ගාඩි
අතීතයෙන් වත්මනට ආලෝකයක්

👨 ​​​​සමිත විජේවර්ධන

2023 පෙබරවාරි 28

ඓතිහාසික සිදුවීම් පදනම් කරගත් චිත්‍රපට ගණනාවක් මීට වසර 15 කට පමණ පෙර ලංකාව පුරා ප්‍රදර්ශනය විය. ඒවා බොහොමයක් සිංහල ජාතිකත්වය ඔසවා තැබීම සඳහා නිෂ්පාදනය වූ ඒවා ය. නැතිනම් බුද්ධාගම හා බැඳුණු පුරාවෘත්ත පදනම් කර ගත් චිත්‍රපට ය. ප්‍රසන්න විතානගේ සූරීන් අධ්‍යක්ෂණය කරන ලදුව මේ දිනවල තිරගත වන ගාඩි ද ඓතිහාසික පුරාවෘත්තයක් පදනම් කර ගත් සිනමා පටයකි.

පුරා වෘත්තයක් කලා නිර්මාණයකට විෂය කර ගැනීමේ දි එහි අරමුණ කුමක් විය යුතු ද කියා මහාචාර්ය සුචරිත ගම්ලත්හු මෙසේ පැහැදිලි කරති..

“පුරාවෘත්තයක් වත්මන් කලා කෘතියකට විෂය කොට ගන්නා වත්මන් කලාකරුවා උපුටා ගත යුත්තේ එහි එන මානවීය හරය යි.එනම් වත්මන් මානව සංහතියට පත්ව තිබෙන ව්‍යසනයේ සුල මුල විශද කිරීමට එහි යම් කොටසකින් ආලෝකයක් පතිත වේ නම් ඒ කොටස යි.“(රූප රාමුව, පි. 272. සේරි ප්‍රකාශන, 2013.)

1798 - 1818 දක්වා වූ විසි වසර දේශපාලන බල අරගලය නිසා මහනුවර රාජධානිය රජුට එරෙහි කුමන්ත්‍රණවලින් ද අතිශය අමානුෂික, බිහිසුණු, ලේ වැකි සිද්ධි මාලාවකින් ද ඇලළී ගොස් තිබුණි. එයිනුත් ඉංග්‍රිසීන් උඩරටට ලඟා වෙමින් සිටි 1814 - 15 කාලය අතිශය තීරණාත්මක විය. එකල උඩරට රාජ නීතිය අනුව රාජද්‍රෝහීන්ට මරණ දඬුවම නියම වූ අතර ඔවුන්ගේ බිරින්දෑවරුන් හා නිවසෙහි වූ අවශේෂ ඥාති ස්ත්‍රීන්ස්ව කැමැත්තෙන් ජලාශයකට පැන සිය දිවි හානි කර ගත යුතු ය. නැතිනම් ඔවුහු රොඩී රුහැට පලවා හැරෙති. එකල ගිහි පැවිදි කිසිවෙකු මෙ දුර්දාන්ත නීතියට එරෙහි වූ වගක් ඉතිහාසයෙහි සඳහන් වන්නේ නැත.

ප්‍රසන්න තම නිර්මාණයට විෂය කර ගෙන ඇත්තේ රාජ ද්‍රෝහියෙකුගේ තරුණ බිරිඳ මරණය වෙනුවට ජීවිතය තෝරා ගැනීම හා ඇයව පාවා ගත් විජයා නම් වූ රොඩී තරුණයා අතර ඇති වන ගැටුමෙන් හා එකමුතුවෙන් යුතුව ගොඩ නැගෙන මානව සබඳතාව යි. තෝරා ගත් අනිකුත් සිදුවීම් ඒ වටා අවශ්‍ය පරිදි ගළපා ඇත.

සිනමා පටය ආරම්භ වන්නේ ප්‍රේක්ෂකයා මහ ඝන වනාන්තරයක් මැදින් කඳු ගැටයක් මුදුනට කැඳවා ගෙන යාමෙනි. එහි සිට ඔහු දළදා මාළිගාව දකියිත තේවා හේවිසි හඬ අසයි. “මුනිඳා මන බැඳි දම් කඳ පහස ලද දළදාව“ තැන්පත් කර ඇත්තේ මේ දළදා මැඳුරේය. ඒ දළදා පහස ලැබූ ධර්මස්කන්ධයේ මධ්‍ය හුය වන්නේ මානව වර්ගයා වෙත පතළ අපරිමිත දයානුකම්පාව යි. ජාති කුල භේද එහි නැත. මිනිසා ශ්‍රේෂ්ඨ වන්නේ උපතින් නො ව ක්‍රියාවෙනි යනු ඒ ධර්මයේ ඉගැන්වීමකි. ඒ දහම පරම අවිහිංසාවාදී ය.

