමාජ තත්වයන්හි මූලයන් ගවේෂණය කිරීමට යාමේ දී ය. එහි ලා ඇය පෙන්වා ඇත්තේ බරපතළ ඥානික දුප්පත්කමකි. සමස්ත ඉවුරු නවකතාව කැත්ලීන් ජයවර්ධනගේ ප්‍රතිගාමී දෘෂ්ටිවාදයෙන් තැළී පෙළී හැඩ ගැන්වී තිබේ. මේ දෘෂ්ටිවාදීමය බලහත්කාරය කෙතරම් මහත් ද යත් එය මැඬ ගෙන නවකතාව තුළින් යථාර්ථ ඥානය රිංගා ඒමට පවා අවකාශයක් නැති තරම් ය.

කතුවර අවතාර

කතුවරිය සිය සමාජ විවේචනය ගෙන එන්නේ නර්මදා, දේවමිත්තා මෙහෙණිය, වංගීස නම් සෙබළා, ෂර්ලි පියතුමා හා ෂර්ලි රත්නසිංහ නම් කවියා, ඈන්මරී කන්‍යා සොයුරිය, ආදි චරිත හරහා ය. මේ ප්‍රධාන චරිත සියල්ල ම පාහේ අපට මහ පොළොවේ දී හමු වන සාමාන්‍ය මිනිස්සු නො වෙති. ඔවුහු සියල්ලෝ ම ජීවිතය පිළිබඳ අමුතු කල්පනා ඇත්තෝ ය; තැන නොතැන බලා දාර්ශනික කියුම් බස් දෙසන්නෝ ය; විවිධ පොත්වල කොටස් උපුටන්නෝ ය. ඇත්තෙන් ම කිව හොත් ඒ හැම චරිතයක් ම කැත්ලින් ජයවර්ධන නමැති අප කතුවරියගේ අවතාරයන් ය. මේ අවතාර හරහා අපට ඇසෙන්නේ ඇගේ බහුශ්‍රැත කටහඬ ම ය. ඒ හැම වැකියකින් ම ඇසෙන්නේ පොත ලිවීමට ඇය නිදි මරා ගෙන කළ පර්යේෂණයේ ප්‍රතිඵල එකී චරිතවල උගුරුවලට බලහත්කාරයෙන් ඔබ්බවන ගොර ගොර හඬ ය. අන්තිමේ දී සම්ප්‍රයුක්තය හැටියට, ඒ හැම චරිතයක් හරහා ම අපට හසු වන්නේ ඇගේ සුළු ධනේශ්වර අධ්‍යාත්මය දියවී වැගිරෙන සැටි ය. එ ද ප්‍රමාණවත් නොවූ සැටියෙකි. කතුවරියගේ අධ්‍යාත්මය දිය කරන්නට අර අවතාර මදිවාට අවසානයේ කපුටකුගේ චරිතයක් ද නිර්මාණය කර ගෙන තිබේ. කපුටාගේ නිදහස ඇගේ නිදහස බවට පත් කර ගත් කල්හි කතුවරියට නොකළ හැක්කේ කුමක් ද? මේ අයුරින් රූකඩ චරිත නැටවීම නවකතාවේ කලාත්මක භාවයට බෙහෙවින් හානි පමුණුවා තිබේ. මේ ඒකාකාරී ලෙස සිතන මතන, ඇත්ත ජීවිතයේ පලා පැහැයෙන් තොර ප්‍රාණීන් ගැන කියවෙන මේ නීරස හෑලි පාඨකයාට වධයක් වෙයි. කලාව මේ ව්‍යාජ විදග්ධ ස්වරූප ගත් නොයෙකුත් දාර්ශනික හරඹ මගින් විස්ථාපනය වීමේ ප්‍රවණතාවක් පවතී. එය පවතින ධනේශ්වර අර්බුදය තුළ මිනිසා සඳහා වඩා යහපත් ලෝකයක් නිර්මාණය කර ගැනීම සඳහා අවශ්‍ය යථාර්ථ ඥානය කලාත්මක ව නවකතාව තුළින් එළිමහනට ගැනීම වළකාලයි.

