මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ ගැහැනියක් සහකම්පිත සිංහල කෙටිකථාවේ ආරම්භය

Talk delivered at the seminar on one-hundred years of Sinhala Short stories and the publication of ‘Gahaniyak’ , held at Dept of Sinhala, University of Colombo, on March 05, 2024.

👨 සම්මානිත මහාචාර්ය ජයදේව උයන්ගොඩ

2024 මාර්තු 8

මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ගැහැනියක් කෙටිකතා සංග්‍රහය පළකර සියවසක් පිරීම නිමිත්තෙන් පවත්වන උත්සවයට සහභාගී වීමෙන් මා උත්සාහ ගන්නේ ,කෙටිකථා මෙන් ම නවකථා කරුවෙක් ද, සාහිත්‍යය සහ කලා විචාරකයෙකු වශයෙන් ද එතුමාගේ දායකත්වයෙහි ගැබ් වී තිබෙන විශේෂ ලක්ෂණ කිහිපයක් හඳුනා ගැනීමටයි. මගේ අදහස නම්, වික්‍රමසිංහගේ නවකථා සහ කෙටි කතා යන නිර්මාණ කෘතීන් ප්‍රමාණවත් ඇගයීමකට සහ විචාරයකට ලක් කරන්නට නම්, ඔහුගේ සාහිත්‍යය, කලා, සහ සමාජ විචාරවල ද ඇතුළත් ඔහුගේ ලෝක දෘෂ්ටිය (world view) ද සම්බන්ධ කරගෙන සිදුවන සිතා බැලීමක් සහ විචාර පරිකල්පනයක් අවශ්‍යය වන්නේය යන්නයි.

වික්‍රමසිංහ ලංකාවේ අනෙක් කෙටිකතා සහ නවකතාකරුවන්ගෙන් වෙනස්ව කැපී පෙනෙන එක් ලක්ෂණයක් නම් ඔහු තම සාහිත්‍ය නිර්මාණ ක්‍රියාවලියට සමාන්තරව, සාහිත්‍ය, කලා හා සමාජ විචාර කාර්යයෙහි ද එක සමාන හැකියාවකින් සහ කැපවීමකින් යෙදී සිටීමයි. වික්‍රමසිංහ නිර්මාණය සහ විචාරය යන සංස්කෘතික භාවිත දෙකෙහිදීම ප්‍රතිෂ්ඨාපිත සම්ප්‍රදාය සහ සම්‍යක්දෘෂ්ටීන් ප්‍රශ්න කරමින් බැහැර කළ විරෝධවාදී සංස්කෘතික භාවිතවේදියෙක් සහ න්‍යායවාදියෙක් (a dissident cultural practitioner and cultural theorist). වික්‍රමසිංහ ලියූ සෑම ප්‍රබන්ධ කෘතියකම ඔහුටම සුවිශේෂ වූ ලෝක දෘෂ්ටියක්, එහි වර්ධනයේ විවිධ අවධීන්ද අනාවරණය කරමින්, ව්‍යංගයෙන්ද සෘජුවද ප්‍රකාශ වී තිබෙන ආකාරය පාඨකයාට දැකිය හැකියි.

මෙම කතාවෙහි මා උත්සාහ ගන්නේ ගැහැනියක්කෙටිකතා සංග්‍රහයෙන් ප්‍රකාශයට පත්ව තිබේ යැයි මට පෙනෙන වික්‍රමසිංහයන්ගේ ලෝක දෘෂ්ටියේ පැතිකඩ මතු කර ගැනීමටය. ඒ සමගම මගේ කථාවේ එක් අරමුණක් නම් විචාරාත්මක පරිකල්පනයක් තුළින් සූත්‍ර ගත කළ හැකි නිරීක්ෂණ කිහිපයක් ඔබ හමුවේ තබමින් වික්‍රමසිංහ සූරීන්ගේ කෙටි කථා සහ නවකථා සාකල්‍යවාදී තේරුම් කිරීමට භාජනය කිරිමට උත්සහ ගැනීමයි.

මාර්ටින් වික්‍රමසිංහගේ ලේඛනවලින් අනාවරණය වන ඔහුගේ ප්‍රධාන ලක්ෂණ දෙකක් අපට මුලින් ම හඳුනා ගත හැකි යි. ඉන් පළමුවැන්න නම් ,මාර්ටීන් වික්‍රමසිංහ හුදෙක් සාහිත්‍යය නිර්මාණ කරුවෙකු හා විචාරකයෙකු පමණක් නොව, ඊට පුළුල් අර්ථයකින් සංස්කෘතික න්‍යායවේදියෙකු (cultural theorist) ද වූ බවයි. සංස්කෘතික න්‍යායවේදියා යන යෙදුම අප රටේ භාවිත වන එකක් නොවේ. ලංකාවේ උපත ලබා ලංකාවේ ද ටික කාලයක් වැඩකර පසුව ඇමරිකාවේ ජීවත් වූ සහ වැඩකළ ආනන්ද කුමාරස්වාමි ලංකාවේ පළමුවැනි “සංස්කෘතික න්‍යායධරයා” ලෙස හැඳින්විය හැකියි. මාර්ටින් වික්‍රමසිංහ ආනන්ද කුමාරස්වාමිගෙන් පසුව ලංකාවෙ බිහිවූ සංස්කෘතික න්‍යායවේදියා යි. සංස්කෘතික න්‍යායවේදියා සාහිත්‍යය විචාරකයෙකු පමණක් නොවෙයි. නිර්මාණ කලා හා සාහිත්‍යය නිර්මාණ, ඒවාට පසුබිම් වන ඓතිහාසික, සමාජීය, ආගමික, දාර්ශනික සහ ඇතැම්විට දේශපාලන සන්දර්භයන්, පසුබිම්, බලපෑම් සහ සීමා පිළිබඳව ද සිදුකරන පුළුල් අධ්‍යයනයක් තුළ අර්ථ නිරූපණය කිරීම සහ ඒවාට ප්‍රතිචාර දැක්වීම සිදු කරන්නෙක්. එමෙන් ම එම ප්‍රතිචාර හැඩගස්වන අර්ථදීපනවාදී මූලධර්ම සහ උපකල්පන පිළිබඳව ද සවිඥානකව සිටිමින් තම කාර්යය කරන්නෙක්. මගේ කථාවේ ඉදිරියේ දී මෙම තර්කය වික්‍රමසිංහයන්ගේ කෙටි කතා සහ නවකතා ද විචාර ලේඛන ආශ්‍රයෙන් ද පැහැදිළි කෙරෙනවා ඇති. කුමාරස්වාමි සහ වික්‍රමසිංහ යන දෙදෙනාම දකුණු ආසියාවේ සංස්කෘතියේ අර්ථකථකයන් දෙදෙනෙකු (interpreters of culture) ලෙසත් නම් කළ හැකියි. එහෙත් එම දෙදෙනාගේ එම කාර්යයේ ප්‍රධාන වෙනසක් තිබෙන බවත් අප තේරුම් ගත යුතුයි. කුමාරස්වාමි ආසියානු සංස්කෘතිය අර්ථකථනය කර දුන්නේ බටහිර ශාස්ත්‍රීය ප්‍රජාවටයි. වික්‍රමසිංහ දකුණු අසියානු බෞද්ධ සංස්කෘතිය අර්ථකථනය කරදුන්නේ ලංකාවේ සිංහල ශාස්ත්‍රීය ප්‍රජාවටයි. එක්කෙනෙක් බටහිර ලෝකය දෙස බලා සහ බටහිර ලෝකය සඳහා ආසියානු කලාව අර්ථකථනය කළ කෙනෙක්. අනෙක් න්‍යයධරයා තමන්ගේම සමාජය දෙස බලා තමන්ගේම සමාජය සඳහා සිංහල බෞද්ධ කලාව, සාහිත්‍යය සහ සංස්කෘතිය ලෞකිකවාදී අර්ථකථන රාමුවකින් පැහැදිළි කර දුන් කෙනෙක්.