අනතුරුව ප්‍රේක්ෂකයා දකින්නේ ඇහැලේපොළ මහ අදිකාරම් හා බුලත්ගම දිසාව ඉංග්‍රිසි හමුදා ඒජන්ත ජෝන් ඩොයිලි මුණ ගැසීම යි. ඇහැලේපොළගේ යටි අරමුණ ඉංග්‍රිසී හමුදා උපකාරයෙන් උඩරට රාජධානියේ සිංහාසනයට පැන ගැනීම ය. එහෙත් ඔහු ඩොයිලිට පවසන්නේ සිංහල ජාතියත්, බුද්ධ ශාසනයත් වඩුග රජාගෙන් බේරා ගැනීමේ අවශ්‍යතාව යි.එහෙවු ඇහැලේපොාළඩොයිලිගෙන් ඉල්ලන්නේ කුරුලු දඩයමට තුවක්කුවකි. සිනමා පටයේ පසු අවස්ථාවක බුලත්ගම දිසාව ටිකිරිට පවසන්නේ “වඩුග රජා වෙනුවට සිංහල අපට සිංහල රජ කෙනෙක්“ ලැබෙන්ට යනවා කියා ය. එසේ ම තමන් උසස් තනතුරක් (මහඅදිකාරම්?) ලබා ඇතා පිටින් පෙරහැරෙන් එන බව යි. එහෙත් ඇහැලේපොළ , බුලත්ගම යන දෙදෙනා ම මේ යන්නේ අවදානම් ගමනකි. ඔවුන්ගේ චිත්තාභ්‍යන්තරයේ කැකෑරෙන සැකය , භීතිය හා අවිනිශ්චිතතාව ඔවුන්ගේ ඇස්වලින් හා හැසිරීමෙන් නිරූපණය වෙයි. ඩොයිලිගේ දුර දක්නයෙන් ඈත මුහුද දෙස බලන මේ දෙන්නාට ම ඒ පිළිබඳ හැඟීමක් නැත. ඔවුන් දුරදක්නයෙන් දුර දුටු වත් බුද්ධියෙන් දුර දැක නැත.

මේ වන විට ඩොයිලි ගිහි පැවිදි සිය ගණනක චරපුරුෂ ජාලයක් ගොඩ නගා ගෙන උඩරට රාජ්‍ය අල්ලා ගැනීමේ ප්‍රයන්තයේ අවසානය කරා ළඟා වෙමින් සිටියේ ය. එහෙත් ඩොයිලි ඇහැලේපොළගෙන් ඉල්ලා සිටින්නේ උඩරට කුළුබඩු වර්ග බාධාවකින් තොර ව කොළඹට ගෙන ඒමට උපකාර කරන ලෙසයි. එසේ ම උඩරට රාජ්‍ය අල්ලා ගැනීමේ අරමුණක් නැති බව ද කියයි. පසු අවස්ථාවක ඩොයිලි බයිබලයේ අත තියා දිවුරා ප්‍රකාශ කරන්නේ ද එයයි. එහෙත් මේ සියලු දේශපාලන නායකයන් තමා අයත් යැයි සිතන ජාතියත් අදහනවා යැයි කියන ආගමත් දඩ මීමා කරගෙන රාජ්‍ය බලයට වරමදු තියති. ඒ අනිකක් සඳහා නො ව හැකි තාක් දේපළ කොල්ල කා ගැනීමට ය. මේ වස්තු තණ්හාවත්, බල අරගලයත් මහන්තත්වයත් නිසා පීඩාවට පත් වන්නේ සාමාන්‍ය ජනතාව ය. එයිනුත් පීඩිත කුල මිනිස්සු ය. ඒ අතර කාන්තාවෝ දෙතුන් ගුණයක් පීඩිත ය.