සහජ මානුෂීය දුර්ගුණ පිළිබඳ ප්‍රතිගාමී දෘෂ්ටිය

ඉවුරු නවකතාව පුරා තහවුරු කෙරෙන එක් ප්‍රබල දෘෂ්ටිවාදයක් වන්නේ මිනිසා සහජයෙන් ම ලද දුර්ගුණවලින් යුක්ත ය යන්න යි. දේවමිත්තා මෙසේ සිතයි: “ස්වභාව ධර්මය කිසිවක් හෝ කිසිවකු ශික්ෂිත කර නැත. මිනිස්සු ස්වභාවයෙන් ම අශික්ෂිත ය.” උතුරේ යුද්ධයෙන් බැට කෑ ඈන්මරී උතුරේ කණ්ඩායම් හා දකුණේ දේශපාලනඥයින් ගැන සිතමින් ගන්නේ මෙවැනි සිතිවිල්ලකි: “දකුණේ දේශපාලනඥයන්ගේ බහුතරය සිංහල-බෞද්ධ ය. අනෙක් අතට මේ නම් ලෝකයේ හැටි ය. කාට කාටත් ඇත්තේ පෞද්ගලික න්‍යාය පත්‍ර ය.” රණවිරු වංගීස යුද්ධය මෙන් ම විප්ලවය ද ලෝකය යහපත් කරන්නේ නැතැ යි කියමින් එළඹෙන නිගමනය මේ ය: “මිනිසුන්ට එක තත්පරයෙන් බොහෝ දේ අමතක වෙයි. මුළු ලෝකයම පිරී පවතින්නේ පාවාදීම් හා ද්‍රෝහිකම්වලිනි.” ෂර්ලි පියතුමා සිතන්නක් මෙසේ වේ: “භේදභින්න වීම පිළිබඳ ව මිනිසුන් තුළ පවත්නා නිසග වුවමනාවට...” යළිත් දේවමිත්තාට ඇහුම්කන් දෙමු: “ඒත් මනුෂ්‍යයා නිර්මාණය වෙලා ම තියෙන්නේ දයාව, කරුණාවට ම එකතු වුණ ඊර්ෂ්‍යාවක්, වෛරයක්, තණ්හාවක් එක්ක.”

මේ අදහස් නවකතාවේ සකලාර්ථය පෝෂණය කෙරෙන හෙයින් (එනම්, නවකතාව කියවා අවසානයේ දී මේ අදහස් පාඨක සිත් තුළ තහවුරු කෙරෙන බැවින්), මේ අදහසෙහි ප්‍රතිගාමී ස්වභාවය පැහැදිලි කළ යුතු වේ. ඊට හොඳ ම මඟ මීට පෙර මහාචාර්ය කාලෝ ෆොන්සේකා මනුෂ්‍යයාගේ නිසග ක්‍රෑරත්වය ගැන දේශනා කළ අවස්ථාවේ මාක්ස්වාදී කලා විචාරිකා පියසීලි විජේගුනසිංහ ඊට දුන් විවරණයේ කොටසක් මෙහි බහා ලීම යැයි හඟිමි:

“මනුෂ්‍යයාගේ ක්‍රියා කලාපය විග්‍රහ කිරීමෙහි දී මනුස්‍යයා නෛසර්ගික ක්‍රෑර චෛතසිකයක් ඇත්තෙකි යි ප්‍රකාශ කරන්නා ද්‍රව්‍යය නො ව විඥානය ම ප්‍රාථමික වෙති යි සිතන ඒ නිසා මනුෂ්‍ය විඥානයෙන් තම විග්‍රහය අරඹන විඥානවාදියෙකි... ඉතිහාසය මුළුල්ලේ මනුස්‍යයාගේ සාමාජික ක්‍රියා කලාපය නිර්ණය වූයේ ද ඊනියා නෛසර්ගික ප්‍රවණතාවන්ගෙන් නො ව ස්වභාවධර්මය ජය ගැනීමේ අරගලයේ දි මිනිසා විසින් ම නිර්මාණය කරනු ලැබුණු අර්ථ ක්‍රමය පාදක කොට ගත් සමාජ යථාර්ථයෙනි.”

“මෙහෙණිය එදා පෙන්වා දෙන්නට උත්සාහ කළේ වාර්ගික ගැටලු නිර්මාණය කරන මනුෂ්‍යත්වයේ පොදු සාධකයක් බව ඈන්මරී කන්‍යාසොහොයුරියට තේරුම් ගත හැකි වූයේ පසු ව ය. ඊට ජාතිභේදයක් හෝ වර්ගභේදයක් ඇත්තේ නැත. මිනිසා තිරිසන් භාවයට ද වැඩියෙන් මිටි තැනකට තල්ලු කර හරින්නේ මමායනය යැයි ඇය කියයි.”

මෙලෙස මිනිසා පොදුවේ නෛසර්ගික ව ම ගෙන එන දුර්ලක්ෂණවලින් යුතු ය යන ප්‍රතිගාමී දෘෂ්ටියෙහි සිටින කතුවරියට පාඨක සිත් සතන් ආපස්සට ගෙන යන්නට තුඩු දෙන නිර්මාණයකට එහා ගමන් කළ නොහැකි වීමේ පුදුමයක් නැත.

