​හෙගලියානු-මාක්ස්වාදයක් කරා -තෙවන කොටස- මහාද්වීපික දර්ශනය සහ හෙගලියානු දර්ශනය

2022 මාර්තු 9

වර්ෂ 2000 පමණ කාලය වන විට නලින්, චම්පික වැනි අය මතු කළ දාර්ශනික සාකච්ඡා අවසන් වෙමින් පැවතුණු අතර ඔවුන් වේගයෙන් ජාතිකවාදයෙන් ජාතිවාදී දිශාවන්ටත්, ආගම්වාදී දිශාවන්තටත්, දෙමළ කොටි ව්‍යාපාරයට එරෙහිවත්, අන්‍ය ආගමික විරෝධය ආදි ප්‍රවේශයන් දක්වාත් ගමන් කරමින් සිටියහ. දේශපාලන ආර්ථික විද්‍යා හා ආර්ථික අධෝව්‍යූහාත්මක ක්‍ෂේත්‍ර ගැන කරන සාකච්ඡාවන් වෙනුවට උපරි ව්‍යූහාත්මක සංස්කෘතික, මතවාදී හා කලාත්මක ක්‍ෂේත්‍රයේ තේමාවන් ගැන සාකච්ඡා කෙරුණු මාවත සඟරාව ක්‍රමානුකූල ව ජාතිකවාදය ජාතික චින්තනය වැනි ව්‍යාපාර සමඟ අභිමුඛ වෙමින් පැවතිණි. දිවයින පුවත් පත හරහා ජාතිකවාදයට අදාළ කථිකාව ගොඩ නැගුණු අතර මාවත සඟරාව හරහා සිංහල ජාතිකවාදය ප්‍රශ්න කෙරෙමින් පැවතිණි. මෙම සඟරාවේ මතවාද පෝෂණය කළ අය අතර සුනිල් විජේසිරිවර්ධන, උ. චේරන්, සෙරිනා තෙන්නකෝන්, රධිකා කුමාරස්වාමි, ප්‍රගීත් එක්නැළිගොඩ, රංජිත් පෙරේරා, තිලක් ජයරත්න, චාල්ස් අබේසේකර, රෙජී සිරිවර්ධන, එස්. පී. පුංචිහේවා, ජයදේව උයන්ගොඩ සහ නිව්ටන් ගුණසිංහ ප්‍රධාන විය. මේ අය අතරින් නිව්ටන් ගුණසිංහගේ දායකත්වය විශේෂ විය. ඔහු බිහිවෙමින් තිබූ ජාතිකවාදය, භික්‍ෂු සංස්ථාව, සිංහල බෞද්ධ දෘෂ්ටිවාදී ආධිපත්‍යය, පන්ති අරගලය වෙනුවට ජාතික අරගලය අධිනිශ්චය වීම වැනි කාරණාවන් සමඟ පොරබැදූ අතර ඔහුගේ න්‍යායාත්මක ප්‍රවේශය ග්‍රාම්සිචියානු එකක් විය.

මේ අනුව ලංකාවේ මුල් වතාවට බටහිර මාක්ස්වාදය සම්බන්ධයෙන් ලියූ පුද්ගලයා නිව්ටන් ගුණසිංහ විය. ග්‍රාම්ස්චි බටහිර හෙගලියානු මාක්ස්වාදියකු මෙන් ම මහාද්වීපික දර්ශනය ක්ෂේත්‍රයට අයත් චින්තකයකු විය. මාවත සඟරාවේ සාරය වශයෙන් නිව්ටන් ගුණසිංහ හරහා ඉතාලියානු මාක්ස්වාදියෙකු වූ අන්තෝනියෝ ග්‍රාම්ස්චි මතු විය.

1992 දී මාවත සඟරාව ප්‍රකාශයට පත් වීම අවසන් වූ අතර එම වර්ෂයේ දී ම දියැස සඟරාවත්, ප්‍රවාද සඟරාවත් ආරම්භ විය. දියැස සඟරාව යම් ආකාරයකට සම්භාව්‍ය මාක්ස්වාදය හා නලින්, චම්පික මතු කළ විද්‍යාවේ දාර්ශනික මතවාදයන් අතර සංවාදයක් වූවා නම් ප්‍රවාද සඟරාව මාවත සඟරාවෙන් ආරම්භ කළ මතතවාදයේ ම දිගුවක් විය. ප්‍රවාද සඟරාව දියැස සඟරාව මෙන් මාක්ස්වාදයට බර සඟරාවක් නොවූ අතර මාක්ස්වාදය, සමාජවාදය ප්‍රශ්න කරන ස්ත්‍රීවාදය, පශ්චාත් නූතනවාදය ප්‍රංශ දර්ශනය වැනි නව ප්‍රවණතාවන්ට ඉඩ දුන් සඟරාවක් විය. නිර්මාල් රංජිත් දේවසිරි, රොහාන් පෙරේරා දීප්ති කුමාර ගුණරත්න, රංජිත් පෙරේරා, ජයදේව උයන්ගොඩ, එළිසබෙත් බෝපේආරච්චි, සසංක පෙරේරා, නලින් සුවාරිස් වැනි අය තම තමන්ගේ ලිපි තුළින් ස්ත්‍රීවාදය, පශ්චාත් නූතනවාදය, ලුවී අල්තුසර්, මිචෙල් ෆුකෝ, ජාක් ඩෙරිඩා, ඇලන් බදියු වැනි චින්තකයන් මුල් වතාවට සිංහල පාඨකයන්ට හඳුන්වා දුන්හ. මේ බොහෝමයක් දාර්ශනික ප්‍රවණතා හෙගල් විරෝධී මෙන් ම මාක්ස් විරෝධී විය. සමස්තයක් වශයෙන් ප්‍රවාද සඟරාවේ මුල් කලාපයන් තුළ යම් ආකාරයක දේශපාලනික අන්තර්ගතයන් තිබුණු අතර ශාස්ත්‍රීය උගතුන් සහ දේශපාලනය ගැන උනන්දුවක් දක්වන අයගේ සහභාගීිත්වයෙන් එහි අන්තර්ගතය සැකසුණු නමුත් පසුකාලීන කලාපයන් සම්පූර්ණයෙන් ම ශාස්ත්‍රීය, සමාජ විද්‍යාත්මක හා මානව විද්‍යාත්මක ඒවා බවට පත් විය.

1997 වසරේ දී මාතොට සඟරාව ආරම්භ වූ අතර මේ හා සමගාමී ව X කණ්ඩායම මඟින් London සඟරාව සහ පොත් පත් ගණනාවක් ප්‍රකාශනයට පත් කරන ලදි. මේ ව්‍යාපාරය මඟින් ලංකාව තුළ ජනප්‍රියත්වයට පත් කළ චින්තකයන් අතරින් ඩෙරීඩා, අල්තුසර්, සෝෂියර්, ෆූකෝ, බාර්ත්ස් සහ ලැකාන් ප්‍රධාන විය. මේ දාර්ශනිකයන්ගෙන් ලැබුණු බොහෝමයක් දාර්ශනික නිගමන ප්‍රතිමාක්ස්වාදී මෙන් ම ප්‍රතිහෙගලියානු විය. මාක්ස්වාදය ප්‍රශ්න කිරීම, හෙගල් සහ මාක්ස් වැනි අය මතු කළ මහා දාර්ශනික අඛ්‍යානයන් ප්‍රශ්න කිරීම, සමස්තය බැහැර කිරීම, දයලෙක්තිකය නොතකා හැරීම, බුද්ධි ප්‍රබෝධ අරමුණු බැහැර කිරීම, විමුක්තිකාමී අභිලාෂයන් සලකා නොබැලීිම, නූතනවාදී අදහස් පිටුදැකීම, ඉතිහාසය අත්හැරීම, වර්තමානයට අවධානය යොමු කිරීම, ආත්මීයත්වය විසංයෝජනය කිරීම, වාස්තවිකත්වය විසංයෝජනය කිරීම, මේ දාර්ශනියන් අතර අඩුවැඩි වශයෙන් අන්තතර්ගත ව පැවතිණ. මේ දාර්ශනිකයන් අතරින් යම් හෝ හෙගලියානු සම්භවයක් තිබුණේ ලැකාන්ට ය. මේ අය අතරින් සමහර දෙනෙක් යම් කාලයක මාක්ස්වාදීන් වශයෙන් සිට පසුව මාක්ස්වාදය අතහැරිය අය වූහ.