එම දෙදෙනාගේ කෘති කියවනවිට කෙනෙකුට පහසුවෙන් වැටහෙන දෙයක් නම් ඔවුන් සංස්කෘතික යටත් විජිතවාදය සමග ගනුදෙනු කර තිබෙන්නේ දෙයාකාරයකට බවයි. කුමාරස්වාමි උත්සාහ ගත්තේ ආසියානු ලලිත කලාවේ තිබෙන අධ්‍යාත්මික සහ සෞන්දර්යාත්මක අව්‍යාජත්වය (authenticity) බටහිර සහ ක්‍රිස්තියානි ලෝකයට පෙන්වා දීමටයි. ඊට වෙනස්ව වික්‍රමසිංහ උත්සාහ ගෙන තිබෙන්නේ ලංකාවේ සිංහල-බෞද්ධ කලාවේ සහ සාහිත්‍යයේ ඇති භාවිත හා සම්ප්‍රදායවල පවතින විශිෂ්ටත්වයෙහි පොදුජන සහ නිර්ප්‍රභූ (subaltern) සමාජ ප්‍රභවයන් ගැන සිංහල ශාස්ත්‍රීය ප්‍රභූ පන්තියට පැහැදිලිකොට දීමටයි. ව්ක්‍රමසිංහ ව්චාරයට සහ ප්‍රහාරයට ලක් කළ යටත් විජිත වාදය යුරෝපීය සම්භවයක් ඇති එකක් නොවෙයි. එම විජිතකාරී බලය නම් ඉන්දියාවේ බ්‍රාහ්මණික සහ සංස්කෘත බුද්ධිමය ප්‍රභුතන්ත්‍රයයි. මෙම සංස්කෘතික න්‍යායධරයන් දෙදෙනාගේ අර්ථදීපනවාදී ප්‍රයත්න (hermeneutical projects) දෙකෙහි ඇති මෙම වෙනස සලකුණු කර ගැනීම ඉතා වැදගත්.

සංස්කෘතිකන්‍යායවේදියෙකු ලෙසවික්‍රමසිංහ ලංකාවේ සිංහල-බෞද්ධ සමාජයේ සංස්කෘතිය, කලාව සහ සාහිත්‍යයතේරුම් කිරීම , අධ්‍යයනය කිරීම සහ අර්ථකථනයකිරීම සඳහා නව ප්‍රවේශයක් සහ අර්ථකථන රාමුවක් යෝජනා කිරීමෙන් ඉටුකළ පුරෝගාමී කාර්යයේ වැදගත්කමප්‍රමාද වී හෝ පිළිගැනීම කළ යුතු දෙයක්.ඔහු භාවිත කළ අර්ථකථන රාමුව සංකල්පීය ලෙස හැඳින්විය හැකි එක් ආකාරයක් නම් 'විරෝධත්ව /අකීකරුභාවී අර්ථ දීපනයක්' (Hermeneutic of Defiance) ලෙසින් එය නම් කිරීමයි.වික්‍රමසිංහගේ කලා, සාහිත්‍ය විචාර ලේඛණ සියල්ලෙහිම මෙන්ම ඇතැම් නවකථා සහ කෙටිකථා සංග්‍රහ වලට ලියාඇති පෙරවදන්වල තමන් භාවිත කර ඇති සංකල්පීය මුලධර්ම පැහැදිලිකර තිබෙනවා. ප්‍රභූ පන්තිවල සමාජ, සංස්කෘතික සහ බුද්ධිමය ආධිපත්‍යයට එරෙහිව 'පොදු ජනතාව'ගේ පැත්තෙන් එල්ලවූ නිහඬ විරෝධයේ සමාජීය ප්‍රකාශන ලෙසයි, වික්‍රමසිංහ බෞද්ධ පාලි සහ සිංහල සාහිත්‍යයේත්, කලාවේත්නිර්මාණවල තිබෙන අව්‍යාජත්වය (Authenticity) සහ කලාත්මක අගය න්‍යායගත කෙළේ. ඔහුගේ විරෝධවාදී අර්දීපනවේදයේ අනෙක් විශේෂත්වය නම් ඓතිහාසික වශයෙන් ස්ථානගත වී තිබෙන 'සමාජ ප්‍රශ්නය' (‘Social Question’) කලා-සාහිත්‍ය නිර්මාණයේත් විචාරයේත් කතිකා, ඇගයීම් සහ විනිශ්චය නීර්ණය කරන පදනම් සාධකය ලෙස සැලකීමයි. සිංහල ලකුණ, සිංහල සාහිත්‍යයේ නැගීම, විචාර ලිපි', සිංහල විචාරමග, ගුත්තිල ගීතයයනාදී විචාර කෘතිවල සිංහලසමාජයේ සාහිත්‍ය, කලා, සංස්කෘතික ඉතිහාසය ලිවීමේදී විඥානවාදීනොවන සහ සමාජීය මුලයන් සහිත ඉතිහාසකරණ ප්‍රවේශයක් (Historiographical approach to the study of culture) භාවිත කර ඇති සැටි තවමත් නිසි පිළිගැනීමකට පත්වී නැති බවත් අප විසින් පිළිගතයුතුව තිබෙනවා.

මගේ දෙවෙනි නිරීක්ෂණය මෙයයි. නවකතාකරුවෙකු සහ කෙටිකතාකරුවෙකු වශයෙන් වික්‍රමසිංහ හඳුනාගත හැකි එක් ආකාරයක් නම් ඔහු තමාගේ ම ලෝක දෘෂ්ටියක් ඉදිරිපත් කිරීමේ මාධ්‍යයක් ලෙස තම නිර්මාණ යොදා ගත් ප්‍රවාදවාදී ප්‍රබන්ධකතාකරුවෙකු ලෙස හැඳින්වීමයි. ( a thesis – driven fiction writer). වික්‍රමසිංහ නවකථා හා කෙටිකථා ලිවීම ආරම්භ කරනවිට සිටි ප්‍රධාන නවකථාකරුවා වූ පියදාස සිරිසේන ලංකාවේ සිටි ප්‍රමුඛතම ලෝක දෘෂ්ටිවාදී ප්‍රබන්ධකථාකරුවා විය. වික්‍රමසිංහ මුලපටන් ම පියදාස සිරිසේනගේ ලෝක දෘෂ්ටිය පිළිනොගත් සහ එය තමා ගොඩනගාගත් විකල්ප ලෝක දෘෂ්ටියකින් විවේචනයට ලක් කළ ප්‍රබන්ධකථාකරුවෙකු විය. ඔහුගේ පළැමුවැනි නිර්මාණ කෘතිය වූ 1914 දී මුද්‍රණය කරන ලද ලීලා නම් නවකථාව මෙන් ම අවසාන නිර්මාණය වූ බවතරණය නවකථාව යන දෙකම “ප්‍රබල ප්‍රවාදවාදී” නිර්මාණ (strong thesis - driven novels) ලෙස හැඳින්විය හැකි ඒවාය. එනම් ලීලා කතුවරයාගේ ලෝක දෘෂ්ටිය ඍජුව ප්‍රකාශයට පත් කරන ප්‍රබන්ධ කථාවක්. එයින් අදහස් වන්නේ ප්‍රබන්ධකතාවේ පැවැත්ම සාධාරණය කරන ලද්දේ එහි කලාත්මක තර්කණය විසින් නොව, දෘෂ්ටිවාදී තර්කණය විසින්ය යන්නයි. ඊට වෙනස්ව විරාගය, ගම්පෙරළිය, කලියුගය, යුගාන්තය, කරුවල ගෙදර යන නවකථා හැඳින්විය හැක්කේ “මෘදු ප්‍රවාදවාදී ප්‍රබන්ධ” (soft thesis - driven fiction) ලෙසය. ප්‍රබල ප්‍රවාදවාදී ප්‍රබන්ධවලදී වික්‍රමසිංහ තම ලෝක දෘෂ්ටිය සංඥාපනයේදීත්, නවකථාවේ කථාවින්‍යාසය, චරිතාලේඛ්‍යය, වෘතාන්ත විකාශය, පසුබිම් වර්ණනා සහ සංවාදවලදීත් නොසඟවාම ඉදිරිපත් කරයි. බවතරණය නවකථාව මේ සඳහා ඇති ප්‍රබල නිදසුනයි.ලීලා නවකථාවේ ඇත්තේ ද ප්‍රබල ප්‍රවාදවාදී ලක්ෂණයයි. ලීලා නවකථාවේදී කතුවරයා සංඥාපනය ආරම්භ කරන්නේ මෙලෙස ය.

“වර්තමාන කාලයෙහි ප්‍රබන්ධ කථා මෙන්ම අප රට ජනයා අතර වහා පැතිර යන පොත් වර්ගයක් වෙන නොමැති ය. මෙහි අන්තර් ගත කරුණු ද ප්‍රබන්ධ කථා මාර්ගයෙන් ප්‍රකට කර හැරීමට අදහස් කරන ලද්දේ මේ නිසයි. ප්‍රබන්ධ කථා කියවීමෙන් කියවන්නාට අර්ථයක් සිදුවේද, එසේ නැතිව අනර්ථයක් සිදුවේ ද යන්න නිශ්චය කිරීමට අපි නොවෙහෙසෙමු. අපේ පරමාර්ථය ප්‍රබන්ධ කථා නොව මෙහි අන්තර්ගත අදහස් ප්‍රකට කර හැරීමකි.’’ (7 වැනි පිටුව)

සංඥාපනයෙහිදී ඍජුව ද නව කථාවෙහිදී වක්‍ර නොවන ආකාරයෙන් ද ඉදිරිපත් කර ඇති ප්‍රධාන දෘෂ්ටිවාදී ප්‍රවාදය නම් සාම්ප්‍රදායික සිරිත් විරිත් නමැති ‘’ මනුෂ්‍යයන් බන්ධනය කොට තබන්නා වූ යකඩ දම්වැල සුණුවිසුණු කර ඔවුන්ගේ දියුණුවට උවමනා නිදහස‘’ ඇති කර ගැනීමට සිංහල ජනයා ඉදිරියට ආ යුතු ය යන්නයි. සම්ප්‍රදාය ප්‍රශ්න නොකර පිළිගන්නා ලෙස ප්‍රචාරය කරන සමකාලීන උගතුන් ගැන කතුවරයා මෙසේ ද කියයි.

“අහේතුවකට මෙන් අප රට සමහර උගත් අය සිරිත් විරිත් නමැති යදම්වලින් බැඳ අප රට සිංහලයන්ගේ නිදහස නැති කොට ඔවුන් දාස භාවයට පත් කිරීමට උත්සාහ කරත්. යම් කිසි ජාතියක් ශාස්ත්‍රඥානයෙන් හා ශිෂ්ටාචාර භාවයෙන් යම් තරමකට පහත් ද ඔවුහූ එපමණකම සිරිත් විරිත්වලට වාල්වී සිටින්නාහ.’’

වික්‍රමසිංහ ලීලා නවකතාවෙහි කථාවස්තුවේ ගලායාම, චරිත නිරූපණය සහ ආඛ්‍යානමය තර්කණය ඉදිරියට ගෙනයන්නේ විසි වැනි සියවසේ මුල් අවධියේ ලංකාවේ බුද්ධිමතුන් අතර පැවති දෘෂ්ටිවාද ධාරා දෙකක් අතර ගැටුම අතිනාට්‍යාකාර ලෙස ගොඩනගමිනි. නවකථාවේ ප්‍රධාන පිරිමි චරිත දෙක වන ඇල්බට් සහ ගිල්බට් ඍජුවම නියෝජනය කරන්නේ පිළිවෙළින්, යුරෝපයෙන් පැමිණි විද්‍යාත්මක ඥානය සහ සංස්කෘතික ස්වදේශීය ජාතිකවාදි බුද්ධිමතුන් අවධාරණය කළ සාම්ප්‍රදායික දැනුම් අතර ගැටුමයි. සරල සහ අපරිණත ආඛ්‍යාන රාමුවක් තුළ ගොඩ නගා ඇති නවකථාවේ, නූතන විද්‍යාත්මක දැනුමේ ශ්‍රේෂ්ඨත්වය වන්දනා කරන ඇල්බට්, නවකථාවේ කතුවරයාගේ පෞද්ගලික ලෝක දෘෂ්ටියේ ඍජු ප්‍රකාශකයෙකි. ප්‍රබල ප්‍රවාදවාදී ප්‍රබන්ධකථාවල දී සාමාන්‍යයෙන් සිදු වන දෙයක් වන්නේ කතුවරයා චරිතයකට බොහෝ විට ප්‍රධාන චරිතයට ආරූඪ වීමයි. එම චරිතයේ කටහඬ කතුවරයාගේ ම ප්‍රචාරකවාදී කටහඬ ය. නව කථාව අවසන් වන්නේ සාම්ප්‍රදායික දැනුමේ ප්‍රකාශකයා වන ගිල්බට් වංචාකාර දුෂ්ටකයෙකු බව අනාවරණය වෙමිනි. සාම්ප්‍රදායික දැනුමේ සහ චින්තනයේ ප්‍රකාශකයා වන ගිල්බට් ඛේදජනක අනතුරකට ලක්වී ඇල්බට්ගේ දෙඅත මත මිය යයි. එය වනාහී නූතන විද්‍යාත්මක දැනුමේ ජයග්‍රහණය සහ සාම්ප්‍රදායික දැනුමේ අභාවය ද අතිශයෝක්තියෙන් සංකේතවත් කිරීමකි. ලීලා නවකථාවේ කථාවස්තුව, විසිවැනි සියවස මුළදී යටත්විජිත නවීනත්වය සහ යටත්විජිත විරෝධී සංස්කෘතික ජාතිකවාදය අතර දිග හැරුණ ඥාන මීමංසාත්මක ගැටුම ද සනංකේතවත් කරන්නකි.

නූතන නවකථා විචාරයේ මිණුම් දඬුවලට අනුව බලන විට ලීලා බොළඳ සහ ප්‍රචාරක නවකථාවකි. එය පියදාස සිරිසේන හඳුන්වා දුන් සහ ප්‍රචලිත කළ සිංහල ජාතිකවාදී පණිවුඩය කේන්ද්‍ර කොට ගත් දෘෂ්ටිවාදී නවකතාවෙහි ප්‍රචාරය කෙරුණ දෘෂ්ටියට ඍජු පිළිතුරක් මෙන් ම අභියෝගයක් ද වන ලෙස නිර්මාණය කරන ලද නවකථාවකි. එබැවින් එය සිංහල නවකථාවේ විකාශනයේ මුල් අවධියට ඇතුළත් කළ හැකි කලාත්මක අතින් දුර්වල, එහෙත් ප්‍රබල දෘෂ්ටිවාදී නවකථාවකි. පියදාස සිරිසේනගේ නවකථා මෙන් ම මාර්ටින් වික්‍රමසිංහගේ ලිලා නවකථාව ද නියෝජනය කළේ ප්‍රබල ප්‍රවාදවාදී සිංහල නවකථාකරණයේ අවධියයි. ඉන්පසුව සිංහල ප්‍රබන්ධකරණය වර්ධනය වූයේ මෘදු ප්‍රවාදවාදී සහ දෘෂ්ටිවාදී නොවන නවකථා සහ කෙටි කථාකරණයේ අවධියකටයි.

වික්‍රමසිංහගේ අවසන් නවකතාව ද පළමුවැනි නවකතාව මෙන්ම ප්‍රබල ප්‍රවාදවාදී ප්‍රබන්ධ කතාවක් වීම අපේ සැලකිල්ලට ලක්විය යුතු කරුණකි. බවතරණය ප්‍රබල ප්‍රවාදවාදී ප්‍රබන්ධයක තිබෙන ගති ලක්ෂණ සෘජුවම ප්‍රදර්ශනය කරයි. බවතරණයේ සංඥාපනයෙහි කතුවරයා තම දෘෂ්ටිමය ප්‍රවාදය සෘජුවම ඉදිරිපත් කළේය. බුද්ධචරිත ලේඛනකරනණයේ සාම්ප්‍රදායික රචනා රීතිය එහි සම්ප්‍රදාය ප්‍රශ්න කර සහ ප්‍රතික්ෂේප කරමින් බුද්ධ චරිත නිර්මාණය සඳහා නව රචනාරීතියක් යෝජනා කිරීම සහ බුදුන් වහන්සේගේ ඉගැන්වීම්වලට ලෞකික සමාජීය අර්ථදීපන රාමුවක් නිර්මාණය කර ඉදිරිපත් කිරීම කතුවරයා සංඥාපනයෙන් පාඨකයාට ඉදිරිපත් කරන ප්‍රවාදවාදී අරමුණු දෙකයි. පළමුවැනි අංගය ඉදිරිපත් කර ඇත්තේ බුදුන්ගේ චරිත කතාව අලුතෙන් ප්‍රබන්ධයක් ලෙස නිර්මාණය කිරීමේදී ඔහු තෝරාගෙන තිබෙන අසම්ප්‍රදායික සහ රැඩිකල් ලෙස නවකතාවක් තිබෙන ආඛ්‍යාන රීතියයි, සංඥාපනය ආරම්භයේදීම කතුවරයා අසම්ප්‍රදායික ආඛ්‍යාන රීතිය පාඨකයාට හඳුන්වා දෙන්නේ මෙසේය:

" හැම බුද්ධ චරිතයක් ලියැවී ඇත්තේ බුදුන් බැහැර කළ අලංකාර වාදය හා රීතිය අනුවයි. බුදුන් බැහැර කළ ඒ අද්භූත අලංකාර රීතිය අතිශයෝක්තියට නඟන ලද්දේ වෛදික දෙවියන්ගේ චරිත වස්තු කොටගෙන "පුරාණ" නමැති පද්‍ය කතා රචනා කළ බමුණන් විසිනි. පාලි අටුවා පමණක් නොව බුද්ධ චරිත රචනා ද කෙරෙහි අතිශයෝක්තියට නඟන ලද බමුණු අද්භූතවාදය හා රීතිය බල පැවැත්විය.... මගේ මේ සිදුහත් බුදුසිරිත් නවකතාව මා රචනා කළේ බමුණු සකු අද්භූතවාදය සහ රීතිය ඉඳුරා බැහැර කොට යථාර්ථවාදය හා රීතිය ගුරු කොටගෙනය." (බවතරණය, 7-8 පිටු)

බවතරණය ලිවීමේදී කතුවරයා ප්‍රතික්ෂේප කොට තිබෙන්නේ බුද්ධ චරිත ලිවීම පිළිබඳ සාම්ප්‍රදායික ආඛ්‍යාන රීතිය පමණක් නොවේ. එම සම්ප්‍රදාය තුළ තිබෙන බුදුන් වහන්සේගේ ඉගැන්වීම් වල තිබෙන විමුක්ති ධර්මය පිළිබඳ දෘෂ්ටියද දැඩි ලෙස ප්‍රශ්න කර නව සමාජ දෘෂ්ටියක් එයට ආදේශ කිරීමද සිදූ කරයි. බුදුන් වහන්සේගේ ව්‍යායාමයටත් එතුමන්ගේ ඉගැන්වීම්වලටත් පාරලෞකික නොව ඓහලෞකික, එනම් මෙලොව වාදී, අර්ථයක් අලුතෙන් ඉදිරිපත් කරමින්, කතුවරයා තම ප්‍රයත්නය මෙසේ පැහැදිලි කරයි:

" බුදුන්ට පෙර ඉන්දියාවේ පහළ වූ මුනිවරයන් නිපදවූ දහම් විමුක්ති මාර්ග වූයේ බමුණු, කැත්, සිටු කුල ජනයාට ය. ඔවුන්ගේ දහම හා මාර්ගය සැඬොලුන්, දාසයන්, ගොවියන්, ගොපල්ලන් ආදීන්ගේ පටන් කැත්, බමුණු, සිටු , වෙළඳ කුලවල ජනයාද උදෙසාය... බුදුන්ගේ දහම නිසා පොදු ජනකාය අතර පිබිදුමක් හා විප්ලවයක් ද ඇති විය. සිදුහත් ගිහි ගෙය හැර ගියේ උපත, ජරාව, මරණය නිසා හටගත් කලකිරීමෙන් තමාගේ ආත්මය ගලවා ගැනීමට නොවන බව එයින් හෙළි වෙයි. කුලභේදය හා සමාජ ජීවිතය ද නිසා අපමණ දුක් පීඩා විඳිමින් ජීවත්වන ජනකායට එකසේ උචිත මාර්ගයක් සොයනු පිණිස සිදුහත් ගිහිගය හැර ගිය බව ද මේ නවකතාවෙන් හෙළි කරන්නට මම වෑයම් කෙළෙමි " (බවතරණය, 8 වැනි පිටුව)

ප්‍රබල ප්‍රවාදවාදී සාහිත්‍යය නිර්මාණවලට ඒවායින් ප්‍රකාශ කෙරෙන දෘෂ්ටිවාදයේ ප්‍රබලතාව නිසාම පසමිතුරු ප්‍රතිචාර සහ විරෝධතා ජනිත කරවීමේ හැකියාව ද තිබේ. ලීලා නවකතාවේ සංඥාපනයේදී කතුවරයා ප්‍රකාශ කරන්නේ නවකතාව මුද්‍රණය කිරීමට පෙර එහි අත්පිටපත කියවා බැලූ දෙදෙනෙකු කෝපයෙන් ප්‍රතිචාර දැක් වූ බවයි. “ තමන්ට වඩා මෝඩයෙක් මුළු ලංකාවෙම නැතැයි” පොත කියවූ “ජාති හිතෛෂී” මිත්‍රයෙකු තමාට පරිභව කළ බව කතුවරයා සංඥාපනයෙහිදී වාර්තා කරයි. තවත් මිත්‍රයෙකුගේ උපදෙස වූයේ “මේ පොත ප්‍රසිද්ධ කළොත් හොඳටම බැණුම් අහන්ට සිදුවන නිසා එය මුද්‍රණයෙන් පළ නොකරන ලෙසයි.” බවතරණය නවකතාවට ලැබුණේ වඩාත් දැඩි ප්‍රතිචාරයකි. සිදුහත් කුමරුට හා බුදුන්ට අපහාස කිරීමේ චෝදනාව කතුවරයාට එල්ල වූ අතර නවකතාව හදිසි නීතිය යටතේ තහනම් කර කතුවරයාට නඩු පවරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමින් බෞද්ධ විරෝධතා ව්‍යාපාරයක් විසින් මාස ගණනාවක් තිස්සේ උද්ඝෝෂණය කරනු ලැබිණ. එම විරෝධය මැද නව කථාවට හා කතුවරයාට පක්ෂව ද ලේඛකයන්ගෙන් සහ බුද්ධිමතුන්ගෙන් ද බෞද්ධ භික්ෂූන්ගෙන් ද සමන්විත ප්‍රති-උද්ඝෝෂණ ව්‍යාපාරයක් ද ගොඩ නැගිණ. බවතරණය නව කථාවේ විවේචකයන් ද, ආරක්ෂකයන් ද යන කඳවුරු දෙකම දැක්වූ ප්‍රතිචාර සම්පූර්ණයෙන්ම දෘෂ්ටිවාදී ඒවා ද විය. විරෝධතා උද්ඝෝෂණ ව්‍යාපාරය අවසන් වූයේ නවකථාව තහනම් කිරීමේ ඉල්ලීම ආණ්ඩුව ප්‍රතික්ෂේප කළ විට ය.

ප්‍රබල ප්‍රවාදවාදී නවකථාවකට එයටම සුවිශේෂී සහ අසාමාන්‍ය ජීවිත කථාවක් ද මතුවිය හැකි ය. එම අසාමාන්‍ය ජීවිත කථාවේ ප්‍රධාන ලක්ෂණ සහ ප්‍රවණතා දෙකක් බවතරණය විවාදය ආශ්‍රයෙන් අපට හඳුනාගත හැකි ය. පළමුව එයට එල්ලවන පාඨක සහ සමාජ ප්‍රතිචාර, නවකථාකරුවා සහ නවකථාවට පක්ෂව සහ විපක්ෂව යන වශයෙන් එකිනෙකට ප්‍රතිවිරුද්ධ සතුරු සහ මිතුරු ලෙස ති යුණු ධ්‍රැවීකරණයකට ලක්වීමයි. දෙවැන්න, කලාතුරකින් සිදුවිය හැකි පරිදි, රාජ්‍යයේ මැදිහත්වීමට ද අවකාශය විවෘත වීමයි. නවකථාවකට හෝ කලාකෘතිවලට එම අනතුරට මුහුණ දෙන්නට වන්නේ එහි කේන්ද්‍රීය ප්‍රවාදය ප්‍රතිෂ්ඨාපිත ආගමික විශ්වාස සෘජුව අභියෝගයට පාත්‍ර කරන විටය. මේ සඳහා දකුණු ආසියාවෙන් නිදසුන් කිහිපයක් තිබේ. ඕබ්‍රි මෙනන් නම් ඉන්දියාවේ කේරළ සම්භවයක් සහිත ලේඛකයා 1954දී පළකළ Rama Retold ( රාමාගේ අලුත් කථාව) නම් කෘතිය, හින්දු ආගමට අපහාස කිරීම යන චෝදනාව මත තහනම් කරන ලදී. ඉන්දියාවේ දක්ෂිණාංශික දේශපාලන බලවේගවලත් රාජ්‍යයේත් උදහසට ලක්වූ ඕබ්‍රි මෙනන් ටික කලක් බ්‍රිතාන්‍යයේ පදිංචියට ගියේ ය. බවතරණය කතුවරයාට එවැනි ඉරණමක් අත් නොවූයේ ප්‍රධාන හේතු දෙකක් නිසා බව පෙනේ. පළමුවැන්න, නවකථාවෙන් කතුවරයා ඉදිරිපත් කළ සිදුහත්-බුදු චරිත නිර්මාණයේදී භාවිත කළ යථාර්ථවාදී සහ මානුෂ්‍යවාදී ප්‍රවේශය සමඟ අනන්‍ය වූ සහ එය අගය කළ බුද්ධිමතුන්, ලේඛකයන්, කලාකරුවන් සහ බෞද්ධ භික්ෂූන්ගෙන් සමන්විත නවකථාවට, එහි කතුවරයාට සහ එහි දෘෂ්ටිවාදී ප්‍රවාදයට පක්ෂව මතු වූ උද්ඝෝෂණ ව්‍යාපාරයේ ප්‍රබලත්වයයි. දෙවැන්න, ලංකාවේ ප්‍රමුඛතම මහජන සම්භාවනාවට ලක්ව සිටි ගද්‍ය නිර්මාණකරුවා වූ මාර්ටින් වික්‍රමසිංහ රාජ්‍යයේ හිරිහැරයට පාත්‍ර කිරීමට එකල බලයේ සිටි ආණ්ඩුව අකැමැති වීමයි.

II

මෙම පසුබිම් සාකච්ඡාවෙන් පසුව මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන මාතෘකාව වන ගැහැණියක් කෙටිකතා සංග්‍රහයට අපගේ අවධානය යොමු කළ හැකිය. මෙහිදී මා ඉදිරිපත් කරන පළමුවැනි නිරීක්ෂණය නම් ගැහැණියක් කෙටිකතා එකතුව මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ නිර්මාණ ලේඛනවල වර්ධනයේ සන්ධිස්ථානයක් සලකුණු කරන්නේය යන්නයි. එය නම් ලීලා නවකථාවෙන් සලකුණු කළ ප්‍රබල ප්‍රවාද-වාදී ප්‍රබන්ධකරණ ප්‍රවේශයේ සිට මෘදු ප්‍රවාදවාදී ප්‍රබන්ධකරණ ප්‍රවේශයකට මාරුවීමේ අවධියයි. දෙවෙනි නිරීක්ෂණය නම් ප්‍රබන්ධකරුවෙකු මෙරට සාහිත්‍ය-කලා විචාරකයකු ලෙස ද මාර්ටින් වික්‍රමසිංහ තමා සඳහාම ගොඩනගාගත් ලෝක දෘෂ්ටියක් සහ සමාජ ලෝකය අර්ථකථනය කිරීමේ මූලික මූලධර්ම පද්ධතිය ක් විසින් මග පෙන්වන ලද පළමුවැනි කෙටිකතා එකතුව වීය යන්නයි. ඒවා අතරින් ගැහැණියක් කෘතියේ සියලු කෙටිකතාවලින් ප්‍රකාශ වන ලෝක දෘෂ්ටිය සහ සමාජ - ලෝක අර්ථකථනාත්මක මූලධර්මය නම් සමාජයේ දුගී දුප්පත්, කොන් කරනු ලැබීමට සහ අපහාසයට හා හෙළා දැකීමට ලක් කරනු ලැබූ ගැහැණුන් ද පිරිමින් ද කෙරෙහි දැක්විය යුතු සහකම්පිත දයාවයි (empathetic compassion). පසු කාලයේ වික්‍රමසිංහ ලියූ හඳ සාක්කි සාක්කි කීම, වහල්ලු යන කෙටිකතා සංග්‍රහවල ඇති කෙටිකතා නිර්මාණයේදී කතුවරයා අඩු වැඩි වශයෙන් ප්‍රකාශයට පත් කරන්නේ මෙම සහකම්පිත දයාවාදී ලෝක දෘෂ්ටියයි. වික්‍රමසිංහ සූරීන්ගේ අවසාන නිර්මාණ කෘතිය වූ බවතරණය නවකතාව ද ඉදිරිපත් කරන ප්‍රතිමානීය චර්යාධාර්මික තීසිසය සමාජයේ ආන්තිකකරණයට, පීඩනයට සහ නින්දාවට පාත්‍ර කරනු ලැබීමේ ඉරණමට පත්වූ සමාජ කණ්ඩායම් ද ගැහැණු - පිරිමින් ද සම්බන්ධව ප්‍රකාශ කෙරෙන සහකම්පික දයාවයි. දුක් විඳින ජනයා වෙතට යොමු වන "සහකම්පික දයාව" යන සමාජය තේරුම් ගැනීමේදී මනුෂ්‍යයන් තුළ තිබිය යුතු චර්යාධාර්මික ගුණය අත්පත් කර ගැනීමට මෙම කෙටිකථා තුළින් කතුවරයා පාඨකයාට ද ආරාධනා කරයි. වික්‍රමසිංහගේ මෙම කෙටිකථා ‘’ පොදු ජනයා’’ වෙනුවෙන් කතුවරයා තම සාහිත්‍ය සහ සමාජ විචාර ලේඛනවල ද හඳුනා ගෙන ඇති සාමාන්‍ය මනුෂ්‍යයින්ගේ ඉරණම පිළිබඳව කතුවරයා පාඨකයා සමග සිදුකරන සංවාද මාලාවකට සමාන ය.

වික්‍රමසිංහගේ කෙටිකතා බොහොමයකින් ප්‍රකාශ වන පරිදි සහකම්පික දයාව යනු අනුකම්පාව පමණක් නොවේ. එය ප්‍රපංචවාදී සංකල්පයක් මාර්ගයෙන් ප්‍රකාශ කරන්නේ නම් "සහකම්පික අවබෝධයකි" (empathic understanding). කෙටිකථා කියවීමෙන් අප ලබන සහකම්පික දයාව ‘සහකම්පික අවබෝධනයක්’ බවට වර්ධනය කර ගැනීමට අපට ආධාර වන්නේ කතුවරයා කෘතියට සපයා තිබෙන “සංඥාපනය”යි. කෙටිකතා සංග්‍රහයේ එන එක් එක් කෙටිකතාවල කේන්ද්‍රීය චරිත ගොඩනැගීමේදී තමන්ගේ නිර්මාණ චෛතසිකය මෙහෙයවූ තම ආකල්ප සහ දැක්ම පිළිබඳ කතුවරයාම දක්වා ඇති කෙටි පැහැදිලි කිරීම් විභාග කරන පාඨකයාට පෙනෙන්නේ සමාජයේ ඔහු හඳුනාගෙන ඇති බලරහිත පිරිමින්ගේ හා ගැහැණුන්ගේ චරිතවල ඇති “සම්පූර්ණ මනුෂ්‍යත්වය” චිත්‍රණය කිරීමට කතුවරයා සවිඥානිකව දරා ඇති ප්‍රයත්නයයි. “බේගල්” යන පළමුවැනි කෙටිකතාවේ අන්දො අයියාගේ චරිතය මගින් තමා චිත්‍රණය කළේ, එම “මනුෂ්‍යයාගේ චරිතයෙන් බින්දු මාත්‍රයකි.” “මනුෂ්‍යයා” යන වචනයෙන් කතුවරයා අන්දො අයියා හඳුන්වන්නේ ඔහු හුදෙක් මිනිසෙකි යන මතුපිට අර්ථයෙන් නොවේ. මිනිසුන් සතුව ඇති ‘මනුෂ්‍ය ස්වභාවය’ ඔහුගේ චරිතයේ ගැබ් වී තිබෙන නිසාය.

“අන්දො අයියා නොහොත් බේගල්, හැම පළාතකම මෑතක් වන තෙක් විසූ නමුත් බටහිර සභ්‍යත්වය පැතිර යාමත් පතපොත සුලභ වීමත් නිසා අන්තර්ධාන වීගෙන යන මනුෂ්‍යයෙකි. බේගල් නමැති කතා වස්තුවෙන් දැක්වෙන්නේ ඒ මනුෂ්‍යයාගේ චරිතයෙන් බින්දු මාත්‍රයකි.... ඔහුගේ දුර්වලතා මෙන් අහිංසක ගති ගුණ ද එක සේ නිරූපිත එම කතා වස්තුවෙන් චිත්‍රණය කරන ලද ගම්බද කුඩා දරුවාගේ ප්‍රතිමූර්තිය ද අන්දො අයියා නොහොත් බේගල් නිසාම ජීව ප්‍රාණය ලබයි.” (9.පිටුව)

ඉහත ඡේදයේ අන්දො අයියා ගැන විස්තර කිරීමේදී දෙවරක්ම ‘මනුෂ්‍යයෙකි’, ‘මනුෂ්‍යයාගේ’ යන වචන දෙක යොදාගෙන තිබෙන්නේ ආන්දො අයියා ‘මිනිසෙකි’ (a man) යන අර්ථය දීමට නොවේ. මනුෂ්‍ය දුර්වලතා ද අහිංසක ගතිගුණ ද සහිත මනුෂ්‍ය වර්ගයාට අයත් මිනිසෙකි යන අර්ථය දීමටය. තම කෙටිකතාවෙන් කතුවරයා නිර්මාණය කර ඇති අන්දො අයියා ‘මිනිසෙකු’ මෙන්ම ‘මනුෂ්‍යයෙකු’ ද වෙයි. මෙම වෙනස, ගැමි සමාජයේ බලරහිත ගැහැණුන් සහ පිරිමින්ගේ ජීවන ලෝකය (life world) සහකම්පිතව චිත්‍රණය කිරීමට මාර්ටින් වික්‍රමසිංහ සතුව ඇති ප්‍රපංචවේදාත්මක අන්තර්ඥානය (Phenomenological Insight) ප්‍රකාශ කරන්නකි.

දුප්පත්, බලරහිත සහ සමාජ භාවිත විසින් දරුණු සූරාකෑමකට සහ පීඩනයකට ගොදුරුවන තරුණ ස්ත්‍රියකගේ ඛේදාන්තය ජීවිතය විස්තර කෙරෙන “කුවේණි හාමි” නම් කෙටිකතාව එම ස්ත්‍රියගේ දුක් විඳින මනුෂ්‍යාත්මභාවය පිළිබඳව ද කෙරෙන ප්‍රපංචවේදාත්මක අධ්‍යයනයක් වැනිය. එනම් කුවේණි හාමිගේ දුක්ඛිත ජීවිතය, කටුක ඇත්දැකීම්, ඛේදාන්තමය ජීවිතය, ඇගේ අත්දැකීම් පිළිබඳ දෘෂ්ටිකෝණයෙන් විනිවිද දැක එම මනුෂ්‍ය ආත්මය පිළිබඳව සහකම්පිත ප්‍රත්‍යාවේක්ෂණයක, නැතහොත් භාවනාවක, යෙදීමට පාඨකයාට අවකාශය විවෘත කරන්නකි. මෙම කතාවෙහි මෙන්ම ඊට සමාන අනෙක් කතාවල ද ද්විත්ව සහකම්පනයක් (double empathy) තිබේ. එය කතුවරයාගේ ලෝක දෘෂ්ටිය මත ගොඩනැගුණු සහකම්පනය සහ කතුවරයාගේ ආරාධනයෙන් කුවේණි හාමිගේ ජීවන ලෝකය (life world) පිළිබඳ ව කල්පනාවෙහි යෙදෙන පාඨකයාගේ සිතේ ගොඩනැගෙන සහකම්පනයයි. මෙම ද්විත්ව සහකම්පනය ප්‍රබන්ධ කතා රචකයකු ලෙස මාර්ටින් වික්‍රමසිංහ සතුව තිබූ විශේෂ අනන්‍යතා ලක්ෂණයක් ලෙස ද හැඳින්විය හැකිය. වික්‍රමසිංහ පසුකාලයේ ලියූ “වහල්ලු” කෙටිකතාව සහ විරාගය නවකතාව මෙම ද්විත්ව සහකම්පන විභවතාව පිළිබඳ ප්‍රබල නිදසුන් දෙකකි.

1924 දී පළමුවෙන් පළකරන ලද ගැහැණියක් ඔහුගේ ප්‍රථම කෙටිකතා එකතුව ද වෙයි. ඊට පෙර ඔහු පළ කර තිබුණේ ලීලා (1914), සෝමා (1920), අයිරාංගනී (1923) සහ සීතා (1923) නවකතා හතරයි. එම නවකතාවල නොමැති ආකාරයේ ආඛ්‍යාන සංකීර්ණතාවක් (narrative complaxity) ගැහැණියක් කතා සංග්‍රහයේ එන සෑම කෙටිකතාවකම තිබේ. අයිරාංගනී හා සෝමා බොළඳ පෙම්කතා ලෙස වික්‍රමසිංහ උපන්දා සිට නම් ස්වයං චරිතාපදානයෙහි සඳහන් කරයි. (උපන් දා සිට, 2017: 252 පිටුව), ගැහැණියක් කෙටිකතා සංග්‍රහයේ සංඥාපනයත්, කෙටිකතාත් සැලකිල්ලෙන් කියවන විට පෙනෙන කරුණක් නම් වික්‍රමසිංහගේ කලාත්මක පරිකල්පනයේ අතිමූලික පරිවර්තනයක් 1920 ගණන් වල ආරම්භ වී තිබෙන බවයි. එම පරිවර්තනය ඔහු පසුකාලයේදී පළ කළ හද සාක්කි කීම (1945) සහ වහල්ලු (1951) යන කෘතිවල ඇතුළත් කරන ලද කෙටිකතාවල ද ප්‍රකාශ වේ. එම වෙනසට පදනම් වූ වික්‍රමසිංහගේ ලෝක දෘෂ්ටිමය පරිණත වීම ගැහැණියක් කෙටිකතාවේ සංඥාපනයේ ප්‍රකාශ වී තිබේ. එය නම් මනුෂ්‍ය ජීවිතය සහ මනුෂ්‍ය චරිතවල ඇති මනුෂ්‍යත්වයේ ඇති, සුදු - කලු ද්විත්ව විභේදනය ඉක්මවා යන සංකීර්ණත්වය පිළිබඳ ඔහුගේ සංවේදීතාව සහ අවබෝධයයි. ඒවා ඒක මානික (one – dimensional) චරිත නොවේ. මෙය අප ඉහතදී හඳුනාගත් මනුෂ්‍යයින්ගේ, ස්ත්‍රීන්ගේ සහ පුරුෂයන්ගේ ජීවන ලෝකයෙහි ඇති කටුක මනුෂ්‍ය අත්දැකීම්වල මනෝවිද්‍යාත්මක, සමාජීය, සහ සංස්කෘතික සංකීර්ණතාව පිළිබඳව පාත්‍රයින්ගේ දෘෂ්ටි කෝණයෙන් ද ලබා ඇති අවබෝධයෙහිම ප්‍රතිඵලයක් වන්නට ඇතැයි අපට අනුමාන කළ හැකිය ගැහැණියක් කෘතියේ සංඥාපනය අවසන් වන්නේ පහත සඳහන් ඡේදයෙනි.

“මෙහි ඇතැම් කථාවස්තුවක් ජීවිතයෙහි දුෂ්කර වූ අවස්ථාවන්ට මුහුණපෑමට සිදු වූ ස්ත්‍රීන්ගේත්, පුරුෂයින්ගේත් ක්‍රියාකලාපයන්, ඔවුන්ගේ ඒ ක්‍රියාවන්ට තුඩු දුන් චිත්ත චෛතසික ධර්ම, සමාජ චාරිත්‍ර යනාදිය ද නිරූපණය කරයි.” (ගැහැණියක්, 2019,12 පිටුව).

කතුවරයා ලියා ඇති සංඥාපනයෙනුත්, කෙටිකතාවල කථා වස්තු සහ චරිත නිරූපණය එම චරිතවල ජීවන අරගලයේ සමාජ සන්දර්භය යන මේවා දෙස උනන්දුවෙන් බලන විට අපට සිදුකළ හැකි තවත් නිරීක්ෂණයක් තිබේ. එය නම් ගැහැණියක් කෙටිකතා සංග්‍රහය කතුවරයාගේ මෘදු ප්‍රවාදවාදී ප්‍රබන්ධ නිර්මාණ අවධියේ මුල් අවධියට අයත් වන බවයි. කතුවරයා තම ප්‍රබන්ධවලින් ප්‍රකාශයට පත් කරන ලෝක දෘෂ්ටිය සෘජුව ප්‍රකාශ වන්නේ ඔහු පාඨකයා සමග සංකල්පීය සාකච්ඡාවක යෙදෙන සංඥාපනයෙහිය. කිසිදු කෙටිකතාවක එය සෘජුව ප්‍රකාශ නොකිරීමට කතුවරයා වග බලාගෙන තිබේ. එය කෙටි කතාව තුළින් ප්‍රකාශ වන්නේ ව්‍යංගයෙනි. මෙය මෘදු ප්‍රවාදවාදී ප්‍රබන්ධ කතාවල නිර්ණායක ගති ලක්ෂණයයි. ඊට වෙනස්ව ප්‍රබල ප්‍රවාදවාදී ප්‍රබන්ධ කතාවල කතුවරයාගේ මැදිහත්වීම් කතාවේ ආඛ්‍යානය ගලායාම සමඟ වෙලී තිබේ. එවැනි කතාවක ආඛ්‍යන රීතිය දෘෂ්ටිවාදී එකක් වන්නේ ද ඒ නිසාය.

මාර්ටින් වික්‍රමසිංහගේ වාග් කෝෂයේ සහකම්පනය (empathy) යන වචනය පාඨකයන්ට හමුවන්නේ නැත. එමෙන්ම නූතන යුරෝපයේ දාර්ශනික ධාරාවක් වූ ප්‍රපංචවේදය (Phenomenology) ට අයත් දාර්ශනිකයන්ගේ කෘති හෝ ඔහු කියවා ඇති බවට සාක්ෂි නැත. එහෙත් ඔහුගේ කලා සාහිත්‍යය දැක්ම එනම්, පුද්ගල දර්ශනවාදය විසින් හැඩගස්වන ලද එම දැක්මෙහි ඇති ප්‍රපංචවේදී හරය සහ ලක්ෂණ හඳුනාගෙන ප්‍රපංචවේදයේ භාෂාවෙන් ඉදිරිපත් කිරීමට එය අපට බාධාවක් නොවිය යුතු ය. ප්‍රපංචවේදයේ දාර්ශනික භාෂාව රහිතව ප්‍රපංචවේදී යැයි අර්ථකථනය කළ හැකි ඡේදයක් 1936 දී පළ කරන ලද පව්කාරයාට ගල්ගැසීම නම් වූ කෙටිකතා සංග්‍රහයේ සංඥාපනයෙන් උපුටා දැක්විය හැකි ය. එය මෙසේ ය:

"මනුෂ්‍යත්වයේ දුෂ්ටත්වයම මෙනෙහි කිරීමෙන් කලකිරුණහුගේ බුද්ධීන්ද්‍රීය ද්වේශ පටලයෙන් වැසෙයි. මනුෂ්‍යත්වයෙහි දුෂ්ටත්වය මෙන් විශිෂ්ටත්වය ද දකින්නාහුගේ සිත් තුළ බොහෝ විට හටගන්නේ ද්වේශය නොව අනුකම්පාවට තුඩු දෙන උපේක්ෂාවකි."

වික්‍රමසිංහ මේ මගින් කියන්නේ කෙටිකතා/ නවකතා නිර්මාණකරුවා සහ පාඨකයා තුළ ද ඇති විය යුතු අනුකම්පාත්මක උපේක්ෂාවයි. සහකම්පනය යි. එහි වස්තු විෂය (object) වන්නේ කතාවේ නිර්මිත චරිතම නොවේ. එම චරිත ද අයත් මනුෂ්‍යත්වයයි.

III

මාර්ටින් වික්‍රමසිංහගේ කෙටිකතා නවකතා සහ සාහිත්‍ය විචාර ලේඛනවල වර්ධනය කර ඇති ඔහුටම අනන්‍ය වූ අංගෝපාංග තිබේ. ගැහැණියක් කෙටිකතා සංග්‍රහයෙන්ද ප්‍රකාශ වන එවැනි අංග දෙකක් නම් ‘’පොදු ජනතාව’’ යන සංකල්පය සහ ‘සමාජ ප්‍රශ්නය’ (the social question) සාහිත්‍යකරුවාගේ නිර්මාණ විසින් විභාග කරනු ලැබීම සාහිත්‍ය කෘතියේ නිර්ව්‍යාජත්වය (authenticity) සහතික කරන මාර්ගයක්ය යන විශ්වාසයයි. මේ අංග දෙකම වික්‍රමසිංහගේ කෙටිකථාවල සමාජීය අර්ථ සොයායාමට ආධාර කරන ආලෝක ධාරා ලෙස ද ඔහුගේ නිර්මාණ සහ විචාර රීතියේ උපකල්පන ලෙසද එක හා සම්බන්ධයි.

"පොදු ජනයා” යන සංකල්පය සාහිත්‍ය නිර්මාණකරුවෙකු මෙන්ම සාහිත්‍ය විචාරකයෙකු ලෙස ද වික්‍රමසිංහගේ ලෝක දෘෂ්ටිය කුමක්දැයි අනාවරණය කරන ඔහුටම ආවේණික හා ඔහුගේම දෘෂ්ටිමය අනන්‍යතාව අනාවරණය කරන රූපාලංකාරයකි (trope එකකි). එය බහුලව භාවිතා කර තිබෙන්නේ ඔහුගේ අන්තිම නවකතාව වන බවතරණයෙහි ය. එම නවකතාවෙහි 1973 පළමුවැනි මුද්‍රණයට ලියූ සංඥාපනයෙහි "බුදුන්ගේ දහම නිසා පොදු ජනකාය අතර පිබිදුමක් හා විප්ලවයක් ද සිදු විය" යන ප්‍රකාශනය අපට හමුවෙයි. එම ඡේදයෙහි ද "පොදු ජනකාය" යන සමූහයට කතුවරයා ඇතුළත් කර ඇති මනුෂ්‍ය ප්‍රජා කණ්ඩායම් කවුරුන්දැයි නම් කර ඇත. සැඬොලුන්, දාසයන්, රන්කරුවන්, කරණවෑයමින් හා අපරාධකාරයන් ද බුදුන්ගේ ඉගැන්වීම්වලින් පිබිදුණු පොදු ජනයාට අයත් වූහ. බවතරණයෙහි 1975 තුන්වෙනි මුද්‍රණයට ලියූ සංඥාපනයෙහි වික්‍රමසිංහ පොදුජන රූපාලංකාරයේ අර්ථමය වපසරිය පුළුල් කළේය. එසේ කළේ බවතරණයේදී තමා යොදාගත් සහ පසුව විවේචකයින්ගේ ප්‍රහාරයට ලක් වූ ආඛ්‍යාන රීතිය පැහැදිලි කිරීමට සහ සාධාරණය කිරීමට ය. වික්‍රමසිංහගේ තර්කය නම් බුදුන් වහන්සේ තමන් සොයාගත් මාර්ගය ලෝකයාට පැහැදිලි කළේ, සකු බසත් අලංකාර ශාස්ත්‍රයත් ඉවත දමා පොදුජන බසින් රජුන්, බමුණන්, සිටුවරයන්, ගොවියන්, කම්කරුවන්, දාසයන් ඇතුළු සියලු දෙනාම අරමුණු කොටගෙන බව ය. වික්‍රමසිංහ පෙන්වා දෙන්නේ දොළොස් වැනි විසියවසින් පසුව ලංකාවේ බුදු දහම පැහැදිලි කිරීමට සකු සිංහලයක් එනම් සංස්කෘත මිශ්‍ර සහ සංස්කෘත රීතියට අනුව හැඩ ගැසුණු විදග්ධ සිංහල භාෂාවක්, යතිවරුන් විසින් වර්ධනය කරන ලද බවය. එහි ප්‍රතිඵලය වූයේ 'පොදු ජන සිංහලය' පිරිහීම සහ 'පොදු ජන බස' වර්ධනය නොවීමයි.

මෙතැනදී අපේ අවධානය යොමු විය යුත්තේ භාෂාව සහ භාෂා භාවිතය පිළිබඳ මාර්ටින් වික්‍රමසිංහගේ විග්‍රහයන් වෙත නොව භාෂාවත්, සාහිත්‍ය නිර්මාණයක් පිළිබඳ සාකච්ඡාවට අලුත් ප්‍රවේශයක්, එනම් 'සමාජීය ප්‍රවේශයක්' ගොඩ නැගීමට මාර්ටින් වික්‍රමසිංහ 1920 ගණන්වල සිටම ගෙන ඇත්තේ දෘෂ්ටිවාදී වශයෙන් පැහැදිලි ස්ථාවරයක්ය යන්නයි. මෙහිදී අප නිරීක්ෂණය කළ යුතු අනෙක් වැදගත් කරුණ නම් 'පොදු ජන බස' යන සංකල්පය සිංහල භාෂාවට එකතු වන්නටත් පෙරදී එවන් 'පොදු ජනවාදී' යයි කිව හැකි ප්‍රවේශයකින් සිය නිර්මාණ ගොඩනගා ගෙන තිබෙන බවයි. ලංකාවේ දේශපාලන වාග් කෝෂයට 'පොදු ජනතාව' යන සංකල්පය හඳුන්වා දුන් වාමාංශික ව්‍යාපාරය බිහිවීමට දශකයකට පෙර පොදු ජන කේන්ද්‍රීය ප්‍රවේශයක් සාහිත්‍ය නිර්මාණ සඳහා යොදාගත් පළමු නිදසුන නැතහොත් පළමු නිදසුන්වලින් එකක් 1924 දී පළ කරන ලද ගැහැනියක් කෙටිකතා සංග්‍රහයබව කිව හැකිය. එහි එන කෙටිකතා හතත්, ඒවායේ කථා වස්තුත්, එක් එක් කථා වස්තුවේ කේන්ද්‍රීය තේමාව මෙන්ම ආඛ්‍යානය ගලා යාමත් පාඨකයාගේ අවධානයට යොමු කරන්නේ පසුගිය සියවසේ දකුණු පළාතේ ගමක ජීවත් වෙමින්, ග්‍රාමීය දරිද්‍රතාවයේ ප්‍රතිවිපාක සහ විවිධ ප්‍රකාශ වීම් සමග පොර බදන ගැහැනුන්, පිරිමින්, කුඩා දරුවන් මෙන්ම බල්ලන් සහ හරකුන් ය. වික්‍රමසිංහ ඒවා තුළින් නිර්මාණය කරන සමාජය සහ ජීවන ලෝකය ග්‍රාමීය සමාජයේ ඇති ව්‍යුහාත්මක කුරිරුකම් සමග පොර බදන සහ ඒවායේ වින්දිතයින් වන නිර්-ප්‍රභූ සමාජ ස්ථරයි. පසු කාලයේදී 'පොදු ජනයා' යන සංකල්පය වික්‍රමසිංහ නිර්මාණය කර තිබෙන්නේ මෙම නිර්-ප්‍රභූ සමාජ කොටස් සඳහාය. වීරයන් හෝ පරාජිතයන් නැති මෙම කෙටිකතා තුළින් වික්‍රමසිංහ පාඨකයාට ආරාධනා කරන බව පෙනෙන්නේ සමාජ ව්‍යුහයත්, සමාජ චාරිත්‍ර සහ ඇගයීම් පද්ධතීන් සමග පොර බදන ගමන්, ජීවත් වීම සඳහා අරගල කරන සහ ඒවායේ වින්දිතයන් ද බවට පත් වන ගැමි ගැහැනුන්, පිරිමින් සහදරුවන්ගේ ජීවන ලෝකය පිළිබඳව සහකම්පිත අවබෝධයක්, නැතහොත් 'පහන් සංවේගයක්' පාඨකයා ඇති කරගැනීමයි. එයින් ඔබ්බට සිතීමට පාඨකයා දිරි නොගැන්වීම ගැන වාමාංශික හෝ රැඩිකල්වාදී සාහිත්‍ය විචාරකයන්ගේ විවේචනයට වික්‍රමසිංහ ලක් වන්නේ නම් ඒ ගැන අප පුදුම විය යුතු නැත. මක් නිසාද යත් 'ගැහැනියක්' කෙටිකතා සංග්‍රහය ලියන විට වික්‍රමසිංහ 'ලීලා' නවකතාවෙන් ප්‍රකාශ වූ 'ප්‍රබල ප්‍රවාදවාදී' නැඹුරුව අත්හැර දමා තිබීමයි.

'සහකම්පිත අවබෝධය' (empathic understanding) ගැහැනියක් කෙටිකතා සංග්‍රහයෙන් පසුව පාඨකයා වික්‍රමසිංහගේ නවකථා සහ කෙටිකථාවලින් ලබා ගන්නා මූලික බුද්ධිමය ආවේශයයි. ගැහැනියක් කෘතියේ එන 'ඉරුණු කබාය' කෙටිකථාව පිළිබඳව වික්‍රමසිංහ තම සංඥාපනයෙහි මෙසේ කියයි. එම කථාව "සාමාන්‍ය ජනයාගේ සිනාවට පාත්‍ර වන ගැමියන්ගේ ඇතැම් දුර්වලතාවන් වස්තු නිමිති කොටගෙන ගෙතුණක් වුව ද, ඒ දුර්වලතාවන් සිනාවට නොව උගතුන්ගේ දයානුකම්පාවටත්, ගෞරවයටත් පාත්‍ර කරයි." 'මව' නම් කෙටි කථාව ගැන ද වික්‍රමසිංහ ඊට සමාන පැහැදිලි කිරීමක් කරයි. එම කථා වස්තුව “ජීවිතයෙහි දුක්ඛ පක්ෂය ද, ජඩ පක්ෂය ද නිරූපණය කරන්නකි. අපරිමිත දයානුකම්පාවෙන් පිරුණු සිත් ඇති ගම්බද ස්ත්‍රියක, අපරිමිත දයානුකම්පාව නිසා පීඩා වින්ද සැටි ඒ කථාවෙන් දැක්වේ... තාරාවකු නිතැතින් දියට බසින්නාක් මෙන් දයානුකම්පාවෙන් පිරුණු සිත් ඇති ඈ තමාගේ දුක සැපට වඩා අනුන්ගේ දුක සැප සැලකුවාය. (ගැහැනියක්, 11 පිටුව)

සම්මානිත මහාචාර්ය ජයදේව උයන්ගොඩ

වික්‍රමසිංහ කිහිපවරක්ම භාවිත කර ඇති 'දයානුකම්පාව' යන පදය පාඨකයාගේ සැලකිල්ලට භාජනය විය යුත්තකි. එම පදය, ලේඛකයාගේ සහකම්පිත අධ්‍යාශය (empathic intentionality) සන්නිවේදනය කරන්නකි. එම අධ්‍යාශය නම් පාඨකයා ලබා ගන්නේ යැයි ඔහු අපේක්ශා කරන සහකම්පිත අවබෝධයයි. එමෙන්ම, වික්‍රමසිංහ සිය කෙටිකතාවල චිත්‍රණය කරන මනුෂ්‍ය චරිත කිසිවක් ඒකමානීය (one-dimensional) නොවන්නේද එබැවිනි. 'ගැහැනියක්' කෙටිකථා සංග්‍රහය සමස්තයක් ලෙසත් එහි එක් එක් කෙටිකථාව ඉල්ලා සිටින මෘදු ප්‍රවාද ප්‍රබන්ධ ලේබලයට සුදුසුකම් ලබන්නේද ඒ නිසාය.

ඔබගේ අදහස් අපට එවන්න.