වීරපොකුණේ ගුණරතන හිමියන්ගේ සාහිත්‍යමය විශිෂ්ටත්වය

2022 පෙබරවාරි 17​

ප්‍රවේශය

90 දශකයේ සිංහල නවකතාව ස්වඅනන්‍යතාවයෙන් හා ප්‍රතිභාපූර්ණ සාහිත්‍යමය විශිෂ්ටත්වයෙන් යුක්තව පෝෂණය කළ නවකතාකරුවෙකු වූ වීරපොකුණේ උපරතන හිමි (1947- 2021) පසුගිය දිනක අප අතරින් සමු ගත්තේය. හදිසි අනතුරකින් මිය යන විට උන්වහන්සේ හැත්තෑ හතර හි වියෙහි පසුවූ අතර දිගුකලක් සාහිත්‍ය කටයුතු වලින් ඉවත් වී අප්‍රකට නිස්කලංක ජීවිතයක් ගත කළේය.

උන්වහන්සේගේ​ නවකතාවලට රාජ්‍ය සම්මාන හිමි වී ඇතත් ඒවා විචාරාත්මකව අගය කෙරුණු අවස්ථා විරලය. මීට වසර කීපයකට පෙර ඔහුගේ "මං" නවකතාවේ දෙවන මුද්‍රණය නිකුත් වූ විට ඒ පිළිබඳව මා විසින් රාවය පුවත්පතේ විචාරයක් පළ කරන ලදී.

එසේම වසර බොහෝ ගණනකට පෙර ඔහුගේ එකම කෙටිකතා සංග්‍රහය වූ "වපුළ බිජුවට" කෙටිකතා සංග්‍රහය පිළිබඳ කෙටි විචාරයක් දිනමිණ මංසල සාහිත්‍ය අතිරේකයේ පළකෙළෙමි.

මෙම ලිපියෙන් මා උත්සාහ දරන්නේ උපරතන හිමි ගේ දෙවන නවකතාව වන ජීවක කුලයක් (1992) කෘතිය පිළිබඳ විමර්ශනයක නිරත වීමටයි. ජීවක කුලයක් ප්‍රථම මුද්‍රණය නිකුත් වී මේ වන විට වසර තිහක් පමණ ගතවී තිබෙන අතර පසුකාලීනව දෙවන මුද්‍රණයක් නිකුත් වූයේ දැයි නොදනිමි.

කෘතිය පිළිබඳ සරල සාමාන්‍ය විස්තරයක්

මුද්‍රිත පිටු දෙසිය තිස් දෙකකින් යුත් සමන්විත ජීවක කුලයක් කෘතිය දේශීය වෛද්‍යවරයෙකු ගේ චරිතයත්, ඔහුගේ පවුලත්, එම පවුල - පන්සල ප්‍රමුඛ ගමෙහි සෙසු ජන ජීවිතයත් සමඟ බද්ධ වූ ආකාරය ප්‍රස්තුත කරගනිමින් ලියැවී තිබේ.

මෙම දේශීය වෛද්‍යවරයා ආයුර්වේද ශික්ෂණය මෙන්ම පැරණි සිංහල වෛද්‍ය ශාස්ත්‍රය ද ප්‍රගුණ කළ අයකු බව හැඟෙන සාක්ෂි පොතෙහි සඳහන් වන නමුත් ඔහු ආයුර්වේදය ප්‍රගුණ කළ බව සෘජුවේම නව කතාවේ සඳහන් වන අතර පාරම්පරික සර්ප වෙදකම ප්‍රගුණ කළ එහි දක්ෂ අයෙකු වූ බවත් නවකතාව පවසයි. පාරම්පරික සිංහල වෙදකම හා ආයුර්වේදය අතර පවතින පරස්පරතා ඔහු කෙරෙන් ඉස්මතු වූ බවක් නොකියවේ.

කතා පුවත ගොඩ නැගෙන්නේ වෙද මහතාගේ චරිතය ප්‍රධානත්වය තබාගෙන වුවද ලොකු හාමුදුරුවන්, සුමිත්‍ර හාමුදුරුවන්, වෙදහාමිනේ හා දූ දරුවන් මෙන්ම වෙද ගෙදර මෙහෙකරුවන් හා මෙහෙකාරියන් ද මෙම අතිශයින්ම වැදගත් එන්ද්‍රිය බද්ධ කොටසක් ලෙස හැසිරෙත්. කතාව ගලා යන්නේ කුමන යුගයක, කුමන පෙදෙසක ද යන්න අගවන කාල හා සංඥනාම කෘතියේ දක්නට නොලැබීම විශේෂත්වයකි. කතුවරයාගේ වෙනත් කෘතිවල ඇතැම් අවස්ථාවක එම කෘති වලට පදනම් වූ සමාජය ප්‍රදේශ නාම වලින් ම හඳුන්වා දී ඇති බව 'පැලෑනෙන් වෙන් කළ ඉඩම්' වැනි කෘතියකින් පෙනේ. එහෙයින් මෙහි ලා කතුවරයා යම් සුවිශේෂත්වයක් එමගින් ධ්වනිත කළේදැයි යන්න විමසා බැලිය හැකිය.

කෘතියේ එසේ සඳහන් නොවන මුත් කතුවරයා තම කෘතියට 'පසුබිම' යනුවෙන් සපයන පිටු දෙකක විස්තරයේ ඇතුළත්​ වාක්‍ය කීපයෙන් පෙනී යන්නේ විසිවන සියවසේ මැද භාගයෙන් පසු විශේෂයෙන්ම 1970 - 1990 වැනි කාලයක් මෙම නවකතාවේ නිරූපිත සිද්ධි දාමයට පසුතල සකසන්නට ඇති බවයි. මක්නිසාද යත්, පන්සල් පිංකම්, ගම නවීකරණයට ලක් වීම මෙන්ම කපිල මහා පරිමාණයෙන් කොන්ත්‍රාත් කටයුතු යුතු වල නිරත වීම වැනි කටයුතුවලින් එවන් නවීන ලෝකයක් පැහැදිලිවම මෙම කෘතියේ දැකිය හැකි බැවිනි.