මේ කිසිවෙකුට තම ජීවිත ගැනවත් ස්වාධීන තීන්දු තීරණ ගැනීමේ නිදහසක් නැත. සිනමා පටය පුරා පෙළ ගස්වා ඇති සිදුවීම් ඇතුළත් රූප රාමුවලින් මතු ව එන්නේ මේ යථාර්ථය යි. මේ පසුබිමෙහි සිට විජයා - ටිකිරි කතා වස්තුව කියවා බලමු.

ඇහැලේපොළ හා එකතුව ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට එරෙහි ව කුමන්ත්‍රණය කර රාජ උදහසට ලක් වූ බුලත්ගම දිසාවගේ තරුණ භාර්යාව ටිකිරි ය. ඕ තොමෝ භද්‍ර යෞවනයෙහි පසුවන්නී ය. බුලත්ගමගේ පෙර භාර්යාවකගේ යොවුන් වියට එළඹෙන දූවරුන් දෙදෙනා ටිකිරි හා සම වයස්ක යැයි සිතිය හැකි ය. ටිකිරි ඒ දූවරුන් සමග දුව පැන ඇවිද කෙළි දෙලෙන් ගත කිරීමට ලොල් කරන්නී ය. ජීවය උතුරා යන මේ නව යෞවනිය තමන්ට වඩා බෙහෙවින් වැඩිමහල් ස්වාමිපුරුෂයෙකුගේ සැබෑ ම පාදපරිචාරිකාව ය.කාව්‍යසේඛරයෙහි කියූ පරිදි ම “හිමි ගමනක් ගොසින් ගෙට ආ කලට සතොසින් දාසින් නො ඇණවා වෙසෙසින් ඇය ම පය සෝදන්නී යකුමන්ත්‍රණකරුවන් බුලත්ගම වලව්වට පැමිණි විට ඔවුන්ට රාත්‍රී භෝජනය පිළියෙළ කිරීමට ටිකිරි අනිකුත් කාන්තාවන්ට උදව් කරමින් වෙහෙසෙන්නී ය. බුලත්ගම ම කියන පරිදි ඔහුට වාසනාව ගෙනා මේ සිරිකත නිදා ගන්නේ බිම පැදුරක් එළා ඒ මත ය. සම්භෝගයට පමණක් ඇයට සිරි යහන කැප ය. ටිකිරි ඇතුළු අනෙකුත් කාන්තාවන් මේ ගත කරන්නේ වංසක්කාර වහල් ජීවිතයක් නො වේ ද? මේ ස්ත්‍රීන් පූර්ණ සතුටකින් යුතු නිදහස් ජීවිතයක් ගත කරනවා යැයි කිව හැක්කේ කාට ද?

අවසානයේ බුලත්ගමගේ රාජ ද්‍රෝහිත්වය හමුවේ වන්දි ගෙවන්ට සිදුවන්නේ බුලත්ගම වලව්වේ නිර්දෝෂි අහිංසක ස්ත්‍රීන්ට ය. කුල පාරිශුද්ධිය රැක ගෙන මැරෙනවා ද නැතිනම් රොඩී රුහැට ගොස් ජීවත් වෙනවා ද යන දෙගිඩියාවෙන් ස්ත්‍රීහු ජලාශය වෙත හෙමින් හෙමින් පා නගති. මේ ඛේදනීය අවස්ථා නිරූපණයෙන් අයිරාංගනී සේරසිංහ මහත්මිය ඇතුළු නිළි කැල ප්‍රේක්ෂකයා කම්පනයට පත් කරති. මළ බෙර හඬ ඒ කම්පනය ප්‍රකම්පනයක් කරයි. ටිකිරි හැර සියලු ස්ත්‍රීහු දියට පැන දිවි තොර කර ගනිති. ටිකිරි ඉදිරියට තැබූ පියවර පසු පසට ගෙන ජීවිතයම තෝරා ගන්නී ය. එහි ප්‍රතිඵලය හැටියට ඊළඟ ඛේදනීය අවස්ථාව එළඹෙයි. ඒ වන වට රජ අණින් ගං තෙරට පැමිණ සිටිිරොඩිහු ගොදුරක් කරා කඩා පනින දඩ බලු රැලක් සේ ටිකිරි කරා පිහිනති. පිහිනුම් තරඟයේ වීරයා වන විජයා තම බුලත් හපය ටිකිරිගේ මුවට ඔබා ඈ තමා සන්තක කර ගනී. ටිකිරි පිළිකුලෙන් කෙළ ගසා බුලත් හපය ඉවත දමයි. මේ තක්කඩි බලහත්කාරය ඒ නීතිය හැදූ උන්ගේ ම්ලේච්ඡත්වය හෙළි දරව් නො කරන්නේ ද? ඉනික්බිති ව ගහලයෝ, බරණැස් පුර වාසීන් මාතංග නම් සැඬොලාට දිට්ඨමංගලිකාව පාවා දුන්නාක් මෙන් “සුපිපි කැහැල රුකෙක්හි මල් අතු බිඳිනවුන් සෙයින් ඇයගේ සව්බරණ ගලවා“ හැඳි සළු පිලි ඉරා කීතු කීතු කර උඩු කය නග්න කොට ඉනෙන් පහළ දනෙන් ඉහළ පමණක් වැසෙන සේ රෙදි කඩක් අන්දවා විජයාට පාවා දෙති. සළු ඉරා දමද්දි නැගෙන ජරාස් හඬ ටිකිරිගේ හදවත ගුගුරා හඬා වැටීම ධ්වනිත නො කරන්නේ ද? එයින් නො නවතින ගහලයෝ වංශවත් ගහලයන් බලා සිටිද්දී ටිකිරි හා රොඩී කැල ගල් ගසා ගඟෙන් එගොඩට පන්නා දමති. මොවුහු නිකම්ම රොඩීහු නො ව“ රොඩී බල්ලෝ“ ය. කුලය පදනම් කරගෙන රොඩීන්ටත් ස්ත්‍රීත්වය පදනම් කරගෙන ස්ත්‍රියකටත් කරන මේ නිග්‍රහය කවර නම් ශ්‍රේෂ්ඨ සංස්කෘතියකට ගැළපෙන්නේ ද?