අනාගමික එකමුතුවක්

කතුවරිය ලෝකය දෙස බලන්නේ මිනිසා තණ්හාවෙන් භරිත, ඊර්ෂ්‍යාවෙන් හෙබි, උපතින් ම අශික්ෂිත, භේදභින්න ව කා කොටා ගැනීම නිසගයෙන් ම උරුම කොට ගත් සත්වයෙකි යි යන විඥානවාදී දෘෂ්ටියෙනි. ඇය සමාජය දෙස බලන්නේ පන්ති දෘෂ්ටියකින් නො වේ. ආගමික දෘෂ්ටිය විසින් පටල බැඳ ඇති ඇගේ දෑසට පෙනෙන්නේ එක ම මිනිස් කැලකි. සංවිධිත ආගම ඇගේ විවේචනයට හසු වෙයි. සංවිධිත සියලු ආගම් ඒවායේ ශාස්තෲවරුන්ගේ උත්තම ස්වභාවයෙන් අපගමනය වෙමින් දූෂිත ව තිබේ. මිනිසාට හතුරු වන සංවිධිත ආගමට විකල්ප ව මුල් බුදු දහමේ අගය අප වෙත ඉදිරිපත් කෙරේ. ඒ අතරේ ම අනාගාමික එකමුතුවක් ගැන ද කියැ වේ. කිසියම් වූ ආගමක පූජකවරයකුට අනාගාමික විය නොහැකි දැයි ෂර්ලි පියතුමා සිතයි. සියලු ආගමිකයෝ එක ම කන්දක් තරණය කිරීමේ ව්‍යායාමයක නිරත ව සිටිති යි ද විවිධ මාවත් ගත්ත ද අවසාන වන්නේ එක ම ගිරි හිසකින් යැයි ද ඔහු කියයි. දේවමිත්ත මෙහෙණිය “හැමතැන ම හැමදා ම එහෙම වුණානං” යැයි පිළිතුරු දෙයි. මේ ආගමික ඒකාබද්ධතාවේ කලලරූපී සංවිධානයක් ලෙස ගමෙහි “සමාජයෙන් පාඩමක්” වැඩ සටහන ඇරඹේ. දේවමිත්තා මෙහෙණිය විසින් තායිලන්ත භික්ෂුණියකගේ සමාජ සත්කාරයක් නිදසුන් ලෙස දක්වමින් සියලු ආගමිකයන්ගේ සහභාගිත්වයෙන් අසරණසරණ අරමුදලක් ඇරඹීමේ කාලීන අවශ්‍යතාව අවධාරණය කෙරේ. මේ නම් ධනේශ්වර ක්‍රමයට සුපුරුදු අණ්ඩ දැමීමක් බව කාට නම් නො වැටහේ ද?

මහා කරුණාවේ බලය

කතුවරිය විසින් අනුදත් මහා මෛත්‍රියෙන් හා මහා දයාවෙන් පූර්ණ අධ්‍යාත්මයෙන් හෙබි දේවමිත්තා මෙහෙණිය රන් කොතක් මෙන් මුළු නවකතාව පුරා බැබළෙයි. මුලින් ම ඇයට මුණ ගැසෙන ඈන්මරී කන්‍යා සොයුරිය පළමු අවස්ථාවේ ම ඇයට වසඟ වෙයි. “ඒ දයා-කරුණාව නිර්ව්‍යාජ යැයි ද තමා ඊට ඇදී යමින්, දැපනේ වැටෙමින් සිටින්නේ යැයි ද හැඟුණෙන් කන්‍යාසොහොයුරියට පුදුම සිතිණ.” ඇත්ත. පාඨක අපට ද පුදුම සිතුණි. මන්ද ඒ හමු වීමේ දී ඈන්මරී තුළ හට ගත්තේ ම මෙහෙණිය පිළිබඳ අප්‍රසන්න සිතිවිලි බැවිනි. ඈන්මරීට මෙහෙණිය මුණ ගැසුණේ ඇය විසින් ඇති කරනු ලබන සර්ප පැටවකු නැති වී සොයමින් සිටින විට ය. උතුරේ යුද්ධයෙන් අනන්ත අප්‍රමාණ පීඩාවන්ට හසු ව කඳුකරයේ කන්‍යාරාමයකට පැමිණ සිටින මේ ළා බාල කන්‍යාසොයුරිය එවේලේ මෙසේ සිතන්නී ය: “මිනිසුන් තුළින් පොළොං ලක්ෂණ හිස ඔසවමින් ඇති යුගයක සර්ප කරුණාවක් ඉස්මත්තට ගත හැකි වන්නේ හැපින්නකට ම මිස මනුෂ්‍ය දුවකට නම් නො වේ.” ඊට පසු මෙහෙණියගේ කතාබස් නිසා සිය නිර්දෝෂී ඥාතීන් ඝාතනය කෙරුණු භීෂණ සමයේ ස්මරණයන් ඇගේ සිතේ ඇඳෙයි. එවිට ඈන්මරී තුළ පහළ වන්නේ මෙවැනි අදහස් ය: “ඒවා දකිමින් සතුටු වූවෝ, ජයපැන් පානය කළෝ මොවුහු ය. ස්පාඤ්ඤ ගොන් පොරයකට එක් වී ලේ හලාගෙන දුවන තරගකරුවන් දෙස බලා සතුටු වන ප්‍රේක්ෂක ජනතාවටත් වැඩියෙන් මොවුන් ක්‍රෑරතර යයි සිතුණේ කෙනකුගේ මළකඳක් ඉදිරියේ සව්දිය පුරන්නට, ජයපැන් බොන්නට ඔවුන් තුළ වූ හැකියාව නිසා ය. එහෙත් දැන් මේ අරුම පුදුම භික්ෂුණිය සැරසෙන්නේ ඒ සාපරාධී පීඩනයේ සැර බාල කරන සර්ප කරුණාවක් මුදා හැරීමට ය.” (මෙහෙණිය දැක මේ ළා බාල දැරිය තුළ උපදින සිතිවිලි ඇගේ ද? කතුවරියගේ ද?)

ඒ සමඟ ම පන්සලේ ශබ්ද විකාශන යන්ත්‍රයක් ක්‍රියාත්මක වෙයි. “රණවිරු උපහාර උත්සවේ තියෙන්නේ හෙට නේ...” භික්ෂුණිය කියයි. ඒ වදන් ඈන්මරී තුළ ඇති කළේ නොපහන් බවකුත් කෝපයකුත් ය. එහෙත් සියල්ල මෙසේ තිබිය දීත් මෙහෙණියගේ නිර්ව්‍යාජ සිනාව හඟිමින් ඇන්මරී ඇයට වසඟ වන්නේ එක ම එක හේතුවක් නිසා පමණි. ඒ කතුවරියගේ උවමනාවට ය. මන්ද කතුවරියට මෙහෙණියගේ මහා මෛත්‍රියේ බලය මේ යැයි පෙන්වීමේ දැවෙන උවමනාවක් ඇති බැවිනි.

පරිණත ෂර්ලි පියතුමාට ද දේවමිත්තා මුණ ගැසුණු පසු සිදු වූයේ එය ම යි! “මෑණියෝ වගේ කෙනෙක් මටත් මුණ ගැහුණෙ මං හිතන්නෙ මතක ඇති කාලෙකට පස්සෙ. මුල් වතාවට ද කියලත් හිතෙනව...” මෙලෙස ෂර්ලි පියතුමා ද ඇයට වසඟ වන්නේ ඈ තුළ ඔහු දකින“ මෙහෙණියගේ මුහුණේ ලැගුම් ගෙන ඇති දයාව, කරුණාව, විශ්වාසය හා ඒ සියල්ල අබිබවනසුලු වූ අවංකභාවයයි.” වංගීස නම් සෙබළාට ද අත් වන්නේ ඒ ඉරණම ම යි. “මෙහෙණිය කෙරෙහි ආසක්ත වීමට තුඩු දුන් මේ ළබැඳි හැඟීම” තේරුම් ගන්නට ඔහු තැත් කරයි. “මතක ඇති කාලයක පටන් ම තම අභ්‍යන්තරයෙන් ම රාව නංවමින් පවතින්නේ මෘදු භාවයට, දයා ගුණයට එරෙහි කැරෑල්ලක අවි ගැටෙන හඬකි. මෙහෙණිය දැන් තමා පරාජය කරන්නට සැරසෙන්නේ ඒ සටනට ප්‍රතිවිරුද්ධ වූ සටනකිනි. ඇගේ තියුණු ම අවිය වී ඇත්තේ නිහඬතාව හා මන්දස්මිතයයි. මෙහෙණියගේ “අවෛරී දෑස...මුදු දයාර්ද්‍ර බැල්ම” මායාකාරී දැයි ඔහු සිතයි.මේ කිනම් අසිරියක් ද? මහා මෛත්‍රියේ-මහා දයාවේ අසිරිය යි. එය මොන තරම් කූටයකට නැඟෙන්නේ ද යත් දැන් පල්ලියේ පියතුමා-ෂර්ලි- සිතන්නේ තමන් වෙත පාපෝච්චාරණයට එන්නන් පවා දේවමිත්තා වෙත සරණ පතා යොමු කරන්නට ය! ඔහු තමා වෙත පාපෝච්චාරණයට පැමිණි, එහෙත් තමන්ට කිසිවක් ඒත්තු ගැන්වීමට නොහැකි වූ, නැති බැරිකම් නිසා ශරීරය විකිණීමට පෙළඹුණු වෙරෝනිකා ඉන් ගලවා ගනු පිණිස සිල්මෑණියන් වෙත යවයි. කතුවරිය අපේක්ෂා කරන ආගමික ඒකාබද්ධතාවේ දිශාව එය යි.

සමාලෝචනය “ජාතිකවාදය, ජාත්‍යන්තරවාදය, ධනවාදය, සමාජවාදය, වම් ඉවුර, දකුණු ඉවුර කොහේ පවතින්නේ දැයි මම විමසිලිමත් වෙමි...ඉවුරු පවතින්නට නම් ගඟක් තිබිය යුතු ය. දැන් ගඟක් ඇත්තේ නැත. ගඟ සිඳී ගිය දා ඉවුරු ගැන කුමන කතා ද?” -ඒ දේවමිත්තා ගිහි කල ලියුවකි. ඉන් පළ වන්නේ නර්මදාගේ අන්දමන්ද භාවයෙන් ඈ තුළ උපන් අසාර දර්ශනයකි. දේවමිත්තා ඊට පිළිතුරක් සොයා ගෙන තිබේ. ඒ සකලවිධ සත්ව වර්ගයා කෙරෙහි පතළ මහා කරුණාවේ දයාවේ බලය යි.

ලියෝන් ට්‍රොට්ස්කි පෙන්වා දුන් පරිදි කලාව යනු මිනිසා ලෝකය තුළ සිය සබඳතා හා මං පෙත් පාදා ගන්නා මාර්ගයක් වේ. ඉවුරු කෘතියෙන් සිදු කර තිබෙන්නේ ධනේශ්වර ක්‍රමය විසින් මිනිසා මත කඩාපාත් කර ඇති පීඩාවෙන් මානව වර්ගයා විමුක්ත කර ගැනීමේ මං පෙත් පාදා දීමක් නො වේ; ඒ වෙනුවට පුද්ගල මනස්හි මහා මෛත්‍රිය දැල්වීමෙන් මිනිසාට යහපත් අනාගතයක් උදා කර දෙනු ඇතැ යි යන මධ්‍යම පන්තික ව්‍යාජ දෘෂ්ටිය විදා හැර එමඟින් පාඨක නෙත්වලට වැලි ගැසීම ය.

එම ලිපිය අවසානයේ පියසීලි විජේගුනසිංහ ඇගේ තියුණු විචාරාත්මක ශක්තිය ප්‍රකට කරමින් කල් තබා ම මෙවැනි ප්‍රවාදයක තර්කානුකූල අන්තයන් හඳුනා ගෙන තිබේ:

“මිනිසාගේ නෛසර්ගික ක්‍රෑර ප්‍රවණතාව පිළිබඳ සංකල්පය හිසින් දරන්නකු අධිරාජ්‍යවාදී පද්ධතියේ අර්බුදය විසින් අද දින මුදා හරිනු ලැබ තිබෙන වර්ගවාදී ප්‍රචණ්ඩත්වයේ වුව මූල හේතුව දකිනු ඇත්තේත් මිනිසාගේ ඊනියා නෛසර්ගික ක්‍රෑර ප්‍රවණතාවෙහි ය.”(කම්කරු මාවත, 1983 ජූලි 26, මනෝ ප්‍රනාන්දු විසින් සංස්කරණය කරන ලද පියසීලි විජේගුනසිංහ සමාචාර කෘතියේ පිටු 398-401 හි මුළු ලිපිය ම උපුටා දක්වා ඇත)

ඇය මේ වදන් ලියා වසර 40කට පමණ පසුව, ඉවුරු කෘතිය තුළ උතුරේ යුද්ධය පිළිබඳ ව කතුවරිය හෙළන දෘෂ්ටිය “මිනිසාගේ නිසග හැටි සොබාව” පිළිබඳ ප්‍රවාදය මත පාදක ව තිබේ. බලන්න:

ඔබගේ අදහස් අපට එවන්න.