කෘතියට පාදක වන ප්‍රදේශය පිළිබඳවද තර්කානුකූල සාධක සහිත අනුමානයකින් යුක්තව නාමකරණයක නිරත විය හැකිය. ඒ අනුව භාෂා ව්‍යවහාරය කතුවරයාගේ ජීවන තතු ආශ්‍රයෙන් ඒ ලංකාවේ වයඹ පළාතේ හලාවත බිංගිරිය ආශ්‍රිත ප්‍රදේශයක් බව පෙන්වා දිය හැකිය. එහෙත් මෙහිදී අවධාරණය කළ යුත්තේ ලංකාවේ බොහෝ ගම්මානවල පවතින පොදු ලක්ෂණ තම නවකතාව තුළින් නිරූපණය කිරීම සඳහා කතුවරයා යම් උත්සාහයක නිරත වී ඇති බවයි.

'ජීවක කුලයක්' යන නම ධ්වනිත කරන්නේ 'වෙද පරපුරක්' වැනි අරුතකි. ජීවක යන්න සම්භාව්‍ය සිංහල සාහිත්‍යයේ යෙදී තිබෙන්නේ විශිෂ්ටතම වෛද්‍යවරයකු සම්බන්ධයෙන් මුත් 'ජීවක' යන වදන සිංහල ජන විඥානය තුළ ධ්වනිතාර්ථවත් වී තිබෙන්නේ හුදු පුද්ගල නාමයක් ඇඟවීම සඳහා නොව සියලු ලෙඩ රෝග සමනය කළ හැකි ගුණ ධර්ම වලින් උසස් විශිෂ්ට ගණයේ වෛද්‍යවරයකු හෝ වෛද්‍ය භාවයක් හැඳින්වීම පිණිස ය. එම නිසා මෙම නවකතාවට කතුවරයා තබා ඇති නම අතිශයින්ම ඖචිත ගුණයෙන් යුක්ත බව පෙන්වා දිය හැකිය. මෙම කෘතිය පරිච්ඡේද වලට බෙදා ඇතත් එම පරිච්ඡේද වලට ඒවායේ අන්තර්ගතය අගවන යම් නාමකරණයක් ලබාදී නොමැත. කෘතිය පරිච්ඡේද 11 කින් සමන්විත වේ.​

චරිත හා චරිත නිරූපණය​

නවකතාවක ප්‍රමුඛතම අංගය වන්නේ චරිත හා චරිත නිරූපණය යි. මේ අනුව මෙම නවකතාවේ ප්‍රධාන චරිතය වන වෙද මහතාගේ චරිතය හොඳින් නිරූපණය වූ සමස්ත කෘතිය පුරා මැනවින් විහිදෙන කේන්ද්‍රීය චරිතයක ලක්ෂණ සහිත පෞරුෂත්වයකින් හෙබි යම් ආකාරයක වීර චරිතයක් ලෙස හැඳින්විය හැකිය.

තම පවුලෙන් ලත් උරුමය හා තමා විසින් අත්පත් කරගත් සාර දර්ශනය මත කටයුතු කරන වෙද මහතා තම සොහොයුරා මෙන් වෛද්‍ය ශාස්ත්‍රයට මිල නොකොට නොමිලේ වෙදකම් කරමින් ආත්මීය වශයෙන් වෛද්‍ය ශාස්ත්‍රය හා පාරම්පරිකව එය වෙත උරුම කොට තිබූ වගකීම්වලට ද ඉතාමත් කැපවීමෙන් උර දෙයි. පන්සල හා ගම සමග ඇති සම්බන්ධය මෙහිදී කැපී පෙනෙන ලෙස නිරූපණය කොට ඇති අතර පොදු සේවා නඩත්තුව, තම දූ දරුවන් සම්බන්ධ කාරණයකදී වුවත් හැකි තරම් මධ්‍යස්ථ පිළිවෙතක් අනුගමනය කිරීම මෙම චරිතයේ කැපී පෙනෙන ලක්ෂණයකි. තම ලොකු දියණියගේ විවාහය සම්බන්ධයෙන් මෙන්ම පන්සලේ මල්වට්ටි වෙන්දේසිය සම්බන්ධයෙන්ද උපේක්ෂාසහගතව බැලීම වෙද මහතාගේ චරිතය නිරූපණය කිරීමේ දී කැපී පෙනෙන අංගයක් ලෙස කතුවරයා ඉස්මතු කර තිබෙයි.

ලොකු හාමුදුරුවන් සමග ඔහුගේ තිබූ බැඳීම පවුලේ සාමාජිකයන් සමගවත් නොතිබූ එකක් ලෙස කතුවරයා ඉතා හොඳින් නිරූපණය කරයි. ලොකු හාමුදුරුවන් ලොකුහාමුදුරුවන් අපවත් වූ දින වෙද මහතාගේ හැසිරීම කතුවරයා නිරූපණය කරන්නේ මෙසේය,

"කොමිටියේ ඝෝෂාව වැඩි නිසා වෙද මහත්තයා ලොකු හාමුදුරුවන්ගේ දේහය අසලට ගියා. එතැන නිහඬයි. ඊටත් වැඩිය සිසිල්. පිළිස්සෙන තෙල් සුවඳට මල් සුවඳ මුසු වෙලා ලොකු හාමුදුරුවන්ගේ දේහය ශාන්තයි. ගැඹුරු නින්දකට පිවිසුනා වගේ.