සාරයන්ට එරෙහි වීම, සොබාවිකත්වය වෙනුවට සංස්කෘතිය මතු කිරීම, භාෂාව හරහා අර්ථයන් ගොඩ නැගෙන ආකාරය, ලිංගිකත්වය සොබාවික එකක් නොව සංස්කෘතිකමය එකක් බව, අර්ථයන් කථිකාව හරහා ගොඩ නගන ආකාරය, ජනමාධ්‍යය මඟින් ප්‍රතිරූප ගොඩ නගන ආකාරය, වසඟය, ප්‍රයෝජ්‍ය හා හුවමාරුව වටිනාකම් වෙනුවට සංකේතීය වටිනාකම් ගොඩ නැගෙන ආකාරය, ප්‍රතිපක්‍ෂ විසංයෝජනය කිරීම, ලිංගිකත්වය, අවිඥානය, රාජ්‍ය මතවාදී උපකරණ වැනි මාතෘකා ලංකාවේ තත්ත්වයන්ට සම්බන්ධ කරමින් විග්‍රහයන් ඉදිරිපත් කිරීම X ව්‍යාපෘතිය තුළ සිදු විය. මේවාට අමතර ව කලාකරුවන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ අනෙකුත් සිවිල් චරිතවල අවිඥානික ලිංගිකමය කරුණු කාරණාවන් හෙළිදරව් කිරීම X ව්‍යාපාරයේ මුල් කාලයේ දී දැක ගත හැකි ප්‍රධාන ලක්‍ෂණයන් විය. මේ ව්‍යාපෘතීන් තුළ හෙගලියානු අදහස පිළිබඳ කිසිදු සාකච්ඡාවක් සිදු නොවුණු අතර සම්භාව්‍ය මාක්ස්වාදය ප්‍රශ්න කරනසුලු ලිපිලේඛන ද ලියවිණි. X ව්‍යාපාරය තුළ ජනප්‍රිය වූ අර්නස්ටෝ ලැක්ලාව් හා ශන්තාල් මුෆ් විසින් සූත්‍රගත කළ පශ්චාත් මාක්ස්වාදය සමස්තයක් වශයෙන් ප්‍රතිහෙගලියානු මෙන් ම ප්‍රතිමාක්ස්වාදී ව්‍යාපෘතියක් ද විය. එය ඩෙරිඩියානු විසංයෝජනයට අනුකූල ව ගොඩ නැගුණු දේශපාලන හා දාර්ශනික ව්‍යාපාරයක් විය. 2004 දී X කණ්ඩායම බිඳ වැටෙන තෙක් ඉහත ප්‍රවණතාවන් සංවිධානය තුළ පැවතිණි. මේ කාලයේ දී ස්ලොවෝ ජිජැක්ගේ Sublime Object of Ideology කෘතිය සම්බන්ධයෙන් සංවිධානයේ අවධානය යොමු වී තිබුණු අතර එම කෘතිය හෙගල්-මාක්ස්-ලැකාන් හරහා සිය තර්කය වර්ධනය කළ එකක් විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස ලැකාන්ගේ බුද්ධිමය වර්ධනයේ මූලාශ්‍රයක් වෙත මාගේ අවධානය යොමු විය. ඒ රුසියානු-ප්‍රංශ සම්භවයක් සහිත ඇලෙක්සැන්ඩර් කොජෙව් වෙත ය. දෙවනුව ඇලෙක්සැන්ඩර් කොජෙව්ගේ බුද්ධිමය වර්ධනයේ ප්‍රබල ම මූලාශ්‍රය හෙගල් වශයෙන් හඳුනා ගත්තෙමි. මේ තත්ත්වයන් තුළ මම වේගයෙන් හෙගල් වෙත යොමු වුණෙමි. මෙහි ප්‍රතිඵලයක් වූයේ කොජෙව්ගේ ප්‍රධාන ම කෘතියක් වූ Introduction to Reading of Hegel පදනම් කර ගෙන සංවිධානය තුළ එවකට ඉතිරි ව සිටි සාමාජිකයන්ට අධ්‍යයන පන්තියක් ආරම්භ කිරීම ය. එය 2005 අග 2006 මුල කාලයේ දී සිදු විය. මම මෙහි දී ඉහත කෘතියේ පරිච්ඡේදයෙන් පරිච්ඡේදය, සංකල්පයෙන් සංකල්පය පැහැදිලි කරමින් අධ්‍යයන පන්තිය පැවැත් වූයෙමි.

හෙගල් වෙත පැමිණීම විශ්වවිද්‍යාලීය ශාස්ත්‍රීය බලපෑමකින් සිදුවූවක් නො වේ. 1994 සිට විශ්ව විද්‍යාල උපාධි අපේක්‍ෂකයකු ලෙස දර්ශනය ඉගෙන ගැනීමේ දී හෙගල් සම්බන්ධයෙන් ලබා ගත් දැනුම ඉතා ම සීමිත විය. නූතන බටහිර දර්ශනය ඉගෙන ගැනීමේ දී ඩේකාට්ස්ගෙන් පටන් ගෙන ස්පිනෝසා, ලයිබ්නීස්, ජෝන් ලොක්, ජෝර්ජ් බර්ක්ලේ, ඩේවිඩ් හියුම් හරහා කාන්ට් වෙත පැමිණුනු නමුත් හෙගල් සම්බන්ධයෙන් අවධානයක් යොමු වූයේ නැත. හෙගල් දුෂ්කර දාර්ශනිකයකු ලෙස සලකා බැහැර කිරීම සිදු විය. හෙගල් සම්බන්ධයෙන් යම් ආකාරයක දැනුමක් ලැබුණේ විශ්ව විද්‍යාලයට පිටතිනි. ඒ 1991-95 කාලයේ දී විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයට ආකර්ෂණය වී සිටි සමයේ දී ය. හෙගල්ගේ දේශපාලන දර්ශනය හා කලාවේ දර්ශනය නම් ක්‍ෂේත්‍රවලට සම්බන්ධිත ව ඉන් දැනුමක් ලැබුණේ ය. සුචරිත ගම්ලත් විසින් සිංහලට පරිවර්තනය කර තිබුණු ලුඩ්විග් ෆොයබාක් සහ සම්භාව්‍ය ජර්මානු දර්ශනයේ අවසානය නම් කෘතිය මේ සම්බන්ධයෙන් වූ පළමු බලපෑම විය. එංගල්ස්ගේ මේ කෘතිය මඟින් හෙගල්ගේ දර්ශනය සම්බන්ධයෙන් විවේචනයන් ඉදිරිපත් කෙරෙන අතර භෞතිකවාදී කෝණයකින් හෙගල් දෙස බැලීමක් මෙහි දී සිදු වෙයි. මේ පරිවර්තන කෘතියට පෙරවදන ලියන්නේ කීර්ති බාලසූරිය වන අතර එහි දී ඔහු හෙගල් සම්බන්ධයෙන් කිසිවක් කියන්නේ නැත. මෙහි දී ඔහු අතින් වැඩියෙන් අවධාරණයට ලක්වන්නේ එංගල්ස් හා ලෙනින් ය. ඔහු ලියන ආකාරයට, එංගල්ස් මෙහි ලා පැහැදිලි කරන්නේ එතෙක් පැවති දර්ශනවාදය තුළත් එමෙන් ම නවීන විද්‍යාව තුළත් රාශීභූත වූ වර්ධනයන්ගේ කූටප්‍රාප්තිය හා ප්‍රතිෂේධනය හැටියට මාක්ස්වාදයේ ලෝක දෘෂ්ටිය වන අපෝහක භෞතිකවාදය වර්ධනය කරන ලද බවයි... භෞතිකවාදය ට ප්‍රතිපක්‍ෂව පිහිටා සිටි විඥානවාදය නවීන විද්‍යාවේ මේ වර්ධනයෙන් පිටුබලය ලබමින් භෞතිකවාදයේ පැරණි සීමාවන්ට බැට දෙන්නට පටන් ගත්තත් විඥානවාදය චින්තනයට පරිබාහිර ව පවත්නා ද්‍රව්‍යමය ලෝකයක් ඇතැයි පිළිනොගන්නා නිසා ම එහි ප්‍රතිඵල වූයේ යාන්ත්‍රික භෞතිකවාදයට වඩා පොහොසත් ලෙස යථාර්ථයට සමීප වූ නමුත් යථාර්ථය ඔළුවෙන් සිට වූ යථාර්ථයෙහි යෝධ විකෘතියකි. (බාලසූරිය 1978, viii-ix​)

මේ කාලයේ ලංකාවේ සිටි වඩාත් ම දියුණු මාක්ස්වාදියා වූ කීර්ති බාලසූරිය මෙහි දී ජර්මන් විඥානවාදය දෙස බලන්නේ එංගල්ස් හරහා ය. එයට වඩා වැඩි අදහසක් මෙහි දී ප්‍රකාශ කරන්නේ නැත. මේ අනුව කීර්ති බාලසූරිය මෙන් ම එංගල්ස් මෙහි දී සිටින්නේ භෞතිකවාදය සම්බන්ධයෙන් එක් ස්ථාවරක ය. නවීන විද්‍යාවේ වර්ධනය හරහා භෞතිකවාදය තහවුරු වෙන බවත් යාන්ත්‍රික භෞතිකවාදයට වඩා විඥානවාදය පොහොසත් බවත් ය.