මෙතැන් සිට විජයා යත්න දරන්නේ ටිකිරිගේ ප්‍රේමය දිනා ගෙන ඇය රොඩී රැහැට ගැනීමට ය. ඊට ප්‍රතිපක්ෂ ව ටිකිරි තම අනන්‍යතාව රැක ගැනීමට පුද්ගලවාදී අරගලයක යෙදී සිටියි. තමාට එවන කෑම බඳුන පැල් කොටෙන් එළියට වීසි කරන ටිකිරි පැල උගුළුවා ගෙන එළියට පැන අහිංසක වියරුවකින් එක අතකින් ගත් තල් අත්තකින් උඩු කය වසා ගෙන අනික් අතින් ගත් පොල්ලකින් විජයාට පහර දෙයි. ඒ සෑම පහරකින් ම බෙරෙන විජයා අනිකුත් රොඩීන් හා එකතුව ටිකිරිට ඔච්චමට හිනා වෙයි. මෙයින් අපේක්ෂා භංගත්වයට පත් වෙන ටිකිරි බිම වැටී නගන විලාපය ප්‍රේක්ෂක හදවත් ගුගුරා දැදුරු කරවන තරම් ය. ඈ කිසිවෙකුට දෙස් දෙවොල් නො තබා තප්පර කීපයක් හැඬීමෙන් පමණක් කරන මේ වික්‍රමය ඩිනාරාගේ රංගන කුශලතාවත් ශ්‍රීකර් ප්‍රසාද්ගේ සංස්කරණ පරිණත භාවයත් ප්‍රසන්නයන්ගේ විචක්ෂණ අධ්‍යක්ෂණයත් විශද කරන්නකි.

මෙතැන් සිට ටිකිරිට මුහුණපාන්ට සිදු වන්නේ ඇගේ අනන්‍යතාව අත හැරීමට තුඩු දෙන අත්දැකීම්වලට ය. අනෙකුත් රොඩීන් සමඟ ඉල්ලා කෑමෙහි ගිය පළමු ගමනේදී ම රදළ නිවසේ තම ඥාතීන් පමණක් නො ව සේවිකාවෝ ද පිළිකුලෙන් ටිකිරි ව මඟ හරිති. පෙර රොඩීන්ට බයේ ගෙට පැන සැඟවුණු ටිකිරි දැන් සමකුල යුවතීන්ට බිය ගෙන දෙයි. අවසානයේ රදලයාගේ සේවකයෝ ටිකිරි ඇතුළු සියලු රොඩීන්ට පහර දී පන්නා දමති. ඒ අනෙකක් නිසා නො ව ටිකිරි කුලීනයාගේ නිවස ඉදිරි පිට පෙනී සිටීම නිසා ය. ස්වකීය “රදල ඥාතීන්ගෙන්“ කිසිදු පිළිසරණක් නො ලබන ටිකිරිට රොඩී රැහෙන් ද එල්ල වන්නේ නින්දා සහගත වාක් ප්‍රහාරයන් ය. මෙනිසා ම විජයාට ටිකිරි ද කැටුව රොඩී රැහෙන් පිටව යෑමට සිදු වෙයි.

මහ වන මැද ටිකිරි සමඟ ඉදිරියට ඇදෙන විජයා ගල් කුළක් මතට නගී. ටිකිරි සිටින්නේ ඔහුට තරමක් පිටුපසිනි දෙදෙනා ම දකින්නේ ඇස් දිස්ටිමානයේ පැතිර ගිය අනන්ත වූ අවකාශය හා ඝන නීල වානාන්තරය යි. පසු බිමෙන් වැයෙන සංගීතයෙන් ඔවුන් දෙදෙනා තුළ එකිනෙකා කෙරෙහි දලු ලන ප්‍රේමයක සේයාවක් ධ්වනිත වෙයි. එහෙත් සොබාදහමේ මේ මනස්කාන්ත සොඳුර විඳිනු වෙනුවට දෙදෙනා ම නිහඬ ව කල්පනාවක නිමග්න ව සිටිති. සුපරිපූර්ණ, සුසංවේදී ජීවිතයක් පිළිබඳ අභිලාශය ඇතත් දෙදෙනා අතර පවතින සමාජීය විභේදනය ඊට බාධක ව පවතී.

ටිකිරි රොඩී රැහැට ගැනීමේ අරමුණෙන් පිට ව යන විජයාට සිදු වන්නේ පළමු අවසරයෙන් ම තම රොඩී අනන්‍යතාව අත හැරීමට ය. නහන තොටුපළකින් සොරා ගත් ඇඳුම් ඇඳ රොඩී සලකුණක් වූ අත රැදි දණ්ඩ වීසි කර විජයා තම රොඩී බව අත හරී. නැති නම් තමන්ට ද ටිකිරිට ද පැවැත්මක් නැති බව ඔහු දනී. එපමණක් නොව පළමු මිනිස් හමුවේ දී ම විජයා රංකිරා වෙමින් නාමාන්තරණය වන්නේ ටිකිරිගේ මැදිහත් වීමෙනි. වන ගත වී කුළු හරක් අල්ලමින් දුෂ්කර ජීවිතයක් ගත කරන විජයා - ටිකිරි යුවළ මැද්දට කඩා පාත් වන දඩයක්කාරයෝ ටිකිරිගේ නිදහසට බාධා කර කෑම වේලට ද තට්ටු කරති. පසු දිනක මේ දඩයක්කාරයෝ විජයා - ටිකිරි “රොඩීන්“ බව දැන ගෙන ඔවුන්ට පහර දී ඔවුන්ගේ උඩු කය ඇඳුම් ඉරා දමා ගස් බැඳ දිමි ගොටු දමා වධ හිංසාවට පත් කරන්නේ “ගෙරි මස් නො කන සිංහලයන්ගේ“ ශ්‍රේෂ්ඨ සංස්කෘතික අනන්‍යතාව හෙළි දරව් කරමින් ය.

වෙනදා කින්නරයන් හැර අනිකුත් සෑම මිනිසෙකුට ම හාමුදුරුවනේ යැයි අමතමින් යටහත් පහත් ව හැසිරෙන විජයා හෙවත් රංකිරා සංචාරක මුස්ලිම් වෙළෙන්දාට කතා කරන්නේ තරමක් උඩඟුබවකින් ය. එපමණක් නොව සුද්දන්ගෙන් බේරි යන දිසාවේ තමාට විජයා කළ උපකාරවලට කෘතවේදී ව විජයාට හිස නමා අචාර කරයි. කෙතරම් උත්ප්‍රාසාත්මක සිදුවීම් ද?

ඉංග්‍රිසී, සිංහල ඊනියා ප්‍රභූන් ඉදිරියේ රොඩී ලියන් නටද්දී තම අනන්‍යතාව කියා පෑමට නිහඬව නැගී සිටි ටිකිරිට පමණක් නො ව රොඩී රැහැට ම බුලත්ගමගේ මැරයන්ගෙන් පහර කෑමට සිදු විය.

ශ්‍රී වික්‍රම පලවා හැර උඩරට රාජ්‍යය “නිදහස්“ කර ගත් සිංහල නායකයෝ ටිකිරිගේ නිදහස් නැගී සිටීමට එරෙහි ව ඈ අයත් රොඩී කුප්පායම ම සමූල ඝාතනය කරවති.

සිය ඥාතී වර්ගයාගේ විනාශය දුටු විජයා නගන විලාපයෙන් හා ඒ බිහිසුණු දර්ශනයෙන් ටිකිරිගේ හදවත කම්පනය නො වන්නේ ද? සිය ඥාතීන්ගෙන් කිසිඳු පිළිසරණක් නො ලත් ටිකිරිව දිවි පරදුවට තබා ආරක්ෂා කර ගත්තේ විජයා ය.

මානවීය හැඟීම් කලඹන මේ සිදුවීම් නිසා ටිකිරිගේ මනෝභාව විපරිවර්තනය වෙයි. විජයා කෙරෙහි ප්‍රේමය ඇගේ හදවතේ ලැගුම් ගනී. තොමෝ ම උඩු කය නිරාවරණය කර ගනිමින් රොඩී කුලය වැලඳ ගන්නී ය. ඇගේ පැවැත්ම ඇත්තේ එහි ය. එහෙත් එය සුඛාන්තයක් නො වේ. ඊට ඉඟියක් සිනමා පටයේ නැත. ඔවුන්ගේ ජීවන යාත්‍රාව කෙසේ සිදු වේදැ යි කවුරු දනිත් ද?

ජාතිය, ආගම, කුලය යනාදිය පදනම් කර ගත් අනන්‍යතාව මිථ්‍යාවකි, වංචාවකි. එය උත්කර්ෂයට නංවන සමාජයට පරිහානියක් මිස දියුණුවක් නො වන්නේ ය. මිනිසාට ඇති එක ම අනන්‍යතාව මනුෂ්‍යත්වය යි. සමස්ත නිර්මාණයෙන් මතුව එන ගුරු අරුත එය යි. වත්මන් සමාජය තේරුම් ගැනීමට පතිත වන ආලෝකය එයයි.

මට වැටහෙන ආකාරයට තාක්ෂණික දෝෂ කිහිපයක් සිනමා පටයේ දක්නට ඇත. ඒවායින් එතරම් ම හානියක් සිදු වී නැත. අවමතාවාදී රීතිය නිසා ඇතැම් පුද්ගල සබඳතා හඳුනා ගැනීම තරමක් අපහසු ය.

විශේෂයෙන් සජිත හා ඩිනාරා හැඟීම් ප්‍රකාශනයේ දි වචනවලට වඩා දෙනෙත් හා දෙතොල් යොදා ගැනීම ප්‍රබල රංගනයක් බව කිය යුතු ය.හැඟීම් ප්‍රකාශනයේ දී දෑසින් කළ හැකි දේ බොහෝ ය. “බැලුම් මුත් අන් තෙපුල් - නො දුන් නුයුනින් නිසසල“ නිසසල ඇස්වලින් බැලුවා විනා වෙනත් තෙපුලක් දුන්නේ නැත යනුවෙන් සීගරිකවියෙකු කිවේ එය යි.

මා ඉහත ලේඛනගත කළේ ගාඩි නැරඹීමෙන් ලද සෞන්දර්යාත්මක අත්දැකීම ය. ඊට උපකාර වුණේ ගාඩි තෙවරක් ම නරඹා මතකයේ රැඳුණු නිරූපණයන් පමණි.

ගාඩි සිනමා පටයේ රංගනය ඇතුළු අනෙකුත් සියලු කාර්යයන්ට උර දුන් සියලු ශිල්පීන්ට ද ඔවුන් විචක්ෂණ ලෙස මෙහෙයවා ගෙන සුසංවේදී, සුපුෂ්පිත, සුපරිපූර්ණ මනුෂ්‍ය ජීවිතයට සතුරු වූ කටුක යථාර්ථය කලාත්මක ව හෙළි දරව් කිරීම ගැන ප්‍රසන්න විතානගේ සිනමාවේදියාණන්ට ද අවදානම් ආයෝජනයක යෙදුණු එච්.ඩී. ප්‍රේමසිරි අර්ථපතියාණන්ට ද අපගේ ප්‍රණාමය හිමි වෙයි.

ඔබගේ අදහස් අපට එවන්න.