රෙජිමේන්තුවක් ඉදිරියේදීවත් නොසැලුණු හදවත ------ අද නිහඬවෙලා වෙද මහත්තයාගේ යටි හක්ක වෙව්ලුවා.ජීවක කුලයක් (පි:23,24)

වෙද මහත්තයා තරුණ කාලේ නිර්භයව කටයුතු කළ ආකාරය හාල් රැගෙන ගිය ගමනින් නිරූපණය කොට තිබේ. එමෙන්ම තම මනාලිය කැන්දන් ආ ආකාරය ද ඔහුගේ චරිතයේ නිර්භීත හා තම දෘෂ්ටිය මතම පිහිටා කටයුතු කිරීමේ අනන්‍යතාව හෙළි කරයි.

චරිතයක් ගැඹුරින් නිරූපණය කිරීමට කතුවරයා ඉතා විශිෂ්ට වනිතා අර්ථ සමුදායක් ජනිත කරන වාක්‍ය නිර්මාණය කරයි. ඒවා වරෙක සම්භාව්‍ය සාහිත්‍යයෙන් ද තවත් වරක ජනශ්‍රැතියෙන් ද වෙනත් ආකාරයේ භාෂාත්මක සංරචකවලින්ද ආභාෂය ලබා සූක්ෂම ලෙස ගොඩනගයි.

පහත උදාහරණ විමසා බැලිය හැකිය,

වීරපොකුණේ උපරතන හිමි

"විශාල ඝෝෂාවක් පවතින තැනකදී ඝෝෂා රහිත වීම තමයි වෙද මහත්තයාගේ සිරිත"(පි: 23)

"කුස්සිය දිහාවෙන් නොවෙයි නිවස දිහාවෙන් ශබ්දයක් නිකුත් වුණත් වෙද මහත්තයා ඒ ගැන හොයා බලන්නේ කලාතුරකින්. ශබ්දයකට කලබල වන්නෙත් නෑ. අසාධ්‍ය රෝගියෙකු ගෙනාවොත් නම් කලබල වෙනවා."(පි: 179)

"ඕවිටේ ගොවිතැන් කරන්නෙත් නැහැ. රිලවුන්ගේ කෝලම් බලන්නෙත් නැහැ. එහෙම කියලා වෙද මහත්තයා ඖෂධාලය වැහුවා.(පි: 184)

වෙද මහතාගේ චරිතය කේන්ද්‍ර කොට ගනිමින් මෙම නවකතාව විකාසනය වන නිසා මෙම චරිතය ශක්තිමත්ව නිරූපණය කිරීම කතාවේ සාර්ථකත්වයට ප්‍රධාන සාධකය ලෙස පෙන්වා දිය හැකිය. ඔහු සුදු චරිතයක් ලෙස අන්තවාදී ලෙස හුවා නොදක්වන කතුවරයා දරු මල දුක, තම දේපොළ ආදායම බිඳ වැටීම, තම හිතේෂීන්ගේ වියෝව යනාදි අවස්ථා වලදී කම්පනයට පත් වූ ආකාරයත් එම නිසාම ඔහු ද පුහුදුන් මිනිසෙකු බවත් ප්‍රකාශ කරයි. එහෙත් අධ්‍යාපනය, ශිල්පය, ජීවන අත්දැකීම් තුළින් ඔහු ලැබූ පරිපාකය නිසා ඔහුගේ උපේක්ෂා සහගතභාවය නිරන්තරයෙන් කැපී පෙනෙන අතර එනිසා ම සිංහල නවකතාව තුළ විශිෂ්ට චරිතයක් ලෙස නිරූපණය වී තිබේ.​

ලොකු හාමුදුරුවෝ

ලොකු හාමුදුරුවන් කතාවේ සුළු කොටසකදී පමණක් ජීවමානව සිටියත් වෙද මහතාගේ චරිතය තුළ ආත්මබද්ධ ව සිටිමින් කතාව පුරා අණසක පතුරුවන ප්‍රබල භූමිකාවක් ලෙස නිරූපණය කොට තිබේ.

එම නිසා මෙම නවකතාවේදී එම චරිතය වැදගත්ය. ගම, පන්සල හා වෙදගෙදර අතර පැවැති සහයෝගය කතුවරයා නිරූපණය කළේ මෙසේය,

"පන්සලයි වෙද ගෙදරයි එක් වුණ තැන ගම එක් වෙලා. එක්වුණ ගම සාමයෙන් සමගින් යුක්තයි. ගම පුරා තැන් තැන්වල තියෙන භව භෝග නෙලාගත් දාට බෙදී යන තුරු පැහුණෙ ඉදුණේ ගමේ කාගෙත් සහයෝගයෙන්. මෙවැනි ගති සිරිත් ගම්මුන්ට පුහුණු කළේ ලොකු හාමුදුරුවෝ. ලොකු හාමුදුරුවන්ට දිවැස් තියෙනවා. ලොකුම හාමුදුරුවන්ගෙන් හිමිවුණු දිවැසින් වෙද මහත්තයාටත් වර්ෂ ගානක් ඈතට බලන්න පුළුවන්.(පි: 33, 34)

තම දෘෂ්ටිවාදයත්, කතා පුවතත් වෙද හා සෙසු චරිතත් අතර තිබෙන සහයෝගය කතුවරයා මෙසේ සියුම් හැඟීම් මෙන්ම ගැඹුරු අර්ථද ජනනය වන සේ නිරූපණය කළේය. එක් අවස්ථාවක තරුණ හිමිවරුන්ගේ කටයුතු නිසා වියවුලට පත් වෙදමහතා වෙදහාමිනේට පවසන්නේ 'හාමිනේ මට මැවිලා පේනවා අපේ ලොකු හාමුදුරුවෝ පන්සලේ මළුවේ ඇවිදිනවා' යන්නයි. මේ අනුව මේ නවකතාවේ ප්‍රධාන චරිතය අසලට තැබිය හැකි චරිතය වන්නේ ලොකු හාමුදුරුවන්ගේ චරිතයයි.​​

වෙද හාමිනේ

ගම්පෙරළිය නවකතාවේ මාතර හාමිනේට තරමක් සමාන ගති ලක්ෂණ පළ කරන වෙද හාමිනේගේ චරිතය නිහතමානී හා කාර්යශූර ගෘහණියක් මෙන්ම වෙද මහතාගේ චරිතයට සෑම අතින් ම ගැළපෙන පතිනියක සේ නිරූපණය කෙරී තිබේ. සාමාන්‍ය ගම්වල පවතින පරමාදර්ශී පවුල් ජීවිත පිළිබඳ ප්‍රකට රූපකයක් ඇසුරෙන් වෙද මහතාගේ චරිතය මෙන්ම වෙද හාමිනේගේ චරිතය ද කතුවරයා මෙසේ චිත්‍රණය කරයි.