කීර්ති බාලසූරිය

කීර්ති බාලසූරිය හා සුචරිත ගම්ලත් විසින් 1986 දී ලියනු ලැබූ කල්පනා ලෝකවාදය සාහිත්‍ය කලා හා මාක්ස්වාදය කෘතිය ලිවීමේ දී ප්‍රධාන මූලාශ්‍රයක් වශයෙන් පාවිච්චි කර තිබෙන්නේ මාක්ස්ගේ ආර්ථික හා දාර්ශනික අත්පිටපත් ය. මෙහි දී අමතර වශයෙන් මතක් කළ යුතු කාරණාවක් වන්නේ මාක්ස් මෙම පොත ලිවීමේ දී වැඩි වශයෙන් ආදර්ශ කොට ගෙන තිබෙන්නේ හෙගල්ගේ සෞන්දර්ය විද්‍යාව පිළිබඳ කෘතිය වන Lectures on Fine Arts yd Phenomenology of Spirit කෘතිය ය. හෙගල් සම්බන්ධයෙන් වඩාත් පුළුල් අදහසක් ඇති කර ගැනීමට මට ඉවහල් වූ පොතක් වූයේ කල්පනා ලෝකවාදය හා සාහිත්‍ය කලා කෘතිය යි. මේ කෘතිය තුළ මාක්ස් හෙගල් සම්බන්ධයෙන් විශේෂ අවධානයට ලක් කරමින් ලියූ ආර්ථික හා දාර්ශනික අත්පිටපත් හා ගෲන්ඩි්‍රස් කෘතිය උපුටමින් කීර්ති සහ ගම්ලත් සිය තර්කය ගොඩනගන අතර එංගල්ස්ගේ ලුඩ්විග් ෆොයබාක් සහ සම්භාව්‍ය ජර්මානු දර්ශනවාදය කෘතියත් අදාළ කර ගෙන ඇත. කල්පනා ලෝකවාදය හා සාහිත්‍ය කලා කෘතියේ එක් අරමුණක් වන්නේ ලංකාවේ කලා විචාරය සඳහාත්, යථානුභූතවේදී ඥාන විභාගය ඉක්මවා යාම සඳහාත්, කාන්ට්ගේ ඥාන විභාගයේ ‘යථාර්ථය දැකගත නො හැකිය’ යන මතයට ප්‍රතිපක්‍ෂ ව හෙගල්ගේ ප්‍රවේශය මඟින් චින්තනයට යථාර්ථය විනිවිදිය හැකිය යන අදහස තහවුරු කිරීම ය.​

විශේෂයෙන් ම එදිරිවීර සරච්චන්ද්‍රගේ අනුභූතිවාදී ඥාන විභාගය, දයලෙක්තික ඥාන විභාගය මඟින් සමතික්‍රමණය කිරීම, කලා විචාරය ක්‍ෂේත්‍රයේ සිදු වන විඥානවාදී විකෘතීන්ට හා අපසරණයන්ට එරෙහි ව අපෝහක භෞතිකවාදය ස්ථාපනය කිරීම සඳහා හෙගල්ව යම් සීමිත දුරකටත් මාක්ස්ව වැඩි දුරකටත් අදාළ කර ගැනීම මෙහි දී සිදු වේ. සරච්චන්ද්‍රගේ යථානුභූතවාදී විධික්‍රමය තුළ ඇති ගූඪකරණයන්ට ලක් කළ විඥානය හෙළිදරව් කිරීමත් කතුවරයන් දෙදෙනාගේ අරමුණු වේ. මේ කෘතියේ ප්‍රස්තුතයට අදාළ කාරණය සාකච්ඡා කෙරෙන්නේ ‘යථානුභූතවාදය හා ඥාන විභාගය’ නම් පරිච්ඡේදයේ දී ය. එහි දී තැන් කිහිපයක මෙසේ කියයි.

චින්තනයේ ක්‍රියාකාරිත්වය කුමක් ද? හෙගල් මූලික වශයෙන් ම අත ගැසූයේ මේ ප්‍රශ්නයට ය. තමාට පූර්වගාමී වූ ධනේශ්වර දර්ශනවාදීන්ගේ ප්‍රතිෂ්ඨාපනයන්හි ආත්මීයවාදී ගම්‍යයන් දර්ශනවාදය තුළ දී ජය ගන්නේ කෙසේ ද? ලෝකය පිළිබඳ ව ආත්මීය නො වන අවබෝධයක් මිනිසාට ලබා ගත නො හැකි ද? හේගල් පෙරට තල්ලු කරනු ලැබුවේ මේ ක්‍ෂණික ප්‍රශ්න විසිනි. චින්තනය, මානුෂික ක්‍රියාකාරීත්වය හා සොබාදහම තුන් පොළක ලැගුම් ගැන්වීම මෙතෙක් පැවති දර්ශනවාදයේ හා ක්‍රියාකාරීත්වයේ පමණක් නො ව සොබාදහමේ ද “වරදක්” බව හේගල් ඇඟවී ය.(බාලසූරිය, ගම්ලත් 1999, 57)

සමස්ත ඉතිහාසය හා සකල සංස්කෘතිමය චින්තනයේ ක්‍රියාකාරීත්වය බාහිරකරණය වීමක් ය යන හෙගලියානු ප්‍රස්තුතයට සිනා සෙන නූතන යථානුභූතවාදය ඇත්තෙන් ම ලැග සිටින්නේ විෂය ලෝකය “සම්මුතියෙන්” නිර්මාණය කළ යුතු ය යන කාන්ටියානු ප්‍රස්තුතය මතය. (බාලසූරිය ගම්ලත් 1999, 58)

විෂයීකරණය වූ, බාහිරකරණය වූ චින්තනය පෙරළා එහි ශුද්ධ රූපය කරා පමුණුවා චින්තනය තමා ගැන පරම දැනුම ලබා ගැනීම හෙගලියානු සැලසුම බැවින් මේ ආපසු ගමනේ දී චින්තනය තමා පසු කළ සියලු අවධි හා අවස්ථා නියෝජනය කරන සංකල්ප හා ප්‍රවර්ග රැසක් තමා තුළට ම ගෙන එන්නේ ය.(බාලසූරිය, ගම්ලත් 1999, 58)

විෂයීකරණය වූ, බාහිරකරණය වූ චින්තනය පෙරළා එහි ශුද්ධ රූපය කරා පමුණුවා චින්තනය තමා ගැන පරම දැනුම ලබා ගැනීම හෙගලියානු සැලසුම බැවින් මේ ආපසු ගමනේ දී චින්තනය තමා පසු කළ සියලු අවධි හා අවස්ථා නියෝජනය කරන සංකල්ප හා ප්‍රවර්ග රැසක් තමා තුළට ම ගෙන එන්නේ ය.(බාලසූරිය, ගම්ලත් 1999, 58)

එමෙන් ම චින්තනය නිරන්තර ප්‍රතිවිරෝධයන්ට මුහුණ පාන බැවින් ද සැබෑ වස්තු එසේ නො විය හැකි බැවින් ද චින්තනයට වස්තූන් ගැන දැනුම ලද නො හැකිය යන කාන්ටියානු ප්‍රවාදයට එරෙහිව හෙගල් කියා සිටියේ චින්තනයේ ප්‍රතිවිරෝධීත්වය වස්තූන්ගේ ප්‍රතිවිරෝධත්වයෙන් හා චලනයෙන් වෙන් නොකළ හැකි බව යි.(බාලසූරිය, ගම්ලත් 1999, 59)

කාන්ට්ගේ දෝෂය නම් හෙගල් දුටු පරිදි ඥානය වර්ධන සන්තතියක් ලෙස නොගෙන ස්ථිතිකයක් ලෙස පිහිටවන්නට තැත් කිරීම ය. එසේ තැත් කළ සෑම විටක ම ඥානය පිරිහෙළීමකට පමණක් ගොදුරුවන බව හෙගල් පෙන්වා දුන්නේ ය.(බාලසූරිය, ගම්ලත් 1999, 60)හෙගල්ගේ අස්ථානය වූයේ විෂය ලෝකය මනස විසින් ඉදි කරන ලද බැවින් මනස සහ වස්තු අතර පරම භේදයක් ඇති කිරීම වැරදි ය යන්න ය. ඔහු මනසේ ප්‍රවර්ගවල උපත විශ්ලේෂණය නො කළත් මේ ප්‍රවර්ග වර්ධනය වන බවත් ඒවාට වර්ධනය විය හැක්කේ බාහිර වස්තු සමඟ එකමුතුව, ගැටුම, අන්තර් විනිවිදීම හා පරිවර්තනය ලෙස බවත් ආත්මය හා විෂය අතර මේ ප්‍රතිවිරෝධී සම්බන්ධතාවේ වර්ධනය ම ඥාන සන්තතිය බවත් කියා සිටියේ ය. (බාලසූරිය, ගම්ලත් 1999, 61)

හෙගලියානු දර්ශනය සම්බන්ධයෙන් කීර්ති හා ගම්ලත් යන දෙදෙනා ඉදිරිපත් කරන විග්‍රහය අතිශයින් ම නිවැරදි ය. මෙයින් පසුව ඔවුන් දෙදෙනා මාක්ස් විසින් හෙගල් සම්බන්ධයෙන් සූත්‍රගත කර තිබෙන තර්කයන් ප්‍රමාණයක් ගොනු කරයි. හෙගල් තම දර්ශනය තුළ න්‍යාය හා භාවිතයේ එකමුතුව අත්පත් කරගත් බව කීවත්, ප්‍රසියානු රාජ්‍යයේ ස්වරූපයෙන් මහා සංකල්පය සාක්ෂාත් වූ බව ප්‍රකාශ කළත් දර්ශනවාදය තුළ කුළුගැන්වුණු ප්‍රතිවිරෝධය දර්ශනවාදය තුළ විසඳිය හැකි යැයි කීවත් සැබෑ සමාජය තුළ මේ කිසිවක් විසඳුණේ නැති බව මොවුහු පෙන්වා දෙති. අනෙක් අතට කීර්ති සහ ගම්ලත් යන දෙදෙනා හෙගල්ව පාවිච්චි කරන්නේ යථානුභූතවාදයේ ඥාන විභාගයට පහර දීමට ය. හෙගල්ගේ ඥාන විභාගාත්මක ක්ෂේත්‍රයට අමතර ව පවතින සද්භවවාදී ක්ෂේත්‍රය සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දක්වා නැත. මහාද්වීපික දර්ශනය තුළ 1990 දශකයේ අග භාගය තුළ දී ය මේ ක්ෂේත්‍රයට විශේෂ අවධානය යොමු වන්නේ. එමෙන් ම ආත්මීයත්වය පිළිබඳ ප්‍රශ්නය තේරුම් ගැනීමේ දී හෙගල්ගේ දර්ශනයේ ඇති විශේෂ වැදගත්කම කීර්ති සහ ගම්ලත් හෙගල් සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කරන කාලයේ අවධානයට ලක්වී තිබුණේ නැත. ​කීර්ති, ගම්ලත් යන අය හෙගල්ට ප්‍රවේශ වූයේ එක්කෝ එංගල්ස් හරහා ය නැත් නම් මාක්ස් හරහා ය.

සුචරිත ගම්ලත්

හෙගල්ට ප්‍රවේශ වීමේ තවත් මාර්ගයක් පැවතිණි. මෙවැනි ආකාර වෙනස් ප්‍රවේශයක් වූයේ ඇලෙක්සැන්ඩර් කොජෙව්ගේ ප්‍රවේශය ය. මා මුලින් දැක් වූ ආකාරයට 2005 පමණ කාලයේ දී මේ ප්‍රවේශයට මම යොමු වී සිටියෙමි. ලංකාවේ සිටි බොහෝ මාක්ස්වාදීහු මාක්ස් විසින් හෙගල්ව සමතික්‍රමණය කර තිබීම නිසා අලුතෙන් යමක් හෙගල් තුළ සොයා ගැනීමට නොහැකි යැයි සිතූහ. ඉතාමත් සරල ආකාරයට හෙගල් වනාහි ඔලුවෙන් සිටගෙන සිටින දාර්ශනිකයකු ලෙසට සැලකී ය. හෙගල්ගේ පරම විඥානවාදය, ෆිෂ්ටගේ ආත්මීය විඥානවාදයෙන් සහ කාන්ට්ගේ අනුභූති උත්තර විඥානවාදයෙන් වෙනස් බව තේරුම් ගෙන තිබුණේ නැත. 1930 ගණන්වල ප්‍රංශ ඇකඩමියාව තුළ හෙගල්ව නැවත ස්ථාපනය වීම, කාල්මාක්ස් හෙගල්ගේ තර්ක විද්‍යාව කෘතියේ වර්ධනය කර තිබෙන තාර්කික ප්‍රවර්ගයන් හරහා ප්‍රාග්ධනය කියවීම, ලෙනින් 1917 විප්ලවයට පෙර හෙගල්ගේ තර්කවිද්‍යාව කෘතිය සම්බන්ධයෙන් ගැඹුරු අධ්‍යයනයක් කිරීම, ග්‍රාම්ස්චි, ලුකාස්, ෆ්‍රැන්ක්ෆර්ට් පාසැලේ ඇඩානෝ, මාකුසේ වැනි අය හෙගල් වෙත ප්‍රවේශ වීම යන මාතෘකා නැවතත් ලංකාවේ ශාස්ත්‍රීය ලෝකයටත්, දේශපාලන ව්‍යාපාරවලටත් හඳුන්වා දීමේ අවකාශයක් නිර්මාණය වී තිබිණි.

හෙගල් සම්බන්ධයෙන් ඊළඟ මැදිහත් වීමට පසුබිම වූයේ ජනතා විමුක්ති පෙරමුණේ ශිෂ්‍ය අංශය වූ සමාජවාදී ශිෂ්‍ය සංගමය මඟින් 2006 දී ප්‍රකාශයට පත් කළ ‘ක්වොන්ටම් ලෝකයේ දයලෙක්තිකය: මාක්ස්වාදයේ විවේචකයන්ට පිළිතුරු’ නම් පොත ය.

එම පොතට අමතර ව නලින්ද සිල්වාගේ මගේ ලෝකය පොත ද පාදක කර ගෙන මේ පොත් දෙක ම ප්‍රශ්න කරමින් මා සහ රුවන් කුමාර එක් ව ලියූ ලිපි පෙළ එම මැදිහත් වීම ය. ඉහතින් සඳහන් පාර්ශ්වයන් දෙකට ම එරෙහි ව හෙගලියානු-මාක්සියානු ස්ථාවරයක් මතු කිරීමට අප විසින් උත්සාහ ගන්නා ලදි. එවකට අපගේ ලිපි මව්බිම පුවත්පතේ AK 47 අතිරේකයේ පළ වූ අතර 2007 දී විනෝදය-අරගලය කෘතියේ අපගේ එම ලිපි හා සමාජවාදී ශිෂ්‍ය සංගමය අපට ලබා දුන් පිළිතුරු සමඟින් ප්‍රකාශයට පත් විය. මෙහි දී අප ආත්මීයත්වය හා වාස්තවිකත්වය අතර දයලෙක්තික සබඳතාව ස්ථාපනය කිරීම, යථානුභූතවාදී දර්ශනවාදය වෙනුවට ජර්මන් විඥානවාදී ප්‍රවේශයක් මතු කිරීම, ලංකාවේ මාක්ස්වාදී ව්‍යාපාරය තුළ සාකච්ඡාවට නොගත් හෙගලියානු මාක්ස්වාදියෙකු වූ ජෝර්ජ් ලුකාස්ව නැවත සාකඡාවට ගැනීම, මාක්ස්ගේ ආර්ථික හා දාර්ශනික අත්පිටපත් ගැන කතිකාවන් ඇති කිරීම, ලෙනින්ගේ දාර්ශනික සටහන් පොත් කෘතිය සංවාදයට රැගෙන ඒම, ඥාන විභාගාත්මක විග්‍රහයන් ඉදිරිපත් කරනවා වෙනුවට හෙගල්ගේ පාරභෞතික වාදය අදාළ කරගනිමින් සද්භවවාදී විශ්ලේෂණයක් ඉදිරිපත් කිරීම සිදු විය. අපගේ උත්සාහය වූයේ නලින් සිය පොත මඟින් ඉදිරිපත් කළ නිර්මාණාත්මක සාපේක්‍ෂකවාදී, විද්‍යා විරෝධී හා මාක්ස් විරෝධී ලෝක දැක්ම මෙන් ම සමාජවාදී ශිෂ්‍ය සංගමයේ විද්‍යාවාදී හා එංගල්ස්වාදී ප්‍රවේශයෙන් ඔබ්බට සාකච්ඡාව රැගෙන ඒම ය. එමෙන් ම අපගේ ව්‍යාපාරය තුළත් කාලයෙන් කාලයට අධිපති ව පැවති ව්‍යූහවාදය, පශ්චාත් ව්‍යූහවාදය, පශ්චාත් මාක්ස්වාදය වැනි ප්‍රංශ දාර්ශනික ප්‍රවණතා ජර්මානු දාර්ශනික ප්‍රවණතා මඟින් ඉක්මවා යාමේ උත්සාහයක් ද අප තුළ පැවතිණි.

මේ උත්සාහයේ දී භෞතිකවාදය සම්බන්ධයෙන් නිශ්චිත පැහැදිලි කිරීමක් කළෙමු. එහි දී මා මතු කළ අදහස වූයේ භෞතික විද්‍යාවේ වර්ධනය තුළින් භෞතිකවාදය තහවුරු වීමක් හෝ භෞතික විද්‍යාවේ වර්ධනය හරහා ලැබෙන ගම්‍යන්ගෙන් භෞතිකවාදය ප්‍රතික්‍ෂේප වීමක් සිදු නො වන බව ය. භෞතිකවිද්‍යාව හා භෞතිකවාදය අතර සම්බන්ධතාවක් නැති බව අපගේ මතය විය. මේ ආකාර අසම්බන්ධතාවක් ගොඩනැගූවේ භෞතිකවාදය භෞතිකවිද්‍යාවට යට කිරීමේ විද්‍යාවාදී උත්සාහයන්ට පහර දීමේ අවශ්‍යතාව තිබුණු නිසාය. 1980 ගණන්වල සිට ලංකාවේ දී නලින් ද සිල්වා ප්‍රබල වත්, සුසන්ත ගුණතිලක, අර්ජුන ද සොයිසා, චම්පික රණවක යන අය යම් දුරකටත් භෞතික විද්‍යාවේ වර්ධනය, විශේෂයෙන් ම ක්වොන්ටම් භෞතිකවිද්‍යාවේ වර්ධනය හරහා මාක්ස්වාදය, භෞතිකවාදය නිෂේධ වනවා ය යන අදහස් පෝෂණය කරමින් සිටි අතර මෙයට පිළිතුරු දීමේ අවශ්‍යතාව පැවතිණි. අප භෞතිකවාදය හා භෞතික විද්‍යාව අතර අසම්බන්ධයක් ගොඩනැගීමට හේතු වූයේ සුචරිත ගම්ලත්, කීර්ති බාලසූරිය, වසන්ත රාජා, පියසීලි විජේගුනසිංහ, බර්ටි එස්. නානායක්කාර, බන්දුල නානායක්කාර වැනි අයට මෙන් ම ක්වොන්ටම් ලෝකයේ දයලෙක්තිකය පොත මඟින් භෞතිකවිද්‍යාවේ වර්ධනය හරහා තවදුරටත් භෞතිකවාදය තහවුරු වන බව දැක්වීමට පෙරට ආ සමාජවාදී ශිෂ්‍ය සංගමයට එරෙහි ව මැදිහත් වීමක් කළ යුතු ව තිබුණු බැවිනි. මෙහි දී අප විසින් භෞතිකවාදය වශයෙන් අර්ථකථනය කරන්නේ කුමක් ද යන්න රුවන් කුමාර ඉතාමත් පැහැදිලි ආකාරයට මේ විවාදයේ දී සූත්‍රගත කළේය. එයට අනුව,

අප භෞතිකවාදය යනුවෙන් වටහා ගන්නේ යම් සමාජ සැකැස්මක බල රටාවන් නැත හොත් ගතිකයන් වටහා ගෙන එය යම් අලුත් ඉලක්කයක් හෝ පෙරළියක් කරා සංචලනය කිරීම නැත හොත් මෙහෙය වීම ය. (රුවන් කුමාර 2007, 136)

මේ අර්ථකථනය යට තිබෙන්නේ ව්‍යූහය හා ආත්මීය මැදිහත් වීම අතර පවත්නා දයලෙක්තික සබඳතාවය ය. සමාජ සැකැස්ම තේරුම් ගෙන ආත්මීය මැදිහත් වීමක් හරහා අලුත් තැනකට තල්ලු කිරීම, ඔසවා තැබීම (Aufhebung) යට තිබෙන්නේ හෙගලියානු තර්කයකි.

2007 විනෝදය-අරගලය කෘතිය ප්‍රකාශයට පත් වීමෙන් පසුව මාගේ උත්සාහය වූයේ හැකි සෑම ආකාරයකින් ම අපගේ ව්‍යාපාරය තුළ ජර්මානු දර්ශනවාදී ප්‍රවණතාවන් සාමාන්‍ය වශයෙනුත් හෙගල්ව විශේෂ වශයෙනුත් ප්‍රචලිත කිරීම ය. මෙහි ප්‍රතිඵලයක් ලෙසට 2008- මාර්තු-අප්‍රියෙල් පෙරදිග සුළං පළමු කලාපයටත්, 2008 ජූනි ජූලි දෙවන කලාපයටත් ‘ජනප්‍රිය දර්ශනවාදයෙන් ඔබ්බට’ යනුවෙන් හෙගල්ගේ දර්ශනය සම්බන්ධයෙන් ලිපි දෙකක් ලියූවෙමි. 2009, 2010, 2011, 2021, 2013 ත්‍රිමාන සඟරාවන්ට මාර්ටින් හෛඩගර් නම් ජර්මානු දාර්ශනිකයා හා ඔහුගේ නාසි සබඳතා පිළිබඳවත්, තවත් ජර්මානු දාර්ශනිකයකු වූ එඩ්මන්ඩ් හුසල් හා හෛඩගර් අතර පැන නැගුණු දාර්ශනික හා දේශපාලන විවාදය පිළිබඳ වත්, ශාක් ඩෙරිඩාගේ විසංයෝජන ව්‍යාපාරය ප්‍රධාන ජර්මන් දාර්ශනිකයන් දෙදෙනෙකු වූ හුසල් හා හෛඩගර්ගේ දාර්ශනික අස්ථානයන් විසංයෝජනය කරමින් බිහිවන ආකාරයත් මේ ලිපිවලින් පෙන්වා දුන්නෙමි.

මේ ආකාරයෙන් ජර්මානු දාර්ශනික ප්‍රවර්ගයන් මේ දේශපාලන ව්‍යාපාරය තුළට රැගෙන ඒම සහ ඒවා සමාජ ගත කිරීමට වැඩකරන කාලයේ දී මාගේ මූලික අපේක්‍ෂාව වූයේ භෞතිකවාදය අපගේ ව්‍යාපාරය තුළ ස්ථාවර කිරීම ය. මෙහි දී මාගේ සිතෙහි පැවති ආදර්ශයක් විය. එය ලෙනින්ගේ ප්‍රවේශයකි.

සටන්කාමි භෞතිකවාදය

ලෙනින් විසින් ලියනු ලැබූ ‘Militant Materialism’ නම් ලිපිය මාගේ මනසේ පැවති ආදර්ශයක් විය. මේ ලිපිය ‘සටන්කාමී ද්‍රව්‍යවාදයේ වැදගත්කම’ යනුවෙන් ප්‍රකාශයට පත් වී තිබිණි. මේ ලිපිය ලෙනින් ලියන්නේ 1922 මාර්තු 12 දින ය. ලෙනින් මිය යන්නේ 1924 ජනවාරි 21 දින ය. මේ ලිපිය හෙගල් සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලෙනින්ගේ අවසන් ලිපිය විය හැකි ය. ලෙනින් මේ ලිපියේ දී ට්‍රොට්ස්කි අගයමින් ‘මාක්ස්වාදයේ ධජය යටතේ’ නම් ලිපිය තුළ ට්‍රොට්ස්කි විසින් සියල්ල ම කියා ඇත යැයි ප්‍රසාදයෙන් කථා කරයි. මේ “පොද්ස්යාමෙනම් මාක්සිස්මා” සඟරාව වටේ ඒකරාශී වී සිටින සෑම කෙනෙක් ම කොමියුනිස්ට්වාදීන් නොවන නමුත් ඔවුන් හැම කෙනෙක් ම ස්ථීර ද්‍රව්‍යවාදීන් බවත් කොමියුනිස්ට්වරුන් හා කොමියුනිස්ට් නොවන්නන් අතර සංධානයක් අවශ්‍ය බවත්, විප්ලවය කළ හැක්කේ විප්ලවවාදීන්ට පමණක් යැයි ගැනීම වරදක් බවත් ලෙනින් දක්වයි.

ලෙනින්ගේ මේ මතය හරහා මා පැමිණි නිගමනයක් වූයේ කොමියුනිස්ට්වාදීන් නො වන භෞතිකවාදීන් ද සිටින බව ය. භෞතිකවාදය සම්බන්ධයෙන් අපගේ මතය ගොඩනැගීමේදී අප තුළත් යම් විද්‍යා විරෝධී අදහසක් ගොඩනැගී තිබිණි. නමුත් මෙහි දී ඇත්ත වශයෙන් ම අපට අවශ්‍ය වූයේ විද්‍යා විරෝධී අදහසක් ගොඩනැගීම නො ව විද්‍යාවාදී අදහසට පහර ගැසීම ය. මේ නිසා සොබාවික විද්‍යාව සම්බන්ධයෙන් මතය වඩාත් රැඩිකල්කරණය කළ යුතු බව මාගේ අදහස විය. විද්‍යා විරෝධී අදහස භෞතිකවාදී එකක් නො වන බවත් හැඟී ගොස් තිබිණි. එමෙන් ම භෞතිකවාදය භෞතික විද්‍යාවට යට කිරීම ද නො කළ යුතු බවත් විද්‍යාවාදය මෙන් ම විද්‍යා විරෝධය ද ප්‍රතික්‍ෂේප කළ යුතු බවත් මාක්ස්වාදී නො වන කඳවුරුවල ද භෞතිකවාදීන් සිටිය හැකි බවත් පැහැදිලි විය. සටන්කාමී භෞතිකවාදියෙකු සමාජ, ආර්ථික, දේශපාලන ලෝකය විප්ලවීය ලෙස වෙනස් කිරීමට උත්සාහ කිරීම සහ විද්‍යාඥයකු තමන්ට මුණගැසෙන විද්‍යාත්මක අභියෝගයක් ජය ගැනීමට උත්සාහ කිරීම අතර ව්‍යූහාත්මක සමානකමක් තිබෙන බව පැහැදිලි විය. ලෙනින් සටන්කාමී ද්‍රව්‍යවාදය ලේඛනයෙහි මෙවැන්නක් කියයි.

ධනපති පන්තියේ පන්ති ස්ථාවරය සහ පන්ති උවමනාවන් අතර ඇති සම්බන්ධකම් ගැනත්, එක් අතකින් සියලු අන්දමේ ආගම්වලට ආධාර දීම සහ අනිත් අතින් විලාසිතාශීලී දාර්ශනික ප්‍රවතාවන්ගේ දෘෂ්ටිමය හරය අවබෝධ කර ගැනීමත් සඳහා නිදසුනක් වශයෙන් රේඩියම් සොයා ගැනීමේ දේවලින් පටන් ගෙන, අයින්ස්ටයින්ගේ සාය ඇල්ලීමට තනන දේ දක්වා වූ යුරෝපයේ නිතර පාහේ පැන නගින විලාසිතාශීලී දාර්ශනික ප්‍රවණතාවන්ගේ ඉමහත් බහුතරය මතක් කළ යුතු ය. (ලෙනින්, 1981, 12 වෙළුම, 61-62)

Vladimir Ilʹich Lenin

ලෙනින්ගේ මේ අදහසින් පැමිණිය හැකි නිගමනයක් නම් විලාසිතා දාර්ශනික ප්‍රවණතාවන්ගෙන් විද්‍යාව ගලවා ගත යුතු බව යි. තවදුරටත් කීවොත් විද්‍යාවන්ගේ භෞතිකවාදී මදය ආරක්‍ෂා කිරීමත් විද්‍යාවන් වටා ගොඩනැගී තිබෙන දෘෂ්ටිවාදී පිට පොත්ත ප්‍රශ්න කිරීමක් කළ යුතු බව ය. භෞතිකවාදයේ සටන්කාමී මදය රැකගත යුතු අතර භෞතිකවාදය සම්බන්ධයෙන් තිබෙන දෘෂ්ටිවාදී පිට පොතුවලින් ගැලවිය යුතු බවත් මෙයින් කියවේ. භෞතිකවාදය යනු මනසින් පරිබාහිර ද්‍රව්‍යමය ලෝකයක් ඇත ය; ද්‍රව්‍ය ප්‍රාථමික ය යන සරල දෘෂ්ටිවාදයෙන් ගැලවිය යුතු අතර ම විද්‍යාව සම්බන්ධයෙන් ද ඇති සත්වාදී යථානුභූතවාදී දෘෂ්ටිවාදී දැක්මවල්වලින් ද ගැලවිය යුතු බව ය. ලෙනින් 1908 දී භෞතිකවාදය හා අනුභූතිවාදී විචාරය කෘතියේ දී අර්නස්ට් මාක් වැනි භෞතිකවිද්‍යා දාර්ශනිකයන්ගේ යථානුභූතවාදී දැක්මට පහර ගැසීම කළ යුතු දෙයක් වුවත් ඔහු මෙහි දී විද්‍යාවේ සත්වාදී දැක්ම හා භෞතිකවාදය තුල්‍ය කිරීම හේතුවෙන් ලෙනින් ම ද උගුලක සිර වූ බව පිළිගත යුතු ය. නමුත් 1922 ‘සටන්කාමී භෞතිකාවදය’ ලියවිල්ල තුළ ඔහු වඩාත් රැඩිකල් අදහසක් ප්‍රකාශ කරන බව පෙනෙයි. මා වඩාත් අභිප්‍රේරණය ලැබුවේ ලෙනින්ගේ පහත අදහසට ය. ඔහු ලියන ආකාරයට,

...කිසි ම ප්‍රකෘති විද්‍යාවකට හෝ ද්‍රව්‍යවාදයකට හෝ ස්ථීර දාර්ශනික පදනමක් මත සිටින්නේ නැත් නම් ධනපති සංකල්පයන්ගේ ප්‍රහාරයට විරුද්ධ ව සහ ධනවාදී ජගත් දර්ශනයට විරුද්ධ ව ඒවා තනි ව ම නැගී සිටීමට බැරි බව අවබෝධ කර ගත යුතු ය. මේ සටනේ දී තමා නැගී සිට එය ජයග්‍රාහී අවස්ථාව දක්වා ගෙන යාමට නම්, ප්‍රකෘති විද්‍යාඥයා සමකාලීන ද්‍රව්‍යවාදියෙකු, මාක්ස් විසින් නියෝජනය කරන ද්‍රව්‍යවාදයේ සවිඥානක පාක්‍ෂිකයෙකු එනම් ඔහු දයලෙක්තික ද්‍රව්‍යවාදියෙකු විය යුතු ය. මෙම අරමුණ ඉටු කර ගැනීම සඳහා “පොද්ස්නාමෙනම් මාක්සිස්මා” සඟරාවට ලිපි ලියන අය ද්‍රව්‍යවාදී දෘෂ්ටිකෝණයකින් හෙගේලියානු දයලෙක්තිකය එනම්, මාක්ස් ඔහුගේ “ප්‍රාග්ධනය” සහ ඓතිහාසික සහ දේශපාලන කෘතිවලට ප්‍රායෝගික ලෙස භාවිත කළ දයලෙක්තික ක්‍රමානුකූල ලෙස අධ්‍යයනය කළ යුතු ය ... මාක්ස් විසින් ද්‍රව්‍යවාදී ලෙස ව්‍යවහාරයට යොදන ලද හෙගේලියානු දයලෙක්තික ක්‍රමය අපේ පදනම ලෙස ගනිමින් මෙම දයලෙක්තික සියලු අංශ අනුව අප විසින් විස්තර කළ යුතු ය; කළ හැකි ය. හෙගල්ගේ ප්‍රධාන කෘතිවලින් උද්ධෘතයන් සඟරාවේ මුද්‍රණය කළ යුතු ය. මාක්ස් විසින් දයලෙක්තික ව්‍යවහාරයට යෙදු සැටි පිළිබඳ නිදසුන් ද මෑත ඉතිහාසය, විශේෂයෙන් ම නවීන අධිරාජ්‍යවාදී යුද්ධය සහ විප්ලවය අසමාන ලෙස බහුල වශයෙන් ඉදිරිපත් කරන ආර්ථික සහ දේශපාලන සබඳතා ක්ෂේත්‍රයේ දයලෙක්තික පිළිබඳ නිදසුන් ද ආධාරයට ගනිමින් ඒවා ද්‍රව්‍යවාදී ලෙස අර්ථකථනයට භාජනය කිරීම සහ විමර්ශනය කිරීම කළ යුතු ය. මාගේ මතය අනුව නම් “පොද්ස්යාමෙනම් මාක්සිස්මා” සඟරාවේ කතුවරුන් සහ ලේඛකයෝ ”හෙගලියානු දයලෙක්තිකවල ද්‍රව්‍යවාදී මිතුරන්ගේ සංගමය බවට පත් විය යුතු ය ... ද්‍රව්‍යවාදය මෙවැනි අරමුණක් පෙරදැරි කර ගෙන, ක්‍රමානුකූලව එය සපුරාලන්නේ නැත් නම් එය සටන්කාමී ද්‍රව්‍යවාදයක් විය නො හැකි ය. (ලෙනින් 1981, වෙළුම 12, 66-67)

ලෙනින්ගේ මේ ප්‍රවේශයෙන් ලැබුණු අභිප්‍රේරණය ඉතා මත් ඉහළ ය. අපගේ දේශපාලන ව්‍යාපාරය තුළත් එයින් පිටස්තර වත් හෙගල්ව ජනප්‍රිය කිරීම සඳහා වැඩි වැඩියෙන් හෙගල් සම්බන්ධයෙන් ලිවීමට එක් පෙළඹුමක් වූයේ ලෙනින්ගේ ඉහත ප්‍රකාශයන් ය. අපගේ ව්‍යාපාරය තුළත් කාලයෙන් කාලයට බිහි වූ දාර්ශනික විලාසිතාවන් වූ පශ්චාත් නූතනවාදය, පශ්චාත් ව්‍යූහවාදය, පශ්චාත් මාක්ස්වාදය වෙනුවට හෙගලියානුවාදය ජනප්‍රිය කිරීමට මම වෙහෙසක් ගත්තෙමි. 2008-2012 කාලයේ දී හෙගල් සම්බන්ධයෙන් තව තවත් අධ්‍යයන කටයුතු කළ අතර 2012-2013 කාලයේ දී හෙගල්ගේ දර්ශනය සම්බන්ධයෙන් සම්මන්ත්‍රණ මාලාවක් කළෙමි. මෙය සාකච්ඡා 10 කින් සමන්විත වූ අතර ඒවා නම් කළේ,

1. හෙගල් පුනරාවර්තනය

2. හෙගලියානු පද්ධතිය හඳුනා ගැනීම

3. පරමාත්මයේ ප්‍රපංචවිද්‍යාව

4. හෙගලියානු සංකල්ප තුනක්

5. හෙගල්-යුක්තියේ දර්ශනය

6. හෙගලියානු දයලෙක්තිකය

7. හෙගල්-ඉතිහාසයේ දයලෙක්තිකය

8. කලාවේ දර්ශනය හා කලාවේ අවසානය ගැන හෙගල්

9. හෙගල්-ආගමේ දර්ශනය

10. හෙගල් සහ මාක්ස් ​

වශයෙනි. හෙගල් අධ්‍යයනයේ ඊළඟ අවස්ථාව වූයේ හෙගල් සම්බන්ධයෙන් ම ආචාර්ය උපාධි පර්යේෂණයක් කිරීම ය. හෙගල් සහ ජර්මානු විඥානවාදය සම්බන්ධයෙන් දියුණු වාද විවාද කෙරෙන යුරෝපයේ දී් මේ පර්යේෂණය කළෙමි. 2013-2018 කාලය තුළ හෙගල් සම්බන්ධයෙන් චෙක් ජනරජයේ මසරික් විශ්වවිද්‍යාලයේ දර්ශන දෙපාර්තමේන්තුවේ මහාචාර්යවරයෙකුගේ අධීක්‍ෂණය යටතේ අධ්‍යයන කටයුතු කර The Power of Negativity: A Philosophical Study of the Hegelian Heritage in Philosophy නම් තේමාව යටතේ පර්යේෂණ නිබන්ධනයක් ඉදිරිපත් කොට ආචාර්ය උපාධිය ලබා ගත්තෙමි. මේ නිබන්ධනය 2019 දී The Tremendons Power of the Negative යනුවෙන් ප්‍රකාශයට පත් කළෙමි.

2020 වර්ෂයේ මුල ජස්ටින් පියරත්න සහෝදරයාගේ ආරාධනයෙන් www.kinihiraya.com වෙබ් අඩවියට දර්ශනවාදය ක්‍ෂේත්‍රයෙන් ලිපි පෙළක් ලිවීමට ආරාධනා කළ අතර මෙය මම සතුටෙන් භාර ගත්තෙමි. මෙහි දී මා තීන්දු කළේ හෙගල් සම්බන්ධයෙන් ම ලිපි පෙළක් ලිවීමට ය. මෙම කෘතියේ පරිච්ඡේද වශයෙන් එම වෙබ් අඩවියට ලියු ලිපි 11 ක් අන්තර්ගත කර ඇත. හෙගල් සම්බන්ධයෙන් මම 2005 පමණ දැරූ අදහස්වල පැවති අඩුපාඩු නිවැරදි කරමින් මෙම ලිපි පෙළ ලීවෙමි.

කලක් ලුකාස් සම්බන්ධයෙන් මාගේ තේරුම් ගැනීම සම්පූර්ණයෙන් ම පදනම් වූයේ ඔහුගේ History and Class Consciousness කෘතිය මත ය. නමුත් පසුව ලුකාස් ලියූ The Ontology of Social Being: 1. Hegel, The Ontology of Social Being: II. Marx yd The Ontology of social Being: III. Labor යන පොත් කියවීමෙන් පසු ලුකාස්ව වඩාත් පුළුල් පදනමක් මත තබා කියවිය යුතු බව තේරුම් ගත්තෙමි. ලුකාස් තමන්ගේ History and Class Consciousness කෘතිය ප්‍රකාශයට පත් වීමෙන් පසු ‘මාක්ස්වාදයේ නිල දර්ශනයෙන්’ ඔහුට එල්ල වූ බරපතළ විවේචන හමුවේ තමන්ගේ මතය තවදුරටත් ආරක්‍ෂා කරමින් ලියූ නමුත් ඒ කාලයේ දී ප්‍රකාශයට පත් නො කළ ලේඛනයක් වූ A Defence of History and Class Consciousness: Talism and the Dialectic (2000) කෘතිය පමණක් නො ව ලුකාස් 1948 දී ප්‍රකාශයට පත් කළ The Young Hegel: Studies in the Relations Between Dialectics and Economics යන කෘති සියල්ල ම සමස්තයක් වශයෙන් සලකා ලුකාස් සම්බන්ධයෙන් ස්ථාවරයන්ට පැමිණිය යුතු යැයි අවබෝධ කර ගත්තෙමි. මෙය කලින් ලුකාස් සම්බන්ධයෙන් අප දැරූ ස්ථාවරය හෝ ලුකාස් එංගල්ස් සම්බන්ධයෙන් දැරූ ස්ථාවරය වෙනස් කර ගැනීමක් නො ව ලුකාස් සම්බන්ධයෙන් දැරූ ස්ථාවරය තවදුරටත් පුළුල් කර ගැනීමක් ලෙසට දැක්විය හැකිය.

1908 දී ලෙනින් ලියූ Materialism and Empirio-Criticism කෘතියෙන් ගොඩනගන්නට යන දර්ශනය පමණක් වියුක්ත ව සලකා ලෙනින් සම්බන්ධයෙන් ආන්තික නිගමනයන්ට එළඹීම වැරදි ප්‍රවේශයක් බව පසුව තේරුම් ගත්තෙමි. ඉහත කෘතියේ සිටින ලෙනින් හා Philosophical Notebooks වල සිටින ලෙනින් වශයෙන් පරතරයක් ඇති කර මේ පරතරය තුළ ක්‍රීඩා කිරීම වැරදි බව තේරුම් ගත්තෙමි. අපට මෙය දාර්ශනික ප්‍රවේශයන් දෙකක් ලෙස පෙනුණත් ලෙනින්ට මේ පොත් දෙක එක ම අරගල ක්‍රියාවලියක මොහොතවල් දෙකක් බව පසුව තේරුම් ගත්තෙමි. ඛණ්ඩනය හා අඛණ්ඩත්වය යන දෙක ම එකට සලකා බැලීම හෙගල්ගේ ප්‍රවේශය බව තේරුම් ගත්තෙමි. ලෙනින් සම්බන්ධයෙන් මේ තේරුම් ගැනීමට මට වඩාත් ඉවහල් වූ චින්තකයා වූයේ සෝවියට් දාර්ශනික ඉවාඩ් ඉලියෙන්කෝ ය. ඔහු විසින් ලියූ ‘Materialism is Militant and Therefore Dialectical’​​ නම් ලිපිය තුළ ලෙනින් සම්බන්ධයෙන් අප සිතිය යුතු ආකාරය ගැන ආලෝකයක් සපයා ඇත. ඔහු මේ ලිපියේ දී ලෙනින්ගේ භෞතිකවාදය හා අනුභූතිවාදී විචාරය සම්බන්ධයෙන් අඟවන පහත අදහස අතිශයින් වැදගත් විය. ඉලියන්කෝ ලියන ආකාරයට,

අප මෙහි දී අවධාරණය කළ යුතු කරුණක් වන්නේ මේ ප්‍රහාරාත්මක කෘතියේ අන්තර්ගතය වඩාත් පටුවට හා ඒක පාර්ශ්වීය ලෙසත් වැරදි ආකාරයටත් අවබෝධ කර ගැනීමට ඉඩක් තිබෙන බව ය. (ඉලියෙන්කෝ 2018, 238)

ඉලියෙන්කෝගේ Leninist Dialectics and the Metaphysics of Positivism (1979) කෘතිය ලෙනින්ගේ ප්‍රයත්නය කියවීමට යෝග්‍ය තැනක් බව අවබෝධ කරගත්තෙමි. නිදහස් හෙගල් චින්තකයෙකුට වඩා ස්ටාලින්වාදයේ ආධිපත්‍යය යටතේ හෙගල්, මාක්ස්, ලෙනින් යන අයව ඉලියෙන්කෝ කියවපු ආකාරය අතිශයින් ම වැදගත් නිසා ඔහුගේ කෘති සහ ලිපි සම්භාරය හෙගල්ව කියවීමේ වඩාත් වටිනා ප්‍රවේශයක් බව පසුව මම තේරුම් ගත්තෙමි.

හෙගල් සම්බන්ධයෙන් මේ යුගයේ පොත් ලියන බොහෝ අය සිටිති. මේ අය ලියන කියන දේවල් සම්බන්ධයෙන් විවේචනාත්මක විය යුතු තැන් තිබෙනවා සේ ම අගය කළ යුතු තැන් ද ඇත. 1986 දී පමණ ආරම්භ වූ ක්වොන්ටම් භෞතිකවාදයේ වර්ධනයන් හරහා මාක්ස්වාදය හා භෞතිකවාදය නිෂේධ කිරීමේ ව්‍යාපෘතියට එරෙහි ව මතයක් නිර්මාණය කර ගැනීමට ආධාර දෙන දර්ශනයක් අපට තිබුණේ නැත. මෙවැනි උත්සාහයන්ට එරෙහි ව හෙගලියානු හා ලැකානියානු ප්‍රවේශයකින් ස්ලෝවෝ ජිජැක් The Ontology of Quantum Physics යනුවෙන් පරිච්ඡේදයක් 2012 දී තමන්ගේ ‘Less Than Nothing: Hegel and the Shadow of Dialectical Materialism' කෘතියෙන් ඉදිරිපත් කරයි. නලින් ද සිල්වා ක්වොන්ටම් භෞතිකවිද්‍යාවේ වර්ධනය හරහා භෞතිකවාදය, මාක්ස්වාදය, අහෝසි වී ඇතැයි තර්ක කරන විට මේවාට ශක්තිමත් පිළිතුරු සම්පදානය කිරීමට අපට හැකි වුණේ නැත. නමුත් ඉහත පොතෙහි ජිජැක් ලියන පරිච්ඡේදය මඟින් ක්වොන්ටම් භෞතික විද්‍යාව දෙස බැලීමට නව දැක්මක් ඉදිරිපත් කරයි. එහි දී ඔහු භෞතිකවාදයේ හා භෞතිකවිද්‍යාවේ ඥාන විභාගය ක්‍ෂේත්‍රයේ සිට භෞතිකවාදයේ හා භෞතික විද්‍යාවේ සද්භාවවේදී ක්ෂේත්‍රය දක්වා අපව විතැන් කරයි.2

Evald Ilyenkov

ක්වොන්ටම් භෞතිකවිද්‍යාවෙන් සම්ප්‍රදායික කාටිසියානු දැක්මට කළ අභියෝගය මගින් සද්භවවාදී ක්ෂේත්‍රයට විතැන් වීම සඳහා මාවතක් විවෘත කර ඇත. මෙහි දී දැනුම බිහි වන සද්භවවාදී පදනම ආමන්ත්‍රණය වේ. ඥාන විභාගයේ ක්ෂේත්‍රයේ සිට සද්භවවාදී ක්ෂේත්‍රය දක්වා විතැන් වීම සඳහා හෙගල් සහ ජිජැක් පදනමක් දමා ඇත. සොබාදහමේ දයලෙක්තිකයක් තිබේ ද යන ගැටලුව ද නැවත කියවීමට යොමු වන ආකාරයේ ප්‍රවේශයක් මතු වී තිබිණි. මාගේ මුල්කාලීන තර්ක කිරීම්වල දයලෙක්තිකයේ ක්‍රියාකාරීත්වය මිනිස් විඥානයට, සමාජයට සහ තර්කයට සීමා කළෙමි. මෙවැනි අදහසක් මා ප්‍රකාශ කර සිටියේ ජෝර්ජ් ලුකාස් හා ඇලෙක්සැන්ඩර් කොජෙව් අනුව යමිනි. මේ තර්ක කිරීම් කරන කාලයේ දී මම හෙගල්ගේ Philosophy of Nature: Encyclopedia of the Philosophical Science, Part II කියවා තිබුණේ නැත. ​

හෙගල්ගේ ​Philosophy of Nature කෘතිය වඩාත් විවේචනයට ලක් වූ කෘතිය වේ. විශේෂයෙන් ම සොබාවික විද්‍යාවේ දෘෂ්ටි කෝණයේ සිට හිතන්නෙක් හෙගල්ගේ මේ පොත තුළ අන්තර්ගත කර ඇති අදහස් දැඩි ලෙස ප්‍රශ්න කරයි. සොබාදහම සම්බන්ධයෙන් හෙගල්ගේ මේ කෘතිය සමඟ එංගල්ස්ගේ සොබාදහමේ දයලෙක්තිකය කියවිය යුතුය යන නිගමනයට පැමිණියෙමි. ඒඩි්‍රයන් ජොන්ස්ටන්ගේ Prolegomena to any Future Materialism: Volume Two, A Weak Nature Alone (2019) හෙගල්ගේ Philosophy of Nature කෘතියේ වැදගත්කම ගැඹුරින් පෙන්වා දෙයි. ​

ජොන්ස්ටන්ගේ Prolegomena කෘති ත්‍රිත්වයේ අරමුණු වන්නේ නව භෞතිකවාදී සද්භවවේදයකට පදනම දැමීම සහ ආත්මීයත්වය සම්බන්ධයෙන් ඇති ඌනිතවාදී න්‍යායන් බැහැර කිරීම ය. ​ඒඩි්‍රයන් ජොන්ස්ටන් පෙන්වා දෙන අකාරයට හෙගල් ඉතාමත් පරෙස්සම් සහගත ලෙස ආත්මය හා සාරාර්ථය අතර වෙනස සංරක්‍ෂණය කර ඇත. එකක් අනෙකට ඌනනය නොකර මේ දෙකෙහි පැවැත්ම පිළිගෙන ඇත. හෙගල් කථා කරන සාරාර්ථමය බව හා ආත්මීය බව එකිනෙකට ඌනනය කළ නොහැකි ය. ජොන්ස්ටන්ට අනුව සොබාදහම ඒ තුළ ම පරිපූර්ණ වූවක් නො වේ. සොබාදහමේ අඩුව හෝ දුර්වලතාව හෝ ආත්මයේ බිහිවීමට කොන්දේසිය නිර්මාණය කරයි. 3

ජොන්ස්ටන් මෙහි දී සාකච්ඡා කරන සොබාදහමේ සත්භවවාදය කලින් අප අතින් පැහැදිලි ව නොලියවුණු ක්ෂේත්‍රයක් විය. එමෙන් ම ජොන්ස්ටන්ගේ ප්‍රවේශය නිසා කලින් අප ලියපු දේවල් සම්බන්ධයෙන් නැවතත් සිතා බැලීමට අවස්ථාවක් නිර්මාණය කළේය.4 ආත්මය හා සොබාදහම අතර දයලෙක්තික සබඳතාව නැවත සූත්‍රගත කිරීමේ දී ජොන්ස්ටන්ගේ ප්‍රවේශය මහෝපකාරී විය.

මෙම ලිපි මාලාවේ අවසාන කොටස වන ව්‍යාජ හෙගලියානුවාදීන් සහ විපරීත දර්ශනවාදීන් ඉදිරි සතිවල පළ වේ.

Dr.Saman Pushpakumara

1.We must insist on this point because the content of this sharply polemical work is sometimes understood too narrowing and one-sidedly and therefore incorrectly (Ilyenkov, 2018, 230)

2. But this is not the whole story: there is nonetheless on level at which the epistemological break of modern physics is to be correlated to an ontological shift the level not of knowledge, but of truth as the subjective position from which knowledge is generated. (Zizek 2012, 907)

3. A dipict the weakness of nature (a phrase I trace back to Hegel himself with his repeated employment of the phrase “Ohnmacht der Nature”) as the roof metatranscendental necessary condition for transcendental subjectivity of self. (Johnston 2013)

4. The ontology of nature that will unfurl and defend througout what follows is one in which non-natural human subjects can be seen to arise in immanent bottom-up fashions from nature itself. (Johnston 2019, xi)

හෙගලියානු-මාක්ස්වාදයක් කරා - පළමු කොටස- හෙගලියානු චින්තනයේ දේශපාලනික අදාළත්වය​​​

👨 ​ආචාර්ය සමන් පුෂ්පකුමාර

2022 පෙබරවාරි 5

​​හෙගලියානු-මාක්ස්වාදයක් කරා - දෙවන කොටස- හෙගලියානු චින්තනයේ ශ්‍රී ලාංකීය පසුබිම​​

👨 ​ආචාර්ය සමන් පුෂ්පකුමාර

2022 පෙබරවාරි 13

ඔබගේ අදහස් අපට එවන්න.