ඇය දරු ප්‍රසූතිය හා අත් බෙහෙත් ගැන දක්වන සුවිශේෂ කුසලතා හා දැනුම ලබාගත්තේ කුමනාආකාරයෙන් ද යන්න අපැහැදිලිය. ඒවා ඈ වෙද මහතාගෙන් ඉගෙන ගත්තේ ද වෙන යම් අයෙකු ගෙන් ඉගෙන ගත්තේ ද යන්න පැහැදිලි නොමැත.

එමෙන්ම ඇගේ චරිතය මෙතරම් පරමාදර්ශී ලෙස සකස් වීම ද තරමක අතිශයෝක්ති සහගත දැයි සැක සිතේ. එහෙත් කතාවේ සමස්තය විමසා බලන විටත්, සෙසු චරිත වල ස්වභාවය විමසා බලන විටත් ඇය පළ කරන සමස්ත චරිත ලක්ෂණවල යම් යථාර්ථවාදී තත්ත්වයක්ද නැතැයි කිව නොහැකිය.

ඇය තම දුව සමග කෝපයට පත්වී නිවසේ මෙහෙකාරියක සේ ලෙස ලෙංගතුව ඈ ළඟම දැවටෙන බේබිට පවා පහරදීම මගින් පෙන්නුම් කරන්නේ (පි: 125) ඇයද පරමාදර්ශී තත්ත්වයේ සිටියද මසින් ලෙයින් හෙබි මිනිස් චරිතයක් බවයි.​

පොඩි මැණිකේ

මේ වන විට සාකච්ඡා කළ ප්‍රධාන චරිත හැරුණු විට වඩාත් ගැඹුරින් හා සිත් ඇදගන්නා චරිතයක් ලෙස නිරූපණය වන්නේත්, වඩාත් සංකීර්ණ චරිත ලක්ෂණ වලට උදාහරණයක් වන්නේත් වෙද ගෙදර බාල දුව වන පොඩි මැණිකේ ය.

ඇය ඉපදුණු විට ඇගේ නම ලෙස යෝජනාවන්නේ ස්වර්ණතිලකා යන නම වුවද එය කුලහීන නමක් ලෙස සැලකෙන නිසා ස්වර්ණපාලි යන නම යෝජනා කෙරේ. වෙද මහතා බිළිදු ඇය ගැන ලොකු හාමුදුරුවන්ට පවසන පහත ප්‍රකාශය ඇගේ චරිතයේ ඇතැම් ලක්ෂණ මැනවින් කැටි කර පෙන්වයි.

"කිව්වට මොකද ස්වාමීනි --------- බතල ගෙඩිය වාගේ පිරිපුන් කෙලිපැටික්කි. ------- හඬ තැලුවා ම රෑහියා පරාදයි. ------- වහලෙ උළුත් හෙලවෙනවා."(පි: 34)

ඈ රූ සපුවෙන් හා ගුණ සපුවෙන් වැඩෙන්නේ ගම හා නිවස එළිය කරමිනි. එහෙත් ඇයට රූප රාජිනී තරඟයෙන් ඉහළට ගොස් ජයග්‍රහණය කිරීමට හෝ තමා කැමති පුරුෂයකු සමඟ යෑමට ඉඩ නොදෙන්නේ වෙදගෙදර පවතින මානය හා එම මානය ගොඩනගන තදබල සාරධර්ම පද්ධතියයි. එම පද්ධතියේ ගොදුරක් වන ඇය අවසානයේ හදිසි මරණයකට ගොදුරුවන්නේ තනිකමෙන් හා දිළිඳු කමෙන් ද පීඩා විඳිමින් අවිවාහක ජීවිතයක් ගත කරමිනි.

ඇයව බැලීමට මනාලයන් විශාල ප්‍රමාණයක් පැමිණි මුත් ගෙදර අය ඒ සැමගේම තත්ත්වය බලා එම කටයුත්ත පමා කරයි. ඇය බෙහෙවින් කැමැති වන සනත්ට ද ගෙදර අය අකමැති වීමෙන් පසු ඇය තද වේදනාවකට පත් වෙමින් ඔහේ කාලය ගත කරයි. කතුවරයා එය මෙසේ නිරූපණය කරයි.

සනත් කොතරම් පොඩිමැණිකේ ප්‍රිය කළාද? පොඩිමැණිකේ උන්නේ ගුවන පා වෙන තරම් සතුටින් දෙන්නගේ හදවත් වල රාවය වැඩිමහල්ලන්ට පවා ඇහෙනවා වගේ.

ඒත් මවට කීකරු වීමට ඇයට සිදු වේ.

සනත් කොහොම කෙනෙක් වුනත් මට කමක් නැහැ. මම එයාට කැමතියි. ------- අම්මා හැදුන තැනක දුවක් අම්මගෙ වචනෙට පිටු පාන්නේ නැහැ.(පි: 127)

පොඩි මැණිකෙ චරිතය එක්තරා අන්දමකින් ගම්පෙරළියේ අනුලා සිහිකරයි. ගම්පෙරළියේ නිරූපිත නන්දා තම ජීවිතයේ යම් සැලකිය යුතු ගමනක නිරත වන්නේ කුල මාන්නය සිඳිමින් ඇතැම් තීරණ වලට එළඹෙමින්.

එහෙත් එවැන්නකට නොපෙළඹෙන පොඩි මැණිකේ තම ජීවිතය දුක සේ ගත කරන්නීය.

ඇගේ යෙහෙළියන් කීප දෙනෙකුම සිය දිවි නසා ගත් අතර ඇයද අවසානයේ ලොරියකට යටවී මිය යයි. තම වැඩිමහල් සොහොයුරිය සමඟ බහින්බස් වීමකින් පසු පාරට පැමිණ ගමන් කරන ඇය ලොරියට පැන්නද ලොරියේ හැපුණේ ද යන්න සැකයකි. වයස් ගතවූ පසුත් මනමාල පෙරහැර දිගින් දිගටම පැමිණීමත් සමග මව හා ඇය අතර යම් උණුසුම් වචන හුවමාරුවක් ඇති වේ. එදින රැය පසුතැවිල්ලෙන් ගත කරන පොඩි මැණිකේ රාත්‍රියේ එළියට බැස මිදුලට යන දර්ශනය සොබාදහම හා ඇගේ චිත්තක්ෂණය මනාව මුසු කරමින් නිරූපණය කිරීමට කතුවරයා සමත් වෙයි.

"පොඩි මැණිකේ ගෙදර දොර ඇරියා. ------- සිප වැළඳ ගත්තා"(පි: 130)​

සෙසු චරිත

මෙම ප්‍රධාන චරිත වලට ජීවය සපයන මීළඟ ප්‍රධාන චරිත ලෙස ලොකු මැණිකේ, කපිල, සුමිත්ත හාමුදුරුවෝ, රාහුල හාමුදුරුවෝ, බේබි, සාපින්, ගුණදාස, තුංග ආදීන් දැක්විය හැකිය. ගම්මුන් හා ගුණසේකර, චිත්‍රා අතුළ වෙනි චරිත වැවෙන්නේ ඉන් ඔබ්බට ය.

මෙම අවශේෂ චරිත කතාවේ විකාශනය සඳහා විශාල තීරණාත්මක මෙහෙවර ද නිරත වන අතර ඇතැම් චරිත ප්‍රධාන චරිත කරමින් හෝ ඊට ද වඩා සූක්ෂම ලෙස නිරූපණය වී ඇති බව පෙනේ. බේබි හා ගුණදාස ඒ අතර ප්‍රමුඛය. සුමිත් හාමුදුරුවෝ ද වෙසෙසින්ම කැපී පෙනෙයි.

සුමිත්ත හාමුදුරුවන්ගෙන් නියෝජනය වන්නේ නවීන සමාජ සංවර්ධනය වෙත ගමේ පන්සල ඇදී යාමත් එමගින් යම් තීරණාත්මක ලෞකික භූමිකාවකට පන්සල පරිවර්තනය වීමත් යන ක්‍රියාවලින්ය. ගමට රෙදි ෆැක්ටරිය ආදිය ලබා ගැනීමටත්, වෙදගෙදර ආර්ථිකය දුබල වන විට මන්ත්‍රීතුමාට බලපෑම් කොට ඖෂධ පර්මිට් එක වෙද ගෙදරට ලබාගැනීමත් කරන්නේ සුමිත්ත හාමුදුරුවෝය.

වෙද ගෙදර මතු නොව වෙද මහතාගේ සහෝදරයන් ගේ ළමයි ඉඩම් පිළිබඳ ආරවුල් ඇති කර ගැනීමට තැත් කරන අවස්ථාවලදී පවා සුමිත්ත හාමුදුරුවන්ගේ සූක්ෂම මැදිහත්වීම කතුවරයා විශේෂයෙන්ම නිරූපනය කරයි. ඒ අනුව මෙම චරිතය කෘතියේ අතිශයින්ම වැදගත් චරිතයක් වන්නේ ලොකු හාමුදුරුවන්ට වඩා වෙනස් යුගයක් හා එම යුගයට උචිත වැඩපිළිවෙළක් නියෝජනය කළද නවීනාආකාරය තුළ රැඳී සිටිමින්ම පෞරාණික මෙහෙවර ඉටු කිරීමට ගන්නා උත්සාහය නිසාය.

අනෙක් අතට සුමිත්‍ත හිමි පන්සලේ නායකකම ලබන්නේද රාහුල හිමියන් සමඟ යම් ආකාරයකින් තරඟ වැදීමෙනි. වෙද පවුලේ ද ඥාතිවරයෙකු වන වෙදහාමිනේගේ බෙහෙවින්ම ආදරේ දිනා ගත්තා වූ රාහුල හිමියන් පැරදවීම සිදු කරන්නේ තම කුසලතාවය මත පදනම් වෙමිනි. එය ඔහුටම අනන්‍ය වූ විශිෂ්ඨතා හා කුසලතා වලින් පණ පෙවුණු කැරිස්මා ආධිපත්‍යය මගින් ලබාගන්නා ජයග්‍රහණයකි. මේ අනුව සුමිත්‍තගේ චරිතය ඉස්මතු වන අතර රාහුලගේ චරිතය ක්‍රමයෙන් ප්‍රධාන දර්ශනයෙන් ඉවත්කරලීම කතුවරයා සියුම් ලෙස කටයුතු කරනු ලබනු පෙනී යයි.

සාපිංගේ හා බේබිගේ චරිතද ලංකාවේ මේ යුගයේ බහුලව දැකිය හැකි එම වර්ගයේ චරිතවල පොදු තත්ත්වය කියාපායි. මේ පොදු තත්ත්වය වනාහි තමා උපන් පවුල බිඳ වැටීම නිසා ගමේ ප්‍රභූ පවුලක මෙහෙකාරකමට යාමත් එම ගෙදරම මෙහෙකරුවෙකු සමග විවාහ වීමත් ය. ලංකාවේ මෙබඳු මෙහෙකරුවන් පැරණි රුසියාවේ ඇතැම් නිවෙස්වල ප්‍රවේණි දාසයයෝ මෙන් එම නිවසේ සාමාජිකයන් මෙන්ම ළෙන්ගතුව ජීවත් වෙති. ඔවුන් නිවසට ද නිවස ඔවුන්ට ද ඉමහත් ලැදිකමක් දක්වන අතර තම දරුවන්ට මෙන්ම එම නිවසේ වැඩිහිටියන් එම මෙහෙකරුවන්ට ද දේපළ පවරා දීම මෙහිදී බහුලව සිදු වූ සිදු වීමකි. කතුවරයා එම යථාර්ථය බේබිගේ හා සාපිංගේ චරිතය උපයෝගී කොට ගනිමින් නිරූපණය කරන අතර සාපිංගේ ගේ චරිතය දුර බැහැරින් නිවසට පැමිණි අපරාධයක් කර සැඟවී පළා ගිය මිනිසකු ලෙස නිරූපණය කොට තිබේ. මෙය අතිශයින්ම තාත්විකය.

(මෙහිදී විශේෂ දෙයක් සඳහන් කිරීමට මම කැමැත්තෙමි. එනම් මා මෙසේ පවසන්නේ දිගුකාලීනව ලංකාවේ ජන ජීවිතය පිළිබඳ විශේෂයෙන්ම විසිවන සියවසේ මුල් දශක 7 පමණ පිළිබඳව කරන ලද අධ්‍යයනයක ප්‍රතිඵලයක් ලෙස යන්නයි. මෙම අධ්‍යයනය ඉදිරියේ දී මුද්‍රිතව ඉදිරියේදී පළ වේ. මෙහි ප්‍රස්තුතය වන්නේ විවිධ ප්‍රදේශවලට ගොස් විවිධාකාර පවුල් ජීවත් වූ ආකාරය, එම පවුල්වල එම ප්‍රදේශයේ අන් අයගෙන් කරුණු විමසා දැන ගැනීමයි. එම අධ්‍යයනයේ දී සාපිං, බේබි වැනි චරිත ගණනාවක් මට හමු වූ අතර එම සාධක මත පදනම්ව මම මෙම චරිත දෙක යම් යුගයක මෙරට සමාජයේ පොදුවේ දක්නට ලැබුණු චරිත දෙකක් බව පෙන්වා දෙමි.)

ගුණදාස ට අවසානයේ වෙද ගෙදරින් පිටවී යෑමට අණ ලැබෙතත් පොඩි මැණිකේ සමඟ ඉතා සුහද සමීප සම්බන්ධයක් ගොඩනගා ගත් යම් ආකාරයක අහිංසක, නිර්ව්‍යාජ​ චරිතයක් ලෙස ඔහුගේ චරිතය නිරූපණය කෙරී තිබේ. විවාහ වන විය ඉක්මවා සිටි පොඩිමැණිකේ ගුණදාස ට ආදරය කරමින් ඔහුගේ සමීපත්වය තුළින් යම් සැනසීමක් ලැබූ බව කතුවරයා පෙන්වා දෙන්නේ සුළු සිදුවීම් කීපයක් මඟින් බෙහෙවින්ම සංයමශීලී ආකාරයෙන් මිස කිසිදු ආකාරයක ලිංගික සබඳතා හෝ ව්‍යාජ වර්ණනාත්මක භාවයකින් නොවේ. 208 සිට 211 පිටු දක්වා තිබෙන ගුණදාසගේ සමුගැනීම හුදු සමු ගැනීමක් නොව වෙද ගෙදර සමස්ත සෞභාග්‍යය බිඳවැටීම පිළිබඳ කදිම විස්තරයක් සහ එම විස්තරය මඟින් ඉදිරිපත් කෙරෙන ව්‍යුහයක් යැයි පෙන්වා දිය හැකිය.

ගුණදාස පොඩි මැණිකේට නිශ්චිත වශයෙන්ම කැපෙන අයකු බව පෙනී යතත් ඔවුන් අතර බරපතළ වයස් ප්‍රශ්නයක් පවතින බව පෙන්වා දිය හැකිය. එහෙත් කතාවේ සාරය අනුව එම වයස් පරතරය පවා නොතකා ඇය ඔහුට විවාහ කර දීම කළ යුතු ය යන තර්කය නගන ලෙස පාඨකයාට අවකාශය සදමින් කතාව නිර්මාණය කෙරෙයි. මෙසේ විමසා බලන විට මෙම අවිශේෂ චරිත සියල්ලම විවිධාකාරයෙන් කතාවේ ගොඩනැගීම සඳහා සාර්ථක දායකත්වයක් ලබාදෙන බව කිව හැකිය.​

භාෂාව, අවස්ථා නිරූපණ හා සමස්ත සමඟ ඇති තිව්‍ර සබඳතා

නවකතාවක භාෂාව සමස්තයේම ඓන්ද්‍රිය කොටසක් ලෙස ගැනීමෙන් පමණි අගය මැනිය හැක්කේ. එසේ බලන විට උපරතන හිමි යන්ගේ සෑම නවකතාවකම මෙන් මෙහි භාෂාවත් ප්‍රබල ආකාරයෙන් සමස්තය තීව්‍ර කරන ආකාරයෙන් යෙදී තිබේ. වර්තමාන සිංහල නවකතාකරුවන් ජනවහර බෙහෙවින් ම භාවිතා කරන්නේ කෘතිම වෙළඳ දැන්වීම් ඌරුවකිනි. මහින්ද කුමාර මස්ඉඹුලගේ නවකතා වල භාෂාව බෙහෙවින් ම මෙම ව්‍යාප්තියෙන් පිරී ඇත. තවත් ඇතැමෙක් ග්‍රන්ථ භාෂාව ලිහිල් කරන්නේ යැයි කියමින් භාෂාවේ අර්ථ තලය අතිශයින්ම ව්‍යාකූලත්වයන් හසුරුවති. සුනේත්‍රා රාජකරුණානායක මෙයට කදිම උදාහරණයකි. (මේ ගැන මීට පෙර සංකථන සඟරාවට ලියූ ලිපියක මා දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට තිබේ)

එම කතුවරුන් ව්‍යවහාරය වෙත සමීපවන්නේ ව්‍යවහාරය පිළිබඳ සැබෑ අවබෝධයකින් එනම් භාෂා ව්‍යවහාරයක සන්දර්භය අවබෝධ කරගනිමින් නොවන බව පෙනේ. එහෙත් උපරතන හිමි එය සන්දර්භීය වශයෙන් ගැඹුරින්ම ග්‍රහණය කර ගනියි. එමෙන්ම තමා තුළින් එය නැවත නැවත ගොඩ නඟයි.

පහත ඡේදය විමසා බලමු.

"කපිල ගෙ අදහස තැන්තැන්වල පිහිටල තියෙන පොල්අල්ලියෙ හමාරෙ ඉඩම්විකුණල එකයායට ඇති ඉඩමක් ගන්නයි. වෙද මහත්තය ඒකට එකඟ වෙන්නෙ නැහැ. ගමේ පමණක් නෙමෙයි පිට ගං කිහිපයකත් තියෙන පොඩි පොඩි ඉඩම්කැබලි වෙද ගෙදර අයට සිහිවටන. ඒවායෙන් ආදායමක් ආවත් නැතත් වෙද මහත්තයට කාරියක් නැහැ. අසාධ්‍ය රෝගියෙක් ගොඩ දැම්මම තෑග්ගට ලැබුණු ඉඩම් තමයි ඒව. වී ලාහෙ හමාරෙ වපසරියෙන් යුතු කුඹුරුත් ගැනෙන්නෙ තෑගි ඉඩම් ගානට. සමහර කුඹුරු වැඩ කරන්නෙ පරිත්‍යාග කළ ඇත්තන්ගෙ දරුවොමයි. නැත්නම් මුණුපුරෝ. එවැනි ඉඩම්වලින් එන නආදායම ගැන වෙද මහත්තය වෙහෙසෙන්නෙ නැහැ.ජීවක කුලයක් (පි: 67)

බැලූ බැල්මට මේ භාෂාව එදිනෙදා ව්‍යවහාරයෙන් ගත් බව පෙනුණට ගැඹුරින් විමසන්නේ නම් පෙනී යන්නේ මෙය ජනවහර කතුවරයෙකුගේ අභ්‍යන්තරය තුළට ස්වීයකරණය කරගනිමින් ඒ මත පිහිටා තම අරමුණට සරිලන ලෙස සකස් කරගත් නැතහොත් ප්‍රතිනිර්මාණය කර ගත් සාර්ථක බවක් පළ කරන්නක් බවයි. උපරතන හිමි ගේ සමස්ත භාෂාවම එවැනි නිරන්තර සකස් කර ගැනීමකි. එම සකස් කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිභාව පමණක් නොව නව කතාවේ සියලු අංගෝපාංග තම භාෂා ශෛලිය වටා කේන්ද්‍ර කොට ගැනීමේ හැකියාවයි. එය මේ හිමියන් මැනවින් අත්පත් කර ගෙන තිබේ. එය අසීරු අභ්‍යාසයකි. අත්දැකීම් සමග තියුණු පොර බැඳීමකි.සොබාදහමේ සංසිද්ධීන් පාත්‍ර වර්ගයාගේ හැසිරීම් රටා සමග මානව චින්තනය විවිධ සන්දර්භ වල දී නිර්මාණය වන ආකාරයත්, එම චින්තනය තීව්‍ර මොහොතවල් විකසිත වන ආකාරයත් කතුවරයා දිගින් දිගටම හැර පායි. පහත දැක්වෙන්නේ ඒ සඳහා කදිම උදාහරණයකි.

"ස්වභාවධර්මයාගේ ක්‍රියාවලියෙන් පොඩිමැණිකෙ සසල වුනාට වෙදමහත්තය කැළඹෙන්නෙ නැහැ. ඒත් ආශ්‍රිතයන්ගෙ ක්‍රියාකාරිත්වය තුළින් තරමක් චංචල වෙනව. පුත්‍රයා ආරම්භ කරන්න සූදානම්වන අර්බුදය ගැන සිහිවෙන කොට පිටත පවතින සිරිපොද වැස්සෙන් වෙද මහත්තයගෙ සිරුර සිහිල් වෙන්නෙ නැහැ. සිරිපොද වැස්ස නිසා ගැඹුරු සිතුවිලි අවදිවෙනව. හාමිනේ අහල පහල ඉන්නවද කියල බලන්න වෙද මහත්තය වටපිට බැලුව. පොඩි මැණිකෙ ගොලෝව දල්වනව. පිටත පවතින අන්ධකාරය විනිවිද ගෙන සීතල ගලා එනව. අන්ධකාරයටයි සීතලටයි බයෙන් වගේ ගොලෝවෙන් පහන්වෙන්නෙ ප්‍රදේශයපමණයි. සාලෙ ඇවිදින වෙද මහත්තයාට කල්පනාවෙ කොන ගිලිහීඇතැයි සිතුනා. අවිනිශ්චිත බියක්මනස තුළ රෝපනයවෙනව. ඒ වාගෙ වෙලාවට වෙද මහත්තය කැමතියි කවුරු​"ජීවක කුලයක් (පි:73)

සමස්ත කතාවේ නිරූපිත කේන්ද්‍රීය මුඛ්‍ය ධාරණාව ලෙස පෙනෙන්නේ සාම්ප්‍රදායිකත්වයත් නවීනත්වයත් අතර ගැටුම සහ වැඩවසම් සමාජය තුළ පවතින යහපත හා අයහපත වරින් වර ඉස්මතු වෙමින් නවීන සමාජයේ යහපත් හා අයහපත් හර පද්ධතීන් අතර ඇති කරගන්නා අරගලයයි.

මෙය ගම්පෙරළිය වැනි නවකතාවකට වඩා වෙනස් තලයක වෙනස් ආකාරයකින් දිග හැරෙන අතර වෙද ගෙදර නම් සුවිශේෂ ප්‍රපංචය මෙහිදී නිරූපනය වෙයි. සිංහල නවකතාවක වෙද ගෙදර පිළිබඳ මෙතරම් සියුම් ලෙසත් මෙතරම් පරිපූර්ණ ලෙස සාකච්ඡා වූ අවස්ථාවක් නැති තරම්ය.

කතාවේ භාෂාව මුළුමනින් ම මුඛ්‍ය ධාරණාව සමඟ ඒකාත්මිකව අවශේෂ සිදුවීම් ගලපා ගැනීම සඳහා කතුවරයා දරන උත්සාහය රඳවා ගෙන සිටී. සාපිං වැනි අවශේෂ චරිතයක වුව නිරූපණය කර තිබෙන්නේ එම මුඛ්‍ය ධාරණාව වෙද ගෙදර ජීවිතයට සම්බන්ධ කරමිනි. සාපිං බේබිට බැන වදින

"මම ඇතිවුනෙත් වෙදගෙදරින් කවදහරි නැති වෙන්නෙත් වෙදගෙදරින්" වැනි යෙදුම් එයට උදාහරණය.

සාරාංශය

ජීවක කුලයක් ගමන් පිළිබඳ රොමැන්ටික් - අද්භූත - ජාතික චින්තන ව්‍යාප්තියක් පළ නොකරතත් මෑතකාලීනව ගම පිළිබඳ බොහෝ පශ්චාත් නූතන හා ඇතැම් මාක්ස්වාදීන් පළ කරන අතිශය කුරිරු ,නපුරු, දරුණු මතවාදය ද නොපිළිගන්නා බලවත් මධ්‍යස්ථ භාවයක් නියෝජනය කරයි. මෙම කතුවරයාගේ පවතින සුවිශේෂ අනන්‍යතාව එම මධ්‍යස්ථ විචක්ෂණ භාවය යි.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චින්තක රණසිංහ

ලංකාවේ ඉඩම් භුක්තිය පවතින බරපතළ අර්බුදයක් වන්නේ නිශ්චිත හා තර්කානුකූල පැහැදිලි ක්‍රමවේදයක් මගින් අයිතිය තහවුරු කළ නොහැකි ඉඩම් රාශියක් පැවතීමයි. එම අර්බුදය ජනිත වන්නේ වැඩ ව වසම් ක්‍රමය තුළ ඉඩම් භුක්තිය ගොඩනැගුණු ක්‍රමවේද ධනේශ්වර සබඳතා නිර්මාණය වීමේදී මුළුමනින්ම අහෝසි නොවෙමින් විවිධාකාර ලෙස ප්‍රතිනිෂ්පාදනය දීම නිසාය. ජීවක කුලයක් මෙම අර්බුදයේ අක්මුල් මැනවින් ග්‍රහණය කරගන්නා නවකතාවකි. වෙද ගෙදර දේපල සමුච්චනය වී තිබෙන්නේ අයථා මාර්ගයෙන් නොව වෙදකමට ලැබුණු ප්‍රදානයන් ලෙසය. එහෙත් එම මාර්ගය පවතින නීතිය ඉදිරියේ 'යථා' මාර්ගයක් නොවේ. එම නිසා වෙද මහතාගේ දේපොළ සම්බන්ධ පිලිවෙත ගූඪ ආකාරයකින් ක්‍රියාත්මක වේ. මෙබඳු සමාජ ආර්ථික පදනම් යටිපෙළ ලෙස ඉස්මතු කිරීම මෙම නවකතාවේ සාර්ථකත්වයයි, සාරයයි, විචිත්‍රතාව යි.

කතුවරයා තම නව කතාව නිම කරන්නේ වෙද ගෙදරත්, වෙද චරිතයත් නවීකරණය හා නොවැළැක්විය හැකි ලෙස මතුවන පරිණාමයත් නිසා බිඳ වැටෙන ආකාරය අතීත ස්මරණාත්මක ධ්වනිතාර්ථ මාලාවක් ඔස්සේ ප්‍රතිනිර්මාණය කරමිනි. මම මෙම විචාරය ද එම කොටස උපුටා ගනිමින් ම නිම කරමි.

"එහෙම නම් පොඩි දුවට ස්වර්ණපාලි කියන නම හොඳයි. පණ්ඩුකාභය රජ්ජුරුවන්ගෙ මහේසිකා උන්නාන්සෙගෙ නමත් ඒකනෙ.... හෝව් පුතා හෝව්..... මිදුලෙ ගුලි ගැහිල ඉන්න රෝගීන් කරත්තෙ දැක්කම සාලාවට ගිහින් ලොවි බංකුවල වාඩිවෙනව..... අටපට්ටම් ධර්මශාලාව මෝඩයන්ගෙ වැඩක්.... ඌරු මස් පුහුල්වගේ අපත්‍ය දේවල් කොල්ලට පෙන්නන්නෙවත් නැහැ.... මේ දේපල අයිති මහප්පට විතරක් නෙමෙයි. අපේ අප්පච්චිටත් අයිතියි....කූරටිහේන අක්කට. ගල්වැටියෙ කෑල්ල මට. ගේයි වත්තයි නංගිට.... වෙද මහත්තය ඉක්ඉක්මනින් ගෙදර එන්නෙ පොඩි දියණිය දැක බලා ගැනීමෙ අපේක්ෂාවෙන්."ජීවක කුලයක් (පි: 232)

සියළු සබඳතා හා ඒ තුල පවතින ප්‍රතිවිරෝධතා සංක්ෂිප්ත කරන යථෝක්ත ඡේදය අපරිමිත ශෝකාලිප්ත​ භාවයක් පාඨක මනස තුළට රැගෙන එන බව පැහැදිලිය.

ඔබගේ අදහස් අපට එවන